40. දුගී ගොවියාගේ කථාව

(1) අනුරාධපුර නමැති උතුම් නගරයෙහි පෙර සද්ධාතිස්ස නමැති රජෙක් විය. (2) රත්නත්‍රයෙහි ප්‍ර‍සන්න වූ, බුදුසස්නෙහි ශ්‍ර‍ද්ධාවත් වූ, ධර්මයෙන් රාජ්‍යය කරවන්නා වූ ඒ රජ සත්පුරුෂයෙකැයි සම්මත විය. (3) ඒ රජුගේ නගරයෙහි එක් දුගී ගොවියෙක් තමාගේ එකම දුවණිය සමග ගඩොල් සෑදීමෙන් ජීවත්වෙයි. (4) මෙසේ ජීවත්වෙන හෙතෙම දුර්භික්ෂ කාලයේදී ජීවත් විය නොහැකිව තමාගේ දුවණිය උකසට තබා කහවණු අටක් ගත්තේය. (5) එසේ කහවණු අට ලබාගෙන විසිකිරියක් පමණ වූ භූමි භාගයක් ගෙන ගඩොල් සාදන්නේ කහවණු අටක් ඉතිරි කරගැනීමට අවුරුදු සතක් ගතවිය. (6) මෙසේ දුකසේ සපයාගත් කහවණු අට රැගෙන ගැල් සමූහයක් සමග පයින් යන්නේ පෙර තමා හඳුනන භික්ෂුනමක් දුටුවේය. (8) ඔහු දුටු උපාසකයා ඕහට දන්දෙනු කැමතිව ආහාරයක් සොයන්නේ එක් මිනිසකු ළඟතිබෙන එක්වරකට සෑහෙන ආහාරයක් දුටුවේය. (9) එවිට ඒ මිනිසා ඒ ගොවියා වෙත ගොස් “මට මේ ආහාරය දෙව, මම කහවණුවක් දෙන්නෙමි”යි කීය. (10) ආහාරය අයිති මිනිසා එක් කහවණුවකට එය දෙන්ට නොකැමති වූ බැවින් පිළිවෙළින් ගණන වැඩිකොට තමා ළඟ තිබුණු කහවණු අටම දී ඒ ආහාරය ගත්තේය. (11) හෙතෙම ඒ ආහාරය ඒ භික්ෂුනමට පිළිගන්වා තමා පිළිබඳ ප්‍ර‍වෘත්ති සියල්ල ද ඔහුට කීය. (12) දාන දුන් හෙතෙම කඳුළු පිරුණු ඇස් ඇතිව හඬමින් පොරවා තිබුණු වස්ත්‍ර‍ය ද ඒ භික්ෂුවට පුදා කැමති තැනකට ගියේය. (13) ඒ ආහාරය පාත්‍රයෙහි තබාගත් ඒ භික්ෂුනම සංවේගයට පත්ව මෙසේ සිතී: (14) මේ තෙමේ කහවණු අටක් දී මේ ආහාරය ගත්තේය. අලුත් වස්ත්‍ර‍යක්ද මට පිදී. (15) තවද ඒ තෙමේ දුව මුදවාගැනීමත් අත්හැර මේ පරිත්‍යාගය කෙළේය. මේ මිනිසා දානසූරයෙකි: තෝ යෝග සූරයෙක් වෙව. (16) ඉදින් වීතරාගයන් විසින් අනුභව කළයුතු දානයක් සරාගී වූ තා විසින් අනුභව කරනු ලැබේ නම් තෝ සබ්‍ර‍ම්සරුන් විසින් ගැරහිය යුතු බවට පත්වන්නෙහි. (17) තට මෙහිම මරණය හෝ සිදුවේව; නැතහොත් රහත් බව හෝ ලැබේවා. බුද්ධ පුත්‍රයෙක් වී මේ ආහාරය අනුභව කරව”යි. (18) මෙසේ තමාට අවවාද කොට පිරිසිදු සිල් ඇති නිර්භය