අකීර්ති ආදි ජාතකවලදී කළ පූජා

star_outline

53. තව ද: අකීර්ති ජාතකයෙහි අසූ කෙළක් සැපත් හැර බරණැස් නුවරින් පිටත් ව ක්‍රමයෙන් කාර දිවයින් වැඩ එ කල එකලා ව කරගසක්මුල වැඩහිඳ කරපළා වළඳා පවත්තඵලක නම් වූ සත්වන උග්‍ර තපස කොට ඔහු වැඩහුන් තැනට ගෙන්වා ඔහු ම විචාරණ ලද පැන ය කියා බුද්ධලීලායෙන් ධර්ම දේශනා කළ දෑ ය. එදා ද සන්තෝෂ වූ සක්දෙව්රජ අසාධාරණ වූ වර අටෙකින් පූජා කොට ගියහ.

53. තව ද: සඞ්ඛ ජාතකයෙහි සඞ්ඛ නම් බ්‍රාහ්මණ ව දන් දෙනු සඳහා ධන සොයමින් මුහුදු නැගී ගොස් මුහුදු මැද දී නැව නැසිගිය කල සත් දවසක් මුළුල්ලෙහි නිරාහාර ව මහත් වූ වීර්යයෙන් තෙරක් දකිමි යි මුහුදු පිහිනන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ සම්පූර්ණ වූ චන්‍ද්‍රයා දැක ‘මියෙතත් පෞෂථාඞ්ග [1]ශීලය නො වරදවා අටගසිල් සමාදන් ව ශීලබලයෙන් මණිමේඛලා නම් දෙව්දුව ගෙන්වා ප්‍රිය කතාවෙන් ඈ සන්තෝෂ කැරවූ සේක. එදා සතුටු වූ ඒ මණිමේඛලා නම් දෙව්දුව දිග අටසියක් රියන්, පුළුල සාරසියක් රියන්. ගැඹුර සියක් රියන් පමණ ඇති, ඉන්‍ද්‍රනීල මාණික්‍යමය වූ කුඹ ඇති, සත් රුවන්මය වූ කඹ ඇති, රිදිමය වූ රුවල් ඇති, ඝනරන්මය වූ රිටි හා පළු පත් ඇති, සත්රුවන් නැවක් හා එහි පිරූ සත්රුවන් සමූහයකින් පූජා කොට බෝසතුන් මෝළිනී නම් නුවර පිහිටුවා ගියාහ. කීයේමැනෝ:-

සා තත්‍ථ චිත්තා සුමනා [2]පණීතා - නාවං සුචිත්තං අබිනිම්මිණිත්‍වා

ආදාය සඞ්ඛං පුරිසෙන සද්ධිං - උපානයි නගරං සාධු රම්මං - යි.

54. තව ද: ඛදිරඞ්ගාර ජාතකයෙහි ධනසිටු ව උපන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ පිඬු සිඟා වැඩ සිටි පසේ බුදුන් දැක පස්වනක් ප්‍රීතීන් පිනා ලක්‍ෂයක් අගනා බත් තලියක් ගෙන ගොස් පසේ බුදුන් ඉදිරියෙහි සිටි දෑ ය. එ කෙණෙහි වසවත් මර බෝ සතුන්ගේ දානාන්තරාය හා පසේ බුදුන්ගේ ජීවිතාන්තරාය කෙරෙමියි අතුරෙහි නරක ගිනි වළක් මවා ලී ය. ඒ ගිනිවළ දැක:

කාමං පතාමි නිරයං - උද්ධපාදො අවංසිරො,

නානරියං කරිස්සාමි හන්‍ද පිණ්ඩං පටිග්ගහ - යි.

යන මේ ගාථාව කියා ඒ ගිනිමැදට පිනූ දෑ ය. එ කෙණෙහි ඒ ගිනි අන්තර්ධාන ව පොළොව පලා මහ ගැල් සකස් සා පියුමෙක් පැනනැගී බෝසතුන්ගේ ශ්‍රීපාදය පිළිගෙන සුවඳ මුවරද ගඳින් පූජා කෙළේය.

55. තව ද: සස ජාතකයෙහි සස රාජන් ව පෙහෙවස් රක්‍ෂා කරන්නා වූ මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ තමන්ගේ ශ්‍රද්ධා බල බලමි යි සිතා දිළිඳු වෙසක් මවා බඩසා ය යි අවුත් සිටි ශක්‍ර බ්‍රාහ්මණයා දැක සන්තෝෂ උපදවා “අද මාගේ ඇඟ මස් පළහා කවා තාගේ සාදුක් නිවමි යි, ගිනි ගෙනැ”යි කී කල ඒ ශක්‍රයා මවා පෑලූ නරක ගින්නක් සේ භයංකාර වූ ගිනිරස් දැක තුන් විටක් ඇඟ කිළි පොළා ගිනි ගොඩ මැදට පැන ගිනි පළා පැනනැඟි පියුම්ගබ රාජහංස ලීලායෙන් වැඩහිඳ “බමුණ! තාගේ ගිනි ඉතා සිහිල් වනැ”යි ඕහට ආශ්චර්‍ය්‍ය තෙපුල් කී දෑ ය. එ කෙණෙහි ප්‍රසන්න වූ සක්දෙව්රජ බෝසතුන් වඩාගෙන මුදුනෙන් පුදා “හිමි! මම බමුණෙක් නො වෙමි; දෙ දෙව්ලොවට අධිපති වූ සක්දෙව්රජ නම් මම් ම යැ”යි කිය ස්තුති පූජා කොට, පර්‍වතයක් පළා යුස ගෙන එකුන් පනස් යොදුන් සඳමඬලෙහි බෝසතුන්ගේ සස රූප ය හැඳ කල්පාන්ත පූජා කොට ගියේ ය.

56. තව ද: තුණ්ඩිල සූකර ජාතකයෙහි සූකර රාජන් වූ මාගේ බෝධිසත්ත්‍වයෝ ‘තමන් මරා ඇඟ කම්හ’යි පොලු මුගුරු ගෙන වටා සිටගත් රා සොඬුන් දෙතිස්දෙනා[3] මැද තුණ්ඩිලෝවාදය කරණ වේලෙහි ඒ ආශ්චර්යය ඇසූ රජ යුවරජ මහ ඇමතියන් අවුත් පිරිවරාගත් කල දොළොස් යොදුන් බරණැස දොර දොර කියන බණක් සේ බුද්ධලීලායෙන් වැඩහිඳ:

ධම්මො රහදො අකද්දමො පාපං සෙදමලන්ති වුච්චති,

සීලං න වණ්ණං විලෙපනං තස්ස ගන්‍ධො න කදාචි ඡිජ්ජති-යි

යනාදීන් බණ කියා එ කෙනෙහි බරණැස් රජුගෙන් මුළු දඹදිව රාජ්‍යය පුදවාගෙන මහත් වූ සත්කාර ලත් සේක. එදා දෙසූ ධර්මයෙන් හික්මුනා වූ සත්ත්‍වයෝ සැටදහසක් හවුරුදු මුළුල්ලෙහි බෝසතුන්ට ප්‍රතිපත්ති පූජා කළාහු ය.

