3. මෙතේ බෝසතාණන්ගේ කථාව

මෙසේ අසන්ට ලැබේ. හෙළදිව රුහුණු දනව්වෙහි කම්බෝජගමේ මලය නම් තෙරනමක් වසයි. ඒ තෙරනම පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පාත්‍ර‍ සිවුරු රැගෙන කාම්බෝජගමට පිඬු පිණිස ඇතුල් වුණි. එක්තරා මිනිසෙක් උපුල්මල් මිටි අටක් රැගෙන එන්නේ තෙරුන් දැක ඒවා තෙරුන්ට දුණි. තෙරනම ඒවා රැගෙන මේවා මහසෑයට පුදන්නෙම්ද? සෑගිරියෙහි පුදන්නෙම්ද? මහබෝධියට පුදන්නෙම් දැ යි සිතී. එවිට එතුමාට “තව්තිසා භවනයෙහි වූ සිළුමිණ සෑයේ දකුණු දළදාවට මේවා පුදන්නෙමි” යි සිතක් උපණි. එකෙණෙහි අහසට නැගී අසුරුසනක් ගසන කාලයක් තුළදී වෛජයන්ත ප්‍රාසාදය ඉදිරියෙහි නිලුපුල්මිටි රැගෙන පහළ විය. සක්දෙව් රජ දකුණු දළදාව ද කේශධාතුන් ද සිළුමිණ ඇතුළේ මහා වෛජයන්ත ප්‍රාසාදය ඉදිරියෙහි යොදුනක් වටැති සෑයක් පිහිටු විය. තෙරනම සෑය වෙත එළඹ අට තැනක වැඳ ප්‍ර‍දක්ෂිණා කොට එක්පසෙක සිටියේය. ශක්‍ර‍ තෙමේ තෙරුන් දැක පිරිස් සහිතව අවුත් තෙරුන්ට වැඳ පසෙක සිටගත්තේය. තෙරනම “මෙතේ බෝසත් මෙහි එන්නේදැ” යි සක්දෙව් රජුගෙන් ඇසීය. “එසේය ස්වාමීනි, අද අටවකය, බෝසත් තෙමේ මෙහි එන්නේය. එතුමා පක්ෂයේ පස්වෙනිදාත් අටවෙනිදාත් තුදුස්වක්දාත් පසළොස්වක්දාත් මෙහි වැඳීම පිණිස එන්නේය” යි කීය. ඔවුන් මෙසේ කථාකරන කල්හි එක් දේවපුත්‍රයෙක් මහත් පිරිවරක් සමග නැගෙනහිර දෙසැ පෙනුණි. ඔහු දැක තෙරනම “මේ මෙතේ බෝසත් දැ”යි ඇසීය. “මේ බෝසත් නොවේ, අන්‍ය දේවපුත්‍රයෙක්”යි විචාළේය. “පෙර අනුරාධපුරයෙහි ඇඳුම් මැසීමෙන් ජීවත් වූ බොහෝ පින් කළ සන්නාලිතෙමේය” යි දෙව්රජ කීය.

ඒ දේවපුත්‍ර‍යා ඇවිත් දකුණු පැත්තෙහි සිටගත්තේය. නැවත තවත් දේවපුත්‍රයෙක් මහ පිරිවරින් ආයේ ය. තෙරුන් විචාළ විට ඒ බෝසත් නොවේයයි ද අන්‍ය දෙවියෙකැයි ද දෙව්රජ කීය. ඔහු කවරෙක්දැයි විචාළ විට “හරිතාලගමේ මහාදානපතියාව සිටි හරිතාලතිස්ස” යයි කීය. ඒ දේවපුත්‍ර‍යා බටහිර දෙසැ සිටගත්තේය. ඉක්බිති මහ පිරිවරැති දෙවියෙකු එනු දැක ඒ කවරෙක්දැයි විචාලේය. “මේ තෙමේ දුටුගැමුණු රජුගේ බාල සොහොයුරු වූ සද්ධාතිස්ස මහරජ” යි කීය. හෙතෙම උතුරු දිශාව හොබවමින් ඒ දිශාවෙහි සිටියේය. ඉන්පසු මහපිරිවරින් තවත් දෙවියකු එනු දැක ඒ කවරෙක්දැයි තෙරනම විචාළේය. “යමෙක් බුදුරදුන්ගේ මහසෑය කරවී නම් ඒ මේ දුටුගැමුණු මහරජය”යි දෙව්රද කීය. ඒ දේවතාවා අවුත් නැගෙනහිර දිශාව හොබවමින් එහි සිට ගත්තේය.

