මේ ධම්මපිණ්ඩය වනාහි අනුපූර්ව පූර්වාචාර්ය වචන පරම්පරානුසාරයෙන් බුද්ධධර්මයට පටහැණිවූවන් විෂයෙහි අහිත සිත් ඇති විචිත්‍ර කථික ජිනවර ධම්මෝදය නම් ධර්මභාණයන් විසින් අභිසංස්කරණයෙන් දක්වන ලද්දේ ම ය.
කාලත්‍රයවර්තී සකලඥෙය පාරගත අලාමක ප්‍රඥාරශ්මියෙන් බබළන අඥානාන්ධකාර නසන අනාවරණ ඥාන ඇති සම්බුද්ධ සූර්යයාට නමස්කාර කරමි.
සකල ක්ලේශෝඝයන් වියලවන ඒකායන මාර්ගය වූ නානා නය විචිත්‍ර, නිෂ්ප්‍රපඤ්ච, නිඃශ්වාස වාතයෙන් නෙසෙල්විය හැකි මහමෙර වත් ධර්මය ද එසේම නමස්කාර කරමි.
උභයාන්තය ඉක්මවූ අචල වූ දුක් තරණය කළ අනුසයපඞ්කය ඉක්මවූ අවංකගමන් ඇති අංගණයන්ගෙන් විමුක්ත සම්බුද්ධ පුත්‍ර සමූහයා වූ සංඝයා ද සිරසින් නමස්කාර කරමි.
මෙසේ රත්නත්‍රය නැමද අනතුරුව බුද්ධවංස පරිදීපක ධර්ම සම්පිණ්ඩය අටුවාවත් ගැටපදයත් සංකලනය කොට කියමි. ආදියෙහි පටන් කල්ප ප්‍රමාණය කිව යුතුය. මෙහිලා කප්ප ශබ්දය බොහෝ අර්ථවල යෙදෙයි. සංසාර ආයු තණ්හා දිට්ඨි පටිභාග විනය සමණ පඤ්ඤත්ති අභිසද්දහන ඉරියාපථ කප්පන උපකප්පන සමන්තකප්ප ආදි තෙලෙසක දක්නට ලැබේ. කීව දීඝො නු ඛො භන්තෙ කප්පො යන මෙහි සංසාර කලප්ලයයි. තිට්ඨතු භනෙත භගවා කප්පං යන මෙහි ආයුකල්පයයි. තණ්හාවම තණ්හා කල්පයයි. දිට්ඨියම දිට්ඨි කල්පයයි. සත්‍ථු කප්පෙන වත භො සාවකෙහි සද්ධිං මන්තයමානො න ජානිම්හ ආයස්මා සාරිපුත්තො යන මෙහි සමානතාවෙහිය. කප්පෙනත්‍ථො හොති කප්පකතො සො ජිනො, මෙහි විනය කල්පයෙහිය. අනුජානාමි භික්ඛවෙ පඤ්චහි සමණ කප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං මෙහි ශ්‍රමණ කල්පයෙහිය. නිග්‍රොධකප්පො ඉති තස්ස නාමං මෙහි ප්‍රඥප්තියෙහිය. ඔකප්පති යමෙතං භොතො ගෝතමස්ස යථා අරහතො සම්මා සම්බුද්ධස්ස මෙහි අභිසද්දහනයෙහිය. සෙය්‍යථාපි භික්ඛවෙ යෙ කෙචි පාණා චත්තාරො ඉරියාපථ කප්පෙ කප්පෙන්ති මෙහි ඉරියවුවෙහිය. කප්පති ගාමන්තර කප්පො මෙහි කප්පනයෙහිය. පේතානං උපකප්පති මෙහි උපකල්පනයෙහි ය. කේවලකප්පං ජේතවනං ඕභාසෙත්‍වා මෙහි සමන්ත කල්පයයි.
මෙහි ලා සංසාර කල්පය දත යුතුයි. ඒ කල්පය ශූන්‍යකල්පය, අශූන්‍ය කල්පය කියා දෙයාකාරය. ශූන්‍ය කල්පයෙහි බුදු පසේබුදු සක්විත්තෝ නූපදිති. එහෙයින් පින්වත් ගුණවත් පුද්ගලයන්ගෙන් හිස් නිසා ශූන්‍යකල්පයයි කියැවේ. අශූන්‍යකල්පය පස්වැදෑරුම්ය. සාරකප්ප, මණ්ඩකප්ප, සාරමණ්ඩකප්ප, වරකප්ප, භද්දකප්ප වශයෙනි. ගුණයෙන් හිස් ලොව, සාර රහිත ලොව ගුණසාර උපදවන සම්මාසම්බුදුවරයන්ගේ පහළවීමෙන් සාරකප්පයයි කියැවේ. උපන් ගුණ ඇති ලොව දෙවන බුදු කෙනෙකුන් පහළවන කල මණ්ඩකප්ප යයි කියැවේ. තුන් බුදු කෙනෙකුන් උපදනා කල්පය සාරමණ්ඩ නම් වෙයි. යම් කපක සිවුබුදුකෙනක් උපදිත් ද පළමුවැන්නා දෙවැන්නාට ද දෙවන්නා තුන්වැන්නාට ද තුන්වැන්නා සතර වැන්නාට ද විවරණ දෙයි. එහි අස්වැසුම් ලත් මිනිස්සු තම ප්‍රණිධිවශයෙන් කියති. එය පළමුකපට වඩා විශිෂ්ට හෙයින් වරකප්ප නම් වෙයි. යම් කපක පස් බුදු කෙනෙක් උපදිත් ද එහෙයින් භද්දකප්ප නම් වෙයි. මේ භද්‍රකල්පය නුග අත්තික්කා මල් මෙන් අතිදුර්ලභය. යම්දාක පටන් අප බුදුරජාණන් වහන්සේ විසින් අභිනීහාර කරන ලද ද දීපංකර බුදුන් පටන් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය තුළ එක් කපක හෝ පස්බුදු කෙනෙක් නූපන්හ.
තණ්හඞ්කර, මේධඞ්කර, සරණඞ්කර, දීපඞ්කර යන සිවුබුදුවරු එක් වරකල්පයක උපන්හ. ඉන් පසු එක් අසංඛ්‍යයක් බුද්ධශූන්‍ය විය. අසංඛ්‍ය කල්පය අවසානයෙහි එක් සාර කල්පයක කොණ්ඩඤ්ඤ නම් බුදුහු උපන්හ. ඉන් පසුව ද අසංඛ්‍යයක් බුද්ධශූන්‍ය විය. ඒ අවසන වරකල්පයක මංගල, සුමන, රේවත, සෝභිත යන සතර බුදුවරු උපන්හ. එයින් පසු අසංඛ්‍යයක් බුද්ධශූන්‍ය විය. එකාසංඛ්‍ය කප්ලක්‍ෂයකින් මත්තෙහි සාරමණ්ඩ කල්පයක අනෝමදස්සි, පදුම, නාරද නම් තුන් බුදු කෙනෙක් උපන්හ.
නැවත කප් සත්සියයක් බුද්ධ ශූන්‍ය විය. ඉක්බිති සිව් අනූකපකට මතු එක් සාර කල්පයක සිද්ධත්ථ නම් බුදුහු උපන්හ. උන්වහන්සේගේ පසුකාලයේ කල්පයක් බුද්ධ ශූන්‍ය විය. මෙයින් දෙයානුකපකට මතු මණ්ඩ කල්පයක තිස්ස, ඵුස්ස නම් බුදුවරු දෙනමක් උපන්හ. උන්වහන්සේලාගෙන් පසු මෙයින් ඒකානූ කපකින් මත්තෙහි එක් සාර කල්පයක විපස්සී බුදුහු උපන්හ. උන්වහන්සේගෙන් පසු එකුන් සැට කපක් බුද්ධ ශූන්‍ය විය. එයින් එක් තිස්වන කප්හි එක් මණ්ඩ කල්පයක සිඛී, වෙස්සභූ බුදුවරු උපන්හ. ඒ කප ගෙවී එක්තිස් කපක් ලොව බුදුවරු නූපන්හ. මේ භද්‍ර කල්පයෙහි කකුසඳ, කෝනාගමන, කස්සප, අප භාග්‍යවත් ගෞතම යන බුදුවරු ද අනාගතයෙහි ආර්ය මෛත්‍රෙය බුදුහු ද උපදිති. මෙසේ යම් කල්පයක් පස් බුදු කෙනෙකුන්ගෙන් යුක්ත වූයේ ද ඒ සුන්දර කල්පය භද්‍ර කල්පයයි කියවේ. මෙසේ ශූන්‍ය අශූන්‍ය වශයෙන් කල්පය දෙවැදෑරුම් වේ.
