නැවත බුද්ධ වංශ දේශනා ගමනේ ම අනාගත වංශයට අවසර තුබූ සේක. එ හෙයින් සොළසාසැකි කප් සුවහසක් පැරුම් පුරා නිමවා තුසී පුරෙහි වසන මෙතේ බෝසත්හු අපගේ බුදුන්ට පරමායු හවුරුදු සියය ක්‍රම ක්‍රමයෙන් පිරිහී පස්වා දහස ඉකුත් ව දස අවුරුදු වයසට ගොසින් පෙරළා ධර්‍ම සමාදානයෙන් ක්‍රම ක්‍රමයෙන් වැඩී හවුරුදු අසඞ්ඛ්‍යයට ගොසින් පෙරළා ත් අධර්‍ම සමාදාන ය නිසා ක්‍රම ක්‍රමයෙන් පිරිහී දඹදිව් වැස්සන්ට අසූ දහසක් විතර ආයු ඇති කල්හි මෙතේ බුදුහු බුදු වෙති. ඒ මහා පුරුෂයාණන් විවරණ ලද්දේ කවර කලෙක ද යත් -
මෙතේ මහ බෝසත්හු තුමූ සොළසාසැකි කප් සුවහසකින් යට දඹදිව එක්තරා නුවරෙක ප්‍රභාවත් නම් සක්විති රජ ව උපන්හ. එ කල ලෙව්හි මුහුර්‍ත නම් බුදු කෙනකුන් වහන්සේ බුදු ව දහම්සක පවත්වා නො එක් ලක්‍ෂ ගණන් මහණ ගණා පිරිවරා සත්‍වානුග්‍රහ කරන සේක. ප්‍රභාවත් නම් සක්විති රජහු ද බුදුන් ලොව පහළ වූ නියාව අසා එක්සිය සිව් සාළිස් ගවුවෙක පැතිර සිටි සක්විති පිරිස් පිරිවරා බුදුන් කරා ගොසින් සක් රුවන බුදුන් ට පුදා පියා බුදුන් වැඳ ගෙන පිරිස් හා සමඟ එකත් පස් ව හිඳ බණ අසා පැහැද සක්විති සැපත් හැර පියා ඒ බුදුන්ගේ සස්නෙහි මහණ ව රත්න තෙරුන් වහන්සේ ය යි යන නභොමධ්‍යගත පුන්සඳ මෙන් ගුණ නුවණින් ප්‍රසිද්ධ ව අභිඥාලාභී ව නිරායාසව තිබෙන හෙයින් නිවන් දකින්ට පිළිවන් වුව ත් සසර දුක් ගෙන සිටිනා බොහෝ සතුන් දැක කරුණා අදහසින් උන් හැම දෙනා සසර නමැති වළින් නගා නිවන් ගොඩ පිට ලනු නිසා බුදු බව පතා වීර්‍ය්‍යාධික ව දන් දීමෙහිත් තර අදහස් ඇති ව වසන සේක. එ කල ධම් සභා මණ්ඩපයෙහි රැස් ව හුන් වහන්දෑ මේ ස්ථවිරයන්ගේ තරම් ඉතා බලවත. මූ මතු ශක්‍ර වෙත් දෝ බ්‍රහ්ම වෙත් දෝ කුමක් වෙත් දෝ’යි කථා ඉපැද වූ සේක.
එ කල මුහුර්ත නම් බුදුහු සරහන ලද ධම් සෙබෙයි දහසක් රසින් මුහුදු කුස බබලන හිරුමෙන් සවනක් රසින් සියලු ධම් සෙබෙයි රන් රස ධාරා ඉස්නාක් මෙන් තරු කැල පිරිවැරූ පුන් සඳ මෙන් මහණ ගණා පිරිවරා පනවන ලද බුදු හස්නෙහි වැඩහුන් සේක. සුපිපි රත් පියුම් වනයෙක හැසිරෙන පස් පැහැයෙකින් හොබනා බමරුන් දෙන්නකු මෙන් පස් පැහැයෙකින් හොබනා ඇස් සඟළින් මහණ පිරිස බලා ඒ වහන්දෑගේ අදහස් දැන සිවු දෑ සුවඳ පුරා ලූ කරඬුවෙක පිධානයක් හරන කලක් මෙන් මුඛ පද්ම ය විවෘත කොට බ්‍රහ්ම නාදයට ත් වඩා ශෝභාමත් වූ කට හඬින් වහන්දෑ බණවා ලා ‘එම්බා මහණෙනි රත්න ය යන නමට තරම් ගුණ ඇති තෙල මහණ ලඝු එකෙක් නො වෙ යි. බුදු බිජුවටෙක වැසි වලායෙකින් වැසී සිටියා වූ හිර මෙන් ද, වලා හස්සේ සැඟවුණු පුන් සඳක් මෙන් ද, හළුවෙන් සැඟවුණා වූ ගිනි කඳක් මෙන් ද, පසින් වැසී තුබූ මැණිකක් මෙන් ද, පොළොව යට තුබූ මහා නිධානයක් මෙන් ද, භවයෙන් වසා ගෙන තිබෙන බුදු පැළයෙක.
ප්‍රබුද්ධාසන්න වූ පියුම් කැකුළක් මෙන් ද, යුගඳුරු මුදුනට ආසන්න වූ ළහිරු මඬලක් මෙන් ද, වඩ දියට ආසන්න වූ යුගඳුරු පව්වක් මෙන්ද, බුදුවන්නට ආසන්නව මාගේ ශාසනසෙහි අවුත් මහණ වූ මොහු රුවන් මහ නැවෙක ඈඳී සිටිනා රන් ගල් වතක් මෙන්ද, සඳ මඬලට ළං වූ තරුවක් මෙන් ද, මහ මෙරට ආසන්න වූ යුගඳුරු පව්වක් මෙන්ද, මහ සදැතක්හු ගාවා සිටියා වූ සදැත් පැටවකු මෙන් ද, සක්විති කෙනකුන් ළඟ සිටි පුත් රුවනක් මෙන්ද, මහ බඹුට ළං වූ බ්‍රහ්මපැටවකු මෙන් ද, මට ළං වූ මොහු එසේ මෙසේ කෙනෙක් නො වෙති. මතු එන දවස සොළසා සඞ්ඛ්‍ය කප් සුවහසක් ගිය කලට මෙත්තෙය්‍ය නම් බුදු වෙති’යි විවරණ දුන් සේක.
ඒ මහ බෝසත්හු ද මුහුත්ත නම් බුදුන්ගෙන් විවරණ ලදින් සොළසාසැකි කප් සුවහස් මුළුල්ලෙහි -
‘දසතො පාරමී නත්‍ථි – දසතො නත්‍ථි ඌනතා,
අනූතා අනධිකා සබ්බා - පූරිතා දස පාරමී’.
යනු හෙයින් පැරුම් දස ය පාරමිතා, උප පාරමිතා, පරමාර්ථ පාරමිතා හෙයින් තිසක් කොට පුරා නිමවා දෙවි බඹුන්ගේ අයද මෙන් බුදු වන්ට මිනිස් ලොව උපදිත් නම් එකලට දඹදිව කෙතුමතී නම් වූ රාජධානියෙක පහළ වෙයි. එ නුවර දිගින් අට සාළිස් ගවුවක් පමණ ය. පළලින් අටවිසි ගවුවක් පමණ ය. පිරිසිදු වූ අදහස් ඇති දේවතා සමූහයක් වැනි වූ ජනයන්ගෙනු ත් ගහන ය. සතුරන්ගෙනු ත් එ නුවරට ක්‍ෂෙම හෙයින් කට හැක්කෙක් නැත. ධර්මයක් විනා අධර්‍මයකු ත් නැත. එ නුවර තබා රට දනවුව මුළුල්ලෙහි ත් නැත.
එ සේ වූ කේතුමතී නුවර සතර මහා දිවයිනට නායක වූ සත් රුවනින් සමන්විත වූ සඞ්ඛ නම්. සක්විති රජ්ජුරු කෙනෙක් වෙති. ඒ රජ්ජුරුවන්ගේ ශරීරයෙන් සඳුන් සුවඳ හම යි. බැණ නැඟි කල කටින් මහනෙල් මල් සුවඳ හමයි. කඩු ගත් දෙවියෝ සතර දෙනෙක් උන්ට රකවල් ගෙන සිටිති. අහසින් යන්ට ශක්ති ඇත්තෝ ය.
ඒ කේතුමතී නම් නුවර සඞ්ඛ නම් සක්විති රජ්ජුරුවන්ගේ කුශලානුභාවයෙන් උන් වසන පරිද්දෙන් දිගිනුත් පළලිනුත් දෙ ගවු දෙ ගවු පමණ වූ උසින් සියක් ගවු පමණ වූ උස ඇති නොයෙක් ධජයෙන් ගැවසී ගත් ඉඳුනිල් මිණිමුවා සිවු මැදිරි කවුළු දොර ඇති හෙබියා වූ සත් රුවන්මය මාළිගාවක් පහළ වෙයි. සඞ්ඛ නම් රජ්ජුරුවෝ එහි වෙසෙති.
ඒ සඞ්ඛ නම් සක්විති රජ්ජුරුවන්ට දෙවඟනන් වැනි මන හර රූ ධරන්නා වූ නො එක් ආභරණ පළන් නැටීම් ගී කීම් ආදියෙහි දක්‍ෂ වූ සුවාසූ දහසක් විතර නළු ගෑනු වෙති. පුතුන් දහසකට නායක අජිත කුමාර නම් පුතණු කෙනෙක් පරිනායක රත්න වෙති. ඒ රජ්ජුරුවන් යම් තැනකට නික්මුණු කලට ගසන පිඹින අය ත් අට සාළිස් ගවුවක් විතර පැතිර සිටිති. රන් සූත්‍ර ලා ශාන්ති කොට සිටිනා බ්‍රාහ්මණ පර්‍ෂත් සියක් ගවුවෙක පැතිර සිටිති. සව් බරණ ලා සැරහුණා වූ නො එක් වෙස් ගත් අමාත්‍ය මණ්ඩලයා එක් සිය දෙයානු ගවුවෙක පැතිර සිටිති.
සෙසු නිකම් පර්‍ෂත් තුන්සිය සැට ගවුවෙක පැතිර සිටිති. සිවුරඟ සෙනඟ ගවු දෙදාසක් විතර පැතිරී සිටිති. සතර දිග සුවාසූ කෙළ දහසක් පමණ බල ඇණි සිටිති. එ කලට දඹදිව සුවාසූ දහසක් විචර නුවර ඇති වෙයි. අනූ කෙළ ලක්‍ෂයක් විතර රජ දරුවෝ වෙති. ඌ හැම දෙන ම සඞ්ඛ නම් සක්විති රජුන්ට අනුව වෙසෙති. ඒ සඞ්ඛ නම් රජ්ජුරුවෝ මෙ තරම් ශ්‍රී සමෘද්ධියක් ඇති ව ඒ මාළිගාවේ වෙසෙති.
තව ද එ ම කේතුමතී නම් නුවර -
තථාපි තස්මිං නගරෙ - නානා වීථි තහිං තහිං,
සුමාපිතා පොක්ඛරණී - රමණී යා සුපතිත්‍ථකා,
අච්ඡොදකා විප්පසන්නා - සාදු සීතා සුගන්ධිකා.
-
සමතිත්‍ථකා කාකපෙය්‍යා - අථො වාලුකසන්ථතා,
පදුමුප්පල සඤ්ඡන්නා – සබ්බොතුකමනා’වටා.
