අත්‍රිච්ඡතා

අත්‍රිච්ඡතා යනු ලැබුණු දෙයින් තෘප්තියට නො පැමිණ වඩා හොඳ දේවල් පතන, වඩා හොඳ දේ සොයන ස්වභාවය ය. එය ද ඒ ආකාරයෙන් පවත්නා ලාමක ලෝභයම ය. අත්‍රිච්ඡතාව ඇති පුද්ගලයා එක සැළියේ පිසූ බත වුව ද තමාගේ බඳුට බෙදූ බතට වඩා අනික් තැනැත්තා ගෙ බත හොඳය යි සිතා එය පතයි. පෙර එක් දායකයෙක් භික්ෂූණීන් තිස් නමකට ආරාධනා කොට කැවුම් සහිත බතක් දින. සංඝ ස්ථවිරී තෙම අන් සියලු භික්ෂූණීන් ගේ පාත්‍ර‍වලට බෙදූ කැවුම් හා තමාගේ කැවුම් මාරු කොට අන්තිමේ දී තමා ගේ කැවුම ම කෑ බව ඛුද්දකවත්ථු විභංග අටුවාවෙහි දක්වා ඇත්තේ ය. ඒ අත්‍රිච්ඡතාව ඇතියවුන් ගේ ස්වභාවය යි. මේ අත්‍රිච්ඡතාව නිසා සමහරුන්ට, වනයෙහි සිය දේවිය හැර කිඳුරියක ලුහු බැඳ ගිය බරණැස් රජුට අන්තිමේදී දේවියත් කිඳුරියත් යන දෙදෙනා ම නැති වී තැවෙන්නට සිදු වූවාක් මෙන් තමා ලැබූ දෙය අනුන්ගේ දෙය යන දෙක ම නැති වීමෙන් තැවෙන්නට සිදුවන්නේ ය. අත්‍රිච්ඡතාව ඇති පැවිද්දෝ සබ්‍ර‍හ්මචාරීන් ගේ හා ගිහි සැදැහැවතුන් ගේ ද පිළිකුලට භාජන වීමෙන් වඩාත් ලාභයෙන් පිරිහෙති.