අපගේ මේ මහාභද්‍රකල්පයට සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයෙකින් යට සාරමණ්ඩ නම් කල්පයෙක් විය. එ කප තණ්හඞ්කරය, මෙධඞ්කරය, සරණඞ්කරය, දීපඞ්කරය යි බුද්ධදිවාකරයෝ සතරදෙනෙක් පහළ වූහ. එයින් පසු ව බුදු වූ තුන්ලොවට ඛෙමඞ්කර වූ, මොහඳුරට දිවාකර වූ, මුළු සත්නට ශාන්තිකර වූ, පින්වත්හට ශිවඞ්කර වූ, මරුසෙනඟට භයඞ්කර වූ, “දීපඞ්කර” නම් සර්‍වඥරාජයානෝ:- හස්ති ශබ්දය, අශ්වශබ්දය, රථ ශබ්දය, වීණා ශබ්දය, මෘදඞ්ග ශබ්දය, සඞ්ඛ ශබ්දය, සම්ම ශබ්දය, තාල ශබ්දය, ඛාද්‍ය ශබ්දය, භොජ්‍ය ශබ්දය, යන දශවිධ වූ ශබ්ද ඝෝෂාවෙන් පිරුණා වූ “රම්මවතී” නම් පුරයෙහි ස්වාමිය, ඇමතිය, රටය, ක්‍ෂෙම ස්ථානය, කොසය, බලසෙනගය, සුහෘදය යන සප්තාඞ්ගයෙන් සම්පූර්‍ණ වූ රාජ්‍යශ්‍රී විඳින්නා වූ “සුදෙව්” නම් රජුහුගේ කුලය, ගුණය, රූපය යන මේ ගුණත්‍රයෙන් උතුම් වූ “සුමෙධා” නම් අගබිසවුන් කුස හැම බුදුන්ගේ ප්‍රතිසන්‍ධික්‍රමයෙන් පලක් බැඳ නාභිමණ්ඩලය බලා දෑවාන කරඬුවෙක වඩාලූ රන්පිළිමයක් සේ සියලු සතුන්ට පෙණි පෙණී දවස දවස මෑනියන්ගේ පෙම් වඩ වඩා දසමසක් වාසයකොට දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්ම සේනාව මධ්‍යයෙහි මේඝමුඛයෙන් නිකුත් පුන්සඳ සේ සුද්ධාවාසයෙහි වසන අරහන්ත බ්‍රහ්මරාජයා පෑ රන් දැලට බිහි ව එතැන් පටන් පෙරඩමස සඳ සේ වැඩී, දෙවඟනන් බඳු වරඟනන් තුන්ලක්‍ෂයක් පිරිවරා දසදහසක් හවුරුදු රාජ්‍යශ්‍රී පුරා රන්පියුමක් වන් මුවපියුමක් ඇති “පියුම්” නම් බිසවුන් තමන් හා එක්වැනි වූ “උසභක්ඛන්‍ධ” නම් පුත්රුවන වැදූ දා සුවාසූදහසක් ඇතුන් හා සමග මගුල් ඇත් යහන් නැගී උයන් කෙළියට වැඩ මගුල්සල්වට වැඩ හිඳ මඟුල්කඩුවෙන් මුහුලස කපා, ආකාශයට දමා, බ්‍රහ්මයා පිළිගැන්වූ කල්පොත්පත්තියෙහි දී තමන් නමට මැවී තිබූ, අටපිරිකර පිළිගෙන, සියක් ලක්‍ෂයක් ඇමතියන් හා සමග එම දා ම පැවිජි ව දසමසක් දුෂ්කරක්‍රියා පුරා හැම බුදුන් බුදුවන්නා වූ වෙසඟමැදි පොහෝදා නුවරෙක ජනයන් දෙවපූජාවකට පිස, තමන් දැක පිළිගැන්වූ මී කිරිපිඬු සහ පිරිවරින් වළඳා එම දා සවස තෙපනස් රියන් තණ පළඟක් නැගී, සියක් රියන් කඳ ඇති, සියක්රියන් ශාඛා ඇති, දෙසියයක් රියන් උස ඇති, තුන්සියයක් රියන් ශාඛාමණ්ඩල ඇති මුල පටන් අග දක්වා මලින් ගැවසී සිටියා වූ, පුළිලසිරි බෝධියට පිට දී වැඩ හිඳ, බුදු වීය නො දෙමි” යි දිවූ වසවත් මරසෙනග ශීල තේජසින් භයගන්වා බිඳ පලවා සව්නේ ගෙවා බුදු ව.
