දෙව්ලෝ බුදුහු විජම්බණ දෙසන්ට වැඩම වීම

star_outline

තව ද: අප බුදුන් තවුතිසා භවනයෙහි දී සක්දෙව් රජහුගෙන් ලද පාණ්ඩුකම්බලාසන පූජා නම් කවර? යත්;

මෙසේ මාගේ ස්වාමිදරුවෝ තමන්වහන්සේගේ ප්‍රථම බෝධියෙහි පටන් බුදු වූ සත් වන අවුරුද්දෙන් ඇසළ මැදි පොහෝ ලද උත්‍රසළ නකතින් තීර්ථක මථන ය කොට රුවන් සක්මන දී අනන්තාපරියන්ත වූ බුදුන්ගේ වංශානුගත වූ ක්‍රමයෙන් යමා මහ පෙළහර දක්වා “පූර්වබුදුවරයෝ මේ පෙළහර දක්වාලා කුමක් කළෝ දෝ හෝ”යි බලා වදාරා “මෙයින් ගොස් ශක්‍රයාගේ පාණ්ඩුකම්බලාසන ය පිළිගෙන එහි ම වස් වසා විජම් දෙසුවාහු ය”යි සොළොස් වන බුද්ධකාරක ධර්මයන් දැක “මම ද ඒ ධර්මය නො වරදවා ම කෙරෙමි”යි සිතා දෙව්ලෝ නැඟෙමි යි තවුතිසා භවනය බලා දක්‍ෂිණ ශ්‍රී පාදය එලිපත මුදුනට පයක් නගන්නා වූ පුරුෂයකු ආයාසයක් නැති ව ස්වල්පයක් පය ඔසවන්නා සේ මුට්ඨිරතන ප්‍රමාණයක් ශ්‍රී පාදය ඔසවා වදාළ සේක.

එ කෙණෙහි ස්වාමිදරුවන් පූර්වබුදුවරයන් දැක නො එක් වාරයෙහි දන් දුන්නා වූ, ශයනාසන උපාහනාදි වූ නො එක් පින්බලයෙන් සුවාසූදහසක් යොදුන් උස ඇති යුගන්‍ධර පර්වතය හුයාපු වෙහේ බඩයක් සේ, සක්විතිරජකු දුටු චණ්ඩාලයකු සේ, නැමි නැමී අවුදින් ස්වාමිදරුවන්ගේ ඒ ශ්‍රී පාදය මුදුන් මල්කඩක් සේ තමා මුදුනෙන් පිළිගත. දෙවනු ව වාම ශ්‍රීපාදය ද එසේ ම මුට්ඨිරතනයක් තැන් ඔසවා වදාළ සේක. එ කෙණෙහි එක්ලක්‍ෂ අටසැට දහසක් යොදුන් උස ඇති මේරු පර්වත රාජයා ද එසේ ම ආදරයෙන් නැමී ඒ ශ්‍රීපාදය ද පිළිගත. මෙසේ මිනිස්ලොව පියවරෙක, යුගඳුරු මුදුනේ පියවරෙක, මෙර මුදුනේ පියවරෙකැ යි ශක්‍ර භවන යට තුන් පියවරෙකින් වැඩි සේක.

