අජාසත් රජු බුදුන් දකින්ට යාම

star_outline

තව ද: අප බුදුන් අජාසත් රජහුගෙන් ලද ජීවිතාදි පූජා නම් කවර යත්?

දෙවිදත්හු යට කී ක්‍රමයෙන් පොළොව ගැල මහ නිරෑ වන් කල්හි රජගහා නුවර මහත්වූ සැණකෙළියෙක් විය. නුවර වැසියෝ එනුවර දෙව්පුරයක් සේ සරහා සැණ වෙස් ගෙණ හැඳ පැළඳ දෙවියන් සේ කෙළනාහුය. එකල අජාසත් රජ්ජුරුවෝ මැදි පොහොදා රෑ චන්ද්‍රකාන්තීන් රිදීකළයෙන් දිවන්නාවූ ක්‍ෂීරධාරාවන් සේ, රජත ප්‍රසාදයෙන් නික්මුණු මුතුවැල පඞ්ක්තිසේ, සමන් මල්දම්සේ, ක්‍ෂීර සාගරයෙන් දිවන මහරළපතර සේ, චන්ද්‍රකාන්තීන් දිලියෙන්නා වූ රාත්‍රියෙහි අමාත්‍ය මණ්ඩලයා පිරිවරා දළපුඩුසේසත යට සිංහාසන පැන නැඟී හුන්නේය. කුමක් නිසා හුන්නේ ද යත්?

නිඳි වළකන සඳහා ය, කුමක් නිසා නිඳි වළකා ද යත්? මේ රජ පියරජහු මැරූ තැන් පටන් ගෙන ඇස පියා ලූ විට ම ඉස කුළු හෙළන්නා සේ, සිය දහස් ගණන් සැත් ලාලා ඇඟසැත්කම් කරන්නා සේ, වැටහෙන කල මහහඬින් හඬ හඬා වෙවුල වෙවුලා පුබුදිනේය, කිම් දැ යි විචාළ කල ලජ්ජාවෙන් නොකියා අනිකක් කිය යි. ඒ කාරණයෙන් මෝහට පියරජහු මැරූ තැන් පටන්ගෙන නිඳි ලැබීමෙක් නම් නැත, නිඳි නො රිසියේ ම ය. මේ කාරණයෙන් නිඳි වලකන නිසා හිඳ “මේ රාත්‍රිය චන්‍ද්‍රකාන්තීන් ඉතා හොබනේය, ඉතා රමණීයය, සිත් පහදවා කවර මහණ බමුණු කෙනෙකුන් කරා යමෝ දෝ, කවර මහණ බමුණු කෙනෙක් ගිය කල අප සිත් අලවද්දැ” යි විචාළේ ය.

එ බසට එක් අමාත්‍යයෙක් ‘දේවයන් වහන්ස! අපගේ පූරණ කාශ්‍යප නම් බුදුන් කරා ගියෝතින් ඉතා ම මැනැවැ”යි කීය. රජ්ජුරුවෝ එබසට මුයෙන් නොබිණුවාහු ය. අනෙක් අමාත්‍යයෙක් “දේවයන් වහන්ස! අපගේ මක්ඛලි ගෝසාල නම් බුදුන් කරා යම්හ”යි කී ය. අනෙකෙක් “අපගේ අජිත කේසකම්බලයන් කරා යම්හ”යි කීය. අනෙකෙක් “කකුධ කාත්‍යායනයන් කරා යම්හ”යි කීය. අනෙකෙක් “සඤ්ජය බෙලට්ඨි පුත්‍රයන් කරා යම්හ”යි කීය. අනෙකෙක් කියනුයේ “ඉතා කිසි ම පළිරොධයක් නැති ව, පිළී පමණකුත් කැත- ඇතිව ඉණනොගා. මවුකුසින් උපන් වනු ම ඇවිද උග්‍ර වූ තපස් රක්ෂා කරන්නාවූ අපගේ නිගණ්ඨනාථ පුත්‍රයන් කරා යම්හ”යි කීය. මෙසේ ඒ අමාත්‍යයන් කදුරෙහි රස, කසඹිලියෙහි සිහිල, වර්ණනා කරනුවන් සේ තමන්ගේ ලබ්ධි ගත් නිවටුන්ගේ නම් වෙන වෙන ම කී කල මී අඹයේ ලොභ කරන පුරුෂයකු කදුරු පලෙක්හි තෘෂ්ණා නැත්තා සේ එබස් නො ගිවිස මුයෙන් නොබැන හිඳ තමන් ළඟ හුන් ජීවකයන් බණවා “යහළු ජීවකය! තා තෙල් වැළඳූ ගරුඬ පොව්වකු සේ මුයෙන් නොබැණ හිඳිනැ”යි කීහ.

