තව ද අප බුදුන් සැවැත්නුවර දී අනේපිඬු මහ සිටාණන්ගෙන් ලද ජේතවනාරාම පූජා නම් කවරහ? යත්;
මෙසේ බුදුරජාණන් වහන්සේ පළමුවන ගමනෙහි ම පියමහරහතන් වහන්සේ තුන්මහ තුන්ඵලයෙහි පිහිටුවා, සඟපිරිස් පිරිවරා, ඒ කිඹුල්වත් නුවරින් නික්ම විසිදහසක් රහතන් පිරිවරා රජගහ නුවර වැඩ එහි සිත නම් මහවෙනෙහි වසන සේක. එ කල රජගහ නුවර ධනසිටානකෙනෙක් ඇතියහ. ඔවුන්ගේ නැගනියෝ සැවැත්නුවර අනේපිඬු මහසිටාණන් කෙරෙහි වෙසෙති. ඔවුන්ගේ නැඟනියෝ රජගහ නුවර සිටාණන් කෙරෙහි වෙසෙති. එසේ හෙයින් ඔහු දෙදෙන භගිනිපතිකා වූ සුහුරුබන්‍ධු, වූහ. එසේ හෙයින් ඔහු දෙදෙන තමන් තමන්ගේ නුවරින් පන්සිය පන්සිය බඩුගැල් ගෙන ඔවුනොවුන්ගේ නුවර ගොස් විකොට එති. නොවිකා නම් ඔවුනොවුන්ගේ ගෙවලට දී යෙති. ඔවුනොවුන්ගේ නුවරට ඔවුනොවුන් වදිනා දවස් ඔවුනොවුන් පෙරමගට ගොස් යොදනෙක පටන් මහපෙළහරින් නුවරට ගෙනෙති. මෙසේ වසන කල අනේපිඬුමහසිටාණන් සැවැත්නුවර සිට රජගහනුවර ගොස් යොදනෙක සිට තමන් ආ පවත් පෙරසේ ම කියා යදුවාහුය.
එදවස් නම් රජගහ නුවර සිටාණන් බුදුන් කරා ගොස් බණ අසා සෙට දවසට පවරා අවුත් මහත් වූ දාන විධානයෙහි යෙදී අවකාශයක් කිසිවකුත් නැති දවසෙක. එසේ හෙයින් සිටාණන් ආ පවත් කියාගතහුනුමෝ නැත. එ කල අනේපිඬුමහසිටාණෝ දැන් එති, දැන් එති යි පෙරමඟ බල බලා වෙහෙසි නො එන හෙයින් මඟ දී දක්නමෝ වේ දැ යි සිතා එන්නාහු මඟදීත් නුදුටුවාහු වාසල දී දකිමි යි සිතා එන්නාහු එසේත් නො දැක මිදුලෙහි දී දක්නෙම් වේ දැයි සිතා දොර මිදුලටත් ගොස් එසේත් නො දැක සිටාණන්ට යම්කිසි ව්‍යසනයෙක් ඇති වනැ යි සිතා ගොස් ඇතුළු ගෙට වන්හ. එකල සිටාණෝ අනේපිඬු මහසිටාණන් දැක සාමීචි කතා කරන්ට අවකාශ නැති හෙයින් සිපගෙන පියා “කිමෙක් ද? සිටාණෙනි! මඟ නිදුක් ව සැපසේ පලා ආදැ ද, බාලයන්ට දුක් නැද්දැ”යි යන මේ දෙබස විතරකින් සාදකොට තෙසු කථාවක් නො කොට “උදුන් බඳුව. දර ගෙනෙව පැන් ගෙනෙව මෙසේ මෙසේ ඛාද්‍යෙභාජ්‍ය සම්පාදනය කරව”යි යනාදි වසයෙන් අප්‍රමාද ව දාන විධානය කොට සවස අනේපිඬුමහසිටාණන් කරා ගොස් සුවදුක් කථාවෙන් සන්හිඳී හුන්හ.
