පැවිද්ද හා බොරු කීම

පැවිද්දා කවදාවත් ජීවිතය නිසාවත් බොරු නොකියන පරම සත්‍යවාදියකු විය යුතු ය. කවර කමට වුව ද බොරුවක් කීමෙන් සාමණේර පැවිද්දන්ගේ ශීලය සම්පූර්ණයෙන් නැති වේ. ළදරුවෝ විශේෂයෙන් ම බොරු කීමට කැමැත්තෝ ය. ඔවුනට එය විනෝදයෙකි. ඔවුහු විනෝදය පිණිස දුටු දෙය “නුදුටුම්හ” යි කියති. නුදුටු දෙය “දුටුවෙමු” යි කියති. තථාගතයන් වහන්සේ රාහුල සාමණේරයන් අතින් එබඳු දේ සිදු නොවීම පිණිස ඒ කුඩා නමට නිතර අවවාද කළ සේක. එක් සමයෙක් හි රාහුල සාමණේරයෝ විවේකකාමීන් වෙසෙන අම්බලට්ඨිකා නම් වූ පහයෙහි මහණදම් පුරමින් විවේකයෙන් විසූහ. තථාගතයන් වහන්සේ එක් හවස් කාලයෙක රාහුල සාමණේරයන් දක්නට එහි වැඩි සේක. රාහුල සාමණේරයෝ තථාගතයන් වහන්සේ වැඩම කරනු දැක අසුනක් පනවා පා සෝදනු පිණිස පැන් ද තැබූහ. තථාගතයන් වහන්සේ එහි වැඩ හිඳ පා සෝදා බඳුනෙහි පැන් ස්වල්පයක් ඉතිරි කොට රාහුල සාමණේරයන්ට දක්වා රාහුල සාමණේරයන් අමතා, “රාහුලය, මේ බඳුනෙහි ඇති වතුර ස්වල්පය තොපට පෙනෙනවා නොවේ දැ” යි වදාළ සේක. “එසේ ය” යි රාහුලයෝ සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “රාහුලය, යමෙකුට දැන දැන බොරු කීමට ලජ්ජා නැති ද ඔහුට ඇත්තා වූ මහණකම මේ වතුර ටික සේ ම සුළු ය” යි වදාළ සේක.

ඉක්බිති තථාගතයන් වහන්සේ එහි ඉතිරි වී තුබූ වතුර ස්වල්පය අහක දමා රාහුල සාමණේරයන් අමතා “රාහුලය, මේ අහක දමා ඇති වතුර ටික පෙනෙනවා නොවේදැ” යි වදාළ සේක. රාහුල සාමණේරයෝ “එසේ ය” යි පිළිතුරු දුන්හ. එකල්හි තථාගතයන් වහන්සේ “රාහුලය, යමෙකුට දැන දැන බොරු කීමට ලජ්ජා නැති ද ඔහුගේ මහණකමත් මෙසේ ම අහක දමන ලද්දකැ” යි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ භාජනය මුණින් නමා දක්වා “රාහුලය, යමෙකුට දැන දැන බොරු කීමේ ලජ්ජා නැති නම් ඔහුගේ මහණකමත් මෙසේ ම යටිකුරු වූවකැ” යි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ භාජනය උඩට හරවා තබා “රාහුලය, යමෙකුට දැන දැන බොරු කීමේ ලජ්ජාව නැති නම් ඔහුගේ මහණකම මෙසේ ම හිස් වූවකැ” යි වදාළ සේක.

ඉක්බිති තථාගතයන් වහන්සේ “රාහුලය, යුද බිමට ගෙන ගිය රජුගේ ඇතු සොඬ මුව තුළ ලා පරෙස්සම් කරමින් යම් තාක් අනික් ශරීරාවයව වලින් වැඩ කරන්නේ ද එතෙක් ඌ ජීවිතය නො හළේ ය. සොඬ ද පිටතට ගෙන එයිනුත් යුද කරන්නට පටන් ගත්තේ නම් ඌ ජීවිතාශාව හැර දැම්මේ ය. ඉන්පසු, ඌට නො කළ හැකි දෙයක් නැත. ඌ නො කරන දෙයක් නැත. රාහුලය, එසේ ම යම් පැවිද්දකු දැන දැන බොරු කීමේ ලජ්ජාව නැති ද ඔහුට නො කළ හැකි පාපයක් නැතැ යි මම කියමි. රාහුලය, එබැවින් සිනාවටවත් බොරුවක් නො කියමි යි හික්මිය යුතුය” යි වදාළ සේක.

බොරු කියන පැවිද්දා කෙබන්දෙක් ද යන බව මේ රාහුලෝවාදය අනුව සලකා ගත යුතු ය. මතු දැවෙන දේශනා ද පැවිද්දන් පාඩම් කර ගෙන විටින් විට සිහි කළ යුතු ය.

“ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ,

විතිණ්ණපරලෝකස්ස නත්ථි පාපං අකාරියං”

(ධම්මපද ලෝකවග්ග)

සත්‍යයෙහි පිහිටීම නැමති එක් ගුණධර්මයක් අත්හළ දැන දැන බොරු කියන්නා වූ පරලොවක් ගැන බලාපොරොත්තු හළ තැනැත්තාට නො කළ හැකි පවක් නැත.

“න මුණ්ඩකේන සමණෝ අබ්බතෝ අලිකං භණං,

ඉච්ඡාලෝභසමාපන්නෝ සමණෝ කිං භවිස්සති.”

(ධම්මපද ධම්මට්ඨ වග්ග)

හිස මුඩු කොට තිබීමෙන් ම පැවිද්දෙක් නො වේ. සිල් නැති බොරු කියන ඉච්ඡා - ලෝභ දෙකින් යුත් තැනැත්තා කෙසේ ශ්‍ර‍මණයෙක් වේ ද?