රජ්ජුරුවෝ මෙතෙක් කථා කරන්නාහු ජීවකයන් සඳහා ම කීහ. කාරණ කිම? යත්; තමන් කැඳවාගෙන ගොස් බුදුන් දක්වන සඳහා කීහ. තුමූ ගොස් බුදුන් දැක්ක නොහෙන්නාහුද යත්? තමන් බුදුන්ගේ උපාසක් වූ රජහු මැරූ අපරාධ ඇති හෙයිනුත් දේවදත්තයා හා එක්ව බුදුන්ට කළ අපරාධ බොහෝ ව ඇති හෙයිනුත්, බුදුන් දක්නට භය ඇති ව “ජීවකයා හා සමඟ ගොස් ඔහු පිටිපස හිඳ බුදුන් දකිමි” යි සිතා මෙ තෙක් පර කථා ඉපැදවූහ.

රජ්ජුරුවන්ගේ අභිප්‍රාය ජීවකයෝ නො දන්නාහු දැ”යි යත්? දනිත් ම ය; වැළි කුමක් නිසා නො බැණ හුන්නාහු දැයි යත්; තමන් තමන් හැමදෙනා කැමති කැමැත්තක් දොඩා වික්‍ෂෙප හරනා තුරු හුන්නු ය. කෙසේ ද යත්, ඒ සභාවෙහි ඒ මිථ්‍යා දෘෂ්ටීන් සදෙනාගේ ලබ්ධි ගත්තාහු බොහෝ දෙන ය, “මම පළමු කොට බුදුගුණ කියන්ට පටන් ගතිම් නම් නැඟී සිට අසු අස්සේ තමන් තමන්ගේ නිවටුන්ගේ ගුණ කියති, එ කල මා කියන බුදුගුණ නිමාවට නො පැමිණෙයි, රජ වනාහි පෙරම ඒ නිවටුන් සදෙනා කරා එළඹ ඔවුන්ගේ සාරගුණයක් නැතැ යි දන්නා හෙයින් මා අතින් විචාරයි, එවේලෙහි මම බුදුන්ගේ ගුණ කියා මෙ රජ බුදුන් කරා ගෙන යෙමි”යි සිතාලා රජ්ජුරුවන්ගේ අභිප්‍රාය දැනත් මුයෙන් නොබැණ ම හුන්නාහුය.

ඉක්බිත්තෙන් අජාසත් රජ්ජුරුවෝ ඒ අමාත්‍යයන් කියන වෙන වෙන කථා අසා “යම් සත්ත්‍ව කෙනෙකුන්ගේ කථා නො අසන්නා කැමැත්තෙම් ද, ඔහු පෙරළ පෙරළා කථා කෙරෙති, යමකුගේ බස් අසනු කැමතියෙම් නම් ඒ ජීවකයා මා හා සමඟ කථා නො කෙරෙයි, ඉතා මට මහත්වූ හානියෙකැ”යි සිතා “මේ ජීවකයා උපසාන්ත වූ ගුණ ඇති බුදුන්ගේ උපාසක ය, තෙමේ ද උපසාන්ත ය, එසේ හෙයින් වත් සම්පන්න වූ භික්‍ෂුකෙනෙකුන් සේ මුයෙන් නො බැණ ම හිඳිනේ ය, මා කථා නො කළ කල ඒ කථා නො කෙරෙයි, ඇත්බඳක් මඩනා කල ඇත් පයින් මැඩිය මැනැව”යි සිතා ජීවකයන් මුහුණ බලා “ජීවකය! මේ අමාත්‍යයන් තමන් තමන් ලබ්ධිගතුවන්ගේ ගුණ කියන්ට මුඛ නො සෑහෙයි, ඔවුන් සේ ම තාත් ලබ්ධිගත් මහණ බමුණු කෙනෙක් නැද්ද? මාගේ පියාණන් වහන්සේ තට කිසි සැපතකුත් නුදුන් සේක් ද? දුඃඛිතයෙහි ද? නොහොත් සැදෑ නැතියෙහි ද?යි විචාළාහු ය.

