තව ද: අප බුදුන් විශාඛා මහා උපාසිකාවන්ගෙන් ලද පූර්වාරාම පූජා නම් කවරහ? යත්;
මේ ඒ විශාඛාවන්ගේ පිළිවෙල කථාව ය.
අප මහා ගෞතම බුදුන් සමයෙහි තුන් සියයක් යොදුන් අගු මගධ දෙ රටට නායක වූ රජගහ නුවර බිම්බිසාර රජහුගේ විජිතයෙහි මැඬ මහසිටාණෝ ය, ජොතිය මහාසිටාණෝ ය, ජටිල මහා සිටාණෝ ය, කාකවලිය මහාසිටාණෝ ය, පූර්ණක නම් මහසිටාණෝ ය යි මහ පොළොව සේ උණු නොවන සම්පත් ඇති හෙයින් අමිත භෝගී ය යි මේ නමින් ප්‍රසිද්ධ වූ මහසිටුවරු පස්දෙනෙක් වූහ. එයින් මැඬ මහසිටාණන්ගේ ගෙයි ඔවුන් ඇතුළු වූ මහ පින්වත්හු පස්දෙනෙක් වෙති. සිටාණෝ ය, චන්‍දුපදුමා නම් සිටුදියණියෝ ය, ධනඤ්ජය නම් පුතණුවෝ ය, සුමනා නම් යෙහෙලනියෝ ය, පුණ්ණක නම් මෙල්ලාකය යි මොහු පස්දෙනෙක් පෙර කළ පිනින් එක ගෙයි මහපින් ඇති ව උපන්නාහ. මේ විශාඛාවෝ නම් ඒ මෙණ්ඩක නම් සිටාණන්ගේ පුතණුවන් ධනඤ්ජය සිටාණන්ගේ ජ්‍යෙෂ්ඨ භාර්‍ය්‍යා වූ සුමනා නම් සිටුදියණියන් කුස පිළිසිඳ ඒ අගුරට භද්දිය නම් නුවර වසන කල මවුකුසින් උපන. ඒ විශාඛාවන් සත්හැවිරිදි අවස්ථාවෙහි මාගේ කරුණා නිධාන වූ, ස්වාමිදරු වූ, බුදුරජාණන් වහන්සේ සෙල නම් මහබමුණානන් ආදි වූ වෛනෙය ජනයන් කෙරෙහි කරන ලද මහාකරුණා ඇති ව මහණගනයා පිරිවරා ඒ භද්දිය නුවරට පැමිණිසේක.
එ කල මැඬ මහසිටාණෝ ස්වාමිදරුවන් තමන්ගේ නුවරට වඩනා බව අසා ම පුතණුවන්ගේ දූ විශාඛාවන් ඒ තමන්ගේ මිනිබිරියන් ළඟට කැඳවා “පුත තොපටත් මඟුල, අපට ත් මඟුල, තෙපි තොප හා සම සත් හැවිරිදි වයස් ඇති පන්සියයක් සිටු කුමරියන් පිරිවරාගෙන පන්සියයක් රථ නැගී මහපෙළහරින් බුදුන් පෙරමගට යව”යි කීහ. එ වේලෙහි ඒ කුමාරිකාවෝ තමන් බුදුසස්නෙහි සැදෑ ඇති ස්ත්‍රීන් කෙරෙහි අග්‍ර වූ තනතුරු ලබන පින් ඇති හෙයිනුත් පූර්ව හේතුසම්පත් ඇති හෙයිනුත් බුදුහු ය යි යන නම අසා ම සන්තෝෂ ව මුතුන් සිටුහු කී පරිද්දෙන් මහපෙළහරින් බුදුන් පෙරමගට ගොස් තමන් බාල වුව ද මහ නුවණ ඇති හෙයින් උත්තමයන් පෙරගට යානා නැඟී යාම ආදර නොවන්නේ ය යි සිතා පයින් ගොස් බුදුන් දැක වැඳ එකත්පස්ව සිටියහ.
