වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයෝ

වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් විසූයේ ලක්දිව බැමිණිතියා සාය නමින් ප්‍ර‍සිද්ධ මහා දුර්භික්ෂය පැවති කාලයේ ය. ජීවත් විය නො හැක්කෙන් බොහෝ මනුෂ්‍යයෝ ගම් හැර කඳුකරයට වැද කැලෑ කොළ බුදිමින් ජීවත් වන්නට පටන් ගත්තෝ ය. බොහෝ භික්ෂූහු මහ සමුදුර තරණය කොට දඹදිවට යා ගත්හ.

වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් හා එතුමන් ගේ උපාධ්‍යායයෝ දඹදිව නො ගොස් ම මෙහි ම විසූහ. ඒ දෙනම ද “කොළ බුදින මිනිසුන් ඇසුරෙන් ජීවත් වන්නෙමු” යි ප්‍ර‍ත්‍යන්තය බලා ගමන් ගත්හ. ඒ දෙනමට සත් දිනක් ම කිසි අහරක් නො ලැබුණේය. සත් දිනකින් පසු සාමණේරයෝ පාලු ගමක තල් ගසෙක ගෙඩි දැක “ස්වාමීනි, මඳක් නවතිනු මැනව, තල් ගෙඩි කඩා වළඳමුය” යි උපාධ්‍යායයන්ට කීහ. උපාධ්‍යායයන් වහන්සේ “සාමණේරය, ඔබ දුබල ව සිටින්නෙහිය, තල් ගසට නො නැඟෙව” යි කීහ. “නැඟෙමි ස්වාමීනි” කියා සාමණේරයන් තල් ගෙඩි කපා හෙළන්නට තැත් කෙරෙත්ම පිහියා තලය ගැලවී බිම වැටිණ. මහතෙරුන් වහන්සේ දුබල ව ඉන්නා සාමණේර නම දැන් කුමක් කෙරේ දැ යි බලා උන්හ. නුවණැති සාමණේරයෝ තල් පතක් ඉරා පිහියා මට එහි බැඳ තවත් තල් පත් ඉර ඉරා එකිනෙකට ගැට ගසමින් පිහියා මිට බිමට එවූහ. උපාධ්‍යායෝ පිහිතලය එහි බහා ලූහ. සාමණේරයෝ එය ගෙනතල් ගෙඩි කපා හෙලූහ. මහතෙරහු පිහිය බිම හෙළවා තල් ගෙඩියක් කපා තබා සාමණේයන් බට කල්හි “දුබල වූ ඔබ මෙය වළඳව” යි කීහ. ගුරු භක්ති ඇති සාමණේරයෝ ඒ අමාරු අවස්ථාවේ දී ද ස්වකීය ආචාර්‍ය්‍යයන් වහන්සේට කලින් නො වැළඳූහ. “නුඹ වහන්සේට පළමු ව මම නො වළඳිමි” යි කියා, තල් ගෙඩි කපා මද උපුටා ආචාර්‍ය්‍යයන් වහන්සේට පිළිගන්වා පසුව සාමණේරයෝ වැළඳූහ. ඒ දෙන ම තල් ගෙඩි ඇති තෙක් එහි වැස ඉන් නික්ම කොළ බුදිනා මිනිසුන් වෙසෙන පෙදෙසෙහි එක් පාලු පන්සලකට පැමිණියෝ ය. සාමණේරයෝ තෙරුන් වහන්සේට වාසය කිරීමට තැනක් පිළියෙල කළහ. මහතෙරණුවෝ සාමණේරයන්ට අවවාද කොට එහි පිවිසියහ.