56. තව ද: තෙසකුණ ජාතකයෙහි ජම්බුක නම් ගිරා පණ්ඩිත ව බ්‍රහ්මදත්ත රජහුගේ සිංහාසන මස්තකයෙහි වැඩහිඳ පඤ්චබල ප්‍රශ්නය එ රජු විචාළ වේලෙහි:

බලං පඤ්චවිධං ලෝකෙ පුරිසස්මිං මහග්ඝතෙ

තත්‍ථ බාහුබලං නාම චරිමං වුච්චතෙ බලං.

.

භෝගබලං ච දීඝායු දුතියං වුච්චතෙ බලං,

අමිච්චබලං ච දීඝායු තතියං වුච්චතෙ බලං;

පඤ්චබලෙනු‘පත්‍ථද්ධො අත්‍ථං වින්‍දති පණ්ඩිතො - යි.

යනාදීන් පඤ්චබල ප්‍රශ්නය හා දශරාජ ධර්‍මෙයන් ජම්බුකොවාද නම් ධර්මදේශනාවත් ගිරාතුඩින් කළ දෑ ය. ඒ දේශනාවෙහි සන්තෝෂ වූ රජු හා අමාත්‍යයෝ සේනාධිපති ධුරය දී අප්‍රමාණ වූ ධනයෙන් පුජා කළහ.

58. තව ද: සාලිකේදර ජාතකයෙහි ගිරා රජ ව ජීර්ණ වූ මවුපියන්ට මෙහෙ කරන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ තමන් බදා ගෙන්වා ගත් සාලින්‍දිය නම් බ්‍රාහ්මණයාගේ ඇකයේ සැකයක් නැති ව වැඩහිඳ:

මාතා පිතා ච මේ වුද්ධා ජිණ්ණකා ගතයොබ්බනා,

තෙසං තුණ්ඩෙන ආදාය මුඤ්චෙ පුබ්බෙ කතං ඉණං’යි.

යනාදීන් බණ කියා ඔහු ද සන්තෝෂ කළ දෑ ය. එ දා ඒ සාලින්‍දිය බ්‍රාහ්මණයා පැසුනු පිටින් බිජුවට අටකිරිය හැල් කෙතක් පූජා කෙළේ ය.

59. තව ද: සුතනු ජාතකයෙහි සුතනු නම් කුමාර ව දිළිඳු වූ කුලයෙක ඉපැද වැන්දඹු වූ මෑණියන්ට මෙහෙ කොට පින් පුරන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ දුක්පත් මෑණියන්ට මසු දහසක් දෙවා බත් තලියක් ගෙන යක්‍ෂයකුට බිලියමට ගොස් බණ කියා ඔහු දමාගෙන ආලවකයා සේ ම ඉතා තද වූ ඒ යක්‍ෂයා අතින් ගැළවී අභයදානය පුජා ලත් සේක. ඒ ආශ්චර්යය දුටු රජ යුවරජ මහ ඇමැතියෝ එ දා අප්‍රමාණ වූ ධන සමූහයෙකින් පූජා කළහ.

60. තව ද: අසදිස ජාතකයෙහි අසදිස නම් රාජකුමාර ව ධනුර්වේදය නිමවා දැන වෙස් වළා නුවරින් ගොස් පසල් රජෙකුට සේවක ව දවස දහසක් වැටුප් ලදින් වැස අඹකැන විද ධනුශිල්ප පානා දා පළමු ව විදි ශරයෙන් නටුව භාගයක් කපා දෙසාළිස් දහසක් යොදුන් නැගී දෙව්ලොව වන් කල, දෙවනුව විදි ශරයෙන් ඒ ශර පුඞ්ඛය පැහැර බිම හෙන හරයෙන් අඹකැන තුබූ නටු බාගයක් සිඳුවා දකුණතින් ශරය හා වමතින් අඹකැන ගෙන සිට රජ පිරිස විස්මය පත් කළ දෑ ය. එකෙණෙහි කුල්මත් වූ රජ යුවරජ මහ ඇමතියෝ කෙළ පමණ ධන රාශියෙකින් පූජා කළහ.

61. තව ද: මාතුපෝසක ජාතකයෙහි ඇත් රජ ව උපන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ අන්‍ධ වූ මෑණියන්ට අත් පා මෙහෙ කරන ලෝභයෙන් ම හස්තිරාජ්‍යය හැරපියා චණ්ඩොරණ නම් පර්වතයට ගොස් මෑණියන්ට අත් පා මෙහෙ කරන දෑ ය. එකල ඒ ආශ්චර්යය දුටු බ්‍රහ්මදත්ත රජු හා දඹදිව වැසියන් හා බෝසතුන්ට දිවි පමණින් වැටුප් තබා දී ඔබ ඇවෑමෙහි එ තැන බෝසතුන් වැනි හස්ති රූපයක් කරවා හස්තිම්හ නම් වූ පූජාවක් දිර්ඝ කාලයක් මුළුල්ලෙහි දවස් පතා කළාහු ය.

62. තවද චුල්ලහංස ජාතකයෙහි ශ්වේතහංස රාජන් ව උපන්නා වූ මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ බ්‍රහ්මදත්ත නම් රජහුගේ සිංහාසන නැගී වැඩහිඳ හංසතුඩින් විසිතුරු වූ බණ කියා ලොව විස්මය පත් කරවූ සේක. එ දවස් සද්ධර්ම ප්‍රීතීන් මත් වූ රජ දළපුඩු සේසත හා සමග බරණැස් රාජ්‍යෙයන් පූජා කෙළේ ය.

63. තවද: විධුර ජාතකයෙහි විධුර නම් මහා පණ්ඩිත වූ මාගේ බෝධිසත්ත්‍වයන් වහන්සේ චතුපොසථ නම් පැනය කියා ශක්‍ර ගරුඬ නාග මනුෂ්‍ය යයි යන රජදරුවන් සතරදෙනාගේ ශීල විවාදය දුරු කළ සේක. ඒ බණ අසා ශක්‍රදේවේන්‍ද්‍රයා ප්‍රසන්න වූ දොළොස් යොදුන් දිව සළුවක් පූජා කෙළේ ය. වෙනතෙය්‍ය නම් ගරුඬරාජයා රන් මාලාවකින් පූජා කෙළේ ය. වරුණ නම් දිව්‍ය නාග රාජයා කණ්ඨමාණික්‍යයෙන් පූජා කෙළේ ය. ධනඤ්ජය කොරව්‍ය රජ හස්තිරාජයකු හා ගවයන් දහසක් හා අසුන් යෙදූ රථ දහසක් හා ගම්වර සොළසකින් හා පූජා කෙළේ ය.

