කට්ඨහාරි ජාතකාදියෙහිදී කළ පූජා

star_outline

42. මෙසේ සංසාරගතව ඇවිදිනා වූ මේ මාගේ බොධිසත්ත්‍වයෝ කට්ඨහාරී ජාතකයෙහි බරණැස් රජුට දාව දිළිඳු වූ ස්ත්‍රියක කුසින් ඉපැද කට්ඨහාරි නම් කුමාර ව තමන් වහන්සේ බිළිඳි කල වඩා ගෙන ගොස් ඇමැති ගණයා පිරිවරා හුන් රජු පෙරට ව සිට “මහරජ! තොපට දා මේ තොප පුතනුවන් පාවා ගෙන වඩා ගන්ව; මාගේ ගෙය නැත; දොර නැත; හෝනා හිඳිනා තැන් නැත; මම ද අනුන් හිමියෙමි; තොප පුතනුවෝ කමි බොමි යි හඬති” යි ඒ මෑණියන් රන්රුවක් වන් පුතනුවන් පැ පෑ මෙ තෙපුල් කී කල පිරිස් මැද හුන් රජ ලජ්ජාවෙන් කරබා “කෙල්ල! තෝ කුමක් කියයි ද මපුතෙක් නොවෙ” යි කීහ. එබසට මෑණියෝ කිපී “ත පුතෙක් නොවේ නම් අද බිම හී යේවා; ත පුතෙක් වී නම් අහස් කුස ම රඳා හිඳිව” යි කියා බෝසතුන් දෙ කකුල ගෙන සපුමල් දමක් සේ අහසට දැමුව. මෙ කප බුදු වන පිණැ’ති මාගේ ඒ බෝසත් පැටවානෝ එකෙණෙහි ආකාශයෙහි පලක් බැඳ හිඳ මතු ශුද්ධෝදන රජ වන පින් ඇති ඒ පියරජහු මුහුණ ප්‍රේමයෙන් බලා කුරවීක නාදයක් සේ ප්‍රිය වූ නාදයෙන්:

පුත්තොත්‍යාහං මහාරාජ - තං මං පොස ජනාධිප,

අඤ්ඤෙපි දෙවො පොසෙති - කිඤ්ච දෙවො සකං පජං - යි

යන මේ භයින් රජහු පෙම් වඩා බුද්ධ ලීලායෙන් බණ කී දෑ ය. එ කෙණෙහි සතුටු වූ දහසක් ඇමැතියන් දෙදහසක් අත් නගා වැඳ වැඳ තමන් තමන් අතට බස්නට ආරාධනා කළ කල පිය රජහු පෑ අතට මී බැස ඇකය පිට හිඳ පෙම් වැඩූ සේක. සතුටු වූ රජ එම විට ම දොළොස් යොදුන් බරණැස් නුවර හා රජ සැපත පූජා කෙළේය.

43 තව ද: සුසීම ජාතකයෙහි හස්තිවේද දන්නා පුරෝහිත බ්‍රහ්මණකුලෙහි ඉපැද තමන් පියාණන් අයාමෙහි හස්තිමඞ්ගල කාලයෙහි දී අපවත් වන ධනශෝකයෙන් වලප්නා මෑණියන් දැක උපන් ලජ්ජාවෙන් සත් හැවිරිදි වයස එක්සිය විසි යොදුන් මග ගෙවා එම දාම තක්සලා නුවරට වැද දිසාපාමොක් ආචාර්යයන් දැක ගුරුපූජා කොට එක දා රාත්‍රියෙහි ම ලක්‍ෂයක් ග්‍රන්‍ථයෙන් පිරුණු වූ හස්තිශිල්පය නිමවා ධරාගෙන ආචාර්‍ය්‍යයන්ටත් ගැට තැන් සැක හැර උගන්වාලා දෙවන දා නැවත බරණැස් නුවර අවුත් වැඳ මෑණියන් අස්වසාලා තුන්වන දවස “මම ඇත් මඟුල් කෙරෙමි”යි රජු පිරිවරා සිටගත් දහස් ගණන් බමුණුගනා මැද ඇත්මුළක් මැදට වන් කේශරසිංහ පැටවකු සේ කිසි කෙනකුන් කෙරෙහිත් භය නැති ව “මේ දඹදිව තෙලෙහි මා විනා හස්තිශිල්පය නිමවා දන්නා අන් කවර සතෙක් ඇද්දැ”යි ගර්ජනා කොට හැම බමුණන් පරදවා රජු බල බලා සිටියදී දක්‍ෂ ව ඒ හස්තිමඞ්ගලය කළ සේක. එ කෙණෙහි සතුටු වූ ඒ සුසීම නම් රජු හා අගමැතියෝ නවකෙළක් පමණ මහත් ධන රාශියෙකින් බෝසතුන්ට පූජා කළහ.

