කුසල් උපදින සේ සුදුසු පරිදි මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාරය යි. මෙතන්හි ගැනෙනුයේ විදර්ශනාව පිළිබඳ යෝනිසෝමනසිකාර ය යි. එනම්, ඇතිවෙමින් පවත්නා නාමරූප ධර්මයන් ස්වභාව ලක්ෂණ වශයෙනු ත් ඇති වී ම හා නැතිවීම යන අනිත්‍ය ලක්ෂණ ආදී වශයෙනුත් මෙනෙහි කිරීම හා මෙනෙහි කොට දැන ගැනීම යෝනිසෝමනසිකාරය යි. ප්‍රත්‍යක්‍ෂ ඥානය මෝරවා දියුණු කරගත් කල්හි ප්‍රත්‍යක්ෂ කොට නොදක්නා ලද නාම රූප ධර්මයන් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දක්නා ලද නාම රූපයන් හා සසඳා මෙනෙහි කොට හැකි වීම හෝ විනිශ්චය කරන්ට හැකි වීම යෝනිසෝමනසිකාරය මැ යි. මතු මතු විදර්ශනා ඥාන විශේෂයන්ට හා මාර්ග ඵලයන්ටත් උපකාරීවන නියම මාර්ගය වු උපාය මනසිකාර ය යි. එහෙයින් අටුවාවෙහි:
“යෝනිසෝමනසිකාරො නාම උපාය මනසිකාරො, පථමනසිකාරො, අනිච්චෙ අනිච්චන්ති වා දුක්ඛෙ දුක්ඛන්ති වා අනත්තන්ති අනත්තාති වා අසුභෙ අසුභන්ති වා මනසිකාරො.” ය යි කීහ.
එහි අදහස
යෝනිසෝමනසිකාරය නම් දුක් සංසිඳ වීමට උපකාරී වන නියම නය ක්‍රමය අනුව මෙනෙහි කිරීමය. හරි මගින් මෙනෙහි කිරීමය. උපදිමින් නැසෙමින් පවත්නා නිත්‍ය නො වන වස්තුන්වෙහි අනිත්‍ය ය යි කියා හෝ එය ම භයට හේතුවන බැවින් දුකය යි කියා හෝ එහි ම ආත්මසාරයක් නැති හෙයින් අනාත්මය යි කියා මහා අසෝභන වූ කුණු සිරුරෙහි අසුභය යි කියා හෝ නුවණින් මෙනෙහි කිරීම ය.
විපස්සනා වඩන යෝගී පුද්ගලයාගේ අදහස විය යුත්තේ විදර්ශනා ඥාන විශේෂයන් හා මාර්ග ඵලයන් උපදවා ගැනීමය. එයට උපකාර වන භාවනා මනස්කාරය යෝනිසෝමනසිකාර ය යි. අටුවායෙහි ප්‍රධාන න්‍යායයෙන් හා අවිනාභාව න්‍යායයෙන් දක්වන ලද අනිත්‍යය මෙනෙහි කිරීමේ දී ද යෝනිසෝමනසිකාරය වේ. විදර්ශනා වඩන යෝගී පුද්ගලයා විසින් කළ යුතුව ඇත්තේ ප්‍රකට ව වැටහී එන නාම රූප ධර්මයන් නුවණින් බලා දැනගැනීම ය. ඒ නාම රූප ධර්මයන් පුද්ගලයෙක් ය, සත්වයෙක් ය, මම ය, ස්ත්‍රියක් ය, පුරුෂයෙක් ය, යන ආදී වශයෙන් නොදත යුතු ය. එහි ඇති වනනැතිවන අනිත්‍ය ලක්‍ෂණ ආදිය ම දත යුතු ය.