එ කල්හි ජීවකයෝ “මේ රජ්ජුරුවෝ මා ලවා බුදුන්ගේ ගුණ කියවනු කැමැත්තාහු වන, දැන්මා නොබැණ හිඳිනා කල් නො වෙයි” සිතාලා “යම්සේ සෙසු අමාත්‍යයෝ රජ්ජුරුවන් වැඳ වැඳ තමන් තමන් නිවටුන්ගේ ගුණ කියත් ද? බුදුන්ගේ ගුණ මම එසේ නො කියමි”යි සිතාලා හුනස්නෙන් පැන නැඟී බුදුන් දිශාව බලා පසඟ පිහිටුවා වැඳලා දොහොත් මුදුනෙහි තබා ගෙන “රජ්ජුරුවන් වහන්ස! එසේ මෙසේ මහණකු කරා මා එළඹෙතියි නො සිතුව මැනැව, මාගේ බුදුන් මවුකුස පිළිසිඳ ගත් වේලෙහි ද, මවුකුසින් බිහි වූ වේලෙහි ද මහභිනික්මන් කළ වේලෙහි ද, බුදු වූ වේලෙහි ද, දම්සක් දෙසූ වේලෙහි ද, යමා මහ පෙළහර පෑ වේලෙහි ද, යනාදී නො එක් බුදුමඟුලෙහි දසදහසක් සක්වළ ම ගුගුරා නැංග. මෙසේ යමා මහ පෙළහර පෑ සේක. විජම් බණ දෙසූ සේක. මෙසේ දෙවොරොහණය කළ සේක. වැළි මාගේ බුදුන්ගේ ගුණ කියමි. රජ්ජුරුවන් වහන්ස! සිත් එකඟ ඇසුව මැනවැ”යි කියාලා;

අයං දෙව භගවා අරහං සම්මා සම්බුද්ධෝ අම්හාකං අම්බවනෙ විහරති මහතා භික්ඛුසංඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි, තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්ම සාරථි සත්‍ථා දෙවමනුස්සානං බුද්ධෝ භගවා ති, තං දෙවො භගවන්තං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස භගවන්තං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා” ති.

බුදුන්ගේ ගුණ කියන්නාහු “මහරජ! අප බුදුහු මාගේ අඹවනයෙහි එක් දහස් දෙසිය පනස් මහාශ්‍රාවකයන් පිරිවරා දැන් වැඩවසන සේක, නුඹ වැනි සියක් දහසක් ලක්‍ෂයක් දුටත් සිත් ගෙන ම බණ වදාරන සේක, සිත් සේ බුදුන් කරා එළඹ පැන විචාළ මැනැව” යි කීහ. රජ්ජුරුවන් බුදුගුණ අසත් අසත් සර්‍වාඞ්ගය පස්වනක් ප්‍රීතීන් පිනා ගිය.

