සම්පිණ්ඩිතමහානිදානය වර්තමානයෙහි පාලිභාෂාසාහිත්‍ය විද්වතුන් අතර අප්‍රකට මේතාක් මුද්‍රණයෙන් අප්‍රකාශිත පුස්කොළ ග්‍රන්ථවලට පමණක් සීමාවූ පෞරාණික පාලි ග්‍රන්ථයකි. එහි පුස්කොළ පිටපත් ගණනාවක් තිබෙන බවට තොරතුරු සටහන්ව තිබේ. වර්ෂ 1959 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය පුස්තකාලයාධිපති කේ.ඩී. සෝමදාස මහතා විසින් සම්පාදිත, සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත “ලංකාවේ පුස්කොළ පොත් නාමාවලිය” නම් ප්‍රකාශනයෙහි ඒ බව සඳහන්ය. එයට ඇතුළත්ව නැති කෞතුකාගාර පුස්තකාලයෙහි අංක 1450-A0.9, 1451-6N.4, 1452-5.8 යටතේ පිටපත් තුනක් ද වෙයි. නමුත් සම්පිණ්ඩිතනිදාන නමින් ගත හැක්කේ අංක 1450-A0.9 පිටපත පමණකි. එකසමානව ලියා ඇති කුඩා ප්‍රමාණයේ සෙසු පිටපත් දෙක සම්පිණ්ඩිතනිදාන අනාගතකථා නම් පරිච්ඡේදයෙන් උපුටා ගත් ගාථාපන්තියක් වටා ලියූ සිංහල අර්ථවර්ණනයකි.
පැල්මඬුල්ල රූපඅරුණ පුරාණ පිරිවෙන් විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින්‍ද්‍රයන් වහන්සේ අනාරාධිතව සිය කැමැත්තෙන් එහි පුස්තකාලය සතු පිටපත අප අතට පත් කොට ඒ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස දැන්වූහ. එය කියවා බැලීමෙන් අපට පෙනී ගියේ එය පර්යේෂණාත්මක ඇගයීමකට ලක් කොට පාලි උගතූන් වෙතින් ගිලිහී යන්නට නොදී මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කළ යුතු බවයි. ඒ සඳහා ප්‍රමාණවත් පිටපත් කීපයක් සොයා ගැනීම අනිවාර්ය අත්‍යවශ්‍ය කරුණක් බැවින් ඒ සඳහා ගත් උත්සාහය ප්‍රමාණවත් තරම් සාර්ථක නොවූයේ නොඑක් ගැටළු නිසාය.
මහනුවර හයගිරි විජයසුන්‍දරාරාමයේ පිටපත අපට ඉතා පහසුවෙන් ලබාගත හැකිවිය. කදිම නිර්මාණයක් වූ ඒ පොත ලියා ඇත්තේ කාම්බෝජ අක්‍ෂරයෙනි. කාම්බෝජ භික්‍ෂූන් වහන්සේ කෙනකු ලවා කියවා බැලූ නමුත් එය අසම්පූර්ණ පිටපතකි. හඟුරන්කෙත පොතේ ආරම්භය සහ අවසානය පැල්මඬුල්ල පොතට සමානය. සම්පූර්ණය. නමුත් ලබා ගත නොහැකි විය. දොඩන්දූව ශෛලබිම්බාරාමයේ සහ කොස්ගොඩ සිරිනිවෙසාරාමයේ පිටපත් සොයා ගිය විට දැනගන්නට ලැබුණේ ඒවා අස්ථානගතව ඇති බවයි. මීඇල්ල ගණේගොඩ පුරාණ විහාරයේ පිටපත අසම්පූර්ණ බව සඳහන්ය. මේ නිසා පැල්මඬුල්ල පිටපතට අතිරේකව ලබා ගත හැකි වූයේ කහව තෙල්වත්ත සිරිසොභනාරාමයේ පිටපත පමණකි. ශාස්ත්‍රීය තුලනයක් සඳහා මෙය කිසිසේත් ප්‍රමාණවත් නොවෙතත් පොත ආරක්‍ෂා කිරීම අරභයා මේ මට්ටමින් හෝ එළිදැක්වීමට අදහස් කළෙමු. පිටපත් කරන්නවුන් අතින් සිදුවිණැයි සිතිය හැකි අඩුවැඩිකම් සහ අක්‍ෂර වින්‍යාසයේ වෙනස්කම් හැරුණු විට දෙපොත සමානය. එනිසාම ආකුලව්‍යාකූලව ගියතැන් සමහරක් නිරාකරණය කර ගැනීම බෙහෙවින් උගහටය. ඒ හේතුවෙන් ග්‍රන්ථාගත විෂයපථය ග්‍රහණය කර ගැනීමට ප්‍රබල බාධාවක් නොමැති බව ද කිව යුතුය.
සම්පිණ්ඩිතමහානිදානය ගැන අපට හමු වන පැරණිම සටහන මහනුවර යුගයට අයත්ය. වැලිවිට ශ්‍රී සරණඞ්කර සඞ්ඝරාජයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයකු වූ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ප්‍රථම මහානායක ධුරන්‍ධර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‍ෂිත මාහිමියෝ සිය ශ්‍රී සද්ධර්මාවවාද සංග්‍රහය නම් සිංහල ගද්‍යකෘතියෙහි මෙසේ සඳහන් කරති. “ශ්‍රද්ධාබුද්ධි සම්පන්න සත්පුරුෂ ජනයන්ගේ උත්සාහ වඩවනු පිණිස සොළසැකි නිදානයෙහි හා සොදත්තකනිදානයෙහි ද මහා සම්පිණ්ඩිතනිදානයෙහි ද ආ ක්‍රමයෙන් එම බාහිර නිදානාදි මෙහි දැක්වියයුතු විසිතුරු නිදාන කතාවන් සංග්‍රහ කොට දක්වම්හ.”[1] උන්වහන්සේ එම කෘතියට සම්පිණ්ඩිත - මහානිදානයෙන් සමහර කොටස් ද උපුටාගෙන තිබේ.