තව ද: එම ජාතකයෙහි තමන් මරා හදවත ගනිමි යි සැට යොදුන් කලාගිරි පර්වතයට පැන නැගී පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතියාට සාධුකාර ධර්මදේශනාවෙන් බණ වදාළ සේක. එදා ප්‍රසන්න වූ ඒ පූර්ණක නම් යක්‍ෂයා බෝසතුන්ගේ ජීවිතය හා අනර්ඝ වූ චින්තාමාණික්‍ය රත්නයකින් පූජා කෙළේ ය.

64. තව ද: මහා උම්මග්ග ජාතකයෙහි වේදේහ රජුහුගේ මිථිලා නුවරට පූර්වදිග්භාගයෙහි යව මැදුම්ගම ‘සිරිවඩ්ඪන’[4] නම් ගෘහපතිහුගේ සුමනා නම් සිටුදුව කුස පිළිසිඳ දසමස් පුර ශක්‍රදේවේන්‍ද්‍රයා දෙන ලද දිවසඳුන් ගැටයක් මිටින් ගෙන මවුකුසින් බිහි ව උපන් කෙණෙහි ම “අම්මි! මහෞෂධයකැ”යි මෑණියන් හා සමග ප්‍රිය කතා කොට ඒ ආශ්චර්යය දැක මහෞෂධ කුමාර යයි යන නමින් ප්‍රසිද්ධ වූ මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ දහසක් සිටුකුමරුවන් හා සමග තරුමැද සඳ සේ වැඩී දඹදිව්තෙලෙහි පැන දන්නවුන්ට අග්‍රව විශ්වකර්ම නිර්මිතයක් සේ විචිත්‍ර වූ චිත්‍රකර්මාන්තයන් හෙබියා වූ ක්‍රීඩාශාලාවක් හා සියක් පැන් තොටින් හා දහසක් වකින් විසිතුරු වූ පැන් පොකුණක් හා නඳුන් උයන සේ උයනකුදු කරවා සත් හැවිරිද් වූ කුමාර ක්‍රීඩාවෙන් වැස දඹදිව බුද්ධෝත්පාද කාලයක් සේ ප්‍රශ්න ව්‍යාකරණයෙන් බබුළුවා මෙසේ වසන කල.

ලිහිණිය ගෙන යන මස්කැටිය උඩ නො බලා බිම හෙළවාගත් පැනය. ගොන්ගෙය බැඳගෙන යන සොරු අසු කොට දී ලූ පැන ය. ගැට හූ පලඳනාව සඟවා ගත් සෙර අසු කොට දුන් පැනය හූවැටිය හිමියන් හිමි කොට ලූ පැනය. යකින්න තමා දරුවෝ යයි අල්වාගෙන ගොස් කමි යි සිතූ දා එ කුමරු රැක දී ලූ පැනය. කාළගෝලයා හා දික්පිටියා හා දික්තල හා තුන්දෙනාගේ ස්ත්‍රිවාදය සිඳ දී ලූ පැනය. ශක්‍රයා කළ රථවාදය බිඳ දී ලූ පැන ය. කිහිරි හරෙහි අග මුල තෝරා ලූ පැන ය. ස්ත්‍රියගේ හා පුරුෂයාගේ මිනි ඉස් තෝරා ලූ පැන ය නයී හා සැපින්නගේ වෙනස දක්වා ලූ පැනය. කුකුළකු එවන්නේ යයි වෘෂභ වඤ්චාවෙන් කියායැ වූ පැන ය. අෂ්ටවඞ්ක මාණික්‍යෙයහි හූ ලාලූ පැනය. මඞ්ගල වෘෂභයා දරුවන් වදවන්නේ යයි කියා එවූ පැනය. අෂ්ටාඞ්ගයෙන් යුක්ත වූ පැසිබත් පිස එවන්නේ යයි කී පැන ය. පස් පියුමෙන් පිරි පොකුණක් එවන්නේ ය යි කී පැන ය. විසිතුරු උයනක් එවන්නේ ය යි කී පැනය. වැලි යොතින් ඇඹරූ කඹයක් එවන්නේ යයි කියා එවූ පැන ය යන මේ සතළොස් පැනය සත් හැවිරිදි අවස්ථාවෙහි බුදුකෙනකුන් සේ කියා මුළු දඹදිව ප්‍රසිද්ධ ව ගද්‍රභ නම් පැන රජු දුටු දා කියා එ තැන් පටන් සිටුපුත්‍ර භාවය හැර රාජපුත්‍ර ව රජුගේ හෙයි වැඩී තල්ගස තුබූ මිණිරුවන නුවණින් පෑ ලූ දා සතුටු වූ ඒ වේදේහ රජහු විසින් දෙනලද දහසක් මුතුවැල් හා ලක්‍ෂයක් වටනා මුතු හරකින් මේ උම්මග්ග ජාතකයෙහි පළමුවන පූජාව ලත්සේක.

තව ද කකණ්ටක නම් පැනය කී දා එ නුවරට නිම්න සතර සුංගමෙහි අයින් දෙවන පූජාව ලත් සේක.

තවද: සිරිකාලකණ්ණි නම් ප්‍රශ්න ව්‍යාකරණය කළ දා ලක්‍ෂයක් ධනයෙන් තුන් වන පූජව ලත් සේක.

මිත්‍රකම් කළ එළුවා හා බල්ලාගේ ප්‍රශ්නයෙන් ජය ගත් දා අසුන් යෙදූ රථ දහසක් හා ලක්‍ෂයක් නිමවන ගම්වරකින් සතර වන පූජාව ලත් සේක.

බුදුකෙනකුන් සේ සිරිමන්‍ද නම් ප්‍රශ්නය කියා සේනකයා දිනූ දා හස්ත්‍යලඞ්කාරයෙන් හෙබි හස්තිරාජයකු හා ගවයන් දහසක් හා අසුන් යෙදූ රථ දහසක් හා සමෘද්ධ වූ ගම්වර සොළොසකින් හා පස්වන පූජාව ලත්සේක.

ඡන්නපථ නම් පැනයෙන් අමරාඞ්ගනා නම් වූ අඞ්ගනාවක ලදින් ඛජ්ජො පණක නම් පැන ය කියා භූරි නම් පැනයෙන් ධර්මදේශනා කළ දා රජහුගේ දළපුඩු සේසත අරක් ගත් දේවතා දුව විසින් සතුටු ව පුදනලද දිව රන් කරඬු සතරකින් දිව මල් සුවඳ සතර කරඬුවක් සතර වාරයෙක පාදමූලයෙහි පුදවා ඈ ලවා සාධුකාර දෙවා මෙම ජාතකයෙහි ම සවන පූජාව ලත් සේක.

