ව්‍යඤ්ජන පරිච්ඡේදකථා

star_outline

(විපච්ඡිතෙය්‍යාති සද්දමෙය්‍ය, අසම්භාවනීයො අසම්පන්නොති අත්‍ථො, තිරියං ඕධිනාති පරිච්ඡේදෙන අස්ස භවෙ. චන්‍දපරිකරොති, චන්‍දපරිකර පන්‍ථො....[1]) තණ්හංකර බුදුන්ට රුක්අත්තන ගස බෝධියයි. මේධංකර බුදුන්ට කෑල ගස බෝධියයි සරණංකර, දීපංකර බුදුවරුන්ට පුලිල ගස බෝධියයි. කොණ්ඩඤ්ඤ බුදුන්ට සල්ගස බෝධියයි. මංගල, සුමන, රේවත, සෝහිත යන බුදුවරුන්ට නාරුක බෝධිය යි. අනෝමදස්සි බුදුන්ට කුඹුක් ගස බෝධියයි. පදුම, නාරද බුදුවරුන්ට සෝණ ගස බෝධියයි. පියුමතුරා බුදුන්ට හොර ගස බෝධියයි. සුමේධ බුදුන්ට කොසඹ බෝධියයි. සුජාත බුදුන්ට වේළු බෝධියයි. පියදස්සි බුදුන්ට කුඹුක් බෝධියයි. සුජාත බුදුන්ට හුණ බෝධියයි. අත්‍ථදස්සි බුදුන්ට සපු බෝධියයි. ධම්මදස්සි බුදුන්ට රත්කරව් බෝධියයි. සිද්ධත්‍ථ බුදුන්ට කණිකාර බෝධියයි. තිස්ස බුදුන්ට සොණ බෝධියයි. ඵුස්ස බුදුන්ට නෙල්ලි බෝධියයි. විපස්සි බුදුන්ට පළොල් බෝධියයි. සිඛී බුදුන්ට විපස්සි බුදුන්ට පළොල් බෝධියයි. වෙස්සභූ බුදුන්ට සල්බෝධියයි. කකුසඳ බුදුන්ට සිරීස බෝධියයි. කෝනාගමන බුදුන්ට අත්තික්කා බෝධියයි. කාශ්‍යප බුදුන්ට නුගරුක් බෝධියයි. ගෞතම බුදුන්ට ඇසතු බෝධියයි.

මේ බෝධිය මහාපෘථුවියෙහි නැබ මැද උපදනා බව කියන ලදි. එහෙයින් පෙර බුදුවරුන්ගේ පලඟ පිහිටි තැන්හිම උපදනේය. බෝ පලඟ පිහිටි තැන ලෝක විනාශයේදී හැමට පසුව වැනසේ. ලෝ පිහිටන කල්හි පළමුවම පිහිටයි. කෙසේ පිහිටන්නේද? මනුෂ්‍යලෝකස්ථානය වාතබලයෙන් හටගනී. ජලයෙහි පිහිටයි. ජලමත උපුල් පත් මෙන් පොළොව ඝනව පිහිටයි. දියමත උපුල් පත් මෙන් පිහිටි ඒ පොළොවෙහි නැබ මැද හෙවත් හරි මැද පෙර නිමිති බව දක්වමින් එක් පියුම් ගසක් උපදී. එහි ධර්මතා වශයෙන් ඒ කල්පයෙහි බුදුවරු උපදිත් නම් මල් පිපෙයි. බුදුවරු නූපදිත් නම් මල් නොපිපෙයි. එක් බුදු කෙනෙක් උපදිත් නම් එක් මලක් පිපෙයි. දෙනමක් උපදිත් නම් මල්දෙකක් උපදී. තුන් නමක් සතර නමක් පස් නමක් උපදිත් නම් මල් තුනක් හතරක් පහක් වශයෙන් උපදී. පිපෙන මල් ද එකම නාලයෙහි කිණිහිරිමල් මෙන් උපදියි.

එකල්හි සුද්ධාවාස බ්‍රහ්මයෝ නිදුකාණෙනි, පෙරනිමිති බලන්නට යමු කියා මහා බෝධි පර්‍ය්‍යංකස්ථානයට පැමිණෙති. බුදුවරුන් නූපදින කල්පවල මල් නොපිපෙයි. ඔවුහු මල් නොමැති ගස් දැක භවත්නි, ලෝකය අන්‍ධකාරය. මෝහයෙන් මුළා වූ සත්ත්වයෝ අපායෙහි පිරෙති. සදෙව්ලොවත් බඹ ලොවත් හිස් වෙයි. කියා නොසතුටට පත්වෙති. පිපෙන කාලයෙහි මල් දැක අහෝ මහත් ආලෝකයක් ඇති වන්නේය. සර්වඥ බෝධිසත්ත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳීමෙහි නික්මීමෙහි අබිනික්මන් කිරීමෙහි බුදු වීමෙහි දම්සක් පැවැත්වීමෙහි යමාමහපෙළහර දැක්වීමෙහි ආයුසංස්කාර අත් හැරීමෙහි පිරිනිවීමෙහි ප්‍රාතිහාර්‍ය්‍ය දකිමු. සතර අපා පිරිහෙයි. සදෙව්ලොවත් බඹලොවත් පිරෙයි කියා සතුටුව උදම් අනමින් තමන්ගේ බ්‍රහ්ම ලෝකවලටම යති. මේ භද්‍ර කල්පයෙහි පියුම් පහක් පිපුණේය. ඒ නිමිති පරිදි පිළිවෙළින් සිව් බුදුකෙනෙක් උපන්හ. පස්වැනි බුදුහු උපදනාහ. කකුසද කෝනාගමන කස්සප බුදුවරුන් පිරිනිවි කල්හි උන්වහන්සේලාගේ ශාසන ද අතුරුදහන් වූ කල්හි සිරීස උදුම්බර නිග්‍රෝධ බෝරුක් ද අතුරුදහන් විය. මේ අපගේ බුද්ධොත්පාදයෙහි අපට අනුකම්පා කළ බෝසත්හු සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් සමතිස් පැරුම් පුරා තුසීපුර දෙවියන්ගේ ආරාධනා පිළිගෙන දසසහස්‍රී ලෝකධාතු කම්පා කිරීමාදි අනේකප්‍රකාර ප්‍රාතිහාර්‍ය්‍ය දක්වමින් වලා ධූම රජස් ආදියෙන් විරහිතව නිකුත් සූර්‍ය්‍යයා මෙන් මවුකුසින් නික්මෙති. උන් වහන්සේ උපදනා දිනයෙහිම ඇසතු බෝධිය උපදියි.

පාපී මාරයා උපන් බෝරුක දැක බියව නොසතුටට පත්ව මෙසේ සිතීය. “මේ බෝරුක මුල ඔකාවස් කුලයෙන්, මහබිනික්මන් නික්ම සර්වාර්ථ සිද්ධාර්ථ කුමරා සම්‍යක් සම්බෝධිය අවබෝධ කරන්නේය. බොහෝ සත්ත්වයෝ මාගේ විෂයයෙන් මිදෙන්නාහ” කියායි. මෙසේ සිතා එක් පුතෙකු පිරිවර සහිතව බෝරුක වෙත නවතා සර්වාර්ථ සිද්ධාර්ථ කුමරා යම්දාක මෙහි පැමිණේ ද එදා ඔබ මට දැනුම් දෙවයි කීය. ඔහු පියාගේ වචනය ගෙන එහිම වාසය කළේය. බෝසත්හු එකුන්තිස් වසක් ගිහිගෙයි සිට ජීර්ණ ව්‍යාධි, මෘත ප්‍රව්‍රජිත යන සතර දේවදූතයන් දැක කලකිරුණු සිතින් සසර ආදීනව දැක මධ්‍යම රාත්‍රියෙහි උතුම් කන්ථක අසුපිට නැගී සහජාත ඡන්නයන් සමඟ නුවර දොරටුවෙහි දී පාපී මාරයා විසින් පොළොඹවන ලද සක්විති රජය ද ප්‍රතික්‍ෂේප කොට නොනැවති මහබිනික්මන් කොට එක් රැයින්ම තුන් රජය ගෙවා ආනෝමා නදී තීරයට පැමිණියහ. කවර තුන් රජය ද කපිලවත්‍ථු, දේවදහ, කෝලිය රාජ්‍යයන්ය.

බෝසත්හු අනෝමා තීරයෙහි, පැවිදිව උරුවේලාවෙහි සාවුරුදු ප්‍රධන් වීර්‍ය්‍යය වඩා වෙසක් පුණු පොහෝ දින උරුවේලාවෙහි ෙස්නානිගමයෙහි සුජාතාව පිදූ දෙවියන් විසින් දිව ඕජස් බහාලූ කිරිබත වළඳා සල්වනයෙහි දිවාවිහාර කොට සවස්හි අටඉස්බක් පුළුල් දෙවියන් විසින් මවන ලද මඟින් බෝරුක බලා වඩින සේක් අතරමග සොත්‍ථිය බමුණහු විසින් දෙන ලද අටතණමිට ගෙන මහාබෝධියට දකුණින් පැමිණ තෙවරක් පැදකුණු කොට ඊසාන දික්හි තුදුස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකයෙන් නැගෙනහිර බලා හුන්හ. එවිට මාරයාගේ පුත් එසේ ආ බෝසතුන් දැක වහා ගොස් මාරයාට දැන්වීය. ඉක්බිති මාරයා “යව්, සර්වර්ථ සිද්ධාර්ථ කුමරු රාග පාශයෙන් බැඳගෙන එව්” කියා දූවරුන් තිදෙන යැවීය. ඔවුහු තුෂ්ණිම්භූතව අචලස්ථානයෙහි හුන් බෝසතුන් නැටුම් ගැයුම් සිනාවීම් තෙපලීම් බැලීම් ආදි විවිධ උපායවලින් එතැනින් සොලවනු නොහැකිව මාරයා වෙත පැමිණ පියාණෙනි, එතැනින් සෙලවීමට වත් නොහැකි වීමුයි කීහ. ඉක්බිති මාරයා ක්‍රෝධයෙන්ම අපමණ මරබල ගෙන තෙමේම බෝසතුන් වෙත ගියේය. පාළියෙහි කී පරිද්දෙන්ම ගත යුතුය.

මාරයා බියකරු ගොර බිරම් වේශ ගත් ආයුධධාරි මරසෙන් ගෙන එහි පැමිණියේය. එවිට බෝධිසත්ත්වයෝ දාන සීලාදී සමතිස් පැරුම් යෝධයන් සහිතව සතිස් යොදුන් පරිමණ්ඩල වූ මරසෙන් තුන් ආකාරයකින් පරදවා රාත්‍රි තුන්යම්හි ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කොට සර්වඥතාඥානය අවබෝධ කළහ.

නැවත නැවත දුක් උපදවන ගෘහ කාරකයා සොයමින් නොදැක නොයෙක් ජාති සංසාරවල සැරිසැරීමි.

වඩුව, මම ආත්මභාව නමැති ගෙය සදනා තෘෂ්ණාව සොයමින් යම් නුවණකින් එය මට දත හැකි වේද ඒ ඤාණය සඳහා සසර නොයෙක් ජාතීන්හි සැරිසැරීමි. අනිබ්බිසං යනු, ඒ නුවණ නොවිඳිමින් නොලබමින් ම සැරිසැරුවෙමි. හැසිරුණෙමි යන අර්ථයි. යළි යළිත් උපත දුකෙකි. මේ උපතට නැවත නැවත එළඹීම දුකෙකි. වඩුවා නුදුටු විට ගෘහය තවදුරටත් පවතියි. එබැවින් සොයමින්ම සැරිසැරුවෙමි. ගහකාරක දිට්ඨෝසි යනු, ගෙය සදන්නාණෙනි, ඔබ දක්නා ලද්දේ වෙහි. සර්‍වඥතාඥානය අවබෝධ කරන්නා වූ මා විසින් ගෙය සදන්නා දක්නා ලද්දෙහිය. ත්‍වං පුන ගෙහං න කාහසි යනු, යළිත් මේ සසරෙහි ආත්මභාව සංඛ්‍යාත ගෙය නොසාදන්නෙහිය. නොකරන්නේය යන අරුත්ය. සබ්බා තෙ ඵාසුකා භග්ගා යනු, ඔබගේ ඒ කෙලෙස් අර මවිසින් බිඳින ලදි. ගහකූටං විසංඛිතං යනු, මේ ආත්මභාව නමැති ගෘහයෙහි කැණිමඬල මවිසින් විසුරුවා හරිනලදි. විසංඛාරගතං චිත්තං යනු, මගේ සිත නිවනට එළැඹිණි. එය නිවනට පත්විය යන අරුත්ය. එහි පටිච්චසමුප්පාදො යනු, කවරක් නිසා හටගත්තේ ද? ඔවුනොවුන් නිසා උපදින බැවින් පටිච්ච සමුප්පාදයයි කියනු ලැබේ. විනිශ්චය වශයෙන් මෙහි පටිච්ච යනු අහේතුකවාද ප්‍රතික්‍ෂේප කිරීමයි. සම යනු විසමවාදයන් ප්‍රතිෂේධයයි. උප්පාදො යනු, ස්පර්ශය දැක්වීමෙන් සත්ව භාවය ප්‍රතික්ෂේප කිරීමයි.

වෙනත් (විස්තර) ක්‍රමයක් ද වේ. පටිච්ච යන්නෙන් සමුදය සත්‍යය දක්වයි. සමුප්පාදො යන්නෙන් දුඃඛ සත්‍යය දක්වයි. තවත් ක්‍රමයක් ද වේ. පටිච්ච යනු, හේතු දැක්වීමයි. සමුප්පාදො යනු, ස්පර්ශ දැක්වීමයි. තවද ක්‍රමයෙකි. එහි පටි යනු, පැවැත්මේ අරුත්හි උපසර්ගයකි. පටිච්ච යනු අපේක්‍ෂාර්ථයෙහි නිපාතයෙකි. ස යනු, එක්වීම් අරුත්හි උපසර්‍ගයකි. උප යනු පහළවීමෙහි අරුත් ඇති නිපාතයෙකි. පාද යනු, ධාතු නිෂ්පත්තියෙහි යෙදෙන්නකි. ඇල්ම අනපේක්‍ෂිතව එක්වීම් වශයෙන් හටගැන්ම නිපැයීම නමැති සංස්කාර

නොවේ යයි පටිච්ච සමුප්පාදයයි කියනු ලැබේ. මෙසේ පස්වැදෑරුම් නිරුක්තීන්ගෙන් උපසර්ග, නිපාත, ධාතු, සමවාය, සංයෝග ආදි නිරුත්ති පටිසම්භිදාවන්හි මුදුන් පත් වූ භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද යන්නෙන් (ඉහත කී අහේතුවාද විසමවාද ආදිය) වළක්වාලන සේක. එහි අවිද්‍යාදි ධර්ම පටිච්චසමුප්පාදයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පවසන ලද්දේමය.

“මහණෙනි, ඔබලාට ප්‍රතීත්‍යසමුත්පාදය දෙසන්නෙමි. මහණෙනි, ඒ ප්‍රතීත්‍යසමුත්පාදය කවරේ ද? අවිද්‍යාව ප්‍රත්‍ය කොට සංස්කාර වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙයි. විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වෙයි. නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය (උපත) වෙයි. ජාතිය ප්‍රත්‍ය කොටගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිති. මෙසේ හුදු දුඃඛ සමූහයාගේ හටගැනීම වෙයි. මහණෙනි, මෙය පටිච්චසමුප්පාදයයි කියනු ලැබේ.

ඉදින් ඒ ධර්‍මයෝ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය වීමෙන් සියල්ලෝ බලවත් වෙත් නම් භාග්‍යවතුන් වහන්සේ කුමන කරුණකින් අවිද්‍යාව පළමු කොට කියන ලද්දේ ද? අවිද්‍යාව අවබෝධ කිරීම් වටහා ගැනීම් වශයෙන් ප්‍රධාන වන බැවින් අවිද්‍යාව පළමුව කියන ලදි. අනතුරුව සංසාර ගති ගමනට ප්‍රධාන වූ සංස්කාරයෝයි. ප්‍රතිසන්‍ධියට ප්‍රධාන වූ විඤ්ඤාණයයි. ආත්මභාවය ඇති කිරීමට ප්‍රධාන නාමරූපයි. එක් රැස් වීම ප්‍රධාන වූ ෂඩායතනයි. රැස් වීමට එක්වීමට ප්‍රධාන වූ ස්පර්ශයයි. භවය ගෙන දීමෙහි ප්‍රධාන වේදනාවයි. භව ආස්වාදය ගැනීම ප්‍රධාන වූ තෘෂ්ණාව යි. භවය දැඩි කොට ගැනීම ප්‍රධාන වූ උපාදානයයි. හටගැනීම ප්‍රධාන වූ භවයයි. භවය හට ගැනීම ප්‍රධාන වූ උපතයි. දුකට මුල් වීමට ප්‍රධාන වූ ජරාමරණ සෝකපරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝයි. ඔවුනතුරින් යමක් නොදැනීම වේද එය අවිද්‍යාව නමි. කවර අරුතකින් අවිද්‍යාව නම් වේද? එහි ප්‍රඥාව නැතැයි අවිද්‍යායි. ඒ අවිද්‍යාව කුමක්ද? දුකෙහි නොදැනීම, දුක හට ගැනීම නොදැනීම, දුක නැති වීම නොදැනීම, දුක නැති කරන පිළිවෙත නොදැනීම, පූර්වාන්තය නොදැනීම, අපරාන්තය නොදැනීම, පූර්වාන්ත අපරාන්තයන් නොදැනීම, ප්‍රත්‍යයන් ඇසුරු කොට හටගන්නා ධර්මයන් නොදැනීම යන යම් මෙබඳු වූ, නොදැනීමක් නොදැකීමක් නොවැටහීමක් වැළකීමක් අනවබෝධයක් අකුශල මූල වූ මෝහයක් වේද මෙය අවිද්‍යාවයි කියනු ලැබේ.

ඒ අවිද්‍යාව නම් සියලු ප්‍රත්‍යය ධර්‍මයන්ට මුල් වූයේ යි. ප්‍රධාන වූයේ යි. රජෙකු වූයේයි. යම් සේ රජ තෙමේ ආරක්‍ෂිත අමාත්‍ය පිරිවර සහිත සේනාව ගෙන රාජ්‍යය කරන්නේ ද එසේ මේ අවිද්‍යාව ද රජෙකි. සංස්කාර නමැති සේනාවෙන් රක්නා ලද්දේයි. විඤ්ඤාණ නමැති අමාත්‍යවරයා ඇත්තේයි. නාමරූප සළායතන මාලිගයයි. ස්පර්ශය පඤ්චකාම ගුණයයි. වේදනාව මිත්‍රයායි. මිත්‍රයා කෙරෙහි ඇල්ම තෘෂ්ණාවයි. විහිංසාව උපාදානයයි. විවිධ දඬුවම් යළි යළිත් දීම භවයි. ඓ‍ශ්වර්ය සම්පත්තිය ජාතියයි. ජරාමරණ දෙපාර්ශ්වය විපත්තියයි. යම් හෙයකින් අවිද්‍යාව ප්‍රත්‍යය ධර්‍මයන්ට මුල් වූයේ ද එහෙයින් මේ සූත්‍රයෙහි අවිද්‍යාව පෙරටුව කියන ලදි. මෙසේ අවිද්‍යාව ආදි කොට ජරාමරණ අවසානය දක්වා ප්‍රතීත්‍ය සමුත්පාදය දේශනා කළ සේක. ජරාමරණාදිය ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්‍මයෝයි දත යුතුය.

භාග්‍යවතුන් වහන්සේ විස්තර කියන ලද්දේමය. “මහණෙනි, ප්‍රතිත්‍ය සමුත්පන්න ධර්මයෝ කවරහු ද? මහණෙනි, ජරාමරණය, අනිත්‍යය. සංස්කෘතය, ප්‍රතීත්‍යසමුත්පන්නය, ගෙවීම, වැයවීම නැතිවීම ස්වභාවය කොට ඇත්තේය. මහණෙනි, ජාතිය අනිත්‍යය -පෙ- මහණෙනි, භවය අනිත්‍යය. උපාදානය අනිත්‍යය. තෘෂ්ණාව අනිත්‍යය. වේදනාව අනිත්‍යය. ස්පර්ශය අනිත්‍යය. ෂඩායතනය අනිත්‍යය. නාමරූප අනිත්‍යය. සංස්කාර අනිත්‍යය. අවිද්‍යාව අනිත්‍යය. සංස්කෘතය ප්‍රතීත්‍යසමුත්පන්නය. ගෙවීම විනාශවීම විරාගය හා නිරෝධය ස්වභාව කොට ඇත්තේය. මහණෙනි, මේවා ප්‍රතීත්‍යසමුත්පන්න ධර්මයයි කියනු ලැබේ.

පටිච්චසමුප්පන්නධම්මා යනු, ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්මයෝයි. මෙය සැකෙවින් අරුතයි. පටිච්චසමුප්පාද යන්නෙන් ප්‍රත්‍යය ධර්‍මයෝ දත යුත්තාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතීත්‍යසමුත්පාද - සමුත්පන්න දේශනාව සූත්‍රයෙහි කියන ලදි. මහණෙනි, ප්‍රතීත්‍යසමුත්පාදය කවරේ ද? මහණෙනි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතියයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවයයි. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානයයි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාවයි. ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාවයි. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශයයි. නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතනයි. විඥාන ප්‍රත්‍යයෙන් ෂඩායතනයි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානයයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝයි. තථාගතවරුන් පහළව සිටියදී හෝ නොපහළව සිටියදී මේ ධර්‍මයන්ගේ ස්වභාවය වූ ධර්‍මනියාමතාව වූ ප්‍රතීත්‍යසමුත්පාදය පවතීමය. තථාගතවරු එය අවබෝධ කරති. වටහා ගනිති. අවබෝධකර වටහාගෙන කියති. දෙසති, පැහැදිලි කරති. විවරණය කොට දක්වති.

තවද මෙහි නියාමතාව, බීජනියාම, කම්මනියාම, චිත්තනියාම, උතුනියාම, ධම්මනියාම වශයෙන් පස් ආකාර වෙයි. එහි බීජනියාමය යනු කුමක් ද? මෑ පඳුර උතුරු දෙසට පිහිටීම් වශයෙන් ද කළුවැල කැරකී යාම් වශයෙන් ද පොල්ගසේ පට්ටය තද බවට පැමිණ වීම් වශයෙන් ද හිරු දෙසට නැමෙන මල් හිරු අනුගමනය කිරීම් වශයෙන් ද මුං මෑ කොළ හිරු දෙසට උස්ව යාම් වශයෙන් ද පැවැත්ම බීජ නියාමය නමි. කර්ම නියාමය නම් කුමක් ද? සහජ අන්‍ධභාවය ඇති කිරීම මිනිසුන්ගේ පැහැපත්බව, කැත බව, කුදු බව, මිටි බව ආදිය ඇති කිරීම යන මෙය කර්මනියාමයයි. චිත්තනියාමය කවරේ ද? දුරයාම, තනිව හැසිරීම, සිරුරක් නැති බව ගුහාවක් ඇසුරු කොට ඇති බව යන මේවා චිත්ත නියාමය නමි. උතු නියාමය කවරේ ද? ශීත කාලයෙහි ශීත, උෂ්ණ කාලයෙහි උෂ්ණය යන මේවා උතු නියාමයයි. ධර්‍ම නියාමය කවරේ ද? තථාගතවරුන් ඇති විට හෝ නැති විට ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදයේ පැවැත්මයි. එහෙයින්,

පොළව සයුර සමග විනාශ විය. එසේම සෙසු රජවරු ද වැනසෙති. අහස පමණක් පවතීයි කියන ලදි.

ලොව සම්බුදුවරුන් පහළව සිටියදී හෝ පිරිනිවන් පෑ කල්හි හෝ ප්‍රත්‍යයෝ පවතිති. මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට මත්තෙහි තණ්හඞ්කර නම් සම්බුදුන් වහන්සේ ලොව පහළව ප්‍රත්‍යයාකාරය අවබෝධ කොට බුදු කිස නිමවා පිරිනිවන් පෑ සේක. උන්වහන්සේ පිරිනිවන් පෑ විට ප්‍රත්‍යයෝ නොනැසුණහ. සරණඞ්කර සම්බුදුන් වහන්සේ ද ප්‍රත්‍යයාකාරය අවබෝධ කොට පිරිනිවන් පෑ සේක. එසේම දීපංකර, කොණ්ඩඤ්ඤ, සුමඞ්ගල, සුමන, රේවත, සෝහිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සි, අත්‍ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්‍ථ, තිස්ස, ඵුස්ස, විපස්සි, සිඛී, වෙස්සභූ, කකුසන්‍ධ, කෝනාගමන, කාශ්‍යප හා අපගේ ගෞතම යන සම්බුදුන් වහන්සේලා බුදුව ප්‍රත්‍යයාකාරය අවබෝධ කොට පිරිනිවියහ. එහෙත් ප්‍රත්‍යය ධර්‍මයෝ නොනැසී පවතිති.

