“පුන චපරං භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූති. සෙය්‍යථාපි භික්ඛවෙ දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා චතුමහාපථෙ බිලසො විභජිත්වා නිසින්නො අස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ පථවී ධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූති.”
කෙටි අදහස
මහණෙනි, නැවත ද අනික් භාවනා මනස්කාරයක් කියනු ලැබේ. යෝගී තෙමේ තමාගේ ම මේ රූපක ය ම සතර ඉරියවු අතුරෙන් යම් ඉරියව්වකින් සිටියේ වෙයි ද යම් ඉරියව්වකින් පිහිටුවන ලද්දේ වෙයි ද එසේ සත්වයෙක් පුද්ගලයෙක් නොවන ධාතු ස්වභාවයාගේ වශයෙන් නුවණින් සලකා බලන්නේ ය. මේ කයෙහි තද ගොරෝසු ගතිය වූ පඨවි ධාතුව ද වැගිරෙන හෝ බැඳෙන ගතිය වූ ආපෝ ධාතුව ද උණුසුම් හෝ සිහිල් ගතිය වූ තෙජෝ ධාතුව ද රුකුල් දෙන හෝ පුම්බවන ගතිය වූ වායෝ ධාතුව ද යන මේ සතර මහා ධාතු ස්වභාවයෝ ම ඇත්තාහු ය යි නුවණින් සලකා බලන්නේ ය. මහණෙනි! යම්සේ ගවඝාතකයෙ (ගවයන් මරන්නෙ) ක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ වෙළඳාම පිණිස ගවයෙකු මරා ඒ ගව මස් කොටස් කොටස් වශයෙන් බෙදා සතර මංසන්ධියෙක හුන්නේ වෙයි ද, මහණෙනි! එවිට මස් කොටස් මිස ගවයෙකු දකින්ට නො ලැබෙන්නාක් මෙන් යෝගී තෙමේ තමාගේ මේ කය ම පවතින්නේ යම් සේ ද පිහිටා සිටින්නේ යම් සේ ද එසේ ම සත්වයෙක් නො වන පුද්ගලයෙක් නො වන ධාතු ස්වභාවයාගේ වශයෙන් නුවණින් සලකා බලන්නේ ය. කෙසේ ද? මේ කයෙහි තද හෝ මොලොක් වූ පෘථිවි ධාතුවය, බැඳෙන හෝ වැගිරෙන ආපෝ ධාතුව ය,
උණුසුම් හෝ සිසිල් වූ තෙජෝ ධාතුව ය, රුකුල් දෙන හෝ පුම්බවන වායෝ ධාතුව ය යන මේ සතර මහා භූත ධාතු මාත්‍රයක් ම ඇතැයි බලන්නේ ය.
එහි විස්තරය:
කේස කොට්ඨාශයෙහි සිට මුත්‍ර කොට්ඨාශය දක්වා පැවති දෙතිස් කුණප කොටස් අතුරෙන් කෙස් ආදී කොට ඇති හිස් මොල අවසන් කොට ඇති කුණප කොටස් (20) විස්ස පඨවී ධාතු නම් වේ. මේ කොටස් විස්ස තද ගතිය, මොලොක් ගතිය, හැපෙන ගතිය ඇත්තේ ය යි දත හැකි ය. මෙසේ දත හැකි නිසා එය පරමාර්ථ පෘථිවි ධාතුව ය.
මෙහි තද ගතිය නම්, උත්සන්න වූ පෘථිවි ධාතුව ය. මොලොක් ගතිය නම්, මන්ද වූ පෘථිවි ධාතුව ය.
පිත ආදී මුත්‍ර අවසන් කොට ඇති කුණප කොටස් (12) දොළොස ආපෝ ධාතුව යි. මේ කොටස් දියාරු ගතිය, වැගිරෙන ගතිය, ධූවිලි කුඩු හා එකට බැඳෙන ගතිය ඇත්තේ යයි දත හැකි ය. මෙසේ දත හැකි නිසා එය පරමාර්ථ ආපෝ ධාතුව ය.
මෙහි බැඳීම් ගතිය නම්, මන්ද වූ ආපෝ ධාතුව ය. වැගිරීම ගතිය නම් උත්සන්න වූ ආපෝ ධාතුව ය.
සන්තාපය, ජීරණය, දාහය, පාචකය 3 තෙජෝ ධාතුව සිවු වැදෑරුම් වේ. කයෙහි පවත්නා මේ තෙජෝ ධාතුව උණුසුම් ගතිය, සිහිල් ගතිය, දැවෙන ගතිය, තැවෙන ගතිය, පැසවන ගතිය ඇත්තේ යයි දත හැකිය. මෙසේ දැනගත හැකි නිසා එය පරමාර්ථ තේජෝ ධාතුව ය.