එයම කෙලෙස් සංසිඳ වීමට උපකාරී වන බැවිනි. කෙලෙස් ඉපදීමට හේතු වන නිත්‍ය, සුඛ, ආත්ම, ශුභ වශයෙන් නො දැක්ක යුතු ය. මෙසේ විදර්ශනා වඩන තැනැත්තාගේ සදොරට හමුවන ෂඩාරම්මණයන් අතුරෙන් එක් එක් අරමුණක් මෙනෙහි කිරීමේ දී මෙය නාම රූප ධර්මයක් දෝ! මෙය ඇති ව නැති වන දෙයක් දෝ! යන ආදී වශයෙන් මෙනෙහි කරන්නාක් මෙන් උපදින පඤ්චද්වාරාවජ්ජන මනෝද්වාරාවජ්ජනයෝ සුදුසුසේ නියම මගින් මෙනෙහි කරති. එසේ මෙනෙහි කළ පරිද්දෙන් ම මනෝද්වාරික විදර්ශනා ජවනයෝ ද අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරමින් උපදිත්. මේ විදර්ශනා ජවන් රැස නාම රූප ස්වභාවයන් ඇති සැටියෙන් දක්නා බැවින් ද, පසු පසු පහළ වන විදර්ශනා ඥාන විශේෂයන්ට හා මාර්ග ඵල ඥානයන්ටත් උපකාරී වන බැවින් ද යෝනිසෝමනසිකාරය නම් වේ. පළමු කොට මෙනෙහි කරමින් උපන් ආවර්ජනය ද මෙනෙහි කිරීම් වශයෙන් ඒ විදර්ශනා ජවන් හා සමාන වන බැවින් යෝනිසෝමනසිකාරයෙහි ම ඇතුළත් වේ. එහෙයින් සතිපට්ඨාන සුත්‍ර ටීකාවෙහි:
“යොනිසොමනසිකාරො නාම කුසලාදීනං තං තං සභාවරසලක්ඛණාදිකස්ස යාථාවතො අවබුජ්ඣනවසෙන උප්පන්නො ඤාණසම්පයුත්තචිත්තුප්පාදො, සො හි අවිපරීතමනසිකාරතාය යොනිසොමනසිකාරොති වුත්තො, තදා භොගතාය ආවජ්ජනාපි තග්ගතිකා එව” යි කීහ.
එහි අදහස:
යෝනිසෝමනසිකාරය නම්: කුසලාදින් පිළිබඳ ඒ ඒ ස්වභාව ලක්ෂණ රස අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ආදිය ඇති සැටියෙන් අවබෝධ කිරීම් වශයෙන් උපදනා ඤාණ සම්පයුත්ත චිත්තෝත්පාද ය යි. එය එසේ මැ යි ඒ චිත්තෝත්පාදය ම අවිපරීත මනස්කාරයක් වන බැවින් යෝනිසෝ මනසිකාර ය යි කියන ලදී. ඒ ජවන් සිත්වලට පෙර ඒ අරමුණ මෙනෙහි කරන බැවින් ආවජ්ජන සිත ද ජවනගතික වන්නේ ම ය.
මේ ටීකා පාඨය වූ පරිදි පුර්ව පුර්ව චිත්ත වීථිවල ඇතුළත් ආවජ්ජන සිත් හා විපස්සනා ජවන් සිත් සියල්ල පසු පසු චිත්ත වීථිවල උපදින කුසල් වලට උපකාරී වන යෝනිසෝමනසිකාර ය යි සැලකිය යුතුය.
සැකෙවින් කියත හොත් විදර්ශනා වඩන කල්හි නුවණින් විදර්ශනා අරමුණු මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාර ය යි. එයට උපකාරී වන හැම මෙනෙහි කිරීමක් ද යෝනිසෝමනසිකාරයෙහි ඇතුළත් වේ. විදර්ශනාවට උපකාරී නො වන කෙලෙස් උපදවන කාම අරමුණු ආදිය මෙනෙහි කිරීම අයෝනිසෝමනසිකාරය යි.
මේ නීවරණ අවසරයෙහි වනාහි කාමච්ඡන්දය පහළ වන සේ මෙනෙහි කිරීම අයෝනිසෝමනසිකාර ය යි. එසේ ම කාමච්ඡන්දය නුපදින පරිදි නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාර ය යි. මෙකී මනසිකාර දෙක ම උපදනා ආකාරය මෙනෙහි කර දැන ගැනීම සඳහා,
“යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්චපජානාති, යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති තඤ්ච පජානාති” ය යි දේශනා කරන ලදී.
