එකල උභය කුල පරිශුද්ධව පැවති ගණවැසි කුලෙහි අවිනෂ්ට වූ මහා පඬිවංශ ඇති වාගිරි පර්‍වතයෙහි එම රජුගේ ආරාධනාවෙන් සිවුපස දානය ලදින් වාසය කළා වූ මහනෙත් පා මුල සුමඞ්ගල මහා ස්ථවිරයන්ගේ සහෝදර වූ ඔවුන්ගෙන් ම කිසියම් දහම් නයක් දැනගත්තා වූ මයුරපාද පරිවෙණාධිපති බුද්ධපූත්‍ර ස්ථවිරයන් විසින් නව අරහාදි බුදුගුණයෙහි පළමු වන අර්හත් ගුණය ගෙන සූතිස් පරිච්ඡේදයෙකින් හා සූවිසි දහසක් පමණ ග්‍රන්‍ථ සඞ්ඛ්‍යාවෙකින් හා සයානු බණවරෙකින් හා සත් ලක්‍ෂ අට සැටදහසක් පමණ අක්‍ෂර සඞ්ඛ්‍යාවෙකින් හා, අසඛ්‍ය ගණන් පූජා නයින් උපලක්ෂිත වූ මේ පූජාවලී නම් ධර්‍ම ව්‍යාඛ්‍යාන කථාව මේ රජහට තිස්වන්නෙහි උපදවා, “අප බුදුහු එක අස්නේ වැඩ හිඳ නානා ලෝකධාතුයෙහි සත්ත්‍වයන්ට බණ වදාරන්නාහ. ඔබගේ පුත්‍රවංශයෙහි ජාත වූ හෙයින් අපි දු අපගේ වෙහෙර ම හිඳ අප රජු හා ශ්‍රී ලඞ්කාද්වීපවාසි සත්ත්‍වයන්ට අනුශාසනා කොට බුදුන්ට උතුම් වූ ප්‍රතිපත්ති පූජා කරම් හ”යි සිතා එම දේවප්‍රතිරාජ නම් අමාත්‍යයාණන් අතට දී යවන ලද.
එ කල රජපා මේ පූජාවලිය දැක දෙවන රජයක් ලදුවා සේ උදාර වූ සන්තෝෂයෙන් පිනා දෙපෝයක් මුළුල්ලෙහි අනික් රාජ්‍ය ක්‍රියාවෙක නො යෙදී සිත් එකඟ ව අසා, බුදුන්ගේ අපරිමිත වූ ගුණයෙහි පැහැද රාජ්‍යය පුදා පියන තරම් උදාර වූ සන්තෝෂයෙන් යෙදී, පොත ලක්දිව නො එක් ප්‍රඥාවන්ත ජනයන්ට පෑ බිසොවු ලවා මඟුලැතු පිට තබා සේසත් හා සමඟ නුවර නො එක් පූජායෙන් උත්සව කරවා, බොහෝ කලක් ඇසූ ඇසු ශ්‍රද්ධාවන්තයන් මෙහි ආදර කරන සේ, බුදුන්ගේ ද තමන්ගේ ද, මේ කීර්ති ශරීරය ස්ථාවර කොට නො එක් සත්කාර කළහ.