අනේපිඬුමහසිටාණෝ කියන්නාහු “සිටානෙනි! පෙර මා මෙ නුවරට ආ කල පෙරගමන් කොට යොදුනක් තැන් ගොස් මහත් වූ සන්තෝෂයෙන් පිනවා අද මට පෙරගමනුත් නො කළව. සත් කාරයකුත් නො කළව. මා හා කැටිව සාකච්ඡාවකුත් නො කළව. මහත් වූ මඞ්ගගල විධානයක් ම කරව. අද තොපගේ ගෙයි ආවාහ විවාහාදි මහාමඞ්ගල දිනයෙක් ද? මෙ නුවර රජ්ජුරුවන් හා මහ සෙනගට සෙට අමුතු බතක් දෙව් ද? නොහොත් මහත් යාගයක් කරව් දැ”යි විචාළහ. එ වේලෙහි රජගහනුවර සිටාණෝ අනේපිඬු මහසිටාණන්ට කියන්නාහු “යහළු තෙපි නො ඇසූද, සුදොවුන් මහරජාණන් දරු සිදුහත් කුමාරයෝ දැන් ලොවුතුරා බුදුවූහ. දහම්වැසි වස්වා විනෙය ජනසත්ත්‍වයන් සන්තෝෂ කරවමින් සිටියහ. දෙව්බඹුන් තමන්ගේ ශ්‍රිපාදමූලයට ගෙන්වා කුලගැත්තන් සේ මෙහෙ ගනිමින් සිටියහ. එසේ වූ බුදුඋතුමානෝ දැන් අපගේ සිත වෙනෙහි වාසයකරන සේක. මම ඒ බුදුන් කරා ගොස් බණ අසා දහම් අමා උකා බී මත් ව සෙට ඒ බුදුන්ට මහදන් දෙමි යි උමතුවූවාහු තොප හා කුමක සාකච්ඡා කෙරෙම්දැ”යි කීහ.
එ වේලෙහි අනේපිඬුමහසිටාණෝ තමනු දු පෙර බුදුන් දැක පින් රැස්කොට ආ මහ පින්සිඩාණන් හෙයින් හිරුරැස් කලබක් හා සමග සන්තෝෂ වූ මහ පියුමක් සේ බුදුහු ය යි කී වචනය හා සමග උපන් මහා සන්තෝෂයෙන් සකල ශරීරය පුරා ලොමු දහ ගන්වමින් ඉතා විස්මයට පත් ව යහලු නො වළහා කියමි. බුදුකෙනෙක් ම දැ”යි විචාළහ. බුදුකෙනෙක් ම ය යි කීහ. දෙවනුව තුන්වනුවත් විචාළහ; දෙවනුවත් තුන්වනුවත් බුදුහු ම ය යි කීහ. එ වේලෙහි අනේපිඬුමහසිටාණෝ “මා ඇසූයේ ඉතා අද්භූත ව වචනයෙක. කල්ප කෝටියකිනුත් ලැබගත හැක්කා වූ වචනයෙක් නො වෙයි. මට වූයේ වැඩෙක. මා මෙ නුවරට ආයේ ම යෙහෙකැ යි “යහළුව මට සිතැ ඇතියා නම් දැන් ම මා ගෙනගොස් බුදුන් දක්වා පියව”යි කීහ. එ බසට සිටාණෝ කියන්නාහු ‘බුදුන් සිතු සිතූ විට ම දැකළිය නො හැක්ක. නො වේලෙහි ගිය කෙනෙක් ඇත්නම් බුදුහු බුද්ධාසනයෙහි වැඩහිඳ ත්, ගන්‍ධකුටියෙහි වැඩහිඳත්, ගන්‍ධමාලකයෙහි වැඩසිටත් නො පැණෙන සේක් ම ය; ධ්‍යාන සුවයෙන් හෝ වැඩහිඳිනා සේක. දෙවියනට බඹුන්ට, පැන හෝ වදාරණ සේක. සක්දෙව්රජහු වැනියෝ පවා නො වේලෙහි බුදුන් කරා ගොස් දැකගත නො හී ආපස්සෙහි පලායෙති. බුදුන්ගේ අදහස් දත නො හැක්ක. බුදුහු සීවථිකාවක් සමීපයෙහි ත් වසන සේක. මේ මේ කාරණයෙන් බුදුන් දැකීමට මේ වේලාවකුත් නො වෙයි. සෙට උදාසනම කැඳවාගෙන ගොස් බුදුන් දක්වාලමි. අද එක රැයට සැතපී ගනුව”යි කියා සන්හිඳුවා සිටාණන් සත්බුමු මහපායෙහි මතුමාලේ යහන් ගබඩාවේ සැතැප්පූහ.