සසුන් නමැති මහා නිධානයෙහි දිලියෙන අග මිණිරුවන් සඟළක් බඳු වූ “සුමඞ්ගලය” “තිස්සය” යන අගසවු දෙදෙනා සමග මහ සවුවන් පිරිවරා ගුණගත වූ “සාගත” නම් මහතෙර කෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ මෑණියන්ගේ නියෝගයෙන් තමන් කරා දායාද සොයා ආ දා මහණ කරවා ගත්තා වූ තමන්වහන්සේගේ “උසභක්ඛන්‍ධ” නම් වූ පුත් මහතෙරුන් ආදී වූ සාරලක්‍ෂයක් ක්‍ෂීණාශ්‍රව ශ්‍රාවක දරුගණයා පිරිවරා හැමබුදුන්ගේ චාරිත්‍ර වූ සමත්‍රිංශත් පාරමිතා බුද්ධකාරකධර්‍මයෙන් යෙදී, නාරක කුල වසන නාරද නම් යක්‍ෂරාජයා ආදී වූ බොහෝසතුන් දමා අමාමහ නිවන් ලා, රන්මෙරක් වැනි වූ අසූරියන් බුද්ධකායකින් ලක්‍ෂයක් හවුරුද්දට ආයුඃශ්‍රී ඇතිව මුළුලොවට නැගූ පහනක් සේ, මුළු ලොවට ලූ තිලකයක් සේ, මුළුලොවට මැවූ මුදුන් මල්කඩක් සේ, මුළුලොවට අඹා ලූ අමාපිඩක් සේ, දහම් වහරේ වස්වා සියලු සතුන් අමාමහනිවන් පුරයෙහි පුරවන සේක. එකල මාගේ ශ්‍රීමහා බෝධිසත්‍වයෝ පෙර බුදුන් කෙරෙන් ලබන ලද මනෝප්‍රණිධි ඇති ව භස්ම ප්‍රච්ඡන්න ජාතවේදයක් සේ සංසාරගත ව වසන දෑ අමරවතී නම් නුවර බමුණු මහසල් කුලයෙහි ඉපිද “සුමේධ” නම් පණ්ඩිත ව ප්‍රඥාබලයෙන් නිවන් ඇතැයි දැන නිර්‍වාණය සොයා සැපත් හැර වල්ගොස් දහම් පව්වෙහි සක්දෙව්රජහු මවා දුන් පන්සල් හා තවුස් පිරිකර දැක මහණවනු කැමති ව හින තුබූ සළුව බලා එහි නව ආදීනවයක් දැක්ක. කෙසේ වූ නව ආදී නවයෙක් ද? යත්:
මේ සලුව ඉතා මාහැඟි බව තපසට එක් පළිරොධයෙක, අනුන් නිසාම උපදවාගැන්ම එක් පළිරොධයෙක, වහා කිළිටිවීම් එක් පළිරොධයෙක, මාළු වී ම එක් පළිරොධයෙක, සිතුවිට නො ලැබීම එක් පළිරොධයෙක, තපසට අනඞ්ග වී ම එක් පළිරොධයෙක, සතුරන්ට සාධාරණ වීම එක් පළිරොධයෙක, ඇඳීමෙන් මද වඩනා බව එක් පළිරොධයෙක, ලෝබ වඩනා බව එක් පළිරොධයෙකැයි; මෙසේ නව ආදීනවයන් දැක, ඒ සාටකය හැර වාකචිරය බලා, එහි දොළොස් මහාවිපාකයක් දැක්ක.