තව ද එම දා ම ප්‍රසන්න වූ ඒ වේදේහ රජුන් විසින් දෙන ලද සේනාධිපති ධුරයෙන් සත්වන පූජාව ලත් සේක.

තව ද: පඤ්චපණ්ඩිත ප්‍රශ්නයෙහි දී සේනකාදී පණ්ඩිතවරුන් ජයගෙන එ තැන් පටන් රජුහට අනුශාසනා කොට එක මන්ත්‍රීධුරයෙන් වාසය කරන කල බරණැස උත්තරපඤ්චාල නම් නුවර චූළනී බ්‍රහ්මදත්තරජු හා කේවට්ට නම් පුරෝහිත බ්‍රාහ්මණයා හා චතුෂ්කණී නම් මන්ත්‍රණයක් කොට එක්සියයක් රාජධානීන් සාදා, එක්සියයක් රජුන් ගෙන එක්සියයක් සිටුන් ගෙන එක්සියයක් අගබමුණන් ගෙන එක්ලක්‍ෂ දෙසැට දහසක් මතැතුන් හා එක්කෙළ දෙසැට ලක්‍ෂයක් රථ හා එක්සිය දෙසැට කෙළක් අස් සෙනඟ හා සොළොස් දහස් දෙසිය කෙළක් බළ සෙනග හා එකුන් සතලිස් දහසක් මහා යෝධයන් හා අටළොස් අක්‍ෂෞහිණී පමණ මහසෙනඟ ගෙන, තමන් හුන් සත් යොදුන් මියුලු නුවර තුන් වළල්ලකින් වටලා ගත් කල මාගේ ශ්‍රීමහා බෝධි සත්ත්‍වයාණෝ ඇත්මුලක් මැදට වන් සිංහපොව්වකු සේ තමන් ඇඟ ලෝමයෙකුත් භයක් නැති ව සතුන් දැක මරණ භයින් වෙවුලන වේදේහ රජු කරා ගොස් සිට:

පාදෙ දෙව පසාරෙහි භුඤ්ජ කාමෙ රමස්සු ච,

හිත්‍වා පංචාලියං සෙනං බ්‍රහ්මදත්තො පලායති - යි.

යන මේ අභීත වූ ගාථා නාදයෙන් ඒ රජහු අස්වසාලා තමන්ගේ දහසක් පමණ යෝධයන් හැරගෙන වික්‍රම කරන සේක් සාරමසක් මුළුල්ලෙහි නුවර සිසාරා හිඳගෙන බ්‍රහ්මදත්ත නම් රජු හා කේවට්ට නම් පුරෝහිතයා හා කරන ලද මාරයාගේ යුද්ධය සේ අප්‍රමාණ වූ යුද්ධයෙහි තමන්ගේ නුවණ බලයෙන් ජයගෙන එක් දවසෙක ධර්මයුද්ධයෙන් ජයගනිමි යි තමන් කරා අවුත් සිටි කේවට්ට නම් බ්‍රාහ්මණයා මැණික් මායමකින් වඤ්චාකොට තමන් පාදමූලයට හිස නම්මා “ඔ හෝ නො වඳුව! ආචාරිණි” යි සෙනගට ඇසෙන සේ කිය කියා වැඳුම් වළකන ආකාරයෙන් [5]රත්මල්දමක් ගල්තලයක උළන්නා සේ ඔහු නළල බිම උළා ලේ මුහුණු කොට එ දවස් ඒ ධර්මයුද්ධයෙහි ජයගෙන ඒ සා මහත් සෙනගක් මිනියක් නො මරා, සතකු ඇගින් ලේ බින්දුවකුත් නො සොල්වා කැටක් ගසා ලුහුබඳවන කපුටු සෙනගක් සේ තමන්ගේ නුවණ නමැති කැට ගසා හැම ලුහුබඳවා ජයගෙන එක් සියයක් රාජධානියෙහි රජසෙන් හැරපියා ගිය අප්‍රමාණ වූ මහත් ධන රාශීන් ලදින් එ දවස් ද මේ අට වන පූජාව ලත්සේක.

තව ද: විවාහ මන්ත්‍රණයෙන් ජය ගනුම්හ යි කේවට්ටයා කළ චතුෂ්කණි නම් මන්ත්‍රණය, ෂට්කර්ණ මන්ත්‍රණය, කොට අසා ඒ මන්ත්‍රණයත් ජයගනිමි යි අටළොස් වර්ගයෙක කුලපිරිස් ගෙන මඟුලට පළමු බ්‍රහ්මදත්ත රජු කරා යෙමි යි මියුලු නුවරින් ගොස් සොපාන කර්මාන්තයෙන් ගිය දා ම රජු වඤ්චා කොට එමදා ම මන්ත්‍රණබෙලෙන් නවකෙළක් ධන උපදවා උපකාරී නම් නුවරක් කරවා තුන්සියයක් යෝධයන් ලවා රජදුව ගෙනෙන සුළු උමඟ ගව්වක් තැන් බිඳුවා සත්සියයක් යෝධයන් ලවා තම රජහු ගලවන මහ උමග දෙගව්වක් තැන් බිඳුවා, විසිතුරු වූ සිතියම් කරවා අටළොස් රියන් මහදොර අසූවක් හා සුළුදොර සූසැටක් හා, එක්සියයක් ශ්‍රීයහන් ගබඩා හා ඉර සඳ සදෙව්ලෝ ආදි වූ අප්‍රමාණ කර්මාන්ත කිසිවක්හටත් නොකියා නිමවා වේදේහ රජු ගෙන්වා, එ දා මගුල් පසාරයෙන් අටළොස් අක්‍ෂෞහිණි සෙනග ගෙන එක්සියයක් රජුන් සමග චූළනී බ්‍රහ්මදත්ත රජහු උපකාරි නුවර පිරිවරා අවුත් සිටගෙන “තෙලෙ වේදේහයා ලා ගොවියාපිත් මහෞෂධයා ගනු ව, මර ව. නො යා දෙව”යි යනාදීන් කර්කශ වූ බස් කිය කියා සිටගත් වේලෙහි ද මාගේ බෝධිසත්ත්‍වයෝ තුන් සියයක් යෝධයන් සුළු උමගින් යවා පඤ්චාලචණ්ඩි නම් රජදුව හා අගමෙහෙසින්වූ නන්දා දේවීන් හා පඤ්චාලචණ්ඩි නම් රජ කුමරුවා හා තලතාදේවීන් හා ඇතුළු වූ සතර දෙනා සොරා ගෙන්වාගෙන තමන්ගේ වේදේහ රජහට පඤ්චාලචණ්ඩීන් ඒ නකත ම පාවා දී රාහුමුඛයට හසු වූ සඳදෙව් පුතු ගැලවූවා සේ, බ්‍රහ්මදත්ත රජුට හසු ව ගියා වූ වේදේහරජු හා සමග ඇමැතියන් එම දා ම උමගින් මියුලු නුවර යවා පාන් වූ කල බ්‍රහ්මදත්ත රජු සිය කතාවෙන් සන්හිඳුවා උමංපානා මායමින් එක්සියයක් රජුන් හා සමගින් උමගින් හසුකොට එදා තමන්ගේ නුවණ බලපරාක්‍රම දක්වා, ඒ බ්‍රහ්මදත්ත රජු ද ප්‍රසන්නකරවා, ලක්‍ෂ වටනා ගම්වර අසූවක් හා කෙල්ලන් සාරසියයක් ඇතුළු වූ අප්‍රමාණ ධනයෙන් නව වන පූජාව ලත්සේක.