මෑත භාගයෙහි මේ ග්‍රන්ථය පිළිබඳව සටහනක් තබා ඇත්තේ පාලිභාෂාසාහිත්‍ය විශාරදයකු වූ අග්ගමහාපණ්ඩිත මහාචාර්ය පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. සම්පිණ්ඩිතමහානිදාන පුස්කොළපොත් පිටපතක් කියවා ඒ පිළිබඳ අගනා විස්තරයක් ස්වකීය “පාළිසාහිත්‍යය” නම් කෘතියෙහි ඇතුළත් කොට තිබේ.[2] ඒ අනුව ජිනකාලමාලි නම් පාලිපද්‍යග්‍රන්ථයෙහි නිදානකතාව සම්පිණ්ඩිතමහානිදානකතාවට බෙහෙවින් සමානය. මෙහි පිටපත් බුරුම රටෙහි ද විද්‍යමානය. අපට හමුවන යථොක්ත තොරතුරුවලින් අනාවරණය වන්නේ මෙම සම්භාව්‍ය පාලි කෘතිය අතීතයෙහි බුරුමය, කාම්බෝජය, ශ්‍රීලංකාව වැනි බෞද්ධ රටවල ප්‍රචලිතව පවතින්නට ඇති බවයි.
යො වීසතාසඞ්ඛෙය්‍යකප්පානි
සතසහස්සාධිකෙපි ච
ඛෙදං ගතො ලොකහිතාය නාථො
බුද්ධස්ස තස්සෙව නමො කරොමි
.
බුද්ධස්ස ධම්මස්ස ගණුත්තමස්ස
නමො කරිත්‍වා රතනත්තයානං
සම්පිණ්ඩිතං නාම මහානිදානං
වක්ඛාමි ආචරිය පරම්පරෙහි
යනු සම්පිණ්ඩිතමහානිදානයෙහි ආරම්භක පද්‍යයුග්මයයි. පැරණි ගත්කතුවරයන්ගේ සම්ප්‍රදායානුගත ඉෂ්ට දේවතා නමස්කාරය වශයෙන් කතුවරයා තෙරුවන් නැමද ආචාර්ය පරම්පරානුසාරයෙන් සම්පිණ්ඩිත මහානිදානය ප්‍රකාශ කරමියි එම ගාථා දෙකෙන් පවසයි. ඒ සමගින් ග්‍රන්‍ථනාමයත් එහි ආකෘතික ස්වරූපයත් පැවසේ. සම්පිණ්ඩිතමහානිදාන යනු ග්‍රන්ථනාමයයි. එය ආචාර්ය පරම්පරා- නුසාරයෙන් දැක්වීම ආකෘතියෙහි ස්වරූපයයි.
නි පූර්ව දා ධාතුවෙන් නිර්මාණය වූ නිදාන යන පාලිශබ්දය අර්ථ රාශියක වැටේ. හේතුව, පදනම, මූලාශ්‍රය, සම්භවය, ජාතක ප්‍රස්තාවනාව, විෂය, අරමුණ, සන්දර්භය, උත්පත්තිය ආදි වශයෙනි. ජාතකට්ඨකථා නිදානවණ්ණනාවෙහි සහ බුද්ධවංසට්ඨකථා නිදානකථාවෙහි දක්වා ඇත්තේ බෝසත්සිරිත හා බුදුසිරිතයි. ඒ අනුව නිදාන යන්නෙන් මේ බෝසත්සිරිත හා බුදුසිරිත ගැනේ. බොධිසත්ත, බුද්ධ සංකල්පවල පදනම සන්දර්භය උපත පිළිබඳ විස්තර විවරණ ගෙනහැර දැක්වීම පාලි නිදානයන්හි අභිප්‍රෙතාර්ථය වන්නට ඇතැයි සිතේ.
නිදානයෙහි ප්‍රභේද, කාලපරිච්ඡේදය, විෂය පථය ආදියෙහි දුරාතීතයෙහි පටන් බෞද්ධනිකායයන් අතර විවිධ මතිමතාන්තර පැවති බව දක්නට ලැබේ. විශේෂයෙන් මහායාන ථෙරවාද සම්ප්‍රදායයන් අතර එකිනෙකට වෙනස් සම්භාවනා පවතී. එකී මත සම්භාවනා ඔවුන් අතර සංවර්ධනය වෙමින් ව්‍යාප්තියට පත් ආකාරය ද දක්නට ලැබේ. කෙසේ හෝ නොඑක් ආචාර්ය පරම්පරා මඟින් පිළිගත් නිදානයේ ප්‍රභේද සහ කාලනියමයන් කැටිකොට සම්පිණ්ඩිතමහානිදානය සකස් කොට ඇති වග එහි නාමයෙන්ම පෙනේ. එක් ඇදුරු පරපුරකට පමණක් අයත් මතයක නොපිහිටා කතුවරයා ආරම්භක පද්‍යයෙහි යෙදූ ආචරියපරම්පරෙහි යන බහුවචන පදයට අනුරූපව ආචාර්ය පරම්පරාවල මත සම්පිණ්ඩනය කොට මේ නිදානකතාව සංකලනය කොට තිබේ. සම්පිණ්ඩිත යන අතීත කෘදන්ත පදයෙන් එ්කරාශිකළ (=brought together) ප්‍රතිසංස්කෘත (=restored) ඒකාබදධ (=Compact) යන අරුත් පැවසෙයි.[3] ඒ අනුව මෙම ග්‍රන්ථය කෙවලමතවාදයක අනුකරණයක් නොව මතවාද සංකලනයෙන් කළ නිදහස් නිර්මාණයක් සේ පිළිගත හැකිය.