වූ හෙතෙමේ විදසුන් වඩා රහත් විය. (19) එසේ රහත්බවට පැමිණ සියලු බන්ධනයන් සිඳ දමා ෂඩභිඥාලාභියෙක්ව ඒ තෙරනම සිංහනාදයක් පැවැත්වීය. (20) මුල් කෙළවර නැති සසරෙහි ඇවිදින පෘථග්ජන තෙමේ බොහෝ දුක් අනුභව කරයි. ඒ දුක මා විසින් අවසන් කරන ලදි. (21) නරකයෙහි කැපීම් කෙටීම් ආදි දුක්ද, වනයෙහි අනිකා අල්වා කෑමේ භයද, මිනිසුන් අතරෙහි ධනය සෙවීම ද, දෙව්ලොවෙහි වෙන්වයාමේ දුක ද යන මේ සියලු දුක් මා විසින් ඉක්මවන ලදි. එයට හේතුවූයේ උපාසකයා දුන් ආහාරයයි. (23) යම් උපාසකයෙක් ඒ දානය දුන්නේ නම් ඒ දානයේ ආනුභාවයෙන් අකම්ප්‍යතත්වයට පත්වීමි. (24) මෙසේ හෙතෙම ආර්යයෙක් වී ඒ ආහාරය වලඳා අනුරාධපුරයට ගොස් මරණාසන්න කාලයෙහි මෙසේ අධිෂ්ඨාන කෙළේය: (26) යමෙක් කහවණු අටක් දී මට ආහාරයක් දුන්නේ ද ඒ මිනිසා ඇවිත් අත ගැසූවිට පමණක් මාගේ ශරීරය සෙලවේවා, අන් කිසිවකු විසින් සෙලවිය නොහැකි වේවා”යි.

(27) තෙරුන්ගේ පිරිනිවීම අසා මිනිස්සු එහි රැස්වූහ. සද්ධාතිස්ස රජතුමා ද අන්තඃපුර ස්ත්‍රීන් සමග එහි ආවේය. (28) රජු සහිත පිරිස ඒ මෘතදේහය ස්වල්පයකුත් සොලවන්ට අසමර්ථ විය. (29) පසුව ඒ මිනිසා අවුත් මෘතදේහය හැඳිනගෙන පහන් සිතැතිව (30) “ඉදින් මාගේ ආහාරය වලඳා මේ තෙරනම රහත් වී නම් විමතිය දුරු කිරීම සඳහා මෘතදේහය අහසට නැගේවා”යි කීය. (31) මේ වාක්‍යය කියා අතින් දේහය ස්පර්ශ කළ කෙණෙහි එය අහසට නැගුණි. (32) ඒ ප්‍රාතිහාර්යය දැක රජතුමා ඔහුගෙන් තොරතුරු විචාළේය. හෙතෙම සියල්ල විස්තර කොට කීය. (33) ඔහුගේ කීම අසා සතුටු වූ රජතුමා “සංඝයාට දුන් දානය ඉතා යෙහෙකි. මට එයින් පින් කොටසක් දෙව”යි කීය. (34) “මහරජ, ඔබටත් අන් හැම සත්ත්වයන්ටත් පින් කොටස් දෙමි. අධික ගුණ ඇත්තන් කෙරෙහි දුන් දානය මෙසේ මහත් ඵල ලබාදෙන්නේය”යි උපාසකයා කීය. (35) රජතුමා ඔහුට එක් ජනපදයක් ද ඔටුන්නක් සහිත ආභරණ ද ස්ත්‍රීන් ද දාසිදාසයන් ද රථවාහන ද දුන්නේය. (36) රජු සහිත පිරිස ඒ මෘතදේහය දවා ස්තූපයක් ද කොට පුදා විසිර ගියහ. (37) මෙසේ දක්ෂිණාර්හයන් කෙරෙහි දෙන දානයට බුදු රජ පසසයි.