එ කල අනේපිඬුමහසිටාණෝ ද බුදුන්ගේ නම ඇසූ වේලෙහි පටන් කිසි භාණ්ඩයන්ගේ විධානයකු දු නො කොට කිසි පරිවාර ජනකෙනෙකුන් ලා ත් කථාවක් නො කොට බුද්ධාලම්භන ප්‍රීති නමැති අමා දිය උකා බිමෙන් මුසපත් ව ගියා සේ “බුද්ධො-බුද්ධො” යි කිය කියා යානේ වැදහෙව මෙතෙක් දවස් සේ තිස් පැයකින් හිරු නො නැගී. අද කීප පැයකින් පහන් වී නම් යෙහෙකැයි සිත සිත නිදන්නාහු පළමුවන යම සිහිනෙන් පහන් ව ගියා සේ දැක ඇස් දල්වා බුද්ධාලම්භන ප්‍රීති ශ්‍රද්ධාවෙන් පහන් දහස් දැල්වූවා සේ ගේ කුස දැක “සැබවින් පහන් ව ගිය ඉර පැනනැංගේ වන. කල්යවා නිදාපීම් වන. මා කෙළේ කිමෙක් දැ”යි සිත සිතා ගබඩාවෙහි දොර හැර ගොස් සඳල්ලට බැස අහස බලා නැගෙන හිරක් නො දැක මුදුන බලා සඳ දැක සඳ පියවර බලා දසපෑ ගියේ ය යි දැන නැවත ගබඩාවට වැඳ නිදන්නාහු දෙවන යමෙහි දු එසේ ම ආලෝක දැක දොරට ගොස් බලා විසිපෑ ගියේ ය යි දැන, නැවත ගබඩාවට වැද නිදන්නාහු තුන්වන යාමයෙහි දු එසේ ම ආලෝක දැක පහන් නුවූ බැව් දැන අලුයම් රාත්‍රියෙහි දුටු ආලෝකයෙන් සැබවින් ම පන් වී ම ය යි සිතා බුදුන් කරා යෙමි යි නික්මුණාහ. එ කෙණෙහි සිටාණන්ගේ ශ්‍රද්ධාබලයෙන් දෙවියෝ ම තුණුරුවන්ට තමන්ගේ ගෙදොර විවටාඞ්ගන කරණ මහතාණෝ ය යි සිටාණන් කෙරෙහි පැහැද සත්මාලෙහි මහ දොර සත ම හැර මඟ අලුකොට එකාඞ්ගන කළහ.