එ වේලෙහි බුදුන් කරා යනු කැමැති ව “මා නො වේලෙහි බුදුන් කරා යන කල යානාවන් සරහන්ට ජීවකයන් විනා අනික් කිසිවෙක් සුදුසු නො වෙ”යි සිතා “යහළු ජීවකයෙනි! සන්සුන් බුදුන් කරා යන්නවුන් සන්සුන් යානාවෙන් ගිය මැනව. තෙපි ගොස් ඇත්යාන් සරහාලව”යි කීහ. එකල ජීවකයෝ “රජ්ජුරුවෝ මෙ වේලෙහිම බුදුන් දක්නට යනු කැමැතියහ, රජ්ජුරුවන්ට සතුරෝ බෙහෙව, අතුරුමඟ කිසි උපද්‍රවයෙක් වී නම් “ජීවකයා රජ්ජුරුවන් ගිවිස්වාගෙන ගොස් රජු නසාපිය”යි රාජද්‍රෝහ වූ බසුදු මට උපද්දී, බුදුන්ටත් නින්දා කෙරෙති, එ බැවින් මට ද මාගේ බුදුන්ට ද නින්දා නො වන සේ යම් සේ රජහට ඉතා ක්‍ෂේම වූ ආරක්ෂා වේ ද, එ සෙයින් ම අරක්ගන්වමි”යි සිතාලා “ස්ත්‍රීන් නිසා පුරුෂයන්ට භය නම් නැත, ස්ත්‍රීන් පිරිවරා සුවයෙන් රජු භය නැති ව ගිය මැනැවැ”යි පන්සීයක් ඇතින්නන් සදා, පන්සියක් නාටක ස්ත්‍රීන් පිරිමි වෙස් ගන්වා, ඇතින්නන් පිටට නංවා රජ්ජුරුවන් පිරිවරා යන සේ කොට නැවත සිතන්නාහු “කෙසේ බුදුන් දුටත්, බණ ඇසුවත් පියරජහු මරා ආනන්තර්‍ය්‍ය කර්මයෙහි යෙදුණු හෙයින් මේ රජ මාර්‍ගඵල නො ලැබේ ම ය, බුදුහු නම් සත්ත්‍වයන්ගේ අධිගම බලා බණ වදාරණ සේක, ඒ කාරණයෙන් බොහෝ දෙන රැස් කොට ගෙන ගියෙම් නම් එයින් කිසි කෙනෙකුන්ගේ අධිගම බලා බුදුහු බණ වදාරන සේක් ම ය. එසේ කල ඒ දේශනාව බොහෝ දෙනාට වැඩවෙ”යි සිතා නුවර බෙර ලබා “අද රෑ රජ්ජුරුවෝ බුදුන් දක්නට යෙති, හැමදෙනා ම තමන් තමන්ගේ සනුමානයෙන් අවුදින් රජ්ජුරුවන්ට රැකවල් ගන්නේ ය”යි නියෝග කැරවූහ.

එ කල බොහෝ ජනයෝ “අපගේ රජ අද බුදුන් දක්නට යේ ල, ඕහට බුදුන් වදාරන ධර්‍ම දේශනා කෙබඳු දෝ හෝ යි සැණකෙළි හැර පියා හැම දෙන ම ගඳ-මල්-පහන් ගෙන රජ්ජුරුවන් පෙර මඟට ගොස් බල බලා සිටගත්හ. එ වේලෙහි ජීවකයෝ රජ්ජුරුවන් වහන්ස! ඇතුන් සදන ලද, නික්මුණ මැනැවැ”යි කීහ. එ රජ පන්සියක් ඇතින්නන් නැඟී කඩු තෝමර ගත් පන්සියක් ස්ත්‍රීසේනාව පිරිවරා තෙමේ මඟුලැත්කඳට නැගී දහස්ගණන් මිණි දඬු වැට පහනින් හිරු නැඟී කලක් සේ, ඒකාලෝක කරවා මහත්වූ රාජර්ධීන් නුවරින් පිටත් වීය.