පසුව වේදේහ රජු ස්වර්‍ගස්ථ වූ කල එම බ්‍රහ්මදත්ත රජු කරා ගොස් දියරකුසු නම් පැනයෙහි දී ප්‍රසන්න වූ රජහු විසින් දෙන ලද දඹදිවට අග්‍ර වූ සෙනෙවිරත් ධුරයෙන් දසවන පූජාව ලත් සේක.

65 තව ද: බුදු වන්ට තුන් වන ජාති වූ මහා වෙස්සන්තර ජාතකයෙහි ජයතුරා නම් නුවර සඳ මහ රජුගේ [6]පුසතී නම් අග බිසොවුන් කුස පිළිසිඳ දසමස් පුරා වෛශ්‍යයන්ගේ වීථි අන්තරයෙහි දී පියුම් ගබින් බස්නා රන් බඹරකු සේ බිහි ව උපන් කෙණෙහි ම ඉඳුනිල්මිණි වන් ඇස් සුං දෙක දක්වා මෑණියන් මූණ බලා මෑණියනි! මා දන් දෙන වතක් දෙව” යි මියුරු බස් කියා රත‘තුල් සුං දිගු කොට මෑණියන් විසින් දෙනලද දහසින් බඳ පියලි ගෙන එකෙණෙහි ම කිරිමවුන්ට දන් දී, එ තැන් පටන් වෙස්සන්තර නම් වූ මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ සැටදහසක් ඇමැති දරුවන් පිරිවරා පෙරඩමස සඳ සේ වැඩී නව වාරයෙක නව ලක්‍ෂයක් අගනා පළඳනා ගලවා, කිරිමවුන්ට ම දන් දී, අට හැවිරිදි කල පලක් බැඳ වැඩහිඳ සරස වූ සිතින්:[7]

හදයං දදෙය්‍යං චක්ඛුම්පි - මංසම්පි රුධිරම්පි ච,

දදෙය්‍යං කායං සාවයිත්‍වාන - යදි කොචි යාචකො මම’ යි.

යනාදීන් “යමකු ඉල්වූ යම් වස්තුවක් දන් දෙම් ම ය” යි සිතූ වේලෙහි මෙරගල හා හිමාලය පර්වත නමැති මුදුන් මල්කඩින් සැරහී මහී නමැති කාන්තාව ගර්ජනා නමැති භෙරිනාද පවත්වා සතොසින් නටා කරන ලද මේ වෙස්සන්තර ජාතකයෙහි මහී ගර්ජනා නම් වූ පළමු වන පූජාව ලත් සේක.

තව ද සොළොස් හැවිරිදි වයස මද්‍රී නම් අගබිසෝ රුවන හා සමග රාජ්‍යශ්‍රී ලදින් ජාලිය-ක්‍රිෂ්ණජිනා නම් දරු දෙදෙනා ලැබ දශරාජ ධර්මයෙන් රාජ්‍යය කොට සදන්හල් කරවා දවස දවස සලක්‍ෂයක් ධනයෙන් දන් දී වසන කල කලිඟුරටින් හා බමුණන් අටදෙනා ඇතු ඉල්ලූ කල අනර්ඝ වස්තු සතරක් හා සූවිසි ලක්‍ෂයක් රන් සැදුම් ලදින් රිදී පර්වතයක් සේ දිලියෙන පාණ්ඩව නම් හස්ති රාජයා ඒ බමුණන් අත පැන් එව දන් දී එකෙණෙහි ද මහ පොළොව ගුගුරුවා මහී කාන්තාව විසින් කරන ලද මහීගර්ජනා නම් වූ දෙවන පූජාව ලත් සේක.

තව ද: ඇතු දුන්හ යි කිපී නුවරුන් නුවරින් නෙරනා සමයෙහි සපසට වලට යෙමි යි සත්තසතක නම් වූ මහා දානය දී එ කෙණෙහි ද පොළොව ගුගුරුවා මහීගර්ජනා නම් තුන් වන පූජාව ලත් සේක.

තව ද: මද්‍රීදේවීන් හා දරුදෙදෙනා හා සමග එක මග නික්ම අටළොස් ගැලක් ධන මගදී ම යාචකයන්ට දන් දී රථයානීන් නුවරින් පිටත් ව නැවත රජගෙය දිසාව බලා:

ඉඞ්ඝ මද්දි නිසාමෙථ - රම්මරූපංච දිස්සති

පාසාදො සිවිසෙට්ඨස්ස - පෙත්තිකං භවනං මම - යි.

යන මේ ගය කියා මද්‍රීදේවීන් හා කථා කරන වේලෙහි ස්වාමි දරුවකුගේ ආපදායෙක මුරගා අඬන මිද්ධියක සේ මහ හඬින් ගුගුරා මීකත කරන ලද මහීගර්ජනා නම් මේ සතර වන පූජාව ලත් සේක.