44. තව ද: සම්භව ජාතකයෙහි බරණැස බ්‍රහ්මදත්ත නම් නරපතිහුගේ විධුර නම් පණ්ඩිතයන්ට පුත්‍ර ව සත්හැවිරිදි සම්භව නම් කුමාර කල වැලි කෙළනා වූ මාගේ ඒ බුද්ධාංකුරයාණෝ කොරව්‍ය නම් රජහුගේ [1]සුචිර නම් පුරෝහිත බ්‍රාහ්මණයා අවුත් සිට ධම්මයාග නම් පැනය විචාළ දා බුද්ධලීලායෙන් ප්‍රශ්න ව්‍යාකරණය කොට එකෙණෙහි සතුටු වූ රජ යුවරජ මහ ඇමතියන් විසින් දමන ලද සියක් ලක්‍ෂයක් ධනරාශියෙකින් පුජා ලත් සේක.

45. තව ද: දේව ධර්‍ම ජාතකයෙහි බරණැස බ්‍රහ්මදත්ත රජහුගේ අගබිසොවුන් කුසින් බිහිව අහිංසක නම් රාජපුත්‍ර වූ මාගේ බෝධිසත්ත්‍වයෝ චන්‍ද්‍රසූර්‍ය්‍ය නම් වූ මල් කුමරුවන් දෙන්නා හා සමග තපසට වලට යන දා කමි යි අල්වා ගත් උදක රාක්‍ෂසයාට දේව ධර්‍ම නම් වූ ධර්මදේශනාව කොට ඔහු සන්තෝෂ කරවා තුන්බෑ රජුන්ගේ ජීවිත පූජා ද, ඔහු විසින් ම මවා දෙන ලද පන්සැල් පූජා ද නිත්‍යයෙන් කරන ලද අත්පා මෙහෙ පූජා දැයි එක ජාතියෙහි ම තුන් පූජාවක් ලත් සේක.

46. තව ද: න්‍යග්‍රොධමෘග ජාතකයෙහි මෘගරාජන් වූ බෝසතාණෝ වදන මුවදෙනකගේ මරණ භය දැක උපන් මහා කරුණාවෙන් [2]“තී මැරේයයි (නොසිත) මාගේ ජීවිතය දෙමි” යි ඈ අස්වසා දං ගෙඩියෙහි හිස තබා ජීවිතදානය දී ඔත්සේක. ඒ ආශ්චර්‍ය්‍යය අසා අවුත් දැක සතුටු වූ බ්‍රහ්මදත්ත රජහට බුදුතුඩෙකින් බණකියන්නා සේ මුවතුඩින් දශරාජධර්‍මයෙන් බණ වදාළ සේක. ඒ සද්ධර්‍මම ප්‍රීතියෙන් මත් වූ රජ බෝසතුන්ගේ ජීවිතය ද පූජා කෙළේ ය. සියලු අපාද ද්විපාද චතුෂ්පාදා දි සතුන්ගේ ජීවිත පූජා ද කෙළේ ය.