අප විසින් විමර්ශනයට භාජනය කරන ලද සම්පිණ්ඩිතමහානිදානයෙහි අවසන් පරිච්ඡේදය පසුව යා කරන ලද වෙනමම ධර්ම නිබන්ධයකැයි සිතිය හැකිය. සන්තිකෙනිදාන විවරණය කතුවරයාගේ උද්දෙසය ඉක්මවා යමින් ධාතුවිභාජනකථා සඞ්ගීතිකථා මහාකස්සපත්‍ථෙර - පරිනිබ්බානකථා අනාගතකථා යන පරිච්ඡේද නිසා ග්‍රන්‍ථය ක්‍රමයෙන් සංවර්ධනය වි ඇති බවක් පෙන්වයි. ධම්මපිණ්ඩ නමින් හැඳින්විය හැකි පරිච්ඡේදයෙන් පසු නැවත නමස්කාරපාඨය ගෙන පදයෙන් පදය අර්ථකථනයක යෙදෙයි. අනතුරුව දක්වා ඇති නමස්කාර ගාථාවෙන් සම්බුද්ධ පරම්පරා ගත සාතත්තකීමහානිදානය පවසමී කියැවෙයි. එහෙත් එවැන්නක් නොමැති අතර සම්පිණ්ඩිතනිදානකථා නිට්ඨිතා යන පරිසමාප්ති පාඨය ලියා ඇත.
ග්‍රන්ථ පරිසමාප්තියක් නොව සමාරම්භයක් අඟවන ප්‍රකාශයකින් පසු එකවරටම මෙසේ සටහන් කළේ මන්දැයි පැහැදිලි නැත. සම්පිණ්ඩිතමහානිදානයට පසු පසුව කොටස් එකතුවීමෙන් සංවර්ධනය වූ බවට එය එක් ඉඟියක් බඳුය. කෙසේ නමුත් අවසන් වරට ප්‍රකාශ කරන්ට උද්දෙසිත සාතත්තකීනිදානය සොතත්‍ථකී නිදානය ද ශ්‍රීසද්ධර්මාවවාදසංග්‍රහයෙහි සඳහන් සොදත්තකනිදානය දැයි අපි නොදනිමු. කෙසේ නමුත් සම්පිණ්ඩිතමහානිදාන පරිසමාප්තිය තවදුරටත් විචාරණීය වන්නේ අපගේ මහාවංසය මෙන් වරින්වර සංවර්ධනයට පත්කරන ලද්දක්දැයි අනුමාන කළහැකි නිසාය.
නිදාන ප්‍රභේදවලින් ඇරඹෙන සම්පිණ්ඩිතමහානිදානයෙහි පළමුවෙන්ම දූරෙනිදාන අවිදූරෙ නිදාන සන්තිකෙ නිදාන වශයෙන් පොරාණාචාර්යවරු නිදානය ත්‍රිවිධ භේදයෙන් කැමති වෙතී සඳහන්ය. නමුත් පොරාණාචාර්යවරයන් ගැන කිසිවක් සඳහන් නොවෙයි. බුද්ධඝොස, ධම්මපාල යන අට්ඨකථාචාර්යවරයන් දක්වා ඇත්තේ ද නිදානය තෙවැදැරුම් බව යි.[4] පොරාණකත්‍ථෙරා, පුබ්බාචරියා, පොරාණාචරියා, අට්ඨකථාචරියා යනුවෙන් අට්ඨකථාවන්හි සඳහන් නාම පිළිබඳ පර්යේෂණයෙහි යෙදෙමින් ඊ.ඩබ්. අදිකාරම් මහතා “යෙ පොරාණාචරියා තෙ යෙව අට්ඨකථාචරියා” යන ගන්‍ධවංස පාඨය ද සහාය කොට ගනිමින් අටුවාචාරීන් හා පොරාණයන් අතර සමීප සබඳතාවක් පැවති බව සිතිය හැකිය යි කියයි.[5] අටුවාවලට ඇතුළත්නොවී විවිධ නිකායයන්හි මුඛපරම්පරාගතව පැවත ආ විස්තර ව්‍යාඛ්‍යානවල ආචාර්යවරුන් බව මහාචාර්ය ජී.පී. මලලසේකර මහතාගේ මතය වේ.[6] කෙසේ නමුත් පොරාණාචාර්යවරුන් සහ අට්ඨකථාචාර්යවරුන් අතර ඇත්තේ සමාන බවක් නම් නිදානයෙහි ත්‍රිවිධ භේදය දෙපක්‍ෂයම පිළිගත් මතයකි. බුද්ධඝොස ධම්මපාල අට්ඨකථාචාර්යවරුන් අටුවා සම්පාදනය කරන ලද්දේ මහා විහාර මතයට අනුරූපව නම් මහාවිහාරයෙහි මෙන්ම අටුවාචාරින්ගේත් පොරාණාචාර්යන්ගේත් ත්‍රිවිධ භෙදය ථෙරවාදී මතය සේ පිළිගත හැකිය.
දෙවැනිව වෙනත් ආචාර්යවරුන්ගේ පිළිගැනීමට අනුව අතිදූරෙනිදාන දූරෙනිදාන අවිදූරෙ නිදාන සන්තිකෙනිදාන වශයෙන් නිදානයෙහි චතුර්විධ භේදය ඉදිරිපත් කොට තිබේ. එහිලා පොරාණාචාර්ය මතයෙහි ප්‍රතික්ෂේප කිරීමක් හෝ වෙනස් කිරීමක් නොමැත. පොරාණාචාර්ය මතයෙහි මුලට අතිදූරෙනිදාන නමින් අතිරේක භේදයක් එකතු කිරීම පමණක් සිදුවී තිබේ. එමඟින් බෝසත් චර්යාවේ කාලය දීපඞ්කරබුද්ධ කාලයෙන් තවත් ඈතට විහිදෙයි. එම මතයෙහි අපරෙ ආචරියා යනු හඳුනා ගැනීමට සාධකයක් නොමැත. තෙවනුව දක්වා ඇත්තේ නිදානයෙහි පංචවිධ භේදයයි. එය කාගේ මතයදැයි හඳුනා ගැනීමටද කිසිදු ඉඟියක් නොමැත. මෙහිදී ද ත්‍රිවිධභේදය හෝ චතුර්විධ භේදය වෙනස්වීමකට හෝ ප්‍රතික්‍ෂෙප කිරීමට ලක් නොවෙයි. චතුර්විධභේදයෙහි මුලට අතිදූරදූරෙ නිදාන නමින් අතිරේක භේදයක් එක්වෙයි. එනිසා බෝසත් සිරිත අතිදූරෙ නිදානයටත් වඩා ඈත අතීතයට විහිදෙයි.