කල්ප පර්යාය වශයෙන් මෙහි නන් වැදෑරුම් අන්තර කල්ප ඇත. සංවට්ට කප්ප, සංවට්ටට්ඨායි කප්ප, විවට්ට කප්ප, විවට්ටට්ඨායි කප්ප, මහාකප්ප යනුවෙනි. එහි අන්තර කල්පය සත්ථන්තර කප්ප, දුබ්භික්ඛන්තර කප්ප, රෝගන්තර කප්පයයි තෙවැදෑරුම්ය. ප්‍රථම කල්පික මිනිස්සු අසංඛ්‍යායුෂ්ක වූහ. පසුව ලෝභාදි අධර්මයෙන් මැඩී අධර්‍මයෙහි හැසිර ආයුසයෙන් පිරිහී ගියහ. අසංඛ්‍යායුෂ්ක මිනිසුන් පිරිහී පිළිවෙළින් දසවස් ආයු වූ කල්හි ඔවුන්ගේ ද්වේෂ අධිකත්‍වයෙන් ඔවුනොවුන් කෙරෙහි තියුණු වෛර හටගත්තේය. තියුණු ක්‍රෝධ තියුණු මනෝපදෝස තියුණු වධකසින් ඇති විය. මවුපියන්ට ද දරුවන් කෙරෙහි තියුණු වෛර ඇතිවිය. දරුවන්ට මවුපියන් කෙරෙහි ද සහෝදර සහෝදරියන්ට සහෝදර සහෝදරියන් කෙරෙහි ද තියුණු වෛර ඇති විය. එකල ඔවුහු ඔවුනොවුන් කෙරෙහි මෘග සංඥා ඇති කළහ. ඔවුන්ගේ අත්වල තණ සැත් පහළ විය. යටත් පිරිසෙයින් තණ පතක් හෝ අතින් අතගෑ කල්හි ආයුධයක්ම විය. ඔවුහු තණ සැතින් මේ මෘගයෙකි යන සංඥාවෙන් ඔවුනොවුන් දිවි නැසූහ. එකල ඔවුන්ට මෙසේ සිතිණ. අපි එක පුරුෂයෙකු වත් නොමරමු. කිසිවෙක් අප නොමරත්වා. මේ ලෝක විනාශය උදාව ඇත්තේය. එක තැන සිටීමෙන් දිවි බේරාගත නොහැකිය. අපි තණ ගහනයකට හෝ නදී දුර්ගයකට හෝ පර්වත විෂමයකට හෝ ගොස් වනමුල් ඵල කරවමු කියායි.
ඔවුහු ඒ ඒ තැන වනගහනාදියට වැදී සතියක් වන මුල් ඵලයෙන් යැපුණහ. සතිය ඇවෑමෙන් වනගහනාදියෙන් නික්ම උනුන් වැළඳගෙන භවත්නි, සත්ත්වයෝ ජීවත් වෙතියි සතුටු වෙමින් විවාද නොකරමින් මෙසේ කීහ. මේ වනාහි අකුසල දහම් සමාදන් වීමෙන් මෙවැනි වෛරයක් ඤාති විනාශයක් සිදුවිය. අපි ප්‍රාණඝාතය දුරු කරමු නම් මැනවි. ඔවුහු මේ කුසල ධර්මය සමාදන්ව ජීවත් වන්නාහු ආයුෂයෙන් වැඩුණහ. ආයුෂයෙන් වර්ණයෙන් වැඩෙමින් දසවස් ආයු ඇත්තවුන්ට විසිවස් ආයු ඇති දරුවන් ඇති විය. ඔවුහු මේ කුශලධර්‍මය සමාදන් වීමේ විපාකය දකිමින් වැඩි වැඩිය අදත්තාදානයෙන් වැළකීම ආදි කුසල් දහම් දියුණු කළහ. ඒ කුශලධර්‍ම සමාදාන හේතුවෙන් විසිවස් ආයු ඇති මිනිසුන්ට සතලිස් ආයු ඇති දූ පුත්තු ඇති වූහ. මේ ක්‍රමයෙන් ආයු වැඩී අවුරුදු ලක්‍ෂය අසංඛ්‍යය දක්වා වැඩී ගියේය. මේ සත්ථන්තර කල්පයයි.
ද්වේෂ උත්සන්න ප්‍රජාවෙහි උපන් සත්ථන්තර කල්පයෙහි නොනැසී යම් අය වෙත් නම් ඔවුහු බෙහෙවින් නිරයෙහි උපදිති. කුමක් හෙයින් ද උනුන් කෙරෙහි බලවත් ආඝාත ඇති හෙයිනි. මෘග සංඥාවෙන් ප්‍රාණඝාතයෙන් වෙන්වූ යම් සත්ත්වයෝ ඇත් ද ඔවුහු ඒ අතර නොවූහ. යම් කලෙක ලෝභ උත්සන්න ප්‍රජාවෙහි සත් මසක් දුබ්භික්ඛන්තර කල්පය වෙයි ද එහි එම දුර්භික්ෂාන්තර කල්පයෙන් නොනැසුණාහු බොහෝ සෙයින් ප්‍රේත විෂයෙහි උපදිති. අහරපැන් දෙන සත්ත්වයෝ එහි නොවූහ. යම් විටක මෝහ උත්සන්න අට මස්හි රෝගාන්තර කල්පය වී ද යමෙක් ඒ රෝගාන්තර කල්පයෙහි නොනැසුණාහු ද බොහෝ සෙයින් ඔවුහු ස්වර්ගයෙහි උපදිති. කුමක් හෙයින් ද ඔවුන්ට අහෝ ඇත්තෙන්ම සත්ත්වයන්ට මෙබඳු රෝගයක් නොවෙනවානම් කියා මෙත් සිත උපදී. ගිලන් පස බෙහෙත් දායකයෝ එහි නොවූහ. මෙසේ අන්තරකල්පය තෙවැදෑරුම්ය. ඒ මේ අන්තර කල්පය සංවට්ට කල්පය නොපැමිණීම, අතරෙහිම ලෝක විනාශය වෙයි. මෙය අන්තර කල්පයයි.