මෙහි සන්තාප තේජෝ ධාතු යනු දැඩි සේ තවන ගින්න ය. මෙය වනාහි ප්‍රකෘති උණුසුමට වඩා දැඩි සේ දියුණු තියුණු වූ ගිනි විශේෂයකි. මාන්දම් උණ, ග්‍රහණි උණ, සන්නිපාත උණ, මුර උණ, ඇඟ දැවිල්ල, ඇස් දැවිල්ල, බඩ දැවිල්ල, දෙ අත්ල එකට ගැටීමෙන් හට ගන්නා උෂ්ණය, හිරු රැසින් හට ගන්නා උෂ්ණය, ගින්නෙන් හටගන්නා උෂ්ණය, වැඩිහිටියන් කෙරෙහි වරදවා හැසිරීමෙන් හටගන්නා උෂ්ණය යන මේ ආදී වශයෙන් හටගන්නා උණුසුම් ගති සියල්ල සන්තාප තේජෝ ධාතු ය යි කියනු ලැබේ.
ජීරණ තේජෝ ධාතු යනු ශරීරය දිරවන ගින්න ය. ශරීරයෙහි පවත්නා සියලු ම උණුසුම් ගති හා සිහිල් ගති ද උණු සිහිල් ගති පවා නොදැනෙන තරම් ඉතා සියුම් ආකාරයෙන් දවන්නා වූ ශීතෝෂණ ගති ද යන මේ ගිනි සියල්ලක් ම ඒ ගින්නෙන් ඇවිල ගන්නා ලද පඨවි - ආපෝ ධාතු දෙවර්ගය සත්වයා ළදරු කල පටන් දිනෙන් දින සත්වයා වෙනස් කරමින් මුහු කරවා දිරවා හරින - ජීරණ ශක්තිය ඇති හෙයින් ජීරණ තේජෝ ධාතු ය යි කියනු ලැබේ.
දාහ තෙජෝ ධාතු යනු සත්ව ශරීරය දවන ගින්න ය. මෙය සන්තාප ගින්නට වඩා දියුණු තියුණු ව ඔබ මොබ හැසිරෙමින් පෙරලෙමින් කෙඳිරිය ඇති කරවන තරම් දවන ගින්න ය. මරණාසන්න වන තරම් දවන ගින්න ය. එසේ ම ශරීරයෙහි ප්‍රකෘති ශීතලට වඩා දියුණු තියුණු ව අත පය හිරි වැටෙන තරම් ශීත උපදවා දවන ගින්න ය. හිරිවාත-සන්නි රෝගාදිය ඇතිවන තරම් දවන ගින්න ය. ශීත සෘතුව පැමිණි විට ශීත උපදවා දවන ගින්න ය. ශීත සෘතුවෙහි ස්නානය කළ කල්හි ශීත උපදවා දවන ගින්න ය. පවන් සැලීම්
ආදියෙන් ශීත උපදවා දවන ගින්න ය. ද්වේෂය නිසා සකල ශරීරය දවන ගින්න ය. මෙකී ගිනි සියල්ල ම දාහ තෙජෝ ධාතු නම් වේ.
පාචක තේජෝ ධාතු යනු ආහාර පැසවන ගින්න ය. මෙය වනාහි සාමාන්‍යයෙන් උගුරු ආවටයෙහි පටන් ගුද මාර්ගය දක්වා බඩවැල් කුහරයෙහි ද, ආමාස යයි කියන ලද ආහාර බොක්කෙහි ද, අධික වශයෙන් පවතිමින් කන බොන ආහාර පැසවන්නාවූ ද බඩ වැල සහ එහි ඇතුල් වන ආහාර ද්‍රව්‍යයන් නිතර දවන්නා වූ උෂ්ණ ගින්නකි. කුසගත ගින්නක් බැවින් මෙයට බඩගින්න ය යි කියා ද ජඨරාග්නිය ය යි කියා ද ව්‍යවහාර කරති.
මෙහි උණුසුම් ගතිය නම්, උත්සන්න වූ තෙජො ධාතුව ය. සිහිල් ගතිය නම්, මන්ද වූ තෙජෝ ධාතුව ය.