ත්‍රිවිධ භේදයට අනුව බෝසත් සිරිත දීපංකර බුද්ධකාලයෙන් ඇරඹෙයි. එතැන් සිට බුදුවීම තෙක් කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකි. චතුර්විධ භේදයට අනුව බෝසත් සිරිත ඇරඹෙනුයේ පුරාණසක්‍යමුනි බුද්ධ කාලයෙනි. එතැන් සිට දීපංකරබුද්ධකාලය දක්වා අසංඛ්‍ය කල්ප නවයකි. පංචවිධභේදයට අනුව බෝසත් සිරිත බ්‍රහ්මදෙව බුද්ධකාලයෙන් ඇරඹෙයි. එතැන් සිට පුරාණසක්‍යමුනි බුද්ධකාලය දක්වා අසංඛ්‍යකල්ප හතකි. සියල්ල එකතුව බෝසත් අවදිය කල්පලක්‍ෂයක් අධික කොට ඇති අසංඛ්‍යකල්ප විස්සකි. සම්පිණ්ඩිතෙනිදානකතුවරයා ඒ මතය පිළිගත් කෙනෙකු බව ඔහුගේ ග්‍රන්ථාරම්භ නමස්කාරගාථාවලින් හැඟේ.
අතිදූරදූරෙ නිදාන, අතිදූරෙ නිදානකතා ප්‍රථමයෙන් විස්තර කිරීම සඳහා සම්පිණ්ඩිතමහානිදානයෙහි බෝසත් සිරිත් කීපයක් ඉදිරිපත් කොට ඇත. මාතුරුද්ධාරක නාවික, සත්තුතාපනරාධිප, සිද්ධත්‍ථතෙලදායිකා රාජකුමාරී, බ්‍රහ්මඉසි යන කතා ඒවාය. එම කතා කිසිවක් පාලිජාතක සංග්‍රහයෙහි දක්නට නොලැබේ. බ්‍රහ්මඉසි පුවත සම්පූර්ණයෙන්ම මහායාන ජාතක සංග්‍රහයකැයි කියැවෙන ආර්යශූරපාදයන්ගේ ජාතකමාලා නම් සංස්කෘත ග්‍රන්‍ථයෙහි එන ව්‍යාඝ්‍රීජාතකයයි. සෙසු කතා සියල්ල ශ්‍රීසද්ධර්මාවවාද සංග්‍රහයෙහි ඇතුළත්ව ඇත. ඒවා සොළසැකි නිදානයෙන් ගත් බව එහිම සඳහන්ය. සොළසැකි නිදානය දැනට නාමමාත්‍රාවශෙෂය. කෙසේ වෙතත් බෝසතුන්ගේ මනඃප්‍රණිධිය හා වාක්පණිධිය නිරූපණය අතිදූරදූරෙ නිදාන අතිදූරෙනිදාන දෙක්හි අභිප්‍රායයි.
මෙහි සියලු ආචාර්යමතවල ඇතුළත් දූරෙනිදාන අවිදූරෙනිදාන දෙක ජාතක නිදාන කථාවටත් බුද්ධවංස නිදානවණ්ණනාවටත් සමාන වෙයි. වර්ණනා ප්‍රදේශ අතින් ජාතකනිදානකතාව සංක්‍ෂිප්තය. බුද්ධවංස නිදානවණ්ණනාව විස්තරාත්මකය, සම්පිණ්ඩිතමහානිදානය ඒ දෙකටම වඩා විස්තරාත්මකය. ජාතක, බුද්ධවංස නිදානවිස්තර කෙතරම් සමීපද යන්න දෙපොතෙහි නිදානාරම්භ වාක්‍යවලින්ම පැහැදිලි වෙයි. “ඉමානි තීනි නිදානානි දස්සෙත්‍වා චණ්ණියමානා යෙ නං සුණන්ති, තෙහි සමුදාගමතො පට්ඨාය විඤ්ඤාතත්තා යස්මා සුට්ඨු විඤ්ඤාතා නාම හොන්ති.[7] “ඉමානි තීනි නිදානානි දස්සෙත්‍වාව වණ්ණිතා සුවණ්ණිතා නාම හොති. යෙ ච නං සුණන්ති තෙහි සමුදාගමතො පට්ඨාය විඤ්ඤාතත්තා සුවිඤ්ඤාතාව හොති”[8] යථොක්ත නිදාන දෙක පිළිබඳ සම්පිණ්ඩිතමහානිදාන විස්තර අටුවාග්‍රන්ථ සමඟ සැසඳෙන නමුත් එහි මාරයුද්ධය වඩා සමීපවන්නේ අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිතය සමඟින් බව පෙනේ.[9] බුද්ධඥානයෙහි පරම ගම්භීරතා විස්තරය නිමවන්නේ “ඉමානි ඡ අසාධාරණඤාණානි ඡත්තිංසකොටි සතසහස්සානි මහාවජිරඤාණානි අරහත්තඵලප්පත්ත සමයේ උප්පජ්ජිංසු”[10] යනුවෙනි.