කෙසේ වූ විපාකයක් ද? යත්; මෙ මාහැඟි නොවීම එක් ගුණයෙක, අනුන්ගෙන් උපදවා ගන්නා දෙයක් නො වීම එක් ගුණයෙක. ස්වහස්තයෙන් ම උපදවා ගත හැක්කේ එක් ගුණයෙක. වහා නොකෙලෙසෙන්නේ එක් ගුණයෙක. සොරුන් මීට ලොභ නොකරන්නේ එක් ගුණයෙක, ගිය ගිය තෙන සුලභ ව ලැබෙන්නේ එක් ගුණයෙක, තපසට ඉතා සරු බව එක් ගුණයෙක, අනුභව කරන්නාහට ක්ලේශයන් උත්සන්න නොවීම එක් ගුණයෙක, ඉතා අල්පේච්ඡ බව එක් ගුණයෙක, අනුභවයට ලඝුවීම එක් ගුණයෙක, අනුන්ගෙන් නො ඉල්වා ලැබීම එක් ගුණයෙක, නට කල ලෝභසිත් නොඉපදීම එක් ගුණයෙක, මෙසේ වූ දොළොස් මහාවිපාකයකින් යුක්ත වූ වාකචිරය මට මැනවැ යි ඒ සිවුර දරාගෙණ ඒ පන්සල්ගෙය බලා ඒ ගෙයි වාසයෙත් අටමහා පලිරොධයක් දැක්ක. කෙසේ වූ පළිරොධ ද? යත්;
මේ ගෙය බොහෝ දාරුසම්භාරයෙන් උපදවාගැන්ම පළමුවන පළිරොධ ය. දවස්පතා සුන්බුන් තැන්පත් කිරීම දෙවන පළිරොධ ය, ගෙයි වසන්නවුන් මහල්ලන් දුටුකළ නො වේලෙහි ත් වාසස්ථාන දීම තුන්වන පළිරොධය, නැවත දෙදෙනෙකු එක් ගෙයි වාසය කිරීම සතරවන පළිරොධ ය, ශීත උෂ්ණ පීඩා නැතිව ගෙයි වාසය කිරීමෙන් ශරීරය සුඛුමාලවීම පස්වන පළිරොධ ය, කාමවිතර්‍කාදියට නිලීයන ස්ථානය වීම සවන පලිරොධ ය, මේ මාගේ වාස යයි ලෝභ සිත් ඉපදවීම සත්වන පළිරොධ ය, මකුණන් උකුණන් සූනන් සිකනළුන් ආදී සතුන් හා එක ස්ථානයෙහි විසීම අටවන පළිරොධ ය යි මෙසේ පන්සල් වාසයෙහි අටමහා පළිරොධයක් දැක ඒ පර්‍ණශාලාවත් හැර පියා ඡායාසම්පන්න රුකක් මුලකට ගොස් මේ රුක්මුල නිත්‍යවාසය කෙරෙම් නම් දසමහා ඵාසුවෙක් ඇතැයි දැක්ක.
කෙසේ වූ ඵාසු ද? යත්;
අල්පව්‍යසනයෙන් සොයාගැන්ම පළමුවන විශේෂ ගුණ ය, ගිය ගිය තෙන රුක්මුල් සිත් සේ ලැබීම දෙවන වූ විශේෂ ගුණ ය, පුරාණ පත්‍රාදීන්ගේ විකාර දැක අනිත් ලකුණු ඉපදවීම තුන්වන වූ විශේෂ ගුණ ය, ලෝභ සිත් නො හටගැන්ම සතරවන වූ විශේෂ ගුණ ය, කාම විතර්‍කාදීන්ට අස්ථාන වීම පස්වන වූ විශේෂ ගුණය, අනුන් විසින් නො දෙවා ලැබීම සවන වූ විශේෂ ගුණ ය, දෙවියන් හා එක්තෙන විසීම සත්වන වූ විශේෂ ගුණය, සිසාරා පරික්‍ෂෙප ඇත මැනවැ යි උත්සාහ නො කිරීම අටවන වූ විශේෂ ගුණය, වාසයට සුවවීම නව වන වූ විශේෂ ගුණය, ගිය ගිය තෙන සුලභ හෙයින් නැවත අට මැනවැ යි රුක්මුල අපෙක්‍ෂා නැතිවීම දසවන වූ විශේෂ ගුණ ය යි මෙසේ වූ දසමහා විශේෂ ගුණයක් දැක, නොයෙක් රුක්මුල්හි හිඳ එක් වේලෙක භාවනාකොට එක් වේලෙක දිග සැටරියනක් හා පුළුල යෙලරියනක් වූ, දෙකෙළවර ආසන දෙකක් හා ආලම්බන ඵලකයෙන් යුක්ත වූ, බිම ඉන්‍ද්‍රනීලමානික්‍යමය වූ පස්නීවරණ දෝෂයන් දුරු වූ, ශක්‍රයා මැවූ ඒ සක්මණෙහි සක්මන්කොට, සත් දවසක් ඇතුළත පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවාගෙන එතැන් පටන් ගුණධර්‍ම පුරන්නා වූ බෝධිසත්‍වයෝ අභිඥා ගුණ අටක් විඳින්නාහු.