ඔවුන්ට පසුව මෙතේ බෝසත් පැමිණියේය. ඔහුගේ එක් එක් පැත්තෙහි පිරිවර සහිත වූ අබරණින් සැරසුණු දෙවඟනෝ සිවුදෙන බැගින් ආහ. දැල්වෙන ගිනිමෙන් ප්‍ර‍භාවත් වූ ඒ දෙවඟනන් දුටු තෙරනම මේ ස්ත්‍රීහු සිවුදෙන මිනිස් ලොවදී කිනම් පිනක් කළාහුදැ යි විචාළේය. එයින් එක් දෙවඟනක් නානාවර්‍ණ නානාරශ්මි ඇත්තී ද විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තී ද විය. එක් අඟනක් රතුරැස් ඇත්තී රතු වස්ත්‍රාභරණ වලින් යුක්ත විය. එක් අඟනක් තඹ පැහැත්තී එවැනි රශ්මි හා වස්ත්‍රාභරණ ඇත්තී විය. එක් අඟනක් කසාවන් රශ්මිය ද කසාවන් වස්ත්‍රාභරණ ද ඇත්තී විය. දෙව්රජ මෙසේ කීය.

ගම් රටවල් හැර යන අවස්ථාවක කුඹල් ගමක දැරියක් මිශ්‍ර‍ පැහැති මල් පුදා දකුණු දෙස සිටියි. නාගදීපයේ මහලු ස්ත්‍රියක් උපුල්මලින් චෛත්‍යය පුදා වම්පසෙහි සිටියි. හෙළදිව කිණිහිරිය ගමෙහි දැරියක් සෑයට කිණිහිරි මල් පුදා දකුණු පසැ සිටියි. පෙර තම්මිණ ගමෙහි විසූ ස්ත්‍රියක් ලුණුවිල පුදා වම්පසින් සිටියි. යම් දෙවි කෙනෙක් හෝ දිව්‍ය ස්ත්‍රී කෙනෙක් බෝසතාණන්ට ප්‍රිය කෙරෙත් නම් ඔවුහු බෝසතුන් පිරිවරා ගෙන අහසෙහි යත්. ඒ බෝසත් තෙමේ පුණු පොහෝදා චන්ද්‍ර‍යා මෙන්ද, ශරත් කාලයෙහි සූර්යයා මෙන්ද, මෘගයන් මැද සිංහයා මෙන් ද, ගවයන් මැද වෘෂභයා මෙන් ද, පර්වතයන් මැද මහමෙර මෙන් ද, පක්ෂීන් මැද ගුරුළා මෙන් ද, ගංගා මැද සාගරය මෙන් ද, ගස් අතරෙහි පරසතු රුක මෙන් ද, මල් අතරෙහි රත්පියුම මෙන් ද, මැණික අතරෙහි වෛදූර්ය මෙන් ද, මිනිසුන් අතරෙහි සක්විති රජ මෙන් ද, පර්වතයක් මුදුනෙහි ගින්නක් මෙන් ද, රන් කොතක් මෙන් ද සියලු දෙවියන් ඉක්මවා වර්ණයෙන් ද තේජසින් ද බබළයි. මෙසේ අප්‍රමෙය වර්ණනා ඇති මෙතේ බෝසත්තෙමේ දෙවඟනන් හා දෙවියන් අතරෙහි දැල්වෙන්නා සේ ආයේය.