තව ද: මෙසේ නුවරින් නික්ම පස්සෙහි දිවූ බමුණන් සතර දෙනාට මඟුලසුන් සතරදෙනා දන් දී පසු ව ආ බමුණා දැක මඟුල්රථය දන් දී දෙ දරුවන්ගේ දුක් දැක ඇකයෙන් වඩාගෙන ඔවුනොවුන් හා සමග ප්‍රිය කථාවෙන් සන්හිඳී යන මද්‍රී දේවීන් හා වෙස්සන්තර නම් ඒ බෝසතාණෝ ජයතුරා නුවර පටන් විසි ගව්වක් ගොස් ස්වර්ණගිරිතළ නම් පර්වතයට නැගී එතැන් පටන් විසි ගව්වක් ගොස් කොන්තිමාරා නම් ගඞ්ගාවෙන් එතෙ‍රෙව තව ද විසි ගව්වක් ගොස් ආරඤ්ජගිරි නම් පර්වතයට පැමිණ තවද විසි ගව්වක් ගොස් දුනුමිටි නම් බමුණු ගමට වැද, එයින් සතළිස් ගව්වක් ගෙවා සෑ රට ගොස් මෙසේ දෙවියන්ගේ ආනුභාවයෙන් එක්සිය විසි ගවු මග ගෙවා එම දා සවස ලැග්මට මාතුල නම් නුවරට වැද, එහි රජුන් කළ රාජ්‍යපූජාව නො ඉවසා එදා රාත්‍රිය එහි යවා,

දෙවන දා, එ නුවර සැට දහසක් සෑ රජුන් පිරිවරා සැට ගව්වක් තැන් ගොස් වන දොරකඩ දැක වල් දුටු සතුටින් රජපිරිස් අවසර දී එව, අඹුදරුවන් හා සමග මහ වනයට නැගී ගියදා රාත්‍රියෙහි ගන්‍ධමාන නම් පර්වතකූටයෙහි ලැග හිරු උදයෙහි නික්ම උතුරු දිග බලා ගොස් විපුල නම් පර්වතයට වැද එහි ඉසාන කොණින් ගොස් කෙතුමතී නම් ගඟට බැස නහා පැන් බී අඹුදරුවන්ගේ ගමන් විඩා නිවා වල්වැද්දකු දුන් වී හා මුවමස් මේ නිමවා ඕහට මුහුළ දුන් රන්ඉද්ද ප්‍රසාදයට දී, එයින් ගොස් ස්වානු පර්වතය මුදුනෙහි පිහිටි නුගගස ඵල හා මධුර වූ රස ඇති නුග පරඬලා අනුභව කොට තුරුමුල සැතපී, එයින් ගොස් නාලික නම් පර්වතයට වැද, තව ද උත්තරාපථයෙන් ම ගොස් මිදෙල්ල නම් විලක් දැක එයින් ගොස් සිවුරැස් පොකුණට වැඩ එ තෙනට ඉසාන කණ, එක් පියවර සටහන් මගින් ගොස් ශක්‍රයා මවා තුබූ පන්සැල් හා තවුස් පිරිකර දැක “ශක්‍රයා මා ආ බව් දත් වනැ”යි සන්තොෂ උපදවා විශේෂ වූ තවුස්වෙස් ගෙන අඹුදරුවන් ද තවුස්වෙස් ගන්වා වන මුල් වන ඵලාහාරයෙන් ජීවත් ව සපුත්තදාරක නම් වූ පළමුවන තපසින් ඒ වංකගිරි පර්වතයෙහි සත්මසක් වාසය කොට මෛත්‍රී බෙලෙන් ඒ වෙනෙහි සියලු සතුන්ට ද ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රී කරවා දවස් යවන සේක.

එ කල කලිගු රට දුනුමිටි නම් බමුණුගම පූජාක නම් බමුණෙක් අමිත්තතාපනා නම් බැමිණියන්ගේ නියෝගයෙන් දරු දන් ඉල්වා යනුයේ වනදොරකඩ රකවල සෑ රජුන් විසින් සිටුවන ලද වැදිපුත්‍රයාගේ බල්ලන් දැක ගසකට නැගී වැද්දවූ අවුත් භය ගන්වා “දැන් දැන් තා වීද හෙළමි, කොයි සෙයි ද? බමුණැ”යි කී කල “වෙස්සන්තර රජ්ජුරුවන් කරා සඳමහ රජ්ජුරුවන්ගෙන් දූත මෙහෙවර යෙමි”යි බොරු කියා ගැළවී ඒ වැද්දා කී සලකුණෙන් ගොස් සුළුවනය ගෙවා අච්චුත නම් තාපසයන්ගේ පන්සැලට වැද “වෙස්සන්තරයන්ට බාල කල ශිල්ප දිනිමි, උන් බලන්ට යෙමි”යි බොරු කීමෙන් අච්චුත තාපසයන් පහදවා ගෙන එදා රෑ ඒ පන්සැල ලැග දෙවන දා උදාසන “හිමි! මට මඟ කියව”යි කී කල තාපසයෝ දකුණත ඔසවා කියන්නාහු “බමුණ! තෙල පෙනෙන්නේ ගඳමහන් පව්ව ය; තා එගල් පාවිටින් ගිය කල දැව ය, අසු ය, බුබුළු ය, මුරුත ය, කිහිරි ය, සල කොහොඹ ය, වල් දමුණු ය, මාලුවා ලිය ය, අඹ ය, ගිවුළු ය, කොසය, දඹ ය. බුළු ය, අරළු ය, ඇඹුලු ය, ඇසතු ය, රන්වන් තිඹිරි ය, නුග ය, හෙළ කිඳි ඇසතු ය, මීගස ය, දිඹුල ය, වල්පලු ය, කිරිපලු ය, හෙල ගෙඳ ය, මිදි ය, ඉඳි ය, තල ය, පොලය යනාදී මේ කී රුක්හු පලිස් ගෙන සිටිනාහ. එයින් මිහිරි වූ පකාපැකින් කකා ඒ වෙසතුරු රජහු ම තකා තා ගිය කල. තව ද සුළු කෙලිඳ ය, මහ කෙලිඳ ය, උපුල් කොළ ය, තුවරලා ය, පළලු ය, කීණ දොඹ ය, මහ දොඹ ය. කොබ ලීල ය. එරහැන්ද ය, හෝම ගස ය, කොහොම් ගස ය, කළුවැල ය, බදුළු ය, අවරි ගස ය, ලක්වැලි ය, සුළු කුඹුක ය, මහි කුඹුක ය, පියා ගස ය, සලල ය, බක්මී ය, කොහොඹ ය, දෙල්දැව ය යනාදී මෙ කී රුක්හු මල් පිපී බඹරුන් විසින් ගැවසීගෙන සිටිනාහ.

