දන් වැළඳීම පිළිබඳ සික පද

දන් වැළඳීම සම්බන්ධයෙන් පනවා වදාළ සේඛියා සික පද තිසක් ඇත්තේ ය. ඒවා මෙසේ ය: -

1. සක්කච්චං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණියා.

සිහියෙන් යුක්තව ආහාර පිළිගැනීම කළ යුතු ය. අහක දමන්නට ගන්නාක් මෙන් තමා වළඳන්නා වූ ද, නො වළඳන්නා වූ ද, සෑම දෙය ම බෙදන තරමක් බෙදන්නට හැර බලා සිටීම නො කළ යුතු ය.

2. පත්තසඤ්ඤි පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණියා.

පාත්‍ර‍යට යොමු කළ සිත් ඇති ව ආහාර පිළිගත යුතු ය. පාත්‍ර‍ය හැර අන් බඳුනක වළඳනවා නම් එයට සිත යොමු කොට ආහාර පිළිගත යුතු ය. වට පිට බලමින් නො සැළකිල්ලෙන් ආහාර පිළිගැනීම නො කළ යුතු ය.

3. සමසූපකං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණියා.

බතට සෑහෙන පමණට සූප පිළිගත යුතු ය. මේ සිකපදයෙහි “සූපයයි” දැක්වෙන්නේ මුං, මෑ, කඩල, පරිප්පු ආදි ඇට වර්ගවලින් පිසූ අතින් ගත හැකි තරමට ඝන වූ ව්‍යඤ්ජනයට ය. ඒ සූපය පිළිගත යුත්තේ බතින් සතරෙන් කොටසක් පමණකි. අධික ව පිළිගැනීමෙන් ඇවැත් වේ. සූපයෙන් අන්‍ය වූ ව්‍යඤ්ජන කැමති පමණක් පිළිගත හැකි ය. නෑයන් ගෙන් හා කැපකරුවන් ගෙන් ද අධික ව පිළිගැනීමෙන් ඇවැත් නො වේ. අනිකකු උදෙසා පිළිගැනීමෙන් ද තමා ගේ ධනයෙන් ගැනීමෙන් ද ඇවැත් නො වේ.‍

4. සමතිත්තිකං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණියා.

පාත්‍ර‍ ගැටියේ යටිපැත්තේ මට්ටමට පමණක් ආහාර පිළිගත යුතු ය. ගැටියෙන් උඩට සිටිනා සේ පිළිගැනීමෙන් ඇවැත් වේ. පිළිගන්නා කල්හි පාත්‍ර‍ ගැටියෙන් උඩට සිටියේ ද සම කළ කල්හි ඒ උඩට තුබූ ආහාරය යටට බසී නම් පිළිගැනීමෙන් වරදක් නැත. මේ සික පදය පනවා ඇත්තේ අධිෂ්ඨානයට යෝග්‍ය පාත්‍ර‍ය ගැන ය. අධිෂ්ඨානයට ප්‍ර‍මාණ නොවන කුඩාපාත්‍ර‍යක හෝ අන් බඳුනක හෝ ආහාර පිළිගැනීමේ දී ගැටියෙන් උඩට සිටිනා සේ පිළිගැනීමෙන් ඇවැත් නොවේ. කොළයක හෝ අන් බඳුනක බහා පාත්‍රයේ බතට උඩින් තබා දෙන දෙය ගැටියට උඩින් සිටිනා සේ පිළිගත හැකිය.

සාමණේර පැවිද්දන්ට ඇවැත් නැත. ඇවැත් සිදු වන්නේ උපසම්පදා භික්ෂූන්ට ය. මේ සේඛියා සික පද වලින් ඇවැත් වීම කියන සෑම තැන ම සාමණේරයන් දඬුවම් ලැබිය යුතු බව දත යුතු ය.

5. සක්කච්චං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

සිහියෙන් යුක්ත ව ආහාරය ගැන සැලකිල්ලක් ඇති ව ආහාර වැළඳීම කළ යුතු ය. වුවමනාවක් නැතුවක් මෙන් ක්‍රීඩාවක් මෙන් නොසැලකිල්ලෙන් ආහාර වැළඳීම නො කළ යුතු ය.

6. පත්තසඤ්ඤි පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

පාත්‍ර‍යට යොමු කළ සිත් ඇති ව ආහාර වැළඳිය යුතු ය. අනාදරයෙන් වට පිට බලමින් ආහාර වැළඳීමෙන් ඇවැත් වේ.

7. සපදානං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

ආහාර බඳුනෙහි තැනිත් තැනින් නො වළඳා පිළිවෙළින් වැළඳිය යුතු ය. තැනින් තැන බෙදා ඇති ව්‍යඤ්ජනාදිය ගෙන වැළඳීමෙන් ඇවැත් නැත.