කෙසේ වූ සුව අටෙක් ද? යත්;
වස්තුකාම ක්ලේශකාම නමැති ගිහිබන්‍ධනයෙන් ගැලවීම පළමුවන සුවවිඳීම ය, නිරවද්‍ය වූ පිඬුසිඟා වැළඳීම දෙවන සුවවිඳීම ය, උපන් පසය ම වැළඳීම තුන්වන වූ සුවවිඳීම ය, දඩමුඩ ඉස්රන් මස්රන් එළවා ඇවිදිනා රාජපුරුෂයන්ගෙන් පීඩා නොවිඳීම සතර වන සුවවිඳීම ය, කෙත්වත් ගවමහිෂාදි ගෘහෝපකරණයෙහි කල්පනා නො කිරීම් පස්වන සුවවිඳීම ය, සොරුන් කෙරෙහි සැක නොකිරීම සවන සුවවිඳීම ය, රජ යුවරජ මහ ඇමතියන් දුටු කළ භය නැති ව හුනස්නෙන් නො නැගී හිඳීම සත්වන සුවවිඳීම ය, ගිය යම් දෙසෙක භය නැති ව සිත් සේ ඇවිදීම අටවන සුව විඳීම ය යි, මෙසේ පැවිදිවූවන් ලබන්නා වූ අටමහසුවයක් විඳ නෙසජ්ජික ය පුරා පවත්තඵලක නම් වූ සත්වන වූ උග්‍රතපස්කොට වාසයකරණ කල එක් දවසක් ආකාශයෙන් වඩනා වූ ඒ මාගේ සුමෙධතාපස නම් බෝධිසත්‍වයෝ, එදා සුදොවුන් වෙහෙර සිට රම්‍යවතී නම් නුවරට ඒ දීපඞ්කර නම් බුදුරජාණන් වඩනා මාර්‍ගය සරහන්නා වූ මිනිසුන් දැක විචාරා බුදුන් වඩනා මග යයි අසා ආකාශයෙන් බැස මට ද එක් අවකාශයක් දෙව යි ඉල්වා තමන්ගේ සෘද්ධි දැන, දුදුළු වූ කඳුරක් ජනයන් දීලූ කල, ඒ කඳුර බලා සිතන්නා වූ බෝධිසත්‍වයෝ ශක්‍රයාගේ සියයක් යොදුන් පරසතු ගස සලා, මල් ගෙනවුත් මේ වළ පුරාලම් නම් ඒ මාගේ ඇගින් ලෝමයටත් ආයාශයෙක් නැත. තව ද දසදහසක් යොදුන් අසුර භවනයට දිව අසුරයන්ගේ පලුලු ගසින් මල් ගෙනවුත් මෙතන තනාලම් නම් ඒ මට දැන් පැයකින් පිළිවන., තව ද, සාගරයෙහි දිය දෙබේකොට රුවන්වැලි උකාගෙණවුත් සුදොවුන් වෙහෙර සිට රඹගම් නුවර දක්වා රුවන්වැල්ලෙන් තනාලම් නම් මාගේ අසුරුසනක් කලින් නිමවන සෘද්ධිමය, මාගේ මේ අඳුන් දිවිසම මහත්කොට මවාලා ඇද සෑදූ බෙරයක් සේ ම තනාලම් නම් ඇසිල්ලෙකින් පිළිවන. ආනුභාවයෙන් කරන්නා වූ සත්කාර හැර මාගේ ශරීරයෙන් ඩා සොල්වා බුදුන්ට අද කායවෙය්‍යාවතක් කෙරෙමි යි සිතා ලා උදැල්ලක් හා කූඩයක් ගෙන, උස්තැන් කපා වළතැන් පුරා, සතුටු සතුටුව මග තනන දෑ ය.
