දෙතිස් නිමිති

star_outline

ඒ බමුණෝ ස්වප්නය පරීක්‍ෂා කොට කියන්නාහු “දේවයෙනි! දේවීන් දුටුයේ දරු සීනයෙක. සුදු ඇත්පැටවෙක් නම් බුදු වන පුත් පැටවෙකැ”යි යන අර්ථය. ශුද්ධ පද්මයෙක් නම් බුද්ධ පද්මයෙකැ යි යන අර්ථ ය. එසේ හෙයින් ප්‍රඥා නමැති හස්තයෙන් වෛනෙය ජන නමැති පද්මයන් ධරා දේශනා නමැති රශ්මීන් ප්‍රබුද්ධ කරන්නා වූ බුද්ධපුත්‍රෙයක් ම ය. මේ කාරණයෙන් දේවීන් කුස, හිමි! නුඹට බුදු හෝ වන චක්‍රවර්ති හෝ වන පුතෙක් උපන. ඒකාන්තයෙන් ඒ ද්විපදයන්ට උත්තම තුන්ලෝ වැසියන් විසින් පූජා ලැබෙන පුතෙක් ම ය. දරුගබ් මගුල් කරව”යි බමුණෝ රජු සන්තෝෂ කරවා සමුගෙන ගියහ. මෙසේ මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයන් මවුකුස පිළිසිඳගත් ඇසිල්ලෙහි ම පාරමිතා බෙලෙන් ජනිත වූ උන්වහන්සේගේ ම පුණ්‍යප්‍රභාවයෙන් ලොවට අද්භූත වූ ආශ්චර්‍ය්‍ය පූජා දෙතිසෙක් පහළ වී ය. ඒ දෙතිස් පූජා නම් කවරහ? යත්;

එදා මහී නමැති කාන්තාව දීපඞ්කර පාදමූලයෙහි පටන් තමා බඳු වූ අචල ගුණයන් සාරාසංඛ්‍යය කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි පුරා ආ හෙයින් “මා සේ ම අචල වූ ගුණ ඇති සේකැ”යි සන්තුෂ්ටව දසදහසක් සක්වළ දසදහසක් මහ පොළෝ නමැති භෙරීන් නාද පවත්වා මහීගර්ජනා නම් වූ පළමුවන ප්‍රතිසංධි පූජාව කළ දෑ ය. තව ද සුවහස් පහන් දැල් වූ එක මඟුල් ගෙයක් සේ දසදහසක් සක්වළ මුළුල්ලෙහි පැවැත්තා වූ මහත් වූ ආලෝකය මාගේ බුදුන් ලද දෙවන ප්‍රතිසන්ධි පූජා නම. තව ද ජාතියෙන් අන්‍ධ වූ මිනිසුන් උපන් තැන් පටන් නුදුටු විරූ දෑ අනේකප්‍රකාර වර්ණ දැක මේ කෙසේ වූ ආශ්චර්‍ය්‍යෙයක් දැයි අහෝ සාධු අහෝ සාධු” යි කිය කියා ලෝකාලෝක දැක කළා වූ සන්තෝෂය මාගේ බුදුන් ලද තුන්වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද දස දහසක් සක්වළ මුළුල්ලෙහි උපන්නා වූ ජාති ගොළුවන් කුරවීක නාද පරදවා එ කෙණෙහි ලීලොපෙත කොට ගී කීම මාගේ බුදුන් ලද සතරවන ප්‍රතිසන්ධි පූජා නම.

තව ද උපන් තැන් පටන් ජාතියෙන් බිහිරන් බෙර හඬ සක් හඬ පමණකුත් නො අසා එ කෙණෙහි ගොළුවන් කියන ගීතිකා ශබ්දයෙන් පිබිද ඒ ගායනා අස අසා සාධුකාර දීම මාගේ බුදුන් ලද පස්වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද උපන් දා පටන් පයින් නොගිය විරූ වනුගා නිගා විඳ ඇවිදුනා පිළුන් දෙපය සොල්වා යොදුන් ගණන් දිවපියා නළුවන් සේ නට නටා අත්පොළසන් දි දී අහෝ සාධු, අහෝ සාධු, යි හඬගානා ශබ්ද ඝෝෂාව මාගේ බුදුන් ලද සවන ප්‍රතිසන්ධි පූජා නම. තව ද කුරු කුදු ව උපන් සත්ත්‍වයන් විශේෂ වූ ගාත්‍ර ලදින් ඉතා උස්තෙන තුබූ පකාපැකින් බිඳ කකා තලු ගසා රස විඳ ඔල්වරසන් දි දී සාධුකාර දීම මාගේ බුදුන් ලද සත්වන ප්‍රතිසන්ධි පූජා නම.