8. සමසූපකං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

බතට සෑහෙන පමණට සූපයන් වැළඳිය යුතු ය. අනාදරයෙන් සූපය ම බොහෝ කොට වැළඳීමෙන් ඇවැත් වේ. ආහාර වැළඳීමට අපහසු රෝගීන්ට රිසි සේ වැළඳීමෙන් ඇවැත් නො වේ.

9. න ථූපතො ඔමද්දිත්වා පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

මුදුනෙන් අනා ආහාර වැළඳීම නො කළ යුතු ය. එක් කොනක පටන් වැළඳිය යුතු ය. ආහාර ස්වල්පයක් ඉතිරි වූ පසු සියල්ල එක් කොට අනා වැළඳීමෙන් ඇවැත් නො වේ.

10. න සූපං වා බ්‍යඤ්ජනං වා ඔදනෙන පටිච්ඡාදෙස්සාමි භීය්‍යොකම්‍යතං උපාදායාති සික්ඛා කරණියා.

සූප හෝ ව්‍යඤ්ජන වැඩියෙන් ලබා ගැනීම සඳහා බතින් නො වැසිය යුතු ය. බෙදූ අය වසා බෙදා ඇති කල්හි වැළඳීමෙන් වරද නැත.

11. න සූපං වා ඔදනං වා අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

නොගිලන් වූවකු විසින් බත් හෝ ව්‍යඤ්ජන හෝ ඉල්ලා වැළඳීම නො කළ යුතුය. අනෙකකු ගේ ප්‍රයෝජනය පිණිස ඉල්ලීමෙන් ඇවැත් නොවේ. නෑයන් ගෙන් කැප කරුවන් ගෙන් ඉල්ලීමෙන් ද ඇවැත් නො වේ. තමා ගේ ධනයෙන් පිළියෙළ කළ දෙය ඉල්ලා වැළඳීමෙන් ද ඇවැත් නොවේ. “දානශාලාවලදී අසවල් ව්‍යඤ්ජනය ගෙනෙන්න ය, අසවල් දෙය දෙන්න ය” කියා ගිහියන්ගෙන් ඉල්ලීම ඉතා අශෝභන ය. එ බැවින් ගිහියන් දෙන දෙයකින් පමණක් සතුටු වන්නට පුරුදු විය යුතු ය.

12. න උජ්ඣානසඤ්ඤි පරෙසං පත්තං ඔලොකෙස්සාමීති සික්ඛා කරණියා.

අවමන් කිරීමේ අදහසින් අනුන්ගේ පාත්‍ර‍ය නො බැලිය යුතු ය. අඩුවක් ඇති නම් දීම පිණිස හෝ දෙවීම පිණිස බැලීමෙන් ඇවැත් නො වේ.

13. නාතිමහන්තං කබලං කරිස්සාමීති සික්ඛා කරණියා.

බත්පිඬු මහත් කොට ගෙන වැළඳීම නො කළ යුතු ය. “මයූරණ්ඩං අතිමහන්තං කුක්කුටණ්ඩං අතිඛුද්දකං තෙසං වෙමජ්ඣප්පමාණො.” මොනර බිත්තරය ඉතා මහත් ය. කකුළු බිත්තරය ඉතා කුඩාය, ඒ දෙකට අතර සිටිනා බත් පිඬ ප්‍ර‍මාණවත්ය යි විනය අටුවාවෙහි දැක්වේ. එබැවින් මධ්‍යම ප්‍ර‍මාණයට බත් පිඬු කොට ගෙන වැළඳිය යුතු ය.

14. පරිමණ්ඩලං ආලොපං කරිස්සාමීති සික්ඛා කරණියා.

හාත්පසින් වට කොට බත් පිඬු තනා වැළඳිය යුතු ය. දික් කොට බත් පිඬු තනා නො වැළඳිය යුතු ය. අමතක වීමකින් නො මනා ලෙස පිඩු කිරීමෙන් ඇවැත් නො වේ. නොසැලකිල්ල නිසා කළ හොත් ඇවැත් වේ.

15. න අනාහටෙ කබලෙ මුඛද්වාරං විවරිස්සාමීති සික්ඛා කරණියා.

බත් පිඬ මුව වෙතට ගෙන යන්නට කලින් කට නො හැරිය යුතුය.

16. න භුඤ්ජමානො සබ්බං හත්ථං මුඛෙ පක්ඛිපිස්සාමීති සික්ඛා කරණියා.

වළඳන කල්හි සම්පූර්ණ අත මුව තුළට නො යැවිය යුතු ය.

17. න සකබලෙන මුඛෙන බ්‍යාහරිස්සාමීති සික්ඛා කරණියා.

ආහාර මුව තුළ තිබිය දී කථා නො කළ යුතුය. මේ සිකපදයෙන් වරද වන්නේ වචන සම්පූර්ණ කොට නො කිය හැකි වන තරමට මුව තුළ ආහාර තිබිය දී කථා කිරීමෙනි. කථා කිරීමේ දී එයට බාධාවක් නොවන තරමට ස්වල්පයක් ආහාර තිබිය දී කථා කිරීමෙන් වරද නැත.

