5. විචිකිච්ඡා නීවරණය

පාලි

සන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං අත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡාති පජානාති. අසන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං නත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡාති පජානාති.

යථා ච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නාය විචිකිච්ඡාය පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනාය විචිකිච්ඡාය ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.

කෙටි අදහස

තමා තුළ විචිකිච්ඡාව ඇතිව පවතී නම් දැන් මාගේ චිත්ත සන්තානය තුළ විචිකිච්ඡාව ඇතිව පවත්නීයයි දැනගනී. තමා තුළ විචිකිච්ඡාව නැති නම් මාගේ සිත තුළ දැන් විචිකිච්ඡාව උපදිමින් නො පවත්නේ ය යි දැන ගනී. යම් අයෝනිසෝමනසිකාරයක් නිසා මුල දී නූපන් විචිකිච්ඡාව උපදී නම් ඒ අයෝනිසෝමනසිකාරයත් දැන ගනී. යම් යෝනිසෝමනසිකාරයක් නිසා උපන් විචිකිච්ඡාව තදඞ්ග වශයෙන් හෝ විෂ්කම්භන වශයෙන් පහව යයි නම් ඒ යෝනිසෝමනසිකාරයත් දැන ගනී. තදඞ්ග වශයෙන් හෝ විෂ්කම්භන වශයෙන් හෝ පහ වූ විචිකිච්ඡාව යම් සෝවාන් මාර්ගයකින් සහමුලින් පහවෙයි නම් ඒ සෝවාන් මාර්ගය ද දැන ගනී.

එහි විස්තරය

මේ කොටස විචිකිච්ඡා සහිත තැනැත්තා තුළ උපදනා විචිකිච්ඡාව මෙනෙහි කර දැන ගැනිම සඳහා වදාරණ ලදී. විචිකිච්ඡා සහිත පුද්ගලයා නම්, පෘථග්ජනයා මැයි. එහෙයින් පෘථග්ජනයා හෝ වේවා සෝතාපන්න සකදාගාමි, අනාගාමීන් අතුරෙන් යම් ආර්යයෙක් හෝ වේවා හැම කෙනෙකු විසින්ම මේ සතිපට්ඨාන භාවනාව භාවිත කළ යුතු බව ඉතා ප්‍රකට ය. මේ කියමනෙන් සතිපට්ඨාන භාවනාව පෘථග්ජනයාහට අයිති නැත, එය ආර්යයන්ට ම අයත් වූ භාවනාවක්ය යන මිථ්‍යා මතය ප්‍රතික්ෂිත වන්නේ ය.

ඇතැමෙක් හට වනාහි “සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථංගමාය” යන දේශනා පාඨය හා “දිට්ඨෙ වා ධමමේ අඤ්ඤා, සති වා උපාදිසේසෙ අනාගාමිතා” යන දේශනා පාඨය ද සාධක කොට සොකපරිදේව දුක්ඛ දෝමනස්සයන් සෝවාන් මගින් නො පහ කළ හැකි ය යි ද අනාගාමි, රහත් යන දෙමගින් ම පහ කළ යුතු ය යි ද වැරදි හැඟීමක් ඇති විය හැකි ය. තව ද සතිපට්ඨාන භාවනාව සෝක පරිදේව ආදිය සහමුලින් පහකළ හැකි අනාගාමි රහත් යන මාර්ග දෙක සඳහා ම පවත්නේ ය යි ද මේ සතිපට්ඨාන භාවනාව භාවිත කරන තැනැත්තා අනාගාමී බවට හා රහත් බවට පැමිණෙනු මිස සෝවාන් බවට හෝ සකදාගාමි බවට නො පැමිණෙන්නේ ය යනු ද ඒ වැරදි හැඟීම යි.

ඒ වැරදි හැඟීම වනාහි “අත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡාති පජානාති” යි වදාළ පරිදි මාගේ සිත් සතන්හි විචිකිච්ඡාව ඇතැ යි දැන ගනී යන මේ දේශනාව නො සලකා වරදවා ගත් අදහසකි. බුදු රජාණන් වහන්සේ ගේ මූලික අදහස නම්, මේ සතිපට්ඨාන භාවනාවේ නියම බලය ඇති තාක් ප්‍රකට කොට දැක්වීම ය. සතිපට්ඨාන භාවනාවේ නියම ශක්තිය වනාහි එම භාවනාව කරන තැනැත්තා අපාය දුකින් මුදවාලීම පමණක් නොව අවසානයේ දී ලෝකයෙහි පවත්නා කරදර පීඩාවලින් මුදවාලීම ය. එහෙයින් “සොක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය” යි වදාළ සේක.

