ඤාණය වනාහි සාමාන්‍යයෙන් දන්නා ඥානය, ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දන්නා ඥානය යි දෙවදෑරුම් වේ. ගසක්, ගසක් වශයෙන් දැනීම සාමාන්‍ය ඥානය යි. මුල් - සුඹුලු - පොතු - ඵලය - අරටුව - බඩය - අතු - රිකිලි - කොළ මල් - ගෙඩි, ඒවායේ පැහැය - සටහන - ගන්ධය - රසය යන විශේෂ විභාග සියල්ල දැනීම ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දැනීම ය. ඒ ඒ දේවල් ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දන්නා ඥානය පටිසම්භිදා ඤාණ නම් වේ. ඒ ඒ ධර්මය පිළිබඳ වූ දැනුම ඥාන වශයෙන් එකක් වුව ද දැන ගන්නා වූ ධර්ම අනුව ඒ ඥානය ඥාන සතරක් කොට දක්වා තිබේ. අත්ථපටිසම්භිදා ඤාණය, ධම්ම පටිසම්භිදා ඤාණය, නිරුත්තිපටිසම්භිදා ඤාණය, පටිහාන පටිසම්භිදා ඤාණය යනු ඒ ඤාණ සතරය.
ප්‍රභේද සහිතව විස්තර සහිතව හේතූන්ගේ ඵල දන්නා නුවණ අත්ථපටිසම්භිදා ඤාණ නම් වේ. ජනක හේතුය, සම්පාපක හේතුය, ඥාපක හේතුය යි හේතු තුන් වර්ගයකි. ගස, ගෙඩි උපදවන්නාක් මෙන් නො තුබූ යම් කිසිවක් ඇති කරන්නා වූ හේතුව ජනක හේතු නම් වේ. අවිද්‍යා තෘෂ්ණා කර්මාදීහූ ජනක හේතූහු ය. ජනක හේතූන් විසින් උපදවන ලද නාමරූප ධර්මයෝ අත්ථ නම් වෙති. නැව මෙතර සිටියවුන් එතෙරට පමුණුවන්නාක් මෙන් ඇත්තා වූ යම් කිසිවකට පමුණුවන හේතුව සම්පාපකහේතු නමි, ආර්‍ය්‍යමාර්ගය සත්ත්වයන් නිවනට පමුණුවන බැවින් සම්පාපක හේතුවකි. නිවන එහි ඵලය ය. සම්පාපකහේතුවගේ ඵලභාවයෙන් නිවන ද අත්ථ නම් වේ. දුම ගින්නක් ඇති බව අවබෝධ කරන්නාක් මෙන් යම් කිසිවක් අවබෝධ කරවන හේතුව ඥාපකහේතු නම් වේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත ත්‍රිපිටක ධර්මය අසන්නවුන්ට නොයෙක් කරුණු අවබෝධ කරවන බැවින් ඥාපකහේතුවකි. පිටකත්‍රය ධර්මය අනුව අවබෝධවන්නා වූ අර්ථයෝ, ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් දැනෙන්නා වූ අවබෝධ වන්නා වූ කරුණු ත්‍රිපිටක ධර්මයාගේ ඵලභාවයෙන් අත්ථ නම් වෙති. අවිද්‍යා තෘෂ්ණා කර්මාදි ප්‍රත්‍යයන් විසින් උපදවන නාමරූපයෝ ය, ආර්‍ය්‍යමාර්ගයෙන් පැමිණෙන නිවනය, ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් දැනෙන කරුණු ය යන මේ අර්ථයන් ප්‍රභේද වශයෙන් දන්නා ඥානය අත්ථපටිසම්භාදාඤාණ නමි. මේ ඤාණය ඇතියහුට හේතූන්ගේ ඵල වන නාමරූප ධර්මයන් විස්තර වශයෙන් දත හැකි ය. අන්‍යයන්ට තේරුම් කර දිය හැකි ය. බුදුරදුන් දේශිත ධර්ම වල අර්ථය ද නො වරදවා තේරුම් කර දිය හැකි ය.
ධම්මපටිසම්භිදා ඤාණ යනු අනේක නාමරූප ධර්මයන් උපදවන්නා වූ අවිද්‍යා තෘෂ්ණා කර්මාදි හේතූන් ද, නිවනට පමුණුවන ආර්යමාර්ගසංඛ්‍යාත සම්පාපක හේතුව ද, කුශලාකුශලාදි අනේක ධර්මයන් අවබෝධ කරවන පිටකත්‍රය සංඛ්‍යාත ඥාපක හේතුව ද, ප්‍රභේද වශයෙන් විස්තර වශයෙන් දන්නා ඥානය ය. එය ඇතියහුට හේතුධර්ම විස්තර වශයෙන් මැනවින් දත හැකි ය. අන්‍යයන්ට අවබෝධ වන පරිදි කිය හැකි ය.
