අටමහා ලෝවැඩ

star_outline

මාගධිභාෂාවෙන් සංක්‍ෂෙපයෙන් සැඟවී තිබූ සද්ධර්‍මය ස්ව භාෂාවෙන් අර්‍ථකථා ව්‍යාඛ්‍යාන ඉපදවීමෙහි ලෝවැඩ අටෙක් වන්නේ ය. ඒ කෙසේ ද? යත්; ධර්‍මයන් අටදෙනෙකුගෙන් අලඞ්කාර වූ ලෝකය සේ අෂ්ටාඞ්ගශීලයෙන් අලඞ්කෘත වූ පෞෂථය සේ අෂ්ටාඞ්ගමාර්‍ගයෙන් අලංකෘත වූ නිර්‍වාණය සේ අෂ්ටගරු ධර්‍මයෙන් අලඞ්කෘත වූ ශ්‍රාවිකාවන් සේ අෂ්ටමහා දිශාන්තරයෙකින් අලඞ්කෘත වූ චක්‍රවාටය සේ අෂ්ටාඞ්ගික ලක්‍ෂණයෙන් අලඞ්කෘත වූ දූතයන් සේ අෂ්ට ප්‍රකාර වූ රසයකින් අලඞ්කෘත වූ පානීය වර්‍ගයන් සේ අෂ්ටප්‍රකාරවරයෙකින් අලඞ්කෘත වූ බුද්ධොපස්ථානයන් සේ ස්වභාෂා ලිඛිත වූ ධර්‍ම ව්‍යාඛ්‍යාන කථාවෝ ද අටමහලෝවැඩ කරන්නාහු ය යි දතයුතු යි.

කෙසේ වූ ලෝවැඩ අටෙක් ද? යත්;

නො එක් රාජ්‍ය ක්‍රියාවෙහි යෙදී ශ්‍රී සම්පත්තීන් මත් ව අවකාශයක් නො ලබන්නා වූ රජදරුවන්ට බුදුන්ගේ මහමුහුද සේ අතිගම්භීර වූ, ආකාශය සේ අප්‍රමාණ වූ ධර්‍මය දැක බුදුන්ගේ මහිම දැන්ම උගහට වන බැවින් ලද ලද අවකාශයෙහි රහොගත ව හිඳ මෙසේ මෙසේ වූ ස්වභාෂා ලිඛිත බුදුගුණ කථා ගෙන්වා තමන් තමන් අතුරේ බලා බුදුන්ගේ ආගමයෙහි ඒ ඒ තන්හි එන විසිතුරු ධර්‍මකථා හා සූක්‍ෂ්ම නය හා සිතට නගා නුවණ වඩා ලෝකශාසන රක්‍ෂාවෙහි අප්‍රමාද ව ආත්මාර්‍ථ-පරාර්‍ථ සෑදීමෙන් රජුන්ට වන්නාවූ වැඩ පළමුවන ලෝවැඩ ය යි කියමි.

තව ද රාජමහේෂිකාදී ශ්‍රීවන්තවූවන්ගෙන් දොර නොහඳුනන තරම් උත්තම ස්ත්‍රීන් ඒ ඒ තන්හි සිත් සේ ඇවිද බණ අස අසා ද මහබෝ වැඳ පින් රැස්කොට නුවණ වඩා මෙලොව පරලොව දැන ගැන් ම ඉතා උගහට වනහෙයිනුත් නුවණැතියන් හා සිතූ සිතූ විට ධර්‍මාන්විත කථාකොට දැනුම් එවා ගැන්ම බැරිවන හෙයිනුත් එසේ වූ කුල ස්ත්‍රීන් අක්‍ෂර මාත්‍රාවක් දැන මෙබඳු බුදුගුණ කථා ලිඛිත පුස්තකයන් ගෙන්වා තමන් තමන් අතුරෙහි ම සිත් සේ බලා බුදුගුණ දැන නුවණ වඩාගෙන දානාදීවූ පින්කම් කිරීමෙන් එසේ එසේ වූ ස්ත්‍රී ලෝකයාට වන්නා වූ මෙසේ මෙසේ වූ නිරාකුලාභිවෘද්ධිය ම දෙවන ලෝවැඩ යයි කියමි.

තව ද යුවරජ මහඇමතියන් ආදී ශ්‍රීමත් වූ ප්‍රධානයන් හැම වේලෙහි ම රජදරුවන්ගේ නොඑක් කාර්‍ය්‍යයෙහි ව්‍යාපෘතවන බැවින් බුදුන් සද්ධර්‍මය සකසා දැන්ම ඔවුන්ට ද බරෙක් ම ය. එසේ හෙයින් කල්‍යාණ පෘථග්ජන වූ ඒ ශ්‍රීමත්හු ද ලද ලද අවකාශයෙක්හි මෙසේ මෙසේ වූ නොයෙක් බුදුගුණ කථා සිත් සේ බලා රාජනීති, ලෝකනීථි, ධර්‍මනීති, ලෝකව්‍යාවහාර, ධර්‍මව්‍යවහාර, දේශව්‍යවහාර, මෙලෝ-පරලෝ විශේෂයෙන් දැන රජුන්ට ද ලොවට ද වැඩම දී අමාර්‍ගයෙහි නොගොස් ආත්මාර්‍ථ-පරාර්‍ථ සාදා තමන් ලද සැපත පරලෝ නිධාන කෙරෙමින් වැඩ සාදා ගැන්ම තුන්වන ලෝවැඩ යයි කියමි.