තවද සතිපට්ඨාන භාවනාවෙන් සෝවාන් බව හා සකදාගාමි බව ද ඒකාන්තයෙන් ම ලබාගත හැකි ය. එපමණක් ද නොව රහත් බව දක්වා ම ප්‍රතිඵල ලබා ගත හැකි බව ද සැලකිය යුතුයි. එහෙයින් “දිට්ඨෙ ව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා” යනුවෙන් ඒ භාවනාවෙන් ලැබෙන අවසාන ප්‍රතිඵලය දක්වා වදාළ සේක. මෙසේ දැක්වීමෙන් පූර්ව භාගයෙහි පවත්නා විදර්ශනා ඥාන පරම්පරාව සහ සෝවාන් මාර්ග ඵල, සකදාගාමී මාර්ගඵලයන් ද පළමුකොට ම ලබාගත හැකි ය යන අදහස ඤාණවන්තයා හට අවබෝධ විය යුතු ය.

මෙහි විචිකිච්ඡා චෛතසිකය ම කුශල ධර්මයන් ආවරණය කරන බැවින් විචිකිච්ඡා නීවරණ යයි. එනම්, බුද්ධා දී අට තැන්හි පවත්නා සැක ය යි.

මේ විචිකිච්ඡාවට ද අයෝනිසෝමනසිකාරය ප්‍රධාන හේතුව වෙයි. යෝනිසෝමනසිකාරය උපදවා ගැනීමෙන් විචිකිච්ඡාව පහව යයි. තවද විචිකිච්ඡාව පහ කිරීමට උපකාර වන කරුණු සයක් ද ඇත. එනම්,

1. බහුස්සුතතා,

2. පරිපුච්ඡ කතා,

3. විනයෙ පකතඤ්ඤුතා,

4. අධිමොක්ඛ බහුලතා,

5. කල්‍යාණමිත්තතා,

6. සප්පාය කථා

යනු ඒ කරුණු සය යි. එහි බහුස්සුතතාව පෙර කීසේ දතයුතු යි. පරිපුච්ඡකතා යනු බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය අරභයා කරුණු විචාරා දැන ගැනීමය. රත්නත්‍රය මුල් කොට පවත්නා විචිකිච්ඡාව සෙසු විචිකිච්ඡාවන්ට ද මූලික වන්නීය. විනයෙ පකතඤ්ඤුතා යනු විනය ශික්ෂා පද විනිශ්චය කිරීමෙහි දක්ෂ භාවය යි.. එවිට ශික්ෂාව පිළිබඳ සැකය දුරුවෙයි. එසේම රත්නත්‍රයේ ගුණය අවබෝධ වීමෙන් පූර්වාන්තාදිය පිළිබඳ සැකය ද දුරු වෙයි.

අධිමොක්ඛබහුලතා යනු රත්නත්‍රය කෙරෙහි පවත්නා ගුණ විනිශ්චය කළ හැකි ශ්‍රද්ධාධිමොක්ෂය බහුලකොට ඇති බවය. කල්‍යාණමිත්තතා යනු වක්කලි ස්ථවිර ස්වාමීන් වහන්සේ වැනි සැදැහැවත් උතුමන් ඇසුරු කිරීමය. සප්පාය කථා යනු ඉඳීම් සිටීම් ආදී ඉරියව් පවත්වන හැම අවස්ථාවකදීම රන්නත්‍රය පිළිබඳ ගුණ ප්‍රකාශ වන කථා සල්ලාප පැවැත්වීමය. මේ දැක් වූ කරුණු සය ද විචිකිච්ඡා නීවරණය පහ කිරීමට උපකාර වෙයි.