යනු හෙයින් ධජ පතාකාදියෙන් හා පුන්කළස් මල් ඇගෑ ආදියෙන් හා නිරන්තරව සරහා තිබෙන්නා වූ ඇත්-අස් ආදීන්ගෙන් හා ස්ත්‍රී පුරුෂ සමූහයාගෙන් පිරී සිටිනා වූ කස්තුරු කපුරු කළු වැල් ආදී වූ සුවඳ තබා විකුණන සුවඳ පිළින් හා දෑ සමන් බෝලිද්ද සිහිනිද්ද උපුල් මහනෙල් ආදී වූ මල් තබා විකුණන සල්පිළින් හා සළු පිළී ආදී වූ පිළි තබා විකුණන පිළීසල් හා ඇල් වී ආදි ය තබා විකුණන ධාන්‍යාපණ වලින් හා මුතු මැණික් ආදී වූ රුවන් තබා විකුණන රත්නාපණ වලින් හා ඉතා හොබනා වූ මුතු පට හා සමාන වැල්ලෙන් තැවරී තිබෙන නො එක් වීථි ඇත.
තව ද කේතුමතී නම් රාජධානියෙහි කුසාවතී නම් නුවර සුදසුන් මහ රජුන්ගේ කුශලානුභාවයෙන් පහළ වූ පොකුණු මැවී ගියා සේ නෙත් සිත්කලු ඉවුරු හී තිබෙන්ට නැති බැවින් බස්නට පාසු ව තිබෙන සත්රුවන්මුවා රළපාණ ඇති, තව ද ප්‍රසන්න වූ සිහිල් වූ මිහිරි වූ පැන් ඇති ගොඩ හුන් කපුටුවන් තුඩ පොවා පිය හැකි තරම් හැම කල ම පිරී සිටිනා පියුම් ඉපුල් ආදියෙන් හා මහනෙල් මල් ආදියෙන් ගැවසී ගත් පොකුණුත් එනුවර ඒ ඒ තන්හි ඇත.
තව ද ඒ කේතුමතී නුවර සිසාරා සත් රුවන්මුවා පවුරු වළලු සතෙකු ත් පහළ වෙයි. පවුරු වළලු දෙකකට මධ්‍යයෙහි තල් පන්තියක් වන නියායෙන් තල් පන්ති සතෙකු ත් සත් රුවන්මුවා නුවර වටා පහළ වෙයි. ඉන් එක් තල් පන්තියෙක් රන්මුවා ය. එක් තල් පන්තියෙක් රිදීමුවා ය. එක් තල් පන්තියෙක් වෙරළු මිණිමුවා ය. එක් තල් පන්තියෙක් පිළිවහණමුවා ය. එක් තල් පන්තියෙක් රත් මැණික්මුවා ය. එක් තල් පන්තියෙක් මැසිරි ගල් මැණික්මුවා ය.
එක් තල් පන්තියෙක් සත්රුවන් මුවා ය. ඉන් රන්මුවා තල් පන්ති ය රන්මුවා පවුර ගාවා සිට්ටි. රිදීමුවා තල් පන්ති ය රිදීමුවා පවුර ගාවා සිට්ටි. මැණික් මුවා තල් පන්ති ය මැණික් මුවා පවුර ගාවා සිට්ටි. සත් රුවන්මුවා තල් පන්තිය සත්රුවන් මුවා පවුර ගාවා සිට්ටි. ඉන් සත් රුවන්මුවා පවුර සැට රියනක් විතර උස ඇති ව මධ්‍යයෙහි සිට්ටි. පවුරු තුනෙක් ඊට ඇතුළත ක්‍රම ක්‍රමයෙන් මිටි ව සිට්ටි. පවුරු තුනෙක් ඊට පිටත ක්‍රම ක්‍රමයෙන් මිටි ව සිට්ටි. තාලපන්ති උසින් අසූ රියන් පමණ උස ඇති.
“චතුක්කෙ නගරද්වාරෙ – කප්පරුක්ඛො භවිස්සති,
නීලං පීතං ලොහිතඞ්කං - ඔදාතඤ්ච පහස්සරං.”
යනු හෙයින් වීථිකොන්වලත් නුවර වාසල් ගාවා ත් පොළොව පළාගෙන කප් රුක් නැංගේය. හේ කුමන කුශලයෙන් ද යත් -
කලෙක කුළුපොතු දෙපුතු පිය කෙනෙක් දිඹුල් දණ්ඩෙන් ගෙයක් ඉදි කොට වස් සතෙක. පසේ බුදුවරුන් වහන්සේ සත් නමක් වස් වසවා උපස්ථාන ත් කොට සත් වස ම පිරිකර ත් දන් දී ඒ පින් කමින් දෙව්ලොව ඉපැද අනන්ත කාලයක් දෙව් සැපත් විඳ ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් සක් දෙවිඳුගේ විධානයෙන් පනස් දහසක් හවුරුදු දූ දරු කෙනකුන් නැති හෙයින් දරුවන් පතා පේ ව හොත් සුමේධා බිසොවුන් කුස සුරූවි රජ්ජුරුවන්ට දාව ඉපැද මහා පනාද නම් රජ ව දිඹුල් දණ්ඩෙන් කළ ගෙය මත්තෙහි විපාක තව ම නිමන්ට නැති හෙයින් සක් දෙවිඳුගේ නියෝගයෙන් විස්කම් දෙවි පුත්හු මවා ලූ දිගින් පළලින් දෙගවු දෙ ගවු පමණ දිග පළල ඇති සියක් ගවු විතර උස ඇති සියක් මාල් ඇති මාළිගාවෙහි අසංඛ්‍යයක් හවුරුදු රජ සැපත් විඳ පෙරළා අවුත් දෙව්ලොව ඉපැද සම්පත් විඳුනෝ අපගේ බුදුන් දවස නිවන් සම්පත් විඳිනා නිසා දෙව්ලොවින් අවුත් භද්දජි නම් සිටු පුත් ව සසුන් වැද මහණ ව රහත් වීමෙන් කළ පින් ගෙවා පීහ.
එක් පින් කළ අනික් නළකාර දෙව් පුත් දෙව් ලොව වැස මෙතේ බෝසතුන් බුදු වන්ට කේතුමතියෙහි උපදනාට පෙරාතු ව එ ම කේතුමතියෙහි සංඛ නම් සක්විති වෙයි. හුදෙක් මහාපනාද රජ්ජුරුවන්ගේ ම කුශලානුභාවයෙන් පහළ වුණු හෙයින් සංඛ නම් සක්විත්තනු ත් මුසු ව කළ පින් හෙයින් උන්ට ත් මැවුව මනා වේ දැ යි යන්නාක් මෙන් මහාපනාද රජ්ජුරුවන් නැති වන්නා ම තෙමේ ත් නැති නොව ආසට පැන නැඟී ආසින් ගොසින් ගඞ්ගා නම් ගං පත්ලෙහි සැඟවී තිබී සංඛ නම් සක්විති රජ්ජුරුවන් කුළු පොතු අවස්ථාවෙහි දිඹුල් දණ්ඩෙන් කළ ගෙය ලඝුව ත් පසේ බුදුවරුන් වහන්සේට ගන්වා ලීමෙන් පැවැති කුශලය ලඝු නොවන නියාව ත් සංඛ නම් රජ්ජුරුවන් කුළු පොතු දෙ පුතු දෙන්නාගෙන් අනික් තැනැත්තන් නියාව ත් හඟවන්නාක් මෙන් සියක් මාල් රුවන් පාය ගං පත්ලෙන් උඩ නැඟී මුබ අවුත් මෙ නුවර පිහිටි ය. කළ පින්කම් නම් ඒ ම නොවන හෙයින් තව ත් තව ත් ඇති හෙයින් ඒ පින්කම් විපාක අපි හඟවම්හ’ යි යන්නාක් මෙන් මහ පොළොව පළා ගෙන නුවර ඒ ඒ තැන කප්රුක් නැංග. ඒ කප් රුක්වලිනු ත් එහි වසන රජ්ජුරුවන් පටන් සියල්ලවුන්ගේ කුශලානුභාවයෙන් පහළ වූ හෙයින් දිව සළුත් එහිම ඇත. දිව ආභරණ ත් එහි ම ඇත. උපභෝග පරිභෝග වස්තු සොයා එහි වසන්නවුන් ඔබ්බකට ගිය මැනැවැ’යි නැත. ඒ සියල්ල ම එහි ම ඇත.
“තතො නගරමජ්ඣිම්හි – චතුස්සාලං චතුම්මුඛං,
පුඤ්ඤකම්මාභිනිබ්බත්තො – කප්පරුක්ඛො භවිස්සති.”
යනු හෙයින් නුවර මැද සිවුරැස් ව දොර සතරකුත් ඇති ව තිබෙන්නා වූ ශාලාවෙකු ත් බොහෝ දෙනා රැස් ව සැතපී හිඳිනා නිසාත් විසිතුරු වූ කර්මාන්ත කුශල නමැති වඩුවන් විසින් සකස් කොට ඉදිකරන ලද ඒ ශාලා දොරකඩ පොළොව පළා ගෙන කප් රුකෙන් නැංග. වීථි කොන් වල නැංගා වූ කප්රුකින්, වාසල් ගාවා නැගි කප්රුකින්, නුවර මැද නැංගා වූ කප් රුකින්, සිවුරැස් ශාලාව කෙරේ නැංගා වූ කප් රුකිනැ’යි මේ කප් රුක් මුළුල්ලෙන් කපු පිළි තිහිරි පිළී ආදී වූ පිළීත් කැමැති කැමැති යම් කෙනකුන්ට සම්භව වෙති. තවද පැළැන්ද යුතු වූ මුත්හර තිසර සංඛලා බාහුදණ්ඩි ආදි වූ ආභරණ ත් කප් රුක්වලින් ම සම්භව වෙයි.
තව ද එකල සීයකින් වපකින් නො ව තෙමේ තමාට ම හටගත් රත් හැලෙයි එක කරලෙක වී දෙදාස් දෙසිය දෙ සැත්තෑ යාළ සොළසාමුණු අට ලාසක් වන හෙයින් කුඹුරු විකක් නැත ත් කරලෙදී ම දවසෙය්‍යා නැති ව, කුඩු ත් නැති ව හැල් සාලේ බත්ම එවක උපන් මිනිසුන්ට සෑහෙන්නේ ය.
එ කල ඒ කේතුමතී නම් නුවර වසන සත්‍වයෝ ඒ ඒ තැන පහළ ව තිබෙන්නා වූ දෙව් ලොව නන්‍දා නම් පොකුණ සේ ශෝභාමත් වූ පොකුණු වලින් ගැලී නා පියා කප් රුක්වලින් හෝ නොහොත් නුවරින් ම නිරායාසයෙන් සම්භව වන සුවඳ විලවුන් ගෙන මල් පැළඳ ගෙන කප් රුක්වලින් තමන් තමන්ට අභිප්‍රාය වූ සළු සොළි පිළි හැඳ පියා අභිප්‍රාය ලෙසින් කැමැති කැමැති ආභරණ ත් පැළඳ ගෙන නිරායාසයෙන් සම්භව වන සුවඳ හැල් සාලේ බතු ත් අනුභව කොට දිව යහන් වැනි වූ යහන් වලට වැදහෝනාහු, දෙවියන්ගේ ගී වැනි ගී අසන්නාහු, දෙව් දූන්ගේ නැටීම් වැනි නැටීම් බලන්නාහු, නිඳා පියා නැවත ගී කියන හඬින් ම පිබිද රන් වැටවල ඇවිළෙන සුවඳ තෙල් පහන් ආලෝකයෙන් තමන්ගේ සම්පත් බලා සතුටු වන්නාහු, කයට සිතට පීඩාවක් නැති ව සුව සේ වෙසෙති.