ඉහත දැක්වූ අත්ථපටිසම්භිදා ඤාණයෙන් දත යුතු වන ඵලධර්මයන් පිළිබඳ වූ ද, ධම්මපටිසම්භිදා ඤාණයෙන් දත යුතු වන හේතුධර්මයන් පිළිබඳ වූ ද, ඒ ධර්මයන් හා නියත සම්බන්ධය ඇත්තා වූ ස්වාභාව නිරුක්ති නම් වූ මාගධභාෂාව මැනවින් දන්නා වූ නුවණ නිරුත්තිපටිසම්භිදා ඤාණ නමි. නිරුත්ති පටිසම්භිදා ඤාණය ඇත්තේ, අර්ථධර්මයන් පිළිබඳව වූ මාගධ භාෂා ව්‍යවහාරය දන්නේ ය. “ඵස්සො, වෙදනා” යනාදී ශබ්ද ඇසුණු කල්හි ඔහු ඒවා ස්වාභාව නිරුක්තිය යි දන්නේ ය. “ඵස්සා, වෙදනා” යනාදී වචන ඇසුණ හොත් ඒවා ස්වාභාව නිරුක්ති නොවේ ය යි දන්නේ ය. මේ ශබ්දය නැතහොත් වචන මේ අර්ථය සඳහා ය යි කිසිවකුගේ පැනවීමක් නියම කිරීමක් නැතිව ස්වාභාවයෙන් ඒ ඒ අර්ථයන් හා සම්බන්ධව සිද්ද වචන ස්වාභාව නිරුක්ති නම් වේ. මාගධභාෂාව ස්වාභාව නිරුක්තිය යි කියනු ලැබේ. එය සකල සත්ත්වයන්ගේ ම මූලභාෂාවය යි ද, වෙනස් නො වෙන භාෂාවය යි ද, දේව බ්‍රහ්මයන් බෙහෙවින් ව්‍යවහාර කරන භාෂාවය යි ද කියනු ලැබේ. ඒ නිසා තථාගතයන් වහන්සේ විසින් ස්වභාව නිරුක්තිය වූ මාගධභාෂාවෙන් ත්‍රිපිටකධර්මය තබන ලද්දේය යි ද දේශනය කරන ලද්දේය යි ද කියා තිබේ. නිරුත්තිපටිසම්භිදා ඤාණය ලබා ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට මාගධභාෂාවෙන් දේශිත ධර්ම වෙහෙසක් නැතිව අවබෝධ වන්නේ ය.
අත්තපටිසම්භිදා ධම්මපටිසම්භිදා - නිරුත්තිපටිසම්භිදා යන ඥානත්‍රය මැනවින් දන්නා වූ ඥානය පටිභානපටිසම්භිදා ඤාණ නමි. පටිභානපටිසම්භිදා ඤාණය ඇති කල්හි පැමිණෙන කරුණු අනුව ඉහත කී ඥානත්‍රය යොදා ක්‍රියා කළ හැකි ය. ඉහත කී ඥානයන්ගෙන් දැනගන්නා ධර්ම උපමා හේතු උදාහරණ සහිතව මැනවින් විස්තර කළ හැකි ය. විභාග කළ හැකි ය. විභංගපාළියෙහි පටිසම්භිදාඤාණයන් මෙසේ දක්වා ඇත්තේ ය.
“අත්ථෙ ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මේ ඤාණං ධම්මපටිසම්භිදා, තත්‍ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
ඉධ භික්ඛු ධම්මං ජානාති, සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාකතං අබ්භුතධම්මං වෙදල්ලං, අයං වුච්චති ධම්මපටිසම්භිදා, යො තස්ස තස්සෙව භාසිතස්ස අත්ථං ජානාති, අයං ඉමස්ස භාසිතස්ස අත්ථො, අයං ඉමස්ස භාසිතස්ස අත්ථොති අයං වුච්චති අත්ථපටිසම්භිදා, තත්‍ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණේසු ඤාණං පටිභාන පටිසම්භිදා”
ප්‍රතිසංවිත්ඥාන පෘථග්ජනයන්ට නො ලැබෙන ආර්‍ය්‍යයන්ට පමණක් ආර්‍ය්‍යමාර්ගානුභාවයෙන් ලැබෙන ඥාන විශේෂයෙකි. පටිසම්භිදාලාභී පෘථග්ජනයෝ නැතහ. පටිසම්භිදාවට නො පැමිණි ආර්‍ය්‍යයෝ ද නැතහ. එහෙත් ආර්‍ය්‍යඵලයට පැමිණීමෙන් ලැබෙන පටිසම්භිදාඤාණ සියලු ම ආර්‍ය්‍යයන්ට ප්‍රබෝධ වන්නේ නො වේ. එය දියුණු වූවෝ පටිසම්භිදාපත්ත යන විශේෂනාමයෙන් හඳුන්වනු ලැබෙත්. පටිසම්භිදාපත්ත යන නාමයෙන් හඳුන්වන ආර්‍ය්‍යයෝ බුද්ධකාලයෙහි ද සුලභ නො වූහ. ඇතැම් ආර්‍ය්‍යයන් හට ශෛක්ෂ කාලයේදී ම ද පටිසම්භිදාඤාණය ප්‍රබෝධ වේ. දියුණු වේ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ, චිත්‍ර ගෘහපති, ධම්මික උපාසක, උපාලි ගෘහපති, ඛුජ්ජුත්තරා යන අයට ශෛක්ෂකාලයේදී ම පටිසම්භිදාව දියුණු විය. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, මුගලන් තෙරුන් වහන්සේ , මහකසුප් තෙරුන් වහන්සේ, මහාකච්චායන තෙරුන් වහන්සේ, මහාකොට්ඨීත තෙරුන් වහන්සේ අතුළු මහාශ්‍රාවකයන් වහන්සේලාට රහත් වීමෙන් පටිසම්භිදාඤාණය ප්‍රබෝධ විය. ඉන්ද්‍රියපරෝපරියත්තඤාණය, ආසයානුසයඤාණය යන බුද්ධඤාණ දෙක සම්මාසම්බුද්ධගුණය වර්ණනාවෙහි විස්තර කරන ලදී.