මවුපියන් දක්නා අදහස

star_outline

තවද ඒ මාගේ [1]බෝධිසත්ත්‍වයන් වහන්සේ මතු සියලු සතුන්ගේ රා කෙලෙසුන් දුරුකිරීමට දෙස් පානා සේ මවුකුසට වැඩිදා පටන් මෑණියන් වහන්සේගේ පුරුෂයන් කෙරෙහි රාග චේතනාවෙක් ම එතුන්සිය දා ම නො හටගත. මෙසේ මාගේ බෝසතාණෝ දසමසක් මවුකුස වැස සියලු බුදුන්ගේ ම උත්පත්ති කාලය වූ වෙසඟ මැදි පොහෝ දා සඳු විශාඛා නම් යෝගයෙහි සිටිය දී මෑණියන් වහන්සේට [2]දෙව්දැ නම් වූ කෝළිය නුවර ගොස් මවුපියන් දක්නා දොළෙක් වි ය. එ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ ඒ දොළ අසා කිඹුල්වත් නුවර පටන් දෙවුදැහැ නුවර දක්වා මග සම කරවා කෙසෙල් තොරණ බඳවා දෙපස පුන්කලස හා විසිතුරු වූ ධ්වජ බඳවා පිළි තොරණින් සරා විලඳ සුන්සාල් අබ සමන්කැකුළු හීතණ යන ලද පස්මල් විසුරුවා මඟ සදා දේවීන් රන්සිවිගෙයක නංවා මඟුල්වෙස් ගත් දහසක් ඇමැතියන් ලවා ඒ සිවිගෙය ගන්වා සිවුරඟයෙන් සමග රජපෙළහරින් මහත් වූ ආරක්‍ෂා දී යවූහ.

මෙසේ වූ මහා මඞ්ගලයෙන් මහා ශ්‍රී සෞභාග්‍යෙයන් මහ පෙළහරින් මහා උත්සවයෙන් යන්නා වූ ඒ මායා දේවීන් නම් වූ ඒ බුද්ධ මාතාවෝ සොළොස් කළයක් සුවඳ පැනින් නහා ලක්‍ෂයක් වටනා සළුවක් හැඳ, පාද පාදාංගුලි පාදකටක පස්රූ පස් පෙරහර එක්වැටී පාමුදු රන්මරවැඩි පාඩගම් [3]මිණිකෙස් වැළ, සිරි වළලු දෙපට විද්‍යා අඟුල් දසරු බාහුදණ්ඩි මුතුවැල ගලමුතුමාලා මැණික් මාලා දාකන් පසෙකවින් දසඅඟාතිලක මිණිදම් නීලමාත්‍රා මුතුඔටුනු ආදි වූ ස්ත්‍රී අලඞ්කාරයෙන් දෙවඟනක මෙන් සැරහී දහස් ගණන් ස්ත්‍රීගණයා පිරිවරා ඒ මඟුල් සිවිගෙය ගෙන්වා ගෙන ගොස් දෙනුවර රජදරුවන් සමග උයන්කෙළි කෙළනා අතුරෙහි ලුම්බිනී නම් සල් උයනට පැමිණියෝ ය. එ සඳ ඒ උද්‍යානයෙහි පුන්නාහ නාග තුවරක උද්දාලක මධුගන්‍ධික අශෝක කරවීර කර්ණිකාර තගර කේතක තිලක චම්පක විශාල ශාල සලලතමාලාදි නන් කුසුමයෝ ඒ උතුමාගේ උත්පත්තිශ්‍රී බලම්හ යි නික්මුනාවුන් සේ මුල් පලා කඳ පලා අතු පලා පිටත් ව ප්‍රබුද්ධ ව මුල පටන් අගදක්වා තුරු වසා අතුරු නොදී සිටගත්හ. මල් රොන් ගන්නා බඹරුන්ගේ නාදයෙන් හා කටපුරා කෙසරුගෙන ඔවුනොවුන් පරයා තුරු අග හිඳ ලිය ගී නඟන සියොතුන්ගේ නාදයෙන් හා එක නින්නාද ව ඉතා රම්‍ය විය.

කියන ලදුයේ මැයි:

විභූසිතා බාලජනාති චාලිනී

විභූසිතංගී වනිතෙව මාලිනී;

සදා ජනානං නයනාලි මාලිනී

[4]විලුම්පිනී චාතිවිරොචි ලුම්බිනී - යි.

තව ද තමා කරා එන ප්‍රිය වූ බිසොවක පෙර මගට සතුටු පඬුරු යවන්නා වූ රජකු සේ එ කල ඒ ලුම්බිනී උද්‍යාන නම් රජ ද බිසොවුන් උයන කරා සමීප වූ වේලෙහි පෙර මගට සුවඳ මඳපවන් නමැති සතුටු පඬුරු යැවීය. එකල ඒ බිසවු සුවඳ මඳ පවන් ලදින් උයන දිසාව බලා උද්‍යාන ශ්‍රී දැක උයන් කෙළි කෙළනා කැමැතිවූහ. ඒ අදහස් දත් ඇමැතියෝ එ පවත් රජහට සැලකර යැවූහ. එ පවත් රජ අසා උයන ද සරසව යි කියා බිසොවුන් සිත් සේ උයන්කෙළි කෙළනා ලෙස අවසර දින.

  1. බෝසතාණන්,

  2. දෙව්දැහැ,

  3. හිණ කෙස්වැල.

  4. විලුම්බිනී