මෙසේ අතීත බුදුවරුන් පිරිනිවන් පෑ කල්හි ද ප්‍රත්‍යයන් නොනැසුණු බැවින් අනාගතයෙහි පහළවන බුදුවරු ද ප්‍රත්‍යයාකාරය අවබෝධ කරන්නාහුමය.

එය අරභයා ධර්‍මරාජ වූ භාග්‍යවතුන් වහන්සේ නොයෙක් භවයන්හි පුරුදු පුහුණු කරන ලද සුචරිතානුභාවයෙන් පැන නැගුණු උතුම් ධර්මාසනයෙහි වැඩ හුන් සේක. මහණෙනි, අවිද්‍යා හේතුවෙන් සංස්කාරයෝ වෙතැයි යනාදියෙන් අවිද්‍යාවෙහි සිට මරණය කෙළවර කොට ප්‍රත්‍යධර්මයන් දෙසා මෙසේ මහණෙනි, එසේම පැවතීමක් නොවෙනස්වීමක් වේද එය ප්‍රතීත්‍ය සමුත්පාදයයි දෙසූ සේක. මෙසේ ප්‍රතීත්‍යසමුත්පාදය දෙසන ලද භාග්‍යවතුන් වහන්සේ විසින් වෙනස් නොවී පැවතීම් (තථතා) ආදියෙන් ද ප්‍රත්‍යය ධර්‍මයෝම ප්‍රතීත්‍යසමුත්පාදයයි කියන ලදි. ජරාමරණාදි ධර්මයන්ගේ ප්‍රත්‍යය ලක්‍ෂණය වූ මේ ප්‍රතීත්‍යසමුත්පාදය දුක අඛණ්ඩව විදීම රසය කොට ඇත. අවිද්‍යා ආදි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්‍මය හටගන්නා බැවින් ප්‍රතීත්‍ය සමුත්පාදයයි කියනු ලැබේ. මෙහි පටිච්ච සමුප්පාදය දෙපරිද්දෙකින් සිදුවෙයි. යම් හෙයකින් එය වටහාගනු ලබන්නේ සුවය සඳහා පවතී ද එහෙයින් එය වටහාගැනීමට සුදුසු වෙයි. ප්‍රතිවේධය හෙවත් වටහාගැනීම ඇති වීමත් සමඟම දහසක් ධර්‍මයෝ උපදිත්. එය තනි හේතුවෙන් හෝ අහේතුවෙන් ද නොවේ. සමුප්පාදයම පටිච්ච නමි. එය සමුප්පාදයයි. තවද සමඟ එක්ව උපදීනුයි ද සමුප්පාද නමි. ප්‍රත්‍යයන්ගේ එක්වීම නිසා ප්‍රත්‍යයන්ගෙන් තොරව හටගැනීමක් නොවැටහෙයි. එයට හේතු සමූහයකි. යම් සේ ලෝකයෙහි සෙමට හේතුවන ගුළිය සෙම්හගුළයි කියනු ලැබේද, එසේම සසුනෙහි සුවයට ප්‍රත්‍යය වීමෙන් බුදුවරුන්ගේ උපත සුඛො බුද්ධානං කියයි ද එහෙයින් පටිච්චසමුප්පාදයයි කියනු ලැබේ.

එසේම මේ පටිච්චසමුප්පාදය මෙහි ඵල ව්‍යවහාරයෙන් බුද්ධයයි දත යුතුය. නැතහොත් වෙන් වෙන්වූ සුවයෙන් මිදුණේයයි හේතුව කියන ලදි. ඒ මේ ප්‍රතීත්‍ය සමුත්පාදය සංස්කාරාදීන්ට අවිද්‍යාදි හේතු ඇති කරන බැවින් එක් එක් ශීර්ෂයෙන් නිර්දේශ කරන ලදි.

ඒ හේතු සමූහය සාධාරණ ඵල ඉපදවීම් අරුතින් ද නොවෙනස්ව පැවතීමේ අරුතින් ද ඒවායින් යුක්ත වූවන්ගේ අන්‍යොන්‍ය තනි තනි සුවයන් ඉක්මිණැයි ද වශයෙන් ගෙන පටිච්චයි කියනු ලැබේ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතීත්‍ය සමුත්පාදය ඉදිරිපත් කිරීමෙන් ශාස්වතාදී දෘෂ්ටීන්ගේ හා උච්ඡෙද ආදී දෘෂ්ටීන්ගේ අභාවය ප්‍රකාශ කරන ලදි. මේ දෙකින්ම ඥානයෝනිය දක්වන ලද්දේය. මේ පටිච්චසමුප්පාදය යනු මාර්‍ගය යන අර්ථ ඇත්තේ ද වෙයි. එම මාර්ගයට ගැනීමේදී ආචාර්ය මතයෙන් දොස් නොනැගෙන පරිදි ස්වකීය ධර්‍මමාර්‍ගය නොඉක්මවමින් විනයට අනුලොම්ව මහාපදේශයන්ට අනුකූලව ධර්‍මය ප්‍රකට කරමින් අර්ථය ගෙන එය අර්ථවත් කළ යුතුය. ප්‍රකෘතියෙන්ම භවයේ ප්‍රතීත්‍යසමුත්පාද න්‍යායය පිළිබඳ අර්ථවර්ණනාව දුෂ්කරය.

“සත්‍යය, සත්වයා ප්‍රතිසන්‍ධිය හා ප්‍රත්‍යයාකාරය හෙවත් පටිච්චසමුප්පාදය යන මේ කරුණු සතර වටහා ගැනීම දුෂ්කරය. දේශනා කිරීම ද බෙහෙවින් දුෂ්කරය.”

එබැවින් ආර්‍ය්‍යමාර්ගාධිගමයන්ට පත්වූවන් හැර අන් අයට ප්‍රතීත්‍ය සමුත්පාදයේ අත්‍ථවර්ණනාව දුෂ්කරය. මම ප්‍රත්‍යයාකාර වර්ණනාව තුලනය කරමින් කියනු කැමැත්තේ දේශනානයින් යුක්තවූ ආචාර්ය මාර්ගයට බැස ගනිමින් එහි විස්තර වර්ණනාව අරඹමි. සමාහිත සිතින් එය මනාව අසවු. පූර්වාචාර්යවරුන් විසින් මෙය කියන ලදි.

යමෙක් මෙය මනා කොට අසන්නේ ද හෙතෙම පූර්වාචාර්‍ය්‍යවරුන් විසින් ලද අධිගම විශේෂයන් ලබන්නේය. එම පූර්වාචාර්‍ය්‍යයන් ලද අධිගම විශේෂයක් ලබා මාරයාගේ නොදැක්මට පත්වන්නේය.

යම් කිසි පුද්ගලයෙක් මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්‍මය මෙහි අර්ථය මෙයයි සිත්හි තබා ඒකාන්තයෙන්ම මේ ප්‍රතිපදාවෙන් ජාති ජරා ව්‍යාධී මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදෙන්නේ යයි මැනවින් අසන්නේ ද පූර්වාචාර්ය විශේෂ සංඛ්‍යාත වූ මාර්‍ග ඵලයත් ලබන්නේය. එය ලබා මාරරාජයාගේ නොදැක්මට යන්නේය. ගොධිකතිස්ස තෙරුන් මෙනි.

ඒ තෙරුන් වහන්සේ මාරයා විසින් වළහන ලද සිතැත්තේ අනුසය රෝගයකින් පෙළුණේ සයවරක් උත්සාහ කොට ද ධ්‍යානයෙන් පිරිහීමට පත්වූහ. පිරිහුණු ධ්‍යාන ඇති මගේ භවගමන අනියතයැයි සිතූ උන්වහන්සේ දැන්ම අවියක් ගෙන දිවි නසාගන්නෙමැයි සිතා කෙස් බාන අවිය ගෙන ගලනාලය සිඳ ගැනීමට ඇඳෙහි වැදහොත්හ. පෙර සේම අනුසය රෝගය උපන් කල්හි අවිය අතට ගත්හ. එකෙණෙහිම උන්වහන්සේ රහත් බවට පත්ව පිරිනිවන් පෑහ.

ඉක්බිති මාරයා උන්වහන්සේගේ ප්‍රතිසන්ධි විඥානය කොහි පිහිටියේදැයි සිතා දුම් ගොඩක් මෙන් ද අඳුරු පිඬක් මෙන් ද වී සියලු දිශාවන්හි තෙරුන්වහන්සේගේ විඥානය විමසා බලන්නේ විඥානය පිහිටි තැන සොයා ගැනීමට නොහැකිව තරුණයකුගේ වෙසක් ගෙන බෙලුවපණ්ඩු වීණාව ද රැගෙන බුදුන්වහන්සේ වෙතට එළඹ මෙසේ විමසීය.

මම උඩ ද යට ද හරහ ද දිසා අනුදිසාවන්හිද සොයන්නේ තෙරුන්ගේ විඥානය නොදකිමි. ගොධික තෙරණුවෝ කොහි ගියාහු ද?

බුදුරජාණන් වහන්සේ ඔහුට මෙසේ කී සේක.

යමෙක් ධෛර්‍ය්‍යවත් වූයේ ශීලයෙන් යුක්ත වූයේ ධ්‍යාන වඩන්නේ ධ්‍යානයෙහි ඇලුණේ වේද හෙතෙම ජීවිතය අපේක්‍ෂා නොකරන්නේ රහත් බවට පැමිණෙන්නේය.

ගොධික තෙමේ මාරසේනාව සිඳ යළි උපතකට නොපැමිණ මුල් සහිත තෘෂ්ණාව සිඳ පිරිනිවනට පත්වූයේය.

ශෝකයෙන් මැඬුණු මාරයාගේ වීණාව කිහිල්ලෙන් වැටිණි. ඉක්බිති නොසතුටට පත් ඒ යක්‍ෂයා එහිම අතුරුදහන් වූයේ ය.

මෙසේ පූර්වාචාර්‍ය්‍ය විශේෂ සංඛ්‍යාත මාර්ගාධිගමයකට පැමිණ මාරයාගේ නොදැක්මට යන්නේය. මෙසේ ඇති කල්හි ප්‍රතීත්‍ය සමුත්පාද ධර්‍මය අසවු. මනාව මෙනෙහි කරවු. කියන්නෙමි. නුවණින් මෙනෙහි කිරීමෙන් තොරව ප්‍රතීත්‍ය සමුත්පාද ධර්‍මය අවබෝධ කිරීමට නොහැක. එය ගැඹුරුවූයේ මෙන්ම ගැඹුරු ලෙස පෙනෙන්නේ ද වේ. මෙය ගැඹුරුය. ගැඹුරු ලෙස පෙනේයයි බුදුරජාණන් වහන්සේ විසින් පවසන ලදි. කුණු වී කලු පැහැ ගැන්වුණු කොළ ඇති පැරණි දියක් මෙනි. එය දණ පමණට වූවත් පුරුෂයන් සත්දෙනකුගේ උස පමණ මෙන් හැඟෙයි. එසේම ප්‍රතීත්‍ය සමුත්පාදය නො ගැඹුරු සේ වැටහෙයි. මැණික් ගඟක පැහැදුණු දිය මෙනි. එහි මිනිසුන් සත්දෙනකුගේ උස ඇතිවත් දණ පමණට ලෙස ගැඹුර පෙනෙයි.

ප්‍රතීත්‍යසමුත්පාදය සිවු ආකාරයකින් ගැඹුරුය. ගැඹුරු ලෙස වැටහෙන්නේය. කවර සතර ආකාරයකින් ද යත්? අර්ථයෙන් ගැඹුරු බැවින් ගැඹුරුය. ධර්‍මයෙන් ගැඹුරු බැවින් ගැඹුරුය. දේශනාවෙන් ගැඹුරු බැවින් ද ගැඹුරුය. අවබෝධයෙන් ගැඹුරු බැවින් ද ගැඹුරුය. මේ ආකාර සතරින් ප්‍රතීත්‍යසමුත්පාදය ගැඹුරු වූයේ ද ගැඹුරු ලෙස වැටහෙන්නේ ද වෙයි. කෙසේ නම් අර්ථයේ ගැඹුරු බැවින් ගැඹුරු වේ ද? ඒ ජරාමරණයන්ට ජාතිය ප්‍රත්‍යය වීමෙන් ද ජාතියට භවය, භවයට උපාදානය, උපාදානයට තෘෂ්ණාව, තෘෂ්ණාවට වේදනාව, වේදනාවට ස්පර්ශය, ස්පර්ශයට ෂඩායතන, ෂඩායතනයන්ට නාමරූප, නාමරූපයන්ට අවිද්‍යාව ප්‍රත්‍යය වීම නිසා හටගැනීම් අර්ථයෙන් ගැඹුරුය. ධර්‍මගම්භීරතාව කෙසේ ද? අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වීමෙන් ගැඹුරුය. සංස්කාරයන්ට විඥානය ප්‍රත්‍යය වීමෙන් ගැඹුරුය. මේ ආදි වශයෙනි. දේශනා වශයෙන් ගැඹුරු වන්නේ කෙසේ ද? ඒ සූත්‍රයෙහි පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් දෙසනු ලැබේ. කිසි තැනක ප්‍රතිලෝම වශයෙන් ද තවත් කිසි තැනක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ද කියන්නෙමැයි සිතා භාග්‍යවතුන් වහන්සේ බුද්ධවිෂයක වූ ප්‍රත්‍යයාකාරයෙහි සිංහනාද කරමින් ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙසේ වදාළ සේක. ආනන්‍ද එසේ නොවේ. ආනන්‍ද එසේ නොවේ. ආනන්‍ද ප්‍රතීත්‍යසමුත්පාදය ගැඹුරුය. ගැඹුරුසේ වැටහෙන්නේ ද වේ. මහාප්‍රාඥයාට ස්වකීය ප්‍රකට වූ ඥානයෙන් ගැඹුරුවූ ද ප්‍රතීත්‍යසමුත්පාදය බෙහෙවින් පැහැදිලි වූවක් ලෙස හැඟෙයි. අන් අයට එය පැහැදිලියයි නොසැලකිය යුතුය. ඔවුනට එය ගැඹුරුමය. ගැඹුරු ලෙස වැටහේමය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ තෙරුන් ප්‍රතීත්‍යසමුත්පාදය කෙරෙහි උනන්දු කරවා මෙසේ ද කී සේක. මට එය බෙහෙවින් පැහැදිලි වූවක් ලෙස හැඟෙතැයි නොකියව. ඉදින් ඔබට එය පැහැදිලිව වැටහේ ද එබැවින්ම නුඹ තමන්ගේ ස්වභාව වශයෙන් සෝවාන් වූයෙහිය. මවිසින් දෙන ලද දහම් නයෙහි පිහිටා සෝවාන් මගට පිළිපන්නෙහිය.

ආනන්‍දය, මේ නිවන ද ගැඹුරු වූ ප්‍රතීත්‍යසමුත්පාදය ද කෙසේ නම් පැහැදිලි වූයේ ද? කාමරාගාදි සතර කෙලෙසුන් මුලිනුපුටා සකෘදාගාමි මාර්‍ගය ප්‍රත්‍යක්‍ෂ කරන්නෙහිය. අට කෙලෙසුන් මුලිනුපුටා අරහත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්නෙහිය. මෙය ඔබට පැහැදිලි සේ වැටහේ නම් සැරියුත් මුගලන් දෙදෙනා කුමක් හෙයින් එකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ශ්‍රාවකපාරමී ඥානය සම්පූර්ණ කළාහු ද? කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති අසංඛ්‍ය දෙකක් ප්‍රත්‍යෙකබුද්ධ ඥානය සඳහා පාරමිතා සම්පූර්‍ණ කළ යුතු වන්නේ ද? කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති අසංඛ්‍ය සතරක් හෝ අටක් හෝ දහසයක් සම්මා සම්බුද්ධත්වය සඳහා පාරමිතා පූරණය කළ යුතු වන්නේ ද? ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි ඇති ගැඹුරු බව නිසාමය. එය පැහැදිලි ලෙස වැටහේ නම් මේ විශේෂාධිගමයන්ගෙන් ඇති ප්‍රතිඵලය කුමක් ද? ප්‍රදේශඥානයෙහි පිහිටි ඔබ වැනි ශ්‍රාවකයෙක් ඉතා ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාදය ඉතා පැහැදිලි ලෙස හැඟේයයි කියන්නේය. ඔහුගේ වචනය බුද්ධවචනය සමඟ ප්‍රතිවිරුද්ධ වෙයි.

ආනන්ද මේ ප්‍රතීත්‍ය සමුත්පාදය අවබෝධ කළ මට ද සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමිතා පිරීමට සිදු විය. ප්‍රත්‍යයාකාරය අවබෝධ කිරීම උදෙසා නොදුන් දානයක් නම් නැත. නොපිරූ පාරමිතාවක් නම් නැත. අද ප්‍රතීත්‍යසමුත්පාදය අවබෝධ කරන්නෙමැයි නිරුත්සාහයෙන් මෙන් මා මාරබලය මැඩලද්දී ද මේ මහපොළොව දෑඟුලක් පමණකුදු නොසැළිණ. එසේම මැදුම් යමෙහි දිවැස පිරිසුදු කිරීමෙහිදී ද එසේ නොවීය. එහෙත් පැසුළුයම ඉතා අළුයමෙහි අවිද්‍යා සංස්කාරයන් නව ආකාරයකින් දුටු කෙණෙහිම දස දහසක් ලෝකධාතුව යකඩයකින් තළනු ලබන කංසතාලයක් මෙන් හඬ ලක්‍ෂයක් මුදමින් වාතයෙන් කැළඹුණු පියුම් පතක දිය බිඳු මෙන් නොයෙක් ආකාරයෙන් කම්පා වූයේය. ආනන්ද, ප්‍රතීත්‍යසමුත්පාදය මෙසේ ගැඹුරුය. ගැඹුරු ලෙස පෙනේමය. මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්‍මය, නොදැනීමෙන් නොවැටහීමෙන් මේ ජනතාව අවුල් වූ නූල් පන්දුවක් මෙන් බබුස් තණ ගොඩක් මෙන් දුගති සංඛ්‍යාත සසරෙහි නොනැවතී ගමන් කරති.

මෙසේ මහානිදාන සූත්‍රයෙහිදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රතීත්‍යසමුත්පාදය ගැඹුරු බවත් ගැඹුරු සේ වැටහෙන බවත් ප්‍රකාශ කළ සේක. එහි අනනුබෝධය යනු ඥාන වශයෙන් නොවැටහීමයි. අප්පටිබොධො යනු, තීරණ, ප්‍රහාණ, පරිඥාන වශයෙන් අවබෝධ නො කිරිමයි. තන්තාකුලජාතා යනු, තන්තුවක් නූලක් මෙන් අවුල් වූයේයි. නූලක් අවුල්ව ගිය විට මෙය මුලය මෙය අගයයි සිතා ගැනීමට දුෂ්කර වෙයි. එසේම සත්වයෝ මෙම ප්‍රත්‍යයාකාරය නොදැනීමෙන් අවුල් වියවුල් වූවෝ වෙති. ප්‍රත්‍යයාකාරය සෘජු කොට ගැන්මට නොහැකි වෙති. දැඩි උත්සාහයක යෙදී ද එය සෘජු කොට ගැන්මට අසමත් වෙති. බෝධිසත්වයන් සම්‍යක් සම්බුද්ධ බෝධිසත්වයන් හා ප්‍රත්‍යෙක බුද්ධ බෝධිසත්වයන් හැර අන්‍ය සත්වයෙක් තමන්ගේ හැකියාවෙන්ම මෙම ප්‍රතීත්‍ය සමුත්පාදය සෘජු කොට ගැනීමට සමත් වන්නේ නම් නොවේ. ගුලාගුණ්ඨිකජාතා යනුවෙන් සූත්‍රයෙහි දැක්වෙන්නේ කැඳ දමා සකසන ලදුව එකිනෙක ගැටගැසුණු නූල් පන්දුවක් හෝ අවුල් වියවුල් වූ කුරුළු කූඩුවකි. එසේ සත්වයෝ ද ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි ප්‍රත්‍යයන්හි පැකිළෙමින් ප්‍රතීත්‍යසමුත්පාදය සෘජු කොට ගත නොහැකිව වටහා ගත නොහැකිව දෙසැට මිසදිටු නමැති දැලෙහි පැටලී අවුල් වියවුල් වෙති. මුඤ්ජබබ්බජභූතා යනු, මුදුතණ හා බබුස් තණ මෙන් වුවාහුයි. මෙම තණ ද අවුල්ව ගිය විට අග්මුල් සොයා ගත නොහැකි වෙයි. එසේම සත්වයෝද තම උත්සාහයෙන් ප්‍රතීත්‍ය සමුත්පාදය නොදැන අවුල් වියවුල් වූවෝ වෙති. විවිධ මිථ්‍යාදෘෂ්ටි ගැනීම් වශයෙන් සසර දුකට වැටීම වළක්වා ගත නොහෙති. එම සූත්‍රයෙහි අපාය යනු නිරය, තිරච්ඡානයෝනිය පෙත්තිවිසය, අසුරකාය යන සතර අපායයි. ඒ සියල්ලම වැඩීම හෙවත් අභිවෘද්ධි සංඛ්‍යාත ආය නොමැති බැවින් අපායයි. ඒවා දුකට ගති වන බැවින් දුග්ගති නම් වෙයි.

ස්කන්ධ පිළිවෙළ මෙන්ම ධාතු ආයතනයන් නොසිඳී පැවැත්ම සංසාරයයි කියනු ලැබේ.

ඒ සියල්ල නොනැවතී පවතියි. මෙයින් චුත වූයේ යළි යළිත් පිළිසිඳ ගනිමින් ත්‍රිවිධ භවයන්හි සතර යෝනීන්හි පස් වැදෑරුම් ගතීන්හි සප්ත විඥාන ස්ථිතීන්හි නව සත්වාවාසයන්හි මහසුමුදුරෙහි කැඩී විසුරුණු නැවක් මෙන් ද සෙක්කුවෙහි යෙදූ ගොනුන් මෙන් ද නොනැවතී භ්‍රමණය වන්නේමය. ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්ව සත් දිනක් බෝ පලඟෙහි වැඩහුන් සේක. අනිමිස ලෝචනයෙන් බෝධිය පුදමින් සත් දිනක් ද රුවන් පලගෙහි සත් දිනක් ද රුවන් ගෙහි සත් දිනක් ද අජපාල නිග්‍රෝධ මූලයෙහි සත් දිනක් ද මුචලින්ද මූලයෙහි සත් දිනක් ද ගෙවූ සේක. අටවැනි සතියෙහි යළි අජපාල නිග්‍රෝධ මූලයෙහි විවේකයෙන් විසූ උන්වහන්සේට සියලු බුදුවරුන්ට ආවේණික ධර්‍මතාවක් වූ “අධිගතො ඛො ම්‍යායං ධම්මො” යනාදි මේ සිතිවිල්ල පහළ විය. එහි අධිගතො යනු, අවබෝධ කරන ලදියි. ඛො යනු, නිපාත පදයෙකි. මෙ යනු මා විසින් ධම්මො යනු මේ චතුරාර්ය සත්‍ය ධර්‍මයයි. ගම්භීරො යනු, පැහැදිලි ප්‍රකට බව ප්‍රතික්‍ෂේප කිරීමයි. බුද්ධවචනයක් වූ මෙය පොළව දරා සිටින දියකඳ මෙන් ගැඹුරුය. දැකීමට දුෂ්කර බැවින් දුරනුබෝධය. දුකසේ අවබෝධ කට යුතුයි. සුවසේ අවබෝධ කිරීමට නොහැකිය. සන්තො යනු, නිවුණේයි. පණීතො යනු, ප්‍රණීතය. අතක්කාවචරො යනු, තර්කයෙන් වෙනස් කළ නොහැකිය. ප්‍රකට කළ නොහැකිය. ඥානයෙන්ම ප්‍රකට කළ යුතුය යන්නෙන් අතක්කාවචර නමි. නිපුණෝ යනු, සියුම් වූයේයි. පණ්ඩිතවේදනීයො යනු, ධර්මානුධර්‍ම ප්‍රතිපත්තියෙහි පිහිටි පණ්ඩිතයන් විසින් දත යුතු ය. ආලයරාමා යනු මේ ලෝකයෙහි සත්වයෝ පඤ්චකාම ගුණයන්හි ඇලෙති. එකසියඅට වැදෑරුම් තෘෂ්ණාව හැසිරෙන නිවාසය ආලයයි කියනු ලැබේ. ඒ ආලයන්ගෙන් සතුටු වෙතැයි ආලයරාම නමි. යම්සේ මොනවට සැදුම් ලද මල් ඵල බඳුනක් ලැබීමෙන් සතුටු වේ ද එමෙන්ම මේ කාමාලය තෘෂ්ණාලයන්ගෙන් සත්වයෝ සතුටු වෙති. සංසාර වෘත්තයෙහි තුටු වෙමින් උකටලී නොවෙමින් වෙසෙත්, ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේ ඒ ආලය දෙකම උයන් බිමක් මෙන් දක්වන සේක් ආලයරාමා ඛො පනායං පජා යනාදිය පැවසූ සේක. යං ඉදං යනු, මේ ප්‍රතීත්‍යසමුත්පාදය සඳහා යම් මේ යන අර්ථය දැක්විය යුතුයි. ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො යනු, මෙම හේතූන්ගේ ප්‍රත්‍යය වීම ඉදප්පච්චයතා නමි. ඉදප්පච්චයතා වූයේ ද පටිච්චසමුප්පාද වූයේ ද එයමය. ඉදප්පච්චයතා පටිච්චසමුපපාදො නමි. සංස්කාරාදීන්ට ප්‍රත්‍යය වන අවිද්‍යාදීන්ට පර්‍ය්‍යාය වචනයෙකි. සබ්බ සංඛාරසමථො යනු, නිවනමයි.