තව ද ඒ ඒ තන්හි බන්‍ධනාගාරයන්හි වසන හස්ති අශ්ව මයුර ශාරිකාදීන් හා අන්‍දුඝරාදියෙහි [1]හැකිළි බඳ සත්ත්‍වයන් තමන් තමන්ගේ බැඳුම් සිඳී ස්වකීය වූ ස්ථානයට පැමිණ සන්තෝෂයෙන් කරන්නා වූ රැවු පිළිරැවු දහස් ගණන් මාගේ බුදුන් ලද අටවන ප්‍රතිසන්ධි පූජා නමි. තව ද දස දහසක් සක්වළ තෙළෙස් ලක්‍ෂ සැටදහසක් නරකවල ගිනි නිවී හිමපිඬක් සේ සිහිල් ව කපක් මුළුල්ලෙහි ගින්නෙන් දන නිරිසතුන්ගේ ගිනිගත් ශරීර දියකඳු සේ සිහිල් ව ගිය වේලෙහි ඔවුනොවුන් දැක මේ කෙසේ වූ විස්මයෙක් ද? කොල, මේ නරක දුකින් අද මිදී ගියම්හ යි කිය කියා දසදහසක් සක්වළ මුළුල්ලෙහි නරකවල සත්ත්‍වයන් කීවා වූ සාධුකාර ශබ්ද ඝෝෂාව මාගේ බුදුන් ලද නව වන ප්‍රතිසන්ධි පූජා නම.

තව ද: කපක් මුළුල්ලෙහි බත් නො ලද්දා වූ ප්‍රේතයන්ගේ සා පිපාසා නිවී බත් ලදින් පැන් ලදින් ‘අහෝ සුඛං අහෝ සුඛං’ කීවා වූ ශබ්ද ඝෝෂාව මාගේ බුදුන් ලද දස වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද උපන් තැන් පටන් මරණයෙහි භයින් ඇවිදුනා වූ තිරිසන් අපායෙහි සත්ත්‍වයන් ඔවුනොවුන් කෙරෙහි භය නැති ව සිත් සේ ඇවිදීම මාගේ බුදුන් ලද එකොළොස්වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද දසදහසක් සක්වළ සියලු සතුන්ගේ උපන්දා උපන් අසාධ්‍ය වූ රෝග සන්හිඳී ‘අහෝ සුඛං අහෝ සුඛං’ යන සන්තෝෂ වචනයන් කීම මාගේ බුදුන් ලද දොළොස් වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද සියලු සත්ත්‍වයන් ම ඔවුනොවුන්ට අප්‍රිය වචනයක් නොකියා ප්‍රිය වචන ම කීම මාගේ බුදුන් ලද තෙළෙස් වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද එදා අශ්වරාජයන් එ කෙණෙහි ම මධුර නාදයෙන් හේෂාරව කිරීම මාගේ බුදුන් ලද තුදුස් වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද එදා දස කුලෙහි ඇතුන් සන්තෝෂයෙන් කුඤ්චනාද කිරීම මාගේ බුදුන් ලද පසළොස් වන ප්‍රතිසන්ධි පූජා නම.

තව ද එදා සිංහරාජයන් නොඑක් ගල් මුදුනට නැගී “සත්ත්‍වයෙනි! බුදුහු මවුකුස පිළිසිඳි සේකැ”යි ලොවට හඬ ගාන්නා සේ කරන ලද මහත් වූ සිංහගර්ජනාව මාගේ බුදුන් ලද සොළොස්වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද එදා මහිෂ ගවර සෙමරාදි සියලු සිවුපාවන් තමන් තමන්ගේ නාදයෙන් ඝෝෂා කිරීම මාගේ බුදුන් ලද සතළොස් වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද එදා දසදහසක් සක්වළ දෙව්මිනිසුන් පළඳනාලද කනක කටකාදි ආභරණයන් සැලී ප්‍රාණ ඇතියන් සේ රවන ය කිරීම මාගේ බුදුන් ලද අටළොස් වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද එදා දශවිධධ වූ දිගන්තරයෙහි ප්‍රභාස්කන්‍ධයන් විහිද බුදු රස්කඳු සේ දිවීම මාගේ බුදුන් ලද එකුන් විසිවන ප්‍රතිසන්ධි පූජා නම.

