දහම් දෙසීම සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු:

star_outline

“න ඛෝ ආනන්ද, සුකරං පරේසං ධම්මං දේසේතුං, පරේසං ආනන්ද, ධම්මං දේසෙන්තේන පඤ්ච ධම්මේ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරේසං ධම්මෝ දේසේතබ්බෝ. කතමේ පඤ්ච?

ආනුපුබ්බිකථං කථෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ. පරියාය දස්සාවි කථං කථෙස්සාමී ති පරේසං ධම්මෝ දේසේතබ්බෝ, අනුද්දයතං පටිච්ච කථං කථෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ. න ආමිසන්තරෝ කථං කථෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ. අත්තානඤ්ච පරඤ්ච අනුපහච්ච කථං කථෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ. න ඛෝ ආනන්ද, සුකරං පරේසං ධම්මං දේසේතුං. පරේසං ආනන්ද ධම්මං දේසෙන්තේන ඉමේ පඤ්ච ධම්මා අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරේසං ධම්මෝ දේසේතබ්බෝ.”

(අංගුත්තර පඤ්චක සද්ධම්මවග්ග)

තේරුම:

“ආනන්දය, අනුන්ට දහම් දෙසීම පහසු නැත. ආනන්දය, අනුන්ට දහම් දෙසන්නහු විසින් කරුණු පසක් තබා තුළ තබාගෙන අනුන්ට දහම් දෙසිය යුතු ය. කවර කරුණු පසෙක් ද? යත් :- දාන කථා ශීලකථාදි වශයෙන් පිළිවෙලින් කරන කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය. කරුණු දැක්වීම් වශයෙන් කරන කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය. දුකට පත් සත්ත්වයන් ඉන් මුදවමිය යන කරුණාවෙන් කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය. යම්කිසි ආමිෂයක් නිසා මේ ධර්ම කථාව නො කෙරෙමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය. තමාගේ ද අනුන්ගේ ද ගුණ නො නසා කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය.

මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ බණ ය කියා තමාට සිතෙන වල්පල් මොනවාවත් කියන්නේ නැති ව ක්‍ර‍මානුකූල ව හේතුදාහරණ දක්වා ඒ ඒ කරුණු පහදමින් ලාභාපේක්ෂාවෙන් ද ප්‍ර‍සිද්ධවීම් ආදියෙන් ද තමා උසස් වීමේ අපේක්ෂාවෙන් හා අනුන්ට පහර ගැසීමේ අපේක්ෂාවෙන් ද තොව සත්ත්වයන් දුකින් මිදවීමේ කරුණාධ්‍යාශයෙන් ම දහම් දෙසීම කළ යුතු බව ය. පරිශුද්ධ ධර්ම දේශනාවක් වන්නේ එසේ යහපත් අදහසින් දහම් දෙසන ධර්මකථිකයා ගේ ධර්මය ය. ධර්ම දේශනයේ පරිශුද්ධාපරිශුද්ධභාවය තථාගතයන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය.

“යෝ හි කෝචි භික්ඛවේ, භික්ඛු එවං චිත්තෝ පරේසං ධම්මං දේසේති, ‘අහෝ වත මේ ධම්මං සුණෙය්‍යුං, සුත්වා ච පන ධම්මං පසීදෙය්‍යුං, පසන්නා ච මේ පසන්නාකාරං කරෙය්‍යුන්ති” එවරූපස්ස භික්ඛවේ, භික්ඛුනො ධම්මදේසනා අපරිසුද්ධා හෝති.

යෝ ච භික්ඛවේ, භික්ඛු එවං චිත්තෝ පරේසං ධම්මං දේසේති “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකො අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකො පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි” ති අහෝ වත මේ ධම්මං සුණෙය්‍යුං සුත්වා ච පන ධම්මං ආජානෙය්‍යුං, ආජානිත්වා ච පන තථත්ථාය පටිපජ්ජෙය්‍යුන්ති” ඉති ධම්මංසුධම්මතං පටිච්ච පරේසං ධම්මං දේසේති, කාරුඤ්ඤං පටිච්ච පරේසං ධම්මං දේසේති, අනුද්දයං පටිච්ච පරේසං ධම්මං දේසේති, අනුකම්පං උපාදාය පරේසං ධම්මං දේසේති. ඒවරූපස්ස භික්ඛවේ, භික්ඛුනෝ පරිසුද්ධා ධම්ම දේසනා හොති.

(කස්සප සංයුත්ත)

තේරුම:

“මහණෙනි, යම් භික්ෂුවක් මෙ වැනි සිතින් දහම් දෙසා ද, මාගේ දහම ඇසුව හොත් හොඳය, අසා පැහැදුණ හොත් හොඳය, පැහැදුණාහු පැහැදුණවුන් කරන සත්කාර කළ හොත් හොඳය, මහණෙනි, මෙබඳු මහණහු ගේ ධර්මදේශනය අපරිශුද්ධ ය.

මහණෙනි, යම් භික්ෂුවක් මෙබඳු සිතින් දහම් දෙසා ද භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය මනා කොට දේශනය කරන ලද්දක් ය, තමා විසින් ම දත හැකියක, එකෙණෙහි ම ලැබිය හැකි ඵල ඇතියක, එන්න බලන්න යයි කියා දැක්වීමට සුදුසු වූවක, තම තමන්ගේ සිත්වලට ඇතුළු කරගත යුත්තක, නුවණැතියන්ට තමා ගේ සන්තානයෙහි ම දැකියක හැකියක, මගේ ධරම්ය ඇසුවහොත් යහපත, ඒ ධර්මය තේරුම් ගතහොත් යහපත, ඒ ධර්මය අනුව පිළිපන් හොත් යහපත, මෙසේ ධර්මයේ යහපත් බව නිසා ම දහම් දෙසා ද කරුණාව නිසා ම දහම් දෙසා ද එබඳු භික්ෂුව ගේ ධර්ම දේශනය ශුද්ධ ය.”