ඒ තනා නොනිමන තුරු සාරලක්‍ෂයක් රහතන් පිරිවරා සවණක් රැසින් දිලිහි දිලිහී රුවන්මෙරක් සේ අවුදින් වැඩසිටි බුදුන් දැක, පස්වනක් ප්‍රීතීන් පිනා, අද ආශ්චර්‍ය්‍යවත් වූ බුදුන්ට ආශ්චර්‍ය්‍යවත් වූ මාගේ ප්‍රිය ජීවිතය පූජාකෙරෙමි යි සිතා මතු ලෝවැඩ පත පතා ඒ කලල් වසා, අඳුන් දිවිසම අතුට බුදුන් දිසාවට සිරස ලා මතු මා බුදුවන දවස් වසවත් මරහු මැදයේ සොඳුර! තෝ මට දෙස් කියා! යි මීකත වැළඳ සිඹ සනහන්නකු සේ, මීතෙලෙහි බඩින් බැස හෙව බුදුහු අද මා හෙයක් කොට වඩිත්වා, මම ද මතු ලොව්තුරා බුදු ව මේ අප බුදුන් සේ ම සියලු සතුන් සංසාරසාගරයෙන් ගලවමි යි ප්‍රාර්‍ථනා කළ දෑ ය. එ කල බුදුහු දිවි දී වැදහොත් බෝසතුන් දැක මේ මනුෂ්‍යයෙක, ඉනුත් පුරුෂයෙක, හේතුසම්පත් ඇතියේ ය, බුදුන් දිට තපස්වී ය, ධ්‍යානලාභී ය, අධිකාරත්‍වයෙන් යෙදින, බුදුබැව් පතා හොත්තේ ය. එසේ හෙයින් පළමුවන අභිනීහාරයට සුදුසු වූ මේ ධර්‍මයෝ අට දෙන ම දැන් මොහු කෙරේ ම විද්‍යමානයහ. මේ වීර පුරුධයා කවර කලෙක බුදුවේ දෝ (හෝ) යි එ කප බලා, දෙවන කප බලා, සියක් කප් බලා, දහසක් කප් බලා, ලක්‍ෂයක් කප් බලා, කෝටියක් කප් බලා, අසඞ්ඛ්‍යයක් කප් බලා, මෙසේ ක්‍රමයෙන් බලන්නා වූ බුදුහු සාරාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයකින් මතු ගෞතම නම් බුදුවේ යයි දැක, පස්සෙහි වඩනා සාරලක්‍ෂයක් රහතුන් බලා තමන් වහන්සේගේ මුඛ නමැති පද්මයෙන් සුවඳ විහිදුවා:
“පස්සථ ඉමං තාපසං
ජටිලං උග්ගතාපනං,
අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ
අයං බුද්ධො භවිස්සතී” යි.