මෙසේ පන්සියක් ස්ත්‍රීහු කෙස්වැටි බැඳ, දසරුවෙහි කඩු ලා, මිණිදඬු තෝමර ගෙන, රජු පිරිවරා නික්මුණාහ, ඔවුන් ඉක්බිති සොළොස් දහසක් පමණ ක්‍ෂත්‍රිය නාටකයෝ රජු පිරිවරා නික්මුණාහ, ඔවුන් ඉක්බිති කුරු කුදු කිරාතාදි දස මෙහෙ තැන්ද නික්මුණාහ, ඔවුන් ඉක්බිති ව රජගෙය රකිනා රජ්ජුරුවන්ට විශ්වාසී වූ ඇමති පෙළෙක් නික්මුණාහ, ඔවුන් ඉක්බිති ව සුපිපි කිණිහිරි රුක් සේ කනකාභරණයෙන් දිලිසෙන්නාවූ සැටදහසක් පමණ මහ ඇමතියෝ නික්මුණාහ. ඔවුන් ඉක්බිතිව මඤ්ජුෂක වෘක්‍ෂයන් සේ නානාවර්ණ වූ අලංකාරයෙන් හෙබියා වූ විද්‍යාධර භටයන් බඳු වූ අනූදහසක් පමණ රජ දරුවෝ නික්මුණාහ. ඔවුන් ඉක්බිති ව සියක් වටනා සළු හැඳ පන්සියක් වටනා උතුරුසළු එකස් කොට කරට දමා නහා ගඳවිලෙවුන් ගෙන නන් විසිතුරු වූ ආභරණ හා මල්දම් පැලඳ දසදහසක් පමණ මත් බමුණෝ දකුණත් ඔසවා භට්ටාඞ්ග කිය කියා නික්මුණාහ. ඔවුන් ඉක්බිති ව පඤ්චාඞ්ගික තූර්‍ය්‍යසෙනාව සමුද්‍රඝෝෂාවක් සේ පොළොව ගුගුරනා හඬ සේ මහා ඝෝෂා කෙරෙමින් නික්මුණාහ.

ඔවුන් ඉක්බිති ව රන්හියවුරු පිට හෙළා රන්දුනු ගත් දුනු සේනාව නික්මුණාහ. ඔවුන් ඉක්බිති ව ඔවුනොවුන් ඇඟ ගැසි ගැසී පර්‍වත පෙළක් සේ ඇත් සෙනග නික්මුණාහ. ඔවුන් ඉක්බිති ව රළපතර දිවන්නා සේ කරින්කර පැහැර අශ්වසේනාව නික්මුණාහ, ඔවුන් ඉක්බිති ව සකින් සක ගැසි රථසෙනග නික්මුණාහ. ඔවුන් ඉක්බිති ව උරයෙන් උර ගැසි ගැසී යන පඤ්චායුධ ගෙන යෝධසේනාව නික්මුණාහ. ඔවුන් ඉක්බිතිව තමන් තමන්ට නිසි වූ ආභරණ හා ආයුධ ගෙන අටළොස් කුලෙහි බලපිරිස් නික්මුණාහ. යම් සේ කෙළවර සිට බලසම්පන්න දුනුවායකු උරපුරා ඇද විදපු සැරයෙක් රජු කරා නො පැමිණේ ද, එසෙයින් ම ජීවකයෝ මේ රජසෙනග තුදුස් වළල්ලක් කොට සංවිධාන කොට ලා “ඉදින් රජ්ජුරුවන්ට කිසි උපද්‍රවයෙක් වේ නම් හැම දෙනාට පළමු කොට රජුට මාගේ ජීවිතය දෙමි”යි තුමූ රජහු ළඟ මහත්වූ කඩුවක් ගෙන යන්නාහුය. ලියවැට, මිණිදඬු වැට පහන් මෙ තෙක් දහස් ගණනැයි පමණ නැත.