උද්ධගම වාතය, අධෝගම වාතය, කුච්ඡිසය වාතය, කොට්ඨාසය වාතය, අඞ්ගමඞ්ගානුසාරී වාතය, ආස්සාස පස්සාස වාතය යි කියා ශරීරයෙහි පවතින්නා වාත කොටස් සයක් වේ. මේ වායු කොටස්හි ශරීරයට රුකුල් දීම ය, ශරීරය නැගිටුවීම ය, උස් කිරීම ය, පහත් කිරීම ය, සැලීම ය, ඇද ගැනීම ය, තල්ලු කිරීම ය යන මේ ගති පැවතුම් ඇත්තේ ය යි දත හැකිය. මෙසේ දැනගත හැකි නිසා එය පරමාර්ථ වායෝ ධාතුව ය.
එහි උද්ධගම වාතය නම් කුක්ෂියෙන් පටන් ගෙන උඩට නැගී ඉහළ යට සිදුරු වලින් නික්මෙන වාත ය යි.
අධෝගම වාතය නම්, කුක්ෂියෙන් පටන් ගෙන පහළට බැස යට සිදුරු වලින් නික්මෙන වාතය යි.
කුච්ඡිසය වාතය නම් බඩ වැලෙන් පිටත හෘදය කුහර - කුක්ෂි කුහර දෙක්හි පවත්නා වාත ය යි.
කොට්ඨාසය වාතය නම් බඩ වැල ඇතුලේ පවත්නා චාත ය යි.
අඞ්ගමඞ්ගානුසාරී වාතය නම්, අත පය ආදී ඒ ඒ කායාඞ්ගයන් අනුව ගමනාගමනය කරන වාත ය යි.
අස්සාස පස්සාස වාතය නම්, ඉහළ පහළ හෙළන නාසිකා වාත ය යි. මෙහි රුකුල් දීම් ගතිය නම්, මන්ද වූ වායෝ ධාතුව ය. සැලීම් ගතිය නම් උත්සන්න වූ වායෝ ධාතුව ය.
මෙහි විදර්ශනාව සිදුවන ආකාර ය නම්, කේස කොට්ඨාසයෙහි පටන් ආශ්වාස ප්‍රශ්වාස ය දක්වා පවත්නා කොටස් (42) දෙසාළිස මෙනෙහි කරමින් උපාචාර-අර්පනා ධ්‍යාන සමාධි ලබාගත් සමථයානික පුද්ගලයා හට වනාහි නැවත ඒ සමාධි චිත්තය හා සමග කෙස් ලොම් ආදීගේ ඉපදීම හා නැතිවීම මෙනෙහි කිරීමෙන් උදයබ්බය ඤාණය ආදී විදර්ශනා ඥාන පරම්පරාව පහළ වන්නේ ය. මෙය වනාහි ධාතු මනසිකාරයෙන් සමථයානිකයාහට විදර්ශනාව උපදනා ආකාර ය යි.
විදර්ශනායානිකයාහට වූ කලී ශරීරය තුළ ප්‍රකට ව ගැටෙන ස්ථානයන්හි සිහි නුවණ යොදවා සලකා බැලුව හොත් පඨවි ආදී ධාතු සතර ලක්ෂණ රස ආදී වශයෙන් පිරිසිඳ නුවණැසින් දැක ගැනීමෙන් ගැටීම ද එය අරමුණු කරන සිත ද ඒ සතර මහා භූත ධාතුන්ගේ ඇති වීම හා නැතිවීම ද ප්‍රකට ව දැන ගැනීමෙන් උදයබ්බය ආදී විදර්ශනා ඥාන පරම්පරාව පහළ කර ගත හැකි වන්නේ ය. මේ කියන ලද්දේ ධාතු මනසිකාරයෙන් විපස්සනායානික පුද්ගලයාහට විදර්ශනාව උපදනා ආකාරය යි.
එය මිනිසෙකුගේ මධ්‍යම ප්‍රමාණ ශරීරයක් පරීක්ෂා කර බැලුව හොත් එහි පරමාණු තරම් සියුම් රජස් කුඩු යයි කියන ලද පඨවිධාතු ද්‍රෝණයක් පමණ ඇත. එය එයින් භාගයක් පමණ ආපෝධාතුවෙන් (ජලයෙන්) පිඩු කරන ලදුව, තේජෝ ධාතුවෙන් කුණු නොවන සේ ආරක්ෂක්ෂා කරන ලදු ව, වායෝ ධාතුවෙන් එය නොවිසිරෙන ලෙස එකට සම්බන්ධ ව පවත්නා නිසා මේ සත්වයෙක් ය, මේ ස්ත්‍රියක් ය, මේ පුරුෂයෙක් ය, මේ ගසක් ය, මේ ගලක් ය’ යන ආදී රූ සටහන් වශයෙන් පවතින්නේ ය.
