තව ද අප බුදුන් සමයෙහි මේ දෙවිදත් මතු නොවෙයි, ඔහු සේම වරදවා පස්දෙනෙක් මහපොළොව ගැල එම ආත්මයෙන් අවීචි මහා නරකයට ගියාහුය. ඔහු කවරයත්? 1. උපුල්වන් මහා ස්ථවිරීන් වහන්සේ දූෂණය කළාවූ භාගිනෙය්‍ය සිටු පුත්‍රය, 2. තමා රුවට නින්දා කළැ යි බුදුන් කෙරේ ආඝාත බැඳ සත් දවසක් බුදුන්ට අනාදර බැණවූ මාගන්‍දි නම් බැමිණිය, 3. මිථ්‍යාදෘෂ්ටීන්ගෙන් අත්ලස්ගෙන සිවුවනක් පර්ෂද් මැදයෙහි සිට බුදුන්ට අනාදර බිණු චිඤ්චිමානවිකාය, 4. බුදුන් කෙරෙහි ආඝාත බැඳි මෙම දෙව්දත්හුගේ පියාණෝ සුප්‍රබුද්ධ නම් කොළිය රජ්ජුරුවෝ ය, 5. මෙම දේවදත්තයෝ යයි පස් දෙනෙකැයි දතයුතු.
මෙසේ මාගේ ස්වාමිදරුවෝ මේ දෙවිදත්හුගේ නොඑක් ජාතිවල ද, බුදු වූ ජාතියෙහි ද, අනෙක ප්‍රකාරයෙන් ඔහු තමන්වහන්සේට කරණ ලද, නො එක් වධක ප්‍රයෝගයෙහි මෙසේ මෙසේ නොයෙක් පූජාවන් ලත් හෙයිනුත්, එසේ වූ පූජාවිඳීමට සුදුසු හෙයිනුත්, වැදූ සුදොවුන් මහරජාණන් කෙරෙහි ද, කඩුවක් ඉස සිසාරා තමන් වහන්සේ මරා ‘ඇඟිලි කපමි, නොය නොය මහණැ”යි කිය කියා දිවූ අඟුල්මල් සොරහු කෙරෙහි ද, “පය ගෙන පරසක්වළ ගසමියි හඬගසා දිවු අලව් යකු කෙරෙහි ද, මේ සා වධක ප්‍රයෝගයක් කළා වූ දෙව්දත්හු කෙරෙහි ද, තමන් සහජාත පුත්‍ර වූ රහල් තෙරුන් කෙරෙහි ද, එක සමවු මෛත්‍රී ඇති මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි.
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො
අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ
තස්මා ජිනො අරහති නාම මෙතං–යි
මේ පූජාවලියෙහි අප බුදුන් දෙවිදත්හු නිසා ලද
සම මෙත් පූජා කථා නම් වූ එකුන් තිස් වන පරිච්ඡේදය නිමි.