දුසිල් බැව්හි නපුර

star_outline

පැවිද්දන් විසින් ජීවිතයට නො දෙවෙනි කොට තමන් ගේ ශීලය ආරක්ෂා කළ යුතුය. ශීලය බිඳී අශ්‍ර‍මණ භාවයට පත් වූ තැනැත්තකු විසින් සිල්වත් පැවිද්දන් අතර සිල්වතකු සැටියට පෙනී සිටීමත් සැදැහැතියන් විසින් සිල්වත් බව සලකා කරන වන්දනාව පිළිගැනීමත්, තථාගතයන් වහන්සේ විසින් සිල්වතුන්ට පමණක් අනුදැන වදාළ සිවු පසය පරිභෝග කිරීමත්, සිල්වත් පැවිද්දන් ගෙන් ගරු බුහුමන් ලැබීමත්, විනය කර්මවලට සහභාගී වීමත් ඉතා බරපතළ කරුණුය.

“කුසෝ යථා දුග්ගහිතෝ හත්ථමේවානුකන්තති.

සාමඤ්ඤං දුප්පරාමට්ඨං නිරයාය උපකඩ්ඪති.”

(ධම්මපද නිරයවග්ග)

“නොමනා කොට ගන්නා ලද කුසතණය යම් සේ අත කපා ද එමෙන් නො මනා කොට ගන්නා ලද පවත්වන ලද පැවිද්ද ඒ පුද්ගලයා නරකයට ඇද දමාය” යනු එහි තේරුමය.

දුශ්ශීල මහණකු විසින් සැදැහැතියන් කරන වැඳීම පිළිගැනීම කෙණ්ඩා දෙක්හි ශක්තිමත් රැහැනක් වෙළා බලවත් පුරුෂයන් දෙදෙනකු විසින් සම් මස් නහර ඇට කැපෙන තුරු දෑතට ඇදීමෙන් වන දුකට ද, තියුණු වූ පිහියකින් හෝ කිනිස්සකින් පපුවට ඇනීමෙන් වන දුකට ද වඩා නපුරු දරුණු දුකකට හේතුවක් බව තථාගතයන් වහන්සේ විසින් අග්ගික්ඛන්ධෝපම සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.

තවද දුශ්ශීලව හිඳ සැදැහැතියන් දෙන සිවුරු හැඳ පෙරවා සිටීම ගිනියම් වූ යකඩ තහඩුවක් කයෙහි වෙළීමෙන් වන දුකට වඩා නපුරු දරුණු දුකකට හේතු වන බවත්, සැදැහැතියන් දෙන ආහාර වැළඳීම ගිනියම් වූ අඬුවකින් කට හරවා ගිනියම් වූ ලොහොගුළි දැමීමෙන් වන දුකට වඩා නපුරු දුකකට හේතු වන බවත්, සැදැහැතියන් දෙන ඇඳ පුටුවල හිඳීම, ගිනියම් වූ යකඩ ඇඳ පුටුවල හිඳවීමෙන් නිදි කරවීමෙන් වන දුකට වඩා මහත් දුකකට හේතු වන බවත්, දුශ්ශීල ව හිඳ සැදැහැතියන් විසින් කරවා දුන් පන්සල්වල විසීම, පය උඩටත් හිස යටටත් සිටින සේ කකියන ලෝදිය සැළක බහා ලීමෙන් වන දුකට වඩා මහත් වූ දුකකට හේතු වන බවත් අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේ වදාරා ඇත්තේ ය.

විසුද්ධිමග්ගයෙහි එන මේ ගාථා පෙළ පාඩම් කර ගැනීම මැනවි.

“අභිවාදන සාදියනේ

කිං නාම සුඛං විපන්නසීලස්ස,

දළ්හවාළ රජ්ජුඝංසන

දුක්ඛාධිකදුක්ඛස්ස යං හේතු,”

දුශ්ශීලයාහට අනුන්ගෙන් වැඳුම් ගැනීමෙහි කිනම් සුවයෙක් ද? ඒ වැඳුම් ගැනීම, වල්ගා කෙඳිවලින් ඇඹරූ දැඩි යොතක් කෙණ්ඩාවල පටලවා දෑතට ඇදීමෙන් වන දුකට වඩා මහත් දුකකට හේතුවකි.

