60. ලජ්ජි සාමණේරයන්ගේ කථාව

star_outline

හෙළදිව අනුරාධපුරයෙහි ධනාඪ්‍ය වූ මහවෙළඳ පවුලක උපන් සත්හැවිරිදි කුමරෙක් ශ්‍රද්ධාවෙන් පැවිදි වී පිරිසිදු සේ සිල් රකිමින් විසී. ඒ කාලයේදී බ්‍රාහ්මණතීය නමැති මහා දුර්භික්ෂ භය උපන්නේය. එවිට මහාවිහාරයේ රහත් තෙරහු එක්ව එක් තෙරනමක් “මේ භය සංසිඳවනු මැනවැ”යි දැන්වීම පිණිස සක්දෙව් රජු වෙත යැවූහ. දෙව්රජ “මම මේ භය සංසිඳවන්ට සමර්ථ නොවෙමි; මිනිසුන්ගේ කර්ම විපාකයෙන් මෙය හටගත්තේය. එසේ වුවත් යම්කෙනෙක් මූදෙන් එතෙර යනු කැමති නම් මම ඔවුනට ආරක්ෂාව සලසන්නෙමි. යමෙක් වියදණ්ඩක් පමණ වූ ලීකඩක් වත් බදාගෙන මූදට බසින්නේ නම් සැපසේ පරතෙරට පැමිණෙන්නේය”යි කීය. තෙරනම ඇවිත් ඒ කීම අන්‍ය තෙරවරුන්ට දැන්වීය.

ඉක්බිති හැමපැත්තෙන් ම භික්ෂූහු රැස්වූහ. ඒ ළදරු සාමණේරයන්ගේ උපාධ්‍යාය තෙරනම “මම ආන්ධ්‍ර‍රාජ්‍යයට යන්නෙමි; තෝ කැමති නම් එව”යි කීය. හෙතෙම මවුපියන් විචාරන්නෙමියි කියා අනුරාධපුරයට ගොස් ඔවුන් විචාළේය. ඔවුහු “කහවණු විස්සක් හෝ තිහක් දී ආහාරවේලක් ලබාගත හැකිවුවත් අපි ඔබ පෝෂණය කරන්ට සමර්ථ වෙමු. එබැවින් පිටරට නොගියමැනවැ”යි කීය. ඔහුගේ උපාධ්‍යායතෙමේ අන්ධකරටට ගියේය. හෙළදිව රජුගේ මාලිගය තුළ එක් තෙරනමක් වලඳයි. හෙතෙම වලඳා විහාරයේ වසන එක් නමකටද ආහාර රැගෙන එයි. එකල සාමණේරයන්ගේ මව මස්සක් රැගෙන මුළුනුවර ඇවිද බත් මිටක් පමණත් නොලැබ ඇවිද ඒ කාරණය පුත්‍ර‍යාට දැන්වීය. කුමක් කළ හැකිදැයි කී සාමණේර නම විහාරයට යාගත නොහැකිව එහිම අසුන්හලක නිරාහාරව සත්දිනක් ගත කෙළේය. රාජ කුලුපග තෙරනම රජගෙයි වලඳා එක් නමකට පිණ්ඩපාතය රැගෙන යන්නේ අසුන්හලට පිවිස ලෑල්ලක් මත නිදාහුන් විඩාවට පත් හෙරණ දැක නැගිටුවා ආහාර අනුභවකරවයි කීය. හෙරණ නැගිට කල් ඇද්දැයි ඇසීය. තෙරනම “මා ඡායාව මැණ කී නමුත් මේ තෙමේ මගෙන් වේලාව විමසන්නේය”යි කිපී “ඔබට වේලාව මැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? මේ විෂම (= දුර්භික්ෂ) කාලයෙහි ආහාර අනුභව කරව”යි කීය. මෙසේ කියන තෙරනම සිල්වතෙක් නොවිය හැකියයි සාමණේරයන්ට විමතියක් උපණි. එබැවින් නැවත මූණ වසාගෙන නින්දට පටන් ගති; මා විසින් පුද්ගලයා නොසලකා වචනයක් කියන ලදැයි විපිළිසරට පත් තෙරනම නැවත හෙරණනම නැගිටුවීය. හෙරණ තෙමේ “ඔබ විසින් විෂම වචනයක් කියන ලදි. මාගේ බඩවැල් පිටත නික්මුණත් මම ඔබ අතින් පිණ්ඩපාතය නොගනිමි”යි කියා මේ ගාථාවන්ද කීය:

(1) මේ ශරීරය බිඳීයේවා, මෙහිම විසිරීයේවා; මම ඔබගේ පිණ්ඩපාතය නොගනිමි. (2) බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ මෙසේ ශීලසම්පන්න වෙති. ජීවිතය නැතිවෙතත් ඔවුහු ශීලය නොඉක්මවති. මෙසේ කියන ලද තෙරනම ඒ සංවේගයෙන් ඒ පිණ්ඩපාතය ඉවත දැමීය. මෙය ආජීවපාරිශුද්ධිය දක්වන කථාවකි.