තථාගතයන් වහන්සේ වෛශාලි නගරාසන්න මහවනෙහි කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සමයෙහි බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සිට ගිය පිංගියානි නම් බ්‍රාහ්මණයා ලිච්ඡවීන්ගේ කර්මාන්ත කරවමින් සිටි කරණපාලි නම් බ්‍රාහ්මණයාට හමු වී “මේ මහ දවාලෙහි පිංගියානි, කොහි සිට එන්නේදැ”යි ඔහු ඇසීය. “බ්‍රාහ්මණය, මම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි සිට එමි”යි පිංගියානි කීය. එකල්හි කරණපාලි බ්‍රාහ්මණ තෙමේ “පින්වත් පිංගියානි, ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණෙහි තතු කෙසේ ද? ඔබ ඔහු පණ්ඩිතය යි සිතන්නෙහිදැ”යි කීය. එකල්හි පිංගියානි කියනුයේ “මම ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ මැනීමට කවරෙක් වෙම් ද? යමෙක් ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණෙහි තරම දන්නේ නම් ඔහුත් ශ්‍රමණ ගෞතමයන් වැනියෙක් වන්නේය”යි කීය. “පින්වත් පිංගියානි, උසස් ප්‍රශංසාවකින් ශ්‍රමණ ගෞතමයන්ට පසස්නේ”ය යි කරණපාලි බ්‍රාහ්මණ කිය. “ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රසංශා කිරීමට මම කවරෙක් ද? ශ්‍රමණ ගෞතමයෝ සකල ලෝකයා විසින් ප්‍රශස්ත වූ ඔවුන්ගේ උත්තම ගුණවලින් ම ප්‍රශස්තයෝ ය. සියලු දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨයෝය”යි පිංගියානි කීය. එකල්හි කරණපාලි බ්‍රාහ්මණ “ඔබ කුමක් දැක කිනම් කරුණකින් ශ්‍රමණ ගෞතමයන්ට මෙතරම් පැහැදුණෙහිදැ”යි ඇසීය. එකල්හි පිංගියානි බ්‍රාහ්මණයා තථාගතයන් වහන්සේගේ ගුණ මෙසේ වර්ණනා කෙළේය.
අග්‍රරස ඇති භෝජනයන් කුසපුරා වළදා තෘප්තියට පත්ව සිටින්නකුට නීරස භෝජනයන් ප්‍රිය නො වන්නාක් මෙන් ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය ඇසූ පසු අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වාද අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ධර්ම අප්‍රිය වන්නේය. සාගින්නෙන් පෙළෙන්නකුට චතුමධුරයන් යොදා පිළියෙල කළ අග්ගලා ගෙඩියක් ලැබී වළඳනා කල්හි එය කොතැනකින් වැළඳුව ද මිහිරි රසයක් ලැබෙන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය කොතැනකින් ඇසුව ද, සූත්‍රයෙන් ඇසුවද, ගෙය්‍යයෙන් ඇසුව ද, වෙය්‍යාකරණයෙන් ඇසුව ද, අද්භූතධර්මයෙන් ඇසුව ද, සතුටක් ලැබෙන්නේ ය. පැහැදීමක් ඇති වන්නේය. රන්වන් සඳුන් ගැටයක් හෝ රත් සඳුන් ගැටයක් ලත් කෙනෙකුට එය කොතැනකින් ආඝ්‍රාණය කළත් සුමිහිරි සුවඳක් ලැබෙන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය අසන්නකුට සූත්‍රයෙන් හෝ වේවා. ගෙය්‍යයෙන් හෝ වේවා, වෙය්‍යාකරණයෙන් හෝ වේවා, අද්භූතධර්මයෙන් හෝ වේවා, කුමකින් කොතැනින් ඇසුව ද සතුටක් ලැබෙන්නේය. යම්කිසි රෝගයකින් පෙළෙන්නකුට දක්ෂ වෛද්‍යයකු විසින් ප්‍රතිකාර කරන කල්හි ක්‍රමයෙන් රෝගය දුරු වී යන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය තොතැනකින් හෝ අසන්නහුගේ ශෝක පරිදේව දුඃඛ දොම්නස්‍ය උපායාසයෝ නැති වන්නාහ. ශ්‍රීෂ්මයෙන් හා පිපාසාවෙන් පීඩිතයෙකු සුමිහිරි සිහිල් දියෙන් පිරුණු පොකුණකට බැස පැන් බී දිය නෑම කරන කල්හි ඔහුගේ ශ්‍රීෂ්මය පිපාසාව ක්ලාන්තය සන්සිඳී යන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය කොතැනකින් හෝ අසන්නහුට ඔහුගේ සියලු පීඩා වෙහෙසීම් දැවීම් සන්සිඳෙන්නේය.
මෙසේ පිංගියානි බුදුරදුන්ගේ ගුණ වර්ණනා කළ කල්හි කරණපාලි බ්‍රාහ්මණ තෙමේ අසුනෙන් නැගිට උතුරු සළුව ඒකාංස කොට දකුණු දණ බිම හැණ බුදුරදුන් වැඩ වෙසෙන දිශාවට දෝත් නඟා වැඳ “නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස”යි තෙවරක් උදන් අනා පිංගියානිට ස්තුති කොට රත්නත්ත්‍රය සරණ ගියේය.
(අංගුත්තර පඤ්චක නිපාත )