මාගේ ස්වාමිදරුවන් සංසාරයෙහි ඇවිදිනා කල පවා අලිනචිත්ත ජාතකයෙහි මවු කුසින් බිහි වූ දවස් ඔබ දුටු මඞ්ගල හස්තිරාජයන් පවා ආදරයෙන් නැමී තමන්ගේ කුම්භස්ථලයෙන් ඔබ පිළිගන්නා කල. පදුම ජාතකයෙහි දෙවිදත්හු ඔබ ගල්මුදුනෙන් දැමූ දවස් පවා නිරාස්පද වූ ආකාශයෙහි දෙවියන් අවුත් නැමි නැමී තමන් උරමඬලෙන් ඔබ පිළිගන්නා කල. එම ජාතියෙහි විෂ ඝෝර දිව්‍යනාගරාජයන් පවා තමන්ගේ එණගබින් ආදරයෙන් ඔබ පිළිගන්නා කල මණිචෝර ජාතකයෙහි ඔබට වධ පැමිණි කාලයෙහි ඒ වධ අන්තර්ධාන කොට ශක්‍රදේවේන්‍ද්‍රයන් පිළිගෙන මඟුලැතුන් පිටට වඩා රාජ්‍යශ්‍රීයට පමුණුවාලන කල. සස ජාතකයෙහි ඇඟ මස් දෙමි යි ගිනි මැදට පිනූ කල පවා ඔබට ගිනි සුව පහස් දෙවා පියුම් පැනනැඟී ඔබගේ පාදයන් පිළිගන්නා කල. එයින් සක් දෙව්රජුන් දිව්‍යහස්තයෙන් ඔබ පිළිගන්නා කල. ශඞ්ඛ ජාතකයෙහි ඔබ මුහුදු පීනා විඩා ව පිහිටක් සිතා ආකාශය බැලූ කල දෙව්දූන් අවුත් තමන් උරමඬලෙන් පිළිගෙන ඔබ දිව්‍යනෞකාවට වඩා පිහිට කරන කල. කට්ඨහාරි ජාතකයෙහි ඔබ ලද බිළිඳි කල පවා ආකාශයෙහි වැඩහුන් දවස් ඇමැතියන් ඔවුනො‘වුන් පරයා “අපි පිළිගනුම්හ. අපි පිළිගනුම්හ”යි ඔබ කරා අත් දිගුකරන කල ඒ පෙළහර දුටු බරණැස් රජ ඔබ තමන් ඇකයෙන් ආදරයෙන් පිළිගන්නා කල.

තව ද: චුල්ලපදුම ජාතකයෙහි ස්ත්‍රියක ව ඔබ ගලින් හෙළූ දවස් පවා හොරුදඬු සා ගොයින් දිව අවුත් පිට දී පා පිළි ඔවුන් ගන්නා කල. ඛදිරඞ්ගාර ජාතකයෙහි මර දෙව්පුතු මැවු නරක ප්‍රපාතයට ඔබ පා දිගුකළ දවස් මහ ගැල්සක් සා පියුම් නැඟී පියුම් කෙමියෙන් එ ශ්‍රී පාදයන් පිළිගෙන සුවපහස් දෙන කල. ගුත්තිල ජාතක, සායින ජාතක, නිමි ජාතකයෙහි දෙව්ලෝ නැඟෙමි යි සිතා ඔබ දක්‍ෂිණ ශ්‍රි පාදයන් එසවූ කල මාතලි නම් දිව්‍යරථාචාරීන් දිව අවුත් යෙළසියක් යොදුන් වෛජයන්ත රථ පෑ ඔබ පාදයන් පිළිගන්නා කල දැන් සමතිස් පැරුම් පුරා නිමවා ලොවුතුරා බුදුවූ සමයෙහි තමන් වහන්සේ මවුකුස පිළිසිඳ ගත් වේලෙහි, මවුකුසින් බිහි වූ වේලෙහි, මහබිනික්මන් කළ වේලෙහි, ලොව්තුරා බුදු වූ වේලෙහි, දම්සක් දෙසූ වේලෙහි, කිඹුල්වත දී යමාමහ පෙළහර පෑ වේලෙහි, ගණ්ඩම්බ නම් වෘක්‍ෂමූලයෙහි දී යමක ප්‍රාතිහාර්‍ය්‍ය පෑ වේලෙහි යනාදි වූ ඒ ඒ නො එක් බුදුමඟුලෙහි නළුවන් සේ නටා අත්බමරක් සේ භ්‍රමණය කළා වූ යුගන්‍ධර පර්වත මේරු පර්වත නැමි නැමී අවුදින් ඔබ ශ්‍රීපාදයෙන් පිළිගත් නියාවත් තුන් පියවරෙකින් දෙව්ලෝ පැන නැඟි බුද්ධමහිමය ත් මා සිතට කවර මහිමයෙකැ යි කවර විස්මයෙකැ යි කියම් ද, එසේ හෙයින් ඔබ සංසාරයෙහි කළ මහිම මහිම ය යි සිතමි. එසේ ද වුවත් මාගේ ස්වාමිදරුවන්ගේ ඒ බුදු මහිම දහම් අසමින් විශේෂයෙන් බල බලා හැම වේලෙහි ම මා වාසය කරන හෙයින් මට ද ඉතා ආශ්චර්‍ය්‍ය ය. සියලු සතුන්ට ද විස්මය ම ය. පෙළහර ම ය. ඒ සන්තෝෂයෙන් ජනිත වූ කුශලයෙන් මට ද එ බඳු වූ පෙළහරෙක් මට වාසනා ම වේව යි, ඒ ඇසූ සත්පුරුෂයෝ ද අමාමහ නිවන් දැක සංසාරසාගරයෙන් ගොඩ නැඟෙත්ව යි, ගැළවෙත්වයි, අපාය නො හඳුනත්ව යි, දෙව්ලොව ම හඳුනත්ව යි -