තව ද ශාසනාරක්‍ෂාවෙහි අප්‍රමාද වූ මහාස්ථවිරවරයන් ගරු වූ ස්ථානාන්තර ලදින් වසන හෙයිනුත්, ශාසනයට ගරු වූ ස්ථානාන්තර ලද හෙයිනුත්, ඔවුන් කෙරෙහි මහත් වූ ආදර බහුමාන කළමනා හෙයිනුත්, නොයෙක් නය දැන දහම සිත තබා හිඳිනා ධර්‍මකථිකයෝ ඔවුන්ට බණ කීමෙහි උපේක්‍ෂා වන්නාහ. එහෙයින් එම මහ පොළොව සේ නුවණැති මහාස්ථවිරයන්ට ද බණ ඇසීම් සුලභ නො වෙයි. ඔවුනු ද ලද ලද අවකාශයෙහි මෙබඳු වූ ධර්‍ම ව්‍යාඛාන කථා ගෙන්වා සිත් සේ බලා තම තමන් දත් ආගමයෙහි ඒ ඒ තන්හි එන විසිතුරු වූ ධර්‍මකථා හා අසාධාරණ වූ ඔපම්මකථා හා පූර්‍වකථිකයන්ගේ ව්‍යවහාර වාක්ප්‍රබන්‍ධ අසා ඒ මහාස්ථවිරයන්ගේ ද ප්‍රඥාචන්‍ද්‍රයන් නිර්‍මලවනු සේ සතරවන වූ ලෝවැඩ ය යි කියමි.

තව ද අති ශ්‍රද්ධාවෙන් සසුන් වැද මහණ ව අක්‍ෂරාභ්‍යාසය කොට ගත නොහී විදර්‍ශනාවෙහි යෙදී ශීලවිසුද්ධියෙන් යෙදී වසන්නා වූ බොහෝ ශ්‍රද්ධා චරිත ධර්‍මලෝභී සබ්‍රහ්මචාරීන් මෙසේ මෙසේ වූ අර්‍ථ කථාවන් සිත් සේ බලා ධර්‍මවිභාගය, ශීලවිභාගය, දැන ප්‍රඥා වඩා ප්‍රතිපත්ති ප්‍රතිවේධයට ආදර උපදවා ශ්‍රද්ධා නමැති ප්‍රදීපයන් බබුලුවා ගැන්ම පස්වන ලෝවැඩ ය යි කියමි.

තව ද නො එක් සූත්‍රාන්තයන් ඉගෙන බණ කීමෙහි දක්‍ෂ වූ මහ පඬිවරයන් පූර්‍වකථිකයන්ගේ වාක්ප්‍රබන්‍ධ බලා නොයෙක් අර්‍ථ ව්‍යාඛ්‍යාන ඉපදවීමට මුඛ දැක, පූර්‍වකථිකයන් කෙරෙහි අතිප්‍රසන්න ව රන්මල්හි සුවඳ කවන්නා සේ ප්‍රභාභිවෘද්ධියකොට ගෙන තම තමන්ගේ වාක්පථ නමැති ගඞ්ගාවන් නිර්‍මල කරනුයේ සවන ලෝවැඩ ය යි කියමි.

තව ද කල්‍යාණ පෘථග්ජන වූ අක්‍ෂරාභ්‍යාසය ඇති සත් පුරුෂයන් සාවද්‍යවූ කර්‍මාන්තයන් හැර නිරවද්‍ය වූ ධර්‍මයෙන් ආත්මාර්‍ථ-පරාර්‍ථ සාදා ගනුම්හ යි සිතා නිරවද්‍ය ජීවිකායෙන් ඒ ඒ තන්හි ධර්‍ම දානය දී ලෝවැඩ කරනුයේ සත්වන ලෝවැඩ ය යි කියමි.

තව ද නො එක් ප්‍රත්‍යන්තවල සත්පුරුෂ දර්‍ශනයක් නොලබන්නා වූ ශ්‍රද්ධාවන්ත වූ ස්ත්‍රී පුරුෂයන්ට බණ අසා මෙලෝ පරලෝ දැන් ම ඉතා දුර්ලභ වන බැවින් ඔවුනුදු මේ බඳු වූ බුදු ගුණ කථා ලිඛිත පුස්තකයන් සොයාගෙන අක්‍ෂරාභ්‍යාසය ඇතියවුන් ලවා කියවා අස් ස්වභාෂායෙන් නිර්‍ව්‍යාකුල වූ බුදුගුණ දැන මෙලෝ පරලෝ දෙකින් ගැලවෙනුයේ අටවන ලෝවැඩ ය යි කියමි.

මේ ආදීකාරණයෙන් ස්වභාෂා ලිඛිත වූ අර්‍ථකථායෙන් ඉපදවීමෙහි මෙසේ අටවැදෑරුම් වූ ලෝවැඩෙක් ඇතියේ ම ය. එසේ හෙයින් මෙහි මා විසින් කියන ලද පළමුවන අභිනීහාර මඟුල් පූජා කථාව ද සත් පුරුෂයන් විසින් සාවධාන ව ඇසිය යුතු.