මහණෙනි, මේ අසංඛ්‍ය කල්ප සතරෙකි. සතර කුමක් ද? සංවට්ටය, සංවට්ටටිඨායීය, විවට්ටය, විවට්ටටිඨායීය යනුයි. මහණෙනි, මේ අසංඛ්‍ය කල්ප සතර එක් මහාකපකි. එහි ඒ සංවට්ට කල්පය ආපොසංවට්ට, තේජොසංවට්ට, වායෝ සංවට්ටයයි තුනකි. සංවට්ට සීමා නම් ආහස්සර සුභකිණ්ණ වේහප්ඵලයි. යම් කල්පයක් තේජසින් වැනසෙයි ද එවිට ආභස්සරයෙහි පටන් යට ගින්නෙන් දැවේ. යම් කලෙක ජලයෙන් වැනසෙයි ද සුභකිණ්ණයෙන් යට ජලයෙන් වැනසෙයි. යම් කලෙක වායුවෙන් වැනසෙයි ද වේහප්ඵලයෙන් යට වාතයෙන් වැනසෙයි. විස්තර වශයෙන් වනාහි කිසිදාක එක් බුද්ධ ක්‍ෂේත්‍රයක් වැනසෙයි. බුද්ධ ක්‍ෂේත්‍රය ජාති ක්‍ෂේත්‍ර, ආණා ක්‍ෂේත්‍ර, විෂය ක්‍ෂේත්‍ර කියා තෙවදෑරුම්ය. ජාති ක්‍ෂේත්‍රය දසදහසක් සක්වළ කෙළවර කොට ඇත්තේය. තථාගතයන්ගේ පිළිසිඳගැනීම් ආදියෙහි කම්පාවෙයි. ආණා ක්‍ෂේත්‍රය කෙළ ලක්‍ෂයක් සක්වළ කෙළවර කොට ඇත්තේය. ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, මෝරපිරිත යන මේ පිරිත්හි ආනුභාවය එතෙක් තැන් පවත්නේය. විෂය ක්‍ෂේත්‍රය අනන්ත අප්‍රමාණ වේ. තථාගතයන් වහන්සේ යම්තාක් කැමති නම් ඒ තාක් ඒ සියල්ල දැන ගනිති. දතයුත්ත යම්තාක් ද ඒතාක් ඤාණය වේ. ඤාණය යම්තාක් ද දතයුත්ත ඒතාක් වෙයි. දත යුත්ත අවසන් කොට ඤාණය පවතී. ඤාණය අවසන් කොට දතයුත්ත පවතී. දතයුත්ත ඉක්මවා ඤාණ මාර්‍ගයක් නැත. ඤාණය ඉක්මවා දතයුතු දෙයක් නැත. මෙසේ විෂය ක්‍ෂේත්‍රය අනන්ත අප්‍රමාණ වේ.
මෙසේ මේ තුන් බුදුකෙත්හි එකම ආඥා ක්‍ෂේත්‍රය වැනසේ. පිහිටද්දීත් එකක්වම පිහිටයි. එහිම විනාශයත් පිහිටීමත් වේ. යම් කලෙක්හි කල්පය ගින්නෙන් නැසෙයි ද පළමුවෙන්ම කල්ප විනාශ මහාමේඝය නැගී කෙළලක්‍ෂයක් සක්වළ එක් මහවැස්සක් වසී. තුටු පහටු මිනිස්සු සියලු බීජ ගෙන වපුරති. ශස්‍ය හරකුන් කන පමණට වැඩුණු කල්හි ගද්‍රහ හඬ නග නගා එක් බිඳකුදු නොවසී. යම් දවසක නතර වූයේ ද වර්ෂාව නතර වූයේමය. මේ සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේමය. “මහණෙනි, ඒ කාලය අවුරුදු සිය ගණන් අවුරුදු දහස් ගණන් අවුරුදු ලක්‍ෂ ගණන් වැස්ස නොවසී.” එකල්හි වැස්සෙන් ජීවත්වන සත්ත්වයෝ මැරී බඹලොව උපදිති. මල් ඵලයෙන් ජිවත් වන්නෝ ද මැරි බඹලොව උපදිති. මෙසේ දිගු කල් ගෙවීමෙන් ඒ ඒ තැන ජලය සිඳෙයි. එවිට ක්‍රමයෙන් මස් කැසුබෝ මැරී බඹලොව උපදිති. නිරය සත්ත්වයෝ හත්වන හිරු උදාවීමෙන් වැනසෙති. එකල්හි ධ්‍යානයෙන් වෙන් වූවෝ නැත. සියල්ලෝ බඹලොවම උපදිති. මොවුන් අතුරෙන් කිසිවෙක් දුර්භික්‍ෂයෙන් පීඩිතව දැහැන් ලැබීමට අභව්‍ය වෙති. ඔවුහු කෙසේ එහි උපදිත් ද? දෙව් ලොවදී ලැබූ ධ්‍යාන වශයෙනි.
එකල්හි අවුරුදු ලක්‍ෂයක් ඇවෑමෙන් කල්ප විනාශය වෙතැයි ලෝකව්‍යූහ නම් කාමාචාර දෙවියෝ හිස් මුදා කෙස් විසුරුවා හඬන මුහුණින් අතින් කදුළු පිස පිස රතු රෙදි ඇඳ බොහෝ රූපධාරීව මිනිස් පියසෙහි ඇවිද ඇවිද මෙසේ කියති. “නිදුකාණෙනි, මෙයින් වර්‍ෂ ලක්‍ෂයක් ගිය පසු කල්ප විනාශය වෙයි. මේ ලෝකය වැනසෙයි. මහමුහුදත් සිඳෙයි. මේ මහපොළොව සිනෙරු පර්වතය දැවෙයි. වැනසෙයි. බඹලොව දක්වා විනාශ වෙයි. නිදුකාණෙනි, මෙත් වඩව්. කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව වඩව්. මවට උවටැන් කරව්. පියාට උවැටන් කරව්. කුලදෙටුවන් පුදන්නෝ වව්, කියාය. ඔවුන්ගේ බස් අසා මනුෂ්‍යයෝ ද දෙවියෝ ද බෙහෙවින් මහාසංවේගයට පත්ව සෘජු මෘදු සිත් ඇතිව මෛත්‍රී ආදි පින් කොට දෙව්ලොව උපදිති. එහි දිව්‍යමය ක්‍ෂුධාභෝජනය අනුභව කොට වසන්නාහු කිසුණු පිරියම් කොට ධ්‍යාන ලබති. එයින් වෙනස් අය අපරපරියාය වේදනීය කර්‍ම රහිතව සසර සැරිසරන සත්ත්වයෙක් නම් නැත. ඔවුහු ද එහි එහිම ධ්‍යාන ලබති. මෙසේ දෙව්ලොව ලැබූ ධ්‍යාන හේතුවෙන් සියල්ලෝ බඹලොව උපදිති. වර්ෂාව නැතිව දිගුකල් ගෙවීමෙන් දෙවෙනි හිර උදාවෙයි. උදාවෙද්දී රාත්‍රි සීමාවක් නොපෙනේ. එක හිරක් උදාවෙයි. එක හිරක් බැසයයි. අවිච්ඡින්න සූර්යතාපයම ලොව පවතී.
යම් සේ වනාහි ප්‍රකෘති සූර්‍ය්‍යයා කෙරෙහි සූර්‍ය්‍ය දිව්‍යපුත්‍රයා වෙයි ද කල්ප විනාශක සූර්‍ය්‍යයා එසේ නැත. එහි ලා ප්‍රකෘති සූර්‍ය්‍යයා පවතින විට අහසෙහි වලාකුළු ද අළුරොටු ද ගැවසෙයි. කල්ප විනාශක සූර්‍ය්‍යයා පවතිද්දී දුම් වලා පහව කැඩපතක් මෙන් අහස නිර්මල වෙයි. පඤ්ච මහානදිය හැර සෙසු කුඩාගංගාවල ජලය සිඳෙයි. එයින් දිගු කලක් ගියපසු තෙවන හිරු උදාවෙයි. එය උදාවීමෙන් පස්මහ ගංගාව ද සිදෙයි. එයිනුත් දිගු කලක් ඇවෑමෙන් සිවුවන හිරු ද පායයි. එය පහළ වීමෙන් හිමවත මහාගංගාවල ප්‍රභවයන් වූ සිංහප්‍රපාතාදිය ද මන්දාකිණි කර්ණමුණ්ඩ, රථකාර, අනෝතත්ත, ඡද්දන්ත, කුණාල යන සත්මහාවිල් ද වියලෙයි. එයින් දිගු කලක් ඇවෑමෙන් පස්වන හිරු උදාවෙයි. එය උදාවූ කල්හි ක්‍රමයෙන් මහමුහුදෙහි ඇඟිලි පුරුකක් තෙමෙන පමණ වත් වතුරක් ඉතිරි නොවේ. එයින් දිගු කල් ඇවෑමෙන් සවන හිරු උදාවෙයි. එය උදාවීමෙන් මුළු සක්වළ එකම දුම්ගොඩක් වෙයි. දුමෙන් තෙතමනය සිඳී කෝටි ලක්‍ෂයක් සක්වළම මේ සක්වළ මෙන් වේ.