මෙතේ බුදුන් උපදනා හෙයින් මේ තරමක් ඇත්තේ කේතුමතී නුවර මතු නොවෙයි. දඹදිව මුළුල්ලේ ත් ඒ තරමේ ම යහපත් වෙයි. කෙසේ ද යත්- දස දහසක් යොදුන් දිග පළල ඇති
දඹදිවින් මිනිසුන්ට ප්‍රයෝජනවත් ව තිබෙන තැන නිෂ්කණ්ට ක ය; සොර භයෙක් සතුරු භයෙක් තමා ම නැත. නොහොත් හැම තැන ම මොළොක් පහස් ඇති වැල්ලෙන් හා හී තණින් ගැවසී තිබෙන හෙයින් කොයි යත ත් පය ඇනෙන කටු කණු නැති, තව ද හළු ගා උඩෙර බැඳ ලබ්ධි ගෙන ඇවිදිනාවුන් නැති හෙයින් හෝ නොහොත් මිනිසුන් ගහණ ව සමෘද්ධ ව තිබෙන හෙයින් වල් ව තිබෙන්ට නැති හෙයින්, කටු කැලෑ ආදි ය නැති ව හෙළිව තිබෙ යි. වළ ගොඩ නැති ව අතුල් තල මෙන් සමතලව තිබෙයි. ධූලි නො නැඟෙන්ට නිල් පලස් වසාලූවාක් මෙන් හැම තැන ම හී තණ ඇති ව තිබෙ යි.
දසයොජන සහස්සානි – ජම්බුදීපො භවිස්සති,
අකණ්ටකො අගහණො – සමො හරිත සද්දලො.
යනු ඒ හෙයින් වදාරන ලද -
එ කල උපන් මිනිසුන්ට එක ද රෝගයකු ත් නැත. උන් හැමට රෝගයෙක් වේ නම් බත් කැව මනා වේලාට ඇති වන බඩ සාය හා බත් කා පුරා පී වේලාට පෙරළා බඩසාය ඇති වන තෙක් බතට රුචි නැති වීම හා හවුරුදු අසූ දහස නිමන්ට ආසන්නයෙහි මාලු වීම හා මේ තුන ය. එකල පන් සියයක් හැවිරිදි කුමාරිකාවරුන් එතරම් ම වයස් ඇති කුමාරවරුන්ට සරණ පාවා දෙති. ආයු බොහෝ අවධි ය හෙයින් කල් යවා සරණ පාවා දුන්නා නම් වෙයි. එසේ පාවා දී ලූ කල මිය වෙන් වන තෙක් සමඟ ව වෙසෙති. සියලු මුළු ලොව නැංගා වූ ගසෙක් කොළෙක් ඇත්නම් මලින් පලින් සැදී සිට්ටි. ගිමෙක ඇලෙක යන දෙයක් සත්‍වයන්ට තමා ම නැත. වැසි වස්නා කල එක් තැනෙක වැස පියා අනික් තැනෙක නො වස්නේ ත් නැත. බිම් තෙමෙන පමණකට මදක් වස්නේත් නැත. වැව් අමුණු ආදි ය කැඩෙන ලෙසට තර ව වස්නේත් නැත. ගොයම් වප ආදී වුවමනා කල තබා පියා දීම් මැඩීම් ආදී වූ නො වටමනා කල වස්නේත් නැත. පස් දවසින් දස දවසින් දෙ පෝයෙන් වස්සි.
වස්නා කල ත් මධ්‍යම රාත්‍රියෙහි වැව් අමුණු පුරා වැස ලා පායා පිය යි. සුළං හමන කලත් ප්‍රයෝජනවත් ව තිබෙන ගස් කොළන් කඩා පලවා පියන තරම් ව ගෙවල් විදන තරම් ව නො හමා ප්‍රයෝජනවත් තරමෙක හම යි. හැම කල ම ඍතු සම්පන්න ව තිබෙයි. ප්‍රයෝජනවත් ව තුබූ ගං හෝ ආදිය වියලී නැති වන්නේත් නැත. හැම දවස් ම වැස ලන සැටි ය යහපත් හෙයින් පිරී ම සිට්ටි. සියලු දඹදිව මුළුල්ල සක්විති රජ්ජුරු කෙනකුන් උයන් කෙළියට සරහාලූ උයනක් මෙන් හැම කලම සැරහී සිට්ටි. දඹදිව මුළුල්ලෙහි ම මේ ගම පිටිසේනෙන් අනික් ගම පිටිසේනට කුකුළන් පියාසර කරන තරමට හෝ නොහොත් මෙ ගම් අතුරෙහි පටන් අනික් ගම් අතරට කුකුළන් පයින් නැඟී යන තරම් ගම් ගෙවල් ගහන ය. අවීචි නරකයෙහි පැසෙන සතුන් ගහනයා සේ දඹදිව මිනිස්සු ත් ගහන ය. සියලු සම්පත්තීන් ම අඩුවක් නැති ව ගෙන වෙළඳුන් ගෙනා විකිණි බඩු ඇර ගන්නවුන් නැති ව විකපත් නො වන හෙයින් උන්ගේ බඩුයෙහි අගය ත් නස්සී. දෙවියන්ගේ අළවු මදාරා නුවර මෙන් ඉතා සිත් කලු ය.
දඹ දිව එසේ වූ අවධියෙහි මෙතේ බෝසත්හු දෙවි බඹුන්ගේ අයදමෙන් කල් දෙස් ආදිය විමසා බුදු වන්ට කල් හෙයින් දඹදිව මධ්‍ය දේශයෙහි කේතුමතී නම් නුවර ඒ අවධියට බමුණු කුල ය උතුම් බැවින් සංඛ නම් සක්විති රජ්ජුරුවන්ට පුරෝහිත වූ සුබ්‍රාහ්මණ නම් බමුණු උතුමාණන් නිසා දස මස් සත් දවසට ආයු ඇති බ්‍රහ්මවතී නම් බ්‍රාහ්මණීන් කුස ඇසළ මස මැඳි පොහෝ දවස් පිළිසිඳ ගෙන දස මසක් මවු කුස වැස දස මස් අයාමෙන් බිහිවන තෙක් මහ බෝසතුන්ට ත්, වදන මෑණියන්ට ත් උවදුරු දුරු කරන නිසා මේ මඟුල් සක්වළ සතර මහ වරම්හු කඩු හැර ගෙන ශ්‍රී යාන්ගබඩාවේ සතර කොන රකවල් ගනිති.
දස දහසක් සක්වළ සතළිස් දහසක් වරම්හු ගබඩාවේ දොරකඩ පටන් සක්වළ ගල දක්වා රකවල් ගනිති. දෙවියන් විසින් ගන්නා ලද රකවල් ඇති බ්‍රහ්මවතී නම් බ්‍රාහ්මණිනු ත් දස මස පිරෙන්නා ම කේතුමතී නුවර මඟුල් උයන්හි දී වදති. බිමට බිහි වන තෙක් අනගැමි බඹු සතර දෙනෙක් අවුත් රන් දැලෙකින් පිළි ගනිති. උන් අතින් සතරවරම්හු අභිමඞ්ගල සම්මත වූ අඳුන් දිවි සමෙකින් පිළිගනිති. උන් අතින් ඇමැත්තෝ දුහුල් සළුවක් හකුළුවා ලා ඉන් පිළිගනිති. උන් අතින් බිමට බැස දෙ පත්ල තර ව බිම ඔබා ලා නැගෙනහිර දසාව බල බලා සිටිනාහ. පොළොව මනා කොට පතුල් පිහිටවීම නම් මහා පුරුෂ ලක්‍ෂණ දෙතිසක් විතර ආශ්චර්‍ය්‍ය පහළ වන්නා සේ ම පහළ වන හෙයින් ඉන් එකෙක.
දෙතිස් මඟුල් ලකුණු වන්ට කාරණ කවරේද යත් - සොළසා සැකි කප් මුළුල්ලෙහි බුදු වනු නිසා දනක් දෙතත් මඬෙහි හිඳුවාලූ හිරටක් සේ වෙවුලැසි නො ව තර අදහස් ඇති ව යම් බෙහෙත් ගසෙකින් මුල් කැමැති කෙනෙක් මුල් හැර ගෙන යෙත් ද, ගැට කැමැති කෙනෙක් ගැට ගෙන යෙත්ද, සුඹුළු කැමැති කෙනෙක් සුඹුළු හැර ගෙන යෙත්ද, කඳ කැමැති කෙනෙක් කඳ කපා ගෙන යෙත් ද, වෙළෙප් කැමැති කෙනෙක් වෙළෙප් ගෙන යෙත්ද, අතු කැමැති කෙනෙක් අතු කපා ගෙන යෙත් ද, කොළ කැමැති කෙනෙක් කොළ ගෙන යෙත් ද, මල් කැමැති කෙනෙක් මල් ගෙන යෙත් ද, ඵල ජාති කැමැති කෙනෙක් ඵල ගෙන යෙත්ද, ගෙන යන්නවුන්ට ඒ බෙහෙත් ගස් කරන බාධා නැත් ද, එ මෙන් රන් රිදී-මුතු මැණික් ආදිය ත් ඉස්-ඇස්-මස් ආදිය ත් ඉල්වා ආ කෙනකුන්ට බුදුවීම් අදහසෙහි තර ව පිහිටා දුන්හ.
සිල් රක්‍ෂා කරන කලත් ‘මේ සිල් නමැති පැන් නම් දහස් ගණන් ගංවල පැනිනු ත් සෝධා හළ නො හැකි කෙළෙස් කිලුටු සෝධා හැර පිය යි. සඳුන් පිනිදිය ආදියෙනු ත් හළ නොහැකි කෙළෙස් මහ ගිම් සන්හිඳුවා ල යි. තවද සත්‍වයන් සරහා ලන්නා වූ වොටුනු ආදී වූ ආභරණ ත් මේ සිල් නමැති ආභරණයට නො එක් ලෙසින් අඩු ය. නිවන් මහ නුවරට මාවත් මඟක් හා සරි ය. සිතූ පැතූ සියල්ලක් සාධා දී ලන හෙයින් කප් රුක් ආදියක් හා සරි ය’යි සිතා ගෙන තරව පිහිටා ජීවිත විනාශයක් වේ නමුත් ශීල විනාශය නො කොට සිල් රක්‍ෂා කළහ.
තව ද ගිහි සම්පතෙහි බොහෝ ආදීනව හා මහණ වීමෙහි බොහෝ අනුසස් දැක මහණ වෙත් නමුත් කුද්දාල පණ්ඩිතයන්ගේ කෙළවර මහණ වීම සේ තර අදහස් ඇති ව මහණ වන්ට නික්ම මහණ වූහ.
තව ද කවර කුමක් කරතත් යම් සේ ජීවිතෙන්ද්‍රිය නැති ව ශරීරය නොපවතී ද, චක්ෂුර්විඥානාදීන් නැති ව හුදෙක් චක්ෂුඃ ප්‍රසාදය තමන්ට ප්‍රතිනියත වූ රූප දර්ශනාදි ය කට නො හෙත් ද, එමෙන් නුවණ නැති ව කුමකු ත් කිරීම නපුරැ යි සිතා නුවණින් ම කරන යම් දෙයක් කළහ.
තව ද හීන වීර්‍ය්‍යයන්ට සිද්ධි වන ලොවුතුරා ගුණ තබා ලොවී ගුණ ත් නැති හෙයින් ලේන ව උපන් අවධියෙහි මූද වැටී ගිය දරුවන් හැර ගන්ට නඟුට ගල ගලා මූද පැන් ඉස්නට කළ වීර්‍ය්‍ය සේ කුශල පාක්ෂික වීර්‍ය්‍යයත් තර ව කළහ.
තව ද ‘සහන ය කිරීම නම් ක්‍රෝධ නමැති ගිනි නිවන පැනෙක. පවිටු පුඟුලන්ගේ රළු - පරළු බස් නමැති විෂයට දිව බෙහෙදක් හා සරිය. ද්වේෂ නමැති මහ මුහුදට ඉවුරක් හා සරිය. අපායට යන මඟ අවුරා ලූ අකුලක් වැන්න. සියලු ගුණයට මුල් ව තිබේ’ යි යනාදී සලකා ක්‍ෂමා කරවීමෙහි ත් තර වූහ.