එහි වක්කලි ස්වාමීන් චහන්සේගේ කථා ප්‍රවෘත්තිය මෙසේයි: උන් වහන්සේ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සිට නිවන් සඳහා පාරමී කුසල් රැස්කරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර බ්‍රාහ්මණ කුලයක ඉපිද තරුණ වයසට පැමිණ සැදැහැවත් කුලපුත්‍රයෙක්ව සිටින අතර පිඩු පිණිස නගරයට වැඩිය තථාගතයන් වහන්සේ දැක උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි රූප සම්පත්තිය දෙස බලා එපමණකින් සෑහීමට නොපැමිණියේ නිතරම බුදුන් දකිමින් සිටින්ට ඕනෑය යන අභිලාෂයෙන් බුදු සසුනෙහි පැවිදි ව සජ්ඣායනය හෝ කමටහන් මෙනෙහි කිරීම් ආදිය නො කොට තථාගතයන් වහන්සේ වෙත එළඹ උන්වහන්සේගේ ශ්‍රී දේහය දෙස බලමින් සිටියේය. ශාස්තෘන් වහන්සේ ද ඒ භික්ෂුවගේ ඤාණය මෝරන තෙක් කිසිවක් නො කියා සිට ඤාණය මුහු කළ බව දැනගත් පසු “කිං තෙ වක්කලි ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, යො ඛො වක්කලි ධම්මං පස්සති, සො මං පස්සති” යනුවෙන් වක්කලි ඔබට මාගේ මේ කුණු කය දෙස බලා සිටීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද? යමෙක් ශරීරය පිළිබඳ නිත්‍ය නොවන, සැප නොවන ආත්ම සාරයක් නො වන, සුභ නොවන ධර්ම ස්වභාවය දකීනම් හෙතෙම මා දන්නේ වේ” ය යි අවවාද කර වදාළ සේක.

එසේ අවවාද කළ පසු ද බුදුන් දැකීම අත්හැර අන් තැනකට නොගියේ ය. එවිට ශාස්තෘන්වහන්සේ “මේ භික්ෂු තෙම සංවේගයට නොපැමිණ මාර්ග ඵලාධිගමය නොකරන්නේය” යි දැන වස් එළඹෙන දිනයෙහි රජගහ නුවරට වැඩමවා “වක්කලි! ඔබ මා වෙත එන්ට එපා, මා වෙත එන්ට එපා” ය යි උන්වහන්සේ කෙරෙන් එලවා හරින ලදී. ඉන් පසු තෙමසක් ම ශාස්තෘන් වහන්සේ හමුවන්ට නොලැබුන නිසා “මාහට ජීවත්වීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද? මේ පර්වතයෙන් පැන දිවි නසා ගන්නෙමැ”යි සිතා ගිජ්ජකූට පර්වතයට නැග ගත්ය. ශාස්තෘන් වහන්සේ ඒ බව දැක “මේ භික්ෂුව මා කෙරෙන් සැනසිල්ලක් නො ලද හොත් මාර්ග ඵල ලබා ගැනීමේ හේතු සම්පත් නසා ගන්නේ ය” යි දැන බුද්ධ ශරීරය දක්වනු පිණිස රශ්මි මාලාවක් නිකුත් කළ සේක. ඉක්බිති ශ්‍රී දේහය දැක සෝකය සංසිඳුන්නේය. සෝකය සංසිඳුනු පසු වක්කලි භික්ෂුවට බලවත් ප්‍රීතිප්‍රමෝද්‍යය උපදවනු පිණිස,

“පාමොජ්ජ බහුලො භික්ඛු - පසන්නො බුද්ධසාසනෙ,

අධිගච්ඡේ පදං සන්තං - සඞ්ඛාරූපසමං සුඛං”

යි වදාළ සේක.

ප්‍රකෘතියෙන් ම ප්‍රීතිය හා ප්‍රමෝදය බහුල පුද්ගලයා බුදු සසුනෙහි ශ්‍රද්ධා ප්‍රසාදය රුචි කරයි. බුදු සසුනෙහි පැහැදුනා වූ හෙතෙම සියලු සංස්කාරයන් සංසිඳුනු සදාකාලික නිර්වාණ සුවය අවබෝධ කරන්නේය” යනු එහි අදහස යි. මෙසේ වදාරමින් වක්කලි හිමියන් දෙසට ශ්‍රී හස්තය දිගුකරමින්:

“එහි වක්කලි මා භායි - ඔලොකෙහි තථාගතං,

අහංත්වං උද්ධරිස්සාමි - පඞ්කෙ සන්නංච කුඤ්ජරං”

යයි ද වදාළ සේක.

“වක්කලි! මෙහි එව, භය නොවෙව, ඔබ කැමති සේ තථාගතයන් දෙස බලව, මඩේ එරුණු හස්තියෙකු ගොඩ ගන්නාක් මෙන් මම තොප සසර සයුරෙන් ගොඩලන්නෙමි” යනු එහි අදහස යි.