එ වේලෙහි ස්වාමිදරුවෝ මේ කුමාරිකා කෙසේ වූ පිනැති එකක් දෝ හෝ පරීක්ෂා කොට මාගේ බුදුසස්නෙහි සියලු ශ්‍රාවකයන්ට මවු තනතුරු ලදින් ශ්‍රද්ධාවන්තයන් කෙරෙහි අග්‍රව මහත් වූ දානපරිත්‍යාගයෙන් බුදුසසුන් හොබවන උත්තම ස්ත්‍රියකැ යි දැක එ කෙණෙහි ධර්මදෙශනා කළසේක. ඒ වේලෙහි විශාඛාවෝ පන්සියයක් කුමරියන් හා සමඟ සෝවාන් වූහ. ඉක්බිත්තෙන් මැඬ මහසිටාණෝ එම දා බුදුන් කරා ගොස් බණ අසා එම දා ම සෝවාන් ව සෙට දවසම බුදුන් පවරා අනෙකප්‍රකාරවූ ඛාද්‍ය භොජ්‍යයෙන් බුදුන් වළඳවා මෙසේ ම දෙපෝයක් මහදන් දුන්හ. බුදුහු ඒ භද්දිය නුවර අභිප්‍රාය කාලයක් වැස නැවත ජෙතවනාරාමයට වැඩිසේක.
එ සමයෙහි සැවැත් නුවර පසේනදි කෝසල රජ්ජුරුවන් නැඟණියෝ රජගහා නුවර බිම්බිසාර රජ්ජුරුවන්ට අග මෙහෙසින් ව වෙසෙති. බිම්බිසාර රජ්ජුරුවන්ගේ නැඟනියෝ පසේනදි කෝසල රජ්ජුරුවන්ට අගමෙහෙසින් ව වෙසෙති. එසේ හෙයින් ඔවුන් දෙදෙන ඔවුනොවුන් භගිනිපතිකා නම් වූ සුහුරුබන්‍ධු වූහ.
දවසෙක කෝසල රජ්ජුරුවෝ සිතන්නාහු බිම්බිසාර රජ්ජුරුවන්ගේ නුවර අමිතභොගී සිටුවරුන් හා මහපින් ඇතියෝ බෙහෙව. උන්ගේ නුවරට ගොස් අමිතභොගී සිටාණ කෙනෙකුන් ඉල්වාගෙන මාගේ නුවරට එමි යි සිතා මහපෙරහරින් රජගහා නුවරට ගොස් බිම්බිසාර රජ්ජුරුවන් හා ප්‍රියකථා කොට “යහළු, තොපගේ නුවරින් අමිතභොගී මහ සිටාණකෙනකුන් මට දෙව’’යි කීහ. රජ්ජුරුවෝ “මේ මහ පොළොව සොල්වාලිය හැකි වී නමුත් ඒ සිටුවරුන් පස්දෙන සොල්වාලිය නොහැක්කේ ය”යි කීහ. එ බසට කෝසල රජ්ජුරුවෝ “එක් සිටාණ කෙනෙකුන් මට නුදුන්නු නම් මම මේ නුවරින් නො යමි. තොප හා මා හා විස්වාසත් නැතැ”යි කීහ. එ වේලෙහි බිම්බිසාර රජ්ජුරුවෝ අමාත්‍යයන් හා සමඟ කථා කොට “මහසිටුවරුන් යවාලීම බැරිවුවත් එක් තරම් සම්පත් ඇති සිටුකෙනකුන් දෙම්හ”යි කියා මැඬ මහ සිටාණන් පුත් යට කී ධනඤ්ජය සිටාණන් කැඳවා කොසොල් රජ්ජුරුවන් කී පවත් ඔවුන්ට කියා “සැවැත් නුවර උන් හා කැටි ව යව”යි කීහ. ධනඤ්ජය සිටාණෝ “නුඹවහන්සේ මා යවනසේක් වී නම් යෙමි”යි කියා ගිවිස්සහ. එ කල බිම්බිසාර රජ්ජුරුවෝ ඒ ධනඤ්ජය සිටාණන් ගිවිස්වා මහත් වූ සත්කාර කොට කොසොල් රජ්ජුරුවන්ට පාවා දී යවුවාහු ය.