තව ද සබ වස නැතිවීමෙන් ශීලාදි ගුණධර්‍මය නො පිරෙන හෙයිනුත් ‘මම බුදු ව ලා සියල්ලවුන් නිවන් දක්වමි” යනාදීන් ක්‍රියා ලු ලෙසට පිටි පෑ තිබෙන හෙයිනු ත් අත්‍ථභඤ්ජක බොරුවක් නො කීහ.
තව ද යම් දෙයක් කෙරෙමි යි ඉටා ගත්තු නම් ඊ ත් තර වූහ.
තවද සියල්ලවුන් කෙරෙහි මෙත් පැතිරීමෙහි අනුසස් එකොළොසක් ඇති හෙයින් තර අදහස් ඇති ව දිසාඵරණාදී විසින් සියල්ලවුන් කෙරෙහි මෙත් පැතුරු වූහ.
තවද හිතයන් කෙරෙහි අනුනය කරතොත්, අහිතයන් කෙරෙහි ප්‍රතිඝය කරතොත් දරු දන් දී දරුවන්ට ගහට දැක දරු පෙම් නිසා සිත අනිකෙක් වී නම් දරු දන් සිද්ධ නො වන හෙයිනුත් දරු දන් සිද්ධ නු වූ කල බුදු බවත් සිද්ධ නො වන හෙයින් සියල්ලෙහිම මැදහත් වූහ.
ඒ හැමයෙහි අනුසසින් බුදු වන ජාතියෙහි රන් මරවඩි සඟලක් සේ බිම සම ව පිහිටන්නා වූ පතුල් ඇති දෑ ය. එයි ත් එක් පුරුෂ ලක්ෂණයෙක.
තව ද ඒ මෙතේ බෝසත්හු ද බොහෝ කලෙක බොහෝ දෙනාට වැඩකරුව බොහෝ දෙනාට ප්‍රයෝජනවත්ව සිත් ගෙන විසූ දෑ ය. ඊ මහිමයෙන් යට පතුල් දෙකෙයි ඉඳුනිල්මිණි මුවා නැබ ඇති, පබළු මුවා නිම් වළලු ඇති, නැබ මැද රිදී මුවා සිදුරු ඇති, නැම්වලට ත් නිම් වළලුවලට ත් අතුරුව සත් රුවන් මුවා දැවි දහසක් ඇති, නිම් වළලු පිට අටතුරාසියක් මඟුල් ලකුණු හා මුණ්ඩාරම් හා කුඩ කොන්ත ඇති, සක් රුවන් දෙකෙක් පෙනෙ යි. ඒ දෙ වන මහා පුරුෂ ලක්‍ෂණ ය.
තව ද ඒ මෙතේ බෝසත්හු ප්‍රාණ වධ නොකරන බැවින් පණිවායෙන් වැලැක්කහ. ඒ කුශලයෙන් පත්ල සතර භාගයක් කළ කල දෙ භාගයක් අක් පත්ලට ව භාගයක කෙණ්ඩ ය පිහිටා එක් භාගයක් විළුඹට වන හෙයින් දික් වූ විළුම් ඇත්තාහ. එයි ත් එක් මහා පුරුෂ ලක්‍ෂණයෙක.
ඇඟිලි ත් සිරියලින් වටා ලූවා සේ මුලින් දළ ව අගින් සීන් ව දික් ව තිබෙයි. එයි ත් එක් මහා පුරුෂ ලක්‍ෂණයෙක.
ගාත්‍රය ත් නො නැමී බ්‍රහ්මයාගේ ශස්ත්‍රය සේ ඉඳුරා ව සිට්ටි, එයි ත් එක් මහා පුරුෂ ලක්ෂණයෙක.
තව ද ඒ මහ බෝසත්හු පැරුම් බිම දී තෑගි කමින් උස් ව සිටිනාහ. එ හෙයින් නළල් මහපට ඇඟිලිවල නිය අක් ආදි වූ සත් තැනෙක් උස් ව සිට්ටි. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂණයෙක.
තව ද මහ බෝසත්හු පෙර බොහෝ කලක් ම දානය, ප්‍රිය වචන ය, අර්ථචර්‍ය්‍යා ය, සමානාත්මතා ය යන සතර සංග්‍රහ වස්තුයෙන් ජන සංග්‍රහ ය කළහ. එයින් ජාල කවුළුවක් සේ ජාල ලක්‍ෂණයෙන් විසිතුරු වූ අතුල් පතුල් ඇති බව ත් අලුත උපන් කුමාරවරුන් සේ හැම දවස ම මොළොක් වූ අතුල් පතුල් ඇති බව ය යි මේ මහා පුරුෂ ලක්‍ෂණ දෙක වෙයි.
ලෝකස්වාමිවූ ඒ මහා පුරුෂයාණෝ පෙර බොහෝ කලක් ම වැඩට නිසිව ප්‍රයෝජනවත් බසක් මුත් නිෂ්ප්‍රයෝජන බසක් නො කීහ. එ හෙයින් පිට පතුල් රන් කකුළුවන් මෙන් නහර නොපෙනී උස් ව සිට්ටි. එයිත් එක් මහා පුරුෂ ලක්‍ෂණයෙක.
ශරීරයෙහි ලොමු ත් කුණ්ඩලාවෘත්ත ව සිසෑරී ලා අක් උඩු ව තිබෙ යි. එයි ත් එක් මහා පුරුෂ ලක්‍ෂණයෙක.
තවද ඒ මහ බෝසත්හු පෙර ශිල්පයක් ශාස්ත්‍රයක් උගන්වත් නම් සකස් කොට උගන්වති. එ හෙයින් ඒණි මුවන්ගේ කෙණ්ඩ වැනි කෙණ්ඩ වෙයි. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂණයෙක.
තව ද ඒ මහ බෝසත්හු පෙර මහණ බමුණන් කරා එලඹ ‘ස්වාමීනි, කුසල් කවරේ ද? අකුසල් කවරේ ද? සාවද්‍ය කවරේද? නිරවද්‍ය කවරේද? කුමක් සේවනය කටයුතුද? කුමක් සේවන ය නොකටයුතු ද? කුමක් කළ කල අහිතයට දුඃඛයට කාරණ වේද? කුමක් කළ කල බොහෝ කලක් හිත සැප එළවා දැ’ යි විචාරති. එ හෙයින් ඔහු සියුම් ඡවි ඇති වෙති. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂණයෙක.
තව ද ඒ මහා පුරුෂයාණෝ පෙර කිසි කෙනකුන් කෙරෙ හිත් කෝපයක් නැතියහ. යම් කිසි අසත් පුරුෂ කෙනකුන් බොහෝ ආක්‍රෝශ පරිභව බිණුව ත් දොම්නසක් නො ඉපැද වූ ය. එ හෙයින් ඔප් නැඟූ කනක රූපයක් සේ ඉතා රන් වන් වූ ශරීර ඇති වෙති. එයි ත් මහා පුරුෂ ලක්ෂණයෙක.
තව ද ඒ මහ බෝසතාණෝ පෙර බොහෝ කලක් වෙන් ව විසූ නෑයන් හා මිත්‍ර ජනයන් හා කුස ඔත්තවුන් හා අවශේෂ නෑයන් කයින් සිතින් වෙනස් නො වන සේ සමඟ කැර වූය. එහෙයින් ඔවුන්ට කෝෂයෙහි සැඟවී තිබෙන වස්ත්‍ර ගුය්හ ඇති වෙ යි. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂණයෙක.
තව ද ඒ මහ බෝසත්හු පෙර ජනයාට සංග්‍රහ කරන කල මොහු මෙ පමණ සත්කාරයට සුදුස්සෝ ය’යි පුරුෂ විශේෂ ය දැන සුදුසු වූ සත්කාර කොළෝ ය. එ හෙයින් සම පරිමණ්ඩල වූ නුග රුකක් සේ උස හා සමවූ බැම හා බැම හා සමවූ උස ඇති බව ය. සිටි සේ සිට නො නැමී දෑත දෙ අත්ලෙන් දෙ දණ පිරිමඳින බව ය යන මේ මහා පුරුෂ ලක්‍ෂණ දෙකින් යුක්ත වෙති.
තව ද ඒ මහ බෝසත්හු පෙර කෙසේ මේ සත්‍වයෝ සැදැහැයෙන් වැඩි දෝ හෝ, කෙසේ ශීල සම්පත ත්‍යාග සම්පත පිහිටත් දෝ හෝ, කෙ සේ ඇසිය යුත්තක් අසා ගනිත් දෝ හෝ, කෙ සේ නම් මොවුන්ට නුවණ වර්ධන ය වේ දෝ හෝ, කවර උපායකින් ධන ධාන්‍ය උපදවා ගනිත් දෝ හෝ, කෙසේ නෑයන් මිත්‍රයන් බොහෝ කොට ගනිත් දෝ හෝ යි මෙසේ මහා ජනයාට එකාවන් ව වැඩක් ම කැමති වූය. එ හෙයින් සිංහයාගේ ඌර්ධව ශරීර ය මෙන් සම්පූර්ණ වූ ශරීර ඇති බව ය. පිට දෙ භාග ය වෙන් ව නො තිබී රන් පුවරුවක් සේ සම ව තිබෙන බව ය, එ සේ ම සම ව සිටිනා කඳට ඇති බව ය-යන මේ මහා පුරුෂ ලක්‍ෂණ තුන පහළ වෙ යි.
තව ද ඒ මහා බෝසත්හු පෙර කැට කැබිලිත්තකින් වත් යම් කිසි දඬු ආදියකින් වත් ආයුධයකින් වත් සත්‍වයන්ට පීඩාවක් නො කොළෝය. එ සේ හෙයින් ඔවුන්ගේ රස දිවට එක් ව උඩු බලා සිට රසග්‍රාස ය කරන රස නහර ඇති ය. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂණයෙක.
තව ද ඒ මහා පුරුෂයාණෝ පෙර මහ ජනයාගේ මුහුණ ප්‍රේමයෙන් බැලූ ය. එ හෙයින් එවුන්ට ඉතා නිල් නුවන් ඇති බව ය, අලුත වැදූ වස්සන්ගේ ඇසි පිය සේ යහපත් වූ ඇසි පිය ඇති බව ය යන මේ මහා පුරුෂ ලක්‍ෂණ දෙක පහළ වෙ යි.
තව ද ඒ මහා බෝසතාණෝ සසර වසන කළ මහ ජනයාට ඉදිරි ඉදිරි ව කුසල් කළහ. එ හෙයින් ඔවුන් හිස් මුඳුනෙන් උඩ වඩු රියනක් තැන් නැඟී හැම වේලෙහි ම ජෝතිමත් ව බබළන්නා වූ රශ්මි කදම්බයක් ඇති වෙයි. එයිත් එක් මහා පුරුෂ ලක්ෂණයෙක.
තව ද ඒ මහතාණෝ පෙර මුස වායෙන් වැළක සබා බස් ම කීහ. එ හෙයින් එවුන්ට එ කි එ කී රෝමයක් අට ගෙන අඳුන් වන් පැහැ ඇති ව මුඳුන් බලා සිටිනා බව ය. දෙ බැම අතුරෙහි මකුල් තිලකයක් සේ ඌර්ණ රෝම ධාතුවක් ඇති බව ය, යන මහා පුරුෂ ලක්‍ෂණ දෙක පහළ වෙ යි.
තව ද ඒ මහා පුරුෂයාණෝ පෙර ඔවුනොවුන් බිඳෙන්ට කේළමක් නො කීහ. අසමඟයන් සමඟ කැරවූහ. සමඟයන් නො සමඟ නො වන සේ අවවාද දුන්හ. එ හෙයින් සම සතළිස් දන්තධාතු ඇති බව ය. හැම දන්තයන් සක් පත් වළලු දෙකක් සේ නො සිදුරු ව සිටිනා බව ය- යන මේ මහා පුරුෂ ලක්‍ෂණ දෙකින් යුක්ත වෙති.
