44. හා මස් පිළිබඳ කථාව

star_outline

(1) පිරිසිදු මහලී රටෙහි එක් ස්ත්‍රියක් හා මස් ඉතා විශිෂ්ට ලෙස උයා පිළියෙළ කරයි. (2) ඈ මනාසේ ඉවූ හා මස් (නරක් නොවී) අවුරුද්දක් කල් පවතී. යන්තමට ඉවු මස් හමසක් නරක් නොවී පවතී. (4) එක් දිනක් ඈට බොහෝ හා මස් ලැබුණි; ඇගේ පුත්‍ර‍යා දුර පලාතකට ගොස් සිටි බැවින් ඕ ඒ මස් උයා තැබීය. (5) දේවතාවෝ මිනිස් වෙසින් එහි අවුත් ඒ මස් සියල්ල කත්වලින් ගෙන ගොස් සාලි කුමරුට පිරිනැමූහ.*[1] (6) ඔවුහු ඒ මස් එහි තබා කුමරුගේ ආයුත්තකයාට ඒවා පෙන්වා ඉවත්ව ගියහ. (7) ඒ මස් එහි තැබූ කෙණෙහි මුළු නුවර ඒ සුවඳ පැතිර ගියේය. සාලි කුමරා දේවතාවන් ඒ මස් ගෙනා බව දැනගත්තේය. (8) තමාගේ පින් බලය දැක සතුටෙන් පිණාගිය කුමාරතෙමේ පින ද පුණ්‍ය විපාකයද මෙසේ කීය:

(9) දේව-නාග-යක්ෂ යන යම් කෙනෙක් අධික පූජාව කැමතිවෙත් නම් නිරුත්තර පින් කෙතෙහි නිතර පින් කළ යුතුය. (10) යම් කෙනෙක් සතුටු සිතැතිව පින් කෙරෙත් නම් ඔවුහු දිව්‍යමය වූද මනුෂ්‍යමය වූද සැප අනුභව කෙරෙත්. (11) ඒ කුමරතෙමේ පෙර භවයේදී මහ දන් දුන්නේය: ඒ පිනේ විපාකයෙන් අද දෙවියෝ ද මිනිස්සුද පුද පඬුරු ගෙනැවිත් දෙති. (12) තිරිසන් මෘගපක්ෂීහු ද දෙවිමිනිස්සු ද කළ පිනැත්තහු දැක හැම කල්හි වසඟයෙහි පවතිත්. (13) මිනිසා යම් යම් පිනක් කෙරේ නම් ඔහු කැමතිවෙන ඒ ඒ දෙය සමෘද්ධ වෙයි. කාන්තාරයකදී හෝ විපත්තිකාලයකදී ඒ පින නොනැසේ.

  1. මෙතැන සම්බන්ධයක් නොපෙනේ. ගෙයි උයා තැබූ මස් සාලි කුමරුට ගෙන ගියේ කුමක් හෙයින්දැයි ප්‍ර‍කට නොවේ.