එය අසා බලවත් ප්‍රීතිය උපදවා භාග්‍යවතුන් වහන්සේ හමුවට පර්වතයෙන් බසිද්දී ආකාශයෙහිදී ම ඒ ප්‍රීතිය විෂ්කම්භනය කොට සිවුපිළිසිඹියා සහිත රහත් බවට පැමිණ පර්වතයෙන් බැස තථාගතයන් වහන්සේට වඳිමින් ම උන්වහන්සේ ළඟට එළඹ සිටියේය. පසු ව භාග්‍යවතුන් වහන්සේ විසින් වක්කලි රහතුන් වහන්සේ බලවත් ශ්‍රද්ධාව ඇති භික්ෂූන් අතුරෙහි අග්‍ර ස්ථානාන්තරයෙහි පිහිටුවා වදාළ සේක.

පාලි

ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නිවාරණසු.

කෙටි අදහස

මෙසේ තමා තුළ පවත්නා නීවරණ ධර්මයන් කෙරෙහි ද ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි, අනුන් තුළ පවත්නා නීවරණ ධර්මයන් කෙරෙහිද ස්වභාව ධර්ම මාත්‍රය අරමුණු කරමින් වාසය කරයි. ඇතැම් විට තමා තුළ පවත්නා නීවරණ ධර්මයන් කෙරෙහි හෝ ඇතැම් විට අනුන් තුළ පවත්නා නීවරණ ධර්මයන් කෙරෙහි හෝ ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි.

නීවරණ ධර්මයන් කෙරෙහි උපදවන ප්‍රත්‍යය හා ඉපදීම අනුව බලමින් වාසය කරයි. නීවරණ ධර්මයන් නැතිව යාමේ ප්‍රත්‍යය හා නැතිවීම අනුව බලමින් වාසය කරයි, නීවරණ ධර්මයන් කෙරෙහි උපදවන ප්‍රත්‍යය හා ඉපදීම ද නැතිව යාමේ ප්‍රත්‍යය හා නැතිවීම ද අනුව බලමින් වාසය කරයි.

සත්ව පුද්ගල නොවන ස්වභාව ධර්මයෝ ම විද්‍යමානව ඇතැයි ඒ යෝගී පුද්ගලයාහට සිහිය එළඹ සිටියා වෙයි, ඒ සිහිය පිළිවෙළින් ඥාණය වැඩි දියුණු වීම පිණිස ම වෙයි. නැවතත් පිළිවෙළින් සිහිය වැඩි දියුණු වීම පිණිස ද වෙයි.

වැඩි දියුණු වූ සිහිය හා ඤාණය ඇති ඒ යෝගී තෙම තණ්හා දිට්ඨි දෙක ඇසුරු නො කොට ද වාසය කරයි, එහෙයින් පඤ්ච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේ කිසිවක් මමය මාගේ යයි තණ්හා දිට්ඨි දෙකින් තදින් අල්ලා නොගනී. මහණෙනි! යෝගී තෙම පඤ්ච නීවරණ ධර්මයන් කෙරෙහි මෙසේ කියන ලද නයින් ද සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්මයන් කෙරෙහි ස්වභාව ධර්ම අනුව බලමින් වාසය කරයි.

විචිකිච්ඡාව උපදනා කල්හි “සැකයක්, සැකයක්” කියා මෙනෙහි කළ යුතුය. කීප වරක් මෙනෙහි කළහොත් සැකය දුරුවෙයි. නීවරණ පඤ්චකය අතුරෙන් විචිකිච්ඡාව සහමුලින් පහව යන්නේ සෝවාන් මගින්ය. එසේ ම ව්‍යාපාදය හා කුක්කුච්චය අනාගාමි මාර්ගයෙන් සහමුලින් පහව යයි. කාමච්ඡන්දය මෙන් ගැනෙනුයේ ලෝභ ය යි: ඒ ලෝභය හා ථීනමිද්ධ උද්ධච්ච යන මොවුහු රහත් මගින් සහමුලින් පහව යති.

ඒ ඒ නීවරණයන් සහමුලින් පහකොට ඒ ඒ මාර්ගයට පැමිණි කල්හි එසේ පහකළ බව ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දත හැකි ය. මාර්ග ඥානය ලැබෙන්න පෙර ද යට කී නයින් ඒ කෙලෙසුන් පහව යන බව යෝගී පුද්ගලයා දැන ගන්නේ ය. එසේ දැන ගන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් නොව ශ්‍රැතමය ඥානයෙන් හා චින්තාමය ඥානයෙනි.

නීවරණ පබ්බය නිමි.