තව ද මහ බෝසත්හු පරුෂ වචනයෙන් වැළැක්කහ. සියල්ලවුන් සිත් ගන්නා ප්‍රේමණීය වූ, මනොඥ වූ, තෙපුල් ම කීහ. එ හෙයින් දිගු පුළුලු මොළොක් වූ දිව් ඇති බව ය, මහා බ්‍රහ්මයාගේ ශබ්දය සේ අෂ්ටාඞ්ග සමුපෙත වූ තෙපුල් ඇති බව ය, යන මහා පුරුෂ ලක්‍ෂණ දෙක ඇති වෙ යි.
තව ද ඒ මහ බෝසත්හු පෙර ප්‍රයෝජනවත් වූ නෛර්‍ය්‍යාණික බස් ම කිවු ය. එ හෙයින් සිංහයාගේ හනු සේ සම්පූර්ණ වූ හනු ඇති වෙයි. එයි ත් එක් මහා පුරුෂ ලක්ෂණයෙක.
තව ද ඒ මහ බෝසත්හු පෙර බොහෝ කලක් මුළුල්ලෙහි සොර වෙළඳාමක් නො කොළෝ ය. මිථ්‍යාජීවයෙන් දුරු වසම්‍යක් ආජීවයෙන් ජීවිකා වෘත්තිය කළහ. එ හෙයින් දතක් දතකට උස් නොව සිටිනා දත් ඇති බව ය. සුදු වූ සතර දළ දා ඇති බව ය යන මේ ලක්‍ෂණ ඇති වෙ යි.
මෙසේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හොබනා වූ මහ බෝසත්හු පිටි පත්ල උගුළුවා, උතුරු දිගට මුහුණ ලා, සත් පියවරක් ඔසවා ගොසින් පියුම් මත්තෙහි සිට සිංහ නාද පවත්වා, එ වක් පටන් ක්‍රමයෙන් වැඩි විය පැමිණෙති. වැඩි විය පැමිණි කලට විපාක දී නිමවා පිය ත් බුදු වන ජාතියෙහි ම කල් මඳ වුවත් සොළසා සැකි කප් සුවහස් මුළුල්ලෙහි කළ පින්කම බොහෝ හෙයින් මහත් බඩසල් දසයෙක තුබූ විකක් කුඩා එක් බඩසලෙක පටවන කලක් මෙන්, මහා පත්තායම් දසයෙක තුබූ රුවන් එක පෙට්ටගමෙක ලන කලක් මෙන්, මහ නැව් දසයෙක තුබූ බඩු කුඩා ඔරුවෙක ලන කලක් මෙන්, සතර මහ මුහුද පැන් පොකුණෙක වත් කරන කලක් මෙන්, බුදු වන ජාතියෙහි ම විපාක දෙන හෙයින් ගිහි සම්පත් විඳුනා නිසා මහ බෝසතුන්ගේ කුශලානුභාවයෙන් ශ්‍රී සම්පත්තීන් වැඩියා වූ වඩමන නම් පහයෙක් ද, සිදුහත් නම් පහයෙක්ද, චන්‍දක නම් පහයෙක් ද, ත්‍රිවිධ සුචරිතයෙහි විපාක ය පොළෝ යට සැඟ වී තිබී ලා උඩ නැඟි කලක් මෙන් පොළොව පළා ගෙන පැන නැඟෙ යි. ලක්‍ෂයක් වීචර පුරඟනෝ වන්නාහ. චන්ද්‍ර මුඛී නම් බ්‍රාහ්මණී කෙනෙක් අග මෙහෙසුන් වෙති. බ්‍රහ්ම වර්ධන නම් කුමාර කෙනෙක් පුත් වෙති.
මාළිගා තුන ම සත් මාල් සත් මාල් වෙ යි. එ කි එ කී මාලේ රුවන්මුවා ලක්‍ෂයෙක් ලක්‍ෂයෙක් කුළු ගෙවල් වෙ යි. හැම එක් කොට එක් විසි ලක්‍ෂයක් විචර කුළු ගෙවල. එ කි එ කී මාළිගාවක් වටා සත් රුවන් මුවා පවුරු වළලු සතෙක් සිට්ටි. රන්මුවා පවුරෙහි වාසල කෙරේ රිදීමුවා තොරණ පෙළෙක් සිට්ටි. රිදීමුවා පවුරෙහි වාසල කෙරේ රන්මුවා තොරණ පෙළෙක් සිට්ටි. පබළුමුවා පවුරෙහි වාසල කෙරේ පිළිවහණ තොරණ පෙළෙක් සිට්ටි. පිළිවහණ මුවා පවුරෙහි වාසල කෙරේ පබළුමුවා තොරණ පෙළෙක් සිට්ටි. රත් මැණික් මුවා පවුරෙහි වාසල කෙරේ මැසිරි ගල් මැණික් මුවා තොරණ පෙළෙක් සිට්ටි. මැසිරි ගල් මැණික් මුවා පවුරෙහි වාසල කෙරේ සත්රුවන් මුවා තොරණ පෙළෙක් සිට්ටි. සත්රුවන්මුවා පවුරෙහි වාසල කෙරේ සත් රුවන්මුවා තොරණ පෙළෙක් සිට්ටි. මාළිගා තුනම වට කොට සත් රුවන්මුවා යට අගැ නො එක් පෑයෙන් විසිකුරු ධජ පතාක ලෙළෙයි. මාළිගා තුනෙහි ම මාලින් මාල මුත් තැන්වල දිව්‍ය ගීතිකා නාද සේ නාද පවත්වන්නා වූ රන් රසු දැල් එලෙ යි. ධජ පතාක අක්වල රන් මිණි එලෙ යි.
මහ බෝසතුන්ගේ කුශලානුභාව ය තරමට එක සඳ මඳ හෙයින් පැන නැඟී තුන් සඳක් මෙන් තුන් විමනින් ම රස් විහිද්දී, සත් රුවන් මුවා කුළු ගෙවල් පිරිවරා සිටිනා වූ මාළිගා දෙව් දුන් ගෙන් වැළඳි වළාකුලක් මෙන් ඉතා හොබ්බි. මාළිගාවලත් භිත්තිවලත් පිටත දසාවෙහි නිල් මැණිකෙන් විසිතුරු වූ තල් ගස් පෙළක් හා සත් රුවන් මුවා මකර වළලු පෙළක් හා සිංහ පෙළක් හා ව්‍යාඝ්‍ර පෙළක් හා ඇත් පෙළක් හා අස් පෙළක් හා ව්‍යාළ රූප පෙළක් හා රථ පෙළක් හා මොණර පෙළක් හා හංස පෙළක් හා කොස්වා ළිහිණි පෙළක් හා කොක් පෙළක් හා ගිජු ලිහිණි පෙළක් හා ගුරුළු පෙළක් හා දේවතා පෙළක් හා බඹ පෙළක් ළියවැල් පෙළක් හා ගස් පෙළක් හා නුවර පෙළක් හා ගං පෙළක් හා විල් පෙළක් හා මුහුදු පෙළක් හා නැව් පෙළක් හා පට්ටිගා පෙළෙකැ’යි මෙ කී සියල්ලත් සිත්තම ඇඳ ලූ දෙයක් මෙන් විභාගවත් ව පෙනෙ යි.
තව ද නිරන්තර ව ම ඒ මාළිගාවල මල් වැසි වස්සී. ඒ ඒ මාළිගාවෙහි එකි එ කී මලෙක ගබඩා සත් සත් දහස් වෙයි. එ කි එකී ගබඩාවෙක එ කි එකී පලක් බැගින් වෙරළුමිණිමුවා පලක් සත් සත් දහස් වෙයි. එ කි එකී පළඟකට එකක් එකක් බැගින් රුවන් කර්මාන්තයෙන් හොබනා හෙළ කුඩ සත් සත් දහස් වෙ යි. එ කි එ කී ගබඩාවකට එ කි එකී යාන් බැගින් මහ ඇඟි කොට අතුළ සත් සත් දහස් ශ්‍රී යාන් වෙයි. ඒ යාන් ගාවා රුවන් කර්මාන්තයෙන් විසිතුරු වූ මිටි ඇති සත් සත් දහස් කොන්ත සිට්ටි. එකි එකී මාළිගාවක් ම වට කොට සියලු හස්ත්‍යාලඞ්කාරයෙන් සරහන ලද ධජ පන්ති ඇති සදත් රජකු ඇති ව සත් සත් දහස් ඇත්තු සිටිති. එ සේම සියලු අශ්වාලඞ්කාරයෙන් සරහන ලද වලාහක අශ්ව ප්‍රමුඛ වූ සත් සත් දහස් අස්සු සිටිති. එසේම රථාලඞ්කාරයෙන් සරහන ලද ලහිරු මඬලවල් සේ ඉතා ශෝභාමත් වූ තමන්ගේ ශෝභාවෙන් මාළිගා ගලා පියන්නාක් වැනි වූ සත් සත් දහස් රථත් මාළිගා වටා සිට්ටි. එකි එකී මාලෙක දෙවඟනන් වැනි මනහර රූ ධරන්නා වූ සව් බරණ ලා සැරහුණු ගී නැටීමෙහි දක්‍ෂ වූ යහපත් ජාති ඇති නළු ගෑනු සත් සත් දහස සිටිති.
පුරඟනන් මුළුල්ලට ත් නළු දූන්ට ත් ප්‍රධාන වූ චන්ද්‍රමුඛී නම් අග මෙහෙසුන්නු හැම දෙනාට වඩා විශිෂ්ට රූ ඇති වෙ යි. ඉතා උසුත් නො වෙති. ඉතා මිටි ත් නො වෙති. ඉතා සීනු ත් නොවෙති. ඉතා බෙටි ත් නො වෙති. ඉතා කැළී ත් නො වෙති. ඉතා හෙළළි ව සුදු මැළිත් නො වෙති. මිනිස් ලොව ගෑනුන්ගේ රුවට වැඩී සිටිති. දෙවඟනන්ගේ රුවට ආසන්න ව සිටිති. උන්ගේ ශරීරයෙන් සඳුන් සුවඳ හම යි. කටින් මානෙල් මල් සුවඳ හම යි. ශරීරාලෝක ය දොළොස් රියනෙක පැතිරෙ යි. සියක් වර පොළා පී පුළුනක් මෙන් ඉතා මොළකැටි වෙති. ඌ තුමූ මෙතේ බෝසතුන්ට බ්‍රහ්මවර්ධන නම් පුතණු කෙනකුන් වදති. සක්විති සිරිතක් මෙන් සෙසු ත් පුරඟනන් ගෙන් පුත්තු දහසෙක් ම ඇති වෙති.
එකි එකී මාළිගාවෙක ම සතර සතර කොන සතර සතර ගවු පමණ වූ සත්රුවන් පිරී සිටිනා නිධාන සැළවල් සතර සතර වෙයි. මාළිගා තුනට ම සතර සතරක් ඔබාදීන් කප් රුක් දොළොසෙක් පොළොව පළා ගෙන නැගෙ යි.
