මලමුත්‍ර කිරීම පිළිබඳ සිකපද

1. ඨිතෝ අගිලානෝ උච්චාරං වා පස්සාවං වා කරිස්සාමීති සික්ඛා කරණියා.

ගිලන් බවක් නැති තැනැත්තා විසින් සිට ගෙන මලමුත්‍ර‍ නො කළ යුතු ය. මෙහි අදහස් කරන ගිලන් බව වාඩිවීමට අපහසු බව ය. වාඩිවී මුත්‍ර‍ කරන කල්හි සමහරුන්ගෙන් සම්පූර්ණයෙන් මුත්‍ර‍ පිට නො වේ. එයත් එක්තරා ආබාධයෙකි. එබඳු තැනැත්තාට ද සිට ගෙන මුත්‍ර‍ කිරීමෙන් ඇවැත් නැත.

2. න හරිතේ අගිලානෝ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරිස්සාමීති සික්ඛා කරණියා.

නො මළ තණ ආදිය මතුයෙහි මලමුත්‍ර‍ නොකළ යුතුය. කෙළ ගැසීම නො කළ යුතුය. ජීවත් වන ගසක මතු වී ඇති මුලක් උඩ වුවද කෙළ ගැසීම් ආදිය නොකළ යුතුය. සෙම් සොටු දැමීම ද කෙළ ගැසීමට ඇතුළත් බව සැලකිය යුතුය. තණ ආදිය නැති තැනක කළ මුත්‍ර‍ පසු ව තණ ආදියට ගලා ගියේ ද ඇවැත් නො වේ. ජීවත් වන ගසක මුලක් මත වාඩි වී බිමට මල මුත්‍ර‍ කිරීමෙන් ඇවැත් නැත.

3. න උදකේ අගිලානෝ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරිස්සාමීති සික්ඛා කරණියා.

ගිලනකු නො වී පරිභෝගයට සුදුසු ජලයෙහි මල මුත්‍ර‍ නො කළ යුතුය. කෙළ ගැසීම නො කළ යුතුය. පරිභෝගයට සුදුසු නො වන සමුද්‍ර‍ ජලාදියෙහි කෙළ ගැසීම් ආදියෙන් ඇවැත් නැත. ජලය ගලා සෑම තැන ම යට වී ඇති අවස්ථාවෙහි ද ඇවැත් නැත.