අලුත් දාගැබක් ප්‍රතිමා මන්දිරයක් දහම් හලක් සංඝාවාසයක් කිරීම බොහෝ වියදම් කළ යුතු වෙහෙසිය යුතු කාර්යයකි. දැනට ඇත්තා වූ ඒ පුණ්‍යභූමීන් විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගැනීම බෞද්ධයන්ගේ යුතුකමෙකි. එය සැමදෙනාට ම අයත් වැඩකි. එබැවින් වන්දනාවට යන බෞද්ධයන් ඒ පුණ්‍යස්ථාන නැවත නැවත සංස්කරණය කොට ආරක්ෂා කිරීමට ද උත්සාහවත් විය යුතුය. චෛත්‍යාදිය සංස්කරණය කිරීම මහඟු පිනකි.
මෙයින් සිව් අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැළී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිව් අනූ කපක් දෙව් මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියළු කෙලෙසුන් නසා රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ “සුධාපිණ්ඩිය” යන නමින් ද හඳුන්වන ලදහ. තව ද මෙයින් දෙ අනූ වන කපෙහි බුදු වූ ඵුස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහවනයෙහි ඇතුන් විසින් පලුදු කරන ලදුව ගස් වැවී ජරාපත් වී තිබිණ. එක් සැදැහැවතෙක් ඒ චෛත්‍යයෙහි කැඬුම් බිඳුම්වලට බදාම ගා ප්‍රතිසංස්කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා ද දෙ අනූ කපක් මුළුල්ලෙහි අපමණ දෙව් මිනිස් සැප විඳ අප බුද්ධශාසනයේ පැවිදිව රහත්ව දුක් කෙළවර කළේය. ඒ රහතන් වහන්සේ ඛණ්ඩඵුල්ලියත්ථෙර යන නමින් හඳුන්වන ලදහ. උන්වහන්සේ ගේ ප්‍රකාශනයක් මෙසේය.
ද්වෙ නවුතෙ ඉතො කල්පෙ යං කම්මකරිං තදා,
දුග්ගතිං නාභිජානාමි සුධාපිණ්ඩස්සිදං ඵලං.
(අපදාන පාලියෙනි)