මෙතේ බෝසත්හු ද එකි එකී මාළිගාවේ සව් බරණ ලා සැරහී ගෙන දෙවඟනන් වැනි වූ පුරඟනන් පිරිවරා හවුරුදු අට දහසක් සම්පත් විඳිති. එ කල මහ බෝසතුන්ගේ කුශලානුභාවයෙන් කේතුමතී නුවර පටන් දඹදිව සුවාසූ දහසක් නුවරවල රජදරුවෝ සංඛ නම් සක්විති රජ්ජුරුවන් ඇතුළු ව අනූ කෙළ ලක්‍ෂයක් රජ දරුවෝ සෙසු දෙවි මිනිසුන් හා එක් ව මෙතේ බෝසතුන් කරා ගොසින් ‘මුඹ වහන්සේ කීවාක් කොට ලා සිටින්ට ආම්හ’යි කියති. ඉදිරියෙහි තැන තැන සිටිති. මහ බෝසත්හු ‘අපට මෙහෙ කරන්නෝ ඇත. ගිය මැනවැ’ යි උන් හැම යවති. එ කල මහ බෝසතුන් සමඟ දෙව් ලොවින් අවුත් කේතුමතී නුවර ඒ ඒ උතුම් කුලවල උපන් දෙවියෝ අටළොස් කෙළක් මහ බෝසතුන්ට අමාත්‍ය මණ්ඩල වෙති.
මෙ සේ මෙතේ මහ බෝසත්තු දෙව් සැපට ත් වඩනා තරම් මහ සැප ත් විඳිමින් අට දහසක් හවුරුදු ගිහිගෙයි රඳා චන්ද්‍රමුඛී නම් අගමෙහෙසුනු ත් බ්‍රහ්මවර්ධන නම් පුත් රුවන වැදූ කල්හි බුදු වන කලු ත් ආසන්න හෙයින් උයන් කෙළියට යන ගමනේ ජරා ජීර්ණාදී අරමුණු දැක ක්‍රමයෙන් යෞවන මදය ත්, ආරෝග්‍ය මදයත්, ජීවිත මදය ත්, හැර සතර වැනි වාරයෙහි මහණ රුවක් දැක මහණ වීමෙහි රුචි ඇති ව මහණව ‘මහණධම් කට හෙම් දෝ හෝ’යි විමසනු නිසා කලට නිසිව ත් මහණ වීමට නිසිවත් මහණ වන්නාට පෙරාතු ව ම සතියක් යම් දුකක් ගැනීම් වශයෙන් ප්‍රධන් වීර්‍ය්‍ය කොට මැණික් ගල් ගුහාවෙක ඇලුම් හරන කේශර සිංහයක්හු මෙන් සම්පත්තීන් පිරී තිබෙන මාළිගාවල ත් සියල්ලෙහිත් ඇලුම් හැර මහණ වන්ට නික්මෙනු කැමැති ව නික්මෙන්ට සිතන්නා ම මහ බෝසතුන්ගේ කුශලානුභාවයෙන් දස දහසක් සක්වල දෙවි බඹුහු ත් මේ එක සක්වළට රැස් වෙති. කේතුමති ය මුළුල්ලෙහි ත් මුළු දඹදිව ත් ‘අජිත කුමාරයෝ මහභිනික්මන් නික්මෙති’යි මහා කෝලහල වෙයි.
ඒ වේලාට සඞ්ඛ නම් සක්විති රජ්ජුරුවෝ සුවාසූ දහසක් පමණ වූ නළු ආදීන් පිරිවරා මහ බෝසතුන් එ දවසට වසන මාළිගාව පිරිවරා සිටිති. සෙසු ත් රජ බමුණු ආදීහු පුන් කළස් මල් ඇගෑ ආදි වූ පූජෝපකරණ අල්වා ගෙන පිරිවරා සිටිති. අහස දෙවියෝ ත් සැණ වෙස් ගෙන ධජ පතාකාදිය හැර ගෙන සාධුකාර දි දී අහස සිටිති. සක්වළ ගල පටන් අකනිටා බඹලොව දක්වා සිටියා වූ දෙවි බඹුන් රුවන්මුවා කරඬුවලින් දමා ලූ සුවඳ සුණු ආදි ය මහ වැස්සක් මෙන් පැවැත්ත.
ඒ වේලාට බෝසතුන් හුන් රුවන් මාළිගාව බෝසතුන්ගේ නළු ආදීන් හා සමඟ අහසට රන්වන් හංසයක්හු මෙන් නැඟෙ යි. ඒ වේලාට රැස් වූ මහ පිරිස ත් මහ බෝසතුන්ගේ කුශලානුභාවයෙන් ද, සක්විති රජුන්ගේ රාජානුභාවයෙන් ද, දෙවියන්ගේ දේවතානුභාවයෙන්ද යම් යම් කෙනෙක් මහ බෝසතුන් භා කැටීව යනු කැමැත්තෝ නම් ඌ ඌ අහසට නැඟෙති. මහා පුරුෂයාණන්ට මහ බඹාණ කෙනෙක් හෙළ කුඩය ලති. සක් දෙවිඳුහු විජයතුරා සක පිඹ පිඹ සිටිති. සුයාම-සන්තුෂිත දෙව් රජහු තල්වැට චාමර ගෙන සිටිති. පන්සිළු නම් දෙව් පුත් වීණා ගායනා කෙරෙමින් සිට්ටි.
වරම් රජ දරුවෝ කඩු හැර ගෙන සතර දිග රකවල් ගනිති. දෙ තිස් දෙව් කුමරියෝ රන් පැණ රිදී පැණ ගෙන සිටිති. අට විසියක් සෙනෙවියෝ කඩු හැර ගෙන ඒ ඒ දිග රකවල් ගනිති. අසුරයෝ දිව්‍යමය ධජ පතාක ගෙන හාත්පසින් සිටිති. නා රජහු මිණි දඬු වැට පහන් ගෙන සිටිති. ගරුඬයෝ ස්තුති ගී කිය කියා ගායනා කෙරෙමින් සිටිති. සඳකිඳුරෝ මිහිරි කට හඬින් ගී කිය කියා ගායනා කෙරෙති. දිව නළුවන් හා දිව්‍යාඞ්ගනාවෝ දිව්‍යමය නෘත්‍ය ගීත වාද්‍යයෙන් පූජා කෙරෙමින් දස දිග පිරිවරා සිටිති.
මෙ සේ මෙ බඳු ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත වූ දිව්‍ය මනුෂ්‍ය සේනාව විසින් පිරිවරන ලද මහබෝසතාණෝ පර්‍වත රාජයන්ගේ නැටීමෙන් හා ඇතුන්ගේ කුඤ්චනාදයෙන් හා අසුන්ගේ හේෂාරවයෙන් හා සිංහයන්ගේ සිංහ නාදයෙන් හා ව්‍යාඝ්‍රයන්ගේ පැළඹීමෙන් හා හංසයන්ගේ සතුටු හඬින් හා දෙවියන්ගේ සාධු නාදයෙන් හා අසුරයන්ගේ ස්තුති ඝෝෂාවෙන් හා බ්‍රහ්මයන්ගේ අත් පොළසනින් හා එකනින්නාද වූ එකනිර්‍ඝොෂ වූ ආකාශ තල ය අලංකාර කෙරෙමින් ප්‍රාසාදයෙන් ම මහභිනික්මන් නික්ම මහ බෝමැඬ සමීපයට යෙති. ඒ සත් රුවන් මහ පාය. බෝමැඬ සමීපයෙහි ආකාශයෙන් බැස ඉතා සිත්කලු වූ බිම් පෙදෙසක පිහිට යි.
එ කෙණෙහි ම මහබඹා දිව්‍යමය වූ අට පිරිකර ගෙන එ තැනට පැමිණෙයි. මහ බෝසතාණෝ මඟුල් කඩුයෙන් හිස කෙස් වැටිය කපා ආකාශයට හැර මහබඹු අතින් සිවුරු පිරිකර ගෙන පැවිදි වෙති. මෙසේ මහ බෝසතුන් මහණ වූ ඉක්බිති වේද වෙදාඞ්ගයෙහි පරතෙරට පැමිණියා වූ සුවාසූ දහසක් බ්‍රාහ්මණයෝ එදා ම මහණ වෙති. ඉසිදත්ත ය, පුරාණය යි යන බමුණු දෙ බෑ කෙනෙක් වෙන වෙන ම සුවාසූ දහසක් පිරිවරා ගෙන මහණ වෙති. ජිතමිත්ත ය, විජිත ය යන පණ්ඩිතවරු දෙ දෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පිරිවරා ගෙන මහණ වෙති.
සිද්ධාර්ථ නම් සිටාණ කෙනකුන් හා සඞ්ඛ නම් උපාසකයකු හා දෙදෙන සුවාසූ දහසක් සුවාසූ දහසක් පිරිවරාගෙන මහණ වෙති. සුධන නම් උපාසකයකු හා සඞ්ඝ නම් උපාසක කෙනකුන් හා දෙදෙන සුවාසූ දහසක් සුවාසූ දහසක් උපාසකවරුන් හා මහණ වෙති. යසවතී ය, විශාඛා ය යන උපාසිකාවරු දෙදෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පිරිවරා ගෙන මහණ වෙති. සෙසු බොහෝ නාගරික ජනයන් හා ජනපදවාසී වූ රජ බමුණු වෙළඳ ගොවි ආදි නානා ජාතියෙහි මහා ජනයෝ ද මහණ වෙති.
බෝසතාණෝ මහණ ව ලා ම සිල් සමාදන් ව ගඟට බැස පැන් සනහා චන්ද්‍රමුඛී නම් අග බිසොවුන් දුන් මිහිරි කිරි බත් වළඳා වැළඳූ රන් තළි ය උඩු ගං බලා හැර පිපි මල් කැනින් හා ළපලු පතින් සැරහුණා වූ සල් වෙනෙහි දිවා විහාර කොට සවස රන් වන් කෙසුරු සළා ඇති සුවඳ කුසුමයන් තුවටුයෙන් ගිලිහී මදටවන් සිවුර මත්තෙහි හෙන්නට වන් කල්හි, නා – ගුරුළු ආදීන් දිව මල් දිව සුවඳ ආදි ය ගෙන පුදන්ට වන්-කල්හි, දස දහසක් සක්වළ එක පැහැර බමන්ට වන් කල්හි, දෙවියන් විසින් සරහන ලද මඟට බැස දෙවි බඹ පිරිස් පිරිවරා ගොස් නාග සිරි බොධීන් වහන්සේ කරා එළඹ හැම බුදුවරයන් විසින් අවිජ හිත වූ නිශ්චල භූමි ය පරීක්‍ෂා කොට එක්තරා පුරුෂයකු විසින් එළවන ලද කුසතණ අට මිටක් අගින් අල්වා ගෙන බෝ මුල සලා වගුරුවා එ තැනින් නැඟී අපරාජිත පර්යඞ්කයට පැන නැඟී නාගසිරි බෝධීන් වහන්සේට පිට ලා නැගෙනහිර බලා සිවුරඟ ඉටා ගෙන පලක් බැඳ හිඳ ඵ කෙණෙහි මාරයා භයඞ්කර වූ මර සෙනඟ ගෙන තමාගේ දෙව් ලොවින් නික්ම සක්වළ ගල මුව විටට බැස මෙතේ බෝසතාණන් හුන්නා වූ විලාස ය දැක ශ්‍රී මුඛය බලා මහා පුරුෂයාණන්ගේ මෛත්‍රී ආනුභාවයෙන් මෑත ආ නො හී එ තැන් හි ම සිට බිඳී පලා යෙ යි.
එ කෙණෙහි සම පනස් යොදුන් පමණ ඇති දහසක් රසින් බබලන හිරු මඬල නිම් වළල්ල අල්වා ගෙන මූද ගලන ලද රන් සකක් මෙන් හස්ත ගත වෙමින් සිට්ටි. එකුන් පනස් යොදුන් පමණ ඇති සඳමඬල දස දිග අමාරස් විහිදුවමින් සක්වළ ගබ කිරි මුහුද ගලනාක් මෙන් ද, නිම් වළල්ල අල්වා ගෙන අහසට නගන රිදී සකක් මෙන් ද, නැගෙනහිරින් නැගී සිට්ටි. සක්වල මැද තමන් වහන්සේගේ රන්වන් රසින් රන්වන් කිරීමෙන් ඉතා ශෝභාමත් ව විදුරස්නෙහි හිඳිනා සේක.
