සමථ විදර්ශනා භාවනාවෙන් තොර ව වාසය කරන කල්හි, ඇස කණ ආදී සදොරට හමුවන රූප ශබ්ද ආදී අරමුණු නිත්‍ය වශයෙන් හෝ, සැප වශයෙන් හෝ, ආත්ම වශයෙන් හෝ, සුභ වශයෙන් හෝ විපරීතව වැටහී එන්නේ ය. එවිට ඒ අරමුණු නුනුවණින් මෙනෙහි වීම අයෝනිසෝමනසිකාර ය යි. හැම අකුසලයකට ම මූල කාරණය වනුයේ මේ අයෝනිසෝමනසිකාරය මැ යි. රූප ශබ්ද ආදිය තමා ගේ සිත සතුටු කරවන - සිත අලවන - සිත ප්‍රිය කරවන සුභ අරමුණ ලෙස කල්පනා කිරීම කාමච්ඡන්දය ඇතිවීමට ප්‍රධාන කරුණකි.
මුල දී නො තිබුණු කාමච්ඡන්දය වනාහි නුසුදුසු ලෙස නුනුවණින් කල්පනා කරන මේ අයෝනිසෝමනසිකාරය නිසා ම උපදනේ ය යි, යෝගී පුද්ගල තෙම මේ අයෝනිසෝමනසිකාරය ද අත් දැකීම් වශයෙන් ප්‍රකට කර දැන ගනී.
“අයෝනිසො මනසිකාරො නාම අනුපායමනසිකාරො, උප්පථ මනසිකාරා අනිච්චේ නිච්චන්ති වා, දුක්ඛෙ සුඛන්ති වා, අනත්තනි අත්තාති වා, අසුභෙ සුසන්ති වා මනසිකාරො.” (සතිපට්ඨාන අටුවාව)
අයෝනිසෝමනසිකාරය නම්, තමා බලාපොරොත්තුවන - තමාට වුවමනා කරන - දියුණුවට හෝ සැප සම්පත්වලට හේතු නොවන වැරදි මගින් මෙනෙහි කිරීම යි. නිත්‍ය නොවන ඇය කෙරෙහි නිත්‍යය යි කියා හෝ සැප නො වන දැයෙහි සැපය යි කියා හෝ ආත්මයක් නැති දැයෙහි ආත්මයක් ඇතැයි කියා හෝ සෝභන නොවන දැයෙහි සුභය යි කියා හෝ මෙනෙහි කිරීම යි.
එනම්, සදොරට හමුවන නාම රූප හැම එකක්ම නිතර පවත්නා එකක් වශයෙනුත්, සැප ඇති එකක් වශයෙනුත්, තමාට ඕනෑ හැටියට පවත්වා ගත හැකි හරසර ඇති එකක් වශයෙනුත්, හොඳ ලස්සන සුභ දෙයක් හැටියට ත් මෙනෙහි කිරීම අයෝනිසෝමනසිකාරය යි.
නිත්‍යය, සැපය යන ආදී වශයෙන් වැටහීම ප්‍රකට නැතත් සදොරට හමුවන නාම රූප ධර්මයන් කමටහන් වශයෙන් මෙනෙහි නො කිරීම, විදර්ශනා විෂයෙහි අයෝනිසෝමනසිකාරය මැයි. කුමක් නිසාද යත්? එසේ නො මගින් මෙනෙහි කිරීම කෙබඳු දැ යි සලකා බලන කල්හි නිත්‍යය, සැපය යන ආදී වශයෙන් මෙනෙහි කළ බව ප්‍රකට වන බැවිනි. ප්‍රකට වන සැටි මෙසේයි දන්නා කල්හි “දකිනවා” ය යි මෙනෙහි නො කිරීම නිසා ඒ දැකීම් මාත්‍රයෙහි නො නැවතී දැකීම ඉක්මවා ගියහොත් දකිනු ලැබුවේ අසුවලාය, ඔහු මීට පෙරද සිටියේ ය. මේ දක්වා ම ඔහු සිටිනවා ය යි ද, දුටුවාට පසුව ද ඔහු අසුවල් දෙසට ගියේ ය. දැනට ඔහු අසුවල් තැන හෝ අසුවල් ගෙදර ඇත. දුටුවා වූ මම ම දැන් ඔහු ගැන කල්පනා කරමින් සිටිමි,
යන ආදී වශයෙන් ද මෙනෙහි කිරීම සිදුවන්නේ ය. මෙය නිත්‍ය වශයෙන් මෙනෙහි වීමය. ස්ත්‍රියක දකිමි, ඇය සුවසේ වසයි, ඇය දකින්නට ලැබීම වාසනාවකි. මෙසේ සැප වශයෙනුත් මෙනෙහිවීම සිදුවන්නේ ය.දකිනු ලැබූ තැනැත්තා සහ දැකීමත් පුද්ගලයෙක්ය. මමය. සත්ත්වයෙක්ය යන මේ වශයෙන් ද මෙනෙහි වීම සිදුවන්නේ ය. දකිනු ලැබූ තැනැත්තා ලස්සනය සෝභන ය යි මෙනෙහි විය හැකි ය.