පරමාණුව ඉතා කුඩා ද්‍රව්‍යයකි. එය මිනිසුන්ගේ මසැසට නො පෙනෙන තරම් ඉතා සියුම් වස්තුවකි. එය පෙනෙන්නේ දිවැසට පමණ යි. එවැනි කොටස් සතිසක් (36) අණු රේණුවකි. අණු රේණු සතිසක් (36) තජ්ජාරි රේණුවකි. තජ්ජාරි රේණු සතිසක් (36) රථ රේණුවකි. රථ රේණු සතිසක් (36) ඌකාවකි. ඌකා සතක් (7) එක් ලික්ඛාවකි. ලික්ඛා සතක් (7) කුඩා මෑ ඇටයක් පමණ ය. මෑ ඇට සතක් (7) එක් අඟලකි. ද්‍රෝණය යනු සොළොස් නැළියකි.
කාෂ්ට මුඛ සර්පයා ය, පූතිමුඛ සපයා ය, අග්නි මුඛ සර්පයා ය, ශස්ත මුඛ සර්පයා ය යි විෂ ඝෝර සර්පයෝ සතර දෙනෙක් වෙති. ඔවුන් විසින් දෂ්ට කළ තැනැත්තා එකෙණෙහි ම මැරී යන්නාක් මෙන් මේ ශරීරයෙහි පවත්නා පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන් ගෙන් යමක් කුපිත වුව හොත් එකෙණෙහි ම මරණය සිදුවෙයි.
1.”පත්ථද්ධො භවතී කායො
දට්ඨො කට්ඨමුඛෙන වා
පථවී ධාතුපකොපෙන
හොති කට්ඨමුඛෙව සො”
කාෂ්ට මුඛ සර්පයා විසින් දෂ්ට කළ තැනැත්තාගේ ශරීරය තද වී- දරදඬු වන්නාක් මෙන් මේ ශරීරයෙහි පවත්නා පඨවි ධාතුව කෝපවීමෙන් උග්‍ර විෂ ඇති කාෂ්ට මුඛ සර්පයාගේ මුඛයට පිවිසියෙකු සේ ශරීරය දරදඬු වී මරුමුවට පත්වන්නේ ය.
2. “පූතිකො භවතී කායො
දට්ඨො පූතිමුඛෙන වා
ආපොධාතුපකොපෙන
හොති පූතිමුඛෙව සො”
පුතිමුඛ සර්පයා විසින් දෂ්ට කළ තැනැත්තාගේ ගරීරය කුණු වී, යන්නාක් මෙන් මේ ශරීරයෙහි පවත්නා ආපෝ ධාතුව කෝපවීමෙන් පූතිමුඛ සර්පයාගේ මුඛයට පිවිසියෙකු සේ ශරීරය කුණු වී පැසවා, මරුමුවට පත්වන්නේ ය.
3. “සන්තත්තො භවතී කායො
දට්ඨො අග්ගිමුඛෙන වා
තෙජොධාතුපකොපෙන
හොති අග්ගිමුඛෙව සො”
අග්නි මුඛ සර්පයා විසින් දෂ්ට කළ තැනැත්තාගේ ශරීරය සර්වප්‍රකාරයෙන් ගින්නෙන් දැවෙන්නාක් මෙන් - තැවෙන්නාක් මෙන් මේ ශරීරයෙහි පවත්නා තේජෝ ධාතුව කුපිතවීමෙන් දරුණු විෂ ඇති අග්නි මුඛ සර්පයාගේ මුඛයට පිවිසියකු ගේ ශරීරය දැවි දැවී මරුමුවට පත්වන්නේ ය.
4. “සඤ්ඡින්නො භවතී කායො
දට්ඨො සත්ථමුඛෙන වා
වායො ධාතුපකොපෙන
හොති සත්ථ මුඛෙව සො”
ශස්ත්‍ර මුඛ සර්පයා විසින් දෂ්ට කළ තැනැත්තාගේ ශරීරය උපසේන මහා ස්වාමීන් වහන්සේගේ ශරීරය හාත්පසින් සුණු විසුණු වූවාක් මෙන් මේ ශරීරයෙහි පවත්නා වායෝ ධාතුව කෝපවීමෙන් දරුණු වීෂ ඇති ශස්ත මුඛ සර්පයාගේ මුඛයට පිවිසියකුගේ ශරීරය සේ කැඩී බිඳී සුණු විසුණු වී ගොස් මරුමුවට පත්වන්නේ ය යි ද කීහ.
ධාතු මනසිකාර පබ්බය නිමි.