එයින් සුවඳ මල් බිඳ බිඳ සිහිල් සෙවන සැතපි සැතපී, මිහිරි දිය කඳුරුවලින් පැන් බි බී, බමුණ! තා ගිය කල සිවුරැස් පොකුණ දක්නෙහි ය. ඒ පොකුණෙහි දෑවාන සේ සුදු වූ කැලබැඳ ඇවිදුනා මස්කැලන් විසින් ගැවසී ගත්තේ ය. මහවිල කටු ය; කුදුහැල, හූරු හැල, බිම් වගළහැල යන තුන් ජාතියෙහි හැල් ය. උපුල, හෙළ පියුම, හෙළඹුල, හෙල්මැලි ය, බිල ය. දියකූර ය යනාදි දියෙහි නැංගමනා ගසිනුත් ගැවසී ගත්තේ ය. තව ද: බමුණ! ඒ විල දිය කෙළවර නානා රුක්හු මල්පිපී බඹරුන් විසින් ගැවසීගෙන සිටිනාහ. ඔහු කිනම්හ යත්: කොලොම්, පබලු, කොබලීල. අඟුණු, වැල් කිණිහිරි, කලුසු, ඇසතු, කරඳ, එරබදු, නා, ඇට්ටර, මහරි, හෙළ කොබලීල, පියුම්ගස්, මහනමුඩ, සිහින් නමුඬ, රත්නික, හෙළනික, මහනික, සුළුනික, කළුනික, පියාගස. පඟුරු, මුහුලු, සල්මල්, මුරුගා, දුනුකේ, වැටකේ, කරාකේ, කිණිහිරි, කනේරු, කුඹුක්, පතුක්, කසකෑල, ඇත්දෙමට, රුක්අත්තන, කදුරු, ඩහඹු, දුනුවලා, තිටිග, හිරමසු, වරණ, අසු සිවල්, හීන්සලු, හෙළවසු, වැසි කලු වරණ යනාදි මෙ කී රුක්හු මල් පිපී බමරුන් විසින් ගැවසී ගෙන පිදූ මලසුන් මෙන් පෙනෙති. තව ද: බමුණ ඒ විලට නුදුරු තෙන දියෙහි ගොඩෙහි පිපෙන්නා වූ කිසියම් මල් ජාතියකින් ගැවසී ගත් මිදෙල්ල නම් විලෙකුදු ඇත. එ විල්හි දිය කෙළ වර ද බොහෝ ව හටගත්තා වූ දමුණු ය, සිහින්මුඟ ය, සිහින් මෑ ය, කටු සෙවෙල ය, ගෝසී සඳුන ය, හිඟුරු ය, රත්කරවු ය, සුළු අන්ගෙන්ද ය, මහ අන්ගෙන්ද ය, හුරු කළන්ද ය, තල් කළන්ද ය, දුනුකේ ය, වැටකේ ය, ගිරිකොළවල ය, ඉන්‍දීවර ය, නිල්මල දිය මෙරලිය ය, මුඬුමුරු කැප්පෙටි ය, කවේරු ය, කළුතලා ය, හෝ තලා ය. සුවඳ තලා ය, තුන් ජාතියෙහි කැකිරි ය. සැළුෑනු ය, තල් උස ඉඳි ය, මිටි තෙන සිට මිටපුරා තා බිඳ කෑ හැකි එරහැන්ද ය, ගැවසි සම ව සිටි සිරි වැඩි ය: කෑලි ය, මීගෙන්ද ය. හෝපලු ය, නිවිති ය, ලබු ය, කොමඩු ය, හිඟිණි ය, දෙ කටු කරඬු ය, තිත්මල නාලිය ය, බුලත් වැල ය, හිරමුසු ය, කීරිවැල ය; වාගස ය, වෑකොඳ ය, සීනිද්ද ය, බෝලිද්ද ය, දෑසමන් ය, ගස්සමන් ය, යොහොඹු ය, වංබටු ය, ගඳහැඹුල ය, රත්සඳුන ය, විල්පලා ය, යනාදි මෙකී රුක්හු ද මල්පිපී බඹරුන් විසින් ගැවසී ගෙන සිටිනාහ.

තව ද: බමුණ! එදෙවිල් තෙර ඉසාන කණ එක් පියවර සටහන් මගින් තා ගිය කල මල් සුවඳ ය, රොන් සුවඳ ය, ඵල සුවඳ ය, කොළ සුවඳ ය, කඳ සුවඳ ය, මද සුවඳ ය, ගැට සුවඳ ය, මැලි සුවඳ ය. පොතු සුවඳ ය, මුල් සුවඳ ය යි යන දශවිධ වූ සුවඳින් ගැවසී ගත් නීමැසි මී, වැල්මී, තලිස් පතුරු, පුවඟු, කලු නිරිය, වංමුතු ය, ඕපලු ය, ලොත්සුඹුළු ය, සුවඳගඳ ඇති රන්වන් සඳුන, තුවරලා, ටුංගහොල්, කටුපියුම්ගස්, නාරිගෙන්ද, උපුල්, කළුවැල්, දැහැලිය ගඳ, රැහැණිය ගඳ, දෙකසා, රත්සිරියෙල්. හිරිවේරි ය, ගුගුල්, ලම්ඟ, සොරමඩුලු, කපුරු, කිරිපලු යනාදි මෙ කී සුවඳ රුක්හු බෙහෙව.

තව ද: බමුණ! ඒ වෙනෙහි සිවුපා සතුන් හා ලිහිණියෝ බෙහෙව; ඔහු කිනම්හ යත්:- සිංහයෝ ය, ව්‍යාඝ්‍රයෝ ය, වෙළඹුමුව පක්‍ෂි ය, ඇත්තු ය, එළුමුවෝ ය, පසද මුවෝ ය, රොහිත මුවෝ ය, සරබ මුවෝ ය, විසිතුරු මුවෝ ය, කෙහෙල් මුවෝ ය, දිවන මුවෝ ය, පනන මුවෝ ය, කැනහි මුවෝ ය, කොක්නහ මුවෝ ය, ගිජු ඈයෝ ය, පියාබළල්ලු ය. රුක්නහවුවෝ ය, සෙමරු ය, මහදළ ගිරාතුඩුවෝ ය, වඳුරෝ ය. මහාකාළ වඳුරෝ ය. ගෝණෝ ය, අඟබෙරලියෝ ය, වලස්සු ය, දඩගෝණු ය, කගවෙසණුවෝ ය, හූරෝ ය, මුගටියෝ ය. ලෙහෙනෝ ය, කළවැද්දෝ ය. මල්මීවු ය, බල්ලෝ ය, සුළු හුන පුපුළුවෝ ය. මහ හුන පුපුළුවෝ ය, ගොයි ය, මහ ගජකුඹුවෝ ය, කකරංග යන ලිහිණියෝ ය, දිවියෝ ය, සහවු ය, සුළු සිලිඹිල්ලෝ ය, මහ සිලිඹිල්ලෝ ය, බාසුරුසිංහයෝ ය, අටපාකෙවිල්ලෝ ය, රන්වන් මොනරු ය, හෙළපා අස්සු ය, සුවර ලිහිණියෝ ය, වලිකුකුළෝ ය, කණකොක්කු ය, හෙළ කොක්කු ය, බකුස්සෝ ය, කිරළු ය, කොස්වාලිහිණියෝ ය, දියකාවෝ ය, දිය වවුලෝ ය, රත්කොරළුවෝ ය, ජීවං ජීවකයෝ ය, අඟහැළි ලිහිණියෝ ය, පුරවි කෙවිල්ලෝ ය, ගුරුළු ය, බක මුහුණෝ ය, ඇටි කුකුළෝ ය, කළු ලිහිණියෝ ය, කුකුළු ලිහිණියෝ ය, ගෝ ලිහිණියෝ ය, මහ වෙල්ලු ය, කෙවිල්ලෝ ය, කළු උකුස්සෝ ය, කබරුස්සෝ ය, පියවිං හංසයෝ ය, ජවන හංසයෝ ය, දාතුඩුවෝ ය, පරවියෝ ය, හැල්බොයියෝ ය, සක්වා ලිහිණියෝ ය යනාදි මෙකී සතුන් සතුටු ව බල බලා, බමුණ තා ගිය කල්හි සක්දෙවුරජහු විසින් මවා දෙන ලද දෙව්ලොවින් බට භාගයක් සේ රම්‍ය වූ වෙස්සන්තර රජ්ජුරුවන් වසන ලද ඒ අසපුවෙහි ශ්‍රී දක්නෙහිය’යි මෙසේ අච්චුතතාපසයන් කියන ලද්දා වූ මාර්ගසංඥාවෙන් මග නො වරදවා ගොස් මද්‍රි දේවීන් වනමුල් වනපලාඵල සොයා වලට ගිය කල්හි මග බලා වැඩහුන් බෝසතුන් දැක පෙරට ව සිට:

යථාචාරී වහා පූරෝ - සබ්බකාලං න ඛීයති,

එවං තං යාචිකාගඤ්ඡං - පුත්තෙ මෙ දෙහි යාචිතො-යි

යනාදීන් ස්තුති කොට ඒ ජූජක නම් බමුණා දරුවන් ඉල්ලූ වේලෙහි මසුරු සිතක් නො සිතා ප්‍රිය දරුවන් දෙදෙනා ළඟට කැඳවා ජාලිය කුමාරයන් දකුණත හා ක්‍රිෂ්ණජිනාවන් වමත හා අතින් අල්වා ගෙන කමඬලායෙන් බමුණා අත පැන් වත්කොට ප්‍රිය වූ බුදුබව පතා දිළිඳු වූ ඒ බමුණාට දරුවන් දන් දුන් වේලෙහි ඒ ආශ්චර්යය දැක දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළොව ගුගුරුවා මහී කාන්තාව කළ මහී ගර්ජනා නම් වූ පූජාව හා මහමෙර හා සත්කුලපව්වන් නළුවන් සේ නටා නටා කළා වූ නෘත්‍ය පූජා හා, සදෙව්ලෝ දෙවියන් කළා වූ සාධුකාර පූජා හා, මහාබ්‍රහ්මයන් විසින් කරන ලද අත්පොළසන් පූජා හා මෙසේ පස්වන වාරයෙහි අනන්ත වූ පූජා ලත් සේක.

තව ද ඒ බමුණා දරුවන් දන් ගෙන ගිය දෙවන දා උදෑසන ශක්‍රයා බමුණු වෙසක් මවාගෙන අවුත් සිට “භවත! නිවහල්ලෙමි; හැල් කා විඩාව ගියෙමි. තෙපි බුදුසිරි කත පතා නම්, මේ මද්‍රි දේවීන් දැන් මට දන් දෙව”යි ස්තුති කොට ඉල්ලූ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ “ඉය්යේ දරු දෙදෙනා දන් දුන්නෙම් වේ ද, අද මද්‍රි දේවි ය දිනිම් නම් මම එකලා ව මේ වෙනෙහි අසරණයෙමි”යි නො සිතා දනෙහි පසුබැස්මක් නැති ව ඒ බමුණා සන්තෝෂයෙන් මූණ බලා මද්‍රිදේවීන් අත අල්වා ඒ බමුණා අත තබාපු වේලෙහි මහීකාන්තාව හා ශක්‍රාදි දෙවියන් විසින් කරන ලද මහීගර්ජනාදි සවන වාරයෙහි පූජා ලත් සේක.

තව ද බමුණා ගනෙ ගිය දරුවන් දැක ගළවා දොළොස් අක්‍ෂෞහිණී මහ සෙනග ගෙන මුණුබුරන් හා සමග වඞ්කගිරි පර්වතයෙහි බෝසතුන්ගේ පන්සැලට පියරජහු ගිය කල ඔවුනොවුන් දුටු සතුටින් සඳමහ රජ්ජුරුවෝ ය, පූසැ‘ති නම් බිසොවු ය, මද්‍රීදේවි ය, වෙස්සන්තර රජ්ජුරුවෝ ය, ජාලිය කුමාරයෝ ය, ක්‍රිෂ්ණජිනාවෝ ය යි යන මේ රජ සදෙනා ඔවුනොවුන් පිට මහත් වූ ශෝකයෙන් හඬා හී මුසපත් වූ වේලෙහි මුළු පොළොව ගුගුරුවා මීකත කරන ලද සත්වනු වූ මහීගර්ජනා නම්වූ පූජාව ලත් සේක.

තව ද එම වේලෙහි සක්දෙව්රජහු විසින් කරන ලද අටවන වූ පුෂ්කර වර්ෂා නම් වූ පූජාව ලත් සේක.

තව ද පිය රජහුගේ ආරාධනාවෙන් එම දා ඉසිවෙස් හැර රජවෙස් ගෙන සත් දවසක් වනකෙලි කෙළ මහ පෙරහරින් සිය නුවරට වැඩ රජගෙට වන් දා දෙවියන් විසින් වස්වනලද නවවනු වූ සත්රුවන් වර්ෂාවකින් පූජා ලත්සේක.

මෙසේ මාගේ බුදුහු දහස්ගණන් ජාතිභේදවල ඇවිද පාරමිතා බෙලෙන් නොඑක් පූජා ලදින් මේ එක ම වෙස්සන්තර ජාතියෙහි මහීගර්ජනා නම් වූ පූජා සතෙක, පුෂ්කර වර්ෂා නම් වූ පූජාවෙක, රුවන් වර්ෂා නම් වූ පූජාවෙකැයි නව මහා පූජාවක් ලත් හෙයිනුත් මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජා විසේසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලෝකනාථො,

අත්‍ථානුරූපං “අරහං”ති ලෝකෙ

තස්මා ජිනෝ අරහති නාමමෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන් සංසාරගත ව ලද

ද්විතීය ජාතිභේද පූජා කථා නම් වූ සවන පරිච්ඡේදය නිමි.

  1. නොවරවමියි.

  2. පනීතා

  3. තිස්දෙනා-ඇතැම්.

  4. සිරිවඩ්ඪ

  5. රත්වදමලක්, රත්ල මඳනක්.

  6. පුසාවතී,

  7. සර වූ.