සන්තිකෙනිදාන වර්ණනය සඳහා මහාවග්ග මහාක්ඛන්‍ධකය, මහාපරිනිබ්බානසුත්ත ප්‍රමුඛ සූත්‍ර ධර්ම සහ තදනුබද්ධ අට්ඨකථා මූලාශ්‍රය වී තිබේ. ඒ අතර ඒ කිසිතැනකින් හමුනොවන විස්තර රාශියක් ද අන්තර්ගතය. බුදුරදුන්ගේ ප්‍රථම දේශනයවූ ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේ ආකෘතිය දැනට අප අතර භාවිතවන සූත්‍රයේ ආකෘතියට වඩා වෙනස්ය. දේශනයේ නිමාවත් සමඟ බූමාටු දෙවියන් පටන් අකනිටා දෙවියන් තෙක් සාධුඝෝෂය පැතිරගිය බව වර්තමාන ප්‍රකට සූත්‍රයේ සඳහන්ය. බුදුරදුන් පංචවර්ගීයයන් අමතා ඔදහථ භික්ඛවෙ සොතං, අමතමධිගතං, අහං අනුසාසාමි, අහං ධම්මං දෙසිස්සාමි” යයි වදාළ බස් අසා අපිත් ඒ දුර්ලභ උතුම් ධර්මය අසන්නට යමුයි බූමාටු දෙවියන් පටන් අකනිටාවාසීන් තෙක් සාධුඝෝෂය පැතිර එහි රැස්වූ බව සම්පිණ්ඩිත මහානිදානයෙන් කියැවෙයි.[11] අටළොස් කෙළක්වූ දෙවියන් අතර මිනිසුන්ගෙන් සිටියේ පස්වග තවුසන් පමණකි යන කියමන සමඟ මෙය වඩා යොග්‍ය බව හැඟේ.
තථාගතයන් වහන්සේ පාංශුකූල චීවරයක් ලබා ගැනීම පිළිබඳ අසිරිමත් පුවත ථෙරවාදීන්ගේ බුද්ධචරිත විස්තරවල නොදක්නා ලැබේ. උරුවෙලකස්සප ජටිලයන්ගේ ආරාම පරිශ්‍රයෙහි නවාතැන් ගෙන සිටි උන්වහන්සේට සිය දිරාපත් සිවුරු වෙනුවට පාංශුකූලයක් ලබා ගැනීම අවශ්‍ය විය. උන්වහන්සේ සොහොනට ගියහ. රාධ නම් බමුණකුගේ පුණ්ණා නම් දාසියගේ ඉදිමී කුණුවී පණුවන් පිරී ගිය මිනිය ඔතා තුබූ විසිරියන් දිග දොළොස්රියන් පළල වස්ත්‍රය දුටහ. සියතින්ම එය ගෙන සෝදා වේලා කපා මසා පඬුපොවා සිවුරක් කොට පරිභෝග කළහ. මෙම මානුෂීය ක්‍රියාවලිය විස්තර කොට ඇත්තේ අතිමානුෂීයත්වයෙනි. මේ පුවත මේ අයුරින්ම ලලිතවිස්තර නම් මහායාන බුද්ධචරිතයෙහි විවරණය වෙයි[12] දුෂ්කර ක්‍රියා සමයෙහි දුබල වූ සිවුරු වෙනුවට මෙය සකස්කොට ගෙන බෝමැඩට වැඩි බව පමණක් එහි ඇති වෙනසයි.
සමන්තපාසාදිකා විනය අටුවාවෙහි මෙන්ම අපේ වංසකථාවල සඳහන් බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ කස්සප ආරාමයේ සිටි දිනවල බව ද මෙහි සඳහන්ය. මහායාගයකට මහසෙනඟ රැස්වන එදින ගෞතමයන් අද මෙහි නොසිටිය හොත් මැනවැයි කාශ්‍යප සිතූ සිත දත් උන්වහන්සේ එදින ලංකාගමනය සිදුකළ බව එහි පවසා ඇත. අග්‍රශ්‍රාවක දෙනමගේ සම්ප්‍රාප්තිය මෙන්ම අපවත් වීමද විස්තර කිරීමට මේ නිදාන කතාවෙන් අවස්ථාව ලබා ගෙන තිබේ. රහතුන්ම සත්නමක් සිටි පවුලකට අයත් සැරියුත් තෙරණුවෝ ජාතගාමයෙහි ජාතොවරකයෙහි අපවත් වුහ. උන්වහන්සේගේ ශරීර ධාතු රැගෙන ආවේලෙහි බුදුරජාණන් වහන්සේ දෝතින් පිළිගෙන ගුණ වනා දෙව්රම් දොරටුවෙහි සෑයක් තනවා තැන්පත් කරවූහ. කාලසිලා පර්වතයෙහි අපවත්වූ මුගලන් තෙරුන්ගේ ධාතු ද පිළිගෙන සෑයක් කරවා තැන්පත් කරවූහ.
මින් පසු පරිනිබ්බානකථා විස්තරයට මහා පරිනිබ්බානසූත්‍රය ප්‍රධාන මූලාශ්‍රය වී තිබේ. බරණැස ප්‍රථම වස්විසීමෙහි පටන් බේළුවගම අවසන් වස්විසීමතෙක් වස්විසූ ස්ථාන දැක්වෙන විස්තරයෙහි පිළිවෙළින් ස්ථාන තිහක් සඳහන්ය. අවසන් ස්ථානය ද සඳහන්ය. සෙස්ස ගිලිහී ඇත. පිටපත් කිරීම්වලදී සිදුවූවක්දැයි නොකිව හැකිය. බුද්ධදේහය ආදාහනය සඳහා ගෙනයන අතරමඟ බන්ධුලමල්ලිකාවන් සිය ගෙදොරකඩ පෙරහැර නවතා සිය සැමියාගේ මරණින් පසු නොපැළදි මහාලතාපසාධනය සුවඳද්දියෙන් සෝදා ඔපදමා බුද්ධදේහයට පැළඳ වූ බවක් ද සඳහන් ය.