ඒ දෙවඟනෝ සතර දෙන මිනිස් ලොවේ දී ජීවිතාන්තය දක්වා නොයෙක් පින් කොට තුසිත භවනයෙහි ඉපද මහත් පිරිවර ඇත්තියෝ බෝසතුන් පිරිවරා අවුත් තුන් යොදුන් සිළුමිණි සෑය වැඳ ප්‍ර‍දක්ෂිණා කොට මාලෙය්‍ය තෙරුන් වෙත ගොස් වැඳ එකත් පසෙක සිටියාහුය. මෙතේ බෝසත් තෙමේ “ස්වාමීනි, කොයි රටකින් වැඩිසේක්දැ”යි ඇසී. “දඹදිවින් ආමි” යි තෙරනම කීය. දඹදිව් වැසියන්ගේ ප්‍රාර්ථනාව කුමක්දැ යි විචාළ විට “ඔවුහු යම්කිසි කුශලක් කොට මෙතේ බුදුන් දකින්ට ලැබේවා යි ප්‍රාර්ථනා කෙරෙති”යි කීය. බෝසත් තෙමේ “යම් කිසි කුශලක් කොට මා දකින්ට ප්‍රාර්ථනා කෙරෙත් නම් ඒ සසර බියෙන් බිය පත්වූ ඔවුන් සසර සයුරෙන් එතෙර කරන්නෙක් වන්නෙමි. අවිද්‍යාවට වාසස්ථාන වූ තෘෂ්ණා නමැති දැලින් ගැවසීගත් සැඩපහරවලින් ගසාගෙන යනු ලබන ලෝකයා මම එතර කරන්නෙමි. කෙලෙස් නමැති දියසුළිවලට අසුවූ තෘෂ්ණා නමැති සොරුන්ට හමුවූ සංසාර නමැති දිශාවන්හි මුළාවූවන්ට යහපත් මග පෙන්වන්නෙමි. සංජීවකාලසූත්‍රාදී මහානරකයන්හි උපන් හැම සතුන්ගේ දාහය නිවන්නෙමි. මෝහ බන්ධනයෙන් බැඳුණු, තෘෂ්ණාවගේ දාස බවට පත් මිනිසුන්ගේ බැමි සිඳ නිවනට පමුණුවන්නෙමි. රාග් ද්වේෂ නමැති අන්ධකාරයෙන් අන්ධ වූ නැසුනු ඇස් ඇති මිනිසුන්ගේ ඇස් ප්‍ර‍ඥා නමැති කුර යොදා ශුද්ධ කරන්නෙමි. ශෝකාතුර වූ ඒ ජරාමරණාදියෙන් පෙළුණු සත්ත්වයන්ට ඥාන නමැති ඖෂධය දී සුවපත් කරන්නෙමි. මෝහ අඳුරෙන් මුළා වී සිරගෙවල හැසිරෙන මිනිසුන්ට ඥානාලෝකය පතුරුවා ඒ සිරගෙය විවෘත කරන්නෙමි”යි කීය.

මෙසේ කියා මෙතේ බෝසත් තෙමේ තෙරුන් වැඳ තුසිත දෙව්ලොවට ගියේය. තෙරනම කාම්බෝජ ගමට හැරී ආවේය.

සොළොස් අසංඛ්‍යයක් මුළුල්ලේ බොහෝ කුසල් රැස්කොට නුවණ මේරීමට පැමිණ ඒ බෝසත් තෙමේ බුදු වන්නේය. එසේ බුද්ධත්වයට පැමිණ සත්ත්වයන්ට අනුකම්පා කොට ඔවුන් දහම් නැවට නංවා එතෙර කරන්නේය. ඒ දහම් නැවට නැගුණු ධර්මප්‍රිය භික්ෂුවට සසරින් නික්ම නිවන් ලැබිය හැකිවන්නේය. ඒ බෝසත් තෙමේ අනාගතයෙහි හැම සත්ත්වයන්ටම පිහිට වන්නා වූ මෛත්‍රිය නම් බුදු රජ වන්නේ ය.