සුවච බව හෙවත් කීකරු බව

ආචාර්ය්‍යෝපාධ්‍යායාදීන් කරන අවවාදානුශාසනයන් ඒවාට පටහැණි නොවී, ප්‍ර‍ශ්න නො කර, ගෞරවයෙන් පිළිගන්නා බවත්, ධර්මය හා විනය ගෞරවයෙන් පිළිගන්නා බවත් සෝවචස්සතා ගුණය ය. එයට සුවච බව කීකරු බව යන නම් ද කියනු ලැබේ. මෙය පැවිද්දන් ගේ දියුණුවට හේතු වන ගුණයකි. මේ ගුණය විශේෂයෙන් ම නවක පැවිද්දන් කෙරෙහි තිබිය යුතු ය. මේ සස්නෙහි පැවිද්දකුට දියුණුව ලැබිය හැක්කේ ආචාර්ය්‍යෝපාධ්‍යායයන්ට කීකරු ව විසූ තරමට ය. අහංකාර වූ ඇතැම්හු ආචාර්ය්‍යෝපාධ්‍යායයන්ගේ අවවාදානුශාසනයන් පිළිගැනීමට නො කැමති වෙති. කිපෙන සුලු ඇතැම්හු වරද දක්වා අවවාද කරන කල්හි කිපෙති. ගුරුවරුන්ට පටහැණි වෙති. එබඳු පැවිද්දෝ මේ සස්නෙහි දියුණුවක් නො ලබති. ඔවුහු ආචාර්ය්‍යෝපාධ්‍යායයන් විසින් වර්ජනය කරන ලදුව රිසිසේ කලක් හැසිර සසුනෙන් පිහිටක් නොලබා කලක දී සිවුරු හැර යෙති. දෙලොවින් ම හෝ පිරිහෙති. බුදු සස්නෙහි පිහිටක් ලබනු කැමති, නිවන් පතා සසුන් වන් සැදැහැවත් කුල පුත්‍ර‍යන් විසින් සැම කල්හි ආචාර්ය්‍යොප්ධ්‍යායයන්ට කීකරුව හැසිරිය යුතු ය. වරද දක්වා තමන්ට අවවාදානුශාසනා කරන ආචාර්ය්‍යොපාධ්‍යායයන් සතුරන් සේ හිරිහැර කාරයන් සේ කිසිකලක නොසැලකිය යුතු ය. වරද දක්වා අවවාද කරන ආචාර්ය්‍යවරයා කරදර කරුවකු නොව ශිෂ්‍යයාගේ පරම කල්‍යාණ මිත්‍රයෙකි. එබැවින් තථාගතයන් වහන්සේ විසින් -

“නිධීනං ව පවත්තාරං යං පස්සේ වජ්ජදස්සිනං,

නිග්ගය්හවාදිං මේධාවිං තාදිසං පණ්ඩිතං භජේ”

තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති න පාපියෝ”

(ධම්මපදය පණ්ඩිත වග්ග)

යනු වදාරන ලදි.

ශිෂ්‍යයන්ගේ දියුණුව පතා වරද දුටු කල්හි තර්ජන කරමින් දඬුවම් දෙමින් ශිෂ්‍යයාට හට අවවාද කරන ආචාර්යවරයා දුගියකුට මහා නිධානයක් දක්වන්නකු නැති බවත්, දියුණුව පතන ශිෂ්‍යයන් විසින් එබඳු පණ්ඩිතයන් භජනය කළ යුතු බවත්, එබඳු පණ්ඩිතයන් භජනය කරන්නවුන්ට දියුණුවක් ම වන බවත්, පරිහානියක් නොවන බවත් මේ ගාථාවෙන් දැක්වේ.

සසුනෙහි දියුණුව පතන පැවිද්දන් විසින් රාහුල සාමණේරයන් මෙන්, වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් මෙන් ගුරුන්ට කීකරු ව හැසිරිය යුතුය. තථාගතයන් වහන්සේ ගේ ම දරුවකු වන “රාහුල” සාමණේරයන්ට උඩඟු වීමට කරුණු බොහෝ ඇත්තේය. එහෙත් “රාහුල සාමණේරයෝ” ඉතා ම නිහතමානී වෙති. දිනපතා උදෑසන දෝත පුරා වැලි ගෙන මේ වැලි කැට ගණනට මා හට තථාගතයන් වහන්සේගෙන් හා අචාර්ය්‍යෝපාධ්‍යායයන්ගෙන් අවවාදානුශාසනා ලැබේවා යි පතති. ඇතැම් භික්ෂූහු “රාහුල” සාමණේරයන් විමසනු පිණිස තැන්පත් කොට ඇති ඉදල් කූඩා මිදුලට දමා “රාහුල” සාමණේරයන් එන කල්හි “මේවා කාගේ වැඩ” දැ යි කථා කරති. තවත් අය “රාහුලයෝ ඔය පැත්තෙන් ගියහ. සිටියහ” යි කියති. ඒවා කියනු ඇසෙනු සමග ම “රාහුල සාමණේරයෝ” කිසිදු කතාවක් නැති ව ඒවා තැන්පත් කොට වැඩිමහල්ලන්ගෙන් ක්ෂමාව අයදිති. කිසි විටෙක ශුද්ධ වීමට කථා නො කරති. වැඩි මහලු භික්ෂූන් හා විවාදයට නො එළඹෙති. ඇතැම් පැවිද්දෝ කරන වරදක් දැක වැඩිහිටියකු අවවාදයක් කළහොත් “තමන් ගේ වැඩ බලා ගෙන සිටිනවා මිස කාගේවත් වැඩට ඇඟිලි ගසන්නට එන්න ඕනෑ නැත, අපේ වැඩ කර ගන්නා සැටි අපි දනිමු ය, ඔය පණ්ඩිත කම්වලින් අපට කමක් නැත” යනාදි වශයෙන් අවවාද කළ සත්පුරුෂයාට ගර්හා කරති. තර්ජනය කරති. ඒ වරද තව තවත් කරති. තමන් ගැන තමන් උසස් කොට සිතා සිටියත් එබඳු පුද්ගලයෝ මේ සස්නෙහි කසළයෝ ය.