සුළුගුළු උපාසක

සුළුගුළු උපාසක යනු සිංහල බෞද්ධයන් අතර ප්‍රසිද්ධ නමෙකි. ඒ නම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුළුගුළු උපාසකතුමාට මලිය මහාදේව නම් වූ රහතන් වහන්සේගේ ආරාධනයෙන් පණ තිබියදී ම තව්තිසා දෙව් ලොවට යන්නට ලැබීම නිසා ය. දෙව්ලොවදී ඔහුට නානාප්‍රකාර සම්පත් ඇති බොහෝ දෙවියන් ඇසින් ම දැක ගත හැකි විය. උපාසක තුමා සිළුමිණි සෑය සමීපයෙහි සිටි කල්හි රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්තශෛන්ධවයන් යෙදූ ප්‍රවාල රථයකින් එක් දෙවියෙක් එහි ආවේය. ඔහුට රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසුණු සුරංගනාවෝ රත් චාමර ගෙන පවන් සලති. එසේම සැරසුණු තවත් බොහෝ දෙව්ලියෝ ඔහු සතුටු කරවනු වස් ඔහු ඉදිරියේ සුමිහිරි ගී ගයති. තූර්යයන් වාදනය කෙරෙති. නටති. රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්තවර්ණ ඡත්‍රධ්වජපතාකාවන් ගෙන බොහෝ දෙවියෝ ඔහු පිරිවරා ගමන් කරති. එසේ මහත් වූ දේවානුභාවයෙන් මහත් වූ ඓශ්වර්යයෙන් හැසිරෙන ඒ දෙවියා දැක උපාසක තෙමේ “හිමියනි, මෙබඳු සම්පත්තියක් ඇතියකු මීට පෙර මා කිසි දිනක දැක නැත. මේ සම්පත්තිය මොහුට ලැබී ඇත්තේ කිනම් පිනකින්දැ” යි ඇසීය.

එකල්හි තෙරුන් වහන්සේ කියන්නාහු “උපාසකය, මොහු පෙර ජාතියේ චේතිය විහාරය සමීපයේ ගමක ගොපලු දරුවෙකි. ඔහු එක් දිනෙක අනික් ගොපලු දරුවන් හා ගවයන් ගෙන දැදුරු ඔය වෙත ගොස් ගව සමූහයට තණ කන්නට හැර තෙමේ වැලිතළාවක ක්‍රීඩා කරන්නේ වැලි එකතු කොට සෑයක් තනා රත්මල් වනයට පිවිස බොහෝ මල් නෙලා ගෙනවුත් එහි පුදා මල් නො වියළෙනු පිණිස පැන් ඉස හිරුරැස් වළකණු පිණිස අතු කඩා ගෙනවුත් ආවරණයක් කොට සිත පහදා ගෙන සවස ගවයන් ගෙන නිවසට ගියේය. අදින රාත්‍රියේ හට ගත්තාවූ ආබාධයකින් කළුරිය කළ ඔහු මෙහි උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තිය ය” යි වදාළ සේක. එය අසා උපාසක තෙමේ මහත් සොම්නසට පැමිණියේය.

මල්, ජනයන්ගේ නෙත් සිත් පිනවන ශෝභාවක් හා සුගන්ධයක් ද ඇත්තාවූ ජනප්‍රිය දෙයකි. එය පිදීමේ පිනෙන් විශේෂයෙන් උපනුපන් ජාතිවලදී රූප ශෝභාව ඇති වේ. ස්වර්ණතිලකාවට පුරුෂයන් වශී වන, උමතු වන රූප ශෝභාවක් ඇති වූයේ මල් පූජාවෙනි. උපනුපන් තැන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයෙකු වීමට ද මල් පූජාව විශේෂයෙන් හේතු වේ.