මේ යශෝධරා දේවී දුරේ නිදානයෙහි දී ම ප්‍රාර්ථනා කොට මේ සාරාසඞ්ඛ්‍යය කප් ලක්‍ෂය මුළුල්ලෙහි බුදුන් හා සමග බුදුන් අත් නො හැර බුදුන්ට පක්‍ෂපාත ව ම ආවාහු ය. මේ බුද්ධශාසනයෙහි මේ යශෝධරා දේවීන්ට වඩා හේතුසම්පත් ඇති ව බුදුන් හා එක්ව පින්කළ කෙනෙක් අනෙක් කිසිකෙනෙකුන් නැත්මය. මේ මේ කාරණයෙන් මාගේ ස්වාමිදරුවෝ ඒ පන්සාළිස් හවුරුද්ද මුළුල්ලෙහි දෙවියකු-බඹකු අතගාපිය නුහුනුවාවූ ඒ ශ්‍රීපාද නමැති පියුම් දෙක ස්ත්‍රීව සිට ඒ යශෝධරා දේවීන් අල්වාගත් වේලෙහිත් මේ පූර්වචරිත පරීක්‍ෂා කොට උදාර වූ කරුණාවෙන් ම වැඩහුන් සේක් ම ය.
තව ද: සසර ඇවිද අසඞ්ඛ්‍ය ගණන් කල් හැර මාගේ බුදුන් බුදුවන මෙම කප උදයභද්ද ජාතකයෙහි ලෝකාලෝකා දිවාකර වූ මාගේ බෝසතාණන් වහන්සේ උදය නම් රජ ව දශ රාජ ධර්මයන් පූරණය කළ සමයෙහි කනක රූපයක් වැනි වූ ස්ත්‍රී රූපයෙන් සත්සියයක් හවුරුදු එක යානේ සැතපී එක දවසෙකත් බ්‍රහ්මචර්‍ය්‍යාවට අන්තරායක් නො කොට අප දෙදෙනා අතුරෙන් පළමු ව මිය පරලොව ගිය කෙනෙක් අවුදින් උපන් තැන් කියම්හ යි ප්‍රතිඥා කොට පළමු ව බෝසතාණන් වහන්සේ මිය ශක්‍රදේවේන්‍ද්‍රව ඉපද පෙර කළ ප්‍රතිඥාවෙන් මිදෙමි යි තමන් වහන්සේගේ සිල්වත් කමත් පරීක්‍ෂා කෙරෙමි යි ලක්‍ෂයක් අගනා රන් තලියක් අනර්ඝ වූ ඝනරනින් පුරා අත්ලෙහි තබාගෙන මධ්‍යම රාත්‍රියෙහි සඳල්ලට බැස:
“එකා නිසින්නා සුචි සඤ්ඤතූරු
පාසාදමාරුය්හ අනින්‍දිතඞ්ගි
යාචාමි තං කින්නරනෙත්තචක්ඛු
ඉමෙ‘කරන්තීං උභයො වසෙම”යි.
යනාදීන් කියා ඔවුන්ගේ සිවුසැටක් පමණ ස්ත්‍රී ලක්‍ෂණයන් වර්ණනා කොට කියන්නාහු, තොපගේ දිගු පුළුලැ‘ස් නමැති නිලිපුලින් හා, දත් නමැති කොඳ කැකුළින් හා මුඛ නමැති පද්මයෙන් මාගේ කාම නමැති කෞමුදයන් ප්‍රබෝධ කරව, සොඳුර, දෙදෙව්ලොව දෙවියන්ට අධිපති ව සක්දෙව් රජ නම් මම ය. මාගේ අඩු තුන් කෙළක් පුරඟනන් හැර තොප ම කෙරේ ලෝභයෙන් අයිමි. තොප සමණන් මළගෙයින් තොපට පරදාරය ද නැත. මේ ලක්‍ෂයක් අගනා ඝනරන් හා ලක්‍ෂයක් අගනා ඝනරරන් තලිය තොපට පණයම නිසා දෙමි. අද මේ එක රැයට මට අවසරයක් දෙවයි කී වේලෙහි “දිව්‍යරාජයකු වේව යි මනුෂ්‍ය රාජයකු වේව යි මාගේ ස්වාමීන් උදය නම් රජ්ජුරුවන් හැර අන්‍ය සත්ත්‍වයකු ප්‍රාර්ථනා නො කෙරෙමි. ශක්‍රය! තෝ අනෙක් දවසෙක මේ දිශාවෙහි නො අවුත් මා කෙරෙහි ආලය හරැ”යි සිංහ ගර්ජනා කොට ශක්‍රයා යවා, දසදහසක් හවුරුදු මුළුල්ලෙහි පතිව්‍රතා ධර්මය මළ සමණන් වහන්සේ නමට රක්‍ෂා කළා වූ ඒ උදයභද්ද දෙවි නමුදු දැන් මේ යශෝධරා දේවී ම ය.