එයින් දිගු කලක් ගිය පසු සත්වන හිරු උදාවෙයි. එය උදාවීමෙන් මුළු සක්වළ එකම ගිනිජාලාවක් බවට පත් වේ. කෙළ ලක්‍ෂයක් සක්වළ යොදුන් සිය ගණන් වූ සිනේරු කූට දැවී අහසෙහිම අතුරුදහන් වෙයි. ඒ ගිනි ජාලාව උඩ නැගී චාතුර්මහාරාජිකය ගනී. එහි රන්විමන් රිදීවිමන් මිණිවිමන් දවා තව්තිසාව ගනී. මේ ක්‍රමයෙන් ප්‍රථමධ්‍යාන භූමිය දක්වා ගනී. එහි තුන් බඹලොව දවා ආභස්සරයෙහි හැපී සිටී. අනුමාත්‍රවූ හෝ සංස්කාරයක් ඇති තෙක් නොනිවේ. සියලු සංස්කාර ක්‍ෂය වීමෙන් ගිතෙලින් දැල්වූ පහන් සිළුවක් මෙන් හළුවත් ඉතිරි නොකොට නිවෙයි. යට අහසත් උඩ අහසත් එකක් වෙයි. මහා අන්‍ධකාරයකි. දිගු කල් ඇවෑමෙන් මහා මේඝයක් නැගී පළමුව සියුම් වැස්සක් වසී. පියුම්දඬු, සැරයටි, මොහොල්, තල්කඳන් සා ධාරා ඇතිව වසිමින් අවිහ බඹලොව දක්වා කෙළ ලක්‍ෂයක් සක්වළ අභ්‍යන්තරය පුරවා අතුරුදහන් වෙයි. ඒ ජලය හරහටත් යටටත් මහා වාතය නැගී ඝන කරයි. පියුම් පතක් මත දියබින්දු මෙන් මහත් ජල රාශිය ඝන කරයි. විවර සෑදීමෙන් ඒ ඒ තැන් විවර වේ. එයම වාතයෙන් කැටි කොට ඝන කොට ක්‍ෂය කිරීමෙන් යටට බසී. එසේ පහත් වූ ජලයෙහි බඹලොව පිහිටි තැන බඹලොව ද කාමාවචර දිව්‍ය ලෝක ද පහළවෙයි. පළමු පෘථුවි ස්ථානය පහත් වූ පසු බලවත් වාතය ඉපිද දිය කඳ රඳවයි. එය කට වැසූ ඩබරාවක දිය මෙන් ක්‍රමයෙන් පහත බසී. මෙසේ සිඳීයන කල්හි මිහිරි දිය සිඳී මත්තෙහි රසපොළොව හට ගනී. එය වර්‍ණ සම්පන්න ද වෙයි. ගන්‍ධරස සම්පන්න ද වෙයි. පැන් නොමුසු කිරිබතක මතු පිට මෙනි.
එකල්හි ආභස්සර බඹලොව පළමුව උපන් සත්ත්වයෝ ආයු ගෙවීමෙන් පෙර පින් ගෙවීමෙන් එයින් මැරි මෙහි උපදිති. ඔවුහු ඕපපාතික, මනෝමය ප්‍රීතිය අනුභව කරන, තමන් බබළන, අහස්හි හැසිරෙන, සුභස්ථායි වූවාහු බොහෝ දිගු කල් සිටිති. එකල්හි සඳහිරු නොදිස්වෙයි. රෑදාවල් නොපෙනෙයි. මස් අඩමස් නොපෙනෙයි. සෘතු සංවත්සර නොපෙනෙයි. ස්ත්‍රී පුරුෂයන් නොපෙනෙයි. දිගු කලක් ගෙවීමෙන් එක්තරා සත්ත්වයෙක් ලොල් ඇතිව පින්වත්නි, මේ කුමක් වන්නේ ද, වර්ණවත් ප්‍රියමනාප සුගන්‍ධවත් රස ඇති මෙය කෙබඳු වන්නේද කියා හටගත් ලෝභයෙන් රසපඨවිය ඇඟිල්ලෙන් ගෙන දිවග තැබීය. දිවග තැබූ කෙණෙහිම සත් දහසක් රසනහරවල පැතිර මනාපව දෘෂ්ටි තණ්හාව ද ඔහුට ඇතිවිය. ඔහුගේ දෘෂ්ටානුගතියට පත් වෙනත් සත්ත්වයෝ ද රස පඨවිය අනුභව කොට තණ්හාවෙන් මැඩී කඩා කෑමට උපක්‍රම කරති. එවිට ඒ සත්ත්වයන්ගේ ස්වයං ප්‍රභාව අතුරුදහන් විය. ස්වයං ප්‍රභාව අතුරුදහන් වූ කල නිත්‍ය අන්ධකාරය විය. ඔවුහු අඳුර දැක බියවෙති. එකල ඔවුන්ගේ බිය නසා සුරස බව උපදවන පිරිපුන් පනස් යොදුන් ඇති හිරුමඬල පහළ වෙයි. ඔවුහු එය දැක ආලෝකය ලැබූයෙමුයි තුටු පහටුව බියෙන් සිටි අපගේ බිය නසා සූරභාවය උපදවමින් නැගී ආ නිසා සූරයෙක් වේවායි සුර්ය කියාම ඔහුට නම් කරති. සූර්‍ය්‍යයා දවස ආලෝකවත් කොට අස්තංගත විය. එවිට එම සත්ත්වයෝ අපි ආලෝකයක් ලැබුවෙමු. එයත් අපට දක්නට නැතැයි නැවත බිය වෙති. වෙනත් ආලෝකයක් අපට ලැබුණොත් මැනවයි සිතූහ.
එවිට ඔවුන්ගේ සිත් දන්නා එකුන් පනස් යොදුන් සඳමඬල පහළ වෙයි. ඔවුහු ඒ එලිය දැක වැඩි වැඩියෙන් සතුටු සතුටුව මෙතෙම අපගේ කැමැත්ත දැනගෙන මෙන් පැන නැගි බැවින් චන්‍ද්‍රයයි කියා නම් කරති. හඳ පහළ වූ කල නැකැත් තරු පහළ වෙයි. සඳ හිරු පහළ වූ දිනම මහමෙර සක්වළ හිමවත් පර්වත පහළ වෙයි. ඒවා පෙරපසු නොව මැදින් පසළොස්වක් දිනයෙහිම පහළ වෙයි. කෙසේ පහළ වන්නේ ද? යම් සේ තණබත් ඉදෙන කල එක්විටම බුබුළු උපදී. එක් එක් පසින් ථූප ථූප වෙයි. සමහරක් මිටි මිටි වෙයි. සමහරක් සමසම වෙයි. එමෙන් ථූප ථූප තැන්වල පර්වත වේ. පහත් පහත් තැන්වල සාගර වෙයි. සමසම තැන්වල දිවයින් වෙයි. එක් එක් සක්වළ මහාද්වීප සතරක් වෙයි. කුඩා දිවයින් දහසක් පිරිවර වෙයි. ඒ එක් එක් සක්වළ දිගු පුළුලින් දොළොස් යොදුන් දහසක් වෙයි. වටින් වටින් සාරසිය පනස් යොදුන් වෙයි.
සතිස් ලක්‍ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් සියලු පරිමණ්ඩල ඇත්තේය. සතර නහුත දෙලක්‍ෂයක් මේ මහාපෘථුවිය මෙතෙක් ගණය.