මෙසේ මහත් වූ රාජානුභාවයෙන් දෙතිස් මහදොරක් හා සූසැට සුළු දොරක් ඇති ඒ රජගහා නුවර නැගෙනහිර මහවාසලින් නික්ම නුවර මහපවුර හා ගිජ්ඣකූට පර්‍වතය අතුරෙහි ඒ ජීවකයන්ගේ අඹඋයනට සමීප ව ගිය කල, ජීවකයන්ගේ විධානයෙන් ම බුදුන් කෙරෙහි ආදරයෙන් මේ සා සෙනග කිසි අරගලයක් කළ නො දී නිශ්ශබ්ද ව රළ නැති මුහුදක් සේ සුළං නැති වනයක් සේ සන්හිඳී යන වේලෙහි අජාසත් රජ්ජුරුවන්ට භයෙක් උපණ. කෙසේ වූ භයෙක් උපන් ද? යත්;

එක්දහස් දෙසියපනස් මහරහතන් සමඟින් බුදුන් වැඩහුන් අඹ උයනෙහි කැසපියන—–කිබීසපියන හඬකුත් නො ඇසෙයි, ජීවකයා උපායෙන් මා නුවරින් පිටත් කොට පියා ඉදිරියෙන් බල සෙනගක් ගෙනවුත් මා මරා තෙමේ මේ රජය ගනිමි යි සිතී දෝ හෝ මේ ජීවකයා නම් ඇතුන් පස්දෙනෙකුට බල ඇත්තේ ය, එසේ වූ තැනැත්තේ මහත් කඩුවක් ගෙන මට ළං ළංව ම යෙයි, මා සමීපයෙහි ස්ත්‍රීන් මුත් ආයුධ ගත්තා වූ එක පුරුෂයෙකුත් නැත, අද මට වූයේ ඉතා මහත් වූ හානියෙකැ යි මරණ භයින් වෙවුලා “යහළු ජීවකය! මා නොනස”යි කීහ. එ කෙණෙහි ජීවකයෝ “මේ රජ මා සෝවාන් නියාවත්, ලේඬිල්ලකුත් නො බිඳිනා නියාවත්, අනුන් සතු දා හු වැලයකුත් නො ගන්නා නියාවත්, මාගේ මාත්‍රා නො දන්ති. මේ රජහු අස්වසා නොලීම් නම් මරණ භයින් මියේ දෝ හෝ”යි සිතා “මහරජ! භය නො කළ මැනැව, මාගේ බුදුන් වැඩහුන් ගන්‍ධමණ්ඩල මාලකයෙහි දඬුවැට පහන් දිලියෙන්නා බැලුව මැනැවැ”යි කියා අත නඟා පෑහ. එ කල්හි රජු දොරටුයෙන් පිටත සිට ම ඇතුපිටින් බිමට බැස සිටියේ ය.

එ කල මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ අජාසත් රජහු තමන් වහන්සේ දක්නට එන සේ දැක, ඌ භය පත් වූ සේත් දැන, තමන් වහන්සේගේ මහාකරුණාව ඔහු කරා මෙහෙයා තමා අභිමුඛයට එන පුත් කුමරක් හට අත දිගු කොට ඔහු පිරිමදනා සේ තමන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් බුදුරැස් කඳක් හැර රජුගේ ශරීරයෙහි පහළ සේක. එකෙණෙහි රජුට භය සන්හිඳී ගිය. බුදුන්ගේ තෙජසින් රජුගේ සර්‍වාඞ්ගයෙහි ඩා සෙල්වී හන් සළු තෙමී ගියා සේ විය. නැවත නැවත තමා බුදුන්ට කළ අපරාධය සිහි කොට බුදුන් කෙරේ මහත් වූ භය ඇතිව, රජ බ්‍රහ්මස්ථානයෙන් නිර්භීත ව ගොස් බුදුන් දැක්ක නොහී ජීවකයන් අත අල්වා ගෙන උයනෙහි කර්‍මාන්ත බලා ඇවිදිනා සේ “ජීවකයෙනි! තොප මේ විහාරය කැරවූ නියා යහපත, මේ පවුර යහපත, මේ පදනම යහපත, මේ මණ්ඩප යහපත, මේ පැන් පොකුණ යහපත”” යනාදීන් ගුණ කිය කියා අනුක්‍රමයෙන් ගොස් ගන්‍ධමණ්ඩල මාලකයට වැද තරු මැද සඳ සේ සඟ පිරිස් මැද දිලියෙන බුදුන් බල බලා ම “යහළු ජීවකය! බුදුහු නම් කවුරුන් වහන්සේ දැ”යි විචාළහ.