එහෙත් ඒ තැනැත්තා ගැන අනිත්‍යය, දුක්ඛ, අනාත්මය, අසුභය යි මෙනෙහි නො විය හැකි ය. ඒ දැකීම මාර්ග ඵලයට ත් පැමිණීමට හේතු නොවේ. එහෙයින් කමටහනින් තොර ව සිතට ඕනෑ හැටියට සිතාමතා ක්‍රියා කරන්ට ඉඩ හැරීම ඒකාන්ත විදර්ශනා මාර්ග ඵලයන්ට බාධා කරන අයෝනිසෝමනසිකාරය යි. හැම අකුසලයක් ම මේ අයෝනිසෝමනසිකාරය නිසා ඇති වෙයි. මෙහි දී පසු පසු චිත්ත වීථිවල උපදනා අකුසල් වලට හේතුව සෙවීමේ දී පුර්ව පුර්ව චිත්ත වීථිවල හටගන්නා ආවර්ජනය සහ ජවන් රැස අයෝනිසෝමනසිකාරය යි සැලකිය යුතු ය. එක් වීථියක වූ අකුසලයගේ හේතුව සෙවීමේ දී ආවර්ජනය ම අයෝනිසෝමනසිකාරය යි සැලකිය යුතු යි. පෘතග්ජනයා වනාහි බොහෝ සෙයින් අකුසල් උපදවන අරමුණු ම බලාපොරොත්තු වෙයි. එහෙයින් සදොරට හමු වන හැම එකක් ම හමු වූ වහාම එය තමා ප්‍රිය කරන අරමුණක් දෝ ප්‍රිය නො කරන අරමුණක් දෝ හෝයි මෙනෙහි කරන්නාක් මෙන් උපදනා ආවර්ජන සිත, නො මගින් මෙනෙහි කරමින් පළමුකොට උපදී. යකුන්ට භයවන තැනැත්තාහට රාත්‍රි කාලයෙහි භය ජනක ශබ්ද ඇසෙන වරක් පාසා යකෙක් දෝ හෝ යි කල්පනාව ඇති වන්නාක් මෙනි. මිතුරෙකු දකිනු කැමැති තැනැත්තා දකිනු ලබන හැම කෙනෙක් ම තමාගේ මිත්‍රයා දෝ හෝ යි සිතන්නාක් මෙනි. පඤ්චද්වාරයෙහි හමු වන ඒ අරමුණේ සැටියට සම්පටිච්ඡන සන්තීරණ සිත් පහළ වූ පසු වොත්ථපන සිත එය ප්‍රිය අරමුණක් ය යි කියා හෝ අප්‍රිය අරමුණක් ය යි කියා හෝ විනිශ්චය කර යි. එහෙයින් ලෝභ ජවන්, දෝස ජවන්, මෝහ ජවන් අතුරෙන් යම්කිසි අකුසල් ජවනයක් උපදනේ ය.
මනෝද්වාරයෙහි ද ප්‍රිය අරමුණක්ය අප්‍රිය අරමුණය යන ආදී වශයෙන් ආවර්ජන චිත්තය විසින් මෙනෙහි කළ සැටියට අකුසල් ජවන් පහළ විය හැකිය. මේ දැක් වූයේ අයෝනිසෝමනසිකාරය නිසා අකුසල් ඇති වන ආකාරය යි.