මෙසේ මා විසින් එක ව්‍යාඛ්‍යාන කථාවෙහි කියන ලද පළමු වන සංග්‍රහ පරිච්ඡෙදයෙහි සූතිස් මහා සංග්‍රහ පූජා ය, දෙවන අභිනිහාර මඟුල් නම් වූ පරිච්ඡෙදයෙහි කියන ලද අට ලක්‍ෂ අසූ දහස් එක්සාලිසක් පමණ පූජා ය, තුන්වන සාමාන්‍ය ධර්‍මයෙන් ලද විවරණ පරිච්ඡේදයෙහි පස් පනස් ලක්‍ෂ විසි දහසක් පමණ පූජා ය, සතර වන බෝධිසම්භාර පරිච්ඡේදයෙහි තෙළෙසක් පමණ පූජා ය, පස් වන ප්‍රථම ජාතිභේද පරිච්ඡේදයෙහි සුසාළි සක් පමණ මහා ජාතිභේද පූජා ය, සවන ද්වීතිය ජාතිභෙද පරිච්ඡේදයෙහි සූවිසි මහා ජාතිභේද පූජා ය, සත්වන සාධුනාද පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ සතලිස් දහසක් පමණ පූජා ය, අට වන ප්‍රතිසන්ධි පරිච්ඡේදයෙහි දෙ තිස් මහා පූර්‍වනිමිති පූජා ය, නව වන ප්‍රසව මංගල්‍ය පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ සතලිස් දහස් දෙතිසක් පමණ පූජා ය, දස වන මහබිනික්මන් පරිච්ඡේදයෙහි පස් ලක්‍ෂ දොළොස් දහසක් පමණ පූජා ය,
එකොළොස් වන බෝධිමණ්ඩල පරිච්ඡේදයෙහි සාරලක්‍ෂ විසි දහස් තෙසාළිසක් පමණ පූජා ය, දොළොස් වන බ්‍රහ්මාරාධනා පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ සතළිස් දහසක් පමණ පූජා ය, තෙළෙස් වන දම්සක් පැවතුම් පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ සතලිස් දහස් දෙතිසක් පමණ පූජා ය, තුදුස් වන වෙළුවනාරාම පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ පන්දහස් තුන්සිය සූසාළිසක් පමණ පූජා ය, පසළොස් වන නිග්‍රොධාරාම පරිච්ඡේදයෙහි සාරලක්‍ෂ විසි දහස් එකුතුරු වූ මහපූජා ය, සොළොස් වන අද්භූත මහා පරිච්ඡේදයෙහි සංඛ්‍යා පථයට අවිෂය වූ මහ පූජා ය, සතළොස් වන ජේතවනාරාම පරිච්ඡේදයෙහි දෙසිය සැත්තෑවක් පමණ පූජා ය, අටළොස් වන පූර්වාරාම පරිච්ඡේදයෙහි එක්සිය විස්සක් පමණ පූජා ය, එකුන් විසි වන දහර භික්‍ෂු පරිච්ඡේදයෙහි අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා ය, විසි වන අසදෘශ දාන පරිච්ඡේදයෙහි අප්‍රමාණ පූජා ය,
එක්විසි වන ගංගාරෝහණ පරිච්ඡේදයෙහි සත්දහස් පන්සිය තිසක් පමණ පූජා ය, දෙවිසි වන දිව්‍යරාජ පරිච්ඡේදයෙහි අසූ දහසක් පමණ දිව්‍යරාජ පූජා ය, තෙවිසි වන යමක ප්‍රාතිහාර්‍ය්‍ය පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ සතලිස් දහස් එක්සිය තෙයාසූවක් පමණ පූජා ය, සුවිසි වන පාණ්ඩුකම්බලාසන පරිච්ඡේදයෙහි දෙකෙළ සොළොස් ලක්‍ෂයක් පමණ පූජා ය, පස්විසි වන දේවෝරොහණ පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ සැත්තෑ දහස් පන්තිස් මහ පූජා ය, සවිසි වන භික්ෂුණී ශාසන පරිච්ඡේදයෙහි අප්‍රමාණ වූ භික්‍ෂුණී ප්‍රතිපත්ති පූජා ය, සත්විසි වන මහා ප්‍රජාපතී පරිච්ඡේදයෙහි අද්භූත වූ අප්‍රමාණ පූජා ය, අටවිසි වන ජීවකාරාම පරිච්ඡේදයෙහි අපමණ මහ පූජා ය, එකුන්තිස් වන දෙවදත්තාවතාර පරිච්ඡේදයෙහි අප්‍රමාණ සම මෙත් පූජා ය, තිස් වන අජාතසත්තුරාජ දමන පරිච්ඡේදයෙහි ජීවිතාදී අප්‍රමාණ පූජා ය,