එය දරා සිටි ජලය
අට නහුත සාරලක්‍ෂයක් වූ ඝන ඇති ජලය වාතයෙහි පිහිටියේය.
එය දරා සිටි වාතය
නවලක්‍ෂ සැට දහසක් යොදුන් අහසට නැගී සිටි මාරුතය වේ. මෙය ලෝකයෙහි පිහිටීමයි.
මෙසේ පිහිටි,
අසූසාර දහසක් යොදුන් මුහුදෙහි ගැලුණු සිනෙරු පර්වත රාජයා එකෙණෙහිම උස්ව නැග්ගේය.
සිනේරු පර්වතයෙහි නැගෙන හිර පැත්ත රිදීය. දකුණු පස ඉදුනිල්මිණිමුවාය. බටහිර පළිඟුමයය. උතුරු පස ස්වර්ණමය වෙයි.
මෙසේ උපාර්ධයකට සමානව ක්‍රමයෙන් දිව්‍යමය නානා රත්නයන්ගෙන් විසිතුරු සාගරයෙහි ගැලී ඇති යුගන්‍ධර, ඊසධර, කරවීක, සුදස්සන, නේමින්ධර, විනතක, අස්සකණ්ණ යන මේ සත්කුළුපව් වරම් රජවරුන්ට ආවාසව දෙවියන් යකුන් ඇසුරු කරන ලදුව මහමෙර වටා පිහිටියේය. හිමවත්හි පංචපර්වත යොදුන් සියයක් උසය. දිගින් පළලින් යොදුන් තුන් දහසකි. අසූ සාර දහසක් කූටවලින් යුක්තය.
මේ දඹදිව ප්‍රකට කරන්නා වූ දඹරුක පනස් යොදුන් වටය. කඳ පනස් යොදුන් උසය. හාත්පසින් පනස් යොදුන් ශාඛා ඇත්තේය. මෙසේ සියල්ල යොදුන් ගණනින් වූ දඹරුක වේ. සත් යොදුන් පුළුල්ය. එකෙණෙහි උස්ව නැගුණු දඹරුකෙහි අනුහසින් දඹදිව ප්‍රකට වෙයි.
මේ සක්වළෙහි මහාද්වීප සතරකි. ජම්බුදීප, අපරගෝයානදීප, උත්තරකුරුදීප, පුබ්බවිදේහදීප යනුවෙනි. මේ දඹරුක මෙන් උතුරුකුරු දිවයිනෙහි කල්ප වෘක්‍ෂයයි. අපරගෝයානයෙහි කොළොම් රුකය. පූර්‍වවිදේහයෙහි සිරීස රුකය. එහි දඹදිව දස දහස් යොදුන් වෙයි. අපරගෝයානය සත්දහස් යොදුන් වෙයි. උතුරුකුරු දිවයින අටදහස් යොදුන් වෙයි. පූර්‍වවිදේහය සත් දහස් යොදුන් වෙයි. දඹදිව කරත්ත අඹරාවක සටහන් ඇත්තේය. අපරගෝයානය අඹ, අඩසඳ සටහන වේ. උතුරුකුරු දිවයින චතුරශ්‍රය. පූර්වවිදේහය වෘත්තාකාරය. ඒවා අතර මහාසමුද්‍රයයි. ඒ සතර මහාදිවයිනට පිරිවර වශයෙන් එක එකට පන්සියය වශයෙන් දෙදහසක් පිරිවර දිවයින් වේ. මේ දඹදිව දසදහසක් යොදුන් ප්‍රමාණය. එහි සාරදහසක් යොදුන් පමණ ප්‍රදේශය ජලයෙන් පැතිර පවතී. දහසක හිමවත පිහිටියේය. හිමාලය පර්වතය හාත්පසින් ගලා බස්නා පඤ්ච මහාගංගාවෙන් විසිතුරුය. හිමාලයෙහි මහවිල් සතෙක් වෙයි. ඒවා කුමක්ද? අනෝතත්ත, කර්ණමුණ්ඩ, රථකාර, ඡද්දන්ත, කුණාල, මන්දාකිණි, සීහප්පපාත යනුයි. මේ සත් මහවිල් දිගු පුළුලින්, ගැඹුරෙන් පනස් යොදුන් වේ. පරිමණ්ඩලයෙන් එකසිය පනස් යොදුන් වේ.
එහි අනෝතත්ත විල පඤ්ච පර්වතයෙන් වටවිය. සුදස්සන කූට, චිත්තකූට, කාලකූට, ගන්‍ධමාදනකූට, කේලාසකූට යන පස් පර්වතයෙන් වට විය. සුදර්ශන කූටය ස්වර්ණමයය. දෙසිය යොදුනක් උසය. ඇතුළත වක් කාක මුඛ සටහන් ඇත්තේය. එම විල පිරිවරා සිටි චිත්‍රකූටය සව්රත්නමයය. කාලකූටය අඤ්ජනමය වෙයි. ගන්‍ධමාදනකූටය මසාරගල්ලමය වෙයි. සියලු සුවඳින් යුක්තය. සියලු නානාප්‍රකාර සුවඳින් ගැවසී ගත්තේය. මෙසේ සියලු පර්වත සුදස්සනකූටයට සමානව උස්ව ඒ විල වසාගෙන සිටී. හිර සඳ දකුණින් හෝ උතුරින් ගමන් කරන විට පර්වත අතුරින් එලිය කරයි. කෙළින් යද්දී එලිය නොකරයි. එහෙයින් ඊට අනෝතත්ත යන නම ඇති විය. පළිඟු වැනි නිර්මල සීතල ජලයෙන් පිරි මස් කැස්බන් සහිත කිසිවෙකු නොබොන පිරිසිදු පැහැදිලි දිය ඇත්තේය. ඒ විල සතර පැත්තෙහි සිංහමුඛ ගජමුඛ අස්සමුඛ උසභ මුඛ යයි සතර මුඛයෙක් වෙයි. මේ සතර මුඛයෙන් සතර මහාගංගා ගලා බසී. නැගෙනහිර දෙසින් නිකුත් නදිය ඒ විල තුන් වරක් පැදකුණු කොට අනික් තුන් මුඛයෙන් නිකුත් ගංගාවලට නොවැද නැගෙනහිර හිමවතෙහි ද උතුරු හිමවතෙහි ද මිනිස් විෂයට ගොස් නැගෙනහිරින් මුහුදට වදී. දකුණු දිශාවෙන් නිකුත් නදිය එයම තෙවරක් පැදකුණු කොට උතුරු දෙසින් සෘජුව ගල්තලා මතින් සැට යොදුනක් ගොස් පර්වතයෙහි හැපී එයින් නැගී තුන් ගව්වක් පමණ දිය දහරක් වී සැට යොදුනක් අහසින් ගොස් තියග්ගල නම් ගලෙහි හැපෙයි. ඒ ගල ජලදහරා වේගයෙන් බිඳී පනස්සතර යොදුන් පමණ තියග්ගල නම් පොකුණ සැදුණේය. ඒ පොකුණු තෙර කඩාගෙන සැටයොදුන් පමණ ගලකට වැද එතැනින් ඝන පාෂාණය බිඳ උමගින් සැටයොදුනක් ගොස් ගිජ්ඣනම් තිරච්ඡාන පර්‍වතයෙහි හැපී අතෙහි පසැඟිලි මෙන් දහරා පසක්ව පවතී. පැවති තැන ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ පස්මහගඟ හටගත්තේය.