යනාදීන් වදාරා මහණෙනි! මේ මට දිවිපුදාහොත් පුරුෂයා සාරාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයකින් මතු ගෞතම නම් බුදු වෙයි. කිඹුල්වත් නම් පුරයෙක උපදී ශුද්ධෝදන නම් රාජොත්තමයෙක් පිය වෙයි. මහාමායා නම් දේවියක් මව් වෙයි. සතළිස් දහසක් පුරස්ත්‍රීන් පිරිවරා එකුන්තිස් හවුරුද්දක් රජසිරි විඳ, යසෝධරා නම් අග මෙහෙසි බිසවක, රාහුල නම් තමා හා එක්වැනි පුතකු වැදූ දා අශ්වයානයෙකින් මහබිනික්මන් කෙරෙයි. අනෝමා නම් ගංතෙර දී මුහුලස කපා අහසට දමා මහබඹුන් දුන් සිවුරු ධරා සාවුරුද්දක් දුෂ්කරක්‍රියා කෙරෙයි, සුජාතා නම් සිටුදුවක් දුන් කිරිපිඬු වළදා එම දා සවස තුදුස්රියන් විදුර’සුන් නැගී ඇසතු ගසක් පිටලා හිඳ මරසෙන් බිඳ බුදු ව එකෙණෙහි මාසේ ම අනන්තාපරිමාන සක්වළ සවණක් රස් විහිදුව යි. එකල මොවුන්ට කොලිත-උපතිස්ස නම් අගසව්වෝ දෙදෙනෙක් වෙති. ආනන්ද නම් මහතෙර කෙනෙක් අත් පා මෙහෙකෙරෙයි. ඛේමාය-උප්පලවන්නා යයි අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වෙති, අටළොස් රියන් උස ඇති බුද්ධ කායකින් පන්සාළිස් හවුරුද්දක් බුදු ව මා සේ ම දහම්රස පොවා, සියලු සතුන් අමාමහ නිවන් පමුණුවයි, මහණෙනි! මේ පුරුෂයා ස්වල්ප වූ සතෙක් නො වෙයි, මතු බුදු වන්නා වූ බුදු බිජුවටෙකැ යි ස්තුතිකොට වදාරා විවරණ පතුල් දුන් සේක.
එතෙපුල් ඇසූ දෙවිමිනිසුන් දුන් සාධුකාර ශබ්දය බඹලෝ ගසා පැවැත්ත; ඉක්බිත්තෙන් බුදුහු බෝසතුන්ගේ මතු මරුන්ට නො දක්වන්නා වූ පිට නො මඩිමි යි ආදරයෙන් පය නොගා තුන් යලක් පැදකුණුකොට, සමන්මල් අටමිටකින් අටපූජාවක් කොට, වැඩිසේක. පසසෙහි වඩනා සාරලක්‍ෂයක් රහතුන්වහන්සේ ද, සාරලක්‍ෂයක් මල්මිටින් පුදා වැඩිසේක. එදා බුදුන්ට පූජාවට, රැස්වූ දසදහසක් සක්වළ සතළිස් දහසක් වරම්රජදරුවෝ සතළිස් දහසක් දිවමල් මිටින් පූජාකොට ගියහ. තවද දසදහසක් ශක්‍රයෝ ද දසදහසක් සුයාමයෝ ද, දසදහසක් සන්තුෂිතයෝ ද, දසදහසක් සුනිර්මිතයෝ ද, දසදහසක් පරනිර්මිතයෝ ද, දසදහසක් සක්වළ අරූතල-අසංඥ තල සත්‍වයන් හැර එක්ලක්‍ෂ පනස්දහසක් බ්‍රහ්මලෝකවල බ්‍රහ්මරාජයෝ ද, යන මේ සියළු දිව්‍යෙන්‍ද්‍රයෝ ම එකි එකී දිවමල් මිටින් බෝසතුන්ට පුදා ගියහ.