සමථ විදර්ශනාවන් කරණ කොට ගෙන කාමච්ඡන්ද සංඛ්‍යාත තණ්හාව හෝ ලෝභය පහකළ හැකි වුව ද එය සහමුලින් ම පහ ව ය න්නේ රහත් මගින් ය. රහත්වූ විට උන්වහන්සේ තමන් වහන්සේ තුළ පැවැති කාමච්ඡන්දය පහකළ රහත් මාර්ගය ද ප්‍රත්‍යක්ෂව දැනගන්නාහ. රහත් නොවූ යෝගී පුද්ගලයා සිය සතන්හි පැවැති කාමච්ඡන්දය භාවනාවෙන් පහව ගිය බව දැනගන්නේ ශෘතමය ඥානයෙන් හෝ චින්තාමය ඥානයෙන් ය.
තව ද කාමච්ඡන්දය ඇතිවීමට සහ එය දුරු කිරීමට කරුණු සය බැගින් ඇත. කාමච්ඡන්දය දුරුකිරීමට උපකාරවන කරුණු සය මෙහි පළමුකොට දක්වනු ලැබේ. එනම්:-
1. අසුභ අරමුණු ඉගෙන ගැනීමය.
2. අසුභ භාවනානුයෝගය.
3. ඉන්‍ද්‍රියද්වාරයන් රැක ගැනීමය.
4. භෝජනයෙහි පමණ දැන ගැනීමය.
5. කල්‍යාණමිත්‍ර සේවනය.
6. සප්පායකථාවය යනු යි.
එහි අසුභ අරමුණු ඉගෙනීම යනු උද්ධමාතක ආදී දශවිධ අසුභයන් සහ කෙස් ලොම් ආදී පිළිකුල් කොටස් ද යන එකොළොස් වැදෑරුම් අසුභයන් කෙරෙහි පවත්නා පිළිකුල් ආකාරය උග්ගහ නිමිත්ත පහළවන තෙක් පුරුදු පුහුණු කිරීම ය.
අසුභ භාවනානුයෝගය යනු උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය උපදින සේ යම්කිසි අසුභ අරමුණක් ගෙන භාවනාවෙහි යෙදීම ය.
ඉන්ද්‍රියද්වාරයන් රැක ගැනීම යනු ඇසය, කණය, නැහැය, දිවය, කයය, මනසය යන මේ දොරටු වලින් රූප ශබ්ද ආදිය ඇතුල් වන කල්හි රාගාදී කෙලෙස් ඇති නො වන සේ සිහිය එලවමින් සිත ආරක්ෂා කර ගැනීමය.
භෝජනයෙහි පමණ දැන ගැනීම යනු අනුභව කරන හෝජනය ඇසුරු කළ ‘ආහාරෙ පටික්කුල සඤ්ඤාව’ ය, උදරයට වැටුනු ආහාරය ප්‍රිය මනාප ස්වභාවය හැර වෙනස් වීම ය, ආහාරයේ ආධාරස්ථානය අපිරිසිදු බවය, උදරයට වැටුනු ආහාරය අතිශයින් පිළිකුල් අසුභ බවය, මේ රූප කය ආහාරය නිසාම පවත්නා බවය යන මෙකී කරුණු යමෙක් විශේෂයෙන් නුවණින් දැනගන්න නම් හෙතෙම අනුභව කරන භෝජනයෙහි පමණ දැන අනුභව කරන්නේ ය. එහෙයින්,
“චත්තාරො පව ආලොපෙ - අභූත්වා උදකං පිංචෙ
අලං ඵාසුවිහාරය - පහිතත්තස්ස භික්ඛුනො”
යි වදාළ සේක.
යෝගාවචරයා විසින් ආහාරය අනුභව කරන විට ආහාර පිඬු සතරක් හෝ පහක් හෝ නො වළඳා එයට අවකාශය තබාගෙන පැන් පානය කළ යුතු ය. එවිට පහසුවෙන් භාවනා කළහැකි වෙයි යනු එහි අදහස ය.
මෙසේ භෝජනයෙහි පමණ දැන වැලඳීමෙන් ථීනමිද්ධයට අවකාශයක් නො ලැබෙන නිසා කාමච්ඡන්දය පහකළ හැකි ය යි කීහ.