එක්තිස් වන යශෝධරා පරිච්ඡේදයෙහි අප්‍රමාණ වූ ප්‍රාතිහාර්ය්‍යාදි ප්‍රතිපත්ති පූජා ය, දෙතිස් වන ධර්මාශොක පරිච්ඡේදයෙහි තුදුස් ලක්‍ෂ සත් පනස් දහස් නවසිය සයානූවක් පමණ පූජා ය, තෙතිස් වන මිහිඳු මාහිමියන්ගේ ප්‍රතිපත්ති පරිච්ඡේදයෙහි නොඑක් සුවහස් ගණන් පූජාය, සූතිස්වන ශ්‍රී ලංකාද්වීප පරිච්ඡේදයෙහි සිරිලක රජ කළ එක්සිය තෙපනස් රජුන් අතුරෙන් පැරකුම් රජුන් අවසන්හි පින්වත් රජුන් කළාවූ අසඞ්ඛ්‍ය ගණන් නොඑක් පූජාලත් හෙයිනුත්, ග්‍රන්‍ථ භීරුකයන් කුසීවෙති යි සිතාත්, ග්‍රන්‍ථ විශාරද වන හෙයිනුත්, දැන දැන ද මා විසින් දක්වාගත නුහුණුවා වූ අප්‍රමාණ වූ පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්-
සංසාර සාගරයට දිව්‍ය නෞකාවක් බඳු වූ, සංසාර නැමැති මහා පඞ්ක දුර්‍ගයට දිව්‍යසෙතුකාවක් බඳු වූ, සංසාර නමැති මහා කාන්තාරයට දිව්‍ය රථයක් බඳුවූ, සංසාර නමැති මහාන්‍ධකාරයට තේජො කඳක් බඳු වූ, සංසාර නැමැති මහ ගිම් හෙලියට ඡායා වෘක්‍ෂයක් බඳු වූ, සංසාර නැමැති පිපාසාවට පියුම් විලක් බඳු වූ, සංසාර නමැති මහාව්‍යාධියට ඖෂධ වෘක්‍ෂයක් බඳු වූ, සංසාර නමැති මහා විෂයට දිව්‍ය මන්ත්‍රයක් බඳු වූ, සංසාර නමැති මහ ගිනිකඳට ආකාශ ගංගාවක් බඳු වූ, මට ද සියලු සතුන්ට ද මවු වූ, පිය වූ, ගුරු වූ, දෙවි වූ, බඹ වූ, තමන් වහන්සේ වන් අමාමහ නිවන් පුරයෙහි සියලු සතුන් ගෙන හැර පුරා ගත්තා වූ, අප මහා ගෞතම තිලෝගුරු බුදුරජාණන් වහන්සේ – ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්ම සාරථි සත්‍ථා දෙව මනුස්සානං බුද්ධෝ භගවා” යි යන මේ නව අරහාදී බුදුගුණයෙහි පළමුවන අර්හත් ගුණයෙන් යෙදුණු සේකැ යි දතයුතු. එසේ හෙයින් කියන ලදී:
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො,
අත්‍ථානුරූපං “අරහං” ති ලොකෙ
තස්මා ජිනො අරහති නාමමෙතං-යි.
මේ පූජාවලී දේශනාවසානයෙහි අප බුදුන් ශ්‍රී ලඞ්කාද්වීපයෙහි හැම රජුන්ගෙන් ලද
උද්දෙසික පූජා කථා නම් වූ සුතිස් වන පරිච්ඡේදය නිමි.
මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍රයන් විසින් පරානුග්‍රහයෙන් පහළ කරන ලද පූජාවලී නිමාම් වී.
චීරං තිට්ඨතු සද්ධම්මො-දෙවො සම්මා පවස්සතු,
රට්ඨං රක්ඛන්තු රාජානො–පජා පප්පොන්තු නිබ්බුතිං.
.
කප්පරුක්ඛායමානස්සං-සත්තානං වසතො භවෙ
පඤ්ඤා භගවතී මය්හං-වුද්ධිං ගච්ඡතු සබ්බදා.
.
අහං තු පරමං බොධිං-පත්‍වා ධම්ම’මනුත්තරං,
දෙසෙත්‍වා පාණිනො සබ්බෙ-මොචෙය්‍යං භවබන්‍ධනා.
.
ඉමිනා පුඤ්ඤ කම්මෙන - යාච බුද්ධො භවා භවං
මහොසධොව ඤාණෙන - ජොති සෙට්ඨිව භොගිනා
වෙස්සන්තරොව දානෙන - හොතු මය්හං භවා භවෙ.