මෙසේ බුදුන් රහතන් මිනිසුන් දෙවියන් බඹුන් තමන් පුදා ගියකල මහබෝසතාණෝ එ මල් පීරා නැගි දිවමල් රැස් පිට වැඩ හිඳ බුද්ධකාරක ධර්‍මයන් පරීක්‍ෂාකොට ක්‍රමක්‍රමයෙන් සමත්‍රිංශත් පාරමිතාවන් දුටුසේක. එකෙණෙහි “හිමි! නුඹ බුදුවන දා මම දොස් කියමි’ යි මීකත අත්පොලසන් දුන්නා සේ, දසදහසක් සක්වළ මහපොළව එකපැහැර ගුගුරා පී ය. එ කෙණෙහි ඒ මහී නාදය අසා දසදහසක් සක්වළ වසන්නා වූ නාගයෝ ය, ගරුඬයෝ ය, ගන්‍ධපීයෝ ය, යක්‍ෂයෝ ය, රාක්‍ෂසයෝ ය, සිද්ධයෝ ය, විද්‍යාධරයෝ ය, දිව්‍යයෝ ය, බ්‍රහ්මයෝ ය යනාදී මහත් වූ සේනාව එතැනට දිව අවුදින් බෝසතුන් පිරිවරා, තව ද අප්‍රමාණ වූ පූජා කරන්නාහු, ඔල්වරසන් දහස, අත්පොළසන් දහස, අසුරුසන් දහස, පිළිසන් දහස, වැඳුම් දහස, සාධුකාර දහස යනාදීන් බඹලොව දක්වා එකනින් නාද පැවැත්වූහ.
ඒ කෙසේ ද? යත්;
“ඉදින් මේ බුදුන් කල සසරින් ගැලවීගත, නොහෙනුවෝ නම්: හිමි නුඹගේ බුද්ධරාජ්‍යයෙහි දී අප සසරින් ගැලවුවමැනවැ”යි කිය කියා වැඳ වැඳ සමහර ලොවෙක දෙවියෝ දිවමල්කඳු පුදා යෙති. තව ද සමහර ලොවෙක දෙවියෝ, හිමි! සුමෙධපණ්ඩිතයෙනි! පෙර නුඹසේ ම බෝධිසත්‍වවරයන් පළමුවන විවරණ ලදින් පාරමිතාවන් ආවර්‍ජනා කළ කලැ, ලොව යම් ආශ්චර්‍ය්‍යයෙක් පෙණිනි ද, ඒ ආශ්චර්‍ය්‍යවරයෝ දැන් නුඹටත් පහළ වූ හ. එසේ හෙයින් ඒකාන්තයෙන් නුඹ මතු බුදුවන දෑම ය, අප ද මතු සසරින් ගැලවුව මැනව”යි දිවසුවඳින් පුදා යෙති.
තව ද සමහර ලොවෙක දෙවියෝ “ස්වාමීනි! සුමෙධ පණ්ඩිතයෙනි! දැන් මේ ඇසිල්ලෙහි ශීත පීඩාවෙන් දුක්ගන්නා වූ එක ද සත්‍වයෙක් නැත, උෂ්ණ පීඩාවෙන් දුක්ගන්නා වූ එක ද සත්‍වයෙක් නැත, දසදහසක් සක්වළ ම ඉතා නිශ්ශබ්ද වි ය. සියලු සතුන්ට ම වියවුල් නැති වී ය. ප්‍රචණ්ඩ වූ පවන් නැති වි ය, ගං හෝ කඳුරැලි දිය සිටි දිය සේ රඳා ගියේ ය. මේ මේ කාරණයෙන් නුඹ මතු බුදුවන දෑ ම ය. අප ද එදා සසරින් ගැලවුව මැනව”යි දිව්‍ය භෙරිනාදයෙන් පූජාකොට යෙති.[1]
තව ද - සමහර ලොවෙක දෙවියෝ අවුත් “ස්වාමීනි! බුද්ධාංකුරයාණෙනි! අද තොපගේ මේ ආවර්‍ජනාවෙහි දසදහසක් සක්වළ මුළුල්ලෙහි දියෙහි ගොඩෙහි කුසුමයෙන් පිරීගියේ ය, නොයෙක් තුරුලිය ඵලභාරයෙන් පිරීගියේ ය. බෙර සක් - මිහිඟු ආදි තූර්‍ය්‍යයෝ තුමූ ම නාද පවත්වති, ආකාශයෙන් මල්වැසි වැස පී ය, සමුද්‍රවල මහරළ සන්සිඳී ගියේ ය, මහපොළොව ගුගුරා පී ය, මේ මේ කාරණයෙන් මතු නුඹ බුදුවන බව ඒකාන්ත ම ය. අප ද සසරින් ගැලවුව මැනවැ”යි කිය කියා දිව්‍ය වීණාගායනාවෙන් පූජා කොට යෙති.