බුදුන් පිරිනිවි බස ඇසූ අජාසත්රජ සිහි සුන්ව ඇද වැටුණේය. එසේ වෙතැයි කල්තබා සිතූ ඇමතියෝ වෙදවරුන් විමසා ඔවුන්ගේ උපදෙස් මත බෙහෙත් ඔරු සාදවා තබා රජු එහි හොවා සුවපත් කරවූහ. පසුව ධාතු පතා කුසිනාරාවට ගිය රජතුමා ද්‍රෝණබමුණාගේ ධාතු බෙදීමෙන් ලත් කොටස රජගහනුවරට ගෙනගියේ උත්කර්ෂවත් අයුරිනි. පසුපසුව ධාතු ලබා ගැනීමට පැමිණියවුන්ට මහාකස්සප ආනන්‍ද තෙරවරුන් පාරිභෝගික වස්තූන් බෙදා දීම පිළිබඳ කමනීය විස්තරයක් ද එයි. නිදානකථා උද්දෙසයන්හි සඳහන් පරිදි නම් සන්තිකෙනිදානය බුද්ධපරිනිර්වාණයෙන් අවසන් විය යුතුය. එහෙත් ධාතුවිභාජනය ද ඊට ඇතුළත්ව තිබේ. මහාපරිනිබ්බානසූත්‍රයෙහි ද එය ඇතුළත් ය.
සම්පිණ්ඩිතමහානිදානයේ අරමුණ නිදාන කතා දැක්වීම බව ආරම්භයෙහිදී ප්‍රකාශ විය. එහෙත් එවැනි සමාප්තියක් නොපෙනෙන අතර සංගීතිකථා නමින් නවපරිච්ඡේදයක් අරඹා ප්‍රථම ධර්මසංගීතිය විස්තර කරයි. මේ විස්තරය ථෙරවාද සම්ප්‍රදායයෙහි විස්තරය හා සැසඳෙයි. අනතුරුව මහාකස්සපත්‍ථෙර පරිනිබ්බානකථා නමින් එක් කොට ඇති පරිච්ඡේදයෙහි මහාකස්සප තෙරුන් පිළිබඳව ථෙරවාද පොතපතෙහි නොසඳහන් කරුණු රාශියක් දක්නට ලැබේ. සංගායනාවෙන් ධර්මවිනය චිරස්ථායීවීමට කටයුතු යෙදූ කාශ්‍යප තෙරණුවෝ ධාතුන් වහන්සේලා සුරක්‍ෂිත කොට තැබීමේ වැදගත්කම සැලකූහ. ධාතු ඒකරාශි කොට දීමේ වගකීම භාරගෙන නිධානය ඉදිකිරීම අජාසත්රජුට භාරකළහ. හෙතෙම පොළොව අසූරියනක් සාරවා තඹතහඩු යොදා ථූපාරාම චෙතියඝරය තරම් ගෙයක්කොට විචිත්‍රාලංකාර කොට ධාතුනිධන් කොට මතු පියදාස නම් කුමරෙක් අශෝක නමින් රජව මේ ධාතු ගෙන විසුරුවා පතුරුවා පුදසත්කාර කරන්නේයයි ලියා තබා ආරක්‍ෂා පිණිස බලසංඝාට යන්ත්‍රයක් ද යෙදවීය. නිධන්ගැබ ලෝහයෙන් වසා පස් අතුරා ඒ මත සෙල්මුවා සෑයක් කරවීය.[13]
ධාතුනිදානය පිළිබඳ විස්මය ජනක අසිරිමත් විස්තරය එම කථාවේ පූර්වාර්ධය බඳුය. එහි අපරාර්ධය රසවාහිනී නම් පාලිකථාසංග්‍රහයෙහි තෙභාතික වස්තුවෙන්[14] හමුවෙයි. සුවාසූ දහසක් වෙහෙර විහාර ඉදිකළ අශෝක රජ ධාතු ලබා ගැනීමට විපරම් කළේය. එහිදී එකසියවිසිවස් මහතෙර නමකගෙන් ලත් ආරංචියක් අනුව සෙල්මුවා සෑය සොයා කැණබැලීය. පෙරකී බලසංඝාට යන්ත්‍රය සහිත ධනතුගෘහය සහ ලිපිය හමුවී ධාතු ලබා ගත්තේය.
ධාතුනිධාන කටයුතු අවසත් වීමෙන් පසු කාශ්‍යප තෙරණුවෝ තමන්ගේ ආයුසංස්කාරය බලා පිරිනිවීමට අදහස් කළහ. එකසිය විසිවන වියේ සිටි උන්වහන්සේ පිරිනිවන්පානා බව රජුට දැනුම් දීම සඳහා වැඩි නමුත් ඔහු නිඳා සිටි බැවින් ඇමතියන්ට දන්වා වැඩියහ. රජගහනුවර කුක්කුටසම්පාතපබ්බත නම් පර්වත තුන අතර පිරිනිවන් පානා බවත් එය දැක ගැනීමට අවශ්‍ය නම් එහි රැස්වන ලෙසත් භික්‍ෂූන්ට දන්වා වැඩියහ. එහිදී මහපිරිස් මැද දම්දෙසා පෙළහර දක්වා දිව්‍යෝපහාර මැද පිරිනිවියහ. ඒ සමඟම උන්වහන්සේගේ අධිෂ්ඨානය පරිදි පර්වතතුන මුදුනින් එකඝන විය. ආරංචිය ඇසූ සැණින් අජාසත්රජ බුද්ධපරිනිර්වාණය ඇසූ කෙණෙහි මෙන් සිහිසුන් විය. එදින ද බෙහෙත් ඔරු සූදානම් කොට ගෙන සිටි ඇමතියෝ රජු සුවපත් කරවූහ.