එ වේලෙහි අනේපිඬුමහසිටාණෝ මහ වාසලින් පිටත් ව අමු සොහොනකට පැමිණ පළමුවන පයින් එක මිනියෙක පැකිළ, දෙවන පයින් අනික් මිනියෙක පැකිළුනාහ. එ වේලෙහි සිටාණන් පයට මිනිය අති සිහිල් ව වැටහිණ. කුණප ගන්‍ධය ද නාසයට පැනනැංග. නිලමැස්සෝ ද කිලදී නැංගහ. එ කෙණෙහි මිනිකුණපයෙක් වනැ යි උපන්නා වූ මහාප්‍රතිකුක්ලචිත්තයෙන් බුද්ධාලම්බන ප්‍රීතිචිත්තය පසුබට විය. එසේ හෙයින් සිටාණන්ට උපන් ආලෝක අන්තර්ධාන විය. දසදික් අඳුරු විය. එ වේලෙහි සිටාණෝ රාත්‍රිය බවු දැන අමුසොහොනකට පැමිණියෙමි යි සිතා මහත් වූ භය ඉපද ආපසු යෙමි යි සිතා මඳක් පසුබටහ. එ වේලෙහි ඒ සීවථිකාව සමීපයෙහි රුක වසන [1]සීවක නම් සෝවන් දේවතාවා සිටාණන්ට උපන් භය දැක “මතු බුදුන්ට අග්‍රඋපස්ථායක වන පින්වත් සිටාණන්ට අනුබව වෙමි”යි සිතා ආකාශයෙහි විදුලියක් සේ සිටාණන්ට පෙනී කිංකිණිකනාදයක් සේ මධුර වූ නාදයෙන් “යහළු සිටාණෙනි! භය නො ගනුව”යි කීහ.
“සතං හත්‍ථි සතං අස්සා - සතං අස්සතරී රථා,
සතං කඤ්ඤා සහස්සානි - ආමුත්තමණිකුණ්ඩලා;
එකස්ස පදවීතිහාරස්ස - කලං නාගඝන්ති සොළසිං”යි.
යන මේ ගාථාව කියා “යමෙක් ඇතුන් ලක්‍ෂයක්, අසුන් ලක්‍ෂයක්, රථ ලක්‍ෂයක්, දෙවඟනන් බඳු වූ වරඟනන් ලක්‍ෂයක්, යාචකයන්ට දන් දුන්නේ වී නම් එසේ වූ දාන විපාකයටත් වඩා යමෙක් තුණුරුවන් අරබයා වඳින්ට යෙමි. බණ අසන්ට යෙමි යි වෙහෙරකට යේ නම් ඔහු සන්හිඳී යන ගමනෙහි එක් පියවරක් ඔසවා තුබූ කල ඒ පය අග්‍රාඞ්ගුලිය පටන් සිටි පියවර අග්‍රාඞ්ගුලිය දක්වා අන්තරයෙහි මුට්ඨිරත්න ප්‍රමාණ වූ පදවීතිහාර නම් භූමිය සොළොස් කොට්ඨාසයක් කොට එයින් එක් භාගයක් ගෙන, එයි දු සොළොස් භාගයක් කොට මෙසේ මෙසේ ම සොළොස් වාරයක් බෙදූ කල අස් ලොමක් පමණ ඉතා සූක්‍ෂ්ම වූ භූමියෙක් වෙයි. ඒ එක භූමියෙන් ජනිත වූ කුසල සම්භාරය ම සුවහස් ගණන් වඩනේ ම ය. සිටාණෙනි, නො මැලිව යව, දැන් ම ගොස් බුදුන් දකුව, ආපසු නො යව නො යව”යි කීහ. එබසට අනේපිඬු මහසිටාණෝ අහහස බලා දේවතාවා දැක “මම මෙතැන් පටන් එකලා නො වෙමි. දෙවියොත් මා හා සමග ඇත්තාහු ය”යි උපන් භය සන්හිඳුවා නැවත බුද්ධාලම්භන ප්‍රීතිසන්තෝෂ උපදවාගෙන පෙර සේ ම ආලෝක දැක ඉදිරියට යන්නාහු නැවත දෙවාරයෙහිත් මිනියෙක පැකිළුනාහ. එවේලෙහි දු උපන්භය දේවතාවා ම සන්හිඳ විය. තව ද ගොස් තුන්වන වාරයෙහි දු මිනියෙක පැකිළුනාහ. එ වේලෙහි දු උපන් භය දේවතාවා ම සන්හිඳවි ය.
