අතීතයේ එක් කපෙක හිමවත දකුණු දිග එක් භූමිභාගයක අසපුවෙක තව්සෙක් මෝක්ෂ මාර්ගය දක්වන ආචාර්යයවරයෙකු සොයමින් වනයෙහි ඇති මූල ඵලයන් ආහාර කොට ගනිමින් විසුවේ ය. එසමයෙහි සුමේධ බුදුන් වහන්සේ ලොව පහළව සිව්සස් දෙසමින් මහජනයා සසර සයුරෙන් එතෙර කරවන්නට වන්හ. බුදුන් ලොව පහළව අට වසක් ඉක්මීමෙන් පසු බුදුන් ලොව පහළ වූ පුවත තව්සාට ද සැලවිය. තාපස තෙමේ ඉමහත් ප්‍රීතියට පැමිණ අසපුව හැමද ගිනි නිවා තවුස් පිරිකර ගෙන බුදුන් දක්නා රිසියෙන් නික්ම ගොස් සුමේධ බුදුන් වහන්සේ වෙසෙන චන්දවතී නම් නගරයට එක් දිනකින් ම පැමිණියේය. එසමයෙහි සුමේධ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරමින් උන් සේක. තාපස තෙමේ ජන සමූහයා පසු කොට ඉදිරියට ගොස් බුදුන් වහන්සේට වැඳ මතු දැක්වෙන ගාථා කියා උන්වහන්සේට ස්තුති කළේය.
තුවං සත්ථා ච කේතු ච ධජො යූපො ච පාණිනං,
පරායනො පතිට්ඨා ච දීපො ච දීපදුත්තමො.
-
නෙපුඤ්ඤො දස්සනෙ වීරො තාරෙසි ජනතං තුවං,
නත්ථඤ්ඤො තාරකො ලොකෙ තවුත්තරීතරො මුනෙ.
-
සක්කා භවේ කුසග්ගෙන පමෙතුං සාගරුත්තමෙ,
නත්වෙව තව සබ්බඤ්ඤු ඤාණං සක්කා පමෙතවෙ.
-
තුළා දණ්ඩෙ ඨපෙත්වාන මහිං සක්කා ධරෙතවෙ,
නත්වෙව තව පඤ්ඤාය පමාණමත්ථි චක්ඛුම.
ආකාසො මිනිතුං සක්කා රජ්ජුයා අංගුලෙන වා,
නත්වෙව තව සබ්බඤ්ඤු සීලං සක්ක පමෙතවෙ.
-
මහාසමුද්දෙ උදකං ආකාසො ච වසුන්ධරා,
පරිමෙය්‍යානි එතානි අප්පමෙය්‍යාසි චක්ඛුම.
සුමේධ බුදුන් වහන්සේ ඔහුගේ ස්තුති පූජාව පිළිගෙන මහසඟන මැද හිඳ ඔහුට මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක. පහන් සිතින් මාගේ ඥානයට පැසසූ ඒ තවුසා ඒ පිනෙන් සත් සැත්තෑ කපක් දෙව් ලොව දෙව් සැප විඳින්නේ ය. දහස් වරක් දෙව්ලොව රජ වී රජය කරන්නේ ය. වාර සිය ගණනක් මිනිස් ලොව සක්විති රජ වන්නේය. ගණනින් නිම කළ නොහෙන තරම් වාරවලදී ප්‍රදේශ රාජ සම්පත් ලබන්නේය. මොහු දෙව් වුව ද මිනිස් වුව ද හැම කල්හි පින්කම් කරන තියුණු නුවණැතියෙක් වන්නේ ය. මෙයින් කල්ප තිස් දහසකින් මතු ඔක්කාක කුලයෙහි ගෞතම නම් බුදු කෙනෙක් වන්නේ ය. එකල මේ තෙමේ මිනිස් ලොව ඉපිද ඒ බුදුන්ගේ සස්නෙහි ඉපිද පැවිදිව සත් අවුරුදු වයසේදීම සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ දුක් කෙළවර කරන්නේ ය.
ඒ තාපස තෙමේ බුදුන්ගේ කාලයේ පටන් ගෞතම බුදුන්ගේ කාලය දක්වා ඇති කල්ප තිස් දහහසක් වූ අතිදීර්ඝ කාලයෙහි එක වරකුදු දුර්ගතියට නො පැමිණ දේව මනුෂ්‍ය සංඛ්‍යාත සුගති සංසාරයෙහි සැරිසරා අප බුදුන් කාලයේ දී මිනිස් ලොව ඉපිද පැවිදිව සත් අවුරුදු වයසේ දීම රහත් ව:
“තිංස කප්ප සහස්සම්හි - යං ඤාණමථවිං අහං,
දුග්ගතිං නාභිජානාමි - ඵලං ඤාණස්ස ථොමනෙ.”
යනුවන් මම කල්ප තිස් දහසකින් ඔබ බුදුන්ගේ නුවණට යම් ස්තුතියක් කළෙම් ද ඒ පිනෙන් මේ වනතුරු දුර්ගතියට නො ගියෙමි. මෙය ඥානයට ස්තුති කිරීමේ ඵලයයි ප්‍රකාශ කළේය. මේ කථාව ඤාණාතවිකතෙරාපදාන යන නමින් අපදාන පාලියෙහි එන්නේ ය.