“දීපදෝ හොති චක්ඛුදො” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණෙකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින්කමෙකි. සෑම පිනකින් ම දෙව්මිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස් ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි. උපනුපන් තැන හොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමට ද මෙය විශේෂ පින්කමෙකි.
අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේදී ධනවත් මනුෂ්‍යයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍ර ද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහා සංඝයා වහන්සේ වෙත එළඹ “දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදැ” යි ඇසීය. “උපාසකය, එය සඳහා ප්‍රදීපදානය දෙන්නට වටනේය” යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැ යි ගිවිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්‍යය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය. ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවත ද හෙතෙමේ කාශ්‍යප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින් ද තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශ්‍යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛත්‍යය වටා තබා විශාල රන්තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍යය වටා සර්ව රාත්‍රියේ ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කළේය.