රජු මහපිරිස් සමඟ කුක්කුටසම්පාත පර්වතය වෙත ගිය විට සැදැහැබලය නිසාත් තෙරණුවන්ගේ අධිෂ්ඨානබලය නිසාත් පර්වතය විවරව දේහය දිස්විය. දිව්‍යෝපහාර සහිත දේහයට පුදපූජා කොට නිමවීමත් සමඟ යළිත් පර්වතතුන එකඝන විය. අදත් දේහය එතුළ පවතී. මතු මෙතේ බුදුන් භික්‍ෂූසංඝයා පිරිවරා එහි වඩින අතර දේහය පර්වතය විවරවී නික්ම බුද්ධහස්තය මත පිහිටයි. උන්වහන්සේ තෙරණුවන්ගේ ගුණ වනා අවසන් වීමත් සමගම අත්ලමතම ගිනිගෙන ආදාහනය වෙයි. ඉන්දීය සංචාරයේදී මේ තොරතුරු තමන්ට අසන්නට ලැබුණ බව හියුං සියෑං සඳහන් කොට තිබේ.[15]
මෙම පරිච්ඡේදාවසානයෙහි මෙතේ බුදු සිරිත හා සබඳතාවක් ඇතිවීමෙන් අනතුරුව අනාගතකථා නමින් නව පරිච්ඡේදයකට යොමුවෙයි. අනාගතවංසයෙහි මෙන් මෙහි ඇත්තේ මෙතේ බුදුසිරිතයි. ගෞතම බුදුන් වෙතින් සංකස්සපුරයෙහි දී විවරණ ලබා පැවිදිව මරණින් මතු දෙව්ලොව උපන් මෙතේ බෝසත්හු දැනටත් එහි වසති. ඒ බව ඒත්තු ගැන්වීමට අගනා කතාවක් ද එහි ඇතුළත් කොට තිබේ. ඒ මෙසේය. තම්බපණ්ණි දීපයෙහි රෝහණජනපදයෙහි මලයදෙව තෙරණුවෝ[16] චූළාමණි චේතියට මල් පූජාකිරීම පිණිස දෙව්ලොව වැඩියහ. එතැනට පැමිණි දෙවිවරුන් ගැන ශක්‍රයාගෙන් තොරතුරු ද විමසූහ. අනුරාධපුරයෙහි සිටි බොහෝ දන්පින් කොට දෙව්ලොව උපන් තන්තවාය දිව්‍යපුත්‍රයා එක්කෙනෙකි. දුට්ඨගාමිණි දිව්‍යපුත්‍රයා එක් කෙනෙකි. සද්ධාතිස්ස දිව්‍යපුත්‍රයා එක් කෙනෙකි. යසසින් සියල්ලන් අබිබවා පැමිණියේ මෙතේ බෝසත් දිව්‍යපුත්‍රයාය. එතුමන් සමඟ සතුටු සාමීචියෙහි යෙදී පෙරළා මිහිබට මලයදේව තෙරණුවෝ මිනිසුන්ට ඒ බව විස්තර කළහ.[17]
අනතුරුව මෙතේ බුදුසිරිත විස්තර කොට නිමවා අනාගතකථා නිට්ඨිතා යනුවෙන් එහි සමාප්තිය දක්වන නමුත් ග්‍රන්‍ථය අවසන් නොවෙයි. වෙනමම ග්‍රන්‍ථයකැයි අනුමාන කළ හැකි අවසන් පරිච්ඡේදය ඇරඹෙන්නේ එතැන් සිටය. මේ පිළිබඳව මුලදී ද ග්‍රන්‍ථපරිමාණය සලකා බලමින් මදක් සාකච්ඡා කළෙමු. අනාගත කථාවෙන් පසු කර්තෘසන්‍දර්ශක පාඨයක් ද සඳහන්ය. “ඉදං ධම්මපිණ්ඩං නාම අනුපුබ්බ පුබ්බාචරියවචනපරම්පරසාරිනා බුද්ධධම්ම විපච්චණික අහිතචිත්තෙන විචිත්තකථිනා ජිනවර ධම්මොදයෙන නාම ධම්මභාණෙන අභිසඞ්ඛතං නිද්දිට්ඨමෙව හොතීති.” යනු එම පාඨයයි. මේ අනුව ධම්මපිණ්ඩ නම් කෘතිය විචිත්‍රකථික ධම්මභාණක ජිනවරධම්මෝදයනම් තෙරණුවන් විසින් සංගෘහිතය. රතනත්‍රය නමස්කාර කොට නව පරිච්ඡේදය අරඹමින් “තතො පරං බුද්ධවංස පරිදීපකස්ස ධම්මසම්පිණ්ඩනස්ස අට්ඨකථං ච ගණ්ඨිවරං ච සමොධානෙත්‍වා කථෙස්සාමි” යි සඳහන්ය. එයින් මුලින් යෙදූ කර්තෘසන්දර්ශක පාඨයෙහි සඳහන් වන ධම්මපිණ්ඩය නම් ධම්මසම්පිණ්ඩනස්ස යන පදයෙන් ද කියැවෙන මේ පරිච්ඡෙදයයයි සිතමු.
ධම්ම පිණ්ඩය අගනා ධර්මව්‍යාඛ්‍යානයකි. එහි සම්පිණ්ඩිතමහානිදානයෙහි විස්තරවූ කරුණු බොහොමයක් පුනරුච්චාරණය වෙයි. කල්පවිස්තරය, පටිච්චසමුප්පාදය, අභිධර්මපිටකය පිළිබඳ විස්තර ඒ අතර වෙයි. ඒකකර්තෘක නොවන බවට එය උදාහරණයකි. ධම්මපිණ්ඩය අවසානයෙහි තවත් පොතකට මුල පුරමින් එක්වරම සමපිණ්ඩිතනිදානකථා නිට්ඨිතා යි පොත අවසන් කොට තිබේ.