සමහරු නො හැඳින ම විචාරන්නාහුය, මේ අජාසත් රජ තමා ඈපා කල පියරජ්ජුරුවන් හා සමඟ ගොස් බුදුන් දුටු විරී ය: පසුව පාපමිත්‍ර වූ දෙවිදතුගේ අසහායෙන් බුදුන්ට අපරාධ කොට බුදුන් දක්නට නො ආ බව මුත් බුදුන් අඳුනේ ම ය, බුදුහු වනාහි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසු අනූබ්‍යඤ්ජන ලක්‍ෂණයන් ඇති සේක, සවනක් රැසින් දිලියෙමින් වැඩහුන් සේක්ම ය. මේ රජ තමාගේ ඓශ්චර්‍ය්‍යයෙන් මත් ව බුදුන් හැඳින හැඳින ම “බුදුහු කොයි දැ”යි විචාළේ ය. දැන දැනත් “මොහු කවුරුදැ?” යි විචාරීම රජදරුවන් ගේ සිරිතෙක් ම ය.

ජීවකයෝ “බුදුහු කොයි දැ”යි කී බස් අසා “මේ රජ බිම සිට බිම කොයි දැ යි විචාරන්නා සේ, අහස බලා සඳු කොයි දැ යි විචාරන්නා සේ, උදය පර්‍වතය බලා හිරු කොයි දැ යි විචාරන්නා සේ, බුදුන් බල බලා ම සිට බුදුහු කොයි දැ යි විචාරයි, එ බැවින් මෝහට බුදුන් දක්වමි”යි සිතාලා ඇදිලි බැඳ සිට “මහරජ! ධර්‍ම මණ්ඩලයෙහි මැද ටැඹට පිට ලා පැදුම් දෙස බල බලා සඟපිරිස් පිරිවරා බුද්ධාසන මැද දිලියෙන බුදුන් බලව”යි කීහ.

එ වේලෙහි රජ්ජුරුවෝ බුදුන් ලඟට ගොස් බුදුන් හා රහතන් බලා මෙ බඳු වූ උපසාන්ත වූ බුදු පිරිසෙක් වනැ යි සතුටින් පින පිනා එකත්පස්ව සිට වාත රහිත ස්ථානයෙක පිපී වැනී ගියා වූ රත්පියුම් වනයක් සේ, ක්ෂාන්ත්‍යාදී ප්‍රතිපත්තීන් නිශ්චල ව වැඩහුන්නාවූ සඟපිරිස් දැක “සර්වාභරණයෙන් සැදී අවුත් සිටි මේ සා රජ පිරිසක් එක භික්ෂුකෙනෙකුත් සරු ඇති ව කර ඔසවා බලන කෙනෙක් නැත. හැමදෙනා වහන්සේ ම හස්තපාද චලනාදියක් නැතිව ම බුදුන්ගේ ශ්‍රී මුඛය බල බලා ම හිඳිනා සේකැ”යි සංඝයාගේ උපශාන්ත වූ සම්පත් දැක පැහැද මඩ නැති විලක් සේ සන්හුන් ගුණ හා ශාන්ත වූ ඉඳුරන් ඇති මේ සඟපිරිස නැවත නැවත බල බලා “මෙබඳු වූ උපශාන්ත වූ ශ්‍රී විභූතියෙක් මාගේ පුතණුවන් උදය කුමාරයන්ටත් වේව”යි සිතූහ. උතුම් වූ රසයක් දැක ද, උතුම් වූ වික්‍රමයක් දැක ද, උතුම් වූ ගුණයක් දැක ද, උතුම් වූ ඓශ්චර්‍ය්‍යයෙක් දැක ද, උතුම් වූ රූපයක් දැක ද, මෙබඳු ශ්‍රීයෙක් මාගේ දරුවන්ට ද වේවයි සිතීම සියලු ලෝකවාසීන්ගේ ම මතයෙක; එසේ හෙයින් රජ්ජුරුවෝත් බුදුන්ගේ ඓශ්චර්‍ය්‍යය දැක පුතණුවන් සඳහන් කළහ යි දතයුතු.