18. න පිණ්ඩුක්ඛෙපකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

ආහාරය මුව තුළට වීසි කරමින් වැළඳීම නො කළ යුතු ය.

19. න කබලාවච්ඡේදකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

බත් පිඩ මුවින් කඩ කඩා නො වැළඳිය යුතු ය. කැවිලි පලතුරු ආදිය එසේ වැළඳීමෙන් ඇවැත් නො වේ.

20. න අවගන්ඩකාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

වඳුරන් මෙන් ආහාර හක්කේ තබා ගෙන නො වැළඳිය යුතු ය. පලතුරු එසේ වැළඳීමෙන් ඇවැත් නො වේ.

21. න හත්ථනිඩූනකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

අත ගසා දමමින් ආහාර වැළඳීම නො කළ යුතු ය. කුණු රොඩු ඉවත ලීම පිණිස අත ගසා දැමීමෙන් ඇවැත් නො වේ.

22. න සිත්ථාවකාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

බත් හුළු විසුරුවමින් ආහාර වැළඳීම නො කළ යුතුය. එක බත් හුළකුදු වළඳන තැන නො වැටෙන ලෙස පිරිසිදු ලෙස වැළඳීම පැවිද්දන් විසින් පුරුදු කර ගත යුතු ය. කුණු කසන ඉවත් කිරීමේ දී බත් හුළු බිම වැටීමෙන් ඇවැත් නො වේ.

23. න ජිව්හානිච්ඡාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

දිව එළියට දම දමා ආහාර නොවැළඳිය යුතු ය.

24. න චපුචපුකාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා

තලු ගස ගසා ආහාර නොවැළඳිය යුතුය.

25. න සුරුසුරු කාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

සුරුසුරු යන හඬ නඟමින් ආහාර වැළඳීම නොකළ යුතු ය. සමහරුන් කිරි - කැඳ ආදි දේවල් වළඳන කල්හි එ බඳු හඬක් ඇති වන පරිදි උර උරා වළඳති. එසේ නො කළ යුතුය.

26. න හත්ථනිල්ලේහකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

අත ලෙව ලෙවා ආහාර වැළඳීම නොකළ යුතුය. එය බලා සිටින්නවුන්ට අප්‍රිය දර්ශනයකි.

27. න පත්තනිල්ලේහකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

ඇඟිලිවලින් පාත්‍ර‍ය සූරා නොවැළඳිය යුතුය.

28. න ඔට්ඨනිල්ලේභකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.

ආහාර වැළඳීමේ දී දිවෙන් තොල් ලෙවීම නොකළ යුතුය.

29. න සාමිසෙන හත්ථෙන පානීයථාලකං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණියා.

ඉඳුල් තැවරුණ අතින් පැන් බඳුන නොපිළිගත යුතුය. තමා සතු භාජනයක් වුව ද නොගත යුතුය. අතේ කොටසක ඉඳුල් තැවරී තිබිය දී ඉඳුල් නැති තැනකින් ඇල්ලීමෙන් වරද නැත. සේදීම පිණිස ගැනීමෙන් ද ඇවැත් නො වේ. අමතක වීමෙන් හෝ ආපදාවකදී හෝ ගැනුමෙන් ද ඇවැත් නො වේ.

30. න සසිත්ථකං පත්තධොවනං අන්තරඝරේ ඡඩ්ඩෙස්සාමීති සික්ඛා කරණියා.

බත්හුලු සහිත පාත්‍ර‍ සේදූ දිය ඇතුළු ගමෙහි නො දැමිය යුතුය. බත්හුලු දියෙන් ඉවත් කොට හෝ දිය කොට හෝ දැමීමෙන් ඇවැත් නැත. පාත්‍ර‍ සේදූ වතුර දමන භාජනයකට දැමීමෙන් ද ඇවැත් නැත.

මේ සිකපද රකිමින් බලා සිටින්නවුන්ට අප්‍ර‍සාදයක් පිළිකුලක් ඇති නො වන අන්දමට එකට වළඳන භික්ෂූන්ට පිළිකුලක් ඇති නොවන පරිදි ශීලාචාර ලෙස දන් වළඳන්නට පුරුදු කර ගත යුතුය. වතුර, බත් ව්‍යඤ්ජන ආදිය ඉහිරීමෙන් කටු ලෙලි ආදිය දැමීමෙන් වළඳන තැන අපවිත්‍ර‍ නොකළ යුතුය. පමණට වඩා ආහාර නො පිළිගත යුතු ය. හැඳි ගැටෙන හඬ ඇති නො වන පරිදි කිරි ආදිය සෙමින් වැළඳිය යුතුය. අනුන්ට පිළිකුල් වන කෑරීම් සොටු සීරීම් නො කළ යුතුය. අසවල් අසවල් දෙය ගෙනෙන්නටය කියා ඉල්ලීම නො කළ යුතුය.