මෙසේ සිටාණෝ දෙවියන්ගේ බලයෙන් හා ශ්‍රද්ධාවෙහි බලයෙන් අලුයම රාත්‍රියෙහි බුදුන් හුන් වෙහෙරට ගොස් බුදුන් නොදැක ම සිතන්නාහු “මේ ලෝකයෙහි ඇපි බුදුම්හ, ඇපි බුදුම්හයි කියා ඇවිදිනෝ බෙහෙව. ඉදින් මොහු සැබෑ බුදුකෙනෙක් වූ නම් මාගේ මවුපියන් තුබූ නම් මා මුත් මාගේ අඹුදරුවොත් නො දන්නාහ. කුල නමින් මට ආමන්ත්‍රණය කොට මා හා සමග කථා කළෝ නම් ඔවුන් සබා බුදුකෙනකුන් නිසා ය. එසේ කළෝ නම් ඔවුන් වඳිමි. පුදමි. සත්කාර කෙරෙමි. නම කියාගත නුහුනුවෝ නම් ඔවුන් නො වඳිමි. නො පුදමි. සත්කාර නො කෙරෙමි. ආපස්සේ යෙමි”යි සිතූහ. එවේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඒ එක සත්‍වයකු තබා අනන්තාපරියන්ත ලෝකධාතුයෙහි සත්ත්‍වයන් සිතූ සිත තමන්වහන්සේගේ එක සිතින් දැනගන්නා තරම් අසාධාරණ වූ බුද්ධඥාන ඇති හෙයින් සිටාණන් සිතූ සිත කරතලාමලකයක් සේදැක සිටාණන් කෙරෙහි උපන්නා වූ මහත්වූ කරුණා ඇති ව “මා වැනි ශාස්තෘෘවක්හට අග්‍රඋපස්ථායක වෙමි යි ප්‍රාර්ථනා කොට ආ පුණ්‍යවන්තයා පෙරමඟට මම ම යෙමි”යි සිතා ගන්‍ධකුටියෙන් බාහ්‍ය ව සක්මන් කොට කොට ගන්‍ධමණ්ඩලමාලකයෙහි වැඩසිට ප්‍රියපුත්‍රයක්හු ම එන පෙරමඟ බලන පෙම්බර මවක් සේ සිටාණන් පෙරමඟ බලා සිට සිටාණන් දැක සක්මණින් ගොස් උන්ට අභිමුඛ ව බුද්ධාසනයෙහි වැඩ හිඳ එ දවස් තමන් වහන්සේ ම සිටාණන්ට නම් තබාලුවා සේ “සුදත්තය! මෙසේ මා කරා පලා වරැ”යි වදාළ සේක.