බෝසත් සිරිත බුදු සිරිත ධර්මය දර්ශනය ශාසන ඉතිහාසය සම්බන්ධයෙන් වටිනා මූලාශ්‍රයයක් වශයෙන් සැලකිය යුතු සම්පිණ්ඩිතමහානිදානය කවර කලෙක කවුරුන් විසින් රචනා කරන ලදදැයි හරියටම නිශ්චය කළ නොහැකිය. නිදානකථා කොටස අටුවා සමයෙහි හෝ තදාසන්න කාලයක රචනා කරන ලදැයි එහි භාෂාව, රචනා ශෛලිය මෙන්ම විෂයසංග්‍රහය අනුව අනුමාන කළ හැකිය. අන්තර්ගත ලාංකේය තොරතුරු අනුව මෙය ලාංකේය උගතකුගේ හෝ කීපදෙනෙකුගේ කෘති සංග්‍රහයකැයි කීමට වඩා යමක් නොකිව හැකිය. බුරුම, කාම්බෝජ සහ ලංකාවේ පිටපත් වැඩිගණනක් එකරාශි කොට ගැඹුරු ශාස්ත්‍රීය පර්යේෂණයකින් පාළිභාෂා සාහිත්‍යයෙහි මෙන්ම ධර්මදර්ශනයන්හි උන්නතියට අදාළ බොහෝ කරුණු සම්පිණ්ඩිතමහානිදානයෙන් අනාවරණය කරගත හැකිය.
මේ පෞරාණික පාලිග්‍රන්‍ථය සිංහලෙන් පළ කිරීමට අදහස් කළේ එය අප රටේ පොදු බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධා බුද්ධි වර්ධනයට වටිනා අනුබලයකැයි පෙනී ගිය හෙයිනි. බසකින් බසකට අනුවාද කිරීමේදී මතුවන දුෂ්කරතා බොහෝ ය. ඒ අතර සම්පිණ්ඩිතමහානිදාන ග්‍රන්‍ථයෙහි දක්නට ලැබෙන ආකුලව්‍යාකුල පද, පාඨ, ඡේද හේතුවෙන් ද ගැටළු ඇත්තේ ය. ඒ සියලු කාරණා හේතුවෙන් අපගේ අනුවාදය සර්වතෝභද්‍රයයි නොකියමු.
මෙය පදයෙන් පදය අනුවාද කරමින් කළ ඡායානුවාදයක් නොවන අතර භාවානුවාදයක් ලෙසින් ඉදිරිපත් කොට ඇත. එබැවින් මවුපොතේ විෂය බද්ධ අදහස් කිසිවක් බැහැර නොවන සේ අනුවාද කිරීමට උත්සාහවත් වූයෙමු. ධර්ම විෂයගත පාරිභාෂික පද වැඩි වශයෙන් තත් වූ පරිද්දෙන් අනු වාදයෙහි ද යොදන ලද්දේ ධර්මාර්ථයට පටහැණි නොවන සේ යථාර්ථය උකහා ගැනීමට ඉඩ තැබීමක් වශයෙනි. ඓතිහාසික වශයෙන් ලක්දිව පැවති බෞද්ධ සම්මත බුද්ධචරිතය හඳුන්වා දීමේ ප්‍රමුඛ අභිප්‍රායයෙන් මේ “සම්පිණ්ඩිත මහානිදාන නම් පැරණිබුදුසිරිත” ග්‍රන්ථය අනුවාදිතය.
කොල්ලුපිටියේ මහින්දසඞ්ඝරක්ඛිත ස්ථවිර
ශ්‍රී කල්‍යාණි රාජමහාවිහාරය,
කැලණිය.
20.03.2006
-
ශ්‍රී සද්ධර්මාවවාදසංග්‍රහය - 24 පිට. පණ්ඩිත වේරගොඩ අමරමොලි නාහිමිසංස්කරණය 1956. ↑
-
පාලි සාහිත්‍යය II කාණ්ඩය 454-57 පිටු පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි 1952 ↑
-
Pali-English Dictionary (P.T.S.) p.692- 1956 ↑
-
ජාතකට්ඨකථා (හේ.මු) 1 පිට 1926 මධුරත්‍ථව්ලාසිනී (හේ.මු.) 4 පිට 1922 ↑
-
පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය 63-66 පිටු. ඊ.ඩබ්. අදිකාරම් (දෙවන මුද්‍රණය) 2003 ↑
-
ලංකා පාලිසාහිත්‍යය 1. අධොලිපිය 63 පිට. ගුණපාලමලලසේකර (ප්‍රථම සිංහල මුද්‍රණය) 1965 ↑
-
ජාතකට්ඨකතා (හේ.මු.) 1 පිට 1926 ↑
-
මධුරත්‍ථවිලාසිනී (හේ.මු.) 4 පිට 1922 ↑
-
අශ්වඝොෂ බුදධචරිතය (1 භාගය) 13 පරි. 157-75 පිටු. චෞඛම්භා විද්‍යාභවන්. 1993 මුද්‍රණය. ↑
-
සම්පිණ්ඩිතමහානිදාන - සන්තිකෙ නිදාන ↑
-
සමපිණ්ඩිතමහානිදාන - සන්තිකෙ නිදාන ↑
-
ලලිතවිස්තරය නෛරඤ්ජන පරිවර්ත 28-30 පිටු. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ප්‍රකාශනය 1961. ↑
-
සම්පිණ්ඩිතමහානිදාන - මහාකස්සපත්‍ථෙර පරිනිබ්බාන කථා. ↑
-
රසවාහිනී - තෙභාතිකමධුවාණිජකයානංවත්ථු. 95–96 පිටු. සරණතිස්ස ථෙර සංස්කරණය 1913 ↑
-
හියුං සියෑං භ්‍රමණවෘත්තාන්තය 257-58 පිටු. පොල්වත්තේ ශ්‍රි බුද්ධදත්ත නාහිමි 1952 ↑
-
පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය - ඊ.ඩබ්. අදිකාරම් 158–60 පිටු. මලයදේව තෙර විස්තර සඳහා බලන්න. ↑
-
සම්පිණ්ඩිතමහානිදාන - අනාගතකථා. ↑