ඉති’පි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසධම්ම සාරථි සත්‍ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති.
සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ; ඉති පි අරහං - මුළු ලෝ වැසියන් විසින් කරන ලද ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවට සුදුසු හෙයින් ද, තමන් රහසත් පව් නො කරන හෙයින් ද, කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින්ද, කෙලෙස් නමැති සතුරන් නැසූ හෙයින් ද, අවිජ්ජා-සංඛාර නමැති නාභි ඇති. ජරා මරණ නමැති නිම්වළලු ඇති, ආශ්‍රය සමුදය නමැති අකුරෙන් විද, තුන් ලෝ නමැති රියෙහි යොදන ලද, සංසාර නමැති චක්‍රයාගේ කුශලාකුශලකර්‍ම නමැති අර බෝමැඬ දී ම සීල නමැති පොළොවෙහි, වීර්‍ය්‍ය නමැති පයින් සිට ශ්‍රද්ධා නමැති හස්තයෙන් ගත් කර්‍මක්‍ෂයකරඥාන නමැති ඵරසුවෙන් පලා, සුනුවිසුණු කොට මූලොච්ඡින්න කළ හෙයින් දැ යි යන මේ ආදි අර්ථයෙනු දු අර්‍හත් නම් වන සේක.
එසේ හෙයින් කියන ලදි:
ආරකත්තා හතත්තා ච - කිලෙසාරීන සො මුනි
හතසංසාර චක්කාරො - පච්චයාදීනචාරභො
න රහො කරොති පාපානි - අරහං තෙන පවුච්චති’ යි.
සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ; ඉතිපි සම්මා සම්බුද්ධො - සංස්කාරධර්‍මයන් සකසා දත් හෙයිනු දු, සංස්කාර ධර්‍මයන් විශේෂයෙන් දත්හෙයිනු දු, ලක්‍ෂණ ධර්‍මයන් සංලක්‍ෂණය කොට දත් හෙයිනු දු, නිර්‍වාණ ධර්‍මයන් සර්‍වප්‍රකාරයෙන් දත් හෙයිනු දු, ප්‍රඥප්ති ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂකොට දත් හෙයිනු දු, ආර්‍ය්‍යසත්‍යයන් විශේෂයෙන් දත් හෙයිනු දු, මෙසේ සියලු දතමනා ධර්‍මයන් නිමවා දත් හෙයිනු දු, භාවිත කළමනා ධර්‍මයන් විශේෂයෙන් භාවිත කළ හෙයිනු දු, දුරුකළමනා ධර්‍මයන් දුරින් ම දුරු කළ හෙයිනු දු, සියලු සත්‍වයන්ට ද කරතලාමලක ක්‍රමයෙන් අවබෝධ කරවූ හෙයින් දැ යි යනාදි නානාවිධ වූ අර්ථයෙන් සම්මා සම්බුද්ධ නම් වන සේක.
වදාළේ මැනෝ:
අභිඤේඤෙය්‍යං අභිඤ්ඤාතං - භාවෙතබ්බඤ්ච භාවිතං,
පහාතබ්බං පහීණම්මෙ - තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ - යි.
සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ, ඉති’පි විජ්ජාචරණසම්පන්නො :- පෙර විසූ කඳ පිළිවෙළ දැන්ම, දිව ඇස, ආශ්‍රවයන් නැසීම ය යි යන මේ ත්‍රිවිද්‍යායෙන් යෙදුනු හෙයින් ද, විදර්‍ශනා ය, මනෝමය සෘද්ධි ය, සෘද්ධිප්‍රභේද ය, දිව්‍ය ශ්‍රෝත්‍ර ය, පරසිත් දැන්ම ය. පූර්‍වෙනිවාස ය, දිව්‍යචක්‍ෂූෂ ය, ආශ්‍රවක්‍ෂය ය යන මේ අෂ්ට විද්‍යායෙන් යෙදුනු හෙයින් ද; ප්‍රාතිමොක්‍ෂ සංවරශීල ය, ඉන්‍ද්‍රිය සංවරශීල ය, භෝජනයෙහි මාත්‍රඥාන ය, නිදිවර්ජිත කිරීම ය, ශ්‍රද්ධා ය, හ්‍රී ය, ඔත්තප්ප ය, බහුශ්‍රැතත්‍ව ය, වීර්‍ය්‍ය ය, ස්මෘති ය, ප්‍රඥා ය, සතර රූපාවචර ධ්‍යාන ය යන මේ පසළොස් චරණ ධර්‍මයෙන් යෙදුනු හෙයින් දැ යි යන මේ ආදි අර්ථයෙනු දු විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේ, ඉතිපි සුගතො - සුන්‍දර වූ ගමන් ඇති හෙයිනුදු, සුන්‍දර වූ ශරීර ඇති හෙයිනු දු, සුන්‍දර වූ දේශනා විලාස ඇති හෙයිනු දු, සුන්‍දර වූ නිවන් භූමියට සුන්‍දර ව ගියහෙයින් දැ යි යන මේ ආදි අර්ථයෙනු දු සුගත නම් වන සේක.
සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ, ඉති’පි ලොකවිදූ - සත්‍වලොක ය, අවකාශලොකය, සංස්කාර ලොකය, කාමලොක ය, රූපලොක ය, අරූපලොක ය, සහශ්‍රී ලොක ය, දශසහශ්‍රීලොක ය, කොටි ශතසහශ්‍රී ලොක ය යනාදි ලොකයන් නිමවා දත් හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු දු ලොකවිදූ නම් වනසේක.
සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ; ඉති’පි අනුත්තරො - ශීලයෙන් ද, සමාධියෙන් ද, ප්‍රඥාදියෙන්[1] ද, විමුක්තියෙන් ද, විමුක්තිඥානයෙන් ද, මුළුලොව තමන්ට වඩා අනික් උතුම් කෙනෙකු නැති හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු දු අනුත්තර නම් වනසේක.
සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේ; ඉති’පි පුරිසදම්මසාරථී - බකබ්‍රහ්ම, ආලවක, අංගුලිමාල, ශක්‍ර, සභිය, සුචිරොම, ඛරරොම, සච්චක, නන්‍දොපනන්‍දාදී දම්‍ය පුරුෂයන් දමා සරණසීලයෙහි පිහිටුවා වැඩ දී හික්මවනලද හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු දු පුරිසදම්මසාරථී නම් වනසේක.
සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේ; ඉති’පි දෙවමනුස්සානං සත්‍ථා - දෙවියන්ට ද, මනුෂ්‍යයන්ට ද, මෙලොවින් ද, පරලොවින් ද, අනුශාසනාකොට සංසාරදුර්‍ගයෙන් ගොඩනගා නිර්‍වාණක්‍ෂෙමභූමියට පමුණුවන හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු දු ශාස්තෘ නම් වනසේක.
සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේ; ඉති’පි භගවා - දාන ශීලාදී සමත්‍රීන්සත් පාරමිතාවෙන් ජනිත වූ භාග්‍ය ඇති හෙයින් ද; රාගාදී කෙලෙසුන් භග්නකළ හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු දු භගවත් නම් වනසේක.
මෙහි ‘භගවත්’ යනු දෙකක් හා ‘බුද්ධ’ යනු දෙකක් හා අනික් සත්පද ය හා එකොළොස්පද ය අරහාදි ගුණ නවයකට බෙදුනු හෙයින් පළමුවන භගවත් යන්න හා අන්තයෙහි කී බුද්ධ යන්න ගෙන ‘සො භගවා බුද්ධො’ යි කියා බිඳ නවපදයෙහි අර්ථකථනය කළහ යි දතයුතු.
එහි නවපදවිභාගය දැක්වූ පූර්‍වාර්ථ කථාචාරීන් විසින් මෙසේ කියන ලදි.
අරහං අරහො’ති නාමෙන - අරහො පාපං න කාරයෙ,
අරහත්ත ඵලං පත්තො - අරහං නාම තෙ නමො,
.