එ වේලෙහි ස්වාමිදරුවෝ රජු සිතූ සිත දැන “මෙ රජ මා වඳින්ටත් භය ඇතියේ ය, මා හා සමඟ කථා කරන්ටත් භය ඇති යේ ය, මා මුඛයෙන් නොබිණු කල කිසිවෙක් මා හා සමඟ කථා කොට ගත නොහෙයි, එකවචනයෙකින් මොහුගේ භය හරවමි” යි සිතාලා තමන් වහන්සේගේ අෂ්ටාඞ්ගයෙන් ලීලොපෙත වූ බ්‍රහ්මනාදයෙන් රජු හා සමඟ කථා කරන සේක් “මහරජ! පර්වත මුදුනෙක වටුවා වූ වර්ෂාවෙක වතුරුදිය ගොස් වළතැනෙක වැගිරෙන්නා සේ, මාගේ ශාසනයෙහි උපන්නා තාගේ ප්‍රේම නමැති වතුරු තාගේ පුතු කරා ම ගොස් වැද ගියේ දැ” වදාළ සේක.

එ කෙණෙහි රජ පස්වනක් ප්‍රීතීන් පිරුණා වූ ශරීර ඇති ව “බුදුන්ගේ ගුණ අපමණ බවු දැන් ම දත්මි, මා සේ වූ බුදුන්ට අපරාධ කළාවූ බුද්ධ ද්‍රෝහියෙක් අනික් කිසි තැනෙකත් නැත්තේ ම ය, මා විසින් බුදුන්ගේ අග්‍ර උපාසක වූ රජ්ජුරුවනුත් මරණ ලද. දෙවිදතුගේ බසින් බුදුන් මරන්ට දුනුවායනු දු මෙහෙයීමි. තව ද ඔහුගේ ම බසින් බුදුන් මරන්ට නාලාගිරි ඇතු මෙහෙයීමි. මාගේ ම පිහිට බලයෙන් දේවදත්තයා බුදුන් ඉසට ගලුත් පෙරළී ය. මේ සා අපරාධ කළාවූ මා වැනි ද්‍රෝහියකු දැක බුදුහු ප්‍රිය තෙපුල් ම වදාරන සේක. ඉතා ආශ්චර්‍යය, බුදුහු පඤ්චප්‍රකාර වූ උතුම් ගුණයෙහිම පිහිටි සේක. මෙ බඳු වූ කරුණා නිධානයක්, කරුණා ආකරයක්, කරුණා ප්‍රවාහයක්, කරුණා ගංගාවක් හැර පියා රුවන් හැර අඟුරු ගත්තාසේ නිෂ්කාරණ වූ ඇදුරන් කරා ඇවිද්දෙමි”යි කිය කියා, සන්තෝෂයෙන් පින පිනා, රජ භය හැර පුතු කෙරෙහි තමා ප්‍රේම ඇති පරිදි කිය කියා, බුදුන් වැඳ පෙරළී ගිය වේලෙහි සිහිල් වූ දිය විලකට වැදගිය පුරුෂයකු ගොඩ නො නැඟෙන්නා සේ, නො එක් වාරයෙහි බුදුන් වැඳ, “සඟපිරිස් වඳිම් නම් බුදුන්ට පිටිපෑව මැනැවැ”යි සිතා සඟපිරිස බැසහෙව නො වැඳ, ඇඳිලි බැඳ ආදර දක්වා අෂ්ටප්‍රකාර වූ නිෂද්‍ය දෝෂයෙන් වර්ජිත ව එකත්පස්ව හිඳගත.