නානාප්‍රකාර වන්දනා ක්‍රම

බුද්ධගුණය අනන්තය. ධර්මගුණය අනන්තය. සංඝගුණය අනන්තය. රත්නත්‍රයෙහි අනන්ත ගුණ ඇති බැවින් ඒ ඒ ගුණයන්ගෙන් ව්‍යක්තයෙකුට දහසක් වුව ද වන්දනා ක්‍රම පිළියෙල කළ හැකිය. උගතුන් විසින් දැනට ගාථා වශයෙන් හා වාක්‍ය වශයෙන් පිළියෙල කර ඇති බොහෝ වන්දනා ක්‍රම ඇත්තේ ය. වැඩි ගණනක් වන්දනා ක්‍රම පුහුණු කර ගත් පින්වතාට රත්නත්‍රයේ ගුණ වැඩි ගණනක් දැනගන්නට ලැබීමෙන් රත්නත්‍රය කෙරෙහි අධික ප්‍රසාදයක් ඇති වේ. ඔහුට නොයෙක් ක්‍රමවලින් තෙරුවන් ගුණ සිහි කොට කථනය කොට වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ පින් සිදු කර ගත හැකිය. එබැවින් වැඩිගණනක් වන්දනා ක්‍රම පාඩම් කරගෙන තිබීම වඩා හොඳය. වඩ වඩා ගුණ කථනය කරමින් වැඩි වේලාවක් වන්දනා කිරීමෙන් වඩා පින් ද සිදු කරගත හැකිය. කොතෙකුත් ගාථා කියමින් බොහෝ කල් වැඳ වැඳ සිටීම නිෂ්ඵල වැඩකැයි ඇතැම්හු කියති. ඔවුන් එසේ කියන්නේ ඔවුන්ගේ නො දැනීම නිසාය. අනේක ප්‍රකාර වන්දනා ක්‍රමවලින් සමහරක් සමහරුන්ට රුචිය. සමහරක් අරුචිය. ඔබට රුචි ක්‍රම තෝරා ගෙන භාවිතා කළ හැකි වීමට මෙහි නොයෙක් වන්දනා ක්‍රම දක්වනු ලැබේ. ඔබට කැමති ක්‍රම තෝරා ගෙන ඒවායින් එකක් දෙකක් හෝ වැඩි ගණනක් හෝ පාඩම් කරගෙන භාවිත කරන්න. බොහෝ වන්දනා ක්‍රම පාඩම් කරගෙන උදයේ එක් ක්‍රමයකින් ද සවස තවත් ක්‍රමයකින් ද එක් දිනක එක් ක්‍රමයකින් ද තවත් දිනක තවත් ක්‍රමයකින් ද වන්දනා කිරීමද යහපති.