එ වේලෙහි සිටාණෝ සුදත්තය යි කී බස කණ හීම් හා සමගම බුදුන් සබා බුදුන් බවත්, සව්නේ ගෙවා දත් බවත් විශේෂයෙන් දැන පහන් දිය විලක් සේ බුදුන් කෙරේ පැහැද බුදුන් කරා දිව ගොස් අමාවිලක් දුටු පිපාසිතයකු සේ බුදුන්ගේ චරණනඛ මයූඛ නමැති අමාවිල්හි ගැලි ගැලී සිත් සනහ සනහා පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව දොහොත් මුදුන් දී හිඳ සඳට අභිමුඛ ව සුපුෂ්පිත ව කෞමද වනයක් සේ තමන්ගේ ප්‍රීතීන් ප්‍රමුඛ වූ මුඛයෙන් බුදුන්ගේ මුඛ චන්‍ද්‍රයා බල බලා “කිමෙක් ද? ස්වාමිනි සව්නේ ගෙවා දත් බුදුරජාණෙනි! මා උපන් දවස් නම් තුබූදැ නුඹ ද? මාගේ නම් කවුරු නුඹට කියාලූ ද? ඒ එක බසින් ම නුඹ ලොවුතුරා බුදුබව දත්මි. හස්ති කාන්ති වීණාවක් කණ හුනුවා වූ ඇත් පොව්වකු සේ ම මම ද නුඹවහන්සේගේ මධුර නාදය කණ හුනු වේලෙහි පටන් ශබ්දයෙහි මත්වීමි. එසේ හෙයින් මේ වේලෙහි පටන් මාගේ ජීවිතාන්තය දක්වා නුඹවහන්සේට කුලගැති වීමි. කිමෙක් ද? ස්වාමීනි! රාත්‍රියෙහි දවස්හි සුවෙන් සැතපුනු සේක් දැ? යි විචාළහ. එ වේලෙහි ස්වාමිදරුවෝ වතුරෙහි යන එකකුගෙන් පෙනීගිය අවයමයක් නො හැර ම ගසා අල්වාගෙන ගොඩට තමා කරා හයාගන්නා වූ වීර පුරුෂයකු සේ බුදුන් හුන් කී බස ම ගෙන ඕහට බණ කියා ඔහු සසර සයුරෙන් ගොඩනඟා ගන්මි යි සිතා:-
“සබ්බදා වෙ සුඛ සෙති - බ්‍රාහ්මණො පරිනිබ්බුතො,
යො න ලිම්පති කාමෙසු - සීතිභූතො නිරූපධි.
.
සබ්බා ආසත්තියො ඡෙත්‍වා - විනෙය්‍ය හදයෙ දරං,
උපසන්තො සුඛං සෙති - සන්තිං පප්පුය්‍ය චෙතසො”යි.
යන මේ ගාථා දෙකින් “එසේ ය, සිටාණෙනි! යමෙක් සවාසනා කෙලෙසුන් නසා ශාන්තියට පැමිණියෙක් සුවයෙන් සැතපෙන්නේ වේ දැ”යි වදාරා සිටාණන්ට අනුරූප වූ ධර්මදේශනා කළ සේක. එ වේලෙහි සිටාණෝ යෙළදහසක් කෙළෙසුන් ගෙවා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටා එවේලෙහි වීදුරු පොළොවෙක ගලා හිඳු වූ වජ්‍රඛීලයක් සේ බුද්ධශාසනයෙහි ස්ථිරව පිහිටියා වූ අචල ශ්‍රද්ධා ඇති ව බුදුන්ට ශතසහස්‍ර වචනයෙන් ස්තුති කොට “ස්වාමීනි! ගැත්තවු මෙ නුවරට ආගන්තුක ව ආවත් මාගේ ශ්‍රද්ධා පමණ දානයක් දී ලන්නා කැමැත්තෙමි. සෙට දවසට ගැත්තවුට අනුග්‍රහ කළ මැනවැ”යි බුදුන් පවරාලා සුහුරු බන්‍ධු සිටාණන්ගේ ගෙට ගොසින් නො එක් භාණ්ඩයන් පරීක්‍ෂා කොට දානසම්භාරයන් රැස්කරන්ට පටන් ගත්හ.