මෙසේ මාගේ ස්වාමිදරුවන් එදා දෙව්ලොව තුන්පියවරින් වැඩි කල්හි සක්දෙව්රජ සිතනුයේ “මාගේ බුදුහු තමාගේ පුරයට වැඩිසේක. මා උදෙසා වස් වසන අභිප්‍රාය ඇති සේක් වනැ”යි බුදුන්ට මාගේ ශක්‍රපුරයෙන් කෙතෙනක් පරීක්‍ෂා කරනුයේ තමා ඒකපුණ්ඩරීක නම් උයන් මැද පිහිටි සියක් යොදුන් පරසතු මදාරා ගස මුල සැටයොදුන් පාණ්ඩුකම්බල නම් ශෛලාසනය උතුම් සේ දැක, තව ද: “මේ අස්න ඉතා මහත, බුදුවූ කුඩා සේක. බුදුන්ට හොබී දෝ හෝ නො බෙී දෝ හෝ”යි සිත සිතා එසේ ද වුවත් ඊට වඩා අනික් උතුම් වූ ආසනයක් නැති හෙයින් “මා විසින් බුදුන්ට මාගේ උත්තම වූ ආසනය ම පිළිගන්වමි. බුදුන්ට ඒම සුදුසු ය”යි සිතා දෙ දෙව්ලොව දිව්‍ය සේනාව ගෙන බුදුන් පෙරමගට නොයෙක් දිව්‍ය පූජා භාණ්ඩ ගෙන ගොස් මහත් වූ පූජා පෙළහරින්, මහත් වූ උත්සවයෙන් බුදුන් වඩාගෙන ගොස් පාණ්ඩුකම්බලාසනය පිළිගැන්වී ය. එ කෙණෙහි ස්වාමිදරුවෝ දොළොස් රියන් බුද්ධ කායෙන් ආසනය මුල වැඩසිටි සේක් සක්දෙව්රජු හා ඒ සා මහත් දිව්‍යසේනාව හෙළූ ඇසිපිය නඟා නො ලන ඇසිල්ලෙහි පසළොස් යොදුන් උස ආසනය මුදුනෙහි අහස්කුස නැඟූ යන්ත්‍රපානක් සේ පෙනී වදාළ සේක. එවේලෙහි සිසාරා සිටි දිව්‍යසේනාව කර නඟා බුදුන් බල බලා සාධුකාර දුන්හ.

එ වේලෙහි ස්වාමිදරුවෝ සක්දෙව් රජහු සිතූ සිත දැන “මේ ශක්‍රයා තමාගේ අස්න මහතැ යි සිතී ය. මා කඩා ය යි සිතී ය. බුදුන්ගේ ආනුභාව මෝහට පළමුකොට දක්වාලමි”යි සිතාලා තමන් වහන්සේගේ සුගත් විතින් දිග නවවියත් පුළුල සවියත් තමන් වහන්සේගේ සඟළසිවුර විදා දිව්‍යසේනාව බල බලා සිටිය දී ම සතර පටින් පත්කොට; දිග දෙසිය සතළිස් ගවු, පුළුල දෙසියයක් ගවු, උස සැට ගවු, වටින් අටසිය අසූගව්වක් පමණ ඇති ඒ සා මහත් වූ ආසනයෙහි හෙළා ලූ සේක. එ කෙණෙහි මහ තෙලි සමක් කුඩා පුටුවක් වසා ලූවා සේ ආසනය සඟළ සිවුර සතර පටින් වැසී ගිය. දෙවියන්ට ආසනයෙන් කිසිවකුත් නො පෙනෙයි. බැලු බැලූ අත ම සඟළ සිවුර ම පෙනෙයි. එ වේලෙහි ස්වාමිදරුවෝ පලග් බැඳ ඒ ආසනයෙහි වැඩඋන් සේක. බුදුන්ට ආසනය හොබනේ ය. ආසනයට බුදුහු ම හොබනා සේක. බුදුන් දැක ආසනය කුඩා වූයේත් නැත. ආසනය දැක බුදුන් මහත් වූයේත් නැත. මෙසේ අචින්ත්‍ය වූ බුද්ධවිෂයයෙන් බුදුහු ඒ පාණ්ඩුකම්බලාසනයෙහි විරාජමාන ව මුළු සක්වළ නැඟූ දිවපහනක් සේ දිලිහි දිලිහි සියලු දෙවියන්ට ම පෙනෙන සේක. මේ සක්වළ ම නො වෙයි. දස දහසක් සක්වළ ම සිටි දෙවියන්ට ම පෙනෙන සේක. එ කෙණෙහි මේ සා දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මසේනාවට ස්වාමිදරුවෝ ම දිලියෙන සේක. කීයේ මැනෝ:

තාවතිංසෙ යදා බුද්ධො - සීලායං පණ්ඩුකම්බලෙ,

පාරිච්ඡත්තකමූලස්මිං - විහාසි පුරිසුත්තමො.

.

දසසු ලොකධාතුසු - සන්නිපතිත්‍වාන දෙවතා,

පයිරුපාසන්ති සම්බුද්ධං - වසන්තං නගමුද්ධනි.

.

න කොචි දෙවො වණ්ණෙන - සම්බුද්ධස්ස විරොචතී,

සබ්බෙ දෙවෙ අධිග්ගයහ - සම්බුද්ධො ව විරොචති - යි.

එ කල සර්වඥයන් වහන්සේ රුවන් සක්මනින් අන්තර්ධාන ව දෙව්ලෝ වැඩි කල බුදුන් නුදුටුවාවූ සතිස් යොදනෙක සිටි මහ පිරිසට හිර ගල හුනු කලක් සේ, සඳ ගල හුනු කලක් සේ, ලෝකාන්‍ධකාර වි ය. එ කල සත්ත්‍වයෝ:

ගතොනු චිත්තකූටං වා - කෙලාසං වා යුගන්‍ධරං,

න නො දක්ඛෙම සම්බුද්ධං - ලොකජෙට්ඨං නරාසභං.

.

පවිවෙකරතො ධීරො - න‘යිමං ලොකං පුනෙතීති,

න නො දක්ඛෙමි සම්බුද්ධං - ලොකජෙට්ඨං නරාසභං - යි.

යනාදි ගාථා කිය කියා “අප බුදුහු සිතුකුළු පව්වට ගියෝ දෝ හෝ, කෛලාසකූට පර්වතයට ගියෝ දෝ හෝ, යුගඳුරුමුදුනට ගියෝ දෝ හෝ, බුදුහු නම් විවෙක වාසය කැමතියහ. මේ සා මහ පිරිසක් මැදයෙහි මෙ බඳු වූ පෙළහරෙක් මා විසින් කරන ලදැ යි උපන් ලජ්ජා ඇති ව අනික් දිවයිනකට ගොස් සැඟැවී ගියෝ දෝ හෝ, අප බුදුන් කවර දවසෙක දකුමෝ දෝ හෝ”යි මහත් වූ විලාපයෙන් හඬාගෙන මුගලන් මහතෙරුන් වහන්සේ කරා ගොස් “ස්වාමීනි! අප බුදුහු කොයිදැ”යි විචාළහ. ඔබ තමන් වහන්සේට විශේෂයෙන් දැනෙතු දු නො කියා අනුරුද්ධ මහතෙරුන් වහන්සේගේ ගුණ ප්‍රසිද්ධ කෙරෙමි යි සිතා අනුරුද්ධ මහ ස්ථවිරයන් අතින් විචාරව” යි වදාළ සේක. එ කල මහපිරිස ගොස් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ අතින් විචාළහ. ඔබ වදාරණ සේක් “උපාසක වරිති! බුදුහු තවුතිසා භවනයෙහි වස් වැස දෙවියන්ට විජම් දෙස්නට වැඩි සේක. තුන් මසක් දෙව්ලොව වැස වප්මස මැදි පොහෝ ලද මහා පවාරණ දිනයෙහි මිනිස් ලොවට වඩනා සේකැ”යි වදාළ සේක. එ බස් අසා මහපිරිස “අප බුදුන් දුටු දවසෙක මුත් නො යම්හ”යි එම සතිස් යොදුන් බිම් අතුරු නො දී කඳවුරු බැඳ උන්හ. එතැන් පටන් සත්ත්‍වයන්ට ආකාශය ම ගෙහෙ වි ය.