මහභිනික්මන් නික්මුණු වේලේ මෙන් ධවලච්ඡත්‍රාදි ය හැරගෙන පිරිවරා සිටිති. බුදු මඟුලේ සමහර දෙවි කෙනෙක් රුවන් තොරණ අල්වා ගෙන සිටිති. සමහර දෙවි කෙනෙක් රුවන් ඇගෑ අල්වා ගෙන සිටිති. සමහර දෙවි කෙනෙක් රන් කේල් ගස් අල්වා ගෙන සිටිති. සමහර දෙවි කෙනෙක් රුවන් මුවා සිරිවස් අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් වල්විදුනා අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් රුවන් අකුසු අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් රේමස් යුගළ අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් නඳවට අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් භද්‍රපීඨ අල්වා ගෙන සිටිති.
සමහර දේවතා කෙනෙක් සක් අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් රුවන් කලස අල්වා ගෙන සිටිනි. සමහර දේවතා කෙනෙක් මල් මාලා අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් මල් කලප් සහිත කළ අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් දුම් කෙණෙසි අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් මිණි දඬු වැට පහන් අල්වාගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් රන් කැට පත් අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් රිදී කැට පත් අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් මැණික්කැට පත් අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් රුවන් කැට පත් අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් ධජ-පතාක අල්වා ගෙන සිටිති. සමහර දේවතා කෙනෙක් කප්රුක් අල්වා ගෙන සිටිති.
එ කලු මහ බෝසතුන් වහන්සේ සක්වළ ගල් නමැති පට කඩ තිරයක් වටා බඳනා ලද තරු නමැති මැණික් ඔබා කළ අහස් නමැති වියනක් ඇති, සියලු රාත්‍රි ය මුළුල්ලෙහි තිබෙන සඳ නමැති පහනක් ඇති, සක්වළ ගබ මධ්‍ය නමැති රුවන් මණ්ඩප ය මැඳ බෝ රුක් නමැති නිල් කුඩයක් ඇති, විදුරස්නෙහි නළුවන් සහිත වූ දෙවි මිනිසුන් පිරිවරා පෙර යම් දස පැයින් පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ උපදවා ගෙන, මැද යම් දස පැයින් දිවස් උපදවා ගෙන, අලුයම් වේලෙහි මහ පොළොව ගුගුරුවමින් බුදු වෙති. බුදුව සත් සති යවා වදාරා උතුම් වූ දහම් සක පවත්වන සේක් ධර්‍ම සක් පැවතුන් සූත්‍ර දේශනාව අසා ගවු සාර සියයෙක පුරා සිටියාවූ මිනිසුන්ගෙන් හා සක්වළ ගබ පුරා සිටි දෙවියන්ගෙන් හා දෙපක්‍ෂයෙන් කැටි ව මිනිසුන්ගෙන් කෙළ ලක්‍ෂයක් හා දෙවි බඹුන් ගෙන් අසඞ්ඛ්‍යයක් නිවන් දකිති.
එ කල සඞ්ඛ නම් සක්විති රජ්ජුරුවෝ ද දිඹුල් දණ්ඩෙන් කළ ගෙ පතෙහි අනුසසින් ලද්දා වූ සියක් ගවු විචර උස ඇති, සියක් මාල් ඇති, දෙ ගවු දෙ ගවු පමණ දිග පළල ඇති රුවන් මාළිගාව තමන් මහණ වන්ට සිතන හෙයින් බුදු පාමොක් සඟනට පිළිගන්වා පියා බොහෝ දෙනාට බොහෝ දනු ත් දී පියා අනූ කෙළ දහසක් දෙනා හා සමඟ බුදුන් කරා ගොසින් අති මධුර වූ බණ අසා සහපිරිවරින් සසුන් වැද මහණ ව රහත් වෙති. නිත්‍ය පරිවාර රහතන් වහන්සේ කෙළ ලක්ෂයක් විචර වන සේක.
ඔබට බෝධි වූ නා ගස මුල පටන් කඳ වෙළෙප තේරුණු තැනට එක් සිය විසි රියන. එ තැන පටන් අතු අගට ත් එක් සිය විසි රියන. මුල පටන් අතු අගට දෙ සිය සතළිස් රියන් පමණ. කඳත් ගැට පපටිකා නැති ව රිදී කඳක් සේවට ව තිබෙන සේක. බස්නාහිර අතු අග පටන් නැගෙනහිර අතු අගට ත් උතුරු දිග අතු අග පටන් දකුණු දිග අතු අගට ත් දෙ සිය සතළිස් රියන් දෙ සිය සතළිස් රියන් පමණ සේක. කොළ මඬුල්ල වටින් සත්සිය විසි රියන් සේක. පවත්නා තෙක් දවස් සුඹුලුත් නොහෙයි, පතුත් නොහෙයි. පතුත් විලික්‍ෂ වේව යි නිකම් වේව යි නො හෙයි. අතුරතුරෙහි දළු ලීමක් විනා නිල් ව ම සිටිනා සේක. පත්හසු වල ගත් මල් කැකුළු හස්සෙහි දොළොස් නැළියක් විචර පැන් ගනිති. පිපී ගියා වූ මල් රථ සක් සා ඇත. එකි එ කී මලෙහි රේණු නැළියක් වීචර වෙ යි.
බුදු වන දවස් පිපියා වූ නා මල් අසූ දාහක් හවුරුදු පර නො තිබෙයි. බෝධීන් වහන්සේ වට දොළොස් ගවුවක් විතරෙහි මල් පිපෙන්නා වූ ගස් බෝධීන් වහන්සේට වැඳුම් ගෙන සිට්ටි. බෝධීන් වහන්සේට වටින් දෙ ගවුවක් විතරෙහි බිම රුවන් වැල්ලෙන් තැවරී සිට්ටි. ඒ වැලි තලාව මත්තෙහි දියෙහි ගොඩෙහි පිපෙන සුවඳ මල් අතුට තිබෙයි. නිරන්තරයෙන් ම ඒ බිම අනෝජා සිඳුවර ඉද්ද සමන් පළලු සපු නා ආදී වූ මල් වැසි වස්සී. බෝධීන් වහන්සේ වට කොට මහනෙල් මල් කලස් සහිත රන් පැණ තිබෙ යි. සතර කෙළවර සන්‍ධි ඇත්තා වූ රුවන් මුවා වැටවල පහන් ඇවිළෙ යි. බෝධීන් වහන්සේට උඩු මල් වියනකුත් සිට්ටි. මුදුනෙන් ගමන් නැත ත් ඉවතින් යන පක්ෂීන් මියුරු කට හඬින් තම හට හිත කැමති පූජා කොට ලා යන්නාහ. කඳ වෙළෙප් අතු ආදියෙහි ත් රඳා පියන පක්ෂි කෙනෙක් නැත. ඒ බෝධීන් වහන්සේ මෙ බඳු විස්ම ඇති වන සේක.
එ කෙණෙහි බුදුන් වහන්සේ උසින් අටාසූ රියන් සේක. පත්ලෙහි පටන් දණ කරා දෙ විසි රියන් සේක. දණ පටන් පෙකණියට දෙ විසි රියන් සේක. පෙකණියෙහි පටන් අකු ඇට දක්වා දෙ විසි රියන් සේක. අකු ඇට පටන් ඉස් මුදුන දක්වා දෙ විසි රියන් සේක. ඉස් මුදුනෙහි පටන් දෙවුරට අතුර පස් විසි රියනෙක. කන් දෙක වෙන වෙන සත් රියන් පමණ ය. කන් වැල් දෙක සැලී නැඟෙන කලට විදුලි ය ගසන්නා සේ ය. ඇස් දෙක ම පස් පස් රියන. රන් පර්‍වතයක හුණු දෙව් දුනු සඟළක් වැනි වූ බැම සඟළත් පස් පස් රියන.
බැම දෙකට අතුර ත් පස් රියනෙක. රන් අකුස්සක් වැනි නාස ය සත් රියනෙක. තොල් සඟළ ත් පස් පස් රියන් විචර ය. සිනිඳු වූ මොළොක් වූ තුනී වූ රතු වූ පළල් වූ දිව සරියන. වට වූ සොඳ වූ හිස පිටින් පස් විසි රියන. සර්‍වඥ නමැති අනවතප්ත විලින් සදහම් නමැති අමා ගං වැහෙන නැසින්නක් වැනිවූ මුඛය ද වටින් පස් විසි රියන. රන් කලස කරක් වැනි කර ද පස් රියන. චට වූ අත් සඟළ ම වෙන වෙන සතළිස් රියන. අතුල් සඟළ ද එකෙක් එකෙක් ම පස් රියන. ඝන අඳුරෙක වුව ත් තමන් වහන්සේගේ මසැසින් එකි එ කී අතින් අට සාළිස් අට සාළිස් ගවුවෙක තුබූ අතිසූක්‍ෂම වූ රූ ත් දක්නා සේක.
ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නික්මුණා වූ සවනක් රසුත් අසූ දහසක් හවුරුදු මුළුල්ලෙහිම දස දිගින් ම සියක් ගවු විතරේ පැතිර සිට්ටි. එ සේ පැතිර සිටිනා රසු ත් අහස විදුලිය කලප් මෙන් දීප්තිමත් ව සිට්ටි. තිලෝගුරු බුදුහු ත් ලක්‍ෂ ගණන් පහනින් බබලන පහන් රුකක් මෙන් නොඑක් රුවනින් විසිතුරු වූ අටාසූ රියන් ඇගෑයක් මෙන් ද හොබනා සේක. ඔබගේ ශරීරයෙහි පිහිටි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණත් පිළිවෙළින් තබා ලූ සඳ මඬල දෙතිසක් මෙන්ද, හිරු මඬල දෙ තිසක් මෙන්ද, පිළිවෙළින් සිටි සක්විත්තන් දෙ තිසක් මෙන්ද, වරම් රජුන් දෙති සක් මෙන්ද, ශක්‍රවරුන් දෙතිසක් මෙන්ද, සුයාමුන් දෙතිසක් මෙන්ද, සන්තුෂිතයන් දෙතිසක් මෙන් ද, සුනිර්මිතයන් දෙතිසක් මෙන් ද, වසවත් මරුන් දෙ තිසක් මෙන් ද, මහ බඹුන් දෙ තිසක් මෙන් ද, ඉතා ශෝභාමත.
ඉන් බබළන්නා වූ ඔබගේ ශරීර ය තරු රසින් බබළන අහසක් මෙන් ද, සුපිපි මහ පියුම් විලක් මෙන් ද, නො එක් රුවින් බබළන රුවන් ආකරයක් මෙන් ද, ඉතා හොබ්බි. තම්බ නඛතාතුඞ්ග නඛතා ආදී වූ අශීත්‍යනුව්‍යඤ්ජන නිසා ඔබගේ ශරීර ය සඳ වලායෙන් මුසු වූ විදුලිය හා දෙව් දුන්නෙන් වෙළන ලද රන් පර්‍වතයක් මෙන් ද, හොබ්බි. ඇඟින් නික්මෙන සවනක් රසු ත් ඉඳුනිල්මිණිමුවා කළවලින් වැගිරෙන නිල් රස ධාරා මෙන්ද, රන් කළවලින් වැගිරෙන කොකුම් රස ධාරා මෙන් ද, පබළුමුවා කළවලින් වැගිරෙන අලතා ධාරා මෙන් ද, රිදී කළවලින් වැගිරෙන කිරි ධාරා මෙන්ද, මඳට වන් කළවලින් වැගිරෙන මදට රස ධාරා මෙන් ද, නික්ම යුග්ම යුග්ම පිළිවෙළින් තල් කඳ සා ව ද, රථසක් සා ව ද, කඩ ආදිය සාවද පවතිමින් යටින් වා පොළොව ඉක්ම, උඩින් භව අග ඉක්ම, සරසින් අනන්ත වූ සක් වළවල් ඉක්ම, ඔබගේ ශාසන ය පවත්නා තෙක් පවත්ති.
