ගන්ධාර රට එක් වනරොදක පර්වත ගුහාවක් ආශ්‍රය කොට සමාධි ධ්‍යානයන්හි ඇලුණු ෂඩභිඥා ලැබූ මහත් සෘද්ධ්‍යනුභාව ඇති භික්ෂුනමක් වසයි. හෙතෙම පෙරවරු කාලයෙහි හැඳගෙන පාත්‍රසිවුරු රැගෙන පිඬු පිණිස හැසුරුණි. එක් සොරෙක් ඒ භික්ෂුනම දැක පසු පස්සේ යමින් මෙසේ සිතී: (1) “ඉදින් මේ භික්ෂුනම මට නොදී අනුභව කරන්නේ නම් මේ තියුණු ශස්ත්‍රයෙන් ඔහුගේ කුස පළන්නෙමි”යි, (2) භික්ෂුනම ලෙණට අවුත් අස්නෙහි හිඳගෙන අනුභව කරන්නෙමියි සිතූ කෙණෙහි එන්නා වූ සොරා දැක්කේය. (3) සොරාගේ අදහස් දැනගත් භික්ෂු නම ඔහුට අනුකම්පාවෙන් මෙසේ සිතී. (4) ඉදින් මේ නපුරු සොරා මා වැන්නකු මරන්නේ නම් බොහෝ පව් රැස්කොට නරකයට යන්නේය. (5) මම මේ සියල්ල එකට අනා මොහුට දෙන්නෙමි. හෙතෙම සැපසේ අනුභව කෙරේවා යි. (6) හෙතෙම මෙසේ සිතා ඒ මිනිසා කැඳවා බත් අනා පාත්‍රය සමගම ඔහුට දුණි. (7) ඒ ආහාරය අතට ගත් සොරා මෘදු සිතැතිව එය දෙකොටසක් කොට එක් භාගයක් තෙරුන්ට දී (8) එක් භාගයක් තෙමේ අනුභව කොට සතුටු සිතැතිව දුන්න හා හියවුරු[1] රැගෙන තමා කැමති තැනකට ගියේය. (9) ඉක්බිති සොරා තමාගේ ගෙට ගොස් සතුටු සිතැතිව තමාගේ බිරියට මේ කරුණ කීය.
පසුකලක ඔහු මරණාසන්න වූ විට ඔහු නරකයෙහි උපදින ලකුණු පහළ වූහ. (10) “ඉතා රතු පැහැති ගිනි දැල් මා ඉදිරියෙහි පෙනෙත්. එබැවින් මම නරකයෙහි උපදින්නෙමි. (11) මා විසින් බොහෝ පව්කම් කොට ජීවිකාව කරන ලදි. එබැවින් නරකදුක් විඳිය යුතුමය. මට මෙහි සැකයක් නැතැ”යි හෙතෙම කීය. (12) ඔහුගේ ඒ කීම අසා බිරිය මෙසේ කීය: “ස්වාමීනි, භය නොවෙව; ඔබට සුගතියට යා හැක.” (13) “මා වැනි නිතර දරුනු ක්‍රියා කළ අයෙකුට සුගතියක් කොයින්ද? දුගතියටම යා යුතුය. පව්වල විපාකය මෙ වැනිය”යි සොරා කීය. (14) “වනයෙහි වසන සිල්වත් භික්ෂුනමකට ඔබ විසින් අඩ දනක් දෙන ලදි. දැන් එය සිහි කළ මැනවැ”යි බිරිය කීය. (15) හෙතෙම යහපතැය කියා ඒ ස්ත්‍රිය කීසේ ඒ දානය සිහිපත් කර ගත්තේය. (16) තෙරුන් දුන් දෙයම ආපසු තෙරුන්ට දීමෙන් මේ පුද්ගලයා අපායගමන හැරපියා සුගතියට ගියේය.
මෙතැන්හි අඩුවක් පෙනේ.
(17) එබැවින් තාදී ගුණ ඇති දක්ෂිණර්හයන් කෙරෙහි ස්වල්ප දෙයක් වුවත් දියයුතුය. සුගතියට යාම සඳහා දන්දීමවැනි අන්‍ය ඥානයක් නැත්තේය. (18) හැම කල්හි දානශීලයන්හි ඇලුනාහු, භාවනාවෙහි යෙදුනාහු වෙත්වා. සොරතෙමේ ඒ සිත පහදා ගැනීමෙන් එයින් චුතව දෙව්ලොව උපන්නේය.
-
ඊතල දමන පසුම්බිය ↑