තව ද එදා වාතවලාහක දිව්‍යපුත්‍රයන් සැඬ පවන් දුරුකොට වන සුවඳින් යෙදුනා වූ මඳ මඳ පවන් පැවැත්වීම මාගේ බුදුන් ලද විසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද එදා වස්ස වලාහක දිව්‍යපුත්‍රයන් අකාල මේඝ නඟා දසදහසක් සක්වළ එ කෙණෙහි වැසි වස්වා පීම මාගේ බුදුන් ලද එක්විසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද මහපොළොව පලා නාඹ තල්කඳ සා ජලධාරාවන් රිදී කඳන් සේ නැඟී ඒ ඒ දිග්හි දිවීම මාගේ බුදුන් ලද දෙවිසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද එදා සියලු පක්‍ෂීන් ම එ වේලෙහි ආකාශයෙන් නො ගොස් තුරු අග නො හිඳ මිහිමඬලට බැස තමන් තමන්ගේ ධ්වනියෙන් මධුරනාද කිරීම මාගේ බුදුන් ලද තෙවිසි වන ප්‍රතිසන්‍ධි පූජා නම.

තව ද එදා දසදහසක් සක්වළ නේ සුවහස් ගඞ්ගාවන් යටිගං බලා යන ගමන් හැර බුදුහු උපන් හ යි සතුටු ව බලා සිටිනා සේ නො ගොසින් රඳාපීම මාගේ බුදුන් ලද සූවිසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද එදා දසදහසක් සක්වළ මුළුල්ලෙහි සතළිස් දහසක් සමුද්‍රයන්ගේ මහ රළ සන්හිඳී ලුණුදිය අන්තර්ධාන ව මධුර ජලයෙන් පිරී ප්‍රසන්න ව නිවී සැනහී තිබීම මාගේ බුදුන් ලද පස්විසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද එදා සතළිස් දහසක් සාගරයෙහි පස් පියුම් පිපී විසිතුරු මලසුන් සේ වීම මාගේ බුදුන් ලද සවිසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද එදා දියෙහි ගොඩෙහි පිපෙන හැම මල් සමූහයන් එ කෙණෙහි ප්‍රබුද්ධ ව දසදිග සුවඳ පතුරුවා රොන් සළා දීම මාගේ බුදුන් ලද සත්විසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි ගල්වල ද මුල්වල ද මුල පටන් අග දක්වා මලින් වැසී යාම මාගේ බුදුන් ලද අටවිසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද දසදහසක් සක්වළ පොළෝවල ද, දසදහසක් සක්වළ පර්වත මුදුනේ ද, බිම් පලා ගල් පලා සත්බුඹු දඬු පියුම් පැන නැගී ඒ ඒ තැන සිටීම් මාගේ බුදුන් ලද විසිනව වන ප්‍රතිසන්‍ධි පූජා නම.

තව ද සියලු ආකාශ ය මුළුල්ලෙහි පියුමෙන් අතුරු නැතු ව උඩු බලා නටු තිබී යටි බලා කෙමි තිබී මල් වියනක් සේ මැවී යාම මාගේ බුදුන් ලද තිස් වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි එ කෙණෙහි මල්වැසි වැස පියා මුළුලොව එක මලස්නක් සේ, එක මල් වටක් සේ, වීම මාගේ බුදුන් ලද එක්තිස් වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද එදා මතු අර්හත් ධ්වජයට පූර්ව නිමිත්ත පානා සේ එදා නැඟූ ධ්වජමාලායෙන්, බඹලෝ වසා ගැන්ම මාගේ බුදුන් ලද දෙතිස් වන ප්‍රතිසන්‍ධි පූජා නම.

මෙසේ බුදුහු තමන් බුදු වන ජාතියෙහි මවු කුස පිළිසිඳගත් කුසල් පමණකින් මෙසේ ලොවට ඉතා අද්භූත වූ, ඉතා ආශ්චර්‍ය්‍ය වූ, ඉතා විස්මය වූ, ප්‍රතිසන්‍ධි පූජාවන් දෙතිස් දෙනකු එක විගස ම ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, ශාක්‍යකුල සිංහ වූ, ශාක්‍යකුල නායක වූ, ශාක්‍යකුල කෙතු වූ, ශාක්‍යකුල ප්‍රසාදනීය වූ, ශාක්‍යකුල ලෝචන වූ, ශාක්‍යකුල චින්තාමාණික්‍ය වූ, ශාක්‍යකුල භද්‍රඝට වූ, ශාක්‍යකුල කල්පද්‍රැම වූ, ශාක්‍යකුල තිලක වූ, ශාක්‍යකුල ප්‍රදීප වූ, මාගේ ස්වාමිදරු වූ, බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:-

පූජාවිසේසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලෝකනාථො,

අත්‍ථානුරූපං “අරහං“ ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන් පශ්චිමාත්මභාවයෙහි ලද

ප්‍රතිසන්‍ධි පූජා කථා නම් වූ අට වන පරිච්ඡේදය නිමි.

  1. ඇකිලි,