තව ද ඒ බුදුන් යම් තැනකට වඩනා කල බිම තබා ලූ පතුල් පිළිගන්ට මහ පොළොව පළා ගෙන උපුල් පියුම් නැඟෙයි. ඒ පියුම්වල මහ පෙති තිස් රියන. කුඩා පෙති පස් විසි රියන. කෙසුරු විසි රියන. පියුම් කෙමි සොළොස් රියන් වෙයි. එ කි එ කී පියුමෙහි රේණු අමුණ අමුණ වෙයි. දෙ පත්ලෙන් පියුම් කෙමි දෙකක් මිරිකා ගන්නා මහ හිඟුල් සුණු වැනි වූ රන්වන් රේණු සළා පත්ලෙහි පටන් සිරස දක්වා රන් පිළිමයෙක හිඟුල් රේඛා දෙන කලක් මෙන් සියල් සිරුරු තවරා නැඟී ලා පෙරළා පා මුල්හි වැගිරෙයි. බොහෝ සේ නැඟෙන්නේ රත් පියුමුත් සුදු පියුමු ත් නැඟෙ යි. මෙ සේ ඒ මෙතේ බුදුහු අනන්ත වූ බුද්ධ ලීලායෙන් අනුපමෙය්‍ය වූ බුදු සිරින්, දිළිහි දිළිහී මුළු ලොව බුද්ධ රාජ්‍ය ය කෙරෙති.
ඒ මෛත්‍රෙය බුදුන්ගේ ගඳ කිළි ය දිව්‍ය විමානයක් සේ දෙව්ලොව වසන දෙවියෝ නන් විසිතුරු ඇගෑ පන්තීන් නිර්මිත කෙරෙති. එයින් රන් ඇගෑ අටෙක් වෙයි. රිදී ඇගෑ අටෙක් වෙයි. මැණික් ඇගෑ අටෙක් වෙයි. පබළු ඇගෑ අටෙක් වෙයි. නො එක් දහස් ගණන් මල් ඇගෑ පන්තීහු සතර දිග සැදී සිටි ත්. ඒ ඇගෑ සියල්ල උසින් අටාසූ රියන් පමණ වෙයි. මහත් ආනුභාව ඇති නාග-ගුරුළු-ගදඹ ආදීහු නො එක් පැහැ ඇති නානා රත්නයෙන් විසිතුරු වූ සිය දහස් ගණන් ධජ මාලාවෙන් ද, රන් දම්–රිදී දම්-මුතු දම්-මැණික් දම් එල්වා අලඞ්කාර කොට මිණි කිකිණි දැළින් වටකරන ලද රන් රුවන් මය මුදුන් මල් කඩින් හා ලම්බමාන පෙති පතර ඇති රන් පියුම් රුවන් කෙමි ආදියෙන් යුක්ත වූ සත් රුවන්මය මාහැඟි වියනින් ද ඒ ඇගෑ මුදුන නිරන්තරයෙන් සරහා අලඞ්කාර කෙරෙති.
ඇම කලම දිව මල් වැසි වස්සි. දෙවි මිනිස් ලොව ඇති නො එක් ජාතියෙහි සුවඳ සුණු අහසින් බස්සී. ඒ ඇගෑ මුදුනෙහි පස්වනක් පැහැයෙන් විසිතුරු වූ දස දෙස ආලෝක පැතිරෙන මනහර වස්ත්‍ර ජාතීහු පවන් වේගයෙන් ලෙළ දි දී දස දිග හොබවා සිටිති. ඒ බුදුන් කෙරෙහි පහන් වූ දෙවි මිනිස්සු නිරන්තර ව කෙළිති. නටති. අත්පොළසන් දෙති. සාධු නාද පවත්වති. හාත්පස එකනිග්ඝෝස එකනින්නාද කෙරෙති.
ගඳ කිළි දොර ඉදිරියෙහි පැන නැංගා වූ දහසක් රියන් උස ඇති රුවන් ඇගෑ හා රන් තොරණ පන්තීහු විසිතුරු ධජ මාලාවෙන් විභූෂිත ව ඒ ඒ දිග විහිදුනා රශ්මි සමූහයෙන් ශෝභාමත් ව බබළති. ඒ ඇගෑ හා තොරණ පන්ති මධ්‍යයෙහි මහ පොළොව පළා ගෙන හාත්පසින් දොළොස් යොදුන් පමණ රුවන් මණ්ඩපයෙක් නැඟෙයි. ඒ මණ්ඩපය සතර කොන තිස් තිස් රියන් දිග ඇති මහ මිණි සතරෙක් මැවී තිබෙ යි. ඒ මිණි සතර පවනින් පහළ වේලෙහි නික්මෙන්නා වූ ශබ්දය මුළු සක්වළ පැතිර එකනින්නාද කෙරෙ යි. ඒ මණ්ඩපය මැද සත් රුවනින් විසිතුරු වූ ඉඳුනිල්මිණි පලඟෙක් මැවෙ යි. ඒ මුදුනෙහි සත් රුවන්මය දිව සේසතෙක් මැවී සිට්ටි.
එ කල ඒ ඇගෑ සතර හා තොරණ පන්ති මැද පිහිටි මණ්ඩපයෙහි බික් සඟුන් පිරිවරා මිණි පළඟ වැඩ හුන් බුදුහු බඹ ගණ පිරිවරා හුන් මහබඹා සේ ද දෙවි ගණ පිරිවරා පඬු ඇඹුල් සලසුන් නැඟී හුන් සක් දෙවිඳු සේ ද අතිශයින් බබළති.
තව ද ඒ මණ්ඩපයෙහි ඒ ඒ කොන්වල පියගඳ කුසුම් ආදීන් සුවඳ කවන ලද මිහිරි සිහිල් දිය පිරි සත් රුවන්මය වූ මහ දිය කළ පන්ති ද, සිවු දෑ ගඳින් පිරුණා වූ රුවන් කරඬු පන්ති ද, සුවඳ තෙලින් දල්වන ලද සත්රුවන්මය වූ පහන් රුක් පන්ති ද, අතුරු නො දී සතර දිග පිළිවෙළින් තිබෙයි. ඒ තොරණ ඇගෑ මණ්ඩප පියුම් ආදී වූ සියල්ලම බුදුන් ගමන් නික්මෙන වේලෙහි කැටිව ම නික්මෙ යි. උන් සිටි සැතපුණු වේලෙහි ඒ ඒ තැන ම සිට්ටි. නැවත කුල ගමට එළඹෙන වේලෙහි ද කැටිව ම නික්මෙ යි. එ කල ඒ මණ්ඩපයෙහි මිණි ගිගිරි ශබ්දයෙන් වඩනා බැව් දැන මනුෂ්‍යයෝ පෙර ගමන් කෙරෙති. මෙසේ කුල ගමට වැද වළඳා බණ දෙසන වේලෙහි දී ඒ බුදුන්ගේ ශබ්දය අසා නො එක් දෘෂ්ටිගතුවෝ බුද්ධාලම්බන ප්‍රීති උපදවා ගෙන ඒ ඒ තැන ම සිටියාහු බුදුන්ගේ නොඑක් ආශ්චර්‍ය්‍ය දැක තමන් තමන් ගත් මිථ්‍යා දෘෂ්ටි හැර සරණ ශීලයෙහි පිහිටා ලොවී ලොවුතුරා සැපත් සාදා ගනිති.
ඒ මෙතේ බුදුන් නො වරදවා දන්නෝ කවුරු ද, නො දක්නෝ කවුරු ද යත් - පඤ්චානන්තරිය කර්මයෙහි හැසිර අවීචියෙහි උපන්නාහුත් නියත මිථ්‍යා දෘෂ්ටිකයෝ ත් ආර්‍ය්‍යයන්ට බස හෙළා දෙඩුවාහු ත් අරූතල ආදී වූ ස්ථානවල උපන්නාහු ත් නො දකිති. ඉන් ආර්‍ය්‍යයන්ට බැණ දෙඩුවාහු ආර්යෝපවාද විධි ලෙසින් දෙසා ගත්තු නම් ඌ දකිති.
එසේ කල දක්නා කවුරු ද යත් - මෙ කී දෙය නැති ව තව ද මෙතේ බුදුන් දකුම්ව යි සිතා දන් දුන්නාහු ත් පන්සිල් පමණක් වුවත් සිල් රැක්කාහුත් ති ලකුණු පමණක් වුව ත් භාවනා කළාහු ත්, පොහෝ නො වරදවා පෙහෙවස් විසුවාහු ත්, දාගැබ් මහබෝ පිහිටු වූවාහු ත්, පින් නිසා මල් වතු කැරවූවා හු ත්, පල ගන්නා ගස් කොළ ලැවූවාහු ත්, හේ දඬු ලැවුවාහු ත්, අම්බලම් ගොනටු කැරවූවාහු ත්, ළිං පොකුණු කැරවූවා හුත්, පසු බස්නා ශාසනය පිහිටු වූවාහු ත්, බණ කියන්න වුන් හිඳ බණ කියන නියායෙන් බණ ගෙවල් කරවා බණ කියන්ට හිඳිනා හසුන් විජිනි පත්‍ර අතට දුන්නාහු ත්, තමා බණ කියා ගත නො හෙත ත් සඞ්ග්‍රහ විඳුනවුන්ට සඞ්ග්‍රහ කොට බණ කියවූවාහු ත්, මවුපියන්ට උපස්ථාන කළාහු ත්, කුල දෙටුවන් පිදුවාහු ත්, දස පින් කිරිය වත් පිරුවාහු ත්, තවද මෙතේ බුදුන් දකුම් ව යි සිතා එක මල් මිටක් පමණ වුවත්, එක පහනක් වුවත් පිදුවාහු ත්, වඩා නැත ත් බත් ආලෝපයක් පමණක් දුන්නාහු ත්; තමා පින් කළ නො හෙතත් අනුන් කළ පින් අනුමෝ වූවාහුත් බාධා නැති ව දකිති.
ඒ බුදුන් උපදනා නුවර නම් දඹදිව් නමැති වොටුන්නෙහි මැඳුම් පියෙස් නමැති වොටුනු අග ඔබා ලූ මැණිකක් වැනි වූ කේතුමතී නම් නුවර. එ වකට බමුණු කුල ය උතුම් බැවින් උභය කුල පරිශුද්ධ වූ සුබ්‍රාහ්මණ නම් බමුණු උතුමාණ කෙනෙක් ඒ බුදු රජුන්ට පිය වෙති. එ සේ ම උභය කුල පරිශුද්ධ වූ බ්‍රහ්මවතී නම් බැමිණි කෙනෙක් මවු වෙති. අශෝක නම් තෙර කෙනෙක් දකුණ ත් සවු වන සේක. බ්‍රහ්මදේව නම් තෙර කෙනෙක් වමත් සවු වන සේක.
උපස්ථායක තෙරුන් වහන්සේ සීහ නම් වන සේක. පදුමාය, සුමනා ය යන මෙහෙණින්නෝ දෙ දෙනක් අග්‍ර ශ්‍රාවිකා වෙති. සුධන නම් වූ ත් සඞ්ඝ නම් වූ ත් උපාසකවරු දෙදෙනෙක් නිරන්තර ව උපස්ථාන කෙරෙති. යසවතී නම් වූ ත් සංඝා නම් වූත් උපාසිකාවරු දෙ දෙනෙක් උපස්ථාන කෙරෙති. බෝධි වන්නේ නා ගසෙක. උසින් අටාසූ රියන් සේක. අසූ දහසක් හවුරුදු ජීවත් වන සේකැයි සලකා නිවන් රස අනුභව කිරීමෙන් චිත්ත සුද්ධි ය කළ යහපති.