යම් හෙයකින් නිවනට පැමිණ සියලු සංස්කාරයෝ බිඳී යත් ද ව්‍යුපසමනයට යත් ද එහෙයින් සබ්බසංඛාර සමථො යි කියනු ලැබේ. සබ්බූපධිපටිනිස්සග්ගො යනු, යම් හෙයකින් එම නිවනට පැමිණ සියලු උපධි විනාශයට යයි. සියලු තෘෂ්ණා නැසී යයි. සියලු කෙලෙස් රාගයෝ වැනසෙති. සියලු දුක් නිරුද්ධ වෙයි. එහෙයින් නිවන සබ්බූපධිපටිතිස්සග්ග යනු ද තණ්හක්ඛය, විරාග නිරෝධ නිබ්බාන යනු ද කියනු ලැබේ. වාන යනු තෘෂ්ණාවයි. ඒ තෘෂ්ණාව භවයෙහි ප්‍රතිසන්ධි පෙළෙන් එකට මසා ලන්නේයි ගෙන වානයයි කියනු ලැබේ. ඒ වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මුණු තැන නිවනයි. සො මමස්ස කිලමථො යනු, නොදන්නවුන්ට දෙසීම නම් මට විඩාවකි. එය මෙසේ වෙහෙස සඳහා වේය යන අරුත්ය. මගේ පෙරුම් පුරන කල්හි රාග ද්වේෂ සහිතව සිටියදීම පැමිණි යාචකයන්ට මනාව සරසන ලද හිස සිඳ ගෙලින් ලේ ගෙන හැර ඇස් උගුලා කුල වංශය බබුළුවන පුතා ද මගේ සිත අනුව හැසිරෙන ප්‍රිය බිරිඳ ද දෙන විට ද වෙනත් ක්‍ෂාන්තිවාදී වැනි ආත්මභාවයන්හි කැපුම් කෙටුම් ලබන විට ද ශරීර වෙහෙසක් නොවීය. නොදන්නාවූ අනුන්ට දෙසීම නම් වූ යමක් වේද එය මට වෙහෙසකි යනු මෙහි අදහසයි.

අපිස්සුදං යනු, නිපාතයෙකි. අනච්ඡරිය යනු, ආශ්චර්‍ය්‍යවත් නොවූයේයි. පටිභංසු යනු, ප්‍රතිභාණ සංඛ්‍යාත ඥානයට ගොදුරු වූවාහුයි. කිච්ඡො යනු, දුක්ඛප්‍රතිපදාවයි. බුදුවරුන්ට මාර්‍ග සතරක් සුඛා පටිපදා නම්වෙයි. පාරමිතා සපුරන කල්හි හිස, හදවත, ඇස්, ලේ, අඟ, පසඟ, ජීවිත, අඹු දරුවන් වැනි අත්හැරීමට දුෂ්කර දේ අත්හරින විට ඒ දුක උසුලයි. එබඳු දුෂ්කර දෙයක් සිදු කරන්නා විසින් අවබෝධ කටයුතු ප්‍රතිපදාව සඳහා මෙය කියන ලදි. හලං යන මෙහි හ කාරය නිපාත මාත්‍රයෙකි. අලං (සුදුසුය) යන අරුත්ය. පකාසිතුං යනු පැවසීමටය. මෙසේ දුෂ්කර සේ අවබෝධ කළ ධර්‍මය දෙසීමට සුදුසු වෙයි. රාග දෝස පරෙතෙහි යනු, රාගදෝෂයන්ගෙන් ස්පර්ශ කරන ලද්දවුන් විසිනි. නායං ධම්මො සුසම්බුධො යනු, මේ ධර්‍මය ඔවුන් විසින් අවබෝධ නොකරන ලද්දේයි. පටිසෝතගාමිං යනු, නිර්‍වාණාදීන්ට ප්‍රතිශ්‍රෝත වූයේයි. අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් එය චතුස්සත්‍ය ධර්‍මයයි. රාගරත්නා යනු, කාමරාග භවරාග දිට්ඨිරාගයෙන් රත් වූවාහුය. මැඩුණාහුය. න දක්ඛං යනු, අනිත්‍ය දුක්ඛ අනාත්ම අශුභ වශයෙන් නොදකිත්. තමොක්ඛන්‍ධෙන ආවුතා යනු අවිද්‍යා අඳුරු මැඳ සිටින්නෝයි.

අප්පොස්සුකතාය යනු, නිරුත්සාහීබවිනි. නොදෙසීමට කැමැත්තෙන් යන අරුත්ය. සහම්පතිස්ස යනු, හෙතෙම කාශ්‍යප බුදුරදුන්ගේ සසුනෙහි සාසක නම් තෙර වූයේ පළමු ධ්‍යානය උපදවා ප්‍රථමධ්‍යාන භූමියෙන් කල්පයක් ආයු ඇති බ්‍රහ්මයකු වී උපන්නේය. මෙතෙම මෙම සූත්‍රයෙහි සහම්පතී බ්‍රහ්මායි දන්නා ලැබේ. ඔහු සඳහා බ්‍රහ්මාණො සහම්පතිස්ස යි කියන ලදි. අප්පරජක්ඛජාතිකා යනු, ප්‍රඥා නමැති ඇසෙන් රාග දෝස මෝහ රජස් අඩුව පවතින ස්වභාවය ඇත්තෝයි. පාතුරහොසි මගධෙසු පුබ්බේ ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො යනු, ස්වාමිනි, ලෝකනාථයන් වහන්ස, පෙර මගධයෙහි කෙලෙස් සහිත ශාස්තෘෘන් විසින් සිතන ලද අපිරිසුදු ධර්‍මයක් පහළ විය. ඔවුන් පළමුවම ඉපිද සියලු දඹදිව කෙලෙස් කටු අතුරන්නාක් මෙන් අපිරිසිදු වූ මිථ්‍යාවාදදෘෂ්ටි ධර්මයක් දෙසන ලදි. අවාපුරෙතං අමතස්ස ද්වාරං යනු, අමෘත වූ නිර්‍වාණයට ද්වාරය වූ ආර්‍ය්‍යමාර්‍ගය විවෘත කරනු මැනවි. සුණන්තු ධම්මං විමලෙනානු බුද්ධං යනු, ස්වාමිනි, මේ සත්වයෝ රාග දෝස මෝහ යන කෙලෙස් සහිත වූවෝය. ඒ රාග දෝස මෝහයන් නැති බැවින් පිරිසිදු වූ සම්මාසම්බුදුන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ චතුරාර්ය සත්‍ය ධර්‍මයයි.

සෙලො යථා පබ්බකමුද්ධනිට්ඨිතො යථාපි පස්සෙ ජනතං සමන්තාතො යනු, යම්සේ ශෛල පර්වත මුදුනක සිටි ඇස් ඇති මිනිසෙක් හාත්පස ජනතාව දක්නේ ද සොඳුරු සර්‍වඥතාඥාන ඇති සමන්තචක්ඛු වූ ඔබ වහන්සේ ධර්‍මප්‍රාසාදයට නැග තෙමේ ශෝක නොකරන්නේ ශෝකයෙන් යුක්තවූ ජාති ජරාවන්ගෙන් මැඬුණා වූ ජනතාව බලනු මැනවි. උට්ඨෙහි වීර විජිතසඞ්ගාම සත්‍ථවාහ අනණ විචර ලෝකෙ දෙසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරො භවිස්සන්ති යන්නෙහි උට්ඨෙහි යනු, ඒ භාග්‍යවතුන් වහන්සේට ධර්මදේශනාවෙහි හැසිරීම සඳහා අයඳිමින් කියයි. වීර යනු, භාග්‍යවතුන් වහන්සේ වීර්යවත් බැවින් වීරය. දේවපුත්ත මාර හා ක්ලේශමාරයන් පැරදූ බැවින් විජිතසංගාම නමි. ජාති කාන්තාරාදියෙන් එතෙර වනු සඳහා වෙනෙය්‍ය ජනයන් මෙහෙයවීමට සමත් බැවින් සත්‍ථවාහ නමි. කාමච්ඡන්‍දයෙන් ගැනීම් නැති බැවින් අනණයයි දත යුතුය. අපාරුතා යනු, අරිනු ලබන්නා වූ මා විසිනි. අමතස්ස ද්වාරං යනු, ආර්යමාර්ගයයි. අමෘත සංඛ්‍යාත නිවනට දොර ම විසින් ඇර තබන ලදැයි දක්වයි. පමුඤ්චන්තු සද්ධං තමා ඇතුළු සියල්ලෝ මුදත්වා යන අරුත්ය. මම ද සතරකට බෙදා දක්වනලද මේ ප්‍රණීත වූ උතුම් ධර්මය කායවාක් වෙහෙසකැයි යන හැඟීමෙන් නොදෙසීමි. දැන් පින්වත් ජනයිනි, ශ්‍රද්ධා භාජනය එළවන්න. ඔබලාගේ ප්‍රාර්ථනා පුරවන්නෙමි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කවරකුට නම් මේ ධර්‍මය දෙසන්නෙම්දැයි සිතා ආළාර උද්දක යන දෙදෙනා කලුරිය කළ බව දැන පස්වග තවුසන්ගේ බොහෝ උපාකර ගැන සලකා එකම දිනයකින් අටළොස් යොදුන් මග පයින්ම වැඩමවා ඉසිපතනයට සපැමිණියහ.

මෙහි ඉසිපතනං යනු, බුදුන් නුපන් කල්හි බුද්ධාන්තර කාලයෙහි පසේ බුදුවරු සත්දිනක් ගන්‍ධමාදන පව්වෙහි නිරෝධ සමවතින් වැඩසිට එයින් නැගිට නාගලතා නම් වූ දැහැටි දඬු වළඳා පාසිවුරු ගෙන අහසින් අවුත් එහි වැඩහිඳ සිවුරු පොරවා බරණැස පිඬු පිණිස හැසිර යන කල්හි ද එම පව්වෙන්ම අහසට නැග වඩිති. මෙසේ සෘෂීහු බැස එයින් නැග යත්නුයි ඉසිපතන නමි. නැතහොත් අතීතයෙහි සෘෂිවරුන් වූ සම්මා සම්බුදුවරු දම්සක් පැවැත්වීම සඳහා එහිම රැස් වෙතියි ඉසිපතනය නමි. මිගදායං යනු මුවන්ට ජීවිත දානය දීම් වශයෙන් ලද නම් ඇති රාජොද්‍යානයයි. එහි පස්වග තවුසෝ දුරදීම එන්නා වූ තමන් සලකාගන්නට නොහැකි වූවාහු නැගිට පෙරගමන් ආදි පිළිසඳර කරත්.

භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අසුනෙහි වැඩ හුන්සේක් ඔවුනට බුද්ධ බලය දක්වා ඇසළ පුන් පොහෝ දිනයෙහි උතුර සල නැකත පවත්නා විට අන්තද්වය ත්‍රිපරිවෘත්ත ද්වාදසාකාර ඇති උතුම් වූ ධර්‍මචක්‍රය පැවැත්වූ සේක. කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ අන්තද්වය පෙරළීම පැවැත්වූ සේක් ද? ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බාති පෙළෙහි කියන ලද ආකාරයෙනි. කවර දෙකක් ද යත් කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගයයි. වස්තුකාමයන්හි බැඳීම් වශයෙන් කාමසුඛල්ලිකානු යෝගයයි. වස්තුකාම හා කිලෙසකාම යනුවෙන් දෙකකි. වස්තුකාමයෝ කවරහුද යත්? සිත් ගන්නාසුලු රූප ශබ්ද ගන්‍ධ රස ස්පර්ශ ඇතිරිලි පොරෝනා දැසිදස් එළු බැටළු කුකුල් හූරු ඇත් අස් ගව කෙත්වත් රන් රිදී රට ගම්නියම්ගම් දනවු රජදහන් කොටුගෙවල් වශයෙන් එන යම්කිසි සිත් බැඳගන්නා දේ වස්තුකාම නමි. අතීතකාම, අනාගත කාම, වර්තමානකාම, ආධ්‍යාත්මික කාම, බාහිර කාම, ආධ්‍යාත්මික බාහිර කාම, ලාමක කාම, මධ්‍යම කාම, ප්‍රණීතකාම, අපායගත කාම, නිරයගත කාම, මානුෂක කාම, දිව්‍යමය කාම, නිර්‍මාණය කරන ලද කාම, අනුන් විසින් නිර්‍මාණය කරන ලද කාම, නොරක්නා ලද කාම, තමන්ගේ කරගත් කාම, සියලු කාමාවචර ධර්‍ම රූපාවචර වූ තෘෂ්ණා වස්තුක වූ තෘෂ්ණාවට ආරම්මණ වූ කර්‍මය බවට පමුණුවන අර්ථයෙන් ඇලීම් ඇති කරන අර්ථයෙන් හා මත් කරවන අර්ථයෙන් ද කාම වූ සියල්ලයි. ඡන්දය කාමයෙකි. රාගය කාමයකි. ඡන්‍දරාගය කාමයකි. සංකල්පය කාමයකි. කාමයන්හි යම් වූ කාමඡන්‍දයක්, කාමරාගයක්, කාමනන්‍දියක්, කාම තෘෂ්ණාවක්, කාමස්නේහයක්, කාම පාසයක්, කාමදාහයක්, කාම මුළාවක්, කාම ගවේෂණයක්, කාමයෝගයක්, කාමෝඝයක්, කාමුපාදානයක්, කාමච්ඡන්‍ද නීවරණයක් වේද මෙය කිලෙස කාමයයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැවසූ සේක.

ඒකාන්තයෙන්ම හෙතෙම කැමති වෙයි. කාමය මුල් කොට සංකල්ප උපදියි. එය සංකල්පනය නොකරයි. මෙසේ කාමය ඇති නොවෙයි.

මේවා කිලෙස කාමයෝ යි කියනු ලැබෙති. මෙසේ මේ කාමසුඛයන්හි ඇලීම කාමසුඛල්ලිකා නමි. කාමසුඛයට ඇලීමෙහි නිරතවීම කාම සුඛල්ලිකානුයෝගයයි.

අත්තකිලමථානුයෝගය කුමක් ද? යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් අචේලකයෙක් හෝ වෙයි. ආචාර රහිත හෝ වෙයි. අත ලෙව කන්නේ හෝ වෙයි. එන්නැයි කීවාම නොඑන සිටින්නැයි කීවාම නොසිටින පළමුව දුන් අහර නොපිළිගන්නා උදෙසා කළ අහර නොපිළිගන්නා නිමන්ත්‍රණ නොපිළිගන්නා හැළි කටින් ගෙන දුන් අහර, එළිපත අතර කොට දුන් අහර, දඬු අතර කොට දුන් අහර, මොහොල අතර කොට දුන් අහර, වළදන දෙදෙනෙකුගෙන් එකකු නැගී දුන් අහර, පුරුෂාන්තරයට ගිය ස්ත්‍රිය දුන් අහර, ගැබිණියක විසින් දුන් අහර, කිරිපොවන්නියක දුන් අහර, සමාදන් කොට පිදූ අහර, බල්ලන් සිටින තැන දුන් අහර, මැස්සන් සිටින තැන දුන් අහර නොපිළිගන්නේ වෙයි. මත්ස්‍ය මාංස නොපිළිගනී. රා නොබොයි. මෙර නොබොයි. කාඩි නොබොයි. පිණ්ඩපාතය ලබා එක ගේකින් නවතී. එක ආලෝපයකින් නවතී. ගෙවල් දෙකකින්, ආලෝප දෙකකින්, ගෙවල් සතකින්, ආලෝප සතකින්, නවතී. තැටියකින් දෙකකින් සතකින් යැපෙයි. දවසක් හැර දවසක් වළඳයි. දෙදවසක් හැර සත්දවසක් හැර අහර වළඳයි. මෙසේ මෙවැනි අඩමසක් හැර හෝ වළදමින් විපර්යාස බත් බොජුනෙහි යෙදී වාසය කරයි. ඔහු සාමාක ධාන්‍ය කන්නෙක් හෝ වෙයි. තණ හෝ බුදින්නේ වේ. නීවාර ධාන්‍යයෙන් හෝ යැපෙන්නෙක් වේ. අමු බුදින්නේ හෝ වෙයි. පුනක්කු කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. වන මුල් ඵලාහාරයෙන් යැපෙයි. පවත්තඵල භොජී හෝ වෙයි.

ඔහු හණ වැහැරි දරන්නේ වෙයි පටපිළි හෝ දරන්නේය. පාංශුකූල දරන්නේය. අඳුන්දිවිසම් හෝ දරන්නේය. කුස වැහැරි දරන්නේය. වැහැරි සිවුරු දරන්නේය. ඵල වැහැරි දරන්නේය. කේශ කම්බල දරන්නේය. ව්‍යාළ කම්බල දරන්නේය. බකමුහුණු පිහාටු දරන්නේය. කෙස් රැවුල් ලොම් ආදි මිශ්‍රණ ද දරන්නේය. නැගිටම සිටින්නේ හෝ වෙයි. ආසන ප්‍රතික්‍ෂේප කරයි. උක්කුටුකයෙන් හිඳියි. කටු ඇඳෙහි නිදයි. දවස තුන් වරක් දියෙහි ගිලීමෙහි යෙදීමෙන් වාසය කරයි. මෙසේ කය තැවීම හාත්පසින් තැවීමෙහි යෙදී වාසය කරයි. මෙසේ තමහට විඩා ගෙන දීම අත්තකිලමථයයි. අත්තකිලමථයෙහි යෙදීම අත්තකිලමථානුයෝගයයි. මෙසේ මේ කම් සැපයෙහි ද අත්තකිලමථයෙහි ද යෙදීම අනුයුඤ්ජනය සේවනය වැරදි ග්‍රහණය අත් නොහැරීමක් ඇත්ද මෙය කාමසුඛල්ලිකානුයෝගයත් අත්තකිලමථානුයෝගයත් වේ.

න නිබ්බිදාය යනු, කෙලෙස් නිරුද්ධ කිරීම පිණිස කෙලෙස් සන්සිඳුවීම පිණිස නොවෙයි යනුයි. සිව් සස් දහම් දැනීම පිණිස නොවෙයි. තෘෂ්ණාවන් නිවීම පිණිස නොවෙයි. අන්තෙ යනු, පහත්ය. අනුපගම්ම, නොපැමිණයි. චක්ඛුකරණී යනු, මාර්‍ගදර්ශනය ඇති කරන. ඤාණකරණී යනු, මාර්‍ගය අවබෝධ කරවන. උපසමාය යනු, සියලු කෙලෙස් සන්සිඳුවීම පිණිස. කතමා ච සා මජ්ඣිමා පටිපදා යනු, සම්‍යග් දෘෂ්ටි ආදියයි. ඒ සම්‍යග් දෘෂ්ටිය කුමක්ද? යම් ප්‍රඥාවක් ප්‍රජානන, විචය, සලක්ඛණ, පණ්ඩිච්ච, කොසල්ල, නේපුඤ්ඤ උපපරික්ඛා, භූරිමේධා, පරිනායිකා, විපස්සනා, සම්පජඤ්ඤ, පථ, පඤ්ඤා, පඤ්ඤින්‍ද්‍රිය, පඤ්ඤාබල පඤ්ඤාසත්ථ, පඤ්ඤාපාසාද. පඤ්ඤාආලෝක පඤ්ඤා ඕභාස, පඤ්ඤා පජ්ජොත, පඤ්ඤාරතන, ආමොහ, ධම්මවිචය යන නම්වලින් හඳුන්වනු ලැබේ ද මෙය සම්‍යග් දෘෂ්ටියයි. ඒ ප්‍රඥාවම සම්මා දිට්ඨියයි කියවේ.

සම්මා සංකප්පය කුමක් ද? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද, අවිහිංසා යයි සම්මාසංකප්ප තුනකි. මෙය සම්මාසංකප්පයයි කියනු ලැබේ. සම්මාවාචා කුමක් ද? මුසාවාදයෙන් වැළකීම, කේලමින් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම, හිස් බසින් වැළකීමයි. මෙය සම්මාවාචායි කියනු ලැබේ. සම්මාකම්මන්තය කුමක් ද? ප්‍රාණඝාතයෙන් වෙන් වීම, සොරකමින් වෙන් වීම, කාමයන්හි වැරදි සහගත හැසිරීමෙන් වෙන් වීමයි. මෙය සම්මාකම්මන්තයයි කියනු ලැබේ. සම්මාආජීවය කුමක් ද? මෙහි ආර්‍ය්‍යශ්‍රාවකයා මිථ්‍යා ආජීවය අතහැර ජීවිකාව කරයි. මෙය සම්මාආජීවය කියා කියැවේ. සම්මා වායාමය කුමක් ද? නූපන් කුසලධර්ම ඉපදවීමට කැමැත්ත උපදවයි. වෑයම් කරයි. විර්‍ය්‍යය අරඹයි. සිත දැඩි කොට ගනී. ප්‍රධන් වඩයි. උපන් කුසල ධර්‍ම බොහෝ බවට පරිපූරණයට විපුල කිරීමට කැමැති වෙයි. -පෙ- ප්‍රධන් විර්‍ය්‍යය වඩයි. නූපන් අකුසල ධර්‍ම නොඉපදවීමට කැමැත්ත ඇති කරයි -පෙ- විර්‍ය්‍යය වඩයි. උපන් ලාමක අකුසල ධර්‍ම ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයි. -පෙ- ප්‍රධන් වීර්‍ය්‍යය වඩයි. මේ සම්මා වායාමයයි කියනු ලැබේ. සම්මා සති කුමක් ද? සතර තැනෙක්හි සිහියයි. කයෙහි සිහිය, වේදනාවෙහි සිහිය, සිතෙහි සිහිය, ධර්මයන්හි සිහිය. මේ සම්මා සතියයි. සම්මා සමාධිය කුමක් ද? ප්‍රථම ධ්‍යානය, ද්වීතීයධ්‍යානය, තෘතීයධ්‍යානයයි, මේ සම්මා සමාධියයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයම මධ්‍යම ප්‍රතිපදා නමි. චක්ඛුකරණී යනු, ප්‍රඥා චක්ෂුස ඇති කිරීමයි. ඤාණකරණී යනු මාර්‍ග ප්‍රතිවේධ ඤාණ දර්ශනය ඇති කිරීමයි. උපසමාය යනු, කෙලෙස් උපසමනය පිණිසයි. සිව් මඟ දැන ගැනීම පිණිසත් සිවුසස් අවබෝධ කිරීම සඳහාත් තෘෂ්ණාක්‍ෂය කිරීම සඳහාත් පවතී.

මේ අන්ත දෙක දුරලන සත්‍ය කෘත්‍ය කෘත වශයෙන් සතරක් වීම ද්වාදසාකාර නම් වේ. තවද මෙහි වීසතාකාර සොළසාකාර පංචදසාකාර ද්වාදසාකාර ද ඇත්තේය. විසි ආකාරය කෙසේද? දුක්ඛ සත්‍යයෙහි ධර්‍ම දොළසකි. සමුදය සත්‍යයෙහි තුනකි. නිරෝධ සත්‍යයෙහි එකකි. මාර්‍ග සත්‍යයෙහි සතරකි. දුක්ඛ සත්‍යයෙහි දොළොස් දහම කුමක් ද? ජාති දුක, ජරාදුක, මරණ දුක, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුක, අප්‍රියන් සමඟ එක් වීම් දුක. ප්‍රියයන්ගෙන් වෙන් වීම් දුක. කැමැති දේ නොලැබීම් දුක. කෙටියෙන් රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන පස්කඳ දුකකි. මේ දොළොස් දහම දුක්ඛ සත්‍යයෙහි ඇත්තේය. සමුදය සත්‍යයෙහි තුන් දහම කුමක් ද? කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යන මේ ධර්‍ම තුන සමුදය සත්‍යයෙහි වේ. නිරෝධ සත්‍යයෙහි එකම ධර්‍මය කුමක් ද? ඒ තෘෂ්ණාවගේම නිරවශේෂ විරාගය, නිරෝධය, ත්‍යාගය, හැර දැමීම, මිදීම, අනාලය බවයි. මේ නිරෝධ සත්‍යයෙහි එක් දහමයි. මාර්‍ග සත්‍යයෙහි සතර දහම කුමක් ද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මාර්‍ගයි. මේ සතර මාර්‍ග සත්‍යයෙහි ධර්ම සතරයි. වීසතාකාරය මෙයයි.

සොළසා කාරය කෙසේ ද? දුක්ඛ සත්‍යයෙහි සතරකි. සමුදය නිරෝධ මාර්‍ග සත්‍යයන්හි ද එසේය. දුක්ඛ සත්‍යයෙහි සතර කුමක් ද? දුකෙහි පීඩනාර්ථය, සංඛතාර්ථය, සන්තාපාර්ථය, විපරිණාම අර්ථය යන සතර දුක්ඛ සත්‍යයෙහි වෙයි. ආයූහන අර්ථය නිදානාර්ථය සංයෝගාර්ථය සහ පළිබෝධ අර්ථය සමුදය සත්‍යයෙහි වේ. නිස්සරණාර්ථය විවේකාර්ථය සංසට්ඨාර්ථය, අමෘතාර්ථය, යන සතර නිරෝධ සත්‍යයෙහි ඇත්තේය. මාර්‍ගයෙහි නිය්‍යානාර්ථය හේතු අර්ථය, දර්ශනාර්ථය, අධිපති අර්ථය යන සතර මාර්ග සත්‍යයෙහි වෙයි. මේ සොළසාකාරයයි. විභාග, විනිච්ඡය, ලක්‍ෂණ, භේද, අත්ථුද්ධාර, අනූනකතාව, ක්‍රම, ජාති ආදීන්ගේ නිශ්චය ඤාණ කෘත්‍ය ඇතුළත් ප්‍රභේද, උපමාන, එකවිධ, සභාග, විසභාග වශයෙන් යන මෙය පසළොස් ආකාරය නමි.

ද්වාදශාකාරය කුමක් ද? පළමුව ස්වලක්‍ෂණ වශයෙන් එක් පදයකි. ද්විතීයාදිය අනිකට නිදසුන් කිරීමෙන් ස.ම.නි.දු. වලින් ම.දු.ස.නි. ක්‍රමයෙන් පළමුවැන්න රහිතව ක්‍රමයෙන් බෙදන්නේය. පළමුවන ස්වලක්‍ෂණ ඒක පදයි. කෙසේ ද? දුක්ඛය පීළනාර්ථයි. සමුදය ආයූහනාර්ථයි. නිරෝධය නිස්සරණාර්ථයි. මාර්ගය නීය්‍යානාර්ථයි. මෙය ස්වලක්‍ෂණ ඒක පදය නමි. දුතියාදිය අනිකට නිදර්ශන වශයෙන් කෙසේ ද? ස,ම,නි. සමුදය දර්ශනයෙන් සංඛත ලක්‍ෂණ දුක්ඛ සත්‍යය දක්වයි. මාර්ගය දැක්වීමෙන් සන්තාප ලක්‍ෂණ දුක්ඛ සත්‍ය දක්වයි. නිරෝධ දර්ශනයෙන් විපරිණාම ලක්‍ෂණ දුක්ඛ සත්‍යය දක්වයි. දුක්ඛ දර්ශනයෙන් නිදාන ලක්‍ෂණ සමුදය සත්‍යය දක්වයි. නිරෝධ දර්ශනයෙන් සමප්‍රයෝග ලක්‍ෂණ සමුදය සත්‍යය දක්වයි. මාර්‍ග දර්ශනයෙන් පළිබෝධ ලක්‍ෂණ සමුදය සත්‍යය දක්වයි. ස.මා. යන්නෙහි සමුදය දර්ශනයෙන් විවේක ලක්‍ෂණ නිරෝධ සත්‍යය දක්වයි. මාර්‍ග දර්ශනයෙන් අසංඛත ලක්‍ෂණය දක්වයි. දුක්ඛ දර්ශනයෙන් අමෘත ලක්‍ෂණ නිරෝධය දක්වයි. සමුදය දර්ශනයෙන් හේතු ලක්‍ෂණ මාර්ග සත්‍යය දක්වයි. නිරෝධ දර්ශනයෙන් දර්ශන ලක්‍ෂණ මාර්‍ග සත්‍යය දක්වයි. දුක්ඛ දර්ශනයෙන් අධිපති ලක්‍ෂණ මාර්‍ග සත්‍යය දක්වයි. මෙසේ පර නිදර්ශන වශයෙන් ද්වාදශාකාර නම් වෙයි. මෙසේ මේ අනේකාකාර වූ ධර්‍මචක්‍රය පැවැත්වූ සේක. නැවත සත්‍ය, කෘත්‍ය, කෘත වශයෙන් දක්වමින්

සත්‍ය කෘත්‍ය කෘත ඤාණ වශයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය තිපරි වෘත්ත ද්වාදශාකාර වූ ධර්‍ම චක්‍රය මහර්ෂීන් වහන්සේ විසින් දේශනා කරන ලදි.

ෂඩ් ඥාන විජෘම්භනය කෙසේ ද? ඇස ඇති කරයි. නැණ ඇති කරයි. උපසමය පිණිස වෙයි. අභිඥා පිණිස වෙයි. සම්බෝධය පිණිස වෙයි. නිවන් පිණිස වෙයි. මේ ෂඩ් ඥාන විජෘම්භනය ආර්යාකර සම්භූත වේ. ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට ආකර වූවක් වන්නේය. එහි ධම්මචක්ඛු යනු සෝතාපත්ති සකදාගාමි අනාගාමී මාර්ගයි. මෙහි ධම්මචක්ඛු යනු සෝතාපත්ති මාර්‍ගයම ගන්නා ලදි. යං කිඤ්චිසමුදය ධම්මං සබ්බං තං නිරෝධධම්මං යනු, නිරුද්ධ වීම් ස්වභාවයයි. නැතහොත් සමුදයධම්මං යනු, මාර්‍ගයයි. නිරෝධ ධම්මං යනු, නිර්වාණාරම්මණය උපදවන යනුයි. දුක් නැසීමයි. විනාශ කිරීමයි.

භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ දහම් දෙසූහ. එය මෙසේයි. දාන කථා, සීල කථා, ස්වර්‍ග කථා, කාමයන්ගේ ආදීනව පහත් බව සකිලිටි බව, නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංස ප්‍රකාශ කළහ. මෙසේ අනුපිළිවෙළිනි. දානයට අනතුරුව සීලය සීලයට අනතුරුව ස්වර්ගය ස්වර්‍ගයට අනතුරුව මාර්‍ගයයි. එහි භාග්‍යවතුන් වහන්සේ දාන කතාව වදාළ සේක. මේ දානය නම් සැපයට නිදානයයි. සම්පත්වල මූලයයි. භෝගයනට පිහිටයි. විසමගතයන්ට ආරක්‍ෂාවයි. පරායණයයි. මෙලොව පරලොව දානයට සමාන අවශ්‍ය පිහිටක් ත්‍රාණයක් ගතිපරායණයක් නැත. මෙය අවශ්‍යයෙන්ම රුවන්මුවා සිහසුනක් සමානය. පිහිට වීම් අර්ථයෙන් මහපොළොව සමානය. ආලම්බන අර්ථයෙන් ආලම්බන රැහැනක් බඳුය. දුකින් නිදහස් වීම් අර්ථයෙන් දැඩිව සැලෙන නැවක් බදුය. භයින් ආරක්‍ෂා කිරීම් අර්ථයෙන් මනාව ඉදිකළ නගරයක් මෙනි. මසුරු මල ආදිය සමග නොතැවරෙන අර්ථයෙන් පියුමක් වැනිය. ඒ කෙලෙස් දවාලන අර්ථයෙන් ගිනිකඳක් බඳුය. පහසුවෙන් ළඟාවිය නොහැකි අර්ථයෙන් සර්පයෙකු වැනිය. නොතැතිගැනීම් අර්ථයෙන් කේශර සිංහයෙකු බඳුය. අභිමංගල සම්මත අර්ථයෙන් පණ්ඩර වෘෂභයෙකු බඳුය. ක්‍ෂේමභූමියට පැමිණවීම් අර්ථයෙන් වලාහක අස්සරාජයෙකු බඳුය. මේ දානය දෙව්සැපත් දෙයි. සක්සැප මරසැප සක්විති සැප ඇමතිසැප ගෘහපති සැප ශ්‍රාවකපාරමිතා ඤාණය, ප්‍රත්‍යෙක බුද්ධ ඤාණය, සර්‍වඥතාඥානය ලබා දෙයි. මේ ආදි දානගුණ යුත් කථා දෙසා දන් දෙන්නහුටම සීලසමාදානය කළ හැකියයි දනට අනතුරුව සීල කතාව දේශනා කළහ.

මේ සීලය නම් අවශ්‍යයෙන්ම පිහිටකි. ආරක්‍ෂාවකි. ගති පරායණයකි. මෙලොව සැප සම්පත්වලට සීලය වැනි අවශ්‍ය පිහිටක් අරමුණක් ආරක්‍ෂාවක් නැත්තේය. සීලය සමාන මල් පළඳනාවක් නැත. සීලාලංකාරයෙන් සැරසුණ ජනයා සිල්සුවඳ තවරා සිල්මල් පැළඳගත් පුද්ගලයන් දැක දෙවියෝ ද සෑහීමට නොපත් වෙති. මෙවැනි සීල ප්‍රතිසංයුක්ත කතා වදාරා මේ සිල් නිසා ස්වර්ගය ද ලැබිය හැකියයි දැක්වීම සඳහා සීලයට අනතුරුව ස්වර්ග කතා දෙසූහ.

මේ ස්වර්‍ගය නම් ඉෂ්ටය කාන්තය මනාපය. මෙහි නිතර ක්‍රීඩා ඇත්තේය. නිති සම්පත් ලබන්නේය. චාතුර්මහාරාජික දෙවියෝ අනූදහසක් අවුරුදු දිව සැප ලබති. තව්තිසා දෙවියෝ තිස් කෙළ සැට දහසක් අවුරුදු සැප විඳිති. මේ ආදි සඟගුණ මුසු ධර්‍ම කථා දෙසූහ. ස්වර්‍ග කථාවෙන් පොළඹවා නැවත ඇතු සරසා සොඬ කපන්නාක් මෙන් මේ ස්වර්ගය අනිත්‍යය අස්ථිරය. එහි ඡන්‍දරාගය නොකටයුතු යයි දැක්වීමට කම්සැප මඳ ආස්වාද ඇත්තේය. විඩා බොහෝය. මෙහි ආදීනව බහුලයයි ආදි ක්‍රමයෙන් කාමයන්ගේ ආදීනව ලාමක බව සකිලිටි බව දෙසූහ. එහි ආදීනව යනු, දොෂයි. ඕකාර යනු, පහත් බව ලාමක බවයි. සංකිලෙස යනු, එයින් සතුන් සසර කෙලෙසෙන බවයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කාමාදීනවයෙන් තැති ගන්වා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ප්‍රකාශ කරති. පැවිද්දෙහි ගුණ ප්‍රකාශ කරති යන අර්ථයි.

බුද්ධානං සාමුක්කංසිකදේසනා යනු, තමන් උකහා ගත් තමා විසින්ම උපුටාගත් ස්වයම්භූඥානයෙන් දුටු අනුන්ට සාධාරණ නොවූ යන අර්ථයි. එය කවර නම් ආර්‍ය්‍යසත්‍ය දේශනාවක් කරත් ද? දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්‍ග සත්‍යයයි. ධම්මචක්ඛුං යනු, සෝතාපත්ති

මාර්‍ගයයි. දිට්ඨධම්මො යනු, මොහු විසින් ආර්‍ය්‍යසත්‍ය ධර්‍මය දක්නා ලද්දේයි. දිට්ඨධම්ම නම් සෙසු තැන්හි ද මේ ක්‍රමයයි. තරණය කළ විචිකිච්ඡා ඇත්තේ තිණ්ණවිචිකිච්ඡායි. ඔහුගේ කෙසේ ද? කෙසේ ද? යන කතා පහවූයේ විගත කථං කථ නමි. පර ප්‍රත්‍යයෙන් අනුන් සඳහා මෙහි සිටීයයි කීමක් නැත්තේ අපරපච්චයෝ සත්‍ථු සාසනේ කියා කියවේ. පඨමං භගවා ධම්මියා කථාය සන්දස්සෙයි යන ආදියෙහි ඉහලෝකාර්ථය දැක්වූහ. ඉහලෝකාර්ථය දක්වමින් අනිත්‍යයයි දැක්වූහ. දුක්යයි දැක්වූහ. ධාතු ස්කන්‍ධ දැක්වූහ. ආයතන දැක්වූහ. පටිච්චසමුප්පාදය දැක්වූහ. උදයව්‍යය වශයෙන් පඤ්චස්කන්ධයන්හි පනසක් ලකුණු දැක්වූහ. පර ලෝකාර්ථය දක්වමින් අකුසල විපාක ක්‍රියා දැක්වූහ. නරකය තිරිසන් යෝනිය ප්‍රේත විෂය අසුර කාය දැක්වූහ. තුන් අකුසලයන්හි විපාක සදෙව් ලොව සම්පත් නව බඹලොව සම්පත් දැක්වූහ.

සමාදපෙසී යනු, චතුපාරිශුද්ධිසීල තෙලෙස් ධුතාංග දස කථා වත්‍ථු ආදි කලණ දහම් සමාදන් කර වූහ. සමුත්තේජෙසි යනු, මනාව තෙද ගැන්වූහ. අතිශයින් සැනසූහ. මෙලොවත් පරලොවත් තැතිගන්වා බියගන්වා ප්‍රත්‍යක්‍ෂ වූවාක් මෙන් පෙන්වූහ. ඉහලෝකාර්ථ දෙසමින් දෙතිස් කම්කටොලු පස්විසි මහාභය ප්‍රභේද ආදියෙන් බියගන්වා තැතිගන්වා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කල්හි අත් පිටුපසට තබා දැඩි බැම්මෙන් බැඳ සතර මං සන්දියෙහි පහර සියයකින් බියගන්වා ගෙනයනු ලබන්නාක් මෙන් ද උලෙකින් අනින්නාක් මෙන් ද මතැතකු ලවා මඩිනු ලබන්නාක් මෙන් ද බිය වෙයි. පරලෝකාර්ථ දෙසද්දී නිරයෙහි උපන්නාක් මෙන් ද දෙව්සැප විදින්නාක් මෙන් ද වෙයි. සම්පහංසෙසි යනු, ලැබු ගුණයෙන් මෙහෙය වූහ. මහානිසංස කොට දෙසූහ යන අර්ථයි.

පුච්ඡාවලිකකීළිතං යනු, දරුවන් වැලි තලාවෙහි වැලි ගොඩවල් ගසා හිඳ කරන සෙල්ලම් සාණං යනු, වැහැරියෙන් කළ වස්ත්‍රයි. පකුධ යනු, කුබුක් ගසයි. අංග මගධ වාසිනො යනු, අංගරට වැස්සෝ ද, මගධ රටවැස්සෝ ද වෙති. අන්තරට්ඨිකේසු යනු, උඳුවප් අවපස එකොළොස්වන දිනයේ පටන් දුරුතුමස පෙරපස සතරවන දවස දැයි මෙසේ දෙමස අතර අටදවසක් පමණ වූ හිම වැටෙන සමයෙහි අන්තරට්ඨකහිමපාතසමය වෙයි. මන්දාමුඛී යනු, ගිනිකබල්ය. අඩ්ඪුඩ්ඩානිපාටිහාරිය සහස්සානි යනු, එක්දහස් පන්සියයකි. ඉහලෝකාර්ථය සඳහා ගිනි නොදැල්වෙන භේදයෙන් දහසකි. නොනිවීම් භේදයෙන් දහසකි. පඤ්චමන්දාමුඛීසතානං යනු, අඹ දඹ ආමලක, අරළු පරසතු ප්‍රාතිහාර්‍ය්‍යයන් සමඟ අතිරේක ප්‍රාතිහාර්‍ය්‍ය එක්ලක්‍ෂ පනස් දහසක් ප්‍රාතිහාර්‍ය්‍යයි දත යුතුයි.

අඩ්ඪතියපරිබ්බාජකසතානි යනු, දෙසිය පනසක් පරිබ්‍රාජකයෝ වෙති. මෙහි ජාති මදෝ යනු, ජාති හේතුවෙන් උපදී. අනුන් විසින් නොදත යුතු යයි මදය උපදියි. -පෙ- මදය කුමක් ද? යම් මදයක් මජ්ජනාවක් මජ්ජනත්ව බවක් ඇද්ද මෙය මදයයි කියවෙයි. කුසල්දහම් නොමනාකොට කරන බව මදයයි. පුරුෂකාරයෙන් හටගත් අහංකාරය හැගවීම සාරම්භයයි. අත්‍රිච්ඡතාව කුමක් ද? අනුන්ගේ ලාභයෙන් නොසතුටු වූවහුගේ බහුල කම්පාවයි. මහිච්ඡතාව කුමක් ද? ලාභයෙන් නොසතුටු වූවහුගේ බහුතර මහත් කම්පනයයි. පාපිච්ඡතාව කුමක් ද? මෙලොව සමහරු ශ්‍රද්ධාව නැතිවම මා ශ්‍රද්ධාවන්තයෙකැයි දැන ගනිත්වායි කැමැතිවෙති. දුසිල්ව සිල්වත්ය කියා ද. අල්පශ්‍රැතව බහුශ්‍රැතය කියා ද -පෙ- දුෂ්ප්‍රාඥ ව ප්‍රාඥ යයි කියා ද දැනගනිත්වා යන මෙබඳු ඉච්ඡාවන් පාපිච්ඡතාවයි. ලොල්බවම ලෝලුප්පයයි. පාපස්සය කුමක් ද? මේ කුණු ශරීරය මණ්ඩනය විභූෂණය සුවඳ ගැන්වීම ලේප ගැන්වීමයි. අසභාග වුත්තිය කුමක් ද? මවුපියන් කෙරෙහි හෝ ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් කෙරෙහි හෝ බුද්ධ ධර්‍ම සංඝයා කෙරෙහි හෝ අනුකූල නොවීම සතුරුවීම අනාදර වීමයි. අරතිය කුමක් ද? ප්‍රාන්ත සේනාසනයන්හි වෙනත් අධිකුශල ධර්‍මයන්හි නොඇල්මයි. නොසතුටයි. තන්දි යනු, අලස බවයි. විජම්භිකා යනු කාය විජම්භනයයි. භත්තසම්මදො යනු, අනුභව කළහුගේ බත්මතයයි. චෙතසෝ ලීනත්තං යනු, සිතෙහි නොසුදුසු බවයි. කුහනය කුමක් ද? ලාභ සත්කාර ප්‍රසංශා රැස් කරන පාපේච්ඡා ඇත්තහුගේ ප්‍රත්‍යය ගැනීමාදී ඉරියව් සටහන්ය. බැම හැකිළ වීම්ය. ලපනා කුමක් ද? අනුන් ඇමතීම අනුන් හා සල්ලාප කිරීමයි. නේමිත්තිකතාව කුමක් ද? අනුන්ගේ යම් නිමිති කීම්, ඇඟවීම් හාත්පස කථා කිරීම්ය. නිප්පෙසිකතාව කුමක් ද? අනුන්ට ආක්‍රොශ කිරීම ගැරහීමයි. ලාභ හේතු ලාභ නිජිගිංසනතාව කුමක් ද? ලාභ සත්කාර ප්‍රශංසා හේතුවෙන් පාපේච්ඡව ආශා ස්වභාවයෙන් මෙයින් ලද ආමිසය අන් තැනට ගෙන යයි. අන්තැනින් ලත් ආමිසය මෙහි ගෙන එයි. මානය කුමක් ද? මඤ්ඤනාවයි. මඤ්ඤිත බවයි. උත්තම ධජග්‍රාහයයි. සිතෙහි ඇති කොඩියක් බඳු සිතයි. මෙය මානයයි. උමානෝ යනු, උමඤ්ඤනාවයි. උහීලනයයි. අධිමානය කුමක් ද? නොපත් දෙයෙහි පත් බව හැඟීමයි. නොකළ දෙය කරන ලදැයි යන හැඟීමයි. අවබෝධ නොකළ දෙයෙහි අවබෝධ කළෙමියි හැඟීමයි. අස්මි මානය කුමක් ද? රූපයෙහි වෙමි යන මානයයි. වේදනා සංඥා සංඛාර විඤ්ඤාණයන්හි ද එසේමය. මිච්ඡාමානය කුමක් ද? මෙහි ඇතැමෙක් පාපක කර්‍මායතනයෙන් හෝ පාපී දෘෂ්ටියෙන් මානයට පැමිණේ. ජපකරයි. නෑයන් අරභයා ගේහසිත විතර්කය ඇති කරයි. ජනපද ආදියෙහි ද මේ ක්‍රමයයි. අමරාවිතර්කය කුමක් ද? දුෂ්කර කාර්‍ය්‍යයක යෙදුණේ හෝ මිථ්‍යාදෘෂ්ටිගත වූ හෝ විතර්කයයි. අනුප්‍රඥප්ති විතර්කය කුමක් ද? ජාති කුල ගෝත්‍ර කුල පුත්‍රාදි අන්‍යයෝ මට අවමන් නොකරෙත්වා යනුයි.

ක්‍රෝධය කුමක් ද? යම් ක්‍රෝධයෙක් වෙයි ද? ක්‍රෝධ කිරීම ක්‍රෝධ කරන බවයි. වෛරය ලුහුබැඳීම් ලක්‍ෂණ ඇත්තේයි. උපනාහය නම්, ක්‍රෝධය මණ්ඩනය කිරිමයි. ගුණ මකා දැමීම මක්ඛයයි. ද්වේෂ කිරිමෙහි අත නොහැරීම පලාසයයි. නසන තන්හි යුගග්‍රහණය පලාසයයි කියවේ. පරසම්පත් ලාභ සත්කාරයෙහි අන්‍යයන් එයින් පිරිහෙළීමේ ලක්‍ෂණ ඇත්තේ ඊර්ෂ්‍යාවයි. තමන්ගේ සම්පතෙහි අනුන් බැහැර කිරීම මච්ඡරියයි. මායාව කුමක් ද? කය වචනයෙන් දුශ්චරිතයෙහි හැසිර එය සැඟවීමට ප්‍රසිද්ධිය කැමැති වෙයි. මා ගැන නොදැනගනිත්වායි කල්පනා කරයි. මා නොදැන ගනිත්වායි කියයි. මා නොදැන ගනිත්වායි කයින් උත්සාහ කරයි. මෙය මායායි කියැවෙයි. සාඨෙය්‍යය කුමක් ද? සඨ බවයි. සඨ වීමයි. සඨවන බවයි. එයම කරන බවයි. අවිද්‍යාව කුමක් ද? දුකෙහි අඥාන බව දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාවෙහි නොදැනීමයි. මෙය අවිජ්ජායි කියනු ලැබේ. භවතණ්හාව කුමක් ද? භවයෙහි යම් භව ඡන්‍දයක් භව රාගයක් භව නන්දියක් භවයෙහි ගැලීමක් ඇද්ද එයයි. භවදිට්ඨිය කුමක් ද? ආත්මයත් ලෝකයත් වන්නේ ද යන දෘෂ්ටියයි. විභව දෘෂ්ටිය කුමක් ද? ආත්මයත් ලෝකයත් නොවෙයි කියා වන දෘෂ්ටියයි. ශාස්වත දෘෂ්ටිය කුමක් ද? ආත්මයත් ලෝකයත් සදාකාලිකය යන දෘෂ්ටියයි. උච්ඡේද දිට්ඨිය යනු, ආත්මයත් ලෝකයත් සිඳෙයි යන දෘෂ්ටියයි. අන්තවාද දෘෂ්ටිය කුමක් ද? ආත්මයත් ලෝකයත් අන්තවත්ය යන දෘෂ්ටියයි. අනන්තවාද දෘෂ්ටිය කුමක් ද? ආත්මයත් ලෝකයත් අනන්තවත්ය යන දෘෂ්ටියයි. පුබ්බන්තානුදිට්ඨිය කුමක් ද? පූර්වාන්තය අරභයා උපදින දෘෂ්ටියයි. අපරාන්තානුදිට්ඨිය කුමක් ද? අපරාන්තය අරභයා උපදින දෘෂ්ටියයි.

අහිරිකය කුමක් ද? ආධ්‍යාත්මික වරද නොදැක්මයි. අනොත්තප්පය කුමක් ද? බාහිර වැරදි නොදැක්මයි. ඔහුගේ ස්වභාවය දුක්ය යනු දොවචස්සතාවයි. පාපමිත්‍රතාව කුමක් ද? යම් ඒ සැදැහැ නැති නොපහන් මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයෝ වෙත්ද ඔවුන්ගේ සේවන භජන පර්යුපාසනයයි. යම් සෘජු නොවන බවක් ඇද්ද එය අජ්ජවතාවයි. වංක බව කුටිල බවයි. අමද්දවය කුමක් ද? මෘදු නොවන බවයි. කර්කශ බවයි. යම් නොඉවසීමක් ඇද්ද එය අක්ඛමතාවයි. අධිමානතාවයි. මේ සියල්ල දුසිල් බවය. සුරත නොවන බවයි. සිඛිල නොවූ බව අසාකල්ලයයි. යම් ඒ වචනයක් ඵරුෂ ද කර්කශ ද පරපුටු කාකාදීන් මෙන් සුඛ සම්භාවනා නැත්තේ ද මෙය ආමිසයෙන් හෝ ධර්‍මයෙන් හෝ අප්පටිසන්ථාරයයි. ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතාව කුමක් ද? යම් මේ ෂඩින්ද්‍රියවල අනාරක්‍ෂාව අගෝපනයයි. භෝජනයෙහි අමාත්‍රඥබව කුමක් ද? බොජුන්හි අසන්තුට්ඨිතාව පමණ නොදැන්මයි. මුට්ඨස්සතිය කුමක් ද? සිහියෙහි අනුස්සතියෙහි මුළාවන බවයි. අසම්පජඤ්ඤය කුමක් ද? යම් අඥානයක් නොදැක්මක් අනවබෝධයක් ඇත් නම් එයයි. මේ සියල්ලම දුස්සීලබවයි. සීල විපත්තියයි.

දිට්ඨි විපත්තිය කුමක්ද? දුන් දෙයෙහි විපාක නැත. පිදූ දෙයෙහි විපාක නැත. හොඳ නොහොඳ කර්මවල ඵල විපාකයක් නැත කියා දැකීමයි. පංචඕරම්භාගිය සංයෝජන ආධ්‍යාත්මික සංයෝජන නමි. උද්ධම්භාගිය සංයෝජන පස බාහිර සංයෝජන නමි. තුන් අකුසල් මුල් කුමත් ද? ලෝභය දෝසය මෝහයයි. තුන් දුශ්චරිත කුමක් ද? කාය දුශ්චරිත වාක්දුශ්චරිත මනඃදුශ්චරිතයි. තුන් සංයෝජන කුමක් ද? සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසයයි. තුන්බිය කුමක් ද? ජාතිභය, ජරාභය, මරණභයයි. තුන් කර්ම නම් රාග දෝස මෝහයි. තුන් දිට්ඨායතන නම් මෙලොව කිසියම් මහණෙක් හෝ බමුණෙක් මෙසේ කියන්නේ වෙයි. මෙසේ සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපයක් හෝ විඳී නම් සියල්ල පෙර කළ හෙයිනි. ඒ සියල්ල ඊශ්වර නිර්‍මාණ හේතුවෙනි. ඒ සියල්ල හේතු රහිත ප්‍රත්‍ය රහිතයි. අංග තුන නම් රාග දෝස මෝහයි. තුන් විසම නම් රාග දෝස මෝහයි. අකුසල විතර්ක තුනකි. කාමවිතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්කයි. ආසව තුනකි. කාමාසව භවාසව දිට්ඨාසවයි. කිඤ්චන තුනකි. රාග දොස මෝහයි. ගිනි තුනකි. රාග දෝස මෝහයි. කසට තුනකි. රාග, දෝස, මෝහයි. අකුසල සංඥා තුනකි. කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥායි. අකුසල ධාතු තුනකි. කාමධාතු ව්‍යාපාදධාතු විහිංසාධාතුයි. තණ්හා තුනකි. කාම තණ්හා භව තණ්හා විභව තණ්හායි. ඒසනා තුනකි. කාම ඒසනා භව ඒසනා බ්‍රහ්මචරිය ඒසනායි. ශාස්වතාදි දෘෂ්ටි පර්යේෂණයයි. විධා තුනකි. ශ්‍රේෂ්ඨ වෙමි. සමාන වෙමි. හීන වෙමි කියායි. දුෂ්කෘත තුනකි. කාය දුෂ්කාත වචී දුෂ්කෘත මනෝ දුෂ්කෘතයි.

ආශ්‍රව සතර කුමක් ද? කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසවයි. ග්‍රන්‍ථ සතරකි. අභිජ්ඣා ග්‍රක්‍ථය, ව්‍යාපාද ග්‍රන්‍ථ, සීලබ්බත පරාමාස ග්‍රන්‍ථ, ඉදං සච්චාභිනිවේසකාය ග්‍රන්‍ථයයි. ඕඝ සතරකි. කාම ඕඝ, හව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝයයි. තණහුප්පාද සතරකි. සිවුරු හේතුවෙන් හෝ පිණ්ඩපාත හේතුවෙන් හෝ සේනාසන හේතුවෙන් හෝ ඉතිභවාභව හේතුවෙන් හෝ තණ්හාව උපදී. විපර්යාස සතරකි. අනිත්‍යයෙහි නිත්‍යයයි සංඥා විපර්යාසයකි. දුකෙහි සැපයයි. සංඥා විපර්යාසයකි. අනාත්මයෙහි ආත්මයයි, සංඥා විපර්යාසයකි. අසුභයෙහි සුභ යයි සංඥා විපර්යාසයෙකි. අනාර්ය ව්‍යවහාර සතරකි. නොදුටු දෙයෙහි දුටුයෙමියි කියන බව නො ඇසූ දෙයෙහි ඇසුයෙමියි කියන බව. අමුතයෙහි මුත වෙමියි කියන බව නොදත් දෙයෙහි දන්නෙමියි කියන බවයි. උපාදාන සතරකි. කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද උපාදානයි. අගති ගමන සතරකි. ඡන්‍ද, දෝස, භය, මෝහ අගතිගමනයයි. දුශ්චරිත සතරකි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිච්ඡාචාරය, මුසාවාදයයි. භය සතරකි. ජාති, ජරා, ව්‍යාධි, මරණ භයයි. දෘෂ්ටි සතරකි. සැප දුක් තමා විසින් කරන ලැදැයි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දෘෂ්ටිය උපදී. සැප දුක අනුන් විසින් කරන ලදැයි දෘෂ්ටිය උපදී. සැප දුක අපරකාරයයි දෘෂ්ටිය උපදී. සැප දුක අධිච්චසමුප්පන්නයයි දෘෂ්ටිය උපදී.

ඕරම්භාගිය සංයෝජන පහ කුමක්ද? සක්කායදිට්ඨි, විචිකිච්ඡා සීලබ්බතපරාමාස. මිච්ඡාදිට්ඨි. ව්‍යාපාදයි, උද්ධම්භාගිය සංයෝජන පහ කුමක් ද? රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජායි. මසුරුකම් පහකි. ආවාස, කුල, ලාභ, වර්ණ, ධර්ම මසුරු බවයි. සංග පහකි. රාග, දොස, මෝහ, මාන දිට්ඨි සංගයි. සල්ල පහකි. රාග, දොස, මෝහ, මාන දිට්ඨිසල්ලයි. චෙතොඛීල පහකි. ශාස්තෘෘන් වහන්සේ කෙරෙහි සැක කරයි. විචිකිච්ඡා කරයි. නොපිළිගනී. නොපැහැදෙයි. ධර්මයෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාවන්හි, සබ්‍රම්සරුන් කෙරෙහි නොපැහැදෙයි. නොසතුටට පත් වෙයි. චිත්තවිනිබද්ධ පහකි. කාමයන්හි පහ නොවූ රාග ඇත්තේ වෙයි. රූපයන්හි පහ නොවූ රාග ඇත්තේ වෙයි. ඇති තරම් බඩ පිරෙන තුරු අනුභව කොට නිදි සැපයෙහි යෙදී වාසය කරයි. වෙනත් දේවනිකායක් අරභයා

බඹසර හැසිරෙයි. මෙහි සිත බැඳගෙන මිටෙහි තබා ගත්තාක් මෙන් ගන්නා බැවින් චිත්තවිනිබද්ධ නමි. නීවරණ පහකි. කාමච්ඡන්‍ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, අවිජජා නීවරණයි. ආනන්තරිය කර්‍ම පහකි. මව මැරීම, පියා මැරීම, රහතන් මැරීම, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ලේ සෙලවීම, සංඝභේදයයි. දෘෂ්ටි පහකි. ආත්මය සංඥි වෙයි. නොවෙයි. ආත්මය නෙවසංඥි වෙයි. ආත්මය නාසංඥි වෙයි. සිටින්නා වූ සත්ත්වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවයි. වෛර පහකි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, රහමෙර පානයයි. ව්‍යසන පහකි. ඤාති ව්‍යසනය, භෝග, සීල, දිට්ඨි, රෝග ව්‍යසනයයි. නොඉවසීමෙහි ආදීනව පහකි. බොහෝ දෙනාට අප්‍රිය වේ, අමනාප වේ, වෛර බහුල වෙයි. මුළාව මිය යයි, මරණින් මතු දුගතියෙහි උපදී. බිය පහකි. ජිවිත භය, නින්දා භය, පිරිස් පිරිහීමේ භය, මරණ භය, දුගති හයයි. දිට්ඨ ධම්ම නිබ්බාන වාද පහකි. මෙලොව ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙසේ දක්නේ මෙසේ කියන්නේ වේ, භවත්නි, මේ ජීවිතය පස්කම් ගුණයෙන් යුතුව සපුරා පරිහරණය කළ හැකි නම් මෙපමණකින් මේ ජීවිතය ඉහාත්මයෙහි ම පරම නිර්වාණයට පැමිණියේ වෙයි කියායි.

විවාද මූල සයකි. ක්‍රෝධය, මකු බව, ඉරිසියාව, මසුරු බව, සඨබව, පාපේච්ඡතාවයි. ඡන්‍දරාග දෝෂධර්ම සයකි. නොමනා රූපයන් හි සිතෙහි ඡන්ද රාගය, සරාගි බව. ශබ්ද ගන්ධ රස ඵොට්ඨබ්බ, ධර්මයන්හි ද එසේමය. විරෝධ වස්තු සයකි. මනාප රූපයන් විෂයෙහි සිතේ ඇතිවන වෛරය, විරුද්ධ බව නොකැමැති බව නොසතුටු බවයි, ශබ්දාදියෙහි ද එසේය. නිගරු කිරීම් සයකි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත වෙයි, ධර්‍මය, සංඝයා, ශික්ෂා, පිළිසඳර, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව රහිත වෙයි, පරිහානීය ධර්‍ම සයකි. කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සංගණිකාරාමතා, වසුරාමතා, පරාමතා යි. සොම්නස් සහිත විසීම් සයකි. ඇසින් රූප දැක කනින් ශබ්ද අසා නාසයෙන් ගන්‍ධ ආඝ්‍රාණය කොට දිවින් රස දැන කයින් ස්පර්ශ කළයුතු දෙය ස්පර්ශ කොට මනසින් ධර්‍ම දැන සතුටු විය යුතු තැන් හි හැසිරෙයි. දොම්නස් සහිත විමසීම් සයකි. ඇසින් රූප දැක -පෙ- මනසින් ධර්ම දැන දොම්නස් තැන් සොයමින් වසයි. උපෙක්ඛා සහිත විමසීම් සයකි. ඇසින් රූප දැක -පෙ- මනසින් දහම් දැන, උපේක්‍ෂා කටයුතු දහම් විමසමින් හැසිරෙයි. ගේහසිත සොම්නස් සයකි. මනාප රූපයන්හි ගේහසිත සොම්නස් සැප සොම්නස් සිතුවිලි ඇතිවෙයි. ශබ්දාදියෙහි ද එසේය. ගේහසිත දොම්නස් සයකි. අමනාප රූප ශබ්දාදියෙහි දුක් දොම්නස් ඇති කරයි. ගේහසිත උපේක්‍ෂා සයකි. රූප ශබ්දාදියෙහි මැදිහත්, සිතුවිලි ඇති කරයි. දෘෂ්ටි සයකි. මාගේ ආත්මය ඇත කියා හෝ ආත්මය මගේය කියා හෝ ආත්මය දනිමි කියා හෝ තමාගේ ආත්මය දනිමි කියා හෝ තමා කෙරෙහි ආත්මය දනිමි කියා හෝ දෘෂ්ටි ඇති වෙයි.

අනුසය සතකි. කාමරාග අනුසය, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා අනුසයයි. පරියුට්ඨාන සතකි. කාමරාග පරියුට්ඨාන, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා පරියුට්ඨානයි. සංයෝජන සතකි. කාම රාගාදි සංයෝජනයි. අසද්ධර්‍ම සතකි. අශ්‍රද්ධාව, අහිරික, අනොත්තප්ප, අල්පශ්‍රැතතාව, කුසීතබව, මුළාසිහි ඇති බව, දුෂ්පාඥ බවයි. දුශ්චරිත සතකි. ප්‍රාණඝාතය. අදින්නාදානය, කාමමිච්ඡාචාරය, මුසාවාදය, පිසුණාවාචා, ඵරුසා වාචා, සමපප්ඵලාපයයි. මාන සතකි. මාන, අතිමාන, මානාතිමාන, ඕමාන, අධිමාන, අස්මිමාන, මිච්ඡාමානයි. දෘෂ්ටි සතකි. මෙලොව කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් මෙසේ කියන්නේ වෙයි. මෙසේ දන්නේ වෙයි. යම් මේ මවුපියන්ගෙන් හටගත් සතර මහාභූතයන්ගෙන් නිපන් රූපවත් ආත්මභාවයක් ඇද්ද එය කය බිඳීමෙන් නැතිවෙයි. විනාශ වෙයි. මරණින් මතු නො වෙයි. භවත්නි, මෙපමණකින් මේ ආත්මය, නැසී යන්නක් වෙයි. මේ ආදි වශයෙන් විභංගයෙහි කියන ලදි.

කිලේස වත්‍ථු අටකි. ලෝභ, දෝස, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, ථීන, උද්ධච්චය යි. කුසීතවත්‍ථු අටකි. මෙහි භික්‍ෂුනමකට කළ යුතු කටයුතු තිබේ. ඔහුට මෙසේ සිතේ. මා විසින් කළ යුතු වැඩ ඇත්තේය. එය කරන මාගේ කය ක්ලාන්ත වේ. දැන් මම නිදා ගනිමි. ඔහු නිදයි. විර්‍ය්‍යය පටන් නොගනී. නොපැමිණි තැනට පැමිණීමට අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමට පසක් නොකළ දේ පසක් කිරීමට වෑයම් නොකරයි. මේ ආදිය විභංගයෙහි දක්වන ලදි. අෂ්ට ලෝක ධර්‍මයන්හි හිතෙහි ගැටීම් අටකි. එනම් ලාභයෙහි ඇලීම අලාභයෙහි විරෝධය යසසෙහි ඇලීම අයසෙහි විරෝධය ප්‍රශංසාවෙහි ඇලීම නින්දාවෙහි විරෝධය සැපයෙහි ඇලීම දුකෙහි විරෝධයයි. අනාර්‍ය්‍ය ව්‍යහාර අටකි. නොදුටු දෙයෙහි දිටිමියි කීම, දුටු දෙයෙහි නොදුටිමියි කීම, ඇසූ දෙයෙහි නොඇසීමියි කීම, නොඇසූ දෙයෙහි ඇසීමියි කීම, මුතයෙහි අමුතයයි කීම, අමුතයෙහි මුත යයි කීම, දත් දෙයෙහි නොදනිමියි කීම්, නොදත් දෙයෙහි දනිමියි කීමය. මිච්ඡත්ත අටකි. මිච්ඡාදිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධියයි. පුරුෂ දෝෂ අටකි. මේ සාසනයෙහි භික්‍ෂුවකට භික්‍ෂූහු ඇවැතින් චෝදනා කරති. ඒ භික්‍ෂුනම භික්‍ෂූන් චෝදනා කරන කල්හි මතක නැත. මතක නැතැයි අසිහියෙන් මඟ හරී. මේ ආදිය විභංගයෙහි දක්වන ලද්දේමය. අසංඥිවාද අටකි. ආත්මය අරූපීය, මරණින් මතු නො ඇලී අසංඥි වෙතැයි පනවති. නේවසඤ්ඤා නාසඤ්ඤිවාදී ආත්මය වෙයි. මරණින් මතු අසඤ්ඤී වෙතැයි පනවති. අරූපාදියෙහි ද මේ ක්‍රමයයි.

ආඝාත වත්‍ථු නවයකි. අනර්ථය කළේ යයි ආඝාතය වෙයි. අනර්ථයෙහි හැසිරෙයි කියා ආඝාතය හටගනී. මතු අනර්ථය කරන්නේ යයි ආඝාතය හටගනී. මාගේ ප්‍රියයාට මනාපියාහට අනර්ථය කළේය, කරයි, මතු කරන්නේ යයි ආඝාතය හට ගනී. මාගේ අප්‍රියයාට අමනාපියාට අර්ථය කළේය, කරයි, මතු කරන්නේය කියා ආඝාතය හට ගනියි. පුරුෂමල නවයකි. ක්‍රෝධය, මකු බව, ඉරිසියාව, මසුරුබව, මායාව, සඨබව, මුසාව, පාපේච්ඡතාව, මිසදිටුවයි. මානය නව වැදෑරුම් ය. මම ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමි, සමාන

වෙමි, හීන වෙමි කියා මානය උපදී. මම සමානයාට ශ්‍රේෂ්ඨ වෙමි, සමාන වෙමි, හීන වෙමි කියා මානය උපදී. මම හීනයාට ශ්‍රේෂ්ඨ වෙමි, සමාන වෙමි, හීන වෙමි, කියා මානය උපදී. තෘෂ්ණා මූලික ධර්‍ම නවයකි. තෘෂ්ණාව හේතු කොට සෙවීමය. සෙවීම හේතු කොට ලැබීමයි. ලැබීම හේතු කොට නිශ්චයයි, නිශ්චය හේතු කොට ඡන්ද රාගයයි, ඡන්දරාගය හේතු කොට එහි බැස ගැනීමයි. බැස ගැනීම හේතු කොට පරිග්‍රහයයි. පරිග්‍රහය හේතු කොට මසුරු බවයි. මසුරු බව හේතු කොට ආරක්ෂාවයි. ආරක්ෂාව මුල්ව දඬු ගැනීම් කලහ විග්‍රහ ආදියයි. ඒ හේතුවෙන් කේලාම් ආදි නොයෙක් ලාමක අකුසල දහම් හට ගනී. ඉඤ්ජිත නවයකි. වෙමි, මෙය වෙයි, මෙය නොවෙයි, රූපී වෙයි, රූපී නොවෙයි, සඤ්ඤී වෙයි, සඤ්ඤී නොවෙයි, නේවසඤ්ඤා නාසඤ්ඤී වෙයි. නෙවසඤ්ඤී නාසඤ්ඤි නොවෙයි. එන්දන නවය ද එසේය. පඤ්චිත නවය ද සංඛත නවය ද එසේය.

ක්ලේශ වස්තු දසයකි. ලෝභ, දෝෂ, මෝහ, මාන, දිටඨි, විචිකිච්ඡා, ථීන, මිද්ධ, උද්ධච්ච, අහිරික, අනොත්තප්පයයි, ආඝාත වත්‍ථු දසයකි. මට අනර්ථ කළේය, කරයි, මත්තෙහි කරන්නේය කියා ආඝාතය උපදී, මාගේ ප්‍රියයාට අනර්ථ කළේය, කරයි, මතු කරන්නේය කියා ආඝාතය උපදී, මාගේ අප්‍රියයාට අර්ථය කළේය, කරයි, මතු කරන්නේ ය කියා ආඝාතය උපදී, අස්ථානයෙහි ආඝාතය හටගනී. අකුසල කර්මපථ දහයකි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාරය, මුසාවාදය, කේලාම් කීම, ඵරුෂ වචනය, හිස් වචන කීම, විසමලෝභය, ක්‍රෝධය, මිථ්‍යා දෘෂ්ටියයි, සංයෝජන දහයකි, කාමරාග, පටිඝ, දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතජරාමාස, භවරාග, ඉස්සා, මච්ඡරිය, අවිජ්ජා සංයෝජනයි, මිචඡත්ත දසයකි. මිච්ඡා දිට්ඨි -පෙ- මිච්ඡා සමාධි, මිච්ඡා ඤාණ, මිච්ඡා විමුක්තියයි. දස වස්තුක මිච්ඡා දිට්ඨිය නම් දීමෙහි විපාක තැත. පූජාවෙහි විපාක නැත. යාගයෙහි විපාක නැත. හොඳ නොහොඳ කර්මයෙහි විපාක නැත. මෙලොව නැත. පරලොව නැත. මව නැත. පියා නැත. මැරී ඉපදීමක් නැත. මෙලොව පරලොව සත් මාර්ගයට බැසගත් මෙලෝ පරලෝ මනා නුවණින් දැක ප්‍රකාශ කරන මහණ බමුණෝ නැත යනුයි. දස වස්තුක අන්තග්‍රාහි දෘෂ්ටි නම් ශාස්වත වාද සතරය, එකච්ච සස්සත වාද සතරය, අමරා වික්ෂේප සතරය, අධිච්චසමුප්පන්නක දෙකය. සංඥීවාද සොළසය. අසඤ්ඤීවාද අටය. නේවසඤ්ඤීවාද අටය, උච්ඡේදවාද සතය, දිට්ඨධම්මවාද පසයි.

එකසිය අටවැදෑරුම් තෘෂ්ණාව කුමක්ද? රූප තණ්හාව, -පෙ- ධම්ම තණ්හාව මේ අරමුණු වශයෙනි. නම් වශයෙන් තණ්හා සයක් දක්වන ලදි. ඒ තෘෂ්ණාවන්හි එක් එක් තෘෂ්ණාව ප්‍රවෘත්ති ආකාරයෙන් තෙවැදෑරුම් වෙයි. එහිලා රූපයෙහි කාම තණ්හා භව තණ්හා විභව තණ්හායි. ශබ්දා දියෙහි ද එසේමය. මේ අටළොස් තෘෂ්ණාවයි. ඒවා ආධ්‍යාත්මිකව අටළොසක් ද බාහිරව අටළොසක් ද කියා සතිසක් ක්වෙයි. මෙසේ අතීත සතිසකි, අනාගත සතිසකි, වර්තමාන සතිසකි කියා එකසිය අටක් වෙයි. නම් වශයෙන් මේ එක් සිය අටක් වූ තණ්හාවයි.

මෙහි ලට්ඨිවන යනු, තාල වනයෙහිය. සුප්පතිට්ඨිත චෙතියෙ යනු, නුගරුක් මුල්හිය. උරුවේලා යනු, උරුවේලාවෙහි විසූ බැවින් උරුවේල නම් වෙයි. ඔහු අමතමින් භවත් උරුවේල නිවාසි යයි කීහ. නිශ්‍රය බැවිනි. කිස්ස බො වදානො යනු, අනුශාසක වරයායි. කාමිත්‍ථියො යනු, මේ රූපාදි පඤ්ච කාමයෙහි සංඥාව කියයි. එතං මලං යනු, මේ සියලු රූපාදි කාම ප්‍රභේදයෝම මල නම් වෙයි. උපධීසු යනු, ස්කන්‍ධ ක්ලේශ උපධීන්හි. නරඤ්ජිං යනු, නොඇලුණෙමි, අථ ඛො චරහි, කථඤ්ච හි පදං යනු, නිර්වාණය ශාන්තයි යනුයි. නිවුණු බැවින් ශාන්තය. අනුපධිකං යනු, ක්ලේශ උපධි නැති බැවින් අනුපධිකයි. අකිඤ්චනං යනු, රාග දොස, මෝහ, කිවන රහිත බවයි. අනඤ්ඤ භාවං යනු, තමන් විරත වූ මගින්ම අවබෝධ කටයුතුය. අනඤ්ඤ ඤෙය්‍යං යනු, වෙනත් කරුණකින් නොව මාර්‍ගයෙන්ම අවබෝධ කටයුතුය යන අර්ථයි. සිංගී සුවණ්ණං නික්ඛං යනු, පිඬු කළ ස්වර්ණයම ස්වර්ණ පිණ්ඩය යනු අර්ථයි. මෙහි දසවාසො යනු ප්‍රථම ධ්‍යානාදි දස සමාපත්ති කියවේ. දසවාසෝ යනු මෙහි ලා දස පාරමිතාවයි.

දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, පස්වන විර්‍ය්‍යය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපේක්ඛා යන මේ දසයයි.

මේ දස පාරමිතාවන්හි නිවාසී බැවින් දසවාසොයි දත යුතුයි. දසබලෝ යනු, මෙහි තථාගත බල දසය දත යුතුය. දස තථාගත බලය කුමක් ද? ස්ථානය ස්ථාන වශයෙන්ද, අස්ථානය අස්ථාන වශයෙන් ද තත් වූ පරිද්දෙන් දනී. අතීත අනාගත කර්‍ම සමාදානයන්ගේ විපාකය ස්ථාන වශයෙන් හේතු වශයෙන් තත් වූ පරිද්දෙන් දනී. සබ්බත්‍ථගාමිණි පටිපදාව තත් වූ පරිද්දෙන් දනී. අනේක ධාතු නානාධාතු තත් වූ පරිද්දෙන් දනී. සත්ත්වයන්ගේ නානාධිමුක්තිකතාව තත් වූ පරිද්දෙන් දනී. පරසත්ත්වයන්ගේ පර පුද්ගලයන්ගේ ඉන්‍ද්‍රිය පර අපර බව තත් වූ පරිද්දෙන් දනී. ධ්‍යාන විමෝක්‍ෂ සමාපත්තිවල සංකිලේසය ව්‍යවදානය උත්ථානය තත් වූ පරිද්දෙන් දනී. පූර්වෙනිවාසානුස්මෘති ඥානය තත් වූ පරිද්දෙන් දනී. දිවැස දිව කන තත් වූ පරිද්දෙන් දනී. ආශ්‍රවක්‍ෂය ඥානය තත් වූ පරිද්දෙන් දනී. මේ දස බල ඤාණ නම් වේ. තථාගත ඤාණ බලයෙන් යුක්ත නිසා දසබල යයි කියනු ලැබේ. දසධම්මවිදු යනු, දස කුසලකර්මපථ දන්නා වූ, දස කුසලකර්‍මපථ කුමක් ද? ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානයෙන්, කාමමිච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, කේලමින්, පරුෂ වචනයෙන්, හිස් වචනයෙන්, වැළකීම. විෂමලෝහ නැති බව, ව්‍යාපාද රහිත බව, සම්‍යග් දෘෂ්ටිය යන මෙය දසකුසල කර්‍මපථ නමි. මේ දසකුසල කර්‍මපථධර්‍මයන් දත් හෙයින් දසධම්මවිදු යයි කියනු ලැබේ.

නොඑසේ නම් දසධම්මවිදු යනු, දස කථාවත්‍ථු ධර්‍මයන් දන්නාවූ, තෙමේ අල්පේච්ඡව අල්පේච්ඡතාවෙහි ගුණ කියයි. සන්තුෂ්ටව සන්තුෂ්ටිතාවෙහි ගුණ කියයි. ප්‍රවිවේකව ප්‍රවිවේකයෙහි ගුණ කියයි. -පෙ- අසංසට්ඨව අසංසට්ඨතාවෙහි ගුණ කියයි. විර්‍ය්‍යාරබ්ධව විර්‍ය්‍යාරම්භයෙහි සීලසම්පන්නව සීල සමාදානයෙහි සමාධි සම්පන්නව සමාධි සම්පදාවෙහි ඤාණ සම්පන්නව ඤාණ සම්පදාවෙහි විමුක්ති සම්පන්නව විමුක්ති සම්පදාවෙහි විමුක්ති

ඤාණදස්සන සම්පන්නව විමුක්තිඤාණදස්සන සම්පදාවෙහි ගුණ කියයි. දසෙහි උපෙතො යනු, අසේඛ අංග දසයෙන් උපෙත වූ යුක්ත වූ.

කවර දස අංගයෙන් ද? අසේඛ සම්මා දිට්ඨියෙන් යුක්ත වූයේ වෙයි. -පෙ- අසේඛ සම්මා සමාධියෙන්, අසේඛ ඤාණයෙන්, අසේඛ විමුක්තියෙන් යුක්ත වූයේ වෙයි. ධීර වූ ප්‍රඥාවෙන් යුක්ත සුවදුක්හි නො ඇලුණු ප්‍රාඥයන්ට ධීරයි කියති. සබ්බෝපධිදන්තො යනු, සියලු චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන්හි උපධීන්හි දැමුණු, මනාව දමනය වූ. බුද්ධො යනු, තමන් වහන්සේ සිව්සස් මනාව අවබෝධ කළ සේක්නුයි බුද්ධ නමි. ප්‍රජාවට අවබෝධ කරවන සේක්නුයි බුද්ධ නමි. මෙහි වේළුවනං යනු, ඒ උයනෙහි නමය. එය උණ ගසින් වට වූයේය. පිටත අටළොස් රියන් උස පවුරින් වටකරන ලද්දේය. නිල් පැහැයෙන් අතිමනෝහරය. හුණ ගසින් වටවූ හෙයින් වේළුවනයයි කියති. මෙහි ලේනුන්ට, අහර දුන් හෙයින් කලන්දක නිවාපයයි ද කියනු ලැබේ.

පෙර එක්තරා රජෙක් එහි උයන් කෙළි පිණිස පැමිණියේය. සුරාමදයෙන් මත් වූ හෙතෙම දහවල් නිදන්නට විය. පිරිවර ද රජ නිදතියි සිතා මල්ඵල සඳහා ඔබ මොබ ගියහ. එවිට එක් කළුසර්පයෙක් සුරා ගඳින් ගස් බෙනයකින් නික්ම රජු ළඟට ආයේය. එදුටු ගසට අධිපති දේවතාවා රජුගේ දිවි රැක දෙමියි ලෙහෙන වෙසින් පැමිණ රජුගේ කන ළඟ කෑගැසීය. රජ අවදි විය. සර්පයා ආපසු ගියේය. රජ ඒ දැක මේ ලෙහෙනා මට ජීවිතය දුන්නේ යයි එතැන් පටන් ලෙහෙනුන්ට ගොදුරු තැබ්බවීය. අභය දානය ද ප්‍රසිද්ධ කළේය. එහෙයින් කලන්දක නිවාප නම් විය.

භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඇසුරෙහි බිම්සර රජු පුදකළ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි ඒහි භික්‍ෂු පැවිද්දෙන් පැවිදි වූ ෂඩභිඥාලාභී රහතන් වහන්සේලාම වූ එක් දහස් දෙසිය පනහක් භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ සිව් පිරිස් සහිතව විසූ සේක. මෙහි විජිතමාරෝ යනු, ඛණිකමාර, කිලේසමාර, මච්චුමාර, දේවපුත්ත මාරයයි මාරයෝ සතර දෙනෙකි. ඛණික මාරයා කෙබඳු ද? පටිසන්‍ධිසිත දුන් කල්හි ප්‍රථම විඤ්ඤාණය පහළ වූ කල්හි කලලරූපය ඇති වූ කල්හි සමතිසක් වූ කර්‍මජ රූපයන් පහළ වූ කල්හි ආයුස පිරිහේ. ගලා බස්නා ජල ස්‍රෝතසක් මෙන් නිරන්තර ගෙවීමෙන් මරණය දක්වා පැමිණේ. මේ ක්‍ෂණික මාරයායි. කිලේස මාර නම් කෙබඳු ද? රාග දෝස මෝහයෙන් ව්‍යාකූල වූ සත්ත්වයෝ පුන පුනා සසරින් නොමිදෙති. නිරන්තර මරණයට පත් වෙති. මෙය කිලේසමාර නමි. මෘත්‍යුමාර කෙබඳු ද? ඔහු දෙපරිදිය. කාල මාර අකාල මාර වශයෙනි. කාල මාර කෙබඳු ද? පටිසන්‍ධි සිතෙහි පටන් පරියන්තය දක්වා වූ කර්මානුරූප ආයුෂයෙන් මැරෙයි. අකාල මාර කෙබඳු ද? බොහෝ වූ අනතුරු වලින් ආයු කෙළවරට නොපැමිණ අතරත මැරෙයි. මේ අකාල මාර නමි.

දේවපුත්ත මාර කෙබඳු ද? මාරයාගේ පූර්වයෝගය කිව යුතුයි කාරණා ඇතිව මාර නම් වේ. පුනර්භවයෙහි බැඳුණු සියලු සත්ත්වයන් නැවත නැවත තුන් වරක මරාලන හෙයින් මාරයයි කියනු ලැබේ. පව් වැගිරවීම් පාප සංකල්ප ඔහුට ඇති බැවින් පාපිමා කියා ද කියනු ලැබේ. කාමාවචර සයටම අධිපති බැවින් කාමදේව කියා ද කියනු ලැබේ. සියලු බුදුවරයන් වහන්සේලාගේ වංශය පවත්වන්නේ යයි ද කියනු ලැබේ. දේවපුත්තමාර නම් මෙසේය. සියලු සිව් මරුන් සම්‍යග් සම්බුද්ධයන් වහන්සේලා දිනූහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේලා විජිතමාර වෙති. අවිදු අඳුරෙන් මුළා වූ ලොවට මඟ නුවණ ආලෝකය කරවන හෙයින් ලෝකාලෝකකර නම් වෙති. උල්කා සංඛ්‍යාත ධර්මාලෝකය දල්වා ලන හෙයින් ධම්මොක්කං සම්පජ්ජලිතොයි කියනු ලැබේ. භව බැඳුම් සංඛ්‍යාත කාමගුණ සිඳලන සේකැයි භවබන්‍ධන විදාරණ නම් වෙති. නාථ යනු සත්ත්වයන්ගේ ආසය අනුශය චරිතාධිමුක්තිභේද අනුරූපව දහම් දෙසීමට සමත් බැවින් ධම්මං වෝ භික්ඛවේ දෙසිස්සාමි යනු අස්වන්නේය යන අර්ථයෙන් නාථ නම් වෙති. නැතහොත් සාධුභික්ඛවේ කාලේන කාලං අත්‍ථසම්පත්ති පච්චවෙක්ඛය්‍ය ආදි වශයෙන් එක් එක් දෙයට ප්‍රතිපක්‍ෂ විරුද්ධ ධර්‍මවලින් භික්‍ෂූන් මඟහැරවීමට යෝග්‍ය ශික්‍ෂාපද පැනවීම් වශයෙන් මෙලෝ පරලෝ යහපත සඳහා කරුණාවෙන් දක්වාලන හෙයින් නාථ නම් වෙති.

සූත්‍රාන්ත වශයෙන් ඒ ඒ සත්ත්වයන්ගේ කෙලෙස් අනුසය කරුණාවෙන් ප්‍රඥාවෙන් දැක දක්වාලන හෙයින් නාථ නම් වෙති. අභිධර්‍ම වශයෙන් සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් පරීක්‍ෂා කොට ප්‍රඥාවෙන් පිරිසිඳ දක්වා ලන හෙයින් නාථ නම් වෙති. දෙවියන් සහිත ලෝකයෙහි අසම පුද්ගල බැවින් කිසිවෙකු විසිනුත් නොපවත්වන ලද ධර්‍ම දේශනා කරන බැවින් ඊශ්වරාර්ථයෙන් නාථ නම් වෙති. දැහැමි කථාවෙන් දැක්වීම් තෙදගැන්වීම් සතුටු කරවීම් නිසා නාථ නම් වෙති. එසේම ප්‍රණිධාන කාලයෙහි පටන් මම මිදී මුදවන්නෙමියි ප්‍රාර්ථනා කළ හෙයින් නාථ නම් වෙති. සත්ත්වහිත පතන බැවින් ද නාථ නම් වෙති. සත්ත්වයන් නිවන් මඟට පමුණුවන හෙයින් නායක නම් වෙති. සන්සුන් කාය වාක් මනෝ ගති යුතු බැවින් සමාහිත නමි. පහවූ රාග දෝස මෝහ ඇති බැවින් වීතරාග වීතදෝස වීතමෝහ නම් වෙති. නිකෙලෙස් බැවින් ගගන මැද පත් උපක්ලේශයන්ගෙන් මුත් පුන්සඳ මෙන් බබළන හෙයින් නික්කිලෙස නමි.

අෂ්ට ලෝකධර්‍මයෝ කවරහු ද? ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සුඛ, දුක්ඛ යනු මේ අෂ්ට ලෝක ධර්මවලින් අකම්පිත වූ භාග්‍යවතුන් වහන්සේ නිශ්වාස වාතයෙන් නොසැලෙන මහමෙර මෙන් මඳකුදු කම්පා නොවෙති. ඒ භාග්‍යවතුන් වහන්සේ සුඛ දුක්ඛ ආදියෙහි තාදී වෙති. එහෙයින් ලෝක ධර්මයෙන් කම්පා රහිත යයි කියන ලදි. ඊශ්වර ගුණ අට කුමක් ද? අනිමා, මහිමා, ලසිමා, පත්‍ථිතා, පකාසිතා, ඊසතා, වසිතා, යත්‍රකාමාවසායතා යන අටයි. අනිමා යනු, සියුම් ආත්මභාව නිර්මාණයයි. මහිමා යනු, මහත් ආත්මභාව නිර්මාණයයි. ලසිමා යනු, වාතය මෙන් ශීඝ්‍ර ගමන් ඇති බවයි. පත්‍ථිතා යනු අන්‍ය ශරීරවලට පිවිසීමයි. පකාසිතා යනු, ප්‍රකට බවයි. ඊසතා යනු, කැමැති විෂය නිර්මාණයයි. වසිතා යනු, ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමෙහි දක්නා ලැබෙන ආවර්ජන, සමාපජ්ජන, වුට්ඨාන, අධිට්ඨාන, පච්චවෙක්ඛන යන පඤ්චවසී භාවයයි. වසිතා යනු, වසී භාවයයි. යත්‍ර කාමාවසාය යනු අතීතානාගත අනුස්මරණයයි. අෂ්ට ගුණ ඊශ්වරත්‍වය මෙයයි. එයින් යුක්ත බැවින් අනිමා මහිමාදි අට්ඨගුණමිස්සරෙහි සමන්නාගතො යයි කියනු ලැබේ.

දසබල ඤාණ කුමක් ද? ස්ථාන ස්ථාන වශයෙන් ද අස්ථාන අස්ථාන වශයෙන් ද තත් වූ පරිද්දෙන් දනී. අතීත අනාගත වර්තමාන කර්ම සමාදානයන් ස්ථාන වශයෙන් හේතු වශයෙන් තත් වූ පරිදි දනී. සබ්බත්‍ථගාමිණි පටිපදාව තත් වූ පරිදි දනී. අනෙක ධාතු නානා ධාතු ලෝකය තත් වූ පරිදි දනී. සත්ත්වයන්ගේ නානා අධිමුක්තික තාව තත් වූ පරිදි දනී. පර සත්ත්වයන්ගේ පර පුද්ගලයන්ගේ ඉන්‍ද්‍රිය පර අපර බව තත් වූ පරිදි දනී. ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සකිලිටි බව ව්‍යවදානය උට්ඨානය තත් වූ පරිදි දනී. පුබ්බෙනිවාසඤාණය තත් වූ පරිදි දනී. දිබ්බසෝතය තත් වූ පරිදි දනී. ආස්‍රවක්‍ෂය ඤාණය තත් වූ පරිදි දනී. මේ දස බල ඤාණයි. බුදුරදුන්ගේ චතුර් වෛශාරද්‍යඥාන කුමක් ද? මෙසේය. මහණෙනි, තථාගත විසාරදඤාණ සතරකි. යමකින් යුත් තථාගතයන් වහන්සේ ආසභ ස්ථානය ප්‍රතිඥාකරත් ද පිරිස්හි සිංහනාද කරත් ද බ්‍රහ්ම චක්‍රය පවත්වත් ද ඒ විසාරදඤාණ සතරකි. කවර සතර ද? සම්මා සම්බුදු බව ප්‍රතිඥා කරන ඔබවහන්සේ විසින් අවබෝධ නොකරන ලද මේ ධර්මයෝ ඇතැයි ලෝකයෙහි සහධාර්මිකව චෝදනා කළ හැකි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ නැත්තේය. මහණෙනි, ඊට නිමිති නොදකිමි. එහෙයින් මහණෙනි, ක්‍ෂෙමව අභයව විශාරදව වාසය කරමි. ක්‍ෂීණාශ්‍රව බව ප්‍රතිඥාකරන ඔබ වහන්සේගේ මේ ආස්‍රව ක්‍ෂීණ නොවීයයි -පෙ- අන්තරායකරධර්ම යමක් දේශනා කරන ලද නම් ඒවා ඇසුරු කිරීමෙන් අන්තරායක් නැතැයි කියන -පෙ- යමක් සඳහා ඔබ වහන්සේ ධර්‍මය දේශනා කරන ලද නම් එය කරන්නහුගේ දුක් නැසීම සඳහා නොවන්නේ යයි කියන -පෙ- බඹෙක් නැත්තේය. එහෙයින් අභයව විශාරදව වාසය කරමි. මහණෙනි, මේ සතර විශාරද ඥානයි.

සම්බුද්ධ ඤාණ කුමක්ද? දුකෙහි ඤාණය, දුක්ඛසමුදයෙහි ඤාණය, දුක්ඛනිරෝධයෙහි ඤාණය. දුක්ඛනිරෝධගාමිණි පටිපදාවෙහි ඤාණය, අත්‍ථපටිසම්භිදා ඤාණය, ධම්මපටිසම්භිදා ඤාණය, නිරුත්තිපටිසම්භිදා ඤාණය, පටිභාණපටිසම්භිදා ඤාණය, බුද්ධඤාණය, ශ්‍රාවකයන්ට අසාධාරණ වූ ඤාණ සය කුමක් ද? ඉන්‍ද්‍රියපරොපරියත්ති ඤාණය, සත්ත්වයන්ගේ ආසයානුසය ඤාණය, මහාකරුණාසමාපත්ති ඤාණය, යමකපාටිහාරිය ඤාණය, සබ්බඤ්ඤුත ඤාණය, අනාවරණ ඤාණයයි.

අටළොස් බුද්ධධර්ම නම් කුමක් ද? බුදුරජාණන් වහන්සේගේ අතීතංසයෙහි අප්‍රතිහත ඤාණය, එසේම අනාගතංස ඤාණය, පච්චුප්පන්න ඤාණය, මේ තුන් ධර්මයෙන් යුක්ත වූ භාග්‍යතුන් වහන්සේගේ සියලු කායකර්‍ම ඤාණපූර්ව ඤාණපරිවර්ත වේ. වාක් කර්මය ද මනෝකර්මය ද එසේය. මේ සනුවණින් යුත් භාග්‍යවතුන් වහන්සේගේ ඡන්‍දහානියක් ධර්‍මහානියක් විර්‍ය්‍ය හානියක් සමාධි හානියක් ප්‍රඥා හානියක් විමුක්ති හානියක් නැත. මේ දොළොස් ධර්මයන්ගෙන් යුත් තථාගතයන් වහන්සේට හානියක් නැත. පලා යාමක් නැත. දන්ධායිත බවක් නැත. අව්‍යාවෘත මනසක් නැත. මේ අටළොස් බුද්ධධර්‍ම නමි.

සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍ම නම් කුමක් ද? සතර සතිපට්ඨානය, සම්‍යක්ප්‍රධාන සතරය, ඉද්ධිපාද සතරය, ඉන්ද්‍රිය පසය, බල පසය, බොජ්ඣංග සතය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයය. මේ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍මයි. මහතියා අනුභාවෙන සමන්නාගතො යනු, මහානුභාව යනුයි. වෘෂභයෙකු බඳු පුරිෂ තෙමේම පුරිසාසභ නමි. තවද ගවයන් සියයකට දෙටු වූයේ උසභයි. ගවයන් දහසකට දෙටුවූයේ නිසභයි. ගවයන් ලක්‍ෂයකට දෙටු වූයේ දැකුම්කළු සියලු පරිශ්‍රමයන් ඉවසන මහබර දරන හෙණ හඬිනුත් කම්පා නොවන වෘෂභයා ආසභ නමි. මෙහි ලා ඔහුම අභිප්‍රේතයි, පඤ්චංග සමන්නාගත ආසභයා යම් සේ ද පුරිසාසභයාත් එසේය. භාග්‍යවතුන් වහන්සේ සතර සතිපට්ඨාන නම් සිව්පා ඇත්තාහ. සිව් පිරිසිදු සිල් නැමැති නිර්මල පඬෙර සිරුරු ඇත්තාහ. වීර්‍ය්‍යය නැමති සුපිරිසිදු වලග ඇත්තාහ. පටිවේධඤාණ දේසනාඤාණ නමැති අං යුවල ඇත්තාහ. සමථ විදර්ශනා නමැති දෙනුවන් ඇත්තාහ. මෛත්‍රි දයා නැමැති දෙකන් ඇත්තාහ. අෂ්ට ලෝකධර්‍ම සෙණහඬින් අකම්පිතව නොතැතිගෙන පහවූ බියෙන් සිව්විශාරද දේශනා නැමැති ගැඹුරු මහගර්ජනා ශබ්දයෙන් අට පිරිස් නැමැති ගවගණ මැද සෝභමාන වෙති. මෙසේ පුරුෂයා වෘෂභයෙකු මෙනැයි පුරිසාසහ නමි. උසභ යනු, ශ්‍රේෂ්ඨාධිකයායි. එහෙයින් නරශ්‍රේෂ්ඨ නරොත්තම යන අර්ථයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, වෘෂභ යනු අර්හත් සම්‍යග් සම්බුද්ධ තථාගතයන් වහන්සේට විශේෂණයකැයි වදාළහ. නාගයෙකු වැනි පුරුෂයා පුරුෂනාග නමි. මෙහි නාගො යනු, ආගු නම් පාපයයි. එය නොකෙරේහුයි නාග නම් වේ. රාග දෝෂ මෝහා දී ක්ලේශ ඡන්‍දයට නොයේනුයි නාග නමි. හස්ති නාගයෙකුට සමාන බැවින් ද නාග නමි. උන් වහන්සේ උප්පාද ව්‍යයඤාණ නම් විමල දෙනුවන් ඇත්තාහ. තියුණු ඤාණ දළ ඇත්තාහ. සමථ විදර්ශනා මහකුඹු ඇත්තාහ. සති සම්පජඤ්ඤ නැමැති දෙකන් ඇත්තාහ. සතිපට්ඨාන නමැති සිව්පා ඇත්තාහ. කරුණා ජල පතුරුවන කොපුල් ඇත්තාහ. සුවාසූදහසක් ධර්‍මස්කන්‍ධ නමැති රුසිරු කඳ ඇත්තාහ. දඹදිව් තලයෙහි මහජනකාය සනසමින් මෛත්‍රියෙන් පරිභාවිත සද්ධර්‍ම දේශනා සිසිල් සොඬ දියෙන් විසුරුවමින් අනුන්ගේ ආක්‍රෝශ පරිභව නමැති හී සැත් තෝමරාදියෙන් විදින ලදුව ඒ තථාගත හස්ති මහා නාග රාජයා හැසුරුණහ.

මම දුන්නෙන් විදින ලද හීතල ඉවසන්නාවූ ඇතෙකු මෙන් ආක්‍රෝශ පරිභව ඉවසමි. බොහෝ ජනයා දුස්සීලය.

යන අභීත වදන් තෙපලමින් ලෝක හිත අර්ථයම සාදන සේක. එහෙයින් නාගයෙකු වැනි පුරුෂයා පුරිෂනාග නමි. ශාස්තෲන් වහන්සේ විසින් අනිකක් ද වදාළහ.

මහණෙනි, හත්‍ථිනාග යනු, තථාගතයන් වහන්සේට විශේෂණයකි. සිංහයෙකු වැනි පුරුෂතෙම යන තන්හි සිංහයෝ සතර දෙනෙකි. තිණසීහ, කාළසීහ, පණ්ඩුසීහ, කේසරසීහ යනුවෙනි. එහි තිණසීහ නම් සුදු දෙනක මෙන් තණ බුදියි. කාළසීහයා කළු ගොනෙකු බඳුය. තණ කොළ කයි. පණ්ඩුසීහයා පඬුපත් පැහැති දෙනක බඳුය. මස් බුදියි. කේශර සිංහයා වනාහි ලා රසින් පිරිකම් කළාක් වැනි මුහුණින් ද වාලධි කෙළවරින් ද සතර පාදාන්තයෙන් ද යුක්තය. මුදුනෙහි පටන් පැහැදිලි ලා රේඛායෙන් සැරසුවාක් මෙන් තුන් රොදක් පිට මැදින් ගොස් තුනටියෙන් දකුණට කැරකී සිටි. ඔහුගේ කඳෙහි ලක්‍ෂයක් අගනා කම්බිලියකින් වට කළාක් මෙන් කේශර සහිත වේ. සෙසු තැන් සුදෝ සුදු හැල්පිඬු මෙන් ද සක් සුණුපිඬු මෙන් ද වේ. මේ කේශරසිංහ නමි. ඔහුට ජාතිසීහ කියා ද කියනු ලැබේ. මෙහි අදහස් කරන ලද්දේ ඔහුය. භාග්‍යවතුන් වහන්සේ ගිරිගුහාවකින් නික්මුණු කේශර සිංහයෙකු මෙන් ධර්මාසනයෙහි සිට විශාරදව සද්ධර්‍ම දේශනා සිංහනාද පවත්වති.

භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, මෘගරාජ සිංහයා සවස් වේලෙහි ගුහායෙන් නික්මෙයි. නික්ම ඇඟ සලයි. සලා හාත්පස සිවු දිශාව බලයි. බලා තෙවරක් සිංහනාද කරයි. සිංහනාද කොට ගොදුරු පිණිස යයි. මහණෙනි, තිරිසන් ගත යම් ප්‍රාණීහු වෙත් ද ඔවුහු මෘගරාජ සිංහයාගේ ශබ්දය අසා බෙහෙවින් බියට සංවේගයට සන්තාපයට පත් වෙති. බිල්හි වසන්නෝ බිල්වලට වදිති. දියෙහි වසන්නෝ දියට පිවිසෙති. පක්‍ෂීහු අහසට නගිති. මහණෙනි, ගම් නියම්ගම් ජනපද රාජධානිවල බැඳ සිටී ඇත්තු බැමි කඩා කැළඹී මළ මු පහකරමින් ඒ මේ අත දුවති. මහණෙනි, තිරිසන්ගත සතුන් අතර මෘගරාජ සිංහයා මෙසේ මහද්ධිමත්ය, මහානුභාව සම්පන්නය. එමෙන් මහණෙනි, තථාගත අර්හත් සම්මාසම්බුද්ධ විජ්ජාචරණසම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිසදම්මසාරථී වූ දෙව් මිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ භගවත් තථාගතයන් වහන්සේ ලොව උපදිති. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත මේ ලෝකය තමන් වහන්සේ අභිඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කොට දන්නා සේක. උන්වහන්සේ මුල කලණ මැද අග කලණ අර්ථවත් ව්‍යඤ්ජනවත් සර්වප්‍රකාරයෙන් පිරිපුන් පිරිසිදු බඹසර දේශනා කරනසේක. මේ රූපයයි. මේ රූප සමුදයයි. මේ රූප අස්තංගමයයි. -පෙ- මේ විඤ්ඤාණ අස්තංගමයයි කියායි.

මහණෙනි, යම් ඒ දීර්ඝායුෂ්ක පැහැපත් සැප බහුල උස් විමන්වල බොහෝ කල් වසන දෙවියෝ වෙත් ද ඔවුහු තථාගතයන් වහන්සේගේ දහම් අසා බෙහෙවින් සංවේගයට බියට සන්ත්‍රාසයට පත් වෙති. පින්වත්නි, ඒකාන්තයෙන්ම අනිත්‍යවූම අපි අනිත්‍ය නොවෙතැයි සිතුවෙමු. ඒකාන්ත නොවූම අපි ඒකාන්තයයි සිතූ වෙමු. අශාස්වත වූ අපි ශාස්වතයයි සිතීමු. තෙමේම භවත්නි, ඒකාන්තයෙන්ම අනිත්‍ය වේ. ඒකාන්ත නොවෙයි, විපරිණාම ස්වභාව ඇත්තෝ වෙමු කියාය. මහණෙනි, තථාගතයන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි මෙසේ මහර්ධිමත් මහානුභාව සම්පන්න වෙති. මෙසේ සීහනාදයට සම බැවින් සීහ වෙති. සීහපුබ්බද්ධකාය හා සම බැවින් සීහයි. සීහහනු සමාන බැවින් සීහයි. සීහවිලාස සමාන විලාස සම්පන්න බැවින් සීහයි.

නැතහොත් සිංහයා ඉවසීමෙන් ද නැසීමෙන් ද යම් සේ සිංහයයි කියනු ලැබේ ද එසේ තථාගත සිංහයාණෝ ලෝකධර්‍ම ඉවසීමෙන් ද පරප්‍රවාද නැසීමෙන් ද සිංහයයි කියනු ලැබේ. යම්සේ සිංහයා සිංහ බලයෙන් යුතුව සියලු තැන්හි විශාරදව ලොමු දැහැ ගැනීම් රහිතව මෘග සමූහයා මැද සිටී ද එසේ තථාගත සිංහයාණෝ තථාගතබල සමන්නාගතව කැත් පිරිසෙහි හෝ බමුණු පිරිසෙහි හෝ ගහපති පිරිස්හි හෝ මහණ පිරිස්හි හෝ සව්මහරජ පිරිස්හි හෝ තව්තිසා පිරිස්හි හෝ මරපිරිස්හි හෝ බඹ පිරිස්හි හෝ මේ අට පිරිස්හි සැමතැන විශාරදව රෝමෝද්ගම රහිතව නානා දේශනා විලාස සම්පන්නව සිංහනාද කරති. මෙසේ සර්වාකාර සම්පූර්ණ හෙයින් ජිනවරසීහ නම් වන්නාහ. සිංහයෙකු වැනි පුරුෂයා පුරුෂසිංහ නමි. උතුම් වූයේ ද පුරුෂවූයේ ද පුරිසුත්තම නමි. ලොව උපදින උන්වහන්සේ අදුතියව තනිවම උපදනාහ. අපරිමිත කාලයෙහි රැස් කළ පුණ්‍ය සම්භාර බලයෙන් උපන් ශරීර ඇතිව පරමාශ්චර්යව අද්භූත සම්පන්නව පොළෝතෙලෙහි පටන් අවීචිය කෙළවර කොට ඇති යට ද උපරි භවාග්‍රය ද සරස අපරිමාණ ලෝක ධාතුවල ද රූපයෙන් හෝ ගුණයෙන් හෝ තථාගතයන්ට සමවූවෙක් නැත. උත්තරීතරයෙක් නම් කොයින් ද? එහෙයින් මේ භාග්‍යවතුන් වහන්සේ පුරිසුත්තම යයි කියනු ලැබේ.

අභිරූපො යනු, පුණ්‍යසම්භාර ඵලයෙන් යුක්ත වන බැවින් අතිශයින් රූමත්ය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ රූපය තමන් වහන්සේම වර්ණනා කරමින් මහණෙනි, පුණ්‍ය විපාකය එළඹ සිටියේ ප්‍රිය වෙයි. යම් දීර්ඝාංගයන් නිසා සුන්දර වන්නේ නම් ඒ අංග දීර්ඝව පිහිටයි. යම් කෙටි අංග නිසා සුන්දර වන්නේ නම් ඒ අංග කෙටිව පිහිටයි. යම් අංග මහත්වීම නිසා සුන්දර වන්නේ නම් ඒ අංග මහත්ව පිහිටයි. එහෙයින්,

ලෝකයෙහි ප්‍රතිභාසම්පන්න මහර්ධිමත්හු සිටිත් නම් ඔවුන් එක්ව මුනීන්‍ද්‍රයන් වහන්සේගේ යථා ස්වභාව රූපය නිර්මාණය කරත් නම් සියලු ශිල්ප දක්වා සියලු ශිල්ප කැටි කළත් සලකුණු මාත්‍රයකටවත් නොපැමිණෙයි. එසේ කල බුදුරුවක් කෙසේ නම් කරන්නේ ද? මෙලොව සුගත රූපයක් තැනීමට සමත් බුදුවරයන් වහන්සේ නමක් හැර අන් කිසිවෙක් නැත්තේ ය. කළ කෙනෙක් හෝ කරන කෙනෙක් හෝ මතු කරන්නෙක් හෝ නැත්තේය.

එහෙයින් බුද්ධ දේහයෙහි යම් ලක්‍ෂණ ඇත්තේ ද ඒ එකිනෙක සිය පින් බෙලෙන් හටගත්තේය. දෙතිසක් පමණ ගුණයෙන් යුත් ඒ බුද්ධ රුපය අසමයයි කියනු ලැබේ.

මෙසේ අභිරූප වූ භාග්‍යවතුන් වහන්සේ මහජන සිත් පහදවානුයි පාසාදික නමි. දැකීමට යෝග්‍ය හෙයින් දස්සනීයය. ප්‍රසාද සෞම්‍ය ඇස් දල්වා උන්වහන්සේ දැකීම ද බහූපකාර වෙයි. නොයෙක් සිය ගණන් ආත්මභාවවල ඇස්වල රෝගයක් හෝ දෝෂයක් හෝ කිළුටක් හෝ පණුවෙක් හෝ ඇති නොවේ. මිණි විමනක විවෘත කවුළුවක් මෙන් පඤ්චප්‍රසාද යුත් ඇස් ඇති වේ. බුදුන් දැකීමෙහි මේ විපාකයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දර්ශනීය වෙති. පරම වර්‍ණ සෞන්දර්යයෙන් සමන්නාගත වෙති. සොඳුරු බව පොක්ඛරතායයි කියනු ලැබේ. වණ්ණපොක්ඛරතාය යනු, වර්ණ සම්පත්තිය යන අර්ථයි. නොඑසේ නම් පොක්ඛරං යනු ශරීරයයි. වණ්ණං යනු, වර්ණයයි. මෙසේ වණ්ණං යනු ද පොක්ඛරං යනු ද වණ්ණපොක්ඛර වෙයි. ඒ වණ්ණපොක්ඛර බව වණ්ණපොක්ඛර තාවයි. තවද අර්ථයකි. අභිරූපො යනු, අන් දෙවිමිනිසුන්ට වඩා අධිකතර රූප ඇත්තේ යනුයි. දස්සනීයෝ යනු, දවසම බලා සිටිනවුන්ට ද අතෘප්තිකරය යන්නයි. දැකීමෙන්ම සිත පැහැදවීම් ඇති කරන්නේ පාසාදිකයි. පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො යනු, උතුම් සුපිරිසිදු වර්ණයෙන් ද ශරීර සලකුණු සම්පත්තියෙන් ද යුක්ත වූයේය යන අර්ථයි. සමන්තභද්දකො යනු, ඇම තන්හි සොඳුරු බවයි. මිත්‍ර අමිත්‍ර මැදහතුන් විසින් පවත්වනු ලබන මෙත් සිත් ඇත්තේ යනුයි. යම් කිසිවෙක් බුද්ධ රූපය දැක සිය ශක්තිය යොදා විවිධ උපායෙන් ඒ හා සමාන වස්තුවක් ගැනීමට නොහැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය අප්‍රමාණ බව මෙහි දැක්වේ.

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ කවරේ ද? ඒ භාග්‍යවතුන් වහන්සේ සුප්පතිට්ඨිතපාද වෙති. ආයතපණ්හි, දීඝංගුලි, මුදුතළුණහත්‍ථපාද, ජාලහත්‍ථපාද, උස්සංඛපාද, ඒණිජංඝා යන ලක්ෂණවලින් යුතු වෙති. සිටි වනම නොනැමි දෙඅත්ලෙන් දෙදණ පිරිමදිති. කොසොහිත වත්‍ථගුය්හ වෙති. ස්වර්ණවර්ණ වෙති. රන් පැහැ සම් ඇත්තාහ. සියුම් සිවි ඇත්තාහ. සියුම්සම නිසා සිරුරෙහි රජස් දැලි නොතැවරේ. එකේකලෝම වෙති. ලෝම කූපයෙහි එකම ලෝමයක් වෙයි. උද්ධග්ගලෝම වෙති. උඩු අක් ඇති ලෝම අඳුන් පැහැයෙන් කුණ්ඩලාකාරව දකුණට කැරකී ඇත. බ්‍රහ්මුජ්ජුගත්ත. සත්තුස්සද, සීහ පුබ්බද්ධකාය චිතංත රංස, නිග්‍රෝධපරිමණ්ඩල ලක්‍ෂණයන්ගෙන් ද සෝභමාන වෙති. උන් වහන්සේගේ ශරීරය යම් පමණ ද බඹය ද එපමණම වෙයි. සමවත්තක්ඛන්‍ධ, රසග්ගසග්ගි, සීහහනු, චත්තාලීසදන්ත, සමදන්ත, අවිවරදන්ත, සුසුක්කදාඨ, පහුතජිව්හා, කරවීකභාණි, බ්‍රහ්මස්සර, අභිනීලනෙත්ත, ගොපඛුම වෙති. සුදුමුදු පුළුන් රොදක් වන් ඌර්ණය බැම අතර වූයේය. උණ්හීසසීස වෙති. මේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයි.

අසීති අනුව්‍යඤ්ජන කෙසේ ද? ඒ භාග්‍යවතුන් වහන්සේ තුංගනඛ, තම්බනඛ, සිනිද්ධනඛ, පටිච්ඡන්නසීස, වටංගුලි, විතංගුලි, අනුපුබ්බංගුලි, සමථුල්ලපාද, අවිසමපාද, සිනිද්ධහත්‍ථපාද, තම්බහත්ථපාද, ථුල්ලඵස්සපණ්හි, සමතුස්සාදනලේඛා, ගම්භීර ලේඛා, ආයතලේඛා, අබ්භොච්ඡින්නලේඛා, අනුපුබ්බලේඛා, ලම්බහනු, ථුල්ලගෝපඛ, පරිපුණ්ණජාණුමණ්ඩල, සමන්තපාසාදික, පරමවිසුද්ධපභා, සීහවික්කන්තචාර, නාගවික්කන්තචාර, උසභවික්කන්තචාර, හංසවික්කන්තචාර, අවිසමචාර, පදක්ඛිණාවත්තමාන, පරිපුණ්ණව්‍යඤ්ජන, සුචිගත්ත, කුටිසෝදර, අනුත්තානොදර, තම්බමුඛ, පීණගණ්ඩ, අවිසමගණ්ඩ, විගත ගණ්ඩ දෝස, අනු පක්කුට්ඨඉන්‍ද්‍රිය. අනින්‍දිතින්ද්‍රිය, සුචින්‍ද්‍රිය, තම්බජිව්හා, අනුපමපද, ගජගජ්ජිතසර, සුමධුරමංජු ඝොස, පරිපුණ්ණසොතින්‍ද්‍රිය, අසීති කේස, සමන්තකේස, අසන්තංගතකේස, අලුලිතකේස, නිප්පත‍ේස, සුකේලිතකේස, අඵලිත කේස, දක්ඛිණාවත්තකේස, මේ අසීති අනුව්‍යඤ්ජන නම් වේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසීති අනුව්‍යඤ්ජනයෙන් විසිතුරු රූපකායයෙන් නානා වර්ණයෙන් හෙබි නීල පීත ලෝහිත ඕදාත මංජෙට්ඨ ප්‍රභාවස්වර යන සවනක් රසින් බබළන දේහ ඇතිව දෙව්දුනු පැහැති රුසිරු කේතුමාලායෙන් වළඳනා ලද හිස් පෙදෙස් ඇතිව දොළොස් රියන් පමණ බ්‍යාමප්‍රභායෙන් සමලංකෘත සකලාංගයෙන් යුතුව අතිශයින් බබළන සේක.

සුපිපි සාලරාජයෙකු වැනි වූ ද අහස්කුස සඳමඬල වැනිවූ ද මධ්‍යාහ්න සූර්‍ය්‍යයා බඳුවූ ද නරොත්තමයන් වහන්සේ බබළන සේක.

එහි සුඵුල්ලසාලරාජං යනු, සෘජු මහත් දිග් කඳින් නැගුණු අතු පැළයෙන් සිසිල් මුලපටන් අග දක්වා සුපිපි සාලරාජයායි. මෙසේ සීල නැමැති මුල් සමාධි නැමැති කඳ ප්‍රඥා නැමැති අතු අභිඤ්ඤා නැමැති මල් විමුක්ති නැමැති ඵල සහිත බුද්ධ මහාසාල රාජයාණෝ බබළති. චන්දංව ගගනෙ යථා යනු, යම්සේ වලාකුළු මීදුම් රජස් රාහු යන උපක්ලේශයන්ගෙන් මිදුණු එකුන් පනස් යොදුන් වූ අහස්හි බබළන පුන්සඳ මඬලයි. මෙසේ සදාකල්හි කෙලෙසුන්ගෙන් මුත් අනන්ත මෛත්‍රී ආලෝකයෙන් සවනක් රස් සමූහයෙන් වටවූ නිර්මල අනාවරණඤාණයෙන් පිරිපුන් මඬුලු ඇති මුදිතා භාවනාවෙන් ජනිත සෞම්‍ය ස්වභාව ඇති කරුණා සීතල රශ්මියෙන් විනේය ජන නැමැති කුමුදු පුබුදු කළ තථාගත සඳමඬල බැබළීය. මජ්ඣන්තිකෙ ච සුරියං යනු, මධ්‍යාහ්න වේලෙහි බබළන පිරිපුන් පනස් යොදුන් ඉර මඬලයි. ඤාණ තේජසින් අවිද්‍යාන්‍ධකාර නසා ඇති දේ දක්වන ඤාණාලෝකයෙන් විනේයජන පියුම් පුබුදාලන බුද්ධ දිවාකරයන් වහන්සේ දෙස බැලීය. නරාසභං යනු, නරඋසභ බුද්ධ වීරයන් වහන්සේයි. දසබල ජිනවරයන් වහන්සේ දෙස බැලීය.

පිරිනිවන් කථාවෙහි භාග්‍යවතුන් වහන්සේ විශාලාව සමීපයෙහි බේළුව ගම්හි පශ්චිම වස විසූහ. එහිදී ක්‍රෑර ඵරුෂ විසභාග අතිශයින් බලවත් ආබාධයක් හටගත්තේය. මාරණන්තිකා යනු, මරණයට සමීප, සත්‍ථා සතො සම්පජානෝ අධිවාසෙසි යනු, සිහිය මනාව පිහිටුවා නුවණින් පිරිසිඳ දැන ඉවසූහ. අවිහඤ්ඤමානෙන යනු, කී පරිදි වේදනාවෙන් නොපෙරළෙමින් දුක් නොවෙමින් ඉවසූහ. විරියෙන යනු, පූර්වභාග වීර්‍ය්‍යෙයන් සහ ඵල සමවත් වීර්‍ය්‍යෙයනි. පටිනාමෙත්‍වා යනු, යටපත් කොට. සංඛාරං යනු, මෙහි ජීවිත පටිසංඛාරයයි. යමකින් ජීවිතපටිසංඛරණය කරයි ද, කැඩෙන දෙය සම්බන්ධ කොට තබයි ද ඒ ඵල සමාපත්ති ධර්‍මය ද ජීවිත සංඛාර නමි. මෙහි ලා එය අදහස් කරන ලදි. එය අධිෂ්ඨාන කොට මධුරකජාතො විය යනු, ස්වාමීනි, මාගේ මේ ශරීරය හටගත් තදබර කමින් උලෙහි හිඳවූවාක් මෙනි. දිසාපි මෙ න පඤ්ඤායති යනු, නොවැටහෙයි. නොයෙක් කාරණා නිසා එළඹ නොසිටී. ධම්මානි මෙ නප්පටිභන්ති යනු, සතිපට්ඨානාදි ප්‍රකට ධර්‍මයන් ද මට නොවැටහෙයි. ආයු සංස්කාර අත් හැරීමෙහි මහාභූමිචලනයක් මහපොළෝ කම්පාවක් හුදෙක් එක් සක්වළක පමණක් නොවෙයි. එකල්හි දසසහස්‍රී ලෝකධාතුව කම්පා විය. ප්‍රකම්පා විය. භිංසනකො යනු, භයභීතකරවූ, දේවදුන්දුභියො ඵලිංසු යනු, දෙව්බෙර අහසෙහිම වැටුණේය. සුක්ඛගජ්ජිතං ගජ්ජි යනු, නොකල් විදුලිය නික්මිණ. ක්‍ෂණික වැසි වැස්සේයයි කියන ලදි. හිරඤ්ඤවතී නදියෙන් එතෙර මල්ල රජවරුන්ගේ සල්වන උයන උපවත්තනයයි. කුසිනාරාවෙහි නැගෙනහිරට ගොස් උතුරට හැරුණු කල ඇති නිසා උපවත්තන යි කියන ලදි. අන්තරෙන යමකසාලානං උත්තර සීසකං යනු, ඒ ඇඳෙහි හිස පැත්තෙන් එක් සල් ගසක් වෙයි. පා පසින් එකක් වෙයි. ඉන් එක් තරුණ සල්ගසක් හිස ළඟ ද එකක් පා ළඟ ද වෙයි. යමක සල් නම් මුල කඳ ශාඛා අංකුර පත්‍ර එකිනෙක වැළඳගෙන පැවැති සල්ගස් යනුයි.

විහාරො යනු, මණ්ඩලමාල විහාරය අභිප්‍රේතයි. කපිසීසකං යනු, දොරබා කෙළවර ඇති අගුළු දණ්ඩයි. එහි එල්බ හඬමින් සිටියේය. මෙත්තෙන කායකම්මෙන යනු, මෙත් සිත් වශයෙන් පැවැත් වූ මුව දෝවනාදි කායකර්‍මයෙනි. හිතෙන යනු, හිත වැඩ කැමැත්තෙනි. සුඛෙන යනු, සොම්නස් මුහුණිනි. අද්වයෙන යනු, දෙපැත්තක් නැති. මෙසේයි. කිසිවෙක් ඉදිරියෙහිම කෙරෙති. කිසිවෙක් අනභිමුඛයෙහිම කරති. අභිමුඛයෙහි නොකරති. මෙසේ බෙදා නොකිරීමෙනැයි කියන ලදි. අප්පමාණේන යනු, ප්‍රමාණ රහිතවයි. එහෙයින් සක්වළ ද බාධා සහිතය. භවාග්‍රය ද ඉතා පහත්ය. ඔබ විසින් කරන ලද කාය වාක් මනඃ කර්ම බහුලයයි දක්වති. එහි කුඩ්ඩනගරකෙ යනු, නගරප්‍රතිරූපක ප්‍රාසාද ඇති කුඩානගරයයි. උජ්ඣංගල නගර සාඛා නගර යනු, යම්සේ ගසක කුඩා අතු ඇත්තේ ද එමෙන් වෙනත් මහා නගරවල ශාඛා වැනි කුඩා නගරයෙක්හි.

ඛත්තියමහාසාලා යනු, මහාසාර බවට පත් මහා භෝගස්කන්‍ධයන්ගෙන් සමන්විත යන අර්ථයයි. ක්‍ෂත්‍රිය මහා සාරයෝ නම් කෙළ සියගණන් කෙළ ලක්‍ෂගණත් ධනය නිධන් කොට ඇත්තේය. දවස දවස වියදම එක් කහවනු ගැලකි. සවස ගැල් දෙකක් ගෙට එයි. බ්‍රාහ්මණමහාසාරයෝ නම් අසූ කෙළක් ධනය නිධන් කොට ඇත්තාහු වෙති. දවස පිරිවැය එක් කහවනු කුම්භයකි. සවස කහවනු ගැලක් ගෙට පිවිසෙයි. ගෘහපති මහාසාරයෝ නම් සතලිස් කෙළක් ධනය නිධන් කොට ඇත්තෝය. දවසෙහි වියදම කහවනු අමුණු පන්සියයකි. සවස කහවනු කුම්භයක් ගෙට එයි. ආනන්ද, කුඩා නගරයකැයි මෙසේ නොකියන්න. -පෙ- ආනන්‍ද, මම ද මේ නගරයෙහි සම්පත් ප්‍රකාශ කිරීමට නොයෙක් වර හිඳිමින් සිටිමින් මහත් උත්සාහයෙන් දැඩි විර්‍ය්‍යයෙන් මෙහි පැමිණියෙමි යි වදාරා භූතපුබ්බං යන ආදිය වදාළහ. ආනන්ද, මේ පෙදෙසෙහි සවරක් ශරීරය බහාලු බව දනිමි. එද සත්තරතනයෙන් යුත් සක්විති රජවම කළෙමි. මේ සත්වන ශරීරය බහා තැබීමයි. ආනන්ද, තථාගතයන් වහන්සේ අටවරක් ශරීරය බහාලූ තැනක් දෙවියන් සහිත ලෝකයෙහි මම නොදකිමි.

සුභද්දො පරිබ්බාජකො යනු, හෙතෙම වනාහි ප්‍රකට බමුණු මහාසාර කුලයකින් පැවිදි වූවෙකි. කංඛාධම්මො යනු, විපරීත ධර්‍මයයි. කුමක් හෙයින් අද මෙසේ කියන ලද්දේ ද? එබඳු නිශ්‍රයයක් ඇති බැවිනි. පෙර පින් කරන කාලයෙහි සොහොයුරෝ දෙදෙනෙක් වූහ. වැඩිමලා මහාකාළ නමි. බාලයා චුල්ලකාළ නමි. ඔවුහු එක්ව ගොවිතැන් කළහ. බණ්ඩි කාලයෙහි වැඩිමලා බාලයා සමඟ සාකච්ඡා කළේය. සොහොයුර, බුදුන්ට සත්කාර කිරිම අපට පැවරී ඇත. අපි උන්වහන්සේට කෙසේ සත්කාර කරමුදැයි කියායි. සොහොයුර, ඔබම කියන්න. එසේ නම් ඔබ මාගේ අදහස් පරිදි කරන්න. අපගේ සොළොස් කිරියක් පමණ කුඹුරෙහි බණ්ඩි හැල් ඇත. ඒ හැල් ඛණ්ඩි පළා බුදුන්ට සුදුසුසේ පිස දන් දෙමුයි කීහ. බාලයා මෙසේ කීය. තරුණ ගොයම් නසනු කැමැත්තෙහි ද? එසේ කිරීමෙන් කාටත් පලක් නැත. ඊට මාගේ කැමැත්තක් ද නැත. එසේ නම් සොහොයුර, ඔබේ කොටස ඔබ රැක ගන්නැයි සොළොස් කිරියක් පමණ කුඹුර මැදින් බෙදා අට කිරියක් සීමා කොට තමා සන්තක හැල් බණ්ඩි බොහෝ දෙනා සමඟ පළා ගෙට ගෙන ගොස් නොඉඳුල් කිරෙන් පිසීය. කුමක් හෙයින් හැල්බණ්ඩි පිදීමෙහි මහත් උත්සාහයක් දැරි ද? ඔහු දිනක් කුඹුරට ගොස් එක් හැල් බණ්ඩියක් ගෙන එය පළා ටිකක් කෑවේය. එය ඉතා රසවත් විය.

ඔහු මෙසේ සිතීය. මේ හැල් බණ්ඩි බෙහෙවින් රසවත්ය. මෙය මා බුදුන්ට සුදුසු සේ පිස පිදිය යුතු වන්නේය. මාගේ මේ දානය, කිසිවෙකුත් නොදුන්නකැයි. අන්‍යයෝ කියති. මෙසේ සිතා එය පිස චතුමධුර බහා විපස්සි. සම්මා සමබුදුන් ප්‍රමුඛ අටසැට දහසක් භික්‍ෂූන්ට පුදා ස්වාමීනි, මගේ මේ අගසස් දානය අග්‍රධර්‍මය හැමට පළමුව අවබෝධ කිරීම පිණිස පවතීවායි පැතීය. එකෙණෙහි ඒ හැල් බණ්ඩි පළාගත් තැන් සම්පූර්ණ වූයේමය. ඒ දුටු මහාකාළ සතුටු සොම්නස්ව පින් කෙතෙහි දුන් දනෙහි විපාක මෙලොව දීම දිටිමි. ලෝකයෙහි පින්කෙතෙහි පිදූ දාන විපාකය මහත්යයි උදන් ඇනීය. මෙසේ හෙයින් කවරෙක් නම් දන් නොදෙන්නේ ද? කවරෙක් නම් දන්පල නොඅදහන්නේදැයි සිතා සැදැහැයෙන් පැසෙන කාලයෙහි පුථුකග්ග දානය ද දුන්නේය. කපන කාලයෙහි සයනග්ග දානය ද උප්පිඩි කරන කාලයෙහි වේනග්ග දානය ද කලාප කරන කාලයෙහි කලාපග්ග දානය ද කමතට ගන්නා කල්හි ඛලග්ග දානය ද මඩින කල්හි මද්දග්ග දානයද කමතින් ගෙනියන කල්හි ඛලභණ්ඩග්ග දානය ද කොටු පුරවන කාලයෙහි කොට්ඨග්ග දානය දැයි එකම ශස්‍යයෙහි බුදුපාමොක් බික් සඟනට නව අගහස් දනක් දුන්නේය.

ඒ ශස්‍යය අඩුවක් නැතිව වඩාත් සමෘද්ධිමත් විය. බුදුවරු ලෝකයේ සිටින තාක් ඒ ශස්‍ය රැඳෙන්නේමය. ඔහුගේ බාල සොහොයුරු චුල්ලකාළ ඒ අසිරිය දැක හටගත් ශ්‍රද්ධාවෙන් බික් සඟුන් සහිත භාග්‍යවතුන් වහන්සේට දන් දී ස්වාමීනි, මාගේ සොහොයුරු තෙම අගසස් දන් දී අගදහම් පැතීය. මාගේ මේ පසු දන අනාගතයෙහි අවසාන කාලයෙහි අවසන් ධර්මාවබෝධයට හේතු වේවායි ප්‍රාර්ථනා කළේය. වැඩිමල් කෙළෙඹි තෙම දිවි හිම් කොට දානාදි පූජා පවත්වා ආයු කෙළවර දෙව්ලොව උපන්නේය. හෙතෙම එක් අනූකපක් දෙවි මිනිසුන් අතර සැරිසරා අප බුදුන් උපන් කල්හි පඤ්චවර්ගීයයන්ට ප්‍රමුඛ කොණ්ඩඤ්ඤ නම් ව ඉසිපතනයෙහි භාග්‍යවතුන් වහන්සේ දෙසූ දම්සක් සුතුර අවසානයෙහි පළමුවම අටළොස් කෙළක් බඹුන් සමඟ සෝවාන් පෙලෙහි පිහිටියේය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ මා විසින් දුකසේ ගෙන එන ලද ධර්මය පළමුවම දැන ගත්තේයයි මේ තෙම අඤ්ඤාකොණ්ඩඤ්ඤ නමැයි උන් වහන්සේ අමතා දස දහසක් සක්වළ දෙවිගණ මැද අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත භො කොණ්ඩඤේඤො යි වදාළ සේක. එවක් පටන් අයුෂ්මත් කොණ්ඩඤ්ඤ තෙරුන්ට අඤ්ඤාත කොණ්ඩඤ්ඤ කියාම නම් විය.

බාල සොහොයුරු චුල්ලකාළ කුසිනාරාවෙහි ප්‍රකට බමුණු මහසල් කුලයකින් පැවිදිව සුභද්ද පරිබ්‍රාජක නම් විය. පෙර කල හෙතෙම පසුව දන් දුන් බැවින් බුදුන් පිරිනිවෙන කල්හි උන්වහන්සේ දකිනු කැමැතිවිය. එහිදී සුභද්ද සම්‍යග් සම්බුද්ධ ශාස්තෘන් වහන්සේ දුන් කමටහන් ගෙන අසුනින් නැගී බුදුන් වැඳ උයන්හි පසෙක රුක් මුලෙක්හි ඉඳ කය කෙළින් තබා සිහි පෙරදැරි කොට තම සිරුරෙහිම තම පඤ්චස්ඛන්‍ධයෙහිම අනිච්චං දුක්ඛං අනත්තායි තිලකුණු නංවා උපක්ලේශයන්ගෙන් මිදුණු විදර්ශනා ඉපදවීය. උදයව්‍යය ඤාණය උපදනා කල්හි පහන් සිලක් මෙන් උපදී. අලුතින් අලුතින් ඉපිද පැරණි පැරණි උපන් දේ සිඳෙයි. එමෙන් නව නව ස්කන්‍ධ ඉපිද පැරණි පැරණි ස්කන්ධ බිදී යයි.

මෙසේ මේ ධර්මයෝ නූපන් ධර්‍මයෝ උපදිති. උපන් ධර්‍මයෝ නිරුද්ධ වෙති. අලුත් අලුත්ව සංස්කාර එළඹ සිටී. නිත්‍ය නොවන්නේය. හිර උදාවෙහි පිනිබිඳු මෙන් අස්ථිරය. දිය බුබුළු මෙන් අසාරය. දියෙහි ඇඳි ඉරි මෙන් තාවකාලිකය. අලාතචක්‍ර ගාන්ධර්වනගර මෙන් බොහෝ පරිවර්තනාකාරව වැටහෙයි. මෙසේ ප්‍රථම තරුණ විදර්ශනාඥානය අවබෝධ කරන ලද්දේ වෙයි. උදයබ්බයානුපස්සනා ඤාණයට අනතුරුව සියලු සංස්කාරයන්ගේ ඛය වය භේද සහිත නිරෝධාරම්මණ භංගානුපස්සනා ඤාණය උපදී. අනතුරුව සියලු සංස්කාරයන්ගේ උප්පාද ඨිති පවත්ති නිමිත්ත විසඳා භේදයම දකී. එවිට ජීවත් වනු කැමැති බියගුලු පුරුෂයෙකුට සිංහ ව්‍යාඝ්‍ර දිවි වලස් යක්‍ෂ රාක්‍ෂස සැඩබලු මතැත් ගොර සපුන් සොහොන් දිලියන අගුරුවළ ආදිය මෙන් බිය දැනේ. ඔහුට අතීත සංස්කාර නිරුද්ධය. වර්තමාන සංස්කාර නිරුද්ධ වේ. අනාගතයෙහි නිරුද්ධ වන්නේ යයි දක්නහුට භයතුපට්ඨාන ඤාණය උපන්නේ වෙයි. භයතුපට්ඨාන ඤාණය ඇසුරු කරන ඔහුට තුන් භවය දිලියෙන අගුරුවලින් පිරුණු තැනක් මෙන් වැටහෙයි. මෙයින් සංවේගයට පත්ව හාත්පසින් ආදීනවම දනී. එපරිදි තෙරුන් වහන්සේ හාත්පසින් රස රහිත ආස්වාද රහිත ආදීනවම දකිති.

ඒ ආදීනව ඤාණය උපන් කල්හි සියලු සංස්කාරයන්ගේ ආදීනව දකිමින් එහි කලකිරෙයි. උකටලී වෙයි. නොඇලෙයි. චිත්‍රකුටයෙහි ඇලුනු ස්වර්ණ හංසරාජයෙක් අසූචි වළක නොඇලී සත් මහවිල්හිම ඇලෙන්නාක් මෙන් මේ තෙරුන් වහන්සේ නිවන් නසන්නාවූ සංස්කාරයන්හි නොඇලෙති. සත් අනුපස්සනාවන්හිම ඇලෙති. එකෙණෙහිම නිබ්බිදාඤාණය උපදී. නිබ්බිදානුපස්සනාඤාණයට අනතුරුවම සියලු සංස්කාරගතයන්ගෙන් මිදෙනු කැමැතිවෙති. නික්මෙනු කැමැති වෙති. දැලකට අසු වූ මසෙකු මෙන් සර්පමුඛයට පත් මැඬියෙකු මෙන් කූඩුවක දැමූ වලිකුකුළකු මෙන් දැඩි බැම්මකට පත් මුවකු මෙන් අහිකුණ්ඨිකයෙකුට අසුවූ සර්පයෙකු මෙන් මහමඬෙහි එරුණු ඇතෙකු මෙන් ගුරුළකුට අසු වූ නාගයෙකු මෙන් රාහු මුඛයට පත් චන්ද්‍රයා මෙන් එයින් මිදෙනු කැමැති වෙති.

මෙසේ ඒ ආයුෂ්මතුන්හට ද සියලු සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැත්තම ඇතිවිය. එකෙණෙහි මුඤ්චිතුකාමතා ඤාණය උපදී. මුඤ්චිතුකාමතා ඤාණයට අනතුරුව පටිසංඛාරානුපස්සනා ඤාණය උපදී. නැවත ඒ සංස්කාරයන්හි පටිසංඛාරානුපස්සනා ඤාණයෙන් ත්‍රිලක්‍ෂණයට ආරෝපණය කරයි. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් සලකා සංස්කාර ගන්නේ වෙයි. හෙතෙම මෙසේ පටිසංඛාරානුපස්සනා ඤාණයෙන් සියලු සංස්කාර ශුන්‍යය හිස්සැයි බැහැර කරමින් මමය මාගේ යයි ගත යුත්තක් නැතැයි දැක බියත් කලකිරීමත් හැර සංස්කාරයන්හි උදාසීනව මධ්‍යස්ථ වූයේ උපේක්‍ෂක වූයේ වෙයි. බිරිඳ අත්හළ පුරුෂයෙකු මෙනි. පුරුෂයෙකුට ඉෂ්ට කාන්ත මනාප බිරියක් සිටී. ඔහු මොහොතක්වත් ඇගෙන් වෙන් වෙන්ට නොකැමැති වෙයි. ඔහු ඒ ස්ත්‍රිය වෙනත් පුරුෂයෙකු සමඟ සිටිනු හෝ හිඳිනු හෝ කථාකරනු හෝ සිනාසෙනු හෝ නිදනු හෝ දැක කිපී නොසතුටට පත් වේ. පසු කාලයෙහි ඒ ස්ත්‍රියගේ දොස් දැක මිදෙනු කැමැතිව ඇය නෙරපා හරියි. ඇය නොපිළිගනී. එතැන් පටන් කොයි කවුරු සමඟ හෝ කිසියම් යමක් හෝ කරනු දැක නොකිපෙයි. දැනගැනීමට දොම්නසට පත් නොවෙයි. දැකීමට උදාසීන වෙයි.

එපරිද්දෙන් ආයුෂ්මතුන් වහන්සේ සියලු සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැතිව පටිසංඛාරානුපස්සනාවෙන් සංස්කාරයන් සලකමින් මමය මාගේ යයි ගත යුත්තක් නොදැක භයත් නිර්වේදයත් පහකොට සියලු සංස්කාරයන් හි උදාසීනවෙයි. ඉන් අනතුරුව සංඛාරුපෙක්ඛා ඤාණය උපදී. මෙසේ මේ අට වැදෑරුම් නුවණ ඉපදීමෙන් අනතුරුව මනෝද්වාරාවජ්ජනය උපදී. මනෝද්වාරාවජ්ජනයට අනතුරුව පළමු ජවන් සිත උපදී. පළමු ජවන් සිතට අනතුරුව දෙවන ජවන් සිත උපදී. දෙවන ජවන් සිතට අනතුරුව තෙවන ජවන් සිත උපදී. තෙවන ජවන්සිත තෙවැදෑරුම් අනුලෝමයන් සමඟ ගොත්‍රභූ ඤාණය උපදී. කුමන අර්ථයකින් ගොත්‍රභූ නම් වෙයි ද? පුථුජ්ජන ගොත්‍රභූ යනු පුථජ්ජන භූමියයි. පුථුජ්ජන නාමය මැඩ අරිය ගොත්‍රභූ නම් ආර්‍ය්‍ය භූමියට ආර්‍ය්‍ය නාමයෙහි බැස අනුභව කරන හෙයින් ගොත්‍රභූ නම් වෙයි. ගොත්‍රභූඤාණයට අනතුරුව නිර්‍වාණාලම්බනය වෙයි. කවර අර්ථයකින් නිබ්බාන නම් වෙයි ද? වානයයි තණ්හාවට කියනු ලැබේ. සියලු කෙලෙස් දරථ සියලු අකුසල අභිසංස්කාර සමනය කරයි, සන්සිඳුවයි, නිවාලයි යනු නිබ්බානයයි. එය ආලම්බන වශයෙන් ත්‍රිවිධ ක්ලේශානුසය පළවා හැර දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූම සෝතාපත්ති මාර්‍ගඥානය උපදී. සෝතාපත්ති මාර්‍ග ඥානයෙන් ප්‍රහීණ වන ත්‍රිවිධ ක්ලෙශයෝ කවරහු ද? සක්කායදිට්ඨි, විචිකිච්ඡා සීලබ්බතපරාමාසයයි.

කවර අර්ථයකින් සක්කායදිට්ඨි නම් වෙයි ද? සත්කායයෙහි යම් දෘෂ්ටියක් වෙයි ද එය සක්කාය දිට්ඨියයි. ධර්මයන්ගේ යථා ස්වභාවය සොයමින් වෙහෙසෙයි නම් සැක කරයි නම් එය විචිකිච්ඡාවයි. බුදුන් දහම් සංඝයා කෙරෙහි ශික්‍ෂායෙහි පූර්වාන්තයෙහි අපරාන්තයෙහි පූර්වාන්තාපරාන්තයෙහි ඉධප්පච්චාතා පටිච්ච සමුප්පාදයෙහි සැක කරයි ද එය විචිකිච්ඡා නමි. මේ සසුනින් බැහැරව මහණ බමුණන්ගෙන් සීලයෙන් සුද්ධි ව්‍රතයෙන් සුද්ධිය ඇතැයි යන මෙබඳු දෘෂ්ටිය සීලබ්බතපරාමාසයයි. මේ තුන් ක්ලේශ නමි. අනුසය දෙක කුමක් ද? දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද වේ. පස් වැදෑරුම් සිත කුමක්ද? දිට්ඨිගතසම්ප්‍රයුක්ත සිත් සතරක් විචිකිච්ඡා සිතත් එක්ව පස් සිත දත යුතුය. මෙසේ ඒ සියල්ල සෝතාපත්ති ඤාණයෙන් නිරවශේෂයෙන් ප්‍රහීණ වෙයි. මෙහි සෝතාපත්ති යනු කුමන අර්ථයකින් සෝතාපත්ති වෙයි ද? ස්‍රෝතසට පැමිණියේයි සෝතාපන්න නමි. තවද ස්‍රෝතස පස් වැදෑරුම්ය. නදීසෝත, ගංගාසෝත, සමුද්දසෝත, භවසෝත, කණ්ණසෝත වශයෙනි. මේ ආදිය ස්‍රෝතස්ය. මේ හැර ධර්‍ම ස්‍රෝතසටත් ඤාණ ස්‍රෝතසටත් පැමිණියේනුයි සෝතාපන්න නමි. මාර්‍ග ඤාණයෙන් පැමිණිය යුතු ඵලය සෝතාපත්තියයි කියනු ලැබේ. මාර්‍ගය නම් කෙලෙස් නසා යේනුයි මාර්‍ග නමි. නිර්‍වාණය සොයන්නේනුයි මාර්ග නමි. සෝතාපත්ති මාර්‍ග ඤාණයට අනතුරුව රාග දෝෂ මෝහයන් තුනී වූ සකදාගාමි මාර්‍ගඥානය උපදී.

කවර අර්ථයකින් සකදාගාමි නම් වෙයි ද? එක් වරක්ම මෙලොවට පැමිණ දුක් කෙළවර කෙරේනු යි සකදාගාමි නම් වෙයි. සකදාගාමි මාර්ගඥානයට අනතුරුව ක්ලේශද්වය අනුසයද්වය චිත්තද්වය ක්‍ෂය කොට අනාගාමි මාර්ගඥානය උපදී. ක්ලේශද්වය කුමක් ද? කාමරාග කිලේසය ද ව්‍යාපාද කිලේසය ද වෙයි. අනුසයද්වය කුමක් ද? කාමරාගානුසය සහ පටිඝානුසයයි. දෙසිත කුමක් ද? දොම්නස් සහිත දෝසමුලික මෝහමුලික දෙසිතයි. ඒ සියල්ල අනාගාමි මඟ නැණින් අශේෂව ප්‍රහීණ වෙයි. අනාගාමි මගනැණට අනතුරුව කෙලෙස් පස ද අනුසය තුන ද සිත් පස ද නසා අර්හත්මාර්‍ගඥානය උපදී. කෙලෙස් පහ කුමක් ද? රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජායි. මේ පස් කෙලෙස් රහත් මඟ නුවණින් ප්‍රහීණ වෙයි. අනුසය තුන කුමක් ද? භවරාගානුසය මානානුසය අවිජ්ජානුසයයි. මේ තුන් අනුසය රහත් මඟ නුවණින් ප්‍රහීණ වෙයි. සිත් පහ කුමක් ද? දිට්ඨිගතවිප්පයුත්ත සිත් සතරත් උද්ධච්ච සිතත්ය. මේ සිත් අරහත් මඟනුවණින් ප්‍රහීණ වෙයි. අර්හත්මාර්‍ගඥානයට අනතුරුව ඵලය උපදී.

හෙතෙම රහත් ඵලයට පත්ව රහත්ව ක්ෂීණාස්‍රව විය. කවර අර්ථයෙන් අරහා යයි කියනු ලැබේ ද? සියලු කෙලෙසුන් නැසූ නිසා අරහත් වෙති. අනාදිමත් කල්පයන්හි පැවැති සංසාරචක්‍රය නැසූ හෙයින් රහත් නම් වෙති. සිව්පසයට යෝග්‍ය නිසා රහත් නම් වෙති. පව් කිරීමෙහි රහසක් නැති හෙයින් අරහත් නම් වෙති. කවර අර්ථයකින් ක්‍ෂීණාස්‍රව වෙද්ද? සතර ආස්‍රවයන් ක්‍ෂය කළ හෙයින් ඛීණාසව යයි කියනු ලැබේ. සතර ආස්‍රව කුමක් ද? කාමාසව භවාසව දිට්ඨාසව අවිජ්ජාසවයි. කවර අර්ථයකින් ආසව නම් වෙයි ද? බොහෝ කල් පැවැති හෙයින් ආසව නමි. බොහෝ කල් පැවැත්මේ අර්ථයෙන් ආසව නම් වන්නේ කෙසේ ද? යම්සේ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, අවිද්‍යාවෙහි පෙර කෙළවර නොපැනෙයි. මෙතනින් පෙර අවිද්‍යාව නොවීය. ඉක්බිති පසුව හටගත්තේය. මහණෙනි, භවතණ්හාවෙහි භවදෘෂ්ටියෙහි පෙර කෙළවර නොපැනෙයි. මෙතැනින් පෙර භවතණ්හාව භවදෘෂ්ටිය නොවීය. ඉන්පසු හටගත්තේයයි වදාළ හෙයිනි. මෙපමණකින් දිගුකල් පැවැත්මෙන් ආසව නම් වීයයි දත යුතුය. වැගිරවීම් වශයෙන් හෝ ආසව නම් වේ. ඇසින් රූප වැගිරේ. වගුරුවයි. ගලාබසී. පවතී. එසේ කනින් ශබ්ද, නාසයෙන් ගන්‍ධ, දිවෙන් රස, කයින් ස්පර්ශ, මනසින් ධර්‍ම වැගිරෙයි. ගලා බසී. පවතී. මෙසේ වැගිරවීම් අර්ථයෙන් ද ආස්‍රවයයි කියනු ලැබේ. මේ සතර ආස්‍රව නුවණින් ප්‍රහීණ කරන ලදි. මුල් සුන් කරන ලදි. කරටිය කැපූ තල් ගසක් මෙන් කරන ලදි. නොහටගන්නා බවට පත් කරන ලදි. මතු නූපදින ස්වභාවයට පත් කරන ලදි. එහෙයින් ක්‍ෂීණාස්‍රවයයි කියන ලදි. උන්වහන්සේ අර්හත් වෙති. ක්‍ෂීණාස්‍රව වූහ. දුක පිරිසිඳ දත්හ. සමුදය ප්‍රහීණ විය. නිරෝධය පසක් කරන ලදි. මඟ වඩන ලදි. කෘතකෘත්‍ය වෙති. කළ කිස නිමා විය. දෙවියන් සහිත ලෝකයාට පරම අග්‍ර දක්‍ෂිණෙය්‍ය වූහ.

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස යන මෙහි නමො යනු, නම වන්දන සත්කාර බහුමාන සාදර පූජා ඇදිලිබැඳීම් සාමීචිකථා වැඩීම් යනුයි. තස්ස යනු, උභය ලෝකාර්ථ සාධක දෙව්මිනිස් මුදුන්හි පිහිටි පරම ශාස්තෘෘදේවවූ ලෝකනාථයන් වහන්සේ දැක්වීමයි. භගවතො යනු, විපුල ජවන හාස තික්ඛණ ගම්භීර නිබ්බේධික යන ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්සේ නිදර්ශිතයි. නැතහොත් භගවතො යනු, සකල ක්ලේශ භග්ග භඤ්ජන විධ්වංසන විදාරණ විනාසන විමුඤ්චන කළ භාග්‍යවතුන් වහන්සේ නිදර්ශිතයි. අරහතො යනු, සංසාර චක්‍රය පවත්වන සකල ක්ලේශයන් මුලිනුපුටා ලූ භාග්‍යවතුන් වහන්සේ නිදර්ශිතයි. සම්මා යනු, මනා න්‍යායයෙන් කාරණයෙන් හේතුවෙන් ප්‍රත්‍යයෙන් ප්‍රතිපදාවෙන් හටගත් අග්‍රමාර්‍ගයෙහි පිහිටියාවූ නිරුපධීන් වහන්සේ නිදර්ශිතයි. බුද්ධස්ස යනු, උතුම් සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මධාරීන් වහන්සේ නිදර්ශිත යි.

මේ ව්‍යඤ්ජන පරිච්ඡේදය දැක්වීම යන අර්ථයි.

ජිනෝත්තමයන් වහන්සේට ද ධර්‍මයට හා සංඝයාට ද නමස්කාර කොට සම්බුද්ධ පරම්පරාගත සාතත්තකී නම් මහා නිදානය ප්‍රකාශ කරමි.

සම්පිණ්ඩිතනිදානකථාව නිමි

කැලණිය විශ්වවිද්‍යාලය බෞද්ධ හා පාළි අධ්‍යයන අංශාධිපති ශ්‍රී කල්‍යාණි රාජමහාවිහාරාධිපති

ආචාර්ය කොල්ලුපිටියේ මහින්‍ද සඞ්ඝරක්ඛිත ස්ථවිරයන් විසින්

හුදීජන පහන් සංවේගය පතා සම්පිණ්ඩිතමහානිදාන නම් පාළිග්‍රන්‍ථය අළලා හෙළබසින් ලියූ

පැරණිබුදුසිරිත නිමියේයි.

  1. පෙළෙහි එන මෙසේ දක්වා ඇති කොටස පද, පාඨ වශයෙන් බෙහෙවින් අවුල් වියවුල් ව ඇති නිසා සියල්ල සිංහලට නැගිය නොහැකි බැවින් ඒ තුළ තැනින් තැන සඳහන් බුදුවරයන් වහන්සේලා සහ උන්වහන්සේලාගේ බෝධි පිළිබඳ විස්තරය පමණක් ගළපා පරිවර්තනය කර ඇති බව සලකන්න.