“සද්දානමඤ්ජලීකම්ම

සාදියනේ කිං සුඛං අසීලස්ස,

සත්තිප්පහාර දුක්ඛා -

ධිමත්ත දුක්ඛස්ස යං හේතු.”

සැදැහැතියන් දෙ අත් ඔසොවා කරන වැඳීම ඉවසීමෙහි සිල් නැතියහුට කිනම් සුවයෙක්ද? ඒ වැඳුම් ඉවසීම පපුවට දෙන සැත් පහරකින් වන දුකට වඩා මහත් දුකකට හේතුවෙක.

“චීවර පරිභෝග සුඛං

කිං නාම අසඤ්ඤතස්ස,

යේන චිරං අනුභවිතබ්බා

නිරයේ ජලිත අයෝපට්ටසම්ඵස්සා.”

හික්මීමක් නැත්තහුට සිවුරු පරිභෝග කිරීමෙහි කිනම් සුවයෙක් ද? ඔහු චිරකාලයක් නරකයෙහි ගිනියම් වූ යකඩ තහඩුවල පහස අනුභව කළ යුතු ය.

“මධුරෝ පි පිණ්ඩපාතෝ

හලාහලවිසූපමෝ අසීලස්ස,

ආදිත්තා ගිලිතබ්බා

අයෝගුළා යෙන චිරරත්තං.”

මිහිරි වූ ද ආහාරය සිල් නැතියහුට හලාහල විෂයක් බඳු ය. ඔහු චිර කාලයක් නරකයෙහි ගිනියම් වූ ලොහොගුළි ගිලිය යුතුය.

“සුඛසම්මතෝ පි දුක්ඛෝ

අසීලිනෝ මඤ්චපීඨපරිභෝගෝ,

යං බාධිස්සන්ති චිරං

ජලිත අයෝමඤ්චපීඨානි.”

සැපය යි සම්මත වූ ද ඇඳ පුටු පරිභෝගය සිල් නැත්තහුට දුකෙක. ඔහුට චිර කාලයක් නරකයෙහි ගිනියම් වූ ඇඳ පුටු පීඩා කරන්නේ ය.

“දුස්සීලස්ස විහාරේ

සද්ධාදෙය්‍යම්හි කා නිවාස රති,

ජලිතේසු නිවසිතබ්බං

යේන අයෝකුම්භි මජ්ඣෙසු.”

දුශ්ශීලයාහට සැදැහැවතුන් දුන් විහාරයෙහි වාසය කිරීමෙහි කිනම් සතුටක් ද? ඔහු ගිනියම් වූ ලෝදිය සැළි තුළ විසිය යුතුය.

“සංකස්සර සමාචාරෝ

කසම්බුජාතෝ අවස්සුතෝ පාපෝ,

අන්තෝ පූති ච යං

නින්දන්තෝ ආහ ලෝකගරු.”

ඒ දුසිල් මහණාට නින්දා කරන තථාගතයන් වහන්සේ දුසිල් මහණා සැක කළ යුතු පැවතුම් ඇතියෙ කැ යි ද, සිල්වතුන් විසින් බැහැර කරන කසළයෙකැයි ද, දුසිල් බැවින් ඇතුළ කුණු වූවෙකැයි ද, ෂඩ්ද්වාරයෙන් ගලන කෙලෙසුන් නිසා පිටත තෙත් වූවෙකැයි ද, පාපියෙකැයි ද වදාළ සේක.

“ධිජ්ජිවිතං අඤ්ඤස්ස

තස්ස සමණානවේසධාරිස්ස,

අස්සමණස්ස උපහතං

ඛතමත්තානං වහන්තස්ස.”

