4. උද්ධච්චකුක්කුච්ච නීවරණය

පාලි

සන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං අත්ථි මෙ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චන්ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං නත්ථි මෙ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චන්ති පජානාති. යථා ච අනුප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස උද්ධච්චකුක්කුච්චස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.

කෙටි අදහස

තමා තුළ උද්ධච්චකුක්කුචය ඇතිව පවතී නම් දැන් මාගේ චිත්ත සන්තානය තුළ උද්ධචකුක්කුච්චය ඇතිව පවතින්නේ උද්ධච්චකුක්කුචය නැතැයි දැනගනී. යම් අයෝනිසෝමනසිකාරයක් නිසා මුලදී නුපන් උද්ධච්චකුක්කුච්චය උපදී නම් ඒ අයෝනිසෝ මනසිකාරයත් දැනගනී. යම් යෝනිසෝමනසිකාරයක් නිසා උපන් උද්ධච්චකුක්කුච්චය තදඞ්ගවිෂ්කම්භන වශයෙන් පහව ය යි නම් ඒ යෝනිසෝමනසිකාරයත් දැනගනී. තදඞ්ග - විෂ්කම්භන වශයෙන් පහවූ උද්ධව කුකුච්චය නැවත යම් ආර්ය මාර්ගයකින් සහමුලින් පහ වෙයි නම් ඒ ආර්ය මාර්ගයද දැනගනී.

එහි විස්තරය

උද්ධච්චය භා කුක්කුච්චය යන මේ චෛතසික දෙක උද්ධචකුක්කුච්ච නීවරණය යි කියනු ලැබේ. එහි උද්ධච්ච යනු සිතේ නොසන්සුන් කමය. කුක්කුච්ච යනු කළ පව් ගැනත් නොකල පින් ගැනත් සිතමින් පසුතැවිලි වීමය. මෙය නීවරණයක් වන්නේ නුපන් කුසල් උපදවා ගැනීමට හෝ උපන් කුසල් පවත්වා ගැනීමට හෝ ඉඩ නොදී වලක්වන නිසාය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ අයෝනිසෝමනසිකාරය යි. මෙකී නීවරණය උපදින කල්හි විපස්සක රෝගී පුද්ගලයා විසින් එය මෙනෙහි කළ යුතුය. කීප වරක් මෙනෙහි කිරීමෙන් එය තදඞ්ග වශයෙන් හෝ විෂ්කම්භන වශයෙන් පහව ය යි. උද්ධචකුක්කුච්චය පහකිරීමට ද ප්‍රධාන හේතුව වන්නේ යෝනිසෝමනසිකාරය යි. මේ උද්දච්චකුක්කුචය සහමුලින් පහව ගොස් නැවත නුපදින තත්වයට පැමිණි කල්හි කුක්කුච්චය අනාගාමි මාර්ගයෙනුත් උද්ධච්චය රහත් මාර්ගයෙනුත් පහව ගිය බව දැන ගන්නේය.

“උද්ධච්චකුක්කුච්චං නාම චිත්තස්ස අවූපසමො” යි කී බැවින් සිතේ නොසන්සුන්කම උද්ධච්චය යි. පසු තැවිල්ලය යි කියන ලද කුක්කුච්චයත් නොසන්සුන්කමට උපකාර වන නිසා ඒ දෙකම එකක් වශයෙන් ගෙන නීවරණයක් ය යි කීහ. විපස්සනා කරන යෝගී පුද්ගලයා විසින් එය “නොසන්සිඳීම, නොසංසිඳීම” ය යි කමටහන් අරමුණක් වශයෙන් මෙනෙහි කළ යුතුය.

තවද කුක්කුච්චය පහකිරීමට උපකාරවන අන් කරුණු සයකුත් ඇත. එනම්,

1. බහුස්සතතා,

2. පරිපුච්ඡකතා,

3. විනයෙපකතඤ්ඤුතා,

4. වුද්ධසෙවිතා,

5. කළ්‍යාණමිත්තතා,

6. සප්පාය කථා යන මේ කරුණු සය ය.

එහි බහුස්සුතතා යනු ධර්මය උගත් බවය. එනම්, දික්සඟිය, මැදුම්සඟිය, සංයුක්තසඟිය, අංගුත්තරසඟිය, කුදුගොත්සඟිය යන මේ නිකාය පොත් වලින් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ සතරක් හෝ පස ම හෝ පාලි වශයෙනුත් අර්ථ වශයෙනුත් ඉගෙනගත් තැනැත්තා බහුශ්‍රැතයා ය. එවැනි බහුශ්‍රැතයන් ඇසුරු කිරීමෙන් චින්තයෙහි නොසන්සුකම පහව යයි.

පරිපුච්ඡකතා යනු ශික්ෂාකාමී භික්ෂුන්ට බෙහෙවින් කැප-අකැප දෙය පිළිබඳව උපදනා සැක කුකුස් දුරු කර ගැනීම සඳහා බහුශ්‍රැතයන්ගෙන් එය අසා දැන ගැනීම ය. එයද චිත්තයෙහි නොසන්සුකම පහව යාමට උපකාර වෙයි.

විනයෙපකතඤ්ඤුතා යනු විනය විනිශ්චය පිළිබඳ මනා දැනීමක් ඇති බව ය.

වුද්ධ සෙවිතා යනු තමාට වඩා ගුණයෙන් - වයසින් වැඩි සිටියන් ඇසුරු කිරීමය. එසේ ඇසුරු කිරීමෙන් ඒ උතුමන්ගේ ගතිගුණ තමා තළ ද ඇතිවිය හැකි බැවින් සිත සන්සුන් වීමෙන් සිතේ නොසන්සුන්ම පහව යයි.

කල්‍යාණමිත්තතා යනු විනයෙහි එතදග්ග ඨානාන්තරය ලබාගත් උපාලි ස්ථවිර ස්වාමීන්වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමය. ශික්ෂකාමී පැවිදි උතුමන්ට බෙහෙවින් කැප - අකැප දැයෙහි නිතරම වාගේ ඇතිවන සැක කුකුස් නිසා චිත්තයෙහි නොසන්සුන්ම ඇති විය හැකි බැවින් එය දුරු කරගැනීමට විනයධර කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතු ය.

සප්පාය කථා යනු ඉඳීම්, සිටීම් ආදී ඉරියව් පවත්වන කල්හි මේ දෙය කැප නිසා එහි අවැත් සිදු නොවේ. මේ දෙය අකැප නිසා එහි ඇවැත් සිදු වන්නේ ය යි මෙසේ කැප-අකැප ඇසුරෙන් පවත්වන කථාවෙන් චිත්ත වික්ෂේපය දුරු කළ හැකි බැවින් එය සප්පාය කථාව යි. මෙකී කරුණු සය උද්ධච්ච කුක්කුච්චය පහව යෑමට උපකාර වෙයි.