මේ ගඟ තෙවරක් අනෝතත්තවිල පැදකුණු කොට ගිය තන්හි ආවර්තගංගා නම් විය. සෘජුව ගල්තල මතින් සැටයොදුනක් ගිය තැන ආකීර්ණගංගා නමි. සැටයොදුනක් ආකාශයෙන් ගිය තැන ආකාශ ගංගා යි කියැවේ. තියග්ගල පාෂාණයෙහි පනස් යොදුන් අවකාශයෙහි සිටී තැන තියග්ගල පොකුණ යයි කියැවේ. පොකුණු තෙර බිඳගෙන පාසාණයට පිවිස සැට යොදුනක් ගිය තැන බහලගංගායි කියැවේ. උමගින් සැට යොදුනක් ගිය තැන උමංගංගායයි කියැවේ. ගිජ්ඣ නම් තිරච්ඡාන පර්‍වතයේ හැපී පඤ්ච ධාරාවක්ව පැවැති තැන ගංගා, යමුනා, අචීරවතී, සරභූ, මහි යන පස් මහාගංගා නම් විය. ඒ අතර මහපොකුණු පිහිටියේය. වයඹ දිගින් නිකුත් ගංගා අමනුෂ්‍ය පථයෙන් ගොස් මහ මුහුදට වදී. සිංහ මුඛයෙන් නිකුත් නදී තෙරෙහි සිංහයෝ බොහෝ වෙති. ඇත් මුඛයෙන් නිකුත් නදී තීරයෙහි ඇත් අස් උසභයො බොහෝ වෙති. මෙසේ හිමවත සියලු ආශ්චර්‍ය්‍යවලට නිවාසයකි. ඒ හිමවත හාත්පස සීදන්ත සාගරයෙහි දඹරුක වෙයි. එහි ඕජස් ඇති කල්පස්ථායි වර්‍ණ ගන්‍ධ රස ඕජා සම්පන්න ඵල ඇත්තේය. මේ ලෝකයෙහි කල්පස්ථායී රුක් සතෙක් වෙයි.
පළොල්, හිඹුල්, ජම්බු, දෙවියන්ගේ පරසතු, කොළොම්, කල්ප වෘක්‍ෂ, සිරීස යන සතයි.
පළොල් අසුරයන්ගේ ද හිඹුල් සුපර්ණයන්ගේ ද දඹ මෙහි මිනිසුන්ගේ ද පරසතු දෙවියන්ගේ ද වෙයි. කොළොම් අපර ගොයානයෙහිය. කප්රුක උතුරුකුරු දිවයිනෙහිය. සිරීසය පූර්වවිදේහයෙහිය. මේවා කල්පස්ථායී වෙයි. කඳ පස් මහ ශාඛා උස පරිමණ්ඩලය සියල්ල එක හා සමානය. කල්පස්ථායීව මැනවින් සිටියේය.
චක්‍රවාට පර්‍වතය වනාහි
දෙයාසු යොදනක් මහමුහුදෙහි ගැලුණේය. චක්‍රවාට පර්වතය එපමණම උඩ නැගුණේය. එය වට කොට මේ ලෝක ධාතුව පිහිටියේය.
මේ සක්වළ ගැබෙහි මේ සඳහිරු දෙදෙනම අනුපරිවර්තනය වේ. පළමුව සූර්යයා උපදී. චන්‍ද්‍රයා පසුව උපදී. සූර්යයා රන් විමනක් තුළ වාසය කරයි. පිටතින් පළිගු වට කොට ඇත. දෙකම උෂ්ණය. චන්ද්‍රයා මිණිවිමනක් තුළ වාසය කරයි. එය රිදියෙන් වටකොට ඇත්තේය. දෙකම සිසිල්ය. ප්‍රමාණයෙන් වනාහි චන්‍ද්‍රයා සෘජු එකුන් පනස් යොදනකි. වටින් තුන් යොදුනක් අඩු එකසිය පනස් යොදුනකි. සූර්‍ය්‍යයා සෘජු පනස් යොදුනකි. වටින් එකසිය පනස් යොදුනකි. චන්ද්‍රයා පහතින් ද සූර්‍ය්‍යයා උඩින් ද වේ. ඔවුන් අතර දුර යොදුනකි. චන්ද්‍රයා සෘජුව සෙමින් යයි. සරසට වහා යයි. දෙපස නැකැත්තරු ගමන් කරයි. චන්ද්‍රයා දෙන වසු පැටියා ළඟට මෙන් ළංවෙයි. නැකත් තමන්ගේ තැන අත නොහරියි. සූර්‍ය්‍යයාගේ සෘජු ගමන ශීඝ්‍රය. තිරස් ගමන මන්දය. ඔහු අමාවක්හි යොදුන් ලක්‍ෂයක් සඳමඬලෙහි ආලෝකයට යයි. එවිට හඳ රේඛාවක් මෙන් පැනේ. පක්‍ෂයෙහි දෙවන දින ලක්‍ෂයකි. මෙසේ පූර්ණමී පෙහෙවස් දින දක්වා ලක්ෂය ලක්‍ෂය අලෝකයට යයි. එවිට චන්ද්‍රයා ක්‍රමයෙන් වැඩී පොහෝ දිනයෙහි පරිපූර්ණ වෙයි. යළි පෑළවිය දවසෙහි යොදුන් ලක්‍ෂයක් හැර දමා යයි. දියවකෙහි ද ලක්‍ෂයකි. මෙසේ පොහෝදින දක්වා දිවෙයි. එවිට චන්ද්‍රයා අනුක්‍රමයෙන් පිරිහී පොහෝ දවසෙහි මුළුමනින් නොපෙනේ. චන්ද්‍රයා යට ද සූර්යයා මත්තෙහි ද වෙයි. මහා පාත්‍රයකින් පැන් පාත්‍රයක් මෙන් සඳමඬල වැසෙයි. මද්දහනෙහි සෙවණැල්ල මෙන් චන්‍ද්‍රයාගේ ඡායාව නොපෙනේ. ඡායාව නොපෙනෙන කල්හි දුර සිටියවුන්ට දිවා පහනක් මෙන් නොපෙනී යයි.
ඔවුන්ගේ වීථී කෙතෙක්ද? මෙහිලා අජවීටී, නාගවීථි, ගෝවීථි වශයෙන් වීථි වේ. එළුවන්ට දිය පිළිකුල්ය. හස්තීන්ට මනාපය. හරකුන්ට ශීත උෂ්ණ සමානය. යම් විටක සඳ හිරු අජවීථියට නගිද්ද එකල එක වැසි බිංදුවකුදු නොවසී. නාග වීථියට නැගි කල්හි අහස බිඳුණාක් මෙන් වැගිරෙයි. ගෝ වීථියට නැගි කල්හි සෘතු සමතාව පවතී. සඳහිරු සමසක් මහමෙරින් නික්මෙති. සමසක් ඇතුළත හැසිරෙති. ඔවුහු ඇසළ මාසයෙහි මහමෙර සමීපයෙහි නොහැසිරෙති. ඉන් දෙමසකින් නික්ම බැහැර හැසිරෙමින් ඉල් මස මැදම යති. ඉක්බිති චක්‍රවාටයට අභිමුඛව ගොස් තෙමසක් සක්වළ සමීපයෙහි හැසිර නැවත නික්මි බක්මස මැදින් ගොස් ඉන් පසු දෙමසක් සිනේරුව වෙතින් පැන යළි ඇසළ මස සිනේරු සමීපයෙහි හැසිරෙති. කෙතෙක් තැන් ආලෝක කරත් ද? එකවර තුන් දිවයිනක් ආලෝක කරවති. කෙසේ ද? මේ දිවයිනෙහි ඉර උදාවන කල්හි පූර්වවිදේහයෙහි මධ්‍යාහ්නයයි. උතුරුකුරු දිවයිනෙහි අස්තංගත වන කල්හි අපරගෝයානයෙහි මධ්‍යාහ්නයයි. පූර්‍වවිදේහයෙහි උදාවන විට උතුරුකුරු දිවයින්හි මධ්‍යාහ්නයයි, අපරගෝයානයෙහි අස්තංගත වන විට මෙහි මධ්‍යම යාමයයි. උතුරුකුරු දිවයිනෙහි උදාවන කල්හි අපරගෝයානයෙහි මධ්‍යාහ්නයයි. මෙහි අස්තංගත වන කාලයෙහි පූර්වවිදේහයෙහි මැදියමයි. අපරගෝයානයෙහි උදාවන විට මෙහි මධ්‍යාහ්නයයි. පූර්‍වවිදේහයෙහි අස්තංගමනය වන විට උතුරුකුරු දිවයිනෙහි මධ්‍යාහ්නයයි. මෙසේ එකම සක්වළ ගැබ සඳහිරු ආලෝක කරති. එතැන් පටන් රෑ දාවල් ප්‍රකට විය.
