පින් පව් හා ඒවායේ විපාක ඇති බව පිළිගන්නා පරලොව ඇති බව පිළිගන්නා නුවණැත්තා වූ මනුෂ්‍යයෝ මේ ජීවිතය තිර නැති බව හා පරලොව යා යුතු බව තේරුම් ගෙන පරලොවදී පිහිට කර ගැනීමට සිල්වත්නට දන් දෙති. එසේ දෙන දානය දක්ඛිණා නම් වේ. ඒ දක්ඛිණාව පිළිගැනීමට සුදුසු වන්නේ, පිරිනැමීමට සුදුසු වන්නේ දානය මහත්ඵල වීමට හේතු වන, දායකයාගේ බලාපොරොත්තුව ඉටු වීමට හේතු වන පුද්ගලයන් ය. ශීල-සමාධි-ප්‍රඥා සංඛ්‍යාත උත්තම ගුණයන් වඩන්නා වූ ද, වඩා අවසන් කර සිටින්නා වූ ද, ලෝභාදි ක්ලේශයන් දුරු කිරීමෙහි යෙදී සිටින්නා වූ ද, දුරු කළා වූ ද පුද්ගලයන්ගෙන් යුත්ක වන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝරත්නය එය පිළිගැනීමට අතිශයින් ම සුදුසු ය. ඒ සංඝරත්නයේ දක්ඛිණෙය්‍ය ගුණය ය. (අරහං ගුණය විස්තර කිරීමෙහි දී ශ්‍රාවකයන්ගේ දක්ෂිණෙය්‍ය භාවයට නිදසුන් වන කථා දක්වා ඇත්තේය.)
ආහුන-පාහුන වශයෙන් දෙන දානයන් හැර පරලොව සැප පතා දෙන්නා වූ ද, පාරමිතා සම්පූර්ණ කිරීම් වශයෙන් දෙන්නා වූ ද, ගුණවත් පුද්ගලයන්ට දීමේ යහපත් බව සලකා දෙන්නා වූ ද, මියගිය ඥාතීන් උදෙසා දෙන්නා වූ ද සියලුම දාන දක්ෂිණාවට ම අයත් ය. ආහුනෙය්‍ය - පාහුනෙය්‍ය - දක්ඛිණෙය්‍ය යන මේ ගුණ තුන දාන නානත්වයෙන් ගුණ තුනක් වශයෙන් දක්වා ඇතිමුත් ධර්ම වශයෙන් එකම ගුණයෙකි. එය නම් දීමනාව මහත්ඵල වීමට හේතුවන ශීලාදී ගුණ සමූහය ය.