සාමණේරයෝ “අතීතයේ දී විපත්වලින් මැරෙන්නට සිදු වූ ආත්මවල ප්‍ර‍මාණයක් නැත. ජීවත් වන මේ ටික කාලයේ දී බුද්ධෝපස්ථානයක් කරමි” යි සෑ මලුවට ගොස් එය පිරිසිදු කරන්නට වන්හ. නිරාහාරත්වයෙන් ක්ලාන්තව සාමණේරයෝ බිම ඇද වැටුණා හ. ඉක්බිති එහි වැතිර සිට ගෙන තණ ගලවන්නට පටන් ගත්හ. කැලෑවෙහි ඇවිදින්නට ගිය මිනිසුන් සමූහයක් මී කඩා ගෙන ඒ සමීපයෙන් එන්නාහු තණ සෙලවෙනු දැක මුවෙක් දෝ යි විමසන්නාහු සාමණේරයන් දැක කරුණු විමසා ඔවුනට මී වද පිළිගන්වා “මේවා මහතෙරුන් වහන්සේට ද දී වළඳා මහතෙර නමත් කැඳවාගෙන අප වෙසන තැනට එන සේක්වා” යි ආරාධනා කොට ගියහ. සාමණේරයෝ තෙරුන් වහන්සේට සිදු වූ පුවත් සැල කොට මීවද මිරිකා පානයක් සාදා පිළිගැන්වූහ. මිනිසුන් ඔවුන් වසන තැනට එන්නට ආරාධනා කර ගිය බව ද තෙරුන් වහන්සේට දැන්වූහ. එකල්හි තෙරුන් වහන්සේ උදෑසන යෑම අපහසු ය. දැන්ම ම එහි යමුය යි කියා පාසිවුරු ගන්වා සාමණේරයන් හා පිටත්ව ගොස් ඒ මිනිසුන් වෙසෙන සමීපයේ සැතපුණාහ. ඒ සාමණේරයෝ පැවිදි වූ තැන් පටන් ම ආරණ්‍යක ධුතංගය රකින්නාහු ය. ආරණ්‍යකයෝ අරුණ නැඟෙන තුරු ගමක නො වෙසෙති. වුවමනාවක් සඳහා ගමකට ඇතුළු වූවාහු ද අරුණ නැඟීමට පෙරාතුව ගමින් බැහැර වෙති. එබැවින් සාමණේරයෝ අරුණට පළමු නැගිට පාත්‍ර‍ය ද ගෙන ගමෙන් පිටතට ගියහ. මහතෙරණුවෝ රාත්‍රියෙහි සාමණේරයන් නො දැක මිනීමස් කන්නවුන් විසින් සාමණේරයන් ගෙන යන්නට ඇතැයි සිතා ගත් හ. අරුණ නැගුණු පසු සාමණේරයෝ පාත්‍ර‍යට පැන් හා දැහැටි ද ගෙන තෙරුන් වහන්සේ කරා පැමිණියහ.

එකල්හි මහතෙරුන් වහන්සේ “සාමණේරය, ඔබ නො විචාරා රාත්‍රියෙහි පිටත ගොස් ගුරුන්ගේ සිත රිදවූයෙහිය, ඒ වරදට දඬුවම් විඳිය යුතුය” යි කීහ. සාමණේරයෝ දඬුවම් ලැබීමට නිසි කිසි වරදක් තමන් අත නැත ද, වැඩි කතාවට නො ගොස් “එසේය ස්වාමීනි” යි කියා ගුරු ගෞරවයෙන් එය පිළිගත්හ. මහතෙරුන් වහන්සේ මුව සෝදා සිවුරු පොරවා ගත්හ. ඉක්බිති දෙනම ම මිනිසුන් වසන තැනට ගොස් ඔවුන්ගෙන් ලත් දෑ වළඳා විහාරයට පෙරළා ආහ. සාමණේරයෝ මහතෙරුන් වහන්සේගෙන් පා සෝදන්නට ඇසූහ. එකල්හි තෙරුන් වහන්සේ “සාමණේරය, තෙපි රාත්‍රියේ කොහි ගොස් අප සිතට කරදර කළාහු දැ” යි ඇසූහ. එකල්හි සාමණේරයෝ “ස්වාමීනි, මා කිසි දිනක අරුණ උදාවන තෙක් ගමක වාසය කර නැ. එබැවින් අරුණට පළමු නැගිට ගමින් පිටතට ගියෙමි” යි කීහ. මහතෙරුන් වහන්සේ “සාමණේරය, එසේ නම් දඬුවම් ලැබිය යුත්තෝ තොප නොව අප ම නො වෙත්දැ”යි කියා ඒ විහාරයෙහි ම විසූහ.

ඒ මහතෙරුන් වහන්සේ අනාගාමී කෙනෙකි. පසු කාලයේ දී උන් වහන්සේ මිනීමස් කන්නවුන්ට අසු වූහ. පරම ගුරු භක්තියෙන් යුක්ත වූ සුවච වූ “වත්තබ්බක නිග්‍රෝධයෝ” මහතෙරුන් වහන්සේගේ අනුශාසනාව පරිදි පරෙස්සම් වී සිට නැවත රට සශ්‍රීක වූ පසු උපසම්පදාව ලබා සුප්‍ර‍සිද්ධ ත්‍රිපිටකධාරී මහතෙර නමක් වූහ.