දෝත් නඟා වැඳීමට සුදුසු බව අඤ්ජලිකරණීය ගුණය ය. ලෝකයෙහි දෙවියන්ට ද රජුන්ට ද තවත් උසස් අයට ද භය නිසා ද ලාභ නිසා ද මනුෂ්‍යයෝ දෝත් නඟා වඳිති. ඔවුනට වැඳීමෙන් ලැබිය හැක්කේ අත්‍යල්ප ඵලයකි. සුප්‍රතිපන්නාදි ගුණවලින් යුක්ත බුද්ධශ්‍රාවකයකුට එක් වරක් දෝත් නඟා වැඳීම ම අනන්තඵල දායක ය. එබැවින් ඒ බුද්ධශ්‍රාවකයෝ විශේෂයෙන් අඤ්ජලීකර්මයට සුදුස්සෝ වෙති. එබැවින් සෙස්සන් විසින් වඳින දේවබ්‍රහ්මයෝ ද, රජහු ද, තථාගතශ්‍රාවකයනට වඳිති. කලින් දුටු දුටු මිනිසාට වඳිමින් සිටි සැඩොල් කුලයේ උපන් සුනීතට පැවිදි වීමෙන් පසු දේවබ්‍රහ්මයන් පැමිණ වැන්දේ අඤ්ජලිකරණීය ගුණය නිසා ය. සිල්වත් භික්ෂූන්ට දෝත නඟා වැඳීම තබා ප්‍රසන්න සිතින් උන් වහන්සේලා දෙස බැලීම් මාත්‍රයෙහි ද බොහෝ අනුසස් ඇති බව මංගල සූත්‍ර අටුවාවෙහි මෙසේ දක්වා තිබේ.
“භික්ඛූනං පන පසන්නචිත්තෙන පියචක්ඛූහි දස්සනමූලකෙනා පි පුඤ්ඤෙන අනෙකානි ජාති සහස්සානි චක්ඛුම්භි රොගො වා පිළකා වා වාතපිත්තාදිදොසො වා න හොති. විපස්සන්නපඤ්චවණ්ණ සස්සිරිකානි හොන්ති. චක්ඛුනි රතන විමානෙ උග්ඝාටිත මණිකවාටසදිසානි, සතසහස්ස කප්පමත්තං දෙවෙසු ච මනුස්සෙසු ච සබ්බසම්පත්තීනං ලාභී හොති.”
(සුත්තනිපාතට්ඨකථා 269)
දැකීමෙන් පමණක් නො ව සිල්වත් භික්ෂූන් සිහිකිරීම් මාත්‍රයෙහි ද බොහෝ අනුසස් ඇති බව ආකඞ්ඛෙය්‍ය සූත්‍ර අටුවාවෙහි මෙසේ දක්වා තිබේ.
“යස්ස භී භික්ඛුනො කාලකතො පිතා වා මාතා වා අම්හාකං ඤාතකො ථෙරො සීලවා කල්‍යාණධම්මොති පසන්නචිත්තො හුත්වා තං භික්ඛුං අනුස්සරති: තස්ස සො චිත්තපසාදො පි තං අනුස්සරණමත්තම්පි මහප්ඵලං මහානිසංසමෙව හොති, අනෙකානි කප්පසහස්සානි දුග්ගතිතො වාරෙතුං අන්තෙ ච අමතං පාපෙතුං සමත්ථමෙව හොති.”
(පපඤ්ච සූදනි 130)