බෝසතුන් මහාමායා දේවීන් කුස පිළිසිඳගැනීම

star_outline

මෙසේ අප මහා බෝධිසත්ත්‍වයෝ ආරාධනා කළ දිව්‍යබ්‍රහ්මයන්ට අවසර දී යවා හුනස්නෙන් නැගි ඒ තුෂිත පුරයෙහි දෙවියන් පිරිවරා එ පුරයෙහි ම නඳුන් උයන් වැඩිසේක. එ කෙණෙහි සියලු දේවතාවන් චුත වන කාලයෙහි ම පෙනෙන්නා වූ පඤ්ච මහා පූර්‍වනිමිත්ත පෙනින. හේ කෙසේ ද? යත්;

ඒ බෝසතුන්ගේ සත් පනස් කෙළ සැටලක්‍ෂයක් හවුරුදු හැඳි දා හැඳිවත, නො කෙලෙසී තුබූ සළුව, එ දවස් කෙලෙසී ගියේය. එ තෙක් කල් මුළුල්ලෙහි නො මළා තුබූ පැලඳි මල් පරව ගියේ ය. හිරුරැස් කලඹක් වන් ශරීරප්‍රභා ව නිෂ්ප්‍රභ ව ගියේ ය. දිව්‍ය වූ මාලිගාවෙහි වාසයට රිසි නැති විය. තුන් ගවු උස දිව්‍ය ශරීරයෙන් පිනි ගත් රුකක් සේ ඩා සෙල් වින. තුසීපුර දෙවියෝ බෝසතුන්ගේ චුත වන මේ පඤ්ච කාරණ දැක “ඉතො චුතො සුගතිං ගච්ඡ මාරිස, ඉතො චුතො සුගතිං ගච්ඡ මාරිස” යනාදීන් පිරිවරා සිට මගුල් තෙපුල් කීහ. එකෙණෙහි බෝසතාණෝ ද පවනින් පැහැර නිවූ පානක් සේ ඒ තුසීපුරයෙන් අන්තර්ධාන ව එදා ඇසළ මස මැදිපොහෝ ලද උතුරුසළ නකතින් අලුයම් රාත්‍රියෙහි ඒ මහාමායා දේවීන් කුස පිළිසිඳ වදාළ සේක. එහි විස්තර මෙසේ දතයුතු.

ඒ කපිලවස්තු නම් නුවර ඇසළකෙළි නම් වූ මහත් වූ උත්සව කෙළියෙක් පළමු සත්වෙනිදා පවත්වීය. සියලු ජනයෝ ඉස් සෝධා නහමින් සුවඳමල් පළඳිමින් සුවඳ ඇඟ ගල්වමින් කෑමෙන් පීමෙන් නැටීමෙන් ගී කීමෙන් කෙළියෙන් සිනායෙන් දවස් යවා ශක්‍රපුරය සේ එ නුවර සරහමින් සත් දවසක් උත්සව කෙළි කෙළිති. එ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ සොළොස් කළයක් සුවඳ පැනින් නහා ලක්‍ෂයක් අගනා සළුවක් හැඳ සූසැටක් ආභරණයෙන් සැරහී ශක්‍රදේවේන්‍ද්‍ර ලීලායෙන් සිංහාසන නැඟි හිඳ ඇමැති ගනයා පිරිවරා සැණකෙළි සිරි විඳිති.

එ කල මහාමායා දේවී දිව්‍ය ස්ත්‍රියක සේ සැරහී පන්සියයක් ස්ත්‍රීන් පිරිවරා මඟුල් පොකුණු වැද ජලක්‍රීඩා කොට නඳුන් පොකුණු වන් නන්‍දාඞ්ගනාවක සේ ක්‍රීඩා කොට ලක්‍ෂයක් අගනා කසී සළුවක් හැඳ සුපිපි සපුමල් රුකක් සේ රන් පළඳනාවෙන් සැරහී රජගෙට ගොස් රන්වන් පායෙහි මතුමාලට නැගී තමන්ගේ ශ්‍රීයහන් ගබඩායෙහි සරහා මල්පිරූ යානක් මතුයෙහි එදා රෑ නිද්‍රාවට පටන් ගත්හ.