ප්‍රතිපත්ති පූජාව

ලොවුතුරා බුදුබවට පැමිණ පන්සාළිස් වසරක් ලෝ වැඩ කළා වූ තථාගතයන් වහන්සේ පිරිනිවීම සඳහා කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩ වදාරා සල් රුක් දෙකක් අතර පනවන ලද මඤ්චකයෙහි මතු නොනැගී සිටින සෙය්‍යාවෙන් ශයනය කළ කල්හි දෙවියෝ මල් සඳුන් සුණුවලින් හා සංගීතයෙන් හා අනේක තූර්යයෙන් ද පූජා පවත්වන්නට වූහ. ඒ මහා පූජාව පවත්වන කල්හි තථාගතයන් වහන්සේ ආනන්ද මහ තෙරුන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක.

“න ඛො ආනන්ද එත්තාවතා තථාගතො සක්කතො වා හොති ගරුකතො වා මානිතො වා පූජිතො වා අපචිතො වා යො ඛො භික්ඛුවා භික්ඛුනී වා උපාසකො වා උපාසිකා වා ධම්මානු ධම්මපටිපන්නො විහරති සාමිචිපටිපන්නො අනු ධම්මචාරි සො තථාගතං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති පරමාය පූජාය තස්මාතිහානන්ද ධම්මානුධම්ම පටිපන්නා විහරිස්සාම සාමිචිපටිපන්නා අනුධම්මචාරිනොති එවඤ්හි වො ආනන්ද සික්ඛිතබ්බන්ති”

(පරිනිබ්බාන සුත්ත)

තේරුම:

“ආනන්දය! මෙතෙකින් තථාගත තෙමේ සත්කාර කරන ලද්දේ හෝ ගරු කරන ලද්දේ හෝ සිතින් ආදරය කරන ලද්දේ හෝ පූජා කරන ලද්දේ හෝ අභිවාදනාදිය කරන ලද්දේ හෝ නොවේ. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නවලෝකෝත්තර ධර්මයට පැමිනීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙමින් වෙසේ නම්, නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසෙයි නම්, නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසෙයි නම්, හෙතෙමේ තථාගතයන් වහන්සේට සත්කාර කෙරේ. ගරු කෙරේ. සිතින් ආදරය කෙරේ. අභිවාදනාදිය කෙරේ. ආනන්දය එබැවින් තෙපි නවලෝකෝත්තර ධර්මයට පැමිනීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙන්නමෝ වෙමු යයි ද නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ වෙමු යයි ද, ධර්මයට අනුව හැසිරෙන්නමෝ වෙමු යයි ද මෙසේ හික්මිය යුතුය.

සැදැහැවත්හු තථාගතයන් වහන්සේට මල් පහන් සුවඳ ආහාර පාන යනාදිය බොහෝ පුදති. එහෙත් ඒවායින් උන්වහන්සේට උවමනාවක් නැත. ඒවා ලැබීමේ බලාපොරොත්තුවක් ද උන්වහන්සේට නැත. උන්වහන්සේ බලාපොරොත්තු වන එක් දෙයක් ඇත. එනම් මහජනයා විසින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමය. තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බොහෝ දුක් ගෙන පෙරුම් පුරා බුදු බව ලබා ගත්තේ අනුන්ගේ පූජා සත්කාර ලැබීම සඳහා නොව මහජනයා සම්‍යග් ප්‍රතිපදාවෙහි යෙදවීම සඳහා ය. එ බැවින් උන්වහන්සේ බලාපොරොත්තු වන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යමෙක් යෙදේ නම් එය උන්වහන්සේ තමන් වහන්සේට පූජාවක් කිරීමක් ලෙස සලකති. එබැවින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම තථාගතයන් වහන්සේට පූජා කිරීමක් ද වේ. සුවඳ මල් ආදී ද්‍රව්‍යන් මෙන් තමන් පුරන ප්‍රතිපත්තිය තවත් කෙනෙකුට පූජා කළ හැකි දෙයක් නො වේ. මෙකල බොහෝ දෙනා “ඉමාය ධම්මනුධම්ම පටිපත්තියා බුද්ධං පූජෙමි” යනාදීන් කියා ප්‍රතිපත්ති පූජාවය කියා එකක් කරතත් එසේ කිරීමෙන් යම්කිසි ප්‍රයෝජනයක් නොපෙනේ. නා නා විධ පූජ කොට ඒවායින් නොයෙක් අනුසස් ලැබූ අයගේ කථා බොහෝ ගණනක් අපදාන විමානවත්ථු ආදී බණ පොත්වල දක්නා ලැබේ. ප්‍රතිපත්ති පූජාවය කියා දෙයක් යම් කිසිවකු විසින් කරන ලද බවක් කියැවෙන කථාවක් කිසිතැනෙක නො දක්නා ලැබේ. ඉහත දැක්වූ දේශනා පාඨයෙන් කියැවෙන්නේ ප්‍රතිපත්තියෙන් පිදීමය කියා අමුතු දෙයක් කිරීමට නොව පිළිවෙත් පිරීම ම පූජාවක් වන බවය.

ප්‍රතිපත්ති පූජාව වරදවා තේරුම් ගත් ඇතැම්හු බුදුරදුන් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨය යි වදාරා තිබෙනවාය දන්දීම මල් පහන් පිදීම ආදිය ආමිස පූජාය. ඒවා නො කළාට අප ළඟ ප්‍රතිපත්තිය තිබෙනවාය කියමින් නිකම් ම සිටිති. ගිහියාගේ සම්‍යක් ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පූජාව) පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය.

“යො පන තිසු සරණෙසු පඤ්චසු සීලෙසු දසසු සීලෙසු පරිපූරකාරි හොති මාසස්ස අට්ඨ උපොසථෙ කරොති, දානං දෙති, ගන්ධ පූජං මාලා පූජං කරොති, මාතරං උපට්ඨාති, පිතරං උපට්ඨාති, ධම්මිකෙ සමණබ්‍රාහ්මණෙ උපට්ඨාති, අයං ධම්මානුධම්ම පටිපන්නො නාම හොති.”

තේරුම:

යමෙක් තිසරණය පඤ්චශීලය දශශීලය සම්පූර්ණ කෙරේ ද, මාසයෙහි පොහෝ දින අටෙහි පෙහෙවස් වෙසේ ද, දන් දෙයි ද, සුවඳ පූජා කෙරේ ද, මල් පූජා කෙරේ ද, මවට උපස්ථාන කෙරේ ද, පියාට උපස්ථාන කෙරේ ද, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේ ද, ඒ තැනැත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේ ය.

මේ අටුවා පාඨයෙන් දැක්වෙන දන් දීම සුවඳ මල් පිදීම මව්පියන්ට ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම යන මේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති බවය. ප්‍රතිපත්තිය සම්‍යක් ප්‍රතිපත්ති, මිථ්‍යා ප්‍රතිපත්ති වශයෙන් දෙයාකාර වේ. මේ ප්‍රතිපත්ති පූජා කථාවෙහි අදහස් කරන්නේ සම්‍යක් ප්‍රතිපත්තිය ය. එනම් බුදුරදුන් විසින් නො කළ යුතු යයි වදාළ දේවල් වලින් වැළකීමත් කළ යුතු යයි වදාළ දේවල් කිරීමත්ය. යමෙක් බුදුරදුන් විසින් කළ යුතු යයි වදාරා ඇති දානාදී පින්කම් වලින් කුමක් හෝ කෙරේ නම් එය ප්‍රතිපත්ති පූජාව බව දත යුතුය.