කායබන්ධනය

“අනුජානාමි භික්ඛවෙ, ද්වේ කායබන්ධනානි පට්ටිකං සූකරන්තකන්ති” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් කායබන්ධන දෙකක් අනුදැන වදාරා තිබේ. එහි පට්ටික යනු ඇතුළත කුහරයක් නොසිටින සේ වියන ලද පටිය ය. සූකරන්තක යනු කුහරයක් ඇති කෝෂයක් බඳු පටිය ය. මට්ටමට වියන ලද්දා වූ ද, මසුන් ගේ කටු පෙළ මෙන් වියන ලද්දා වූ ද, පටිය පමණක් සුදුසු ය. විචිත්‍ර‍ කොට වියන ලද්ද නුසුදුසු ය. “න භික්ඛවේ, අකායබන්ධනෙන ගාමො පවිසිතබ්බො” යි වදාරා ඇති බැවින් පටියක් නො බැඳ ගම් වැදීම නො කළ යුතුය. අමතක වී ගියේ නම් සිහි වූ තැනෙක දී බැඳ ගත යුතු ය.