පැවිදි වූවන් විසින් කළ යුත්ත

“යේ තේ භික්ඛවේ, භික්ඛු නවා අචීරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තේ වෝ භික්ඛවේ, භික්ඛු චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපේතබ්බා නිවේසේතබ්බා පතිට්ඨපේතබ්බා.”

(සතිපට්ඨාන සංයුත්ත)

“මහණෙනි, අලුත පැවිදි වූ මේ ධර්මවිනයට අලුත ආවා වූ යම් ඒ භික්ෂූහු වෙත් ද, මහණෙනි, තොප විසින් ඒ භික්ෂූන් සතර සතිපට්ඨානයන් භාවනා කිරීමෙහි යෙදවිය යුත්තාහුය, සතිපට්ඨාන භාවනාවට ඇතුළු කර විය යුත්තාහුය, පිහිටවිය යුත්තාහුය” යනු එහි තේරුමය.

තථාගතයන් වහන්සේ විසින් අන් කිසිවක් සඳහන් නො කොට අලුත් පැවිද්දන් සතිපට්ඨාන භාවනාවෙහි යොදන ලෙස වදාරා තිබෙන්නේ පැවිද්දන් විසින් කළ යුතු ප්‍ර‍ධාන දෙය භාවනාව වන නිසාය. ගිහි ගෙය අවකාශ මඳ පහසුකම් මඳ තැනකි. පැවිද්ද වනාහි ජීවනෝපායක් වශයෙන් ඇති කරන ලද්දක් නොව තථාගතයන් වහන්සේ විසින් සසර දුකින් මිදෙනු රිසි කුලපුත්‍ර‍යන් හට භාවනාවෙහි යෙදීම සඳහා විවේකයත් පහසුකමත් ඇති වනු සඳහා ඇති කරන ලද්දකි. ශ්‍ර‍මණකෘත්‍යයි කියනුයේ භාවනාවටය. භාවනාව ශීලයෙහි පිහිටා කළ යුත්තකි. පැවිදි වූ තැනැත්තා ශීලයෙහි පිහිටීම් වශයෙන් භාවනා භූමිය සකස් කර ගත්තෙක් වේ. පැවිදි වූ තැනැත්තා විසින් සීලයෙහි පිහිටීම් මාත්‍රයෙන් නැවතුන හොත් එය කුඹුරු සකස් කොට වී නො වපුරා හැරීමක් වැනිය. පැවිද්දෙන් ලැබිය යුතු උසස් ප්‍රයෝජනය ලබන්නට නම් භාවනා කළ යුතුමය. උගෙනීම්, උගැන්වීම්, බණ පිරිත් කීම්, ගෝලයන් තැනීම්, පන්සල් රැකීම්, දියුණු කිරීම්, ප්‍ර‍තිසංස්කරණය කිරීම්, සඟ සතු දේ ආරක්ෂා කිරීම්, ගිහියන්ගේ ආගමික වැඩවලට සහාය වීම් යන මේවා ද සර්වඥශාසනයේ චිරස්තිථිය පිණිස පැවිද්දන් විසින් කළයුතු ය. කුමක් කළත් පැවිද්දා විසින් භාවනාව නො හළ යුතු ය. දිනයේ භාවනාවට කාලයක් සෑම පැවිද්දකු විසින් ම වෙන් කර ගත යුතුය. අන් වැඩවල නො යෙදී මුළු කාලය ම භාවනාවට යොදන පැවිද්දා ගේ ජීවිතය වඩා සරු ය. අන් කුමක් කළත් භාවනාව නො කරන පැවිද්දාගේ ජීවිතය නිසරු ය.

භාවනාව හැර දමා තිබීම භික්ෂූන්ගේ තත්ත්වය පහළ වැටීමේ එක් හේතුවකි. මෙලොව ම අත් දැකිය හැකි බොහෝ අනුසස් භාවනාවෙහි ඇත්තේ ය. උත්පත්තියෙන් අවාසනාවත් පුද්ගලයෝ කලක් භාවනාවෙහි යෙදීමෙන් භාග්‍යවත් පුද්ගලයෝ වෙති. භාවනාවෙන් රාගාදි කෙලෙස් තුනී වේ. එයින් කෙලෙසුන් නිසා වන විපතින් මිදේ. ආත්ම ශක්තියක් නැති ඇතැම් පැවිද්දෝ පොහොසත් ගිහියන් උසස් ගිහියන් දුටු කල්හි නිකම්ම දැපනය වෙති. ඔවුනට අවනත වෙති. කයින් නො වැන්දත් සිතින් ඔවුනට වඳිති. රජකු ඉදිරියේ වුව ද හිස නො නමා පෙනී සිටිය හැකි ආත්ම ශක්තියක් තේජසක් භාවනාවෙන් ලැබේ. අනුන් කීකරු කර ගත හැකි වීමේ ශක්තියක් ද ලැබේ. තමාට වුවමනා චීවරාදි ප්‍ර‍ත්‍යයන් නිරුත්සාහයෙන් ම ලැබීමේ ශක්තියක් ද ලැබේ. නොයෙක් දේ තේරුම් ගත හැකි ගැඹුරු කරුණු නිවැරදි ලෙස තේරුම් ගත හැකි තියුණු ඥාන ශක්තියක් ද ලැබේ.

භාවනාවෙන් ලැබිය හැකි ඉහත කී අනුසස් ලැබිය හැකි වීමට නම් ක්‍ර‍මානුකූලව භාවනාවෙහි යෙදිය යුතුය. භාවනා කරමි යි කියා යමක් පාඩම් කර ගෙන කී පමණකින් යම් කිසි විශේෂයක් දැකිය හැකි නො වන බව ද දත යුතු ය.