සුදොවුන් රජු දූතයන් යැවීම

star_outline

තව ද අප බුදුන් බන්‍ධු සමාගමයෙහි දී ලද නිග්‍රෝධාරාම පූජා නම් කවරහ? යත්;

ත්‍රිභුවන චූඩා මාණික්‍ය වූ මාගේ බුදුරජාණන් වහන්සේ මෙසේ රජගහ නුවර වේළුවන නම් ආරාමයෙහි ලෝවැඩ සාදා වසන කල ශුද්ධෝදන රජ්ජුරුවෝ ‘මාගේ පුතණුවෝ සිද්ධාර්ථකුමාරයෝ ලොවුතුරා බුදුවූල. දම්සක් දෙසූ ල. දැන රජගහා නුවර බිම්සර රජහුගේ වේළුවනාරාමයෙහි වෙසෙත් ල. තව දක්වා ත් තමන් හා ඇස දක්වා නො පියති. ඉතා තද වූ කෙණෙක ම පුතණුවෝ’යි කියා එක් ළදරු අමාත්‍යයකු කැඳවා දහසක් ඇමැතියන් ඕහට පාවා දී “තෝ සුදු පිළි හැඳ මඟුල් වෙස් ගෙන ම පුතණුවන් කරා වේළුවනයට ගොස් නුඹ වහන්සේගේ පියාණෝ ශුද්ධෝදන රජ්ජුරුවෝ නුඹවහන්සේ කැඳවා එවුදෑ ය. තමන්සේ වූ දැඩි කෙනෙක් නැත. මට සොරා නො කියා ම ගොස් මහණ ව ගියෝ ය. සහවුරුද්දක් මුළුල්ලෙහි එක දවසෙකත් මා ඇස පෙනී නො ගියෝ ය. දැන් බුදුවලාත් නිවන් අමා ය යි යන දෙයක් ලෝවැසියන්ට බෙදා දෙතියි ඇසීමි. තමන් වැදූ මෑණියන් පියාණන් බඩදලයෙන් වෙවුල වෙවුලා සිටියදී සෙසු සත්ත්‍වයන් කවා පොවා පින්කොට ඇවිදිනා කෙනෙක් මෙලොව තමන්මුත් අනික් කිසි කෙනෙකුත් නැත. මම තමන් ගේ පියාණ කෙනෙක් වීම් නම් තුමූ මාගේ පුතනු කෙනෙක් වූ නම් වහා මා කරා අවුදින් ඒ දහම් අමා මටත් දෙන්නේ ය. බොහෝ දෙනා අතින් අසා තමන්ගේ දහම් අමාවට මා මහත් තෘෂ්ණා ඇති පරිදි කියාලවයි උගන්වා ලා දහසක් දෙනා හා සමග ඒ අමාත්‍යයා බුදුන් කරා යවූහ.

ඒ ඇමැති දහසක් දෙනා පිරිවරා සැට යොදුන් මඟ ගෙවා රජගහා නුවරට ගොස් වේළුවනාරාමයෙහි මහ පිරිස් පිරිවරා ගුවන් සඳක් සේ වැඩහිඳ ධර්මදේශනා කොට වදාරණ බුදුන් දැක රජහුගේ මෙහෙවර අසුන් තබා මා බණ අසාගත මැනවැ යි සිතා පිරිස් කෙළවර සිට බණ අසා සපිරිවරින් රහත් ව ඒහි භික්‍ෂුභාවයෙන් මහණ වී ය. රජ්ජුරුවන්ට අසුන් මාත්‍රයකුත් කියා යවන කෙනෙකුත් නැත. රජ්ජුරුවෝ මේඝකාලය ප්‍රාර්ථනා කරන්නා වූ මයුර රාජයකු ගේ සර්වඥ නමැති මහා මේඝය කවර කලෙක දකිම් දෝ හෝ යි ප්‍රාර්ථනා කරන්නාහු පෙරමග බල බලා විඩා ව නැවත අනික් අමාත්‍යයකු කැඳවා දහසක් පුරුෂයන් හා සමග මඟුල් වෙස් ගන්වා පෙර සේ ම උගන්වා යවුවාහු ය. ඒ අමාත්‍යයා ද බණ අසා රහත් ව සපිරිවරින් ඒහි භික්‍ෂුභාවයෙන් ම මහණ වී ය. මෙසේ රජ්ජුරුවෝ ගිය ගිය වුන් ම පෙරළා නො එන සෙයින් නව වාරයෙක නව මහා අමාත්‍යයකු නවදහසක් පිරිස් දී පෙර සේම යවුවාහු ය. ගිය ගිය ඇමැතියෝ සහ පිරිවරින් රහත් ව ඒහි භික්‍ෂුභාවයෙන් ම මහණ ව අසුන් තබා සසුන් වැද සුව විඳිති. එසේ හෙයින් රජ්ජුරුවන් කියා යවන පවත් බුදුන්ට දන්වන එක කෙනෙකුත් නැත.