සම්මාසම්බුද්ධ ඤාණෙන - සම්මාසම්බුද්ධ දෙසනා,
සම්මාසම්බුද්ධ ලොකස්මිං - සම්මාසම්බුද්ධ තෙ නමො.
.
විජ්ජාචරණ සම්පන්නො - තස්ස විජ්ජා පකාසිතා,
අතීතානාගතුප්පන්නා - විජ්ජාචරණ තෙ නමො.
.
සුගතො සුගතත්තානං - සුගතො සුගතො සුන්‍දරම්පි ච,
නිබ්බානං සුගතිං යන්ති - සුගතො නාම තෙ නමො.
.
ලොකවිදූති නාමෙන - අතීතානාගතෙ විදූ,
සඞ්ඛාර සත්තමොකාසෙ - ලොකවිදූ නාම තෙ නමො.
.
අනුත්තරො ඤාණ සීලෙන - යො ලොකස්ස අනුත්තරො,
අනුත්තරො පූජ ලොකස්මිං - තං නමස්සාමි අනුත්තරො.
.
සාරථි සාරථි දෙවා - යො ලොකස්ස සුසාරථී,
සාරථි පූජ ලොකස්මිං - තං නමස්සාමි සාරථි.
.
දෙව යක්ඛ මනුස්සානං - ලොකෙ අග්ග ඵලං දදං,
දදන්තං දමයන්තානං - පුරිසා ජඤ්ඤ තෙ නමො.
.
භගවා භගවා යුත්තො - භග්ග කිලෙසවාහතො,
භග්ග සංසාර මුත්තාරො - භගවා නම තෙ නමො’ යි.
සදෙව්ලොව එකැඟිල්ලෙන් පෑවා සේ, නවමහ බඹලොව නම් මේ ය යි කියා ඉඟි ලා පෑවා සේ, නව අරහාදී බුදුගුණයෙහි මේ සංක්‍ෂෙපාර්ථ නම. විස්තර වශයෙන් වණත්, එකසක්වළෙක මිනිසුන් මහමුහුද පැන් ඉස නිමවාලිය නො හැක්කැ සේ, එක් රජපිරිසක් මහපොළොවෙහි පස් ඇද නිමවාලිය නො හැක්කා සේ, එක් දිවයිනෙක මිනිසුන් මහමෙර ඔසවාලිය නො හැක්කා සේ, එක් තෙලිතුඩකින් හිමවුගල සොලවාලිය නො හැක්කා සේ, එක් සියොතක්හුගේ පතින් අහස්කුස වසාලි ය නො හැක්කා සේ, එක් සතකු ඇඟිල්ලෙන් ගුවන්කුස මැන නිමවාලිය නො හැක්කා සේ එක් රැලෙක කුහුඹුවන් ඇත් බඳෙක මස් බිඳකා නිමවාලි ය නො හැක්කා සේ, එක් ගමෙක මිනිසුන් මහගග පැන් උකා බී නිමවාලිය නො හැක්කා සේ, එක් රැලෙක ගිරවුන් සුවහස් කිරි ඇති කෙතක කරල් සිඳ නිමවාලිය නො හැක්කා සේ, එක් සතකු ඇසින් බුදුන් රූ බලා නිමවාලිය නො හැක්කා සේ, එක් සක්විතිරජපිරිසක් මහමුහුද රුවන් උකා නිමවාලිය නො හැක්කා සේ, එක්සක්වළෙක මිනිසුන් බුදුන්ගේ සතරමහ නිධානයෙහි රුවන් උකා නිමවාලිය නො හැක්කා සේ, මහා මේරුව එක්සිදුහතුකරගඬුවකින් සඟවාලිය නො හැක්කා සේ, මිහිමඬල නිය අස්සේ සඟවාලිය නො හැක්කා සේ, එක් සත්‍වයෙකුගේ මුඛයෙන් තබා බුද්ධොත්පාදයෙක උපන් තුන්ලෙව්හි හැම නියවතුනු දු බුදුගුණ වණත් නිමවාලිය නො හැක්කේම ය.
-
ස්ථිති ප්‍රඥායෙන් ද ↑