ගුණ නසා ගත්තා වූ ගුණ සාරා දැමු ආත්මයක් දරන්නා වූ අශ්‍ර‍මණ වූ ඒ ශ්‍ර‍මණ වේශධාරියා ගේ අවාසනාවත් ජීවිතය පිළිකුලෙක.

“ගූථං විය කුණපං විය

මණ්ඩනකාමා විවජ්ජයන්තීධ,

යං නාම සීලවන්තෝ

සන්තෝ කිං ජීවිතං තස්ස”

සැරසෙනු කැමතියන් අසුචිය වර්ජනය කරන්නාක් මෙන් මළ කුණ වර්ජනය කරන්නාක් මෙන් සිල්වත් වූ සත්පුරුෂයෝ යමකු වර්ජනය කෙරෙත් ද: ඔහුගේ ජීවිතය කුමට ද?

සබ්බ භයේහි අමුත්තෝ

මුත්තො සබ්බේහි අධිගම සුඛෙහි,

සුපිහිතසග්ගද්වාරෝ

අපායමග්ගං සමාරූළ්හෝ.”

“කරුණාය වත්ථුභූතෝ

කාරුණිකජනස්ස නාම කෝ අඤ්ඤෝ,

දුස්සීලසමෝ දුස්සීලතාය

ඉති බහුවිධාපි දෝසා.”

සකල භයයන්ගෙන් නොමිදුණා වූ, සකල අධිගම සුඛයන්ගෙන් මිදුණා වූ, වසන ලද ස්වර්ගද්වාර ඇත්තා වූ, අවාමගට බැස ගත්තා වූ, කාරුණික ජනයා ගේ කරුණාවට වස්තු වන පුද්ගලයා දුස්සීලයා හැර අන් කවරෙක් වේද? මෙසේ දුශ්ශීලයා ගේ බහුප්‍ර‍කාර දෝෂයෝ කියන ලද්දාහ.

අග්ගික්ඛන්ධෝපම සූත්‍ර‍ය දේශනා කර ඇත්තේ ශ්‍ර‍මණත්වයෙන් සම්පූර්ණයෙන් පිරිහී අශ්‍ර‍මණභාවයට පැමිණ ශ්‍ර‍මණයන් ලෙස පෙනී සිටින දුශ්ශීලයන් සඳහා ය. ඒ බව ඒ සූත්‍රයෙහි එන “අස්සමණෝ සමණ පටිඤ්ඤෝ” යනාදි වචනවලින් පෙනේ.

“ඒකවීසතිවිධාය අනේසනාය ජීවිකං කප්පෙන්තෝ අනිපකවුත්ති නාම හෝති, න පඤ්ඤාය ඨත්වා ජවිකං කප්පේති, තතෝ කාලකිරියං කත්වා සමණයක්ඛෝ නාම හුත්වා තස්ස සංඝාටිපි ආදිත්තා හෝති සම්පජ්ජලිතා”

යනුවෙන් කුඩා කුඩා සිකපද මඩින අනේසනාදියෙන් ජීවත් වන පැවිද්දන් ද මරණින් මතු ගිනි ගත් පා සිවුරු දරණ ශ්‍ර‍මණ යක්ෂයන් වන බව මජ්ඣිම නිකායේ කන්දරක සූත්‍ර‍ අටුවාවෙහි දක්වා තිබේ. කසුප් බුදුන් වහන්සේ ගේ සස්නෙහි නො මනා කොට මහණකම් කිරීමෙන් ප්‍රේතත්වයට පැමිණ ගිනි ගත් පාසිවුරු දරා හඬමින් ඉන්නා භික්ෂු භික්ෂුණී ශික්ෂමාන සාමණේර සාමණේරී ප්‍රේතයන් ගිජුකුළු පවුවෙහි සිටිනු ලක්ඛණ තෙරුන් වහන්සේ විසින් දුටු බව සංයුක්ත නිකායේ ලක්ඛණ සංයුක්තයේ දක්වා තිබේ. කරුණු මෙසේ හෙයින් නො මනා කොට මහණකම් කිරීම ඉතා භයානක බව දත යුතුය.