කල්‍යාණ මිත්‍ර සේවනය යනු අසුභකමිකතිස්ස තෙරුන් වැනි අසුභ භාවනාවෙහි ඇලුනු කල්‍යාණ මිත්‍රයන් සේවනය - භජනය කිරීම ය. එනම්, සිනාසෙන ස්ත්‍රියකගේ දත් ඇන්ද දැක එහි අසුභ සංඥාව උපදවා රහත් වූ මහා තිස්ස තෙරණුවෝ ය.
ඒ කථා පුවත මෙසේ ය: අනුරාධපුර සමීපයෙහි එකල චේතිය පබ්බත නමින් ව්‍යවහාර වූ මිහින්තලායෙහි විසු මහාතිස්ස ස්වාමීන් වහන්සේ අනුරාධපුරය දෙසට පිඬු සිඟා වඩින කල්හි එක්තරා කුලකාන්තා වක් සිය සැමියා සමග ඇති වූ අඩදබරයක් නිසා දෙවඟනක් මෙන් හොඳින් ඇඳ පැළඳ අනුරාධපුරයෙහි සිට මිහින්තලා පෙදෙසෙහි නෑගෙයකට යන අතර මග ඒ මහා තිස්ස හිමියන් දැක රාගයෙන් විපරීත වූ සිත් ඇතිව මහත් හඬින් සිනාසුනා ය. තෙරුන්නාසේ “මේ කිමෙක් දැ” යි එදෙස බලන ඇගේ දත් ඇන්ද දැක එහි අශුභ සංඥාව පහළ වීමෙන් රහත් වුහ. උන්වහන්සේ ප්‍රකෘතියෙන් ම අට්ඨික කර්මස්ථානය මෙනෙහි කරමින් සිටිසේක. පිඬු සිඟා වඩින කල්හි ඒ කර්මස්ථානය අත් නොහළහ. දත් ඇන්ද දැකීම නිසා ඒ අනුසාරයෙන් ඇගේ මුලු ශරීරය ම ඇට සැකිල්ලක් සේ උන්වහන්සේට පෙනී ගියේ ය. මෙසේ වැටහුනු අට්ඨික පටිභාගනිමිත්තෙහි උපචාරධ්‍යානය උපදවා එයට අනතුරු ව ප්‍රථමධ්‍යානයට පැමිණ එය පාදක කොට ගෙන එහි වූ සංස්කාර ධර්මයන් විදර්ශනාවට නගා භාවනා කොට මාර්ග පටිපාටියෙන් රහත්ඵලයට පැමිණිසේක. එහෙයින්:
“තස්සා දන්තට්ඨිකං දිස්වා - පුබ්බසඤ්ඤං අනුස්සරි
තත්ථෙව සො ඨිතො ථෙරො – අරහත්තමපාපුණි”
යි කීහ.
ඒ ස්ත්‍රියගේ සැමියා ද ඇය පසු පස යනුයේ තෙරුන්නාන්සේ දැක “ස්වාමීනි! කිමෙක? මේ මාර්ගයෙහි යන ස්ත්‍රියක් දැක්කහු “දැ යි විචාළේ ය. එවිට උන් වහන්සේ.
“නාභිජානාමි ඉත්ථි වා - පුරිසො වා ඉතා ගතො
අපි ච අට්ඨිසඞ්ඝාටො - ගච්ඡතෙ ස මහාපථෙ”
යි කීහ.
“මේ මාර්ගයෙහි ගිය තැනැත්තා ස්ත්‍රියක් ද පුරුෂයෙක් දැ යි මම නොදනිමි. එහෙත් ඇට සැකිල්ලක් නම් යනවා දුටුවෙමි.” යනු එහි තේරුම ය.
මෙවැනි කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් ද කාමච්ඡන්දය පහ වෙයි.
සප්පාය කථා යනු යෑම් සිටීම් ආදී සතර ඉරියව් පවත්වන හැම අවස්ථාවක දී ම මේ කුණු කය පිළිබඳ අසුභ බව හෝ පිළිකුල් බව ප්‍රකට වන කථා ඇති කිරීම නිසා ද කාමච්ඡන්දය පහ වෙයි.
මෙකී කරුණු සය ඇති වීමෙන් කාමච්ඡන්දය පහ ව යන්නාක් මෙන් ම මේ කරුණු සය ඇති නොවීමෙන් කාමච්ඡන්දය උපදනා බව ද දත යුතුයි.