තව ද - සමහර ලොවෙක දෙවියෝ අවුත් “ස්වාමීනි! වීරපුරුෂයාණෙනි! දැන් හැම නරකවල ගිනි නිවී ගිය, හිරුමඬල ප්‍රභාවත්ව ගිය, දහවල් තරු පෙණී ගිය, පොළොව පළා දියකඳු පැන නැංගේ ය. චන්‍ද්‍රදිව්‍යපුත්‍රයා වෛශාඛ යෝගයෙහි යෙදී ගිය, මේ මේ කාරණයෙන් මතු නුඹ බුදුවන දෑ ම ය, අපට ද මතු නිවන්රස දුනමැනව”යි දිව්‍ය නෘත්‍යයෙන් පූජාකොට යෙති.
තව ද - සමහර ලොවෙක දෙවියෝ “ස්වාමීනි සුමේධ නම් උත්තමයාණෙනි! අද තොපගේ මේ ආවර්‍ජනාවෙහි දසදහසක් සක්වල සියලු ප්‍රාණීහු ම තම තමන් වසන බිලාදියෙන් පිටත් ව ගියහ. සියලු තිරිසනුන්ගේ භය සංසිඳී ගිය, සියලු සත්‍වයෝ ම ඔවුනොවුන් කෙරෙහි සන්තෝෂ ය, සියලු සතුන්ගේ ම රෝග පීඩාවෝ සංසිඳී ගියහ, සියලු සතුන්ගේ සා පිපාසා නිවී ගියහ, මේ මේ කාරණයෙන් නුඹ මතු බුදු ව දම්සක් දෙසන දෑ ම ය, අපට ද මතු ධර්‍මදේශනා කළමැනවැ”යි කිය කියා දිව්‍ය ගීතිකාදියෙන් පුදා යෙති.
තව ද - සමහර ලොවෙක දෙවියෝ “ස්වාමීනි! මතු බුදුවන හිමියාණෙනි! දැන් මේ ඇසිල්ලෙහි රාගාදි කෙලෙස් සන්සිඳී ගියහ, ආකාශයෙහි රජස් නැති ව ගියහ. ලොව හැම දුර්‍ගන්‍ධයෝ ම නැති ව ගියහ. සුගන්‍ධ ගන්‍ධයෙන් හැම ලොව පිරී ගියේ ය; හැම දෙවියෝ මිනිසුන්ට පෙනෙති. මනුෂ්‍යයෝ දෙවියන්ට පෙනෙති. හැම නරක ම පෙනී ගියහ. මුළු ලොව ම ආවරණ නැති ව ගියහ. මේ මේ කාරණයෙන් නුඹ මතු බුදු ව නිවන්පුරයෙහි දොරහරණ දෑ ම ය, අප ද එපුරෙහි ලුව මැනවැ”යි කිය කියා දිව්‍ය ධ්වජමාලාවෙන් පුදා යෙති.
තව ද සමහර ලොවෙක දෙවියෝ දිව අවුදින් “ස්වාමීනි! සුමේධ නම් මහතාණෙනි! දැන් මේ මුළුලොව උපදනා සත්‍වයෙකුත් නැත, මියන්නාවූ සත්‍වයෙකුත් නැත. ලොව අවීර්‍ය්‍යවත් තාපසයෙකුත් නැත. මුළුලොව පැහැදී ගිය, මුළුලොව නිවී ගිය, හැම සිත් පිරී ගිය, මේ මේ කාරණයෙන් ඒකාන්තයෙන් නුඹ මතු බුදුව සද්ධර්‍ම දේශනාවෙන් සතුන් සන්තුෂ්ටකරණ දෑ ම ය. අපට ද එදා දහම් දෙසුව මැනවැ”යි කිය කියා දිව මල් දම දමා දිව සුවඳ ඉස ඉස ගායනා පතුරුව පතුරුවා, පූජාකොට හැම දෙවියෝ ගියහ.
-
නොහෙමෝ. ↑