47. තව ද: පඤ්චායුධ ජාතකයෙහි බ්‍රහ්මදත්ත රජහට පුත් ව දුනු මුගුරු කඩු සිරි අඩයටි යන පඤ්චායුධ නිමවා දත් හෙයින් පඤ්චායුධ නම් කුමාර ව සොළොස් හැවිරිද්දෙහි තක්සලා නුවරට ගොස් සූසැට කලා ශිල්පයන් ද නිමවා නැවත බරණැස් නුවර වඩනා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ සුචිලෝම නම් යක්‍ෂයාට අසු ව විර්‍ය්‍යපාරමිතාවෙන් ඔහු ජයගෙන, ප්‍රඥා පාරමිතාවෙන් බණ කියා ඔහු සන්තෝෂ කැරවූ දෑ ය. ප්‍රසන්න වූ ඒ චණ්ඩ යක්‍ෂයා පවා මාගේ බෝධිසත්ත්‍වයන්ගේ ජීවිතය පූජා කෙළේය.

48. තව ද: වානරින්‍ද ජාතකයෙහි කපි රාජන් වූ මාගේ බෝධිසත්ත්‍වයෝ තමන් කමි යි කට දල්වා සැඟවී ගලතළ වැද හොත් දෙවිදත් කිඹුලා දැක දානපාරමිතාවෙන් ඔහු වඤ්චා කොට ඒ කිඹුලාගේ ම කටට පැනපියා ඕහට අසු නො ව අභිමතස්ථානගත වූ දෑ ය. ඒ වික්‍රම ය දැක සතුටු වූ කිඹුලා:

යස්සෙතෙ චතුරො ධම්මා - වානරින්‍ද යථා තව‍,

සච්චා ධම්මො ධිතී චාගො - දිට්ඨං සො අතිවත්තති - යි.

යන මේ ගාථාව අඬගා කියා බෝසතුන්ට ස්තුති පූජා කෙළේ ය.

49. තව ද: මච්ඡ ජාතකයෙහි මස් රජ ව උපන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ ඝර්‍මකාලයෙහි දිය සිඳී කර්‍මබලයෙන් මියයන්නා වූ බොහෝ නෑයන් දැක ඉඳුනිල් මිණි සඟලක් සේ ඉතා ප්‍රසන්න වූ තමන්දැගේ ඇස්දෙක දල්වා ආකාශය බලා:

අභිත්‍ථනය පජ්ජුන්න - නිධිං කාකස්ස නාසය,

කාකං සෝකාය රන්‍ධෙහි - [3]මඤ්ච සෝකා පමෝචය - යි.

යන මේ විසිතුරු ගයින් සත්‍යක්‍රියා කළසේක. ඒ සත්‍යක්‍රියාවෙහි සතුටු වූ වැස්ස වලාහක දිව්‍යපුත්‍රයා ඝන මහා වර්ෂාවක් වස්වා පූජා කෙළේ ය.

50. තව ද: ගුත්තිල ජාතකයෙහි ගුත්තිල ගාන්‍ධවර්‍ නම් වූ මාගේ බෝධිසත්ත්‍වයෝ මනුෂ්‍යාත්මයෙහි සිට ම ශක්‍රදේවේන්‍ද්‍රයාගේ විජයොත් නම් දිව්‍යරථයෙන් ශක්‍රභවනයට ගොස් දෙ කෙළ පනස් ලක්‍ෂයක් දිව්‍යාඞ්ගනාවන් මධ්‍යයෙහි වීනා ගායනාකොට දිව්‍යයන් සන්තෝෂ කැරවූ දෑ ය. ඒ ආශ්චර්‍ය්‍යයෙහි ප්‍රසන්න වූ සක්දෙවි රජ සත් දවසක් මුළුල්ලෙහි තමාගේ ශක්‍රසම්පත් දී පූජා කෙළේ ය.

51. තවද : කණ්හ ජාතකයෙහි අසූ කෙළක් පමණ ධන ඇති බ්‍රාහ්මණ මහාසාර සැපත් හැර වල් ගොස් අටවිධ වූ තපස් අතුරෙන් දන්තලූය්‍යක නම් වූ සවන තපස් කොට නමුද්ධග්‍යක් මුල හිඳ වාසය කරණ දෑ ය.

  1. සුචිරත්න, සුචිරථ

  2. නි මාරෙයයි, තී මාරවෙහි,

  3. මචච.