ඒ සිටාණෝ එපවත් දැන “තෙපි යහළු මෙ නුවරට ආගන්තුක යව. මම නේවාසිකයෙමි. තොපගේ නුවර දී මා කළමනා යම් දෙයක් තොපට ම භාරවේද? එසේ හෙයින් මාගේ නුවර දී තොප කළමනා දෙය මට ම භාර ය. තොප මාරුවෙහි, දානපරිත්‍යාගය මාගෙන් ම කෙරෙමි යි. තොපි යෙහෙන් හිඳුව”යි කීහ. අනේපිඬු මහසිටාණෝ එසේ නොකෙරෙමි යි. මාගේ පන්සියයක් ගැල් පුරවාගෙන බඩු එක දවසක් තබා තුන්මසක් ම දන් සදතත් දාන පරිත්‍යාගයට ඇත. මාගෙන් ම දෙමි යි කියා නො ගිවිස්සාහ. එකල රජගහනුවර අසූදහසක් නියම්ගමට නායක වූ නේගම ජ්‍යෙෂ්ඨයානෝ ද අනේපිඬු මහසිටාණන් හා අති විශ්වාස ව හිඳිනාහු එ පවත් අසා අවුදින් “යහළු! සියලු දානෝපකරණ මාගෙන් ගනුමි”යි කීහ. උන්ගෙනු දු කිසිවක් නො ගත්හ.
බිම්බිසාර රජ්ජුරුවෝ ද “තොපගේ ගමක් නො වත්, අපගේ භාණ්ඩාගාරයෙන් සියලු පරිත්‍යාග ගෙන දන්දී ගනුව”යි කීහ. ස්වාමීනි, සියල්ල ම මාගෙන් ම සපයමි. අඩුයෙක් ඇත්නම් සැල කරන්නෙම් වේ දැයි මායමින් රජ්ජුරුවනු දු යවා තමන්ගේ ම පරිවාර ජනයන් ඇරගෙන ගිනි දර පැන් ලිප්ගල් දක්වා ත් මිල දී ම ඇරගෙන මහදන් සරහා, දෙවන දවස් බුදුන් වඩාගෙනවුත් තමන්ගේ නැගනියන්ගේ මහා පායෙහිදී ම බුදුන් ප්‍රධාන වූ විසිදහසක් මහරහතන් වළඳවා වළඳා අන්තයෙහි “ස්වාමීනි, අපගේ සැවැත්නුවර නම් ඉතා රම්‍ය වූ නගරයෙක. සත්පනස් කෙළ ලක්‍ෂයක් කුල ඇතියේ ය. සත්කෙළක් මනුෂ්‍යයෝ ඇතියාහ. අවුරුදු පතා ලක්‍ෂ නිමන අසූදහසක් නියම්ගම් ඇතියේ ය. තුන් තුන් සියක් යොදුන් කසී-කොසොල් දෙරටින් නුවරට සතර දිගින් වදිනා අය මහමුහුදු රළපෙළ දිවන්නා සේ මුත් අනික් උපමායෙක් නැත. ස්වාමීනි, අපගේ නුවරට වැඩ වදාළහොතින් ගැත්තවුගේ කෙළ ගණන් ධන නිධාන කොට තිබෙයි. කෙළගණන් ධන නය පොළී පිට තිබෙයි. කෙළගණන් ධන අනුභවයට තිබෙයි. මුතුන් මීමුතුන් රැස්කළ ධන මෙතෙකැ යි පමණ නැත. එයින් අටළොස් කෙළක් ධන නය දුන් තැන් නැති ව ගියේ ය. අටළොස් කෙළක් ධන නිධාන කළ තැන මුහුදුබත් වි ය. ගැත්තවුන්ගේ එසේ නිෂ්ප්‍රයෝජනව නස්නා වූ සිටු සැපත ස්වාමිදරුවන්ගේ සසුන් නමැති කුඹුරෙහි ඉස පියනු කැමැත්තෙමි”යි ආරාධනා කළ. එවේලෙහි අනන්තා පරියන්ත වූ බුදුන් සද්ධර්මප්‍රවාහ කළා වූ ධ්‍යාන ක්‍රීඩා මණ්ඩපයක්ම නියාව දැන වදාරා එ නුවරට මාත් ගියමනා කල් ම ය යි සිතා “සිටාණෙනි! සර්වඥවරයෝ නම් ශූන්‍යාගාරයෙහි රමණය කරන්නාහු නො වෙත් දැ’යි වදාළ සේක.
-
සීවට්ටක ↑