එසේම රාත්‍රි පසළොසක් අඩමසකි. දෙඅඩමසක් එක් මාසයකි. මෙසේ මස් අඩමස් ප්‍රකට විය. සිව්මසක් එක සෘතුවකි. තුන් සෘතුවක් එක් සංවත්සරයකි. මෙසේ සෘතු සංවත්සර ප්‍රකට විය. මෙපමණකින් මේ ලෝකය විවර්ත විය. ඉක්බිති පඨවිරසය අනුභව කරන එම සත්ත්වයෝ ක්‍රමයෙන් ඇතැම්හු වර්ණවත් වෙති. ඇතැම්හු දුර්වර්ණ වෙති. එහි වර්ණවත්හු දුර්වර්ණයන්ට අවමන් කරති. ඔවුන්ගේ අභිමාන හේතුවෙන් ඒ රස පොළොවත් අතුරුදහන් වෙයි. බිම් හතු පහළ වෙයි. නයි හතු මෙනි. එමෙන් පහළවෙයි. එය ද වර්‍ණ ගන්‍ධ රස සම්පන්න වෙයි. ඔවුන්ට එනයින්ම ඒවාත් අතුරුදහන් වෙයි. භූමි පට්ටක අතුරුදහන් වූ කල බදාලතා පහළ වෙයි. ඒ ක්‍රමයෙන් ඒවාත් අතුරුදහන් වෙයි. බදාලතා අතුරුදහන් වූ පසු වගා නොකොට පැසෙන හැල් පහළ වෙයි. නොකළු දහයියා රහිත සුවඳ වී පහළ වේ. ඉන්පසු ඔවුන්ට භාජන පහළ වේ. ඔවුහු හැල් භාජනයෙහි බහා පාෂාණ මත තබති. තෙමේම දැල්වී නැගී එය පිසයි. ඒ බත සමන්මල් බඳුය. ඊට සූපයෙන් හෝ ව්‍යඤ්ජනයෙන් ප්‍රයෝජනයක් නැත. යමක් යමක් බුදිනු කැමති වෙද්ද ඒ ඒ රසයම සෑදෙයි. ඒ ඒ ඖදාරික ආහාර ගන්නා ඔවුන්ට මල මුත්‍ර පැනෙයි.
එවිට ඒවා නික්මීම සඳහා වසමුඛ ආදිය ඇතිවෙයි. පුරුෂයාට පුරුෂ බවත් ස්ත්‍රියට ස්ත්‍රීත්‍වයත් පහළ වේ. එහිදී ස්ත්‍රිය පුරුෂයා වෙතත් පුරුෂයා ස්ත්‍රිය වෙතත් අවේලාවෙහි හැසිරෙයි. අවේලාවෙහි හැසිරීමෙන් කාම පරිභෝගය උපදී. ඉක්බිති මෛථුනය ඇසුරු කරති. ඔවුන්ගේ අසත්ධර්‍ම සේවනය නිසා විඥයන් විසින් ගරහනු ලබන්නාහු වෙහෙසනු ලබන්නාහු ඒ අසත්ධර්‍මය වැඩීම හේතු කොට ගෙවල් තනති. ගෙවල වසන්නාහු අනුක්‍රමයෙන් එක්තරා අලසයෙකුගේ දෘෂ්ටානුගතියට පැමිණ රැස් කරති. එතැන් පටන් කළු ඇට දහයියා සහිත වී ඇති වෙයි. වගාවන් ද නිසරු වෙයි. වැටී ඔවුහු විලාප කියමින් භවත්නි, ඒකාන්තයෙන් ම සත්වයන් කෙරෙහි පාපධර්‍ම ඇති විය. අපි පෙර මනෝමය වීමු. ප්‍රීතිය අහරකොට ස්වයංප්‍රභාව අන්තරීක්‍ෂයෙහි හැසිරෙමින් දීර්ඝායු ඇත්තෝ වූයෙමු. දිගුකල් ඇවෑමෙන් වර්ණ ගන්‍ධ රස සම්පන්න රස පඨවිය නැතිවිය. අපි එක් පුරුෂයෙකු සම්මත කොට ගත හොත් මැනවි. ඔහු අපට නැසිය යුත්තකු නසයි. ගර්හා කළ යුත්තකු ගරහයි. නෙරපිය යුත්තකු නෙරපයි. අපි ඔහුට හැල් කොටසක් දෙමු කියා කතිකා කළහ.
සත්ත්වයන් මෙසේ තීරණය කළ කල්හි මේ කල්පයෙහි මේ භාග්‍යවතුන් වහන්සේම බෝසත්ව එකල ඒ සත්ත්වයන් අතර අතිශය රූප සම්පන්නව දැකුම්කළුව මහේශාක්‍යතරව බුද්ධිසම්පන්නව සංග්‍රහ නිග්‍රහ කිරීමට සමත්ව විසූහ. උන් වහන්සේ වෙත පැමිණ “පින්වත් සත්ත්වය, මනාව පහකළ යුත්තවුන් පහකරව. ගර්හා කළ යුත්තන් ගරහව. නෙරපිය යුත්තන් නෙරපව. අපි ඔබට හැල් කොටසක් දෙමුයි”කීහ. උන්වහන්සේ ඔවුන්ගේ වචනය පිළිගත්හ. ඔහු මහජනයා විසින් සම්මත නිසා මහාසම්මත නම් වූහ. ක්‍ෂේත්‍රයන්ට අධිපති නිසා ඛත්තිය නම් වූහ. දැහැමෙන් සෙමෙන් පාලනය කරන නිසා රජයයි කියා ද නම් තුනකින් ප්‍රකට වූහ. ලෝකයෙහි යම් ආශ්චර්‍ය්‍ය ස්ථානයක් වී නම් බෝසත්හුම එහි ආදි පුරුෂයාණෝ වූහ.
බෝසතුන් ආදි කොට ඔවුහු ක්‍රමයෙන් ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ වෛශ්‍ය, ක්‍ෂුද්‍ර වර්ණ පිහිටුවා ගත්හ. එහි කල්ප විනාශක මහා වැස්සෙහි පටන් ජලය නැතිව යෑම තෙක් මේ අසංඛ්‍ය කල්පය සංවර්තයයි කියනු ලැබේ. කල්ප විනාශ ජල ගිනි අවසන් කොට කෙළ ලක්‍ෂයක් සක්වළ පුරාලන සම්පත් මහාමේඝය දක්වා මේ දෙවෙනි අසංඛ්‍යය සංවර්තස්ථායි කල්ප නමි. සම්පත් මහාමේඝයෙහි පටන් ඉර හඳ හටගන්නා තුරු මේ අසංඛ්‍යය විවර්තයයි කියනු ලැබේ. ඉර හඳ පහළවීමෙහි පටන් කල්ප විනාශක මහාමේඝය දක්වා වූ මේ සිව්වන අසංඛ්‍යය විවර්තස්ථායි යනුවෙන් කියනු ලැබේ. මේ අසංඛ්‍ය කල්ප සතර මහාකල්පයක් වෙයි. ගින්නෙන් නැසීමත් පිහිටීමත් මෙසේ දත යුතු ය.
යම් කාලයක කල්පය ජලයෙන් නැසේ ද පළමුවෙන්ම කල්ප විනාශ මහාමේඝය නැගී පෙර කී ක්‍රමයෙන් විස්තර කළ යුතුය. විශේෂය මෙයයි. පළමු කල්පයෙහි දෙවෙනි සූර්‍ය්‍යයා පහළ වූයේ යම් සේ ද මෙහිදී ද කප නස්නා මහාවැසි නැගෙන්නේය. කම්පා කරමින් වසී. වැසි ධාරාවලින් පහරනු ලැබූ ගල් පර්වත දිය වී යයි. ජලය හාත්පස පිරීයයි. පොළොවෙහි පටන් ද්විතීයධ්‍යාන භූමිය තෙක් ජලයෙන් පිරෙයි. එහි තුන් බඹ ලොව දිය කොට සුභකිණ්ණයෙහි හැපී සිටී. අණුමාත්‍ර සංස්කාරයක් හෝ පවත්නා තාක් නොසන්සිඳේ. දියෙහි ගැටුණු සියල්ල විනාශ වූ කල්හිම වහා සන්සිඳෙයි. අතුරුදහන් වෙයි. යට අහසත් උඩ අහසත් එකක් වෙයි. මහා අන්‍ධකාරාදිය කී පරිදිමය. ආභස්සර බ්‍රහ්මලෝකය ආදි කොට ලෝකය හටගනී. සුභකිණ්ණයෙන් ආහස්සරාදි තැන්වල සත්ත්වයෝ උපදිති. කල්ප විනාශ මහාමේඝයේ පටන් කල්ප විනාශ ජලය සිඳීම තෙක් මෙය එක් අසංඛ්‍යයකි. -පෙ- දිය සන්සිඳීමෙහි පටන් සම්පත් මහාමේඝය දක්වා මෙය දෙවෙනි අසංඛ්‍යයයි. -පෙ- සම්පත් මහාමේඝයෙහි පටන් ඉර හඳ හටගැන්ම දක්වා මේ තුන්වන අසංඛ්‍යයයි -පෙ- ඉරහඳ පහළ වීමෙහි පටන් කපනස්නා මහාමේඝය දක්වා මෙය සතරවන අසංඛ්‍යයයි. එය විවර්තස්ථායි නම් වේ. මේ අසංඛ්‍යය සතර එක් මහාකල්පයකි. ජලයෙන් හටගැනීමත් විනාශයත් මෙසේ දත යුතුය.
යම් කලෙක කල්පය වාතයෙන් විනාශ වේ ද පළමුව කප නස්නා මහාවර්ෂා ඇතිව කී පරිද්දෙන්ම විස්තර කළ යුතුය. එහි විශේෂය මෙයයි. මෙහි දෙවෙනි සූර්‍ය්‍යයා මෙන් මෙහි දෙවන කප නස්නා වාතය හටගනී. පළමුව සියුම් ධූලි සියුම් වැලි මහවැලි ගල්කැට පාසාණ කුළුගෙවල් පමණ ගල් සැම තැන්වල පිහිටි මහගස් උදුරයි. ඒවා පොළොවෙන් අහසට නැගී නැවත නොඑයි, එහිම සුණු විසුණු වී අභාවයට යයි. ක්‍රමයෙන් යට මහපොළොවෙහි පටන් වාතය හට ගෙන පොළොව පෙරළා අක්මුල් කොට අහසෙහි පාකරයි. යොදුන් සියයක් පමණ පොළොව දෙයොදුන් තුන් යොදුන් සතර පස් යොදුන් සියක් යොදුන්ව කැඩී වාත වේගයෙන් උඩ ගොස් අහසෙහි සුණු විසුණු වී අභාවයට යයි. සක්වළ ගලත් මෙරගලත් වාතයෙන් උඩ ගසා අහසෙහි පොළවෙහි ඇති ඒවා එකිනෙක ගැටී සුණු විසුණු වී වැනසෙයි. මේ ක්‍රමයෙන් භූම්‍යස්ථ විමාන ද වනසා සදෙව්ලොව ද වනසා කෙළ ලක්‍ෂයක් සක්වළ විනාශ කරයි. එහිදී චක්‍රවාට චක්‍රවාට සමඟ ද හිමවත් හිමවත් සමඟ ද මහමෙර මහමෙර සමඟ ද එකිනෙක ගැටී සුණු විසුණු වී වැනසෙයි. පොළොවෙහි පටන් තෘතීයධ්‍යාන භූමිය තෙක් වැනසෙයි. එහි තුන් බඹලොව වනසා වේහප්ඵලයෙහි හැපී සිටී. සංස්කාරගත සියල්ල නසා තෙමේත් නැසේ. යට අහසත් උඩ අහසත් එකක් වෙයි. මහා අන්ධකාර වෙයි. සියල්ල කී පරිද්දෙනි.
මෙහි සුභකිණ්ණ බ්‍රහ්මලෝකයෙහි පටන් ලෝකය පහළ වෙයි. වේහප්ඵලයෙන් චුතව සුභකිණ්ණාදියෙහි සත්ත්වයෝ උපදිති. කල්ප විනාශ මහාවර්ෂාවේ පටන් කල්ප විනාශ වාතය දක්වා මෙය එක් අසංඛ්‍යකල්පයකි -පෙ- වාත විනාශයෙහි පටන් සම්පත් මහවැසි දක්වා දෙවන අසංඛ්‍යයයි. -පෙ- සම්පත් මහවැස්සෙහි පටන් ඉර හඳ පහළවීම දක්වා තුන් වන අසංඛ්‍යයයි. -පෙ- ඉරහඳ හට ගැනීමෙහි පටන් කප නස්නා මහවැසි දක්වා සතරවන අසංඛ්‍යයයි. එය විවර්තස්ථායි නම් වෙයි. මේ සතර කප එක් මහ කපකි. වාතයෙන් හටගැනීමත් විනාශයත් මෙසේ දත යුතුය. කුමක් නිසා මෙසේ ලොව විනාශ වෙයි ද? අකුසල හේතුවෙනි. අකුසල් මුල් උපන් කල්හි මෙසේ ලොව වැනසෙයි. හෙද රාගය උත්සන්න වූ කල්හි ගින්නෙන් වැනසේ. ද්වේෂය උත්සන්න වූ කල්හි ජලයෙන් වැනසේ. සමහරු ද්වේෂය උත්සන්න වූ කල්හි ගින්නෙන් වැනසෙයි. රාගය උත්සන්න වූ කල්හි ජලයෙන් වැනසෙයි කියා කියති. ථෙරවාදීහු වනාහි මෝහය උත්සන්න වූ කල්හි වාතයෙන් වැනසෙතැයි කියති.
මෙසේ විනාශ වන විට නිතොරව සත්වරක් ගින්නෙන් නැසෙයි. අටවන වර ජලයෙන් නසී. නැවත සත්වරක් ගින්නෙන් නැසී අටවන වර ජලයෙන් නසී. මෙසේ අටවන අටවන වර වැනසී සත්වරක් ජලයෙන් වැනසී නැවත සත් වරක් ගින්නෙන් නැසෙයි. මේ අයුරින් තෙසැට කපක් ඉක්ම යයි. මේ අතර ජලයෙන් විනාශ වූ වාරය සමඟ ගෙන වාතයෙන් නැසීමත් සමඟ පිරිපුන් සූසැට කපක් ආයු ඇති සුභකිණ්ණයත් විනාශ කරමින් ලෝක විනාශය කරයි. කියන ලදී-
සත්වරක් වන සේ සත්වරක් ගින්නෙන් ද අටවන වර ජලයෙන්ද මෙසේ අටවරක් වූ සිව් සැට කපක් පිරීමෙන් වායු විනාශ වාර පැමිණෙන්නේය.
පෙර විසීම් සිහි කරන කල්හි එක් කල්පයක් සිහි කරන භික්‍ෂුනම මේ කල්පවල නොයෙක් සංවර්ත කල්ප කල්ප නොයෙක් සංවර්ත විවර්ත කල්ප